*සංඥාව කියලා කියන්නේ කුමක්ද?
'කිඤ්ච භික්ඛවෙ, සඤ්ඤං වදෙථ'?' - මහණෙනි, සංඥාව කියලා කියන්නේ මොකක්ද?
'සඤ්ජානාතීති ඛො භික්ඛවෙ, තස්මා සඤ්ඤාති වුච්චති' - සංඥාව කියලා කියන්නේ හඳුනන ස්වභාවයට. ('සඤ්ජානාතීති' කියන්නේ 'හඳුනයි' කියන එක). හඳුනන බව නිසා තමයි ‘සඤ්ඤාති වුච්චති' - 'සංඥා' කියන දේ ව්යවහාර කරන්නේ.
'කිඤ්ච සඤ්ජානාති?' - හඳුන ගන්නේ කොහොමද?
'නීලම්පි සඤ්ජානාති, පීතකම්පි සඤ්ජානාති, ලොහිතකම්පි සඤ්ජානාති, ඔදාතම්පි සඤ්ජානාති. සඤ්ජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා සඤ්ඤා’ති වුච්චති. - නිල් පාට වශයෙන්, කහ පාට වශයෙන්, රතු පාට වශයෙන්, සුදු පාට වශයෙන් ආදී ලෙස වර්ණ වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා නම්, හැඩතල වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා නම්, ගති විදියට හඳුනා ගැනීමක් තියෙනවා නම් මේ සියල්ලක්ම 'හැඳිනීම' කියන එකට අයිතියි.
හැඳිනීම මුල් කරගෙන තමයි දෙයක් අපි ගබඩා කරගන්නේ. එහෙම නැතිනම්, දෙයක් දැක්කහම නැවත ඇසුරු කරන්න පුළුවන් කම තියෙන්නේ හැඳිනීම මුල් කරගෙන. අපි කෙනෙක් හම්බුනහම සමහර වෙලාවට කියන්නේ 'මට හඳුනාගන්න බැරි වුනා' කියලා. එතකොට ඒ හඳුනා ගන්නට බැරි වුනා කියන එක තුළ (ඕලාරික පැත්තෙන් ගත්තොත්) අපිට ඒ පිළිබඳව සංඥාවක් ඇත්තේ නෑ. ඒ පුද්ගලයා පිළිබඳව හැඳිනීමේ ගතියක් අපිට ඇත්තේ නැති නිසා අපි කියනවා හඳුනා ගැනීමට නොහැකි වුනා කියලා. ඒ වගේ ඕලාරික මට්ටමේ ඉඳලා ඉතාම සියුම් මට්ටමකට, මානසිකව ඇතිකර ගත්ත 'හැඳිනීම' කියන ඉතාම සියුම් ගතියකට (හැඩතල විදියට, වර්ණ සටහන් විදියට හඳුනා ගන්න මට්ටමකට) යනකන්ම මේ සංඥාව පවතිනවා.
මේ හඳුනා ගන්න ලක්ෂණය නිසා තමයි 'සංඥා' කියලා කියන්නේ.
** සංඛාරය කියන්නේ මොකක්ද?
'කිඤ්ච භික්ඛවෙ, සඞ්ඛාරෙ වදෙථ?'
මහණෙනි, සංඛාරය කියලා කියන්නේ මොනවද?
'සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති භික්ඛවෙ, තස්මා සඞ්ඛාරාති වුච්චති'- සංඛතය අභිසංස්කරණය කරන නිසා 'සංස්කාරය' යැයි කියනවා.
'කිඤ්ච සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති ?'
මොකක්ද ඒ අභිසංස්කරණයකට ලක් කරන සංඛතය කියලා කිව්වේ?
~~ කුමන ධර්මයෝද සංස්කරණය කරන්නේ?
'රූපං රූපත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති , වෙදනං වෙදනත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, සඤ්ඤං සඤ්ඤත්තාය , සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, සඞ්ඛාරෙ සඞ්ඛාරත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති" - රූපය, රූපය පිණිස සංඛතය අභිසංස්කරණය කරනවා. එතකොට රූපය, රූපය පිණිස සංඛතය අභිසංස්කරණය කරනවා කියනකොට (රූප ස්කන්ධ කියනකොට රූප සමුහයක් කියලා කිව්වා) මේ සමූහයක්ම ඒකාර්ථවත් කොට නැවත උපදවන්නට පුළුවන් විදියට, සමස්තයක් විදියට රූපය එකතු කරලා දක්වන විදියට සංස්කරණය කරන ලක්ෂණය.
එතකොට ඒ සංස්කරණය කරන දේ, සංඛත හේතු නිසා හටගත්ත ධර්මයෝ එකතු කොට දක්වන මූලික ලක්ෂණය නිසා තමයි සංස්කාරය කියලා කියන්නේ. ඒකෙන් සංස්කරණය කරන්නේ මොකක්ද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන මේ ධර්මයම තමයි එතනදී සංස්කරණය කොට දක්වන්නේ. රූපය සංස්කරණය කොට දක්වනවා, වේදනාව සංස්කරණය කොට දක්වනවා, සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය සංස්කරණය කොට දක්වනවා. එතකොට ඒ දේ සංස්කරණය කොට දක්වන්නේ ඒ දේ නැවත ඇසුරු කරන්නට පුළුවන් විදියට.
ඒකයි - "රූපං රූපත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති , වෙදනං වෙදනත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, සඤ්ඤං සඤ්ඤත්තාය , සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, සඞ්ඛාරෙ සඞ්ඛාරත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති" ආදී ලෙස මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරන්නේ. වේදනාව වේදනාව පිණිස, සංඥාව සංඥාව පිණිස, සංස්කාරය සංස්කාරය පිණිස, විඤ්ඤාණය විඤ්ඤාණය පිණිස සංස්කරණය කරනවා, නැතිනම් සකස් කොට දක්වනවා. එතකොට මේ දේවල් නැවත ඇසුරු කරන්නට පුළුවන් විදියට ආශ්රව ටික නිර්මාණය කිරීම, සකස් කොට දැක්වීම කියන දේ තමයි සංස්කරණයෙහි ඇති මූලික ලක්ෂණය.
**විඤ්ඤාණය කියලා කියන්නේ මොකක්ද
‘කිඤ්ච භික්ඛවෙ, විඤ්ඤාණං වදෙථ?'
විඤ්ඤාණය කියලා කියන්නේ මොකක්ද?
'විජානාතීති ඛො භික්ඛවෙ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති'
විජානනය කරගන්න නිසා විඤ්ඤාණය යැයි කියනු ලැබේ.
'කිඤ්ච විජානාති?'
මොනවද දැනගන්නේ?
"අම්බිලම්පි විජානාති, තිත්තකම්පි විජානාති, කටුකම්පි විජානාති, මධුරකම්පි විජානාති, ඛාරිකම්පි විජානාති, අඛාරිකම්පි විජානාති, ලොණිකම්පි විජානාති, අලොණිකම්පි විජානාති. විජානාතීති ඛො භික්ඛවෙ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති"-
එතකොට විඤ්ඤාණය කියන්නේ මොකක්ද? විජානන ස්වභාවය නිසා තමයි 'විඤ්ඤාණය' කියලා කියන්නේ. මොනවද මේ විඤ්ඤාණය කියලා කියන්නේ? ඇඹුල් කියලා දැනගන්නවා, තිත්ත කියලා දැනගන්නවා, කටුක රස, මධුර රස, කර රස, රළු නොවූ රස, ලුණු රස, ලුණු මදි බව... මේ විදියට දැනගන්න ස්වභාවය. එතකොට මෙතනදි මේ දැනගැනීම කියන එකෙන් රසය දැනගැනීම පමණක් හුදු විඤ්ඤාණය කියන අර්ථය ගෙනැල්ලා දෙන්න ඕන නිසා නෙවෙයි විජානනය මේ විදියට විග්රහ කරන්නේ. අපි අර අනිත් දේවල් විග්රහ කරා වගේම මෙතනදී පොදුවේ විජානන ස්වභාවය (දැනගන්න ස්වභාවය) විග්රහ කරන්නේ. වේදනාවට සමානුපාතව යන ස්වභාවයක්නේ මෙතන දකින්න පුළුවන් කම තියෙන්නේ.
සැප, දුක්, උපේක්ෂා වශයෙන් අපි ඇතිකර ගත්ත බවට කිව්වා 'වේදනාව' කියලා. ඒ වේදනාව අනුවම අපිට යම්කිසි දැනගන්න බවක් තියෙනවා නම් ඒ දැනගන්නා බවට තමයි 'විජානනය' කියලා කියන්නේ. විජානන (දැනගන්නා බව) බවත් එක්ක ඇති කරගන්න ලක්ෂණය තමයි 'විඤ්ඤාණ' කියන දෙයෙහි ඇති ස්වභාවය. එතකොට මේ විදියට ස්කන්ධ ධර්මතා ටිකේ පොදු ව්යවහාරය දකින්න පුළුවන්. මේ කතා කරන්නේ අර 'ස්කන්ධ මාත්රිකව එකවර හටගෙන, එකවර නිරුද්ධ වෙනවා' කියන අර්ථය නෙවෙයි.
මේ පරියාය තුළ සාකච්ඡා කෙරෙන්නේ 'ස්කන්ධයෝය' කියලා කිව්වට මේ ස්කන්ධ ධර්මයන්ගේ මෙබඳු වූ ස්වභාවයක් තියෙන්නේ, මේ නිසා තමයි 'රූපය' කියලා කියන්නේ, මේ නිසා තමයි 'වේදනාව' කියලා කියන්නේ, මේ නිසා තමයි 'සංඥාව' කියලා කියන්නේ, මේ නිසා තමයි 'සංස්කාරය' කියලා කියන්නේ, මේ නිසා තමයි 'විඤ්ඤාණය' කියලා කියන්නේ... ආදී ලෙස ඔවුනොවුන්ගේ ස්වභාවයන්, ඔවුනොවුන්ගේ ගති ලක්ෂණ අපිට පුළුවන් ප්රකට කරගන්න.
'රුප්පතීති ඛො රූපං' කියනකොට, රුප්පනය වන නිසා 'රූපය'යි කියනවා. ශීත, උෂ්ණ, අව්, සුළං, මැසි, මදුරු ආදී ප්රත්ය වෛකල්ය නිසා වෛකල්යට පත්වෙන දේ තමයි 'රූපය'. ප්රත්ය වෙනස් වෙනකොට වෙනස් වෙලා යන බාහිර පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ප්රත්ය ධර්මයන්ගේ වෙනස් වීම මත වෙනස්වෙන ඕනම දෙයක් ඒ බිඳී යන ස්වභාවය නිසා 'රූපය'යි කියලා කියනවා. ඒකට අපි කිව්වා 'රුප්පතීති ඛො රූපං'. ඒක තමයි රූපයෙහි ස්වභාවය. මොකක්ද මූලිකම දේ එතකොට? ප්රත්ය ධර්මයන්ගේ (මහාභූත රූපයන්ගේ) ඇති වෙනස් වීම නිසා රූපය වෙනස්වෙන බවකින් යුක්තයි. එතකොට ඒ වෙනස්වෙන බවකින් යුක්ත බව නිසා, ප්රත්ය වෙනස් වීමෙන් නිරතුරුව වෙනස් වීමට භාජනයවන නිසා ඒකට කිව්වා 'රූපය' කියලා.
ඒ වගේම තමයි වේදනාව. වේදනාවත් ප්රත්ය නිසා තමයි උපදින්නේ. ප්රත්ය නැති වෙනකොට වේදනාවත් නැති වෙනවා. හැබැයි ඒ අර්ථයෙන් මේකට 'වේදනාව' කිව්වේ නැහැ. හැබැයි වේදනාව මුල් කරගන්න අර්ථය හැටියට පෙන්නනවා 'වෙදයති' - විඳින බව තියෙනවා, විඳින ලක්ෂණය තියෙනවා, 'විඳියි' කියන ගතිය තියෙනවා. ඒ 'විඳියි' කියන ගතිය නිසා තමයි 'වේදනාව' කියලා කියන්නේ. යම්කිසි බවක් සැප වශයෙන් විඳිනවා නම්, දුක් වශයෙන් විඳිනවා නම්, සැප දුක් දෙකම නැතිකම විඳිනවා නම් මෙන්න මේ 'විඳීම්' කියන ස්වභාවයට කියනවා 'වේදනාව' කියලා.
ඊගාවට සංඥාව. සංඥාව කියන්නේ හඳුනන ස්වභාවය. 'හඳුනනවා' කියලා කියන්නේ..., නිල්, රතු, කහ, සුදු ආදී ලෙස වර්ණ වශයෙන් හඳුනනවා, ඒ වගේම, හැඩතල වශයෙන් හඳුනනවා, 'මුතය' පැත්තෙන් අපි අරගෙන බැලුවොත්... නහයට දැනෙන ගන්ධ ආදී ලෙස, දිවට දැනෙන රසයන් ආදිය හැඳිනීම පිණිස අවශ්ය ලක්ෂණ ටිකක් අපිට තියෙනවා. ඒ හැඳිනීම පිණිස තියෙන ලක්ෂණ වලට කියනවා සංඥාව කියලා.
ඊට පස්සේ විජානනය පැත්තෙන් ගත්තහම ඒ විජානන ස්වභාවය දැනගන්න බවකින් යුක්තයි. ඒකට අපි ඇඹුල් රස, තිත්ත රස, කටුක රස, මිහිරි රස, ලුණු රස, නොලුණු රස ආදී රස වශයෙන් කතා කළාට, ඒක විජානන ස්වභාවය. එහි ස්වභාවය තමයි යමක් නිශ්චිත ලෙස දැනගන්න බවක් තියෙනවා, පරිපූර්ණව දැනගන්න ස්වභාවයකට ගිහිල්ලා තියෙනවා ඒ ස්වභාවය කුමක්ද කියන එක පිළිබඳව. එතකොට යම්කිසි අරමුණක පවත්නා වේදනා නිශ්රිත ස්වභාවය, ආරම්මණ රසය විඳින කම, ගෝචර කරගෙන ග්රහණය කරගන්න කම, ඒක දැනගන්න කමට කියනවා විජානනය හෙවත් විඤ්ඤාණය කියලා (දැනගැනීම). එතකොට මේ ටික පොදු ලක්ෂණයකින් තමයි අපි කතා කළේ.
~~ ශ්රැතවත් ආර්ය් ශ්රාවකයාගේ දැකීම ~~
"තත්ර භික්ඛවෙ, සුතවා අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති" - එතනදි ශ්රැතවත් ආර්ය් ශ්රාවකයා මේ විදියට කල්පනා කරනවා.
'අහං ඛො එතරහි රූපෙන ඛජ්ජාමි' - මම මේ රූපය විසින් කනු ලබනවා.
'අතීතම්පාහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජිං' - අතීතයේදිත් මම මෙබඳු වූ රූප විසින් අනුභව කළා. එතකොට 'ඛජ්ජති' කියලා කියන්නේ අනුභව කිරීම, ආහාරයට ගැනීම කියන අර්ථයකින්. 'ඛජ්ජනීය' කියලා කියනවා 'ආහාරයට ගතයුතු' , 'ආහාරයට ගනු ලබන්නා වූ දේ' , 'අනුභවයට හිත' කියන අර්ථයකින්.
''සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමීති - යම්සේ වර්තමාන වූ රූපයෙනුත් මාව දැන් කනු ලබනවා.
ඒ වගේම,
'අහං චෙව ඛො පන අනාගතං රූපං අභිනන්දෙය්යං, අනාගතම්පාහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජෙය්යං' - අනාගත වූ රූපය මම අභිනන්දනය කරනවා නම් අනාගත වූ රූපයත් මාව කාලා දානවා.
'සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමීති' - යම් විදියකින් මේ වර්තමාන රූපය මාව කාලා දානවා වගේ, අනාගතයටත් මම මේ රූපය අභිනන්දනය කරනවා නම් මේ රූපය අනාගතයටත් මාව කාලා දානවා.
'සො ඉති පටිසඞ්ඛාය අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති ; අනාගතං රූපං නාභිනන්දති; පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති'- මේ විදියට මෙනෙහි කරන කෙනා අතීත රූපය කෙරෙහි අනපේක්ෂව වාසය කරන්නෙක් බවට පත්වෙනවා. අනාගත රූපය අභිනන්දනය නොකරන්නෙක් බවට පත්වෙනවා. වර්තමාන වූ රූපය නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්න කෙනෙක් බවට පත්වෙනවා.
එතකොට මේක ඉතාම වැදගත් ධර්ම කොට්ඨාශයක්. මේ සුත්රයේ කලින් කතා කරපු විදියට තමයි ස්කන්ධයන්ගේ ස්වභාවය තියෙන්නේ. රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ කිව්වහම මේ මේ අර්ථයන්ගෙන් තමයි ඉහතදී අපි කතා කළේ. එතකොට ඒ ධර්මතා ටිකක් තියෙන තැනක 'තත්ර භික්ඛවෙ, සුතවා අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති' - ශ්රැතවත් ආර්ය් ශ්රාවකයා මේ විදියට කල්පනා කරනවා. වර්තමාන රූපය විසින් මාව අනුභව කරගෙන තියෙනවා, මාව කාලා දානවා, වර්තමාන රූපය වශයට මම ගිහිල්ලා තියෙනවා. එතකොට, එසේ වූ පච්චුප්පන්න රූපය මාව අල්ලගන්නවා වගේම අතීත වූ රූපත් මාව අල්ලගත්තා, අතීත වූ රූපත් මාව කාලා දැම්මා.
~~ රූපය මාව කාලා දානවා කියන්නේ මොකක්ද ~~
යම්කිසි විදියකින් වර්තමාන රූපය මාව කනවාද, ඒ විදියටම මම අනාගත රූපය අභිනන්දනය කළොත් එහෙම අනාගත රූපයත් මාව ඒ විදියටම කාලා දානවා. මේ විදියට ශ්රැතවත් ආර්ය් ශ්රාවකයා රූපය පිළිබඳව කල්පනා කරනවා. 'රූපය විසින් කාලා දානවා', 'රූපය විසින් අනුභව කරනවා' කියලා කියන්නේ තමාගේ විඤ්ඤාණය රූපය නොඉක්මවන මට්ටමක ඉන්නවා නම්, ඒ රූපය ඇසුරු කොට ඒ රූපයේ හැපී සිටිනවා නම් ඒක තමයි 'රූපයේ අනුභවය' කියලා කියන්නේ. ඒ හේතුවෙන් ජරාමරණ දුකෙන් මිදීමක් ඇත්තේ නැහැ. රූපය වෙනස් වෙනකොට දුකට පත්වීම කියන දේ අපි ළඟ තියෙන්නේ. ඒක තමයි 'රූපය විසින් අපිව කනු ලැබීම' කියලා කියන්නේ.
ඒක හරියට, මුහුදේ ඉන්නවනෙ ලොකු මත්ස්යයන් තමන්ගෙ කට ඇරගෙන ඉඳලා කටට පිවිසෙන කුඩා මත්ස්යයින් ආදිය කට ඇතුලට අරගෙන කට වහලා ජලය ඉවත් කරලා ආහාරයට ගන්න, අන්න ඒ වගේ දෙයක් තමයි රූපය කියලා කියන්නේ. රූපය ඇසුරු කරගෙන විඤ්ඤාණය පවතිනකොට ඒ විඤ්ඤාණය හැම වෙලාවකදිම රූපයේ සීමාව ඉක්මවන්නට නොදී රූපය තුළම පුද්ගලභාව විසින් හැසිරෙනවා, රූපය තුළම පුද්ගලභාව විසින් සැරිසරනවා. එතකොට මොකද වෙන්නේ? රූපය විසින් අපිව කනු ලබනවා. රූපය විසින් කනු ලබනවා කියලා කිව්වේ? රූපය වෙනස්වීමට, විපරිණාමයට භාජනය වෙනවා කියලා අපි කිව්වා. රුප්පන අර්ථයෙන් 'රූපය' කියනවා කියලා.
එතකොට ඒ රූපය විපරිණාමයට පත්වන්නට, රූපය වෙනස් ස්වභාවයට පත්වන්නට හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු ටික නෙවෙයි අපිට අවශ්ය වෙලා තියෙන්නේ. අපි ඉන්නේ රූපය පැත්තේ. 'රූපය පැත්තේ' කියලා කියන්නේ, සතර මහා ධාතු සහ උපාදාය රූපය තමයි රූපයේ යථාර්ථය. හැබැයි ඒ මට්ටමේ රූපයක් නෙවෙයි අපි ඇසුරු කරන්නේ, සත්ත්ව පුද්ගලභාව විදියට ගත්ත රූපයක්. මහාභූත රූපය අපි සම්පූර්ණයෙන්ම සත්ත්ව පුද්ගලභාවයෙන් උපාදානය කරලා අල්ලගෙන ඉන්නවා. දැන් වෙනස් වෙන්නේ මහාභූත රූපය, මහාභූත රූපය වෙනස් වෙනකොට අපි සත්ත්ව පුද්ගල බවෙන් ගත්ත දේ අනුව දුක විඳින්න පුළුවන් දේ අපිට නිර්මාණය වෙලා තියෙනවා.
ඒ කියන්නේ ජාති, ජරා, ව්යාධි, මරණ, සෝක, පරිදේව ආදී දුක් ටික විඳින්න පුළුවන් මට්ටමක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. ඇයි? අපි දැන් රූපය ඇතුලට ගිහිල්ලා, ආයෙ මිදෙන්න බැරි තත්ත්වයකට රූපය ඇතුලේ පත්වෙලා තියෙනවා. ඒ පත්වෙලා තියෙන නිසා තමයි වර්තමානයේ මම යම් විදියකට රූපයකට හසුවෙනවා නම් හසුවෙලා ඉන්නවා කියලා කියන්නේ. මේ හසුවෙලා ඉන්නේ යම් විදියකටද, දැන් මේ රූපය අනුව ගිහිල්ලා මම දුක් විදින්නේ යම් විදියකටද, ඒ රූපය අනුව ගිහිල්ලා රූපය මාව කන විදියටම තමයි අතීත වුන රූපයත් මාව අනුභවයට ලක් කළේ.
~~ අතීත රූපය කොහොමද මාව කෑවේ ~~
'අතීත වුන රූපය මාව අනුභවයට ලක් කළේ' කියලා කියන්නේ, අතීතයේදීත් මම, රූපය අනුව මගේ සිතුවිලි ධාරාව පැවැත්වුවේ, අතීතයෙදී මට රූපය රැස් කරගැනීම පිණිස හේතු වුනේ මෙබඳු වූ වර්තමානයේ යම්කිසි අවිද්යාවක් තියෙනවා නම් ඒ විදියටම රූපය පිරිසිඳ නොදන්නාකම නිසයි කියලා අතීතය පිළිබඳව එයාට නුවණක් ඇති වෙනවා. අතීතය පිළිබඳව එයාට නුවණක් ඇතිවෙන එකේ ප්රතිඵලය මොකක්ද? 'ඉති පටිසඞ්ඛාය අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති' - අතීත වූ රූපය කෙරෙහි ඔහුට අනපේක්ෂිත වූ බවක් ඇතිවෙනවා, අපේක්ෂා රහිත ස්වභාවයක් ඇතිවෙනවා. ඇයි?
ඔහු වර්තමාන රූපය පිළිබඳව දකිනකොට ඔහු දකිනවා අතීතය තුළද රූපය විසින් මාව කනු ලැබුවා, අතීතයේද මෙබඳු වූ රූපයෙහි ඇත්ත නොදන්නාකම නිසා, මේ රූපයට සීමා සහිත වූ නිසා අතීත වූ රූපය විසින් මාව ග්රහණයකට ලක්කළා. ඒ නිසා ඒ රූපය පවතින දෙයක් හැටියට වර්තමානයේ මට හිතන්න පුළුවන් කම තියෙනවා කියලා ඔහු වර්තමානය තුළ තමාව නිශ්රය කරගන්න රූපය තුළින් දකිනවා මේ රූපය වර්තමානයේ යම්සේ මාව කනවාද, යම්සේ මාව නොඉක්මවා පවත්වා ගන්නවාද, ඒ විදියටම අතීතයේදීත් නොඉක්මවා පවත්වා ගත්තා කියන එක එයා දකිනවා. එතකොට ඒ දේ වැරදියි කියලා එයා දකිනකොට මොකද වෙන්නේ? අතීත රූපය පිළිබඳව අනපේක්ෂක වෙනවා, අපේක්ෂා රහිත බවට පත්වෙනවා.
~~ අනාගත රූපය මාව කාලා දාන්නේ කොහොමද ~~
'අහඤ්චෙව ඛො පන අනාගතං රූපං අභිනන්දෙය්යං, අනාගතම්පාහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජෙය්යං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමී’ති' - යම්කිසි විදියකින් මම වර්තමාන රූපය විසින් කනු ලබනවාද, ඒ විදියටම අනාගත වූ රූපය මම අභිනන්දනය කළොත්, අනාගතයට ඇතිවෙන රූපයේ ඇත්ත නොදැනගෙන එහි සතුටුවෙන බවට මම ගියොත් අනාගත රූපයත් මාව කාලා දානවා. දැන් මේ දර්ශනය තුළ ඔහුට පොදුවේ 'අවිද්යාව' කියන දේ හම්බ වෙලා තියෙනවා. අවිද්යාව කියන්නේ - නොදන්නාකම, ඒ නිසා රූපය හටගන්නවා කියන එක දකිනවා.
වර්තමානය තුළ පවත්නා රූපය දකිනකොට ඔහු දකිනවා යම්සේ මේ වර්තමාන රූපය ඇසුරු කරගෙන මගේ සිත පවත්වනවාද ඒ විදියටම අතීතයෙදි එබඳු වූ රූපයක් ඇසුරු කරගෙන මගේ හිත පැවැත්වුන නිසා තමයි ඒ රූපය තුළ මම හැසිරුනේ, සීමා සහිතව ජීවත් වන්නට සිද්ධ වුනේ. ඒ රූප බිඳෙනකොට දුක ඉපදුනා නම් ඒ දුක ඉපදුනේ ඊට අනුගතව සිත පැවතුණු නිසා. හරියට මේ වර්තමානයේ රූපයට අනුගතව සිත පවතිනවා වගේ. ඒ වගේම අනාගත කාලය පිළිබඳව මම රූපය අභිනන්දනය කළොත් අනාගතයටත් මට මේ ප්රතිඵලයම තමයි. අනාගතයටත් රූපය විසින් මාව කාලා දානවා. මේ නුවණ මෙයාට ඇතිවෙන්නේ වර්තමාන රූපය පිළිබඳව ඇත්ත දකින ප්රමාණයට.
වර්තමාන රූපයෙහි යථාර්ථය පිළිබඳව ඔහුට අදහසක් ඇතිවෙන සීමාව ඇතුලේ තමයි මෙන්න මේ කියන නුවණ, මේ කියන ධර්මතා ටික ඔහුට ඇතිවෙන්නේ. එතකොට අනාගතය පිළිබඳවත්, අතීතය පිළිබඳවත් ඔහුට අදහස් නැතිවෙනකොට, වර්තමාන රූපය විසින් මාව කාලා දැමීම දැකීම තුළ පොදුවේ අවිද්යාව කියන ධර්මය තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. අවිද්යාව නිසා අතීත රූපයේ ඇත්ත දකින්නේ නැතුව රූපයට හසුවුනා. වර්තමානයෙදි යම්සේ අවිද්යාව තියෙනවා නම් එසේම මම අතීතයේදීත් රූපය අනුව හැසිරුනා. අනාගතයට අවිද්යාවෙන් රූපය ඇසුරු වුනොත් රූපයෙහි සතුටු වීම නිසා අනාගතයටත් රූපය අනුව දුක් විඳින්න සිද්ධ වෙනවා. පොදුවේ අවිද්යාව දැක්කා.
අවිද්යාව කියන දේ දැකීමම එතන ඇති යථාර්ථය තේරුම් ගැනීමට ඇති හොඳම මූලාශ්රය. ඒ කියන්නේ විද්යාව, ආලෝකය උපදවා ගැනීමට ඇති හොඳම දේ තමයි 'අවිද්යාව' කියන දේ දැනගැනීම. මොන ධර්මතා විෂයකද නොදන්නාකම පැවතුනේ කියන එක තේරුම් ගන්න අපිට විද්යාව අවශ්යයිනේ. විද්යාව තිබුණොත් තමයි අවිද්යාව කියන දේ තේරුම් ගන්නට පුළුවන් කම තියෙන්නේ. විද්යාව නැත්නම් අවිද්යාව කියන දේ තේරුම් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. විද්යාව තිබුණොත් පමණමයි අවිද්යාව කියන දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන් කම තියෙන්නේ. ඒ නිසා විද්යාව කියන දේ උපදවා ගත්ත අපිට අවිද්යාව කියන දේ තේරුම් ගන්න පුළුවන්.
එතකොට අවිද්යාව තේරුම් ගන්නකොට අවිද්යාව දුරු වෙලා යන මට්ටමක් ඇතිවෙනවා. අන්න ඒ නිසා තමයි 'අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති' කියලා කිව්වෙ. මේ විදියට මෙනෙහි කරන ශ්රැතවත් ආර්ය ශ්රාවකයාට අතීත වූ රූපය පිළිබඳව අනපේක්ෂක බාවයක් ඇති වෙනවා. 'අනාගතං රූපං නාභිනන්දති' - අනාගත වූ රූපය අභිනන්දනය කරන්නේ නැහැ. අභිනන්දනය නොකරන ඒ කෙනා 'පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති' - ඒ කෙනා පච්චුප්පන්න වූ රූපය පිළිබඳව නොඇලීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්න කෙනෙක් බවට පත්වෙනවා. වර්තමාන රූපය පිළිබඳව ඔහුට නුවණින් දකින්න සිද්ධ වෙනවා ඒ රූපයේ නොඇලීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස.
මතු සම්බන්ධයි
අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.07.01 දින සිදු කළ ඛජ්ජනිය සුත්රය ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments