ගිරිමානන්ද සූත්‍රය - අනිච්ච සංඥාව 16
♦️ විඤ්ඤාණ ඨිති
තවත් පැත්තකින් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ ස්කන්ධ වලට කියනවනේ විඤ්ඤාණ ඨිති කියලා. විඤ්ඤාණ ඨිතියක් ලෙස සැලකීමේ දී වේදනාවත් අයිති වෙනවා. වේදනාව නැවත පවරා දෙනවා නම් රූපය පැත්තට, ශබ්දය, ගන්ධය, රසය, ඵොට්ඨබ්බය කියන දේවල් පැත්තට, අන්න එතනත් වේදනාව; රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ඵොට්ඨබ්බයෙන් එන වේදනාවක් ය කියලා ඔබට වේදනාව පිළිබඳව වර්ගීකරණයක් තියෙනවා.
වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක් යැයි දකින්නේ නැත්නම් ඔබට ඒ වේදනාවට අයිති ස්වාමීත්වයක් තියෙන තැනක් හම්බ වෙනවා මෙන්න මේ දේ තුළින් තමයි මේ වේදනාව ආවේ කියලා. ඒ කියන්නේ එවිට විඤ්ඤාණය වේදනාව නිශ්‍රය කර ගෙන තියෙනවා. විඤ්ඤාණය වේදනාව නිශ්‍රිත කර ගෙන පවතින කොට එනම් වේදනාවට අනුරූපව විඤ්ඤාණය පවතින කොට අන්න ඒ වේදනාව පිළිබඳව එතන තියෙනවා නොදන්නාකම. ඇයි? ස්පර්ශය නිසා හට ගත්තා කියලා දන්නේ නැහැ. ඔබ වේදනාවේ පැවැත්මක් පිළිබඳව කල්පනා කරනවා. ඒ වේදනාව තියෙන්නේ මේ මේ දේවල් මතයි කියලා ඔබ ඒ වේදනාව බාහිර ආයතනයන් පැත්තට නැඹුරු කරලා දකිනවා. එතකොට ඒ වේදනාව විඤ්ඤාණයෙන් නිශ්‍රිත කර ගන්නට හේතු වෙනවා ඒ විදිහට බාහිරට පතිත කරලා බලනකම.
ටෝච් එළියක් අපිට පේන්නේ යම් පෘෂ්ඨයකට පතිත වුනහම නේ. ඒ ආලෝකය යම් පෘෂ්ඨයක් මතට පතිත වෙන්නේ නැත්නම්, ඒ පතිත නොවන දේ ඔබට දකින්න පුළුවන්කමක් නැහැනේ. ඔබට දකින්න පුළුවන්කම තියෙන්නේ යම් තැනකට ඒ ආලෝකය පතිත වුණොත් විතරයි. අපේ අද තියෙන මනෝ භාවයත් ඒ වගේ. ඇත්තට ම අද අපිට තියෙන්නේ බාහිර නාමරූපයට පතිත කරලා බලනකමක්. ලේසර් ටෝච් එළියේ කතාවේ වගේ බාහිර මතුපිටකට පතිත වුණහම ඒ ආලෝකය පේනවා වගේ තමයි කර්ම විඤ්ඤාණයට පතිත වෙන්න තැනක් ලැබුණොත්, කර්ම විඤ්ඤාණයට යම් තැනක පිහිටා සිටින්න තැනක් ලැබුණොත් තමයි ඒක අපිට ප්‍රකටව පෙනෙන්නේ. අද අපිට වේදනාව ප්‍රකටව පේන්නේ ඒ වේදනාවට අයිති රූපාදී ධර්මත් එක්ක. එවිට විඤ්ඤාණය වේදනාව නිශ්‍රය කර ගෙන පවතින්නේ. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් විඤ්ඤාණයට වේදනාව නිශ්‍රිත කර ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
වේදනාව නිශ්‍රිත නොවන තැනට අපි පත් වෙන්නට නම්, වේදනාවේ තියෙන යථා ස්වභාවය අවබෝධ කර ගන්නට අවශ්‍යයි. ඒ යථා ස්වභාවය අවබෝධ කර ගන්නට අවශ්‍යයි කියන තැන ම තියෙනවා අයථා ස්වභාවයකුත් තියෙනවා කියන එක. ඒක තමයි අවිද්‍යාව (නොදන්නාකම) කියලා කියන්නේ. “අවිජ‍්ජාසමුදයා වෙදනාසමුදයො” කියලා කියන්නේ අවිද්‍යාව නිසා වේදනාව හට ගන්නවා කියන කොට අවිද්‍යාව නැමති නොදන්නාකම හේතුයි, නොදන්නාකම ප්‍රත්‍ය වෙලා තියෙනවා අපිට වේදනාව ඇසුරු කරන්න පුළුවන්කම හදලා දෙන්න.
එතන අවිද්‍යාව වගේ ම කර්මය තියෙනවා. වේදනාව වෙතට විඤ්ඤාණය නැඹුරු වෙන කොට ඒක කුසල හෝ අකුසල වශයෙන් ඒ පිළිබඳව කර්මාභියූහනයක් තියෙනවා. එනම් කර්ම රැස් කර ගැනීමක් තියෙනවා. ඒ වගේ ම ඒ වේදනාව පිළිබඳව පවත්නා තෘෂ්ණාව තියෙනවා. සැප වේදනාවක් නම් සැපය පිළිබඳ පවත්නා තෘෂ්ණාවක්, දුක් වේදනාව පිළිබඳව පටිඝය වුණත් ස්කන්ධ ටිකට යෙදෙන තෘෂ්ණාව හෝ එතන නියෝජනය වෙනවා.
අවිද්‍යා, කර්ම, තණ්හා කියන මෙන්න මේ හේතු ටික යෙදුණු තැනක ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව ඔබට නැවත නැවත ඇසුරු වෙමින් පවතිනවා. ඒ නිසා මෙන්න මේ කාරණාව ඔබ නැවත නැවතත් හොඳින් තේරුම් ගන්නට ඕනේ. අපි පරියායන් දෙකකින් කතා කළා.
1️⃣ මුලින් ම අපි දැක්කා අවිද්‍යා කර්ම, තණ්හා කියන හේතු ටික වේදනාවේ හට ගැනීමට අදාළ කර ගත්තේ ප්‍රධාන වශයෙන් ම පුරාණ හේතු ටික වශයෙන්. එනම් මේ උප්පත්ති භවය සැකසෙන්නට හේතු වුණ පුරාණ හේතු ටික පැත්තෙන්.
2️⃣ ඊට පස්සේ අපි වර්තමානයේ හට ගන්න ස්පර්ශයේ ඇත්ත ඇති හැටිය නොදකින කම නිසා වර්තමාන අවිද්‍යා, කර්ම, තණ්හා මූලික කර ගෙන කතා කළා.
එතකොට අපිට පේනවා වේදනාව හේතු නිසා සකස් වෙන ධර්මයක්. ඒ වගේ ම මේ හේතු නැති වෙන කොට වේදනාව නැති වෙලා යනවා කියන දේ. වේදනාව මේ මොහොතේ හේතු නිසා හට ගෙන මේ මොහොතේ ම නැති වෙලා යන දෙයක් හැටියට දකින කොට අපිට වේදනාව පිළිබඳව අනාගතේට යම් නිමිති ගොඩ නගා ගන්නට තියෙනවා නම්, එබඳු වූ දේවලුත් අපිට නැති වෙලා යනවා. ඒ නිසා අවිද්‍යාවගේ නිරෝධයෙන් ම වේදනාව නිරුද්ධ වෙනවා කියල කියනවා. කර්මයේ නිරෝධයෙන් ම වේදනාවේ නිරෝධය වෙනවා. තණ්හාවගේ නිරෝධයෙන් ම වේදනාවේ නිරෝධය වෙනවා. ස්පර්ශයේ නිරෝධයෙන් ම වේදනාවේ නිරෝධය වෙනවා.
ස්පර්ශ නිරෝධය වර්තමානය තුළ සාක්ෂාත් කළ හැකි දෙයක්. එවිට අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික උපදින්නේ නැතුව යනවා. එතකොට අනාගතේට එබඳු වූ වේදනාවගේ ප්‍රතිලාභයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ස්පර්ශය පිරිසිඳ දැකීම තුළ ඔබට වේදනාවෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ‘ඉති වෙදනා’ කියන කොට මූලික ලෙස ම ඔබ වේදනාව හඳුනා ගත යුතුයි. ‘ඉති වෙදනාය සමුදයො’ කියන කොට වේදනාව හට ගත්ත ආකාරය ගැන කතා කරන කොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව පිළිබඳව ඔබ අවබෝධ කර ගත යුතුයි.
ඒ වගේ ම ‘ඉති වෙදනාය අත්‍ථගමො’ - මේ වේදනාවේ අස්ථඞ්ගමය කියලා කියන්නේ ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයට පත් වීමයි කියන එක ගැන ඔබ තේරුම් ගත යුතුයි. මෙන්න මේ විදිහට ඔබ වේදනාව පිළිබඳව තේරුම් ගන්න කොට ඔබට පේනවා වේදනාව නිත්‍ය වූ දෙයක් නෙමෙයි. වේදනාව අනිත්‍ය වූ දෙයක්. වේදනාව හේතු නිසා සකස් වූ සංඛත ලක්ෂණයන්ගෙන් යුක්ත දෙයක්. එය විපරිණාමයට පත් වෙන දෙයක්. මේ මොහොතේ හට ගත්ත දේ ඊළඟ මොහොතේ එන්න පුළුවන්කමක් නැහැ. වේදනාව මොහොතින් මොහොතට හටගෙන නැතුව යන දෙයක්. මේ විදිහට ඔබට වේදනාව පිළිබඳව හොඳින් නුවණින් කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා.
වේදනාව පිළිබඳව ඔබ දක්වන මේ සංඥාවට කියනවා අනිත්‍ය සංඥාව කියලා. අර රූපය ගැන කතා කළා වගේ ම දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහට වේදනාව පිළිබඳවත් අනිත්‍ය අනුව දකිමින් වාසය කරන්නට. ඒක අනිත්‍ය සංඥාවට අයිතියි. මේ විදිහට වේදනාව පිළිබඳව අනිත්‍ය අනුව දකිමින් වාසය කරන කොට ඒ පිළිබඳව දේශනා කරනවා “සබ‍්බං කාමරාගං පරියාදියති” සියලු කාම රාගය දුරු කරනවා. “සබ‍්බං රූපරාගං පරියාදියති”, සියලු රූප රාගය ඔහු දුරු කරලා දානවා. “සබ‍්බං භවරාගං පරියාදියති”, සියලු භව රාගය ඔහු දුරු කරලා දානවා. ඒ වගේ ම “සබ‍්බං අවිජ‍්ජං පරියාදියති”, සියලු අවිද්‍යාව දුරු කරලා දානවා. “සබ‍්බං අස‍්මිමානං පරියාදියති සමූහන‍්ති”. අස්මිමානය නම් ‘වෙමි’ කියන හැඟීම දුරු කරලා දානවා.
ඔබ හැමදාම සැප වේදනාවට තමයි තණ්හා කරන්නේ. ස්පර්ශය නිසා වේදනාව ඉපදුණා කියලා අපි හොඳින් තේරුම් ගත්තොත්, වේදනාවේ ඇති වීම සහ නැති වීම දැක්කොත් අපිට පේනවා වේදනාව පිළිබඳව අපිට සතුටු වෙන්න තැනක් නැහැ නේද කියලා. ඇයි? වේදනාව හේතු නිසා සකස් වෙන දෙයක් නිසා. ඒ සංඛත ලක්ෂණය දකින කොට වේදනාව පිළිබඳව පිහිටා සිටින මනෝභාවය අපිට නැහැ. එතකොට වේදනාවෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා.
එතකොට එතන කාම රාගයට ඉඩ නැහැ. කාමයෙන් ඇලෙන්න තැනක් ලෝකය තුළ හම්බ වෙන්නේ නැති නිසා. එයා වේදනාව කියන එක සත්ව පුද්ගල ප්‍රඥප්තිය අනුව දකින්නේ නැහැ. එයාට හම්බ වෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා. එතකොට එයාට ඒ වේදනාව පේන්නේ නැහැ ලස්සන රූප පැත්තේ තියෙනවා කියලා. මිහිරි ශබ්ද ඇතුළේ තිබිලා තමයි වේදනාව එන්නේ කියලා එයා හිතන්නේ නැහැ. එයා ස්පර්ශය නිසා ඇති වන වේදනාව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ පැත්තට දාලා බලන්නේ නැහැ. අන්න එහෙම මෝඩකමක් නොකර ඉන්න කොට එයා වේදනාවෙන් මිදෙන තැනකට පත් වෙනවා. වේදනාව දුරු කරන තැනකට පත් වෙනවා.
අන්න ඒ වේදනාව දුරු කරන තැනකට පත් වෙන කොට මේ අනිත්‍ය සංඥාව දියුණු කිරීම තුළින් එයා ලබලා තියෙනවා “සබ‍්බං කාමරාගං පරියාදියති” කියන මට්ටම. “සබ‍්බං රූපරාගං පරියාදියති” කියලා කියන්නේ රූප රාගය දුරු කරනවා කියන එක. ඒ වගේ ම “සබ‍්බං භවරාගං පරියාදියති”. ඒ කියන්නේ ලෝකය පවතිනවා කියලා ගත්ත භව රාගය දුරු කරනවා කියන එක. ඉතින් මෙන්න මේ විදිහට සියලු කෙලෙස් නසන්නට ඔහුට පුළුවන්කම තියෙනවා මේ දර්ශනය තුළ. ඒ නිසා ඔබත් අප්‍රමාදීව මේ දැක්ම සඳහා උත්සාහවත් වන්නට කියලා ඔබට බොහො ම කල්‍යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා.
මතු සම්බන්ධයි
හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021- 03- 21 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් අනිත්‍ය සංඥාවට අදාළව පවත්වන ලද හතරවන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments