ගිරිමානන්ද සූත්‍රය - අනිච්ච සංඥාව 14
✳️ වේදනාව හට ගන්නා ආකාරය
යම් තැනක විඳීමක් තියෙනවා නම් ඒ විඳීම හට ගත්තේ කොහොම ද කියලා බලන එකයි "ඉති වෙදනාය සමුදයො" කියලා කිව්වේ. වේදනාව නිකන් ම හට ගත්තේ නැහැ. වේදනාවට විතරක් තනියම ඔබ ළඟට එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ‘ඉති වෙදනාය සමුදයො’- මේ වේදනාවේ හට ගැනීමයි කියන කොට ඔබේ සම්මර්ශනය තුළ වේදනාව ඇති වුණේ කොහොම ද කියන කාරණාව පිළිබඳව ඔබට අවබෝධයක් තිබිය යුතුයි.
කොහොම ද වේදනාව ඇති වෙන්නේ? වේදනාවට හේතු ගැන කතා කරන කොට අපිට වේදනාවට හේතුව හැටියට පෙන්වන්නේ “ඵස්ස සමුදයා වෙදනා සමුදයො”. ස්පර්ශ සමුදයෙන් තමයි වේදනාව සමුදය වෙන්නේ. එනම් ස්පර්ශය ඇති කල්හි වේදනාව හට ගන්නවා. ස්පර්ශය නොමැති නම් වේදනාව පෙනෙන්නේ නැහැ. ස්පර්ශය කියන්නේ මොකක් ද, ස්පර්ශය ඇති කල්හි හට ගන්න වේදනාව කියන්නේ මොකක් ද කියලා අපිට හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ.
✳️ වේදනාව සම්බන්ධව විස්තර කෙරෙන විවිධ පරියායන්
මෙතැන දී ස්පර්ශය ඇති කල්හි නම් වේදනාව හට ගන්නවා කීමෙන් කියවෙන්නේ වේදනාවට තනිවම කෘත්‍යක් කරන්නට බැරි බව නේ. ඒ කියන්නේ තව දෙයක එකතු වීමක් මෙතන දී අවශ්‍යයි වේදනාව පනවන්නට නම්. ඒ නිසා වේදනාව පිළිබඳව අපි කතා කරන කොට අපි කතා කරන්නේ, “චක‍්ඛුඤ‍්චාවුසො පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා” ඇසත්, රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදිනවා. මේ තිදෙනාගේ ම එකතුව ස්පර්ශයයි. “ඵස්ස පච්චයා වේදනා”. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව උපදින්නේ. ඒ ස්පර්ශයට අපි කියනවා චක්ඛු සම්ඵස්ස කියලා. චක්ඛු සම්ඵස්සජා වෙදනා, චක්ඛු සම්ඵස්සජා සංඥා, චක්ඛු සම්ඵස්සජා චේතනා, චක්ඛු විඤ්ඤාණ කියලත් අපි කතා කරන පරියායක් තියෙනවා.
මේවා බොහෝ ම සියුම් පරියායන්, අපි නුවණින් හොඳින් තේරුම් ගත යුතු දේවල්. බුදුරජාණන් වහන්සේ ධර්මය විවරණය කරන කොට මේ දහම් කරුණු විවරණය කිරීමේ පරියායන් තියෙනවා. ඒ කියන්නේ ඒ ඒ තැනට අනුව, ඒ ඒ පුද්ගලයාට වඩාත් පැහැදිලි කළ යුතු මට්ටම් අනුව භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ තැන ඉස්මතු කරන කාරණාව වෙනස් වෙනවා.
මධුපිණ්ඩික සූත්‍රය අරගෙන බැලුවොත්, ඒ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ “චක‍්ඛුඤ‍්චාවුසො පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. යං වෙදෙති, තං සඤ‍්ජානාති. යං සඤ‍්ජානාති තං විතක‍්කෙති. යං විතක‍්කෙති තං පපඤ‍්චෙති” කියන මේ පරියාය. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා - තුන් දෙනාගේ එකතුව ස්පර්ශය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නවා කියලා දේශනා කරනවා.
ඒ වගේ ම අභිධර්මයේ“ ධම්ම්සංගනීප්‍රකරණයෙහි දැක්වෙන රූප කාණ්ඩය වගේ තැනක් අරගෙන බැලුවොත් එතකොට පෙන්වනවා චක්ඛු සම්ඵස්ස, චක්ඛු සම්ඵස්සජා වෙදනා, චක්ඛු සම්ඵස්සජා සංඥා, චක්ඛු සම්ඵස්සජා චෙතනා, චක්ඛු විඤ්ඤාණං කියලා. එතකොට එතනදී වේදනාව චක්ඛු විඤ්ඤාණයට කලින් කතා කරනවා.
ඒ වගේ ම කලින් සඳහන් කළ පරිදි "ඵස්ස පච්චයා වේදනා" කියලා මධුපිණ්ඩික සුත්‍රයේ දී චක්ඛු විඤ්ඤාණයට පස්සේ එතනදී වේදනාව ගැන කතා කරනවා. ඒ වගේ ම තවත් තැනක දී කතා කරනවා, "චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති" කියලා.
මෙතැනදී වේදනාව නිසා තණ්හාව උපදිනවයි කියන කොට වේදනාව; සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා සහගත වේදනා කියලා විග්‍රහ කරන පරියායකුත් තියෙනවා. ඒ කියන්නේ චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාව සුව වූයෙක් ඇත, දුක් වූයෙක් ඇත, අදුක්ඛමාසුඛ වූයෙක් ඇත කියලා පෙන්නන පරියායන් තියෙනවා. නමුත් අපි දන්නවා, චක්ඛු විඤ්ඤාණය හා සම්ප්‍රයුක්ත වුණ වේදනාව හැම වෙලාවක දී ම උපේක්ෂා සහගතයි. ඒ කියන්නේ චක්ඛු විඤ්ඤාණය නැමති සිතේ ඇති වෙන වේදනාව හැම වෙලාවක දී ම පවතින්නේ උපේක්ෂා සහගත වේදනාවක් විදිහට. සැප හෝ දුක් වශයෙන් හෝ සෝමනස්ස හෝ දෝමනස්ස විදිහට ඒක හිතට දැනෙන්නේ නැහැ. ඇහැට එන වර්ණ රූපය නිසා හට ගන්න චක්ඛු විඤ්ඤාණය තියෙන්නෙ ම උපේක්ෂා සහගත මට්ටමක්. දුක හෝ සැප යැයි කියන්නට බැරි අදුක්ඛම අසුඛ ස්වභාවයක් තමයි ඒ වෙලාවේ දී තියෙන්නේ.
නමුත් ඉහත සඳහන් කළ පරිදි ඇතැම් තැනක දී චක්ඛු සම්ඵස්සය නිසා උපදින වේදනාව සැප වශයෙනුත්, දුක් වශයෙනුත්, අදුක්ඛමාසුඛ වශයෙනුත් විස්තර කරනවා. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මෙන්න මේ කතා කරන පරියායන්ගේ දී මොන මොන අවස්ථාවන් ද නියෝජනය වෙන්නේ කියලා. මේ වේදනාව කියන පදය පිළිබඳව අපි නිකන් ම වේදනාව කියන නාම මාත්‍රයෙන් අර ගන්නවට වඩා එතනට එහා ගිහිල්ලා අපිට බලන්නට වෙනවා මේ කතා කරන්නේ කුමන ආකාරයේ වූ සිතක් පිළිබඳව ද කියන එක ගැන. එසේ නැතිනම් මොන අවස්ථාවක් ද වේදනාව කියන පදයෙන් නියෝජනය කරන්නේ කියන කරුණ පිළිබඳව අපිට තේරුම් ගන්නට වෙනවා.
ඇතැම් තැනක විපාක වේදනාව, ඇතැම් තැනක කර්ම සහගත වේදනාව තියෙනවා. එතකොට ඒ හැම තැනක ම පවත්නා වේදනාව පිළිබඳව තේරුම් ගැනීම තමයි ‘ඉති වෙදනා’ මේ වේදනාවයි කියලා අපි දැන ගන්නවයි කියලා කිව්වේ.
‘ඉති වෙදනාය සමුදයො’ කියන කොට මේ වේදනාවේ හට ගැනීමයි කියන කොට වේදනාව ආකස්මිකව ඉබේ ම ඇති වුණ දෙයක් නෙමෙයි. ඒ වේදනාව ඇති වුණේ යම් කිසි හේතු ටිකක් නිසා. ඒ නිසා තමයි කිව්වේ ‘ඵස්ස සමුදයො වෙදනා සමුදයො’ කියලා. ස්පර්ශ සමුදයෙන් තමයි වේදනාව හට ගන්නේ. ස්පර්ශ සමුදයෙන් වේදනාව සමුදය වෙන කොට අපි දන්නවා ස්පර්ශය නොමැති නම් වේදනාව කොයි වෙලාවකවත් පනවන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒ කියන්නේ යම් කිසි විඳීමක් ඔබට තියෙනවා නම්, ආධ්‍යාත්මික ආයතන ටික නැතුව ඔබට පුළුවන්කමක් තිබ්බේ නැහැ දේවල් විඳින්න. ඒ කියන්නේ. ඇහැ නැතුව ඔබට පුළුවන්කමක් තිබුණේ නැහැ රූපයක් පිළිබඳව දැකීම ඇති වෙලා, ඒ දැකීම පිළිබඳව ඔබට අදහස් ඇති කර ගෙන විඳින්න. කන නැතුව පුළුවන්කමක් තිබුණේ නැහැ ශබ්දය පිළිබඳව ඔබට විඳීමක් කරන්නට. නාසය නැතිව පුළුවන්කමක් තිබුණේ නැහැ ගන්ධයක් විඳින්න. දිව නැතුව රසයක්, කයක් නැතුව ඵොට්ඨබබයක් විඳින්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
විඳිනවා කියන තැන තියෙන දෙයක් තමයි රූප පේනවා කියන එක, ශබ්ද ඇහෙනවා කියන එක. ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා. ස්පර්ශ දැනෙනවා. මනසින් අරමුණු දැන ගන්නවා කියන එක. මේ අවස්ථාවන්ගේ දී පවතින යම් විඳීම් කියන ස්වභාවයක් ඇති වෙන්නට නම්, එතන තිබිලා තියෙන්නට ඕනේ ආධ්‍යාත්මික ආයතනයන්ගේ ආයතන කෘත්‍යක් සහ බාහිර ආයතනයන්ගේ සිදු වන ආයතන කෘත්‍යක් කියන මේ දෙක ම. ඒ කියන්නේ ඇහැට නම් වර්ණ රූපයක් එන්නට ඕනේ. කනට නම් ශබ්දයක් එන්නට ඕනේ. නාසයට ගඳ සුවඳක් දැනෙන්නට ඕනේ. දිවට රසයක් දැනෙන්නට ඕනේ. කයට ස්පර්ශයක් දැනෙන්නට ඕනේ. මනසට නම් අරමුණක් තියෙන්නට ඕනේ. එතකොට තමයි ඒවායේ ඉදිරි ප්‍රගමණයක් දකින්න පුළුවන්කම තියෙන්නේ.
මෙන්න මේ පූර්වජයන් විදිහට නැතිනම් කලින් හට ගත්ත දේවල් විදිහට ඇහැට රූපයක් පැමිණුණාට පස්සේ තමයි පුළුවන්කම තියෙන්නේ ඒ පිළිබඳව මනස මෙහෙයවන්නට. එසේ නැතිනම් ඒ පිළිබඳව නැමුණු මනසක් ඇති වෙන්නේ එවිට යි. ඒ පිළිබඳව නැමුණු මනසක්, ඒ පිළිබඳව මනසිකාරයක් යෙදුණාට පස්සේ තමයි චක්ඛු විඤ්ඤාණයක් උපදිනවා කියලා කියන්නේ. එතකොට මෙතන තුන් දෙනෙකුගේ පැවැත්මක් තියෙනවා. තුන් දෙනෙකුගේ පැවැත්ම මොනව ද? ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා, ඒ වගේ ම සිතක් (චක්ඛු විඤ්ඤාණයක්) තියෙනවා. ඇහෙන් කරලා තියෙන දේ තමයි චක්ඛු ප්‍රසාදයට (ඇහැට) බාහිර රූපය පතිත කර ගන්න බව.
ප්‍රතිබිම්භයක් පතිත වෙන්න පුළුවන් විදිහට කන්නාඩියක ඇති ඔපවත් බව වගේ සතර මහා ධාතු රූපය පිළිබඳව ඔපවත් බවක් ඇති තැනට තමයි චක්ඛු ප්‍රසාදය කියන්නේ. අන්න ඒ ඔපයට තමයි බාහිරෙන් එන වර්ණ රූපය පතිත වෙන්නේ. එතකොට ඒ ඇහැට වැටුණ රූපය කවදාවත් එළියේ තියෙන සතර මහා ධාතුව නෙමෙයි. ඒ ඇස කරා ආපු වර්ණ රූපයට කියනවා රූපායතනය කියලා. ඒ වර්ණ සටහනේ පැමිණීමට, ඇහැට පතිත වීමට කියනවා ආපාතාගමය කියලා. එවිට ඇහැ සහ රූපය අතර ගැටීමක් වෙනවා. අපි ඒකට කියනවා ‘පටිහඤ්ඤති’ කියලා. නමුත් තවම මේ සිද්ධිය සම්පුර්ණ නැහැ මෙතනට මනස යොමු වුණේ නැති නම් ඇහැට ආපු රූපය ගැන දැන ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා එතන දර්ශන කෘත්‍ය සම්පුර්ණ වෙන්නේ නැහැ. ආයතනයන්ගේ ආයතන කෘත්‍ය සම්පුර්ණ නැහැ. ඒ නිසා තමයි ඒ පිළිබඳව නැමුණු හිතක් තියෙන්නට ඕනේ. අන්න ඒ සිත හඳුනවනවා අපි චක්ඛු විඤ්ඤාණය නැමති සිත කියලා.
✳️ විපාක සිත් හා කර්ම සිත් හඳුනා ගනිමු
රළු විදිහට ම අපි කිව්වොත්;
ඇසේ පහළ වන සිත - චක්ඛු විඤ්ඤාණය,
කනේ පහළ වන සිත - සෝත විඤ්ඤාණය,
නාසයේ පහළ වෙන සිත - ඝාන විඤ්ඤාණය,
දිවෙහි පහළ වන සිත - ජිහ්වා විඤ්ඤාණය,
කයෙහි පහළ වන සිත - කාය විඤ්ඤාණය
කියලා අපි මේ විපාක සිත් හඳුන්වනවා. චක්ඛු විඤ්ඤාණ කියලා කිව්වට, ඇස පිළිබඳව ඒ සිත පැවතුනාට ඒ සිතේ කෘත්‍ය තමයි රූපය දැකීම. රූපය දකිනවා කියලා කියන්නේ රූපය දැන ගන්න පුළුවන්කම තියෙනවා. එනම් ඇහැට පතිත වුණ වර්ණ රූපය දැන ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒකට කියනවා විජානන කෘත්‍ය කියලා. ඒ කියන්නේ දැන ගන්නා බව. දැන ගත්තේ මොනව ද? ඇහැට ආපු වර්ණ රූපය තමයි දැන ගත්තේ.
එතකොට මෙතන දී කාරණා තුනක් තියෙනවා. දැකීමක් සම්පුර්ණ වෙන කොට ඇස තියෙනවා. රූපය තියෙනවා, චක්ඛු විඤ්ඤාණ තියෙනවා. එනම් ඇහැ, රූප සහ චක්ඛු විඤ්ඤාණ කියන තුන් දෙනෙකුගේ එකතුවක්. මෙන්න මේ තුන් දෙනෙකුගේ එකතුවට අපි කියනවා ස්පර්ශය කියලා. ‘තිණ්ණං සංඝති ඵස්සො’ කියලා කියනවා. තුන් දෙනාගේ එකතුව/ සංඝති බව ස්පර්ශයයි. තුන් දෙනෙකුගේ එකතුව නිසා හට ගත්ත දෙයක් ස්පර්ශය කියලා කියන්නේ. ‘ඉති වෙදනාය සමුදයො’ කියන කොට අපිට පේන්නට ඕනේ වේදනාව හට ගත්තේ මෙන්න මේ විදිහට. කොහොම ද වේදනාව හට ගෙන තියෙන්නේ? ස්පර්ශය මූලික කර ගෙන ස්පර්ශය අනුව ගිහිල්ලා. ස්පර්ශය පනවන්න පුළුවන්කමක් නැත්නම් මෙබඳු වූ වේදනාවේ පැනවීමක් ද නැහැ. ඒක තමයි එතන තියෙන ස්වභාවය.
එතකොට අපිට දැන් මෙතැන දී නිරවුල් කර ගත යුතු කාරණාව තමයි චක්ඛු විඤ්ඤාණයට අදාළ වුණ ඵස්ස (ස්පර්ශ) චෛතසිකයක් තියෙනවා. ඒ වගේ ම ඒ ස්පර්ශ චෛතසිකය නිසා එතන තියෙන වේදනා චෛතසිකයත් තියෙනවා. මේ චෛතසික ධර්මයෝ චක්ඛු විඤ්ඤාණ සිතේ පවතින දේවල්. එනම් ස්පර්ශය සහ වේදනාව කියන චෛතසික චක්ඛු විඤ්ඤාණයේ පවතිනවා.
එතකොට චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාව කියන කොට අපිට ඒ ඒ සූත්‍රයන්හි සඳහන් අර්ථය අරගෙන බලන කොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා; එක තැනක දී චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාව සැප, දුක්, උපේක්ෂා සහගත ලෙස පෙන්වනවා, තව තැනක දී චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාව උපේක්ෂා සහගත ලෙස පමණක් පෙන්වනවා. මේ අර්ථ මේ විදිහට හඳුන්වා දෙන්නේ එකක් හරි නම් එකක් වැරදියි කියන තැනක් කියන්නට නෙමෙයි. එතකොට ඒ ඒ තැන පිළිබඳව බුදුරජාණන් වහන්සේ අර්ථ විවරණය කරලා තිබුණ ආකාරය අපිට මෙතැන දී තේරුම් ගන්නට ඕනේ.
ඒ කියන්නේ සැප, දුක්, උපේක්ෂා වශයෙන් ඇසුරු වෙනවා නම් යම් තැනක ඒ ඇසුරු වෙන තැන සැප වේදනාවේ රාගානුසය තියෙනවා. දුක් වේදනාවේ පටිඝානුසය තියෙනවා. උපේක්ඛා වේදනාවේ අවිජ්ජානුසය තියෙනවා. එතකොට ඒ තැන්වල ඒ වේදනාවන් තෘෂ්ණාවෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා, පටිඝයෙන් ඇසුරු කරන්න පුළුවන්, මෝඩකමින් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා.
හැබැයි කොයි වෙලාවකවත් චක්ඛු විඤ්ඤාණ සිතේ තිබුණ වේදනාව උපේක්ෂා සහගත ම යි. කලින් සඳහන් කළ චක්ඛු සම්ඵස්සයෙන් උපන් සැප, දුක්, උපේක්ෂා ලෙස වේදනාව තුන් ආකාරයෙන් හඳුන්වපු දේට වඩා චක්ඛු විඤ්ඤාණයේ යෙදෙන වේදනාව වෙනස්. මේ අවස්ථාවන් දෙකක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ,
1️⃣ එක තැනක දී චක්ඛු විඤ්ඤාණ සිතේ තියෙන වේදනාව ගැන කතා කරන්නේ. ඒ වේදනාව උපේක්ෂා සහගත ම යි. ඒ වේදනාව විපාක වේදනාවක්. ඒකේ කර්ම සහ කෙලෙස් නැහැ.
2️⃣ ඒ වගේ ම අනිත් තැන දී චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාව සුව වූයෙක් ඇත, දුක් වූයෙක් ඇත, අදුක්ඛමාසුඛ වූයෙක් ඇත කියලා කියන කොට අන්න එතන තියෙන වේදනාව කර්ම සහගත මට්ටමක්.
ඇහැට ගැටුණු රූපායතනය පිළිබඳව තමන් හිතින් කල්පනා කරලා ප්‍රපංච ධර්මයන් එක්ක එකතු වෙන කොට අන්න ඔහුට ඒ රූපායතනය පිළිබඳව සුවක්, සොම්නසක් උපදිනවා. සැප, සතුටක් ඇති වෙනවා. එතකොට ඒ සොම්නස කියන ස්වභාවය එතන සැප වේදනාව තමයි නියෝජනය කරන්නේ. දොම්නස කියන එක දුක් වේදනාව නියෝජනය කරන්නේ. එතකොට එයටත් කියනවා චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාවක් ය කියලා. ඇයි එහෙම කියන්නේ? ඇහැට රූපය ගැටුණු නිසා තමයි එයාට මේ කියන සැප, දුක්, උපේක්ෂා වේදනාව මනෝ විඤ්ඤාණ සිතක ඉපදුනෙත්. ඒ නිසා ඒකත් චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාව කියලා කියනවා.
හැබැයි මේ විඳීම දෙක දෙකක්. එකක් විපාක සිතක යෙදෙන වේදනාවක්, අනික් එක කර්ම සිතක යෙදෙන වේදනාවක්. ඒ කියන්නේ ඇහැට ආපු රූපයේ තිබුණේ නැහැ සැප, දුක කියන එක. ඔබ දකින්න අකමැති මනුස්සයෙක් කියන එක රූපය ඇහැට ගැටෙන කොට ඒ රූපය දැන ගත්ත පළවෙනි සිතේ (චක්ඛු විඤ්ඤාණයේ) දෝමනස්සයක් තිබුණේ නැහැ. එනම් දුක් වේදනාව කියලා දෙයක් ඔබට එතන තිබුණේ නැහැ. ඇයි දුක් වේදනාවක් තිබුණේ නැහැ කියලා කියන්නේ? ඇහැට පාට ටික පතිත වුණ නිසා උපන් චක්ඛු විඤ්ඤාණ සිතේ යෙදෙන වේදනාව අදුක්ඛමාසුඛ (උපේක්ෂා) යි. ඇහැට වර්ණ සටහන පතිත වුණු මට්ටමේ දී ඔබ දන්නේ නැහැ එතන ඉන්නේ කැමති කෙනෙක් ද, අකමැති කෙනෙක් ද, පුද්ගලයෙක් ද කියලාවත්. ඔබට එතන තියෙන්නේ වර්ණ රූපයක පැමිණීමක් විතරයි. පාට ටිකක් ගැන ඔබට ඇත්තේ නැහැ කැමැත්තක් හෝ අකමැත්ත ඒ චක්ඛු විඤ්ඤාණ මට්ටමේ දී.
ඇහැට ආපු වර්ණ රූපය හට ගෙන නැති වෙලා ගියපු තැනක ඊට පස්සේ ඔබ හිතින් කල්පනා කරලා මේ මනුස්සයා මට මෙහෙම කියපු කෙනෙක්, මේ මනුස්සයා මට මෙහෙම කරපු කෙනෙක් කියලා ඔබට ඒ රූපය පිළිබඳව හිතෙන් ඇසුරු කරන්න පුළුවන් වෙන කොට, ඔබ නැවත හිතින් ඔසවා අරගෙන ඒ පිළිබඳව පරිකල්පනයක් කරන කොට ඔබට හිතෙනවා මේ මනුස්සයා නරක මනුස්සයෙක් කියලා. දැන් ඔබ අකමැති මනුස්සයා කියලා ඇත්තට ම දකිනවා නෙමෙයි. අකමැති මනුස්සයා කියන දේ හිතින් ගොඩ නගා ගෙන විඳිනවා. අන්න ඒ විඳින දේත් එක්ක තමයි ඔබට දුක් වේදනාව ඇති වෙන්නේ. ඒ ඇති වෙන දුක් වේදනාව කර්ම සහගත මට්ටමක්.
ඒ කර්මයට විපාක තියෙනවා. කර්මයට විපාක තියෙනවා කියලා කියන්නේ ඒ ඇති කර ගන්න කර්ම මට්ටමේ වේදනාව ඇසුරු කර ගෙන ඔබට ප්‍රතිසන්ධි විපාක කරා යන්න හේතු සකස් කර ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපිට පේනවා වේදනාව කියන එකේ මේ අවස්ථා දෙකක නියෝජනයක් කියලා. පළවෙනි අවස්ථාව විපාක අවස්ථාවක්. ඒකෙ කර්ම තිබුණේ නැහැ. එතන කෙලෙස් තිබුණේ නැහැ. හැබැයි චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාව කියලා සුඛ, දුක්ඛ, උපේක්ෂා වශයෙන් වේදනාව උපදිනවා කියලා කතා කරන තැන දී කර්ම සහ කෙලෙස් යෙදෙන තැනක් පිළිබඳවයි කතා කරන්නේ. අපි වේදනාව පිළිබඳව හඳුනා ගන්න කොට අපිට පේනවා ස්පර්ශය සමුදයෙන් වේදනාව උපදින්නේ කොහොම ද කියන එක අපිට ආයතන සියල්ලන්ගේ ම පැත්තෙන් දැන ගන්න පුළුවන්කම තියෙනවා.
මතු සම්බන්ධයි
හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021- 03- 21 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් අනිත්‍ය සංඥාවට අදාළව පවත්වන ලද හතරවන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments