මිගසාල සූත්‍රය 2


මිගසාලා සුත්‍රය - 2 කොටස.

මේ ශාසනයේ පුද්ගලයෝ හත්දෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙයි. උභතොභාග විමුක්ත පුද්ගලයා, පඤ්ඤා විමුක්ත පුද්ගලයා, කායසක්‍ය පුද්ගලයා, දිට්ඨිපත්ත පුද්ගලයා, සද්ධා විමුක්‌ත පුද්ගලයා, ධම්මානුසාරී පුද්ගලයා, සද්ධානුසාරී කියල පුද්ගලයෝ හත්දෙනෙක් පෙන්නලා තියෙනවා. එයින් උභතොභාග විමුක්ත පුද්ගලයා කියල කියන්නේ දෙපැත්තෙන්ම මිදිලා. කුමකින්ද? අෂ්ඨ විමොක්ෂයන්ගෙන් - රූප ධ්‍යාන හතරත් ලබලා, අරූප ධ්‍යාන හතරත් ලබලා සමාධිය උදව් කරගෙන අෂ්ඨ විමොක්ෂයන්ගෙන්ම හිත මිදිලා ඒවගේම ආස්‍රව ධර්මයන් ක්ෂය කරගෙන ආස්‍රවයන්ගෙනුත් මනස මිදිලා. අෂ්ඨ විමොක්ෂයන්ගෙන් හා ආස්‍රව ධර්මයන් කියන මේ දෙපැත්තෙන්ම මිදුන කෙනාට කියනවා උභතොභාග විමුක්ත පුද්ගලයා කියල. පඤ්ඤා විමුක්ත පුද්ගලයා කියල කියන්නේ අෂ්ඨ විමොක්ෂයන්ගෙන් මිදිලා නැහැ. පඤ්ඤා ඉන්ද්‍රීය තීක්ෂණයි. ප්‍රථම හෝ දුතිය, තතිය ආදී ධ්‍යානයක් ලබලා ඒ ධ්‍යානය ඇසුරු කරගෙන ආස්‍රවයන්ගෙන් හිත මිදිලා. ආස්‍රව ධර්මයන්ගෙන් හිත මුදවා ගන්නවා ධ්‍යානය වශිභාවයට පත්කර නොගෙන.

හැබැයි මේ උභතොභාග විමුක්ත පුද්ගලයා හා පඤ්ඤා විමුක්ත පුද්ගලයා කියන දෙන්නා විතරයි රහත්. කායසක්‍ය පුද්ගලයා අනාගාමී හෝ වෙන්න පුළුවන්, සකෘදාගාමි හෝ වෙන්න පුළුවන්, සෝවාන් හෝ වෙන්න පුළුවන්. එයා කායාගතාසතිය මුල්කරගෙන ප්‍රතිපාදාවේ හැසිරෙන කෙනා. දිට්‌ඨප්පත්ත පුද්ගලයා කියල කියන්නේ සෝවාන් ඵලස්ථ පුද්ගලයාට. මේ දිට්‌ඨප්පත්ත පුද්ගලයා බොහෝවිට සෝවාන් වෙන්න පුළුවන්, සකෘදාගාමි හෝ අනාගාමී වෙන්න පුළුවන් පඤ්ඤා ඉන්ද්‍රීය මුල්කරගෙන ඉන්නේ. සද්ධා විමුක්‌ත පුද්ගලයා සෝවාන් හෝ සකෘදාගාමී හෝ අනාගාමී වෙන්න පුළුවන් හැබැයි සද්ධා ඉන්ද්‍රීය මුල්කරගෙන තියෙන්නේ. මේවායේ ඉන්ද්‍රීයන්ගේ නානත්වයක් තියෙයි, කෙනා කෙනා යන ගමන් මගේ නානත්වයක් තියෙයි. නමුත් යථාභූත ඥාණය එකමයි. කෙනා කෙනා යන ගමන් මාර්ගය අනුව මේ වගේ චරිත නානත්වය තියෙයි. තවකෙනෙක් ඉන්නවා සද්ධානුසාරී, ධම්මානුසාරී එයාට තියෙන්නේ "අනන්‍යාත අඤේසාමි" කියන ඉන්ද්‍රීය සෝවාන් ඵලය ලැබීම පිණිස පිළිපන්නා.

සද්ධානුසාරී පුද්ගලයා ඵලයට පැමිණුනහම සද්ධා විමුක්ත පුද්ගලයාත්, ධම්මානුසාරී පුද්ගලයා ඵලයට පැමිණුනාම දිට්ඨිපත්ත පුද්ගලයා කියල කියනවා. රාගවිරාග චේතෝ විමුක්තිය කියල කියන්නේ රාගය විරාග ස්භාවයට ගිහිල්ලා හිතේ තියෙන ආස්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදෙනවා සමාධිය මුල් කාරණාව කරගෙන නුවණින්. ඒකට කරන්න තියෙන්නේ එකම දෙයයි. රූපය පිරිසිඳ දැකීම විතරමයි. නාම ධර්ම අවශ්‍ය නැහැ. රූපය පිරිසිඳ දැකීම විතරමමයි කරන්න තියෙන්නේ අනාගාමී වෙන්න පුළුවන් රාග විරාග චේතෝ විමුක්තිය ඇතිකරගන්නවා. හැබැයි රූපය පිරිසිඳ දකින ක්‍රම දෙකක් තියෙයි. රාග විරාග චේතෝ විමුක්තිය ඇති නොවෙන විදිහටත් රූපයට හිත තබන්න පුළුවන්. එතකොට රූප භවයේ උප්පත්තිය පිණිස පවතිනවා. යම් ක්‍රමයට රූපය පිරිසිඳ දැක්කහම රාග විරාග චේතෝ විමුක්තිය ඇතිවෙනවා, අනාගාමී වෙනවා.

මේ ධර්මතාවයට හේතුව මොකක්ද සම්මා දිට්ඨිය තමන් සන්තකේ තබාගෙන සම්මා දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත ආදී මග්ග අංග පරියාපන්න වූ මාර්ග අංග ටිකෙන් යුක්ත ස්වභාවයෙන් යුක්තව රූපය පිරිසිඳ දකින්න යොමුවෙන කෙනා රූපය පිරිසිඳ දකිනකොට රාග විරාග චේතෝ විමුක්තිය සාක්ෂාත් වෙනවා. මාර්ග අංග ටික තමා සන්තකේ නැතුව යම්කිසි කෙනෙක් රූපය පිරිසිඳ දැක්කොත් ඒත් කාමයෙන් මිදෙනවා විශ්කම්භන වශයෙන් විතරයි. අකුසල ධර්මයන්ගෙන් මිදෙනවා විශ්කම්භන වශයෙන් විතරයි සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. එයා 'රූප උප්පත්තියා මග්ගං භාවෙති' රූප භවයේ ඉපදීම පිණිස මාර්ගය වඩනවා. ඒක කොච්චරක්ද කියනවා නම් කල්ප අසුහාරදාහක් යනකන් මේ කාමය මතුවෙන්නේ නැහැ, අකුසල ධර්ම මතුවෙන්නේ නැහැ. එච්චරට කෙලෙස් විෂ්කම්භනයක් කරන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ ගියත් කල්ප අසුහාරදාහකින් පස්සේ ආපහු එනවා.

රූපය පිරිසිඳ දැකලා රාග විරාග චේතෝ විමුක්තිය ඇතිකරගන්නේ කොහොමද කියන කාරණාව බලමු. ළාමක අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙන්නේ රාග විරාග චේතෝ විමුක්තියෙන්. එතැනදී රූපය පමණක් පිරිසිඳ දැක්කොත් හොඳටම ප්‍රමාණවත් කියල මම මතක් කළා. රූපය ගත්තහම "චත්තාරොච මහා භූතා, චතුන්නංච මහාභූතානං උපාදාය රූපං". යම්තාක් රූප කියල යමක් තියේ නම් මේ සියළුම රූපවල යථාර්ථය, සියළුම රූපවල මිම්ම තමයි සතර මහා ධාතු හා සතර මහා ධාතුන්ගෙන් උපාදය රූප. 'උපාදය' කියල කියන්නේ ඇසුරුකරගෙන පවතිනවා. සතර මහා ධාතුව හා සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින රූප. මෙන්න මේ රූප ටික පිරිසිඳ නොදකින තාක් ඒ රූප ටික ඇසුරු කරගෙන යම්කිසි පුද්ගලයෙක් මනසින් ඒ රූප ටිකත් එක්ක ගනුදෙනු කරයි නම් ඒ ගනුදෙනු කරන ලෝකෙට කියනවා කාම ලෝකේ කියල.

එයා පඨවිය දන්නේ නැහැ, ආපෝව දන්නේ නැහැ, තෙජෝව දන්නේ නැහැ, වායෝව දන්නේ නැහැ. පඨවිය තමන් කියල හිතනවා, පඨවියේ තව සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා කියල හිතනවා, පඨවියේ තව ආත්මයන් තියෙනවා කියල හිතාගෙන ඉන්නවා. පඨවිය ඇසුරු කරගෙන තව ආත්මයන් තියෙනවා කියල හිතනවා, පඨවියෙන් බැහැර ආත්මයන් තියෙනවා කියල හිතනවා. එහෙම හිතන්නේ සතර මහා ධාතුව පිරිසිඳ නොදන්නා නිසා, සතර මහා ධාතුව පිරිසිඳ නොදකින නිසා. රූපයේ යථාභූත ස්වභාවය ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. මේ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරෙන්. අවකාශ ධාතුවත් එක්ක පංච මහා භූත කියල කියනවා. අවකාශ ධාතුව අහුරාගෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර අවකාශ ධාතුවේ රාශිවෙලා තියෙයි. ඒ හතර හා බැඳිච්ච ගති හතරකුත් තියෙනවා වර්ණ, ගන්ධ, රස, ඕජා කියල. ඕකට කියනවා ශුද්ධාෂ්ඨකය කියල. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා.

මේ වර්ණ, ගන්ධ, රස ,ඕජා කිසිම වෙලාවක මහා භූතයන්ගෙන් වෙන්ව පවතින්නේ නැහැ. මහා භූතයන්ගේම ගුණාත්මක ධර්මතා හතරක්. "චතුන්නංච මහාභූතානං උපාදාය රූපං".මහා භූතයන්ගේ උපාදය රූප හතරක් මිසක ඒ ධර්මතා හතරෙන්ද මහා භූතයෝම දත යුතුයි. මහා භුතයෝ මේ මේ වර්ණයෙන් පෙනී සිටින්න පුළුවන්, මහා භූත ටික මේ මේ ගන්ධයන්ගෙන් පෙනී සිටින්න පුළුවන්. මහා භූත ටික මේ මේ රසයෙන් පෙනිසිටින්න පුළුවන්, මහභුත ටික මේ මේ ඕජා ගුණයෙන් පෙනී සිටින්න පුළුවන්. ඒ ධර්මතා හතරෙන්ම දත යුත්තේ මහා භූත ටිකම විනා කිසිම වෙලාවක මහා භූත ටික අත්නොහැර පවතින්නේ නැහැ. කිසිම වෙලාවක වර්ණ, ගන්ධ, රස,ඕජා කියන හතර මහා භූතයන්ගෙන් බැහැරට මහා භූතයන්ගෙන් වෙන්ව ඔසවලා ගන්න බැහැ. උදාහරණයකට කියමු වතුර බේසමකට ඡායාවක් වැටිලා තිබුනොත් අපිට ඇහෙන් ඒ ඡායාව ඕනේ නම් බලන්න පුළුවන්. වතුර මත පතිත වෙලා තියෙන ඡායාව බලන්න පුළුවන්, පේනවා. # දිට්ඨේ දිට්ඨමත්තං.

පෙනුනට, ඒ පෙනෙන දේ මහා භූත ටිකම උපාදය කරගෙන ඒ කියන්නේ වතුරම ඇසුරු කරගෙන තියෙනවා විනා මහා භූතයන්ගෙන් වෙන් කරලා ගන්න බැහැ. අත දැම්මොත් අත ගිහිල්ලා වතුරේ හැපෙනවා මිසක අල්ලන්න බැහැ. වතුර ටික එහෙමම තියෙද්දී ඡායාව විතරක් ඔසවලා ගන්න බැහැ. ඡායාව ළඟට ගන්න බැහැ, ඡායාව දුරස් කරන්න බැහැ. එහෙම නම් වතුර භාජනේත් එක්කම ඔසවන්න වෙනවා. ඡායාව පතිත වෙච්ච මහා භූත ටිකත් එක්කම එසවිය හැකි මිසක, දැන් මේ ඕගොල්ලොන්ට පෙනෙන වර්ණ සටහන මහා භූත ටික ඇසුරු කරගෙනමයි තියෙන්නේ. මේ පෙනෙන දේ කවදාවත් ඕගොල්ලොන්ට ළඟට ගන්න බැහැ. පෙනීම විතරයි, මේක දුරස් කරන්නත් බැහැ. ඕගොල්ලොන්ට දුරස් කරන්න ඕනේ නම් මේ පෙනෙන දේ පතිත වෙලා තියෙන මහා භූත ටිකම ඔසවන්න වෙනවා, මේ කයට අහුවෙන පඨවි ධාතුව එසෙව්වොත් පෙනෙන දේ එසවෙනවා වගේ, පඨවි ධාතුවම දුරස් කලොත් පෙනෙන දේ දුරස් වෙනවා මිසක මේ භෞතිකය මෙහෙම තියෙද්දී මේ පෙනෙන වර්ණ සටහන විතරක් ගන්න බැහැ.

ඒ වගේ මේ අවකාශ ධාතුව තුල රාශිවෙලා තියෙන කුමන හැඩයක් වේවා , හැම වර්ණ සටහනක්ම, හැම ගන්ධයකින්ම, හැම රසයකින්ම, මහා භූත ටිකම දත යුතුයි. සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාශිවෙලා තියෙන එක හැඩයක් මේ. එතකොට මෙන්න මේ රූපය කනබොන ආහරය නිසා හැදෙනවා කියන්නේ ආධ්‍යාත්මික ශරීරය හොඳට බලන්න බත්, පාන්, කවුපි, මුං ඇට ආදී මේ වගේ දේවල් කබලිංකාර ආහාරය. සම්පූර්ණයෙන් පොලවේ තියෙන පස් නැතුව කවුපි ගහක් පැලවෙනවද? වතුර නැතුව කවුපි ගහක් පැලවෙනවද? වාතය නැතුව කවුපි ගහක් පැලවෙනවද? උෂ්ණය නැතුව කවුපි ගහක් පැල වෙනවද? නැහැ. ඊට අමතරව අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව මේ විදිහට රාශි වෙන්න කර්මයද ප්‍රත්‍යය වුනා. ඒ කර්ම ප්‍රත්‍යයෙන් තමයි සතර මහා ධාතු රූප මිටිය මේ විදිහට අවකාශ ධාතුව තුල රාශිවුනේ. ඒකට කියනවා 'උපාදින්න රූපය' කියල.

අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව මේ ආකාරයට රාශිවෙලා තියෙයි.(වෙනත් අවිඤ්ඤාණක වස්තුවක් පෙන්වමින්) මේකට කර්ම ප්‍රත්‍යය නැහැ. ඒ නිසා මේකට කියනවා අනුපාදින්න කියල. මේ හැඩයට ඒ හැඩයට ඕනේ විදිහට ආහාරයක් තියෙයි. කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත මහා භූත රූප මිටිය පවතින්න ඒ රූපෙට ප්‍රත්‍ය වෙන විදිහට සතර මහා ධාතුව තියෙයි. නමුත් කනබොන ආහාරයෙන් හැදුනත් උපාදින්න සතර මහා ධාතුවමයි. උපාදින්න කියල කියන්නේ සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාශිවෙන්න කර්මය උදව්වෙලා තියෙයි. පඨවිය ආපෝවට. ආපෝව පඨවියට, ඒ දෙන්නා තෙජෝවට, තෙජෝව මේ තුන්දෙනාට ආදී ඔවුනොවුනට උපදින්න පවතින්න උපාකරිවෙනවා සතර මහා ධාතුව. ඊට අමතරව උපදින්න පවතින්න කර්මයත් උපකාර වෙලා තියෙනවා අවකාශ ධාතුව තුල මේ හැඩයට සතර මහා ධාතුව රාශිවෙන්න. ඒකට තමයි උපාදින්න රූපේ කියල කිවුවේ.

අපි ගස් වැල් පර්වත කියල කථා කරන අචේතනික වස්තු ගත්තහම අනුපාදින්නයි. ඒවා අනුපාදින්නයි. පඨවිය ආපෝවට, ආපොව පඨවියට, මේ දෙන්නා තේජෝවට, තෙජෝව මේ දෙන්නට, මේ තුන්දෙනා වායෝවට, වායෝව මේ තුන් දෙනාට ආදී සතර මහා ධාතුව ඔවුනොවුන්ට උපස්ථාන කරමින් අන්‍යමාන්‍යව, අන්‍යමාන්‍ය කියල කිවුවේ බට මිටි දෙකක් එකට හේත්තු කරලා තිබ්බහම මේ බට මිටිය වැටෙන්නේ නැහැ ඒ බට මිටිය නිසා, ඒ බට මිටිය වැටෙන්නේ නැහැ මේ බට මිටිය වගේ සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවතිනවා. පඨවිය නිසා ආපෝව, ආපෝව නිසා පඨවිය, මේ දෙන්නා නිසා තෙජෝව, තේජෝව නිසා මේ දෙන්නා. මේ තුන්දෙනා නිසා වායෝව, වායෝව නිසා මේ තුන්දෙනා එකක් එකකට, එකක් දෙකකට, එකක් තුනකට, දෙකක් එකකට, දෙකක් දෙකකට, තුනක් එකකට ආදී මේ ආකාරයට ඔවුනොවුනට සහ සම්බන්ධයෙන් අවකාශ ධාතුව තුල අහුරාගන මේ සතර මහා ධාතු ටික පවතිනවා.

එහෙම වෙන රූපෙට කර්මය ප්‍රත්‍ය වුනහම ඒ සතර මහා ධාතුව රාශිවෙනවා අවකාශ ධාතුවේ මේ විදිහට (ආධ්‍යාත්මික කය). මේ විදිහට රාශි වෙච්ච සතර මහා ධාතු කය එනම් රූපය ඇසුරු කරගෙන විඤ්ඤාණයට පැවතුන හැකි. එතකොට බාහිර අනුපාදින්න රූපෙට මහා භූත ටිකම ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ ඒ ධාතුව මත ඒ ඒ ආහාරය දත යුතුයි. මේ අවකාශ ධාතුව තුල රාශිවෙලා තියෙන රූපවල හැඩය හැමවෙලාවෙම ඒ වස්තුව දන්නේ නැහැ, ඒ වස්තුවට පෙන්නේ නැහැ. ඒ හැඩය පිළිඹිබු වෙන්නේ සතර මහා ධාතුවේම තවත් ඔපයක් තියෙන තැනකට විතරයි. ඒ කියන්නේ අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව මේ මේ හැඩයන්ට රාශිවෙලා තියෙනවා. කණ්නාඩියක් හෝ ඇහැක් හෝ කිසියම් වෙන ඔපවත් දෙයක් හම්බ වුනේ නැත්නම් තමන් තමන්ව දන්නේ නැහැ, මේ ඉදිරියෙන් තියෙන හැඩ සටහන කණ්නාඩියක් තිබ්බොත් ඒකට පතිත වෙයි. වීදුරුවක් තිබ්බොත් ඒකට පතිත වෙයි.

යම්කිසි මහභුතයන්ගේ ඔපවත් බව තියෙන තැනක මේ වස්තු පිළිඹිබු වෙනවා, උදුරලා ගත්ත හැකි. අපි උදාහරණයකට කිවුවොත් ඔගොල්ලොන්ගේ ශරීරයේ බර ඕගොල්ලොන්ට දැනෙනවද? දැනෙන්නේ නැහැ. ඔගොල්ලොන්ගේ ශරීරෙ බර දැනෙන්නේ අනික් කෙනෙක් ඇවිල්ලා ඉස්සුවොත් එයාගේ අතට නේද? සමහරවිට ඔගොල්ලොන්ව කිරුවොත් බර කිලෝ හැටක් විතර ඇති. තමන්ට තේරෙනවද තමන් කිලෝ හැටක් විතර බරයි කියල. හැබැයි තව කෙනෙක් ඔගොල්ලොන්ව වඩා ගත්තොත් එයාට තේරෙනවා බරයි කියල. තමන්ගේ බර තේරෙන්නේ තව කෙනෙකුගේ දෑතට මිසක තමන්ට තේරෙන්නේ නැහැ. ඒ වගේ රූපයේ ගතිය හැම වෙලාවේම මහා භූතයන්ගේ උපාදය රූපය, අපි කියමු වර්ණ රූපය නම් ඒ ඔපවත් කම පිළිඹිබු වෙන්නේ මහාභුතයන්ගේ තවත් ඔපයක් තියෙන තැනකටමයි. වර්ණ සටහන පිළිඹිබු වෙන්නේ මහා භූතයන්ගේ තවත් ඔපවත්කම තියෙන තැනකට මිසක ඒ මහා භූතයන් ඒ තමන්ගේ හැඩය කියල දන්නේ නැහැ, එයා එයාගේ හැඩය දන්නේ නැහැ.

මතු සම්බන්ධයි.

මේ සඳහම් ලිපිය බෙදා හැරීමට හෝ කියවීමට ඇවැසි පිංවතුන් 0725400094 අංකයට වටස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.

දිනපතා මෙවැනි ලිපි කියවීමට ඇවැසි ඇත්තෝ වෙතොත් අපගේ සඳහම් සමූහයට එක් වන්න

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu

පසුගිය ලිපි කාණ්ඩ වශයෙන් පරිශීලණය කිරීමට පිවිසෙන්න

pansilmaluwa.lk

Post a Comment

0 Comments