සමථ විපස්සනා 2
දැන් මං කමටහන් කිහිපයක් කියලා දෙනවා නීවරණ ධර්මයන් දුරුවෙන ආකාරයට වඩන්න. මේ ක්රම අහගෙන ඕගොල්ලෝ ඊටපස්සේ සමථ භාවනා කරන්න. ඊටපස්සේ මම විදර්ශනා කරන හැටිත් කියලා දෙනවා.
~~ ආනාපානසතිය ~~
අපි ආනාපානසති භාවනාව කරනවා. ආනාපානසති භාවනාව කරන කෙනා නීවරණ ධර්මයන් දුරුවෙන ආකාරයට ආනාපානසති භාවනාව කටයුතුයි. ඒක කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම තමන් හොඳට කාය විවේකය සපයා ගන්නට ඕනේ.
"අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා" කියලා කියන්නේ කැලයකට, ගහක් මුලකට හිස් ගෙයකට ගිහිල්ලා කියන එකෙන් මතක් කරන්නේ අනිවාර්යයෙන් භාවනා කරන්න කැලයකට යා යුතුයි, ගහක් මුලකට යා යුතුයි, හිස් ගේකටම යා යුතුයි කියන අදහසම නෙමෙයි.
ඒ කියන්නේ කාය විවේකය ලැබෙන තැනක්. "අප්පසද්දං අප්පනිග්ඝොසං", ඒ කියන්නේ බොහෝ ශබ්ද නැති, බොහෝ ඝෝෂා නැති, කලබලකාරී ස්වභාවයක් නැති පරිසරයක් කියන එකයි ඒකෙන් අදහස් කළේ. ඒ වගේ නිහඩ පරිසරයක් තෝරා ගන්නවා. ගෙදරක වුනත් දරුමල්ලෝ හිටියත් රැය නිහඩයි නම් ඔන්න ඒ වෙලාවේ ගෙදර ගත්තහමත් සුඤ්ඤාගාරයක් තමයි. අර කලින් සදහන් කරපු අර්ථයයි වැදගත් වෙන්නේ.
~~ ඉඳගන්න ඉරියව්ව භාවනාවට වඩා සුදුසු ඇයි ~~
ඒ විදිහට හොඳට කොන්ද සෘජුව තබාගෙන, පර්යංකය බැදගෙන ඉඳගන්න කියනවා. සිහිය අවදි වෙන්න, හිත සමාධි වෙන්න මේ ඉරියව්ව ගොඩාක් උදව් උපකාරී වෙනවා. ථීන මිද්ධ ආදී කෙලෙස් ඇතිවෙන්න හිත නැහැ. ඒවා දුරුවෙන්න, දුරු කරගන්න පහසුයි. ඒ හින්දා තමයි පර්යංකය බැඳගෙන ඉඳගන්න ඉරියව්ව ගැන කියන්නේ.
~~ මොකක්ද මේ සති නිමිත්ත ~~
එහෙම පරියංකය බැඳගෙන "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" - සිහිය අභිමුඛ කොට තබාගන්න කියනවා. 'අභිමුඛ' කියලා කියන්නේ "නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා". තමන්ගේ සිහිය නාසය ළඟ හෝ තොල් දෙක ළඟ තියාගන්නවා. මේ තැන් දෙකක් ගැන කියන්නේ නාසය හා තොල් දෙක කියන තැන් දෙකටම තියාගන්න කියනවා එහෙම නෙමෙයි.
එක එක චරිත මත කෙනෙකුට තොල් දෙක තුල හිත තියාගෙන ඉන්න පුළුවන්. තව කෙනෙකුට නාසය ළඟ හිත තියාගෙන ඉන්න පුළුවන්. එතකොට තමන්ට හිත කොහාටවත් දුවන්නේ නැතුව එක තැනක තබාගන්න උපකාරක ධර්මයක් හැටියට, උපකාරක නිමිත්තක් හැටියට තොල් දෙක ගාවද හිත තබාගන්න පුළුවන්, නාසය ගාවද හිත තබාගන්න පුළුවන් කියලා බලලා ඒ තැන් දෙකෙන් එකක් තෝරා ගන්නවා.
ඒකද, තොල් දෙක හුරුයි නම් තොල් දෙක ගාවට හිත යොමු කරලා තොල් දෙක පිළිබඳව දැනුම් සහගත බවක ඉන්න එකට තමයි ඔන්න "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" (සිහිය අභිමුඛ කොට තබාගෙන ඉන්නවා) කියලා කියන්නේ. ඒක කෙනෙකුට තේරෙන්නේ නැත්නම්, අපි තොල් දෙක මත ඇඟිල්ල තිබ්බාහම ඇඟිල්ල වදිනවා තේරෙනවා.
ඒ තේරෙනකමේ දැනුම එහෙමම තියාගෙන ඇඟිල්ල තොල් දෙකෙන් අහකට ගන්න. අන්න එතකොට දැන් ඇඟිල්ල තොල් දෙක මත නැති වුනත් තොල් දෙක තියෙනවා කියලා හිතට දැනෙන කමක් තියෙනවානේ. ඒ තොල් දෙක පිළිබඳව දැනුම් සහගත බවක් ඇතිවෙච්ච කම තමයි සති නිමිත්තේ හිත තබාගත්තා කියලා කියන්නේ.
ඒ විදිහටම නාසයටත් ඇඟිල්ල තියලා බලලා, නාසයට ඇඟිල්ල ස්පර්ශ වෙනවා. එතනට හිත තියාගෙන ඇඟිල්ල නාසයෙන් අහකට ගන්නවා. එතකොට ඔන්න නාසය ගැන සම්පුර්ණ දැනුම තියෙනවා. අන්න ඒ විදිහට තමයි සති නිමිත්තේ හිත තියාගෙන ඉන්නේ. ඒ විදිහට සති නිමිත්තේ ඉඳලා "සො සතො’ව අස්සසති, සතො’ව පස්සසති" - සිහියෙන්ම ආශ්වාස කරනවා, සිහියෙන්ම ප්රශ්වාස කරනවා.
සති නිමිත්තේ හිත තියාගන්නවා තොල් දෙක ගාව හෝ නාසිකාග්රය ගාව. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ අධිෂ්ඨානයෙන් යුතුව සිහියෙන්ම ආශ්වාස කරනවා, සිහියෙන්ම ප්රශ්වාස කරනවා. සති නිමිත්තේ හිත තියාගෙන සති නිමිත්ත තුල දැනුම් සහගත බවක ඉඳිමින් ආශ්වාස ප්රශ්වාස වන බවත් දන්නවා. එතකොට මේ දෙපැත්තම ඕනේ. ඇයි මේ දෙපැත්තක් දෙන්නේ හැම වෙලාවකම කමටහනක?
~~ ඇයි වැඩ දෙකක් දෙන්නේ හැම කමටහනකම ~~
ඒ තමයි අපි සාමාන්ය ලෝකේ කියන්නේ උඩු හිත හා යටි හිත කියලා. නමුත් උඩු හිත යටි හිත කියලා දෙකක් නැහැ සැබෑවටම. 'භවාංග චිත්තය' හා 'ද්වාර චිත්තය' කියලා තමයි හඳුන්වන්නේ. එහෙම නැතිනම් සිත සහ සිහිය කියන ධර්මතා දෙකේ වැඩ දෙකක් තියෙනවා. උඩින් යමක් කරද්දී යටින් තව එක එක දේවල් හිතෙනවා.
දැන් අපි උදාහරණයකට කියමු, පන්සිල් සමාදන් වෙනවා වෙන්න පුළුවන්, බුද්ධ වන්දනා කරනවා වෙන්න පුළුවන්. අපි ඒ වෙලාවට ඒ ගාථාවන් ටික කියනවා. යටින් ඔහේ එක එක දේවල් හිතෙනවා. එතකොට අවශ්ය කාරණාව වෙලා නැහැ. අපි බුද්ධ වන්දනාවේදී කියන්නේ ගාථා නම් 'කියවන එකම දන්නවා, දන්නා එකම කියවනවා වුනොත්' අන්න නියම කුසලය සිද්ධ වෙනවා. හිතේ විසිරෙනකම නැහැ.
ඒවගේ සති නිමිත්තේ ඕගොල්ලෝ හිත තියා ගත්තොත් හිත ඒත් යටින් එක එක දේවල් වලට යනවා. එහෙම නැතුව ආශ්වාස ප්රශ්වාසය පිළිබඳව පමණක් දැනුම් සහගත බවක හිටියොත් ඒත් හිත එක එක දේවල් වලට යනවා. ඒ හින්දා සති නිමිත්තේ හිත තියාගෙන ආශ්වාස ප්රශ්වාසයට දැනුමෙන් ඉන්නකොට හිතට උඩින්වත් යටින්වත් කොහාටවත් යන්න බැහැ.
•• සති නිමිත්තේ හිත තියා ගත්තහම ඇතුලතින් සිතුවිලි උපද්දන ගතිය නතර කරවනවා.
•• ආශ්වාස ප්රශ්වාසයට දැනුමෙන් ඉන්නකොට බාහිර අරමුණු සිහි කරලා බාහිරයට යන එක නතර කරනවා.
ඇතුලතින් උපද්දන එකත්, බාහිරයට නැඹුරු කරන එකත් කියන දෙකම නතර වීම සදහායි මේ වගේ කමටහනක සිහිය හා නුවණ කියන දෙකකට වැඩ දෙකක් දීලා තියෙන්නේ. "සො සතො’ව අස්සසති, සතො’ව පස්සසති" - සිහියෙන්ම ආශ්වාස කරනවා, සිහියෙන්ම ප්රශ්වාස කරනවා. ඊටපස්සේ,
"දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති," - දීර්ඝ කොට ආශ්වාස කරනකොට දීර්ඝ කොට ආශ්වාස කරනවා යැයි නුවණින් දන්නවා. ලුහුඬු කොට ආශ්වාස කරන කොට ලුහුඬු කොට ආශ්වාස කරමි කියලා නුවණින් දන්නවා.
හොඳට සිහියෙන්ම ආශ්වාස කරනවා, ප්රශ්වාස කරනවා, ආශ්වාස ප්රශ්වාස කරනවා කියලා නුවණින් දන්නවා. සිහිය සහ නුවණ කියන දෙන්නා එකතුවෙලා උඩින්වත් යටින්වත් එහාට මෙහාට හිත විසිරෙන්න නොදී සිහිය කියන එකෙන් ඇතුලතින් විතර්ක උපද්දවන එක නතර කරනවා, නුවණ කියන එකෙන් බාහිරට යන්න තියෙන හේතුව වහලා දානවා.
බාහිර කෙනෙක්ව, දෙයක්ව, පුද්ගලයෙක්ව සිහි කරලා යන්න හදන හේතුව වළක්වනවා. ආනාපානසතියට විතරක් නෙමෙයි මම මේ කියන්නේ, සති නිමිත්තක හිත තියාගෙන කමටහනට ඉන්නකොට ගති හැම එකකම එකයි. ඒ හින්දා මේ ටික හොඳට අහගන්න ඕනේ. (දැනට ආනාපානසතිය ගැන කිව්වට මං තව කමටහන් කියලා දෙනවා) මේ විදිහට සති නිමිත්තේ හිත තියාගෙන ආශ්වාස ප්රශ්වාසයට දැනුම් සහගතව ඉන්නවා.
~~ දොරටුපාලයා හා සමාන සති නිමිත්ත ~~
කිසි වෙලාවක ආශ්වාසය අනුව යන්නෙත් නැහැ, ප්රශ්වාසය අනුව යන්නෙත් නැහැ. ආශ්වාසය හා ප්රශ්වාස කියන දෙකම ගැන දන්නවා, හැබැයි සති නිමිත්තේම සිටිමින්. උදාහරණයක් හැටියට දොරටුපාලයෙක් දොරටුව ගාව ඉන්නවා වගේ. ඉස්සරහට දුවලා ගිහින් එමින් ඉන්න අයව පරීක්ෂා කරන්නේ නැහැ, දොරටුව පහුකරගෙන යන අයව පිටිපස්සෙන් දුවලා ගිහිල්ලා ඒ පහුවෙච්ච අයව පරීක්ෂා කරන්නෙත් නැහැ. දොරටුපාලයා ඉන්නේ දොරටුව ගාවමයි.
පිටතින් එන කට්ටිය ඇතුලට යන්නත්, ඇතුලෙන් එන කට්ටිය පිටට යන්නත් පරීක්ෂා කරන්නේ දොරටුව ගාව සිටිමින් මිසක හැම කෙනෙක්ම මෙයාගේ අධීක්ෂණයට පරීක්ෂාවට හසුවෙලාමයි යන්නේ එන්නේ. හැබැයි මෙයා ඉස්සරහටත් පිටිපස්සටවත් සෙනග පස්සේ දුව දුවා ගිහින් පරීක්ෂා කරන්නේ නැහැ.
දොරටුපාලයා දොරටුව ගාව ඉන්නවා වගේ ඕගොල්ලෝ හිත තියාගෙන ඉන්නේ නාසය ගාව හෝ තොල් දෙක ගාව. දොරටුපාලයා දොරටුව ළඟ ඉඳිමින් නගරයට ඇතුල්වෙන මිනිසුන් පරික්ෂා කරනවා වගේ, සිහියෙන් දැනුම් සහගතවම ආශ්වාස කරන්නේ. නගරයෙන් පිටවෙන අය පරික්ෂා කරනවා වගේ දොරටුව ළඟදී සිහියෙන් දැනුම් සහගත බවකින්මයි ප්රශ්වාස කරන්නේ.
සති නිමිත්තේ ඉඳිමින් දැනුම් සහගතව ආශ්වාස කරනවා, දැනුම් සහගතවම ප්රශ්වාස කරනවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියන අදහසින් මෙහෙම කළාට ටිකකින් හිත අහකට යනවා. එතකොට ආයෙත් මතක් කරලා සති නිමිත්තට ගන්නවා. එහෙම සති නිමිත්තේම ඉඳිමින් සිහියෙන්ම ආශ්වාස කරනවා සිහියෙන්ම ප්රශ්වාස කරනවා.
~~ දැඩි රාග සහගත අරමුණක් සිහිවෙනකොට ~~
හැබැයි මෙහෙම සති නිමිත්තේ ඉඳිමින් සිහියෙන්ම ආශ්වාස කළාට සිහියෙන්ම ප්රශ්වාස කළාට මොනම විදිහකටවත් සති නිමිත්තේ ඉන්නත් බැහැ. ආශ්වාස ප්රශ්වසයට දැනුම් සහගතව ඉන්නත් බැහැ, එහෙම තියාගන්න උත්සාහවත් වුනාට හිත බාහිර අරමුණුක් හෝ දෙකක් තියෙනවා රාග සහගත නිතරම ඒකම සිහි වෙනවා කියලා හිතමු අපි.
ඒ කියන්නේ කොච්චර හිත සති නිමිත්තේ තියාගන්න හැදුවත් තියාගන්න බැහැ, කාම සහගත සංඥා මනසිකාරයන්, රාග සහගත අරමුණු එනවා. දැඩිව රාගය ඇතිවෙන අරමුණ (පුරුෂයෙක් ගැන හෝ, ස්ත්රියක් ගැන හෝ රාගාදී ස්වභාවයක්) නිතර නිතර අරමුණු වෙනවා, ඉලක්ක වෙනවා මේ කමටහනේ හිත හිටින්නේ නැතුව.
~~ රාගය දුරුකිරීම පිණිස අසුභය ~~
ඒ වගේ වේලාවකදී ආනාපානසති භාවනාව මොහොතකට නතර කරලා නැවත නැවත රාගාදී අදහස ඇති කරන අරමුණ පැත්තට යොමු වෙනවා. රාගය දුරු කිරීමට අසුභ නිමිත්ත වැඩිය යුතුයි. ඒකෙන් කියන්නේ ඒ රාගය දුරු කරන්න ඕනේ අසුභ සංඥාව උපදවාගෙන. ඒකෙදිත් මෙහෙම දෙයක් තියෙනවා.
~~ සුභ සංඥාව ඇතුලේ අසුභය බලන්න එපා ! ~~
යම් වෙලාවක රාගාදී අරමුණක් ඇතිවෙන කොට රාගාදී අරමුණක් ඇතිවෙන නිමිත්තේ අසුභය බලන්න එපා. එහෙම ගියාට අසුභය පෙනෙන්නේ නැහැ. තවද අසුභය බලන්න හදන ඔගොල්ලොන්ගේ මනසත් යට කරගෙන රාගාදී නිමිති ගතියම වැඩි වෙනවා මිසක කිසි වෙලාවක රාගය අඩුවෙන්නේ නම් නැහැ. අපි කියමු,
පිරිමි ළමයෙක් හෝ ගැහැණු ළමයෙක් අරමුණු වෙලා නිතරම හිත ඒ පැත්තටම ඇදෙනවා. නමුත් අපි අසුභය බලන්න කියලා, 'අනේ ඒ රූපයේ තියෙන්නේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, මළ, මුත්ර නේද කියලා ඒ රූපය අරමුණු කරගෙන අපි බලන්න හැදුවට, මෙනෙහි කරන්න හැදුවට අසුභය පෙන්නේ නැහැ, අසුභය දැනෙන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට ඒ අසුභ බවත් යට කරගෙන අර රාගාදී ගතියම එළඹ සිටිනවා.
~~ මොකක්ද මේ අසුභ නිමිත්ත කියන්නේ ~~
ඒ හින්දා ඒ රාගය යටපත් කරන්න හදන්නේ වෙන උපායකින්. වෙන උපායකින් කිව්වේ? රාගාදී අරමුණක් හම්බ වෙනකොට ක්ෂණිකව අසුභ නිමිත්තක් සිහිකර ගන්නවා. අසුභ නිමිත්ත කියලා කිව්වේ, ඕගොල්ලොන්ගේ ගතවෙන ජීවිතයේ ඕනෑ තරම් දැක්කහම වමනේ යන්න හිතෙන, කෙළ ගහන්න හිතෙන පිළිකුල් අරමුණු දැකලා ඇති.
අසුචි ගොඩවල්, වමනේ ගොඩවල්, හොරි හැදිච්ච කයවල්, කුෂ්ඨ හැදිච්ච තැන්, පනුවෝ ගහපු තැන් ආදී මේ වගේ තමන්ටම දැක්කහම පිළිකුල හිතෙන අරමුණු තියෙනවා නේ. අර ආනාපානසති භාවනාව කරන එක නතර කරලා රාගාදී අරමුණු නැවත නැවත එනකොට ජීවිතයේ දැකපු අසුභ නිමිත්තක් සිහි කරලා අරගෙන ඒ නිමිත්ත ඔසවලා අන්න අර කයෙන් තියෙනවා.
අපි කියමු, කඩුවෙගන් වගේ හොරි කුෂ්ඨ හැදුනු අරමුණක් දැක්කොත් ඒ නිමිත්ත සිහි කරලා 'දැන් මෙහෙම තිබුනට මේ රූපයත් මෙහෙම වෙනවා නේද' කියලා ආදේශ කරනවා. "අයම්පි ඛො කායො එවංධම්මො එවම්භාවී එතං අනතීතො’ති".
සොහොනකට ගිහිල්ලා මළමිනියක වුනත් හොඳට නිමිත්ත අරගෙන පරිකර්ම කරලා කරලා තියාගන්නවා. රාගාදී අරමුණක් එනකොට ඒ අසුභ නිමිත්ත ඔසවලා අරගෙන, 'මේ රූපයද මේ ස්වභාවයට පත්වෙනවා නේද' කියලා මේ අසුභ නිමිත්ත අර සිහිවුන රාගය ආපු කයට ආදේශ කරනවා මිසක අර සිහිවෙච්ච රූපයේ අසුභය බලන්න යන්නේ නැහැ.
රාගාදී අරමුණු එනකොට තමන්ගේ හිත හදාගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ක්ෂණිකව අසුභ නිමිත්තක් සිහි කරගන්න. සිහිකරගත්ත පමණකින්ම රාගය නිසා එන වෙහෙසෙන් භාගයක්ම, රාග ගතියෙන් භාගයක්ම අඩු වෙනවා. ඊගාව භාගේ අඩුවෙනවා අර සිහිවෙච්ච රාගාදී නිමිත්තට ආදේශ කළ ගමන්.
මේ විදිහට කළොත් රාගය අඩු වෙනවාමයි. අපිට රාගය අඩු නොවෙන්නේ අපි රාගය ඇතිවෙන කොට අසුභය බලන්න යොමු වෙන්නේ රාගය ඇතිවෙච්ච නිමිත්තටමයි. එතකොට ඒ සුභ සංඥාව ඇතුලේ අසුභය බලන්න හැදුවට අසුභය පෙන්නේ නැහැ.
සුභ සංඥාව ඇතුලේ අසුභය බලන්න එපා. සුභ සංඥාව අතහැරෙන විදිහට ක්ෂණිකව අසුභ නිමිත්ත සිහිකර ගත්තා, අසුභ සංඥාව බහලානවා සුභ නිමිත්තට. අන්න එතකොට මේ සුභ සංඥාව අතහැරෙනවා. ඔන්න එහෙම කිහිප විටක් බලන විට තමන්ට තේරෙනවා හිතේ බලවත් රාග ගතිය අඩු වුනා. රාග ගතිය අඩු වුන සැනින් සති නිමිත්තේ හිත තියාගෙන සිහියෙන්ම ආශ්වාස කරනවා, සිහියෙන්ම ප්රාශ්වාස කරනවා.
~~ පටිඝය ඇතිවෙන විට ~~
එහෙම ටික වෙලාවක් ආනාපානසතිය වඩනකොට ආපහු හිත අහකට යනවා. ඒ මොකද කියලා බලනකොට? පුද්ගලයෙක් ගැන, කෙනෙක් ගැන තරහම ඇතිවෙනවා, අමනාපයම ඇතිවෙනවා. 'මට මෙහෙම කෙරුවා නේද, මට මෙහෙම කිව්වා නේද' මොන විදිහටවත් ඒ පටිඝ නිමිත්ත ගාසා දාලා සති නිමිත්තට එන්න හැදුවත් එන්න බැහැ. 'මට මෙච්චර අවැඩක් කළා', අසාධාරණයක් කළා' කියලාම සිහි වෙනවා.
'නව ආඝාත වස්තු' කියලා කොටසක් තියෙනවා. තරහව ඇතිවෙන්න අපිට තියෙනවා ස්ථාන නවයක්.
• මට මේ මනුස්සයා අවැඩක්, අනර්ථයක් කරනවා
• මගේ යහළුවා, නෑදෑයාට අවැඩක් අනර්ථයක් කරනවා
• මගේ හතුරාට අර්ථයක්, යහපතක් කරනවා
කියලා වර්තමානය අරමුණු කරගෙන කෙනෙක් ගැන තරහව ඇතිකර ගන්න පුළුවන්.
• මට අනර්ථයක් කළා
• මගේ මිත්රයාට, නෑදෑයට අනර්ථයක් කළා
• මගේ හතුරාට අර්ථයක්, උදව් කෙරුවා
කියලා අතීතය අරභයා තරහා ඇතිකර ගන්න පුළුවන්.
• මට කවදා හෝ දවසක අනර්ථයක් කරයි
• මගේ මිත්රයන්ට හිතවත් අයට අනර්ථයක් කරයි
• මගේ හතුරන්ට උදව් කරයි
කියලා අනාගතය අරභයා තරහා ඇතිකර ගන්න පුළුවන්.
මෙන්න මේ වගේ අතීත, වර්තමාන, අනාගත කියන කාලත්රය අරභයා පුද්ගලයෙක් ගැන අපිට පටිඝ සිත ඇතිවෙන්න පුළුවන්. ඒකට කියනවා 'නව ආඝාත වස්තු' කියලා. තරහා බැඳගන්න පුළුවන් ක්රම නවයක් හිතේ ඇතිවෙන්න පුළුවන්. මේ කුමන හෝ ක්රමයකට පුද්ගලයෙක් ගැන හිතේ අපිට තරහා එන්න පුළුවන්.
'මට ගැහුවා, මට බැන්නා, මට නින්දා කළා, මට අපහාස කළා, මගේ ප්රියයන්ට මෙහෙම මෙහෙම අනර්ථ කළා, මගේ අප්රියයන්ට මෙහෙම මෙහෙම උදව් කළා' කියලා සිහිවෙන්න පුළුවන්.
ඒ පටිඝ සහගත බව නිසා හිත කමටහනේ රැඳෙන්නේ නැහැ. සති නිමිත්තේ හිත තියාගෙන ඕගොල්ලෝ හිත වඩන්න හැදුවට වඩන්න බැරි ඔන්න ඔය එක එක කාරණා වලින් හිත බාහිරයට පනින හින්දයි. එහෙම නැත්නම් ඉන්න පුළුවන් ඕනෑම කෙනෙකුට කමටහනේ. ඒ අමානප ගතිය හිතට එනකොට ආනාපානසතිය අතහැරියා. අන්න අර පටිඝ නිමිත්ත පැත්තට යොමු වුනා.
~~ පටිඝය දුරුකිරීම පිණිස මෛත්රිය ~~
ඒ පටිඝ නිමිත්ත දුරු කරනවා මෛත්රි භාවනා මනසිකාරයෙන්. ඒ වෙලාවේදී සියලු සත්වයෝ නිදුක් වෙත්වා!, නිරෝගී වෙත්වා!, සුවපත් වෙත්වා! කියලා හිතන්නේ නැහැ. එහෙම හිතුවට අමනාප ගතිය අතහැරෙන්නේ නැහැ. ඒ වගේ වේලාවකදී අමනාප ගතිය අතහැරෙන විදිහට උපායශීලිව තමන් මෙත් සිත පැතිරිය යුතුයි අමනාප කම අතහැරෙන විදිහට. ඒකේ ක්රම රාශියක් තියෙනවා.
• පුරාණ ඥාතිත්වය සිහි කරන්න පුළුවන් -
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, "මේ අතිදීර්ඝ සංසාරේ එන ගමනේ තමන්ට මව් නොවුණු, පියා නොවුණු, සහෝදරයා සහෝදරිය ඥාති හිතෙෂි නොවුණු කෙනෙක් නැහැ". 'පෙර ජීවිතයක දහඩිය මහන්සියෙන් හම්බ කරපු තාත්තට වෙන්න ඇති මම අද මේ මරනවා, කපනවා, කොටනවා කියලා හිතන්නේ' කියලා හිතනවා. එහෙම හිතන කොට තරහා සිත අතහැරෙනවා. එහෙම හිතුවත් තරහා සිත අතහැරෙන්නේ නැත්නම්,
• සසරේදී මගේ අතිනුත් ඕනේ තරම් ඔය වගේ වැරදි අඩුපාඩු වෙලා ඇති. එක අඩුපාඩුවක් වැරැද්දකට මම මේ තරම් කිපෙන්න හොඳ නැහැ නේද කියලා ස්වභාවය හිතලා බලනවා. ඒත් තරහා අතහැරෙන්නේ නැත්නම්, ඒ වගේ වේලාවකදී,
• ඒ පුද්ගලයා තමන්ට කළ එකදු එක හොඳ දෙයක් හෝ තියෙනවද කියලා සිහි කරනවා. නුවණැති පුරුෂයාගේ ස්වභාවය තමයි මොන තරම් අනර්ථයක් කළත් කරපු එකම එක හොඳ දෙයක් තියෙනවා නම් ඒක සිහි කරනවා. එතකොට තරහා හිටින්නේ නැහැ. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි මොන තරම් හොඳ දෙයක් තිබුනත්, එකම එක නුගුණක් තියෙනවා නම් ඒකම සිහි කරනවා.
ඒ නිසා සත්පුරුෂ වැටේ, සත්පුරුෂ ධර්මයේ පිහිටලා ඉන්න අපිට පුද්ගලයෙක් ගැන තරහා යනවා නම්, අද මට මේ වගේ අනර්ථයක් කළත් එදා මා එක්ක හිනාවෙලා හරි බැලුවනේ කියලා හිතන්න පුළුවන් නම් තරහා හිත තියෙන්නේ නැහැ, ඒ වගේ, එයාගෙන් වෙච්ච උපකාරයක් හෝ තියෙනවද කියන එක සිහි කරනවා. එහෙම සිහි කරනකොට තරහා සිත අතහැරෙනවා. එහෙම කළත් තරහා අතහැරෙන්නේ නැත්නම්,
• යථාර්ථයෙන් බලනවා -
මම පුද්ගලයෙක් ගැන තරහෙන් බද්ධ වෛරයෙන් කටයුතු කරනවා නම්, ඒ වෙලාවට 'කවුද මං තරහා ගන්න පුද්ගලයා' කියලා, කෙස් ද? ලොම් ද?, නිය ද?, දත් ද?, සම් ද?, මස් ද?, නහර ද?, ඇට ද? මේ වගේ කොටස් ටිකක් නේද ඒ රූපේ තියෙන්නේ, කියලා මෙබඳු කොටස් ටිකක් තියෙන තැනක මම පුද්ගලයෙක්ව සිහි කරගෙන තරහා ගන්නවා කියනවා නම් කෝ ඒ පුද්ගලයා කියලා මෙනෙහි කරනවා.
මෙන්න මේ විදිහට එකකින් නැත්නම් තවත් එකකින් ආදී වශයෙන් ක්රම කිහිපයකට මෙනෙහි කරනකොට අර අමනාප ගතිය අඩු වෙනවා. කිසි වෙලාවක හිතාමතාම පටිඝ නිමිත්ත මෙනෙහි කරන්නේ නැහැ. පටිඝ නිමිත්ත කියලා කිව්වේ, 'මෙයා මට ගැහුවා නේද, බැන්නා නේද, මේ මේ විදිහට නින්දා කළා නේද, මේ මේ විදිහට මට අවැඩක් කළා නේද' කියලා හිතාමතාම නැවත නැවත සිහි කරන්නේ නැහැ. එකම හොඳ වැඩක් හෝ කරලා තියෙනවද කියන එක විතරයි සිහි කරන්නේ.
මතු සම්බන්ධයි
0 Comments