~ එකොළොස් වැදෑරුම් රූපය ~~
"තස්මාතිහ භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං"...
එකොළොස් වැදෑරුම් රූපය කියලා කියන්නේ, මේ විදියට අතීතත, අනාගත, වර්තමාන, ආධ්යාත්මික, බාහිර, ඕළාරික, සුඛුම, හීන, ප්රණීත, දුර, ළග ආදී ලෙස මේ රූපය අපිට ප්රකටවන ආකාරයන්. කෙනෙකුට බාහිර ඇති බවට ගත්තා වූ රූපය එයාට ප්රකටවන ආකාර ටිකක් තමයි මේ එකොළොස් වැදෑරුම් වූ රූපය කියලා අපි කතා කරන්නේ. අතීතයේ තිබුණා, වර්තමානයේ තියෙනවා, අනාගතයට තියෙනවා, එක්කො ආධ්යාත්මිකයි, එක්කො බාහිරයි, එක්කො රළුයි, එක්කො සියුම්, එක්කො හීන මට්ටමේ දේවල්, එක්කො ප්රණීත මට්ටමේ දේවල්, එක්කො දුර රූප (අවබෝධයට දුෂ්කර වූ හෝ දුර පවත්නා වූ රූප) , එක්කො ළඟ රූප (අවබෝධයට පහසු හෝ ළඟ පවත්නා වූ)...... මේ විදියට එකොළොස් ආකාරයකට ප්රකටවෙන රූපය පිළිබඳව ඔහුට පේනවා, හේතු නිසා සැකසෙන හා හේතු නැති වෙනකොට නැතිවෙන බව තමයි රූපයෙහි ස්වභාවය කියලා.
එහෙම දකිනකම නිසා එයාට රූපය ගැන අවබෝධ වෙනවා, 'රුප්පන අර්ථයෙන්' යුක්ත නම් යම් දෙයක්, සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතිනවා නම් යම් දෙයක්, ඒ දේ 'නෙතං මම' - 'මගේ' වශයෙන් ගන්න සුදුසු නැහැ කියලා. එතකොට දැන් එයාට පොදුවේ හැම තැනකම, කාල භේදයකින් තොරව, ස්ථාන භේදයකින් තොරව, ස්වභාව භේදයකින් තොරව සමස්ථ වූ රූපය පිළිබඳව එක අවබෝධයක් පවතිනවා. ඒ එකම අවබෝධය තමයි - රූපය මම නෙවෙයි, රූපය මගේ නෙවෙයි, රූපය මගේ ආත්මය නෙවෙයි, ඒ විදියට ගන්න සුදුසු දෙයක් නෙවෙයි කියලා එයාට අවබෝධය තියෙනවා. ඇයි?
-- ඔහුට රූපයෙහි සංඛත ලක්ෂණය නිසා රූපය අනිත්යවන බව ප්රකටයි.
-- අනිත්ය වන බව නිසාම රූපය දුක්වන බව ප්රකටයි.
-- ඒ අනිත්ය සහ දුක කියන ලක්ෂණ ටික නිසාම ඔහුට 'මම', 'මගේ' වශයෙන් ගන්න සුදුසු දෙයක් නෙවෙයි මේ රූපය කියන එක ප්රකටයි.
~~ රූපයේ ඇත්ත දකින ආර්ය් ශ්රාවකයා ~~
හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙන ධර්මයක් ලෙස ඔහුට රූපය හම්බවෙලා තියෙනවා. ඒ රූපයේ සංඛත ලක්ෂණය දකින නිසාම තමයි එකොළොස් වැදෑරුම් වූ මේ රූපයෙහි ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවකට පත්වන්නට හේතුවක් නැති වෙන්නේ. මේ විදියට දකිනකොට මොකක්ද වෙන්නේ?
-- "අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො අපචිනාති, නො ආචිනාති" - මේ විදියට දකින ආර්ය් ශ්රාවකයා එයා 'අපචිනාති' - රැස් කරන්නේ නැහැ එකක්වත්. එයා ඔක්කොම ඉවත් කරනවා. සසර පැවැත්මට හේතු වෙනවා නම් යම් ධර්මතා ටිකක්, ඒ එක ධර්මයකවත් පැවැත්මක් එයාට හම්බ වෙන්නේ නැහැ. ඔහු ඒ දේවල් 'නො ආචිනාති' - රැස්කර ගන්නේ නැතුව, 'අපචිනාති' - ඉවත් කරලා දානවා.
-- 'පජහති, න උපාදියති' - එයා සමීපයට ගන්නෙ නැහැ ඒවා. දුරු කරලා දානවා.
-- 'විසිනෙති, න උස්සිනෙති' - එයා ඒක විසුරුවලා දානවා. නොවිසිරුවා එකතු කරන්නේ නෑ, ඉවත් කරලා දානවා.
-- 'විධූපෙති, න සන්ධූපෙති' - ඒක දල්වන්නේ නැහැ, ඒක නිවලා දාන දෙයක් බවට පත්කරනවා.
මොනවද ඒ රැස් කරගන්නේ නැතුව ඉවත් කරන්නේ?
'රූපං අපචිනාති, නො ආචිනාති' - "රූපය" රැස්කර ගන්නේ නැතුව ඉවත් කරලා දානවා.
එතකොට දැන් ඔබට ප්රකට ඇති ඇයි රූපය රැස්කර ගන්නේ නැතිව ඉවත් කරනවා කියලා කිව්වේ. රූපයෙහි නිරෝධය පිණිස නේ දැන් මේ අපි බැලුවේ. අපි කිව්වානේ රූපයෙහි විරාගය පිණිසයි, නිරෝධය පිණිසයි බලන්නේ කියලා. විරාගය පිණිස, නිරෝධය පිණිස බලනවා කියලා බැලුවේ වෙන මොකක්වත් නෙවෙයි හටගත්ත රූපය ඉතුරු නැතිව නැති වෙනවා. එතකොට රූපය රූපී අර්ථයකින් හටගෙන ඉතුරු නැතිව නැති වෙනවා කියලා දැකලා නම්, පොදුවේ එකොළොස් වැදෑරුම් වූ රූපය, එකොළොස් ආකාරයකට ලෝකයට හසුවෙන රූපය එක තැනකින් හම්බ වෙලා තියෙනවා. ඒ තමයි 'හටගෙන නිරුද්ධ වෙන සංඛත ධර්මයක්' කියන තැනින්.
ඒ හටගෙන නිරුද්ධවන සංඛත රූපය හම්බ වෙනකොට ඒ සංඛත රූපය සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් නෙවෙයි. ඒ සංඛත රූපය අතීතයේ තිබුණත් නෙවෙයි, ඒ සංඛත රූපය අනාගතයට හම්බ වෙනවාත් නෙවෙයි. එයා රූපයෙන් මිදෙන මනසක් ඇත්තෙක් වෙලා. රූපය හටගෙන රූපය ඉතුරු නැතිව නිරෝධයට පත්වෙන බව දකින්නෙක් බවට පත්වෙලා. එතකොට මේ විදියට රූපය දකිනකොට රැස් කිරීම කියන දේ හටගන්නේ නෑ. එයා රූපය දුරු කරනවා. ඇයි? මොහොතක්, මොහොතක් පාසා ඇහැට යම් ම දර්ශන මාත්රයක් ඔහුට පෙනේ නම්, යම් ම රූපයක් ආපාතාගමයට එයි නම්, ඇස් හමුවට පැමිණෙයි නම් ඇස් හමුවට පැමිණෙන ඒ රූපය පිළිබඳව ඔහුට 'එළියේ තියෙනවා' කියන සංඥාව බැසගන්නේ නැතුව 'හටගෙන නිරුද්ධ වෙනවා' කියන නිරෝධ සංඥාවම උපදිනවා.
දැන් අපිට 'පවතිනවා' කියලා ගන්න නිත්ය සහගත සංඥාවක් තියෙනවා. නිත්ය සහගත සංඥාව නිසා 'තියෙනවා' කියලා ඒක අපි සංස්කරණයකට ලක්කර ගන්නවා. එතකොට නැවත නැවත 'අතීතයේ තිබුණ දේ තමයි මේ තියෙන්නේ', 'මේක අනාගතයටත් තියෙනවා' කියලා සංස්කරණය කරගත්ත බව නිසාම ඒ 'ලෝකය තුළ හොඳ නරක දේවල් තියෙනවා' කියලා දැනගැනීම කියන දේ අපිට තියෙනවා. එතකොට අපේ මනෝභාවය මේ මේ ලක්ෂණයන් නැවත නැවත ඇසුරු කරන්න පටන් ගත්ත නිසා ලෝකයේ පැවැත්ම හම්බවෙලා. දැන් මේ ධර්මයන්ගේ නිරෝධය පෙන්නලා දෙනවා නම්, ඒ හැම මොහොතකම හටගත්ත ධර්මය අනුව ඉතුරු නැතිව නැතිවෙන බව අපිට පෙන්නලා දෙනවා නම් පිංවතුනි අපිට නිශ්රිත කරගන්න දෙයක් නැහැ, පිහිටා සිටින්න තැනක් නැහැ. ඇයි?
~~ පංච උපාදානස්කන්ධයේ නිරෝධය දැකීම ~~
රූපය අනිත්යයි නම් සමස්තයක් වූ රූප ධර්ම විෂයෙහි පවතින අනිත්ය සහගත සංකල්පනාවක්, අනිත්ය සහගත ඥාන දර්ශනයක් තියෙනවා. ඒ අනිත්ය සහගත ඥාන දර්ශනය කියලා කියන්නේ 'තියෙන දේක නැතිවීම' නෙවෙයි. හේතු නිසා සකස්වෙන බව හා හේතු නැතිවෙනකොට නැතිවෙනවා කියලා ගත්ත මූල දර්ශනයක්. එතකොට ඒ ලක්ෂණය නිසා ඔහුට පෙන්නේ හේතු ටික ඇති කල්හි හටගත්ත බව සහ හේතු ටික නැතිවෙනකොට නැතිවෙන බව. නැතිවුනා නම් ඒ දේ නැවත ඇති වෙන්න පුළුවන් කමක් නැහැ කියලා එයා දන්නවා. ඒ නිසා දැන් හටගෙන නැතිවුන දේ ඇති බවට ඇසුරු කරන්න හේතු නැහැ. දැන් විඤ්ඤාණය රූපය ඇසුරු කරන්නේ නැහැ. ඇයි ඇසුරු කරන්නේ නැත්තේ?
එයාට අතීත රූපය දැන් හම්බ වෙන්නේ නැති නිසා. නිරුද්ධ වූ රූපය නිරුද්ධයි කියලා දකින එක නිසා 'රූප නිරෝධයට පත්වෙලා' කියලා කියනවා. ඒ කියන්නේ, රූපය කවදාවත් හම්බ වෙන්නේ නැහැ. රූපය හම්බවෙන මොහොතෙදී රූපය දැනගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැනෙ. රූපය හම්බවෙන මොහොතේදී අපි දැනගත්තේ වේදනා, සංඥා ආදී ධර්මතා විශේෂයනේ. එතකොට ඒ දැනගැනීම තුළ, රූපය කියලා අපි නැවත නැවත මනෝ විඤ්ඤාණයෙන් සත්ත්වයෙක් සකස් කරගන්න මට්ටමට එනකොට අපි දැනගන්න බව තුළ තිබුනේ සම්පූර්ණයෙන්ම මනස මූලික කරගත්ත ධර්මයක් මිසක සතර මහා ධාතු නිශ්රිත කරගත්ත ධර්මයක් නෙවෙයි.
එහෙනම් ඒ මොහොත වෙනකොට අර ඇහැට ගැටුනු වර්ණ රූපය තමන්ගේ කෘත්යය සිද්ධ කරලා, අනිත්ය වෙලා ඉවරයි. අනිත්ය වූ රූපය අනිත්යයි කියලා අවබෝධ කරගන්නකොට ඒ රූපය අතීතයේ තිබුණා හෝ අනාගතයට තියෙනවා කියලා නෙවෙයි දකින්නේ. "උප්පජ්ජිත්වා විගතං" - ඉපදිලා නැතිවෙලා ගියපු දෙයක් හැටියට දකින්නේ. හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙලා ගියපු දෙයක් හැටියට දකින්නේ. ඒ විදියට දකින නිසා ඒ රූපය නැවත නැවත උපාදාන වශයෙන් ග්රහණය කරන්න යන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ රූපය රැස් කරන්නේ නැහැ කියලා කිව්වේ, රූපයේ නිරෝධය දකින නිසා.
ඒ නිසාමයි, සැප, දුක්, උපේක්ෂා නිශ්රිත කරගත්ත වේදනාවක් තියෙනවා නම් එයා ඒ වේදනාව පවතින දෙයක් හැටියට දකින්නේ නැහැ. ඇයි? වේදනාවේ අනිත්ය දැක්කා. හේතු නිසා ස්පර්ශ ප්රත්යයෙනුයි හටගත්තේ. ස්පර්ශය නැතිවෙනකොට වේදනාව නැතිවෙන බව දැක්කා. මේ විදියට ස්කන්ධ ධර්මයන්ගේ රැස් කිරීමක් නැහැ. රැස් කිරීමක් නැති නිසා පැවැත්ම කියන දේ නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට උපාදාන වශයෙන් ගන්න දෙයක් හම්බ වෙලා නැහැ. ඒ දේවල් සම්පූර්ණයෙන්ම දුරු කරලා තියෙනවා. ඊට පස්සේ, විසිරුවා හැරලා තියෙනවා ඒවා, රැස් කරගෙන පවත්වාගන්න දෙයක් නැතිවෙලා තියෙනවා.
ඒ වගේම ඒක විධූපනය කරලා දාලා (සම්පූර්ණයෙන්ම නිවලා දාලා දල්වලා නැහැ), ඒකේ පැවැත්ම අපිට පේන්නේ නැහැ ඒ නිසා. මේ විදියට විඤ්ඤාණයත් රැස් නොකොට දුරු කරලා, විසුරුවා හැරලා, නිවලා දාලා. මේ විදියට නිවලා දැම්මට පස්සේ එයා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ධර්මයන් පිළිබඳව කළකිරිලා, නොඇලිලා, මිදිලා, මිදුනා යැයි කියන නුවණකට පත්වෙනවා.
"විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති" - මත්තෙහි කළ යුත්තක් නැහැ කියන තැනට එයාගෙ නුවණ පත්වෙනවා. එතකොට මේ විදියට පත්වුනා කියලා කියන්නේ එයා ලෝකයේ වැනසීමට පත් නොවී සිටපු කෙනෙක් බවට පත්වෙනවා. මේ විදියට රූපය පිළිබඳව එයාට අපේක්ෂා සහිත මනසක් ඇත්තේ නැහැ. රූපය කියන එක එයා රැස් කරන දෙයක් නෙවෙයි, ගන්න දෙයක් නෙවෙයි, පවතින දෙයක් නෙවෙයි. රූපය කියන දේ එයා අත්හැරීම සිද්ධ කරලා, රූපය හසු නොවන මට්ටමකට පත්වෙලා.
~~ රහතන් වහන්සේ රූපය ඇසුරු කරනවද ~~
දැන් රහතන් වහන්සේට රූපය ඇසුරු වෙනවාද නැද්ද කියලා අපිට හිතන්න දෙයක් නැහැ. ඇයි? රහතන් වහන්සේට රූපය ඇසුරු වෙන්නේ නැහැ. ඇයි? රූපයේ නිරෝධය තමයි හැම වෙලාවකදීම පේන්නේ. 'රූපයේ නිරෝධය පේන්නේ' කියන එකෙන් අදහස් කරන්නේ රූප විෂයෙහි දැනගන්න බැහැ කියන එක නෙවෙයි. නැවත 'ඇති බවට' බාහිර රූප විෂයෙහි පතිත කරන මෝඩකම නැහැ කියන එක. එතකොට නාම ධර්මතා ටිකෙන් උපදවන ධර්මතා විෂයෙහි ඒ පිළිබඳව දැනගැනීමක් තියෙනවා, හුදු සංඛත ධර්මයන්ගේ සංඛත ලක්ෂණය පිළිබඳව නුවණ පවත්නා නිසා රහතන් වහන්සේට ඒ ආකාර වූ බලාපොරොත්තු ලෝකය තුළ ඇත්තේ නැහැ.
~~ විමුක්ති මුඛ ~~
මේ විදියට රූපය නිරුද්ධ කරන්න පුළුවන් කම තියෙනවා. රූප නිරෝධය සඳහා තමයි අපිට ප්රතිපදාව වඩන්නට වෙන්නේ. ඔබට දැන් පැහැදිලි ඇති, මේ ප්රතිපදාව වඩනකොට අනිත්ය සංඥාව, දුක්ඛ සංඥාව, අනත්ත සංඥාව කියන මේ දේවල් වලට හිමි ස්ථානය කුමක්ද කියන එක. ඒ කියන්නේ, අන්තිමටම කොහෙන් ගියත් අපිට කරන්න වෙලා තියෙන දේ තමයි අනිත්ය දකින කම, දුක දකින කම, අනාත්මය ප්රකට කරගන්න කම. ඒ නිසා තමයි ඒවාට විමුක්ති මුඛ කියලා කියන්නේ. විමුක්තියට යෑම සඳහා ඇති දොරටු තුන තමයි අනිත්ය, දුක්ඛ, අනාත්ම කියලා කියන්නේ. මොන කර්මස්ථානය පැත්තෙන් ආවත් අපිට යන්න වෙන්නේ ඔය තුනෙන් තමයි. ඇයි?
හටගත්ත ධර්මයක උදය වැය දකිනවා නම්, ඉපිද නිරුද්ධවෙන බව දකිනවා නම් ඒක තමයි අනිත්ය දකිනවා කියලා කියන්නේ. ඒ අනිත්ය නොදැක නිවන් දකිනවා කියලා කියනවා නම් යම් කෙනෙක් ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක්. දුක කියන සංඛත ලක්ෂණය එයා නොදැක නිවන් දකිනවා කියනවා නම්, සංඛත ධර්මයන්ගේ සංඛත බව, හේතු නිසා සකස්වෙන බව නොදැක නිවන් දකිනවා කියනවා නම් ඒක කවදාවත් සිදු නොවන දෙයක්. ඒ වගේම, අනාත්මය නොදැක නිවන් දකිනවා කියනවා නම් ඒක කවදාවත් සිදු නොවන දෙයක්. අනිත්ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්රිලක්ෂණ ධර්මය විමුක්ති මුඛ. ඒ නිසා තමයි අනිත්ය සංඥාව වැඩිය යුතු වෙන්නේ.
~~අනිත්ය සංඥාව~~
වඩන ලද අනිත්ය සංඥාව මහත් ඵල, මහත් ආනිශංස වන්නේ ඒ නිසා. එහෙනම් අනිත්ය සංඥාව ප්රගුණ කළ යුතුයි. නිරතුරු අනිත්ය සංඥාව වැඩිය යුතුයි. 'අනිත්ය සංඥාව' කියනකොට අපි හොඳ නුවණක් පවත්වන්නට ඕන 'පවතින දේක නැති බව' බලනවාට වඩා, 'දෙයක් පවතින්නට හම්බ වෙන්නේ කොහොමද' කියන එක පිළිබඳව අපේ පවත්නා නුවණක් කියන එක. එතකොට අපිට ආයතන විෂයෙහි අරමුණු එන හැටි, රූපයෙහි අනිත්යතාවය ප්රකට කරගන්න වෙයි.
රූපයෙහි අනිත්යතාවය ආයතන විෂයෙහි ප්රකට වෙනකොට ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන ටිකෙන් සම්පූර්ණයෙන්ම පිරිසිදුව ඒ කියන්නේ, 'මොහොතකට හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වෙන, ඊට අනුභූත වූ ආධ්යාත්මික සහ බාහිර ආයතන දෙක ඇති කල්හි ප්රකටවෙන, ආයතන නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුන රූපය' කියන තැනින්ම සියලු රූපය ගෝචර කරගන්නවා. එතකොට ඔබට පෙනෙයි ආයතන මට්ටමෙන්ම හටගෙන නිරුද්ධවන රූපය සත්ත්ව පුද්ගල බවෙන් ගන්න දෙයක් නෑනේ කියලා, රූපයේ පැවැත්ම එච්චරනේ කියලා. රූපයේ පැවැත්ම එච්චර නම් ඔබට මෙච්චර ලෝකයක් තියෙනවා කියලා හිතන එක ශූන්ය වූ දෙයක්, හිස් වූ දෙයක් හැටියටම ප්රකට කරගන්න පුළුවන් වෙයි.
අද ලෝකයක් පවතිනවා කියලා රූප සහිත ලෝකයක් හදාගන්න එකේ යථාර්ථය තියෙන්නේ ආයතන ටිකකින් මේ මොහොතේ උපද්දන දෙයක් කියලා දැක්කොත්, මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දේ නැවත අනාගතයට හම්බ වෙන්නේ නැහැ කියලා දැක්කොත් ඔබට රූපය පිළිබඳව සත්ත්ව පුද්ගල බව පවත්වන්න බැරි නුවණක් ඇතිවෙයි. එහෙනම් අද මූලික ලෙසම දියුණු කළයුතු වෙනවා ඒ කියන අනාත්ම සංඥාව, අනාත්ම සංකල්පය. අනිත්ය සංඥාව ඔබ ප්රකට කරගන්න තරමට දුක සහ අනාත්මය කියන මේ ධර්මතා දෙක ඒ තරමටම සමීප වෙයි.
ඒ නිසා රූපයෙහි ස්වභාවය තේරුම් අරගෙන 'රූපයට හසු වුනොත් අතීතයෙදීත් දුක ආවා, වර්තමානයෙත් එනවා, අනාගතයටත් එනවා. මේ දුකෙන් මිදෙන්නට ඕන නම් වර්තමාන රූපය පිරිසිඳ දැකිය යුතුයි' කියලා රූපයෙහි අනිත්ය දැකීම පිණිස උත්සාහවත් වෙන්න. රූපයෙහි අනිත්ය දැකීම පිණිස උත්සාහවත් වෙන ඔබට රූපයේ නොඇලී, මිදීම කියන තැනට යන්නට පුළුවන් කම තියෙයි. ඒ සඳහාම කවුරුත් අප්රමාදීව උත්සාහවත් වන්නට කියලා සිහිපත් කරනවා.
හැමදෙනාටම තෙරුවන් සරණයි
දේශනාව නිමි
අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.07.01 දින සිදු කළ ඛජ්ජනිය සුත්රය ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments