සමථ විපස්සනා 1



සමථ විපස්සනා 1
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
"කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා.
යොධෙථ මාරං පඤ්ඤායුධෙන ජිතඤ්ච රක්ඛෙ අනිවෙසනො සියා"
සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වත් සිල් මෑණිවරු ඇතුළු ශ්රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි,
මේ පින්වත් සියලු දෙනාම අද පුර පසළොස්වක පොහොය දවසේ ගෙවල් දොරවල්වල නොයෙක් කටයුතු කාරණා තිබුනත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තමන්ට සාංසාරික විමුක්තිය ළඟා කරගන්නට අවැසි ධම්මානුධම්ම ප්රතිපත්තියේ හැසිරෙන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙන තුනුරුවන් කෙරෙහි සැදැහි සිත් ඇති කරගෙන මේ සේනාසනයට පැමිණිලා පෙහෙවස් සමාදන් වෙලා දැන් මේ සුදානම් වෙන්නේ ඒ ප්රතිපත්ති ධර්මය පූරණය කිරීමට අවශ්යවන ධර්ම අවවාදයක්, ධර්මානුශාසනාවක් ශ්රවනය කරන්නට.
ඒ නිසා හැමදෙනාටම මුලින්ම මතක් කරනවා අද මම කියලා දෙන්න හදන ටික ඔගොල්ලොන්ගේ ජීවිතයට අතිශයම වටිනා, ගොඩාක්ම වටිනා ටිකක්. ගොඩාක් කාලෙක ඉඳන් මේ පින්වතුන් බණ දහම් අහනවා, භාවනා ක්රමත් නොයෙක් නොයෙක් විදිහට පුරුදු පුහුණු කරනවා.
ඒ අතර අපි බලාපොරොත්තුවෙන ඒ විමුක්තිය කරා යන්නට, බෙහෙවින්ම බ්රහ්මචරියාවට උපකාරවන ප්රතිපදාව ගැන පැහැදිලි කරලා දෙන්න, එහෙම නැතිනම් භාවනා කරන ආකාරය කොහොමද කියන එකයි අද දවසේදී ගොඩාක්ම පැහැදිලි කරලා දෙන්න හදන්නේ.
~~ දර්ශනාත්මක පැතිකඩ ~~
මොකද, දර්ශනාත්මක පැත්ත අපි නිතරම කතා කරලා තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන බාහිර ආයතන හයේ තියෙන්නේ සත්ව පුද්ගල ආත්මභාවයෙන් තොර සුඤ්ඤතාවයක්. නමුත් ඒ අරභයා සත්ව පුද්ගල ආත්ම සංඥාවක් මනස තුල හදාගෙන අපි මේ සත්ව පුද්ගලභාවයේ පැටලිලා ජරාමරණ දුක් විඳින පැවැත්මක් ඇතිකර ගෙන තියෙන්නේ.
ඉතින් ඒ ස්පර්ශ ආයතන හය පිරිසිඳ දැකපු දවසට මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් විදිහේ දැක්මක්, දර්ශනයක් අපි හැමෝම අහලා තියෙනවා. ඉතින් ඒ දර්ශනයට ළං වෙන්න අවශ්ය ප්රතිපදාවේ කරුණු ටිකක් තමයි අද දවසේදී මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.
~~ සද්ධර්ම ශ්රවනයේ ආනිසංස ~~
ඉතින් ඒ නිසා එක පදයක් පදයක් අහක යන්න නොදී ඉතාමත්ම උවමනාවෙන් ශ්රවනය කරන්නට ඕනේ. විශේෂයෙන්ම සද්ධර්ම ශ්රවනය කියලා කියන්නේ භාවනාමය ආනිසංසයක්. බණ අහනකොට තියෙන්නේ භාවනාමය ආනිසංසයක් කියලා කියන්නේ ඇයි?
• භාවනා කරන්න නොදන්නා කෙනාට ඒ මොහොතට භාවනා කරවනවා වගේ දෙයක්.
• නැවතත් භාවනා කරන්න හොඳ දැනුමක්, දැක්මකුත් ඇතිවෙනවා.
ඒ වෙලාවට සම්පුර්ණ කාමඡන්ද, ව්යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහම නැහැ. ඒවගේම විතක්ක, විචාර, ප්රීති, සුඛ, ඒකග්ගතා කියන ධ්යාන අංග පහම ඒ වෙලාවට තියෙනවා. හොඳට සකසා කන් යොමු කරලා බණ අහනකොට නීවරණ ධර්මතා පහ නැහැ, ධ්යාන අංග පහම ඒ වෙලාවේදී ඒ කුසල චිත්තයේ ඉපදිලා තියෙනවා. ඒ සිත ප්රභාශ්වරයි.
හරියට සුදු රෙද්දකට මොනවා හරි කසට ටිකක් අපි පෙගෙව්වොත් මනා සේ ඒ කසට අල්ලගන්නවා වගේ, හොඳට කන් යොමු කරලා, හිත යොමු කරලා, ශ්රද්ධාවෙන් අහනකොට මේ දහම් කරුණු හොඳට ඒ සිතේ ධාරණය වෙනවා. ඒ ධාරණය වෙනවා කියන්නේ ඒ ගැන දැනුමක්, මතකයක් හිටිනවා.
ඒ ඉගෙන ගත්ත, ඒ දැනගත්ත දහම් කරුණු වලට අනුව ජීවිතය හදාගන්න පුළුවන්, නැත්නම් ඒ අනුව ප්රතිපත්තියේ හැසිරෙන්න පුළුවනි. ඉතින් ඒ නිසා එබඳු වටිනා අර්ථයක් සිද්ධ කරලා දෙන ධර්මතාවයක් තියෙන්නේ සකසා සද්ධර්ම ශ්රවනය කිරීම තුලින්. ඒ නිසා නැවතත් මතක් කරනවා හොඳට අහන්න කියලා.
~~ නිදාන කතාව ~~
මේ මං මාතෘකා කළ ගාථාව තියෙන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්රිපිටක ධර්මයේ ඛුද්දක නිකායේ ධම්මපදපාළියේ චිත්ත වග්ගයේ. බුදුරජාණන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ විදර්ශනා භාවනාව පුරුදු පුහුණු කරන, විදර්ශනා භාවනාව වඩන භික්ෂුන් වහන්සේලා පන්සියයක් දෙනා වහන්සේලා අරමුණු කරගෙන තමයි තථාගතයන් වහන්සේ මේ ගාථාව දේශනා කරලා තියෙන්නේ.
මේ භික්ෂුන් වහන්සේලා පන්සීය නම බුදුරජාණන් වහන්සේගෙන් ආදිමය ඉඳලා අරිහත්වය දක්වාම කමටහනක් ඉගෙනගෙන ඈත ප්රදේශයකට ගියා වස් වසන්න කියලා. යොදුන් සියයක් විතර ඈත පිටිසර ගමකට යනකොට ඒ ගම්වැසි අය මේ ස්වාමීන් වහන්සේලා එනවා දැකලා ඉස්සරහට ගිහිල්ලා වන්දනා කරලා "ස්වාමීනි, කොහෙද වඩින්නේ?" කියලා ඇහුවා.
"පින්වතුනි, අපි මේ වස් තුන් මාසයේ වස් සමාදන් වෙන්න තැනක් හොයමින් තමයි වඩින්නේ" කියලා මේ ස්වාමීන් වහන්සේලා වදාළ. ස්වාමීනි, මේ ළඟපාත විශාල වන ලහැබක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා මේ වන ලැහැබේ වස් තුන් මාසේ අපි වෙනුවෙන් අනුකම්පාවෙන් වස් වසන්න. අපි ස්වාමීන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන්නම් කියලා ඒ ගම්වැසි අය පොරොන්දු වුනා.
පොරොන්දු වෙච්ච පරිදි ඉතින් මේ භික්ෂුන් වහන්සේලා වෙන කොහෙවත් යන්නේ නැතුව මේ ගම ඇසුරු කරගෙන තියෙන මේ කැලෑබද ප්රදේශයේ වස් සමාදන් වෙන්න අධිෂ්ඨාන කරගත්තා. ඔක්කොම එකට එකතුවෙලා කතිකා කරලා වස් සමාදන් වුනා.
ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම බොහොම සිල්වත්. ඒවගේම ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේලා නිස්සරණ අධ්යාශයෙන් සසර පරතෙරක් දකින්නට ඕනේ, මේ දුක් සහගත පැවැත්ම අවසන් කරන්නට ඕනේ කියන එකම හිතක ඉන්න ස්වාමීන් වහන්සේලා පන්සියයක්.
ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කැලයට ආපු වෙලාවේ ඉඳන් ඒ කැලේ ඉන්න වෘක්ෂ දේවතාවෝ, ඒ දේවතාවන්ගේ දරුවන්ටයි ගස් උඩ ඉන්න බැහැ, අමාරුයි මේ ස්වාමීන් වහන්සේලාගේ තේජස නිසා. ඉතින් ගස් වලින් බිමට බැහැලා දෙවියෝ කල්පනා කරනවා, "කමක් නැහැ, අද ඉඳලා හෙට මේ ස්වාමීන් වහන්සේලා වඩිවි" කියලා හිතලා දවසක් හිටියා. පහුවදා ස්වාමීන් වහන්සේලා ගමට පිණ්ඩපාතයේ වැඩලා ආපහු මේ කැලයට ආවා. දෙවෙනි දවසෙත් මේ කැලයෙන් ගියේ නැහැ.
සමහරවිට ඊගාව දවසේ දානයකට නිමන්ත්රණය කරන්න ඇති, ඒ හින්දා තමයි අද මේ ආපහු වැඩලා තියෙන්නේ, එහෙනම් ඊගාව දවසේ මේ කැලයෙන් යයි කියලා හිතුවා. ඊගාව දවසෙත් ගියේ නැහැ. මේ විදිහට අඩමසක් (සති දෙකක්) පමණ වෙනවා භික්ෂුන් වහන්සේලා වනයෙන් යන බවක් පේන්නේ නැහැ.
අර වෘක්ෂ දේවතාවෝ කල්පනා කෙරුවා, තමන්ටත්, දරුවන්ටත් හැමදාම බිම ඉන්නත් බැහැ. මේ හාමුදුරුවරු ඉන්නකොට ගස්වල ඉන්නත් බැහැ. අපි මොකක් හෝ උපායක් යොදලා මේ හාමුදුරුවෝ ටික එලවමු කියලා. ඉතින් මේ දෙවිගොල්ලෝ විසින් නොයෙක් නොයෙක් අමනුස්ස ශබ්ද ඇති කෙරුවා. ඒවගේම හිස නැති මළ කඳන්, කඳන් නැති හිස් සක්මන් කෙලවර තියෙනවා පෙනෙන්න සැලැස්සුවා. ඒවගේම ස්වාමීන් වහන්සේලාට කැස්ස ආදී නොයෙක් නොයෙක් ලෙඩ හැදෙව්වා.
ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කතාවෙලා, "අනේ අපිට නම් මෙතන ඉන්නට බැහැ ආපහු යමු" කියලා පන්සියයක් දෙනා වහන්සේලාම තමන්ගේ පාත්ර සිවුරු අරගෙන ආපහු සැවත් නුවරට වැඩියා. භාග්යවතුන් වහන්සේ අහනවා, "ඇයි මහණෙනි නුඹලා ආපහු ආවේ"? "අනේ, ස්වාමීනි ඒ ස්ථානයේ හිත වැඩෙන්නේ නැහැ, හිත සමාධි කරන්න හරිම අමාරුයි. හරියට අමනුස්ස උපද්රවත් තියෙනවා, ඒ නිසා ලෙඩ රෝගත් තියෙනවා. ඒ නිසා අපේ හිත සමාධි වෙන්නේ නැහැ, අපහසුයි" කිව්වා.
ඊටපස්සේ භාග්යවතුන් වහන්සේ වදාරණවා, " මහණෙනි, නුඹලා එතනටම තමයි යන්න ඕනේ, ඔගොල්ලොන්ගේ ජය භූමිය එතන. ඔයගොල්ලොන්ට ඔය ප්රශ්නය වුනේ ඕගොල්ලෝ ආයුධ අතේ නැතුව යන එක. ඒ නිසා ආයුධ අතේ තියාගෙන යන්න" කියලා, අර මං මුලින් සදහන් කරපු ගාථාවෙන් අවවාද කරලා, ඊටපස්සේ හොඳ ආයුධයක් දුන්නා කැලෑවට ඇතුළු වෙන්න ඉස්සෙල්ලා දොර ගාව ඉඳලා මෙන්න මේක සජ්ජායනා කරලා යන්න කියලා "කරණීය මෙත්ත සූත්රය" ඉගෙන්නුවා.
"කරණීයමත්ථකුසලෙන යං තං සන්තං පදං අභිසමෙච්" කියන කරණීය මෙත්ත සුත්රයත් උගන්වලා භික්ෂුන් වහන්සේලා පන්සියයම ආපහු එතනටම යැව්වා. ඉතින් භික්ෂුන් වහන්සේලා කැලේට ඇතුළු වෙන්න ඉස්සෙල්ලාම කරණීය මෙත්ත සුත්රය සජ්ජායනා කළා. කරණීය මෙත්ත සුත්රය සජ්ජායනා කරනකොට ඒ සුත්රයේ කෙළවරට තියෙන මෛත්රි කරුණුවල ආනිසංසයට අර දෙවිගොල්ලෝ බොහොම සුහද ස්වභාවයට පත්වෙලා නොයෙක් මනුස්ස වේශයන් මවාගෙන ඉදිරියට ඇවිත්,
"ස්වාමීනි වැඩ ඉන්න" කියලා, මේ ස්වාමීන් වහන්සේලාව වඩම්මවා ගෙන ඇවිල්ලා දිවා ස්ථාන, රාත්රී ස්ථාන, සක්මන් මළු හදලා දුන්නා. ඉතින් භික්ෂුන් වහන්සේලාත් වස් තුන් මාසේ බොහොම හොඳට තථාගතයන් වහන්සේ ගාථාවෙන් පෙන්වා දුන් ආකාරයට භාවනා කළා.
~~ බිඳෙන මැටි කළයක් බඳු කය ~~
භාවනා කරලා වස් කාලේ අන්තිම කාලේ වෙනකොට හිත සමාධි වුනා. ඔය ගාථාවේ තියෙන "කුම්භූපමං කායමිමං විදිත්වා", කියලා 'කය බිඳෙන මැටි කළයක් බඳුයි' කියන එක අරමුණු කරලා විදර්ශනා කරන්න පටන් ගත්තා භික්ෂුන් වහන්සේලා. විදර්ශනා කරනකොටම භාග්යවතුන් වහන්සේ හරියට ළඟ ඉන්නවා වගේ ජේතවනාරාමයේ ඉඳලා මනෝමය කයකින් පෙනී ඉඳලා මේ ස්වාමීන් වහන්සේලාට,
"මහණෙනි, එය එසේමයි, මේ කය ඉතාමත් අස්ථිරයි. හරියට බිඳිලා යන මැටි කළයක් බඳුයි" එය එසේමයි කියලා භාග්යවතුන් වහන්සේ අනුමත කළා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ විදිහට විදසුන් වඩලා ඔක්කොම රහත් භාවයට පත්වුණා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා පන්සීය නමකට දහම් මාර්ගය වඩාගන්න තථාගතයන් වහන්සේ අවවාද කළ ගාථාවක් තමයි මම අද මේ පින්වතුන්ට, ප්රතිපදාව පිරීම සදහා මාතෘකා කළේ.
ඒකෙන් පෙන්වන්නේ,
"කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා.
යොධෙථ මාරං පඤ්ඤායුධෙන ජිතඤ්ච රක්ඛෙ අනිවෙසනො සියා"
•• "කුම්භූපමං කායමිමං විදිත්වා" - මේ කය බිඳෙන මැටි කළයකට බඳු උපමා තබාගන්න.
•• "නගරූපමං චිත්තමිදං ඨපෙත්වා" - මේ සිත නගරයකට උපමා තබාගන්න.
•• "යොධෙථ මාරං පඤ්ඤායුධෙන" - ප්රඥාව නැමති ආයුධයෙන් දැන් මාරයාට පහර දෙන්න.
•• "ජිතඤ්ච රක්ඛෙ අනිවෙසනො සියා" - අන්න ඒ විදිහට පහර දෙනකොට ඇතිවෙනවා සමාධියක්, ඒවගේම තරුණ විදර්ශනාවක්. අන්න ඒ විදර්ශනාව හොඳට රැකගන්න, ඒ වැඩෙන ගුණ ධර්මයන්ගෙන් හිතට දැනෙන සතුටේ, සැහැල්ලු බවේ ඇලෙන්නේ නැතුව නැවත නැවත ඒ සමාධියට සමවැදෙමින් එය ආරක්ෂා කරගන්න කියන එක තමයි ඒ ගාථාවේ තේරුම.
අපි දැන් බලමු, 'කය මැටි කළයකට බඳු ව', 'හිත නගරයකට බඳු' උපමා තබාගෙන ප්රඥාව නැමති ආයුධයෙන් මාරයාට පහර දෙන්නේ කොහොමද, නැත්නම් අපි ප්රතිපදාව පුරන්නේ කොහොමද කියලා.
~~ හිත රක්ෂිත නගරයකට උපමා කොට ~~
අපි ඉස්සෙල්ලාම ගමු, "නගරූපමං චිත්තමිදං ඨපෙත්වා" - මේ හිත රක්ෂිත නගරයකට උපමා කොට තබාගන්න කියලා කියනවා. ඒකෙන් කියන්නේ නගරයක් වුනහම හොඳට ආරක්ෂා සංවිධානය කරන ලද, හැම ආකාරයකින්ම සතුරන්ට එන්න නොදෙන විදිහට රැකවල් යොදපු, ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වුනහම නගර වටේ ප්රකාර බැඳලා, දිය අගල්, මඩ අගල් තනලා පිටතින් සතුරැ ආක්රමණ එන්න නොදී දොරටු ගාව හොඳ දක්ෂ ව්යක්ත පණ්ඩිත දොරටුපාලකයෝ ඉන්නවා.
දන්නා හඳුනන අය නගරයට ඇතුළු කරන, නොදන්නා නොහදුනන අය ඇතුලට නොගන්නා විදිහේ දොරටු පාලකයෝ තබලා තමයි තියෙන්නේ. නගරයට ඇතුළු කරගන්නේ රජ්ජුරුවන්ට හිතෙෂි නගරය තුල වාසය කරන නිතරම දන්නා හඳුනන දැකලා හුරුපුරුදු අය. නොදන්නා නොහඳුනන කෙනෙක් ආවොත් එක පාරට නගරයේ ඇතුලට ගන්නේ නැහැ.
ඒ වගේ යම්ම කෙනෙක් නගරයේ ඇතුලට ගන්නවා නම් හොඳට හොයලා බලලා තමයි ගන්නේ. අන්න ඒ විදිහට මේ හිත හොඳ රක්ෂිත ස්ථානයක තබාගන්න කියනවා. රැකවල් යොදපු, ආරක්ෂා සංවිධානය කළ, හොඳ දක්ෂ ව්යක්ත පණ්ඩිත දොරටුපාලයෝ ඉන්න නගරයක් බඳුව හිත තබාගන්න කියනවා ඉස්සෙල්ලාම.
ඒකෙන් කියන්නේ තමන්ට, තමාගේ ගුණ ධර්ම වලට හානි පමුණුවන විදිහේ සතුරු සේනාවන් බඳු අකුසල ධර්මයන්ට එන්න නොදෙන විදිහට තමන්ට, තමන්ගේ රජයට හිතෙෂි අයට එන්න පුළුවන් වගේ, තමන්ට, තමන්ගේ සිය අර්ථයට උදව් උපකාර කරන කුසල සහගත අරමුණු වලට එන්න දෙන විදිහටත්, හොඳට සිහිය නැමති දොරටුපාලයා ඉස්සෙල්ලා තබාගන්නට ඕනේ.
~~ ඇයි අපිට ඇත්ත පේන්නේ නැත්තේ ~~
එසේ සිහිය තබාගෙන මේ හිත රැකගන්න ඕනේ. ඒක කරන ආකාරයන් රාශියක් තියෙනවා. මං කාරණා කිහිපයක් මතක් කරන්නම්. මෙතැනදී ඇත්ත ඇතිහැටිය දකින්නට අපිට බැරිවෙලා තියෙන්නේ මනස ආවරණය කරගෙන තියෙන ආවරනීය ධර්මතා. එතැනින් විශේෂයෙන්ම පංච නිවාරණ ධර්මතා. මෙන්න මේ පංච නීවරණ ධර්මයන් දුරුවෙන විදිහට තමයි මෙන්න මේ ආරක්ෂා සංවිධානය කටයුත්තේ.
මතු සම්බන්ධයි

අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ 

Post a Comment

0 Comments