නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස...
අපි උදේ කථා කරපු ටිකක් තේරෙනවා මදි ඇති. නමුත් ඒ ටික අනිවාර්යයෙන් අපි තේරුම් ගන්න ඕනේ. ඊට ආශ්රිත දහම් කරුණු ටික ඉගෙනගන්න ඕනේ. ඒකම මම වෙන පරියායකින් වෙන සුත්‍රයක් අරගෙන දේශනා කරන්නම්. අපි බොහෝ වෙලාවට ධර්මයක් හොයන්නේ බාහිර ප්රතිරූප දිහා බලලා. ධර්මයේ තියෙන ස්වභාවය අපි දන්නේ නැහැ. බොහෝ වෙලාවට අපි බාහිර පරිසරය බාහිර වටපිටාව දිහාව බලලා තමයි සාර්ථක අසාර්ථක බව ගැන තීරණයකට එන්නේ. මේ ලෝකයා ශ්‍රද්ධාව ඇති කරගන්න ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. රූප පමානො රූප පසන්නො යම්කිසි කෙනෙක් හරි ශ්‍රද්ධාව ඇති කරගන්නවලු කෙනෙකුගේ රූපය දැක්ක පමණකින්. ආරෝහ පරිනාහයෙන් යුක්තව බොහොම ප්‍රසාද ජනක ප්‍රියශීලී රූපය දැකලා මේ වගේ රූපය තියෙන කෙනෙක් නම් බොහොම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙන්න ඇති, හොඳට ධර්මයකුත් ඇති. මෙයා ඇසුරු කරන්නේ නම් හොඳයි කියල දකින රූපය ප්‍රමාණ කරගෙන ශ්‍රද්ධාව ඇති කරගන්නවා. එයාගේ ප්‍රසන්න බවට ශ්රද්ධාවට රූපය විතරයි ප්‍රමාණ වෙන්නේ.
තව කෙනෙක් ශබ්දය ඇසු පමණකින් පැහැදීමට පත්වෙනවා. අහවල් කෙනා නම් හරිම හොඳයි කියල කිවුවොත්, එයාගේ ප්‍රතිපත්තිය මෙන්න මෙහෙමයි කියල කිවුවොත් එයා මේ මේ වගේ කරන කෙනෙක් කියල කිවුවොත් ඒ ගැන වචනය ඇහුන පමණකින් ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ඇතිකරගෙන එයාව ඇසුරු කලොත් හොඳයි, එතනට ගියොත් හොඳයි, එතන වටිනවා කියල කලම පැහැදීම ඇති කරගන්නවා. එයාගේ ප්‍රසන්න බවට ශබ්දය ප්‍රමාණවත්. ඊට පස්සේ තවකෙනෙක් රළු ප්‍රතිපත්තිය දැකලා පැහැදෙනවා. සමහරවිට පාංශකූල සිවුරු පෙරවන්නේ, ඉරිච්ච සිවුරු පෙරවන්නේ, ඉන්නේ සොහොනක, නැත්තම් කැලේක තනියම කුටියක, එක වේලයි වළඳන්නේ. පිණ්ඩපාතෙනේ වළඳන්නේ. රූක්ෂ ප්‍රතිපත්තිය දැකලා මේ වගේ ප්‍රතිපත්තිය තියෙන කෙනෙක් නම් බොහොම ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්, ඒකාන්තයෙන් නිවන පිණිස මෙහෙය වූ සිත් යොමු කල කෙනෙක් කියල රූක්ෂ ප්‍රතිපත්තියේ පහදිනවා. එයාගේ පැහැදීමට මිම්ම රළු දිවි පැවැත්ම.
තව කෙනෙක් ඉන්නවා ධර්මය දැකලා ධර්මයේ ස්වභාවය දැකලා ඒකාන්තයෙන් මේ ධර්මය රාගය නැති කරන්න, ද්වේශය නැති කරන්න, මෝහය නැති කරන්න කියල ධර්මය දැකලා ශ්‍රද්ධාව ඇතිකරගන්නවා. එයින් යම්කිසි කෙනෙක් රූපය ප්‍රමාන කරගෙන හැසිරෙයිද, ශබ්දය ප්‍රමාණ කරගෙන හැසිරෙයිද, රළු ප්‍රතිපත්තිය ප්‍රමාණ කරගෙන හැසිරෙයිද මෙන්න මේ ශ්රද්ධාවට කියනවා අමුලික ශ්‍රද්ධාව කියල. කරුණු කාරණා තේරුම්ගන්නේ නැතුව නිමිති මාත්‍රයකින් හිතේ පැහැදීම ඇති කරගත්ත හිස් පුද්ගලයෙක්. යම්කිසි කෙනෙක් ධර්මය දැකල ධර්මයේ ස්වභාවය දැකල ඒකාන්තයෙන් මේ ධර්මය සසර ගෙවා ගැනීම පිණිස රාග ද්වේශ මෝහ නැති කරගැනීම පිණිස හේතු වෙනවා නේද කියල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කාරගත්තොත් මෙන්න මේ පැහැදීමට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව, සහේතුකයි කියල. ඉතින් අද වර්තමානය දිහා ගත්තහම ගොඩාක් දෙනෙක්ට තියෙන්නේ අමුලිකා ශ්‍රද්ධාව.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී එක උපාසක මහත්මයෙක් ඉන්නවා එයා කැලේ ගිහිල්ලා දර කපලා විකුණලා ජීවත්වෙන කෙනෙක්. මේ උපාසක මහත්මයා කියනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස මම බොහෝ කලක් බොහොම සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරනවා. කොහොමද ඔබ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා කියල දන්නේ? ස්වාමිනි, කැළේමයි ඉන්නේ, පිණ්ඩපාතයෙන්මයි යැපෙන්නේ, පාංශුකුල සිවුරමයි පෙරවන්නේ, ආරණ්යකමයි ඉන්නේ මෙන්න මේ හේතුවෙන් බොහොම සිල්වත් ගුණවත් ස්වාමීන්වහන්සේලාට මම උපස්ථාන කළා, උපකාර කළා කියල කියනවා. ග්රැහවිය, සුදුවත් අඳින ගිහි වූ ඔබට සිල්වත් ගුණවත් භික්ෂුන් අදුනගන්න බැහැ. කැලේ හිටපු පමණකින්, රූක්ෂ ප්‍රතිපත්ති දැරූ පමණකින්, පාංශකූලික සිවුරු දැරූ පමණකින්, පිණ්ඩපාතික වෙච්ච පමණකින්, ආරණ්‍යක වෙච්ච පමණකින් කෙනෙක් සිල්වත් වෙන්නෙත් නැහැ කෙනෙක් දුස්සීල වෙන්නෙත් නැහැ කියල දේශනා කරපු සුත්‍රයකුත් තිබුනා.
ඉතින් මේ ටික මම මතක් කලේ අපිට නුවණ නැති වුනොත් කරුණු කාරණා සහේතුකව තේරුම් නොගත්තොත් අපි බාහිර නිමිති මාත්‍රයකින්ම ශ්‍රද්ධාව ඇතිකරගෙන සමහර විටක ධර්මය නැති පරිසරයක් තුළට අපි යොමු වෙන්න පුළුවන්. මෙතැනදී මම ඕගොල්ලොන්ට හොඳ සුත්‍රයක් කියලා දෙන්නම්. ඕගොල්ලෝ සමහරවිටක හිතන්නේ සිල්වත්කම තියෙනවා නම් ඔක්කොම හරි කියල. දුස්සීලකම තිබුනොත් බොහොම වැරදි කියල. නමුත් ඔගොල්ලොම ගිහිල්ලාම බලන්න ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ පස්වෙනි ඛාණ්ඩයේ දසක නිපාතයේ තියෙනවා මිගසාලා කියල සුත්‍රයක්. දවසක් ආනන්ද මහරහතන් වහන්සේ සැවත් නුවර පිණ්ඩපාතේ වඩින ගමන් මිගසාලා උපාසිකාවගේ ගෙදරටත් පොඩ්ඩක් ගොඩවුනා. ගිහහම මේ මිගසාලා උපාසිකාව ඇවිල්ලා වන්දනාමාන කරලා එක්තරා මිටි ආසනයක් අරගෙන එකත් පසෙක ඉඳගෙන ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමිනි, මට හරි ප්‍රශ්නයක් තියෙනවා මගේ පියා පහු කාලේදී බ්රහමචාරි වුනා, බ්රහ්මචාරීව වාසය කළා. සුළු පියා අබ්රහමචාරීව ගිහිගෙදර සිය බිරිඳ එක්කම වාසය කළා.
ඉතින් මේ දෙන්නම කළුරිය'කලහම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දෙන්නම සකෘදාගාමී වුනා ගිහිල්ලා දිව්‍ය ලෝකේ උපන්නා කියලා. ඉතින් මේ බ්රහ්මචරියා වීමෙන් ඵලක් නැහැනේ, අබ්රහමචරියා වීමෙන් ඵලක් නැහැනේ, මේකේ වෙනස මොකක්ද, මට මේක තේරෙන්නේ නැහැ කිවුවා. ඒ වෙලාවේදී ආනන්ද මහරහතන් වහන්සේ ශබ්ද නැතුව ඒක අහගෙන ගිහිල්ලා පිණ්ඩපාතෙන් පස්සේ භාගවතුන් වහන්සේ ලඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ වුන සිද්ධිය දේශනා කළා. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස මිගසාල උපාසිකාව මෙන්න මෙහෙම මතක් කළා කියල. පියා බ්‍රහ්මචාරී වුනා, සුළුපියා අබ්‍රහ්මචාරි වුනා නමුත් මේ දෙන්නා පරලොවදී සමානයි කියල. ඉතින් මෙතැනදී බ්‍රහ්මචරියාවේ හැසිරීමත් අබ්රහමචරියාවේ හැසිරීමත් අතර වෙනසක් නැහැනේ කියල. ඊටපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද, මිගසාලාව හරි මෝඩයි. මිගසාලාවට මේ ඉන්ද්‍රීය නානත්වය තේරෙන්නේ නැහැ. මේ ධාතු නානත්වය තේරෙන්නේ නැහැ.
ආනන්ද, යම්කිසි පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ව තීරණය කරනවා නම් මම හෝ මම බඳු නුවණක් තියෙන කෙනෙක්ම විය යුතුයි. කිසිම වෙලාවක ආනන්ද බාහිරෙන් බලලා පුද්ගලයෙක් තීරණය කරන්න එපා කියලා ආනන්ද මේ පුද්ගලයෝ දස දෙනෙක් ඉන්නවා. එක පුද්ගලයෙක් ඉන්නවා හරිම සිල්වත් හැබැයි මරණින් පස්සේ පිරිහීමටම දුගතියටම යනවා. තව පුද්ගලයෙක් ඉන්නවා හරිම සිල්වත් මරණෙන් පස්සේ සුගතියකට වැඩීමකටම පත්වෙනවා. එක පුද්ගලයෙක් ඉන්නවා හරිම දුස්සීලයි හැබැයි මරණෙන් පස්සේ දුගතියකටම යනවා. එක පුද්ගලයෙක් ඉන්නවා හරිම දුස්සීලයි හැබැයි මරණෙන් පස්සේ චුට්ටක්වත් පිරිහෙන්නේ නැහැ පරලොව සුගතිගාමී වෙනවා වැඩි දියුණුවක්ම බලාපොරොත්තු විය යුතුයි. එක පුද්ගලයෙක් ඉන්නවා අධික රාගයි හැබැයි මරණෙන් පස්සේ දුගතියකටම යනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික රාගයි හැබයි මරණෙන් පස්සේ සුගතියකටම යනවා. වැඩි දියුණුවක්ම බලාපොරොත්තු විය යුතුයි.
තව පුද්ගලයෙක් ඉන්නවා අධික ද්වේශ සහිතයි, තරහ යනවා. මරණෙන් පස්සේ දුගතියකටම යනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික ද්වෙශයි, තරහ යනවා. මරණෙන් පස්සේ පොඩ්ඩක්වත් පිරිහෙන්නේ නැහැ වැඩි දියුණුවක්ම බලාපොරොත්තු විය යුතුයි. තව පුද්ගලයෙක් ඉන්නවා ආනන්ද, හරිම මාන්නයි මරණෙන් පස්සේ දුගතියකටම යනවා, පිරිහිකමකටම පත්වෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික මාන්නයි මරණෙන් පස්සේ සුගතියකටම යනවා පිරිහීමක් වෙන්නේ නැහැ. සිල්වත්, දුස්සීල, රාගය තියෙන, ද්වේශය තියෙන, මාන්නය තියෙන පුද්ගලයෝ පහ පහ දහයක් ගන්නවා බුදුරජාණන් වහන්සේ. එහෙම අරගෙන සිල්වත්, දුස්සීල, රාගය තියෙන, තරහ තියෙන, මාන්නය තියෙන පස්දෙනෙක් ඉන්නවා ඒකාන්තයෙන්ම අපායට යනවා නැත්නම් මරණෙන් පස්සේ පිරිහීමටමයි පත්වෙන්නේ, වැඩීමක් වෙන්නේ නැහැ. සිල්වත්, දුස්සීලයි, රාග සහගතයි, ද්වේශ සහගතයි, මාන්නය තියෙනවා. හැබැයි මරණෙන් පස්සේ පිරිහෙන්නේ නැහැ වැඩීමක්ම වෙනවා, දියුණුවක්ම වෙනවා, පිරීහීමක් නම් වෙන්නේ නැහැ කියල දහදෙනා පෙන්නලා,
ආනන්ද කුමන කෙනෙක්ද සිල්වත් වුනත් පිරිහෙන, කුමන කෙනෙක්ද දුස්සීල වුනත් පිරිහෙන, රාගය තිබුනත් පිරිහෙන, ද්වේශය තිබුනත් පිරිහෙන, මාන්නය තිබුනත් පිරිහෙන කෙනා ? කෙබඳු කෙනාද මේ ගති තිබුනොත් පිරිහෙන්නේ නැත්තේ කියල පුද්ගලයෝ දහදෙනෙක් පෙන්වනවා.අපිට ස්වභාවයට නුවණ නැති වුනොත් අපි බලන්නේ බාහිරෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යම් තැනක ලාමක අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙනවා නම් ඒ ඵල සමාධිය, ඵල ප්‍රඥාව තතු සේ යම්කිසි කෙනෙක් දන්නේ නැත්නම්, අහලා නැත්නම්, හිතින් හිතලා නැත්නම්, හිතින් හිතලා පුරුදු කරලා නැත්නම් එබඳු කෙනා සිල්වත් වුනත්, දුස්සීල වුනත්, රාග සහිත වුනත්, ද්වේශ සහිත වුනත්, මාන සහිත වුනත් ඒකාන්තයෙන් මරණෙන් පස්සේ පිරිහීමකටම පත්වෙනවා, දුගතියකටම පත්වෙනවා.
යම්කසි කෙනෙක් ලාමක අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙන ඒ ඵල සමාධිය හොඳට අහලා තියෙනවා, ඒ ඵල ප්‍රඥාව හොඳට අහලා තියෙනවා. හොඳට දන්නවා ඒ ධාතුව, හොඳට හිතින් හිතලා තියෙනවා, හොඳට හිතින් පුරුදු කරලා තියෙනවා නම් එයා සිල්වත් වුනත්, දුස්සීල වුනත්, රාග සහිත වුනත්, ද්වේශ සහිත වුනත්, මාන සහිත වුනත් එයා මරණෙන් පස්සේ දියුණුවක්ම බලාපොරොත්තු විය යුතුයි, වැඩීමක්ම බලාපොරොත්තු විය යුතුයි. කිසි දවසක පිරිහීමක් වෙන්නේ නැහැ කියල බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා ආනන්ද මහරහතන් වහන්සේට. බලන්න සංයුක්ත නිකායේ දසක නිපාතයේ මිගසාලා සුත්‍රය.
http://www.thripitakaya.org/tipitakaya/Index/564?s=10483
ඔය වචන ටිකෙනේ ඔහොමම තියෙයි. එතකොට ලාමක අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් ඒ ඵල සමාධිය මොකක්ද, ඒ ඵල ප්‍රඥාව මොකක්ද, ඒ ඵල සමාධියට යන මාවත දන්නවද, ඒ ඵල ප්‍රඥාවට යන මාවත දන්නවද? අපි අන්න ඒ ටිකයි ඉගෙන ගන්න ඕනේ. යම්කිසි කෙනෙක් මේ ටික දන්නේ නැතුව සිල්වත් වෙන්න පුළුවන් නමුත් මේ ශාසනයේ කොහොම හරි සීලයක් වර්ණනා කරන්නේ නැහැ. බොහොම සමාධිමත් වෙන්න පුළුවන් නමුත් මේ ශාසනේ කොහොම හරි සමාධියක් වර්ණනා කරන්නේ නැහැ. බොහොම නුවණක් තියෙන්න පුළුවන් සෘද්ධිවිධ, දිව්‍ය චක්ඛු, දිව්‍ය සොත ආදී නුවණවල් තියෙන්න පුළුවන්. නමුත් මේ ශාසනේ වර්ණනා කරන්නේ නැහැ."නයිදං භික්ඛවෙ බ්රහ්මචරියං ලාභසක්කාරසිලොකානිසංසං, න සීලසම්පදානිසංසං, න සමාධිසම්පදානිසංසං, න ඤාණදස්සනානිසංසං. යා ච ඛො අයං, භික්ඛවෙ, අකුප්පා චෙතොවිමුත්ති - එතදත්ථමිදං, භික්ඛවෙ, බ්රහ්මචරියං, එතං සාරං එතං පරියොසාන’’න්ති..
මහණෙනි මේ ශාසනය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා ගන්නත් නෙමෙයි තියෙන්නේ, සිල්වත්වීම පිණිසත් නෙමෙයි තියෙන්නේ, සමාධිය ඇතිකරගන්නත් නෙමෙයි මේ ශාසනය තියෙන්නේ, ඤාණ දර්ශනයන් ඇතිකිරීම සඳහාත් නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. මහණෙනි මේ අකොප්‍ය වූ චෝතෝ විමුක්තියක් තියේ නම් ඒ සඳහායි මේ බ්‍රහ්මචරියාව. ඒකයි සාරය, ඒකයි අවසානය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් දේශනා කලේ යම්කිසි තැනක ලාමක අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් ඒ ඵල සමාධිය, ඒ ඵල ප්‍රඥාව හොඳට අහලා, හොඳට හුරු පුරුදු කරලා තියෙන්න පුළුවන්, නමුත් අපි දන්නේ නැහැ බාහිර ස්වරූපය දිහා බලලා අහවලා දුස්සීලයි, රාග සහිතයි, ද්වේශ සහිතයි, මාන සහිතයි කියල අපි හිතාගෙන කළකිරෙනවා. නමුත් ඇත්තටම අනික් තැනකට වඩා සමහරවිටක බොහොම ශ්‍රේෂ්ඨයි. අපි සමහරවිට බොහොම ශ්‍රද්ධාව ඇතිකරගන්නවා සීලය ගැන, යම් ගුණයක් ගැන නමුත් ළාමක අකුසල ධර්මයෝ නිරුද්ධ වෙන ධාතුව එතැන දන්නේ නැහැ.
ඒ නිසා මෙතැනදී සිල්වත් බවවත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොට සැලකුවේ, දුස්සීලබවවත් නෙමෙයි., රාගයවත් නෙමෙයි, ද්වේශයවත් නෙමෙයි, මානයවත් නෙමෙයි. මේක සසර අවිද්‍යාව ඇතුලේ තියෙන ධර්මතා ටිකක්, අවිද්‍යාව නිසයි මේ හැම ප්‍රශ්නයක්ම. නමුත් යම් තැනක යම් දවසක මේ අවිද්‍යාව දුරුවෙන මාවත එයා දන්නවා නම් එයා කවදා හරි දවසක මේ වැරදි ටික නැති කරගන්නවා. ඒකෙන් පෙන්නුවේ ළාමක අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙන ධාතුව ගැන යම්කිසි කෙනෙක් දන්නවා නම් ඒ ඵල සමාධිය, ඵල ප්‍රඥාව දන්නවා නම් එකාන්තයෙන් එයා යම් දිනෙක ඒ ධර්මතාවය උපදවා ගන්නවා. ඒ ධර්මතාවයට පැමිණ වාසය කරනවා මෙලොවදීම හෝ පරොවේදී. නමුත් එහෙම නැති කෙනාට කිසිම දවසක ඒ ධර්මතාවය ලැබෙන්නේ නැහැමයි. එතකොට මොකක්ද සිල්වත් වුනත්, දුස්සීල වුනත්, රාග සහිත වුනත්, ද්වේශ සහිත වුනත්, මාන සහිත වුනත් මරණෙන් පස්සේ පිරිහෙන්නේ නැති ළාමක අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධවෙන ඵල සමාධිය, ඵල ප්‍රඥාව කියල කිවුවේ මොකේටද?
ඒ ඵල සමාධිය කියල කියල කියන්නේ රාග විරාග චේතෝ විමුක්තියට. රාග විරාග චේතෝ විමුක්තිය ලබන්නේ කොහොමද? රාග විරාග චේතෝ විමුක්තිය කියල කියන්නේ යම්කිසි කෙනෙක් රූපය හොඳට පිරිසිඳ දැකලා කාමය සම්පූර්ණයෙන් දුරු කරලා කාමයන්ගෙන් වෙන්වෙලා කාමය නිසා එන අකුසල ධර්ම කාමඡන්ද, ව්‍යපාද, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච්, විචිකිච්චා කියන මේ නීවරණ ධර්ම පහට කියනවා අකුසල් කියලා. කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකයෙන් හටගත්ත ප්‍රීති හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මෙන්න මේ ඵල සමාධියට කියනවා රාග විරාග චේතෝ විමුක්තිය කියල. ළාමක අකුසල ධර්මයෝ මෙන්න මේ ධාතුවට පැමිණ නිරවශේෂයෙන් නිරුද්ධ වෙනවා. එයා හොඳට දන්නවා මේ රූපය, මේ රූපයේ ඇතිවීම, මේ රූප නිරෝධය, මේ රූප නිරෝධ කරන ප්‍රතිපදාව කියල හොඳට දැකලා මේ රූපය පිරිසිඳ දැකලා රූපයට මේ විදිහට හිත තබලා කාමයෙන් නිස්සරණ වියයුතුයි. කාමයෙන් මිදිය හැකියි, මිදිය යුතුයි. මේ කාමයෙන් මිදුන දවසට අකුසල ධර්මයන්ගෙන් හිත මිදෙනවා.
කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් මිදුණු තමාව දකිනකොට එයාට ප්‍රීතියක්, ප්‍රමුදිත බවක්, ඔඳ වැඩුණු බවක් ඇතිවෙනවා. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා පස්සධිය ඇතිවෙනවා. පස්සධිය නිසා හිත කය දෙක සැප සහගත වෙනවා. මේ හිත කය දෙක සැප සහගත කල්හි හිත සමාධි වෙනවා. ඒ සමාධිය විතක්ක සහිතයි, විචාර සහිතයි, ප්‍රීති, සුඛ, එකාග්ගතාවයකින් යුක්තයි. මෙන්න මෙතනට පැමිණි දවසට සියළු ළාමක අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙනවා කියල මේ රාග විරාග චේතෝ විමුක්තිය ගැන හොඳට දන්නවා. රාගය විරාග වෙනවා මෙන්න මේ ධ්‍යානයට ඇවිල්ලා එහෙම නැත්නම් කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව ලබන මෙන්න මේ සමාධියෙදී. ඒක දන්නවා නම්, හොඳට හුරු පුරුදු කරලා තියේ නම් හිතනවා නම් එයාට කවදා හරි දවසක ඒ ධාතුව උපදවා ගත හැකි. සම්පූර්ණම හිතේ තියෙන දුස්සීලකමක් තියේ නම්, රාගයක් තියේ නම්, ද්වේශයක් තියේ නම් මෙන්න මේ කෙලෙස් ටික මෙතැනට ඇවිල්ලා නිරුද්ධ වෙනවා ඉතුරු නැතුවම. ඒකට කියනවා ඵල සමාධිය කියල.
ඵල ප්‍රඥාව කියල කියන්නේ මොකේටද? අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තියට. යම් කලෙක ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන්න නාම ධර්ම ටික පිරිසිඳ දැකලා යම්කිසි කෙනෙක් මේ අවිද්‍යාව විරාග ස්වභාවයට පමුණුවලා කෙලෙසුන්ගෙන් හිත මිදෙයිද, ආස්‍රවයන්ගෙන් හිත මිදෙයිද මෙන්න මේකට කියනවා අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය කියලා. රාග විරාග චේතෝ විමුක්තිය කියල කියන්නේ අනාගාමී කෙනා, අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ රහතන් වහන්සේ නමක්, ශුෂ්ක විදර්ශක. එතකොට මෙයා මේ තැන් දෙක දන්නවා.මෙන්න මේ ටික දන්නා අය ලෝකේ ඉන්නවා. නමුත් බාහිරෙන් අපිට හොයන්න බැහැ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ටික දන්නේ නැති අයත් දන්නවා නමුත් බාහිරෙන් අපිට හොයන්න බැහැ කියල කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පුද්ගලයෝ ගැන තීරණය කරන්න එපා.
පුද්ගලයෙක් තීරණය කරනවා නම් තීරණය කරන්න සුදුසුයි මම හෝ මම බඳුම කෙනෙක්. ඒ කියන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඒ හා සමාන කෙනෙක් විතරයි සුදුසු පුද්ගලයෙක් මනින්න කියනවා. ඊට මෙහා කෙනෙක්ට මනිනවා නම් නිකමට හරි තියෙන එකම දේ තමයි ධර්මය. ඒ හැරෙන්න පුද්ගල ස්වභාවය දැකලා, බාහිර වටපිටාව දැකලා පැහැදීමවත්, අපහැදීමවත් ඇති කරගන්න එපා, ඒක හිස්, තේරුමක් නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් බලමු රාග විරාග චේතෝ විමුක්තිය ඇති කරගන්න යන ගමන් මග මොකක්ද කියල. ඊටපස්සේ අපිට පුළුවන් අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය ඇතිකරගන්නේ කොහොමද කියල බලන්න.
මතු සම්බන්ධයි.
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2017.07. 30 දින ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසන වාසි භික්ෂුන් වෙනුවෙන් පවත්වන ලද මිගසාලා සුත්‍ර දේශානාව ඇසුරෙන්
0 Comments