ඛජ්ජනීය සුත්‍රය 1


ඛජ්ජනීය සුත්රය 1
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ශ්රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම දෙනාම උතුම් සද්ධර්ම ශ්රවණයට සූදානම්වන මොහොත. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපි කාටත් දුකින් මිදීම පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මය බිඳක් නමුත් ස්වල්පයක් ශ්රවණය කරගැනීමට ලැබීමත් ඉතාම දුර්ලභ කරුණක්. එදා බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙය අතහැර දාලා ලෝකයේ යථාර්ථයක් හොයමින් ඒ ගමන් කළේම ලෝකයෙහි ඇති නිස්සාරත්වය පිළිබඳව අවබෝධ කරගත් නිසා. ඒකට අපි කියනවා, සාමාන්යය ලෝකය තුළ ඇති 'නිර්වේදය පිණිස ගිය දැක්මක්' කියලා, 'නෙක්ඛම්මය පිණිස ගිය දැක්මක්' කියලා. එතකොට ඒ නෛෂ්ක්රම්ය තිබුණොත් තමයි එතනින් එහාට උතුම් ධර්මයක් ප්රත්යක්ෂ කරන්නට පුළුවන් කම තියෙන්නේ.

~~ නෙක්ඛම්ම සහගත චේතනාවන්ගේ වැදගත්කම ~~
ඒ නිසා නෙක්ඛම්ම සහගත චේතනාවන් වැදගත් වෙනවා ධර්මය තුළ හැසිරෙන්නට. වීර්යය වඩන්නට ඒ නෙක්ඛම්ම සහගත චේතනාවන් අවශ්ය වෙනවා. නෙක්ඛම්ම සහගත චේතනාවන් ප්රබලවන තරමට තමයි අපිට වීර්යය වැඩි බව, වීර්යය තව තවත් උත්පාදනය කළ හැකි බව තියෙන්නේ. නෙක්ඛම්මය පිළිබඳව ඇති දැක්ම අඩුවෙන තරමට ඒ ඒ කෙනා සතු වීර්යයෙහි හීනතාවය දකින්න පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ ගිහි ගෙදර ලැබුණු සියලු සැප සම්පත් අතහැරලා ගිහිල්ලා සය අවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්රියා කරනකොටත් එක දවසක්වත් නැවත ලෝකය සැපයි කියලා හෝ නැවත ලෝකය පැත්තට නැඹුරු වීම් මාත්රයක්වත් සිදු නොකොට තමන් ආපු ප්රතිපදාව පිළිබඳව විශ්වසනීයත්වයකින් ඒ තුළ පිහිටා සිටිමින් ඉදිරියෙහි නව මාර්ගයක් සොයා යන්නට හිතුනා කියන එකම එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි.
නමුත් ඒක තමයි නෙක්ඛම්මයෙහි ඇති ප්රබලතාවය කියලා කියන්නේ. ලෝකයේ සාමාන්ය දැක්මට එහා ගිහිල්ලා, සාමාන්ය දැක්මට අනුව නොයන දැක්මක් හොයනකොට ඒ පිළිබඳව තබා ඇති විශ්වසනීයත්වය ප්රබල නිසාමයි හෙලවුණු මනසක් නැතුව ඒ යථාර්ථය අවබෝධ කිරීම දක්වාම ගමන් කරන්නට යෙදුනේ. සමහර විට දෙවිවරුත් බලාගෙන හිටියා කියනවා 'මේ මහෝත්තමයාණන් බුද්ධත්වය අවබෝධ නොකර ගනීවි, ඊට පෙර කලුරිය කරාවි' කියලා. එපමණ දුකක් ලැබෙනකොටත්, එපමණ අවිනිශ්චිත බවක් තුළත් ප්රතිපදාව පුරන්නට, ප්රතිපදාව වඩන්නට, ඒ පිළිබඳව තවත් ක්රමවේදයක් ඇතැයි විශ්වාස කරන්නට උන්වහන්සේගේ ඒ පිරූ පාරමිතා ශක්තියම හේතුවක් වන්නට ඇති.
බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා තමන් ගමන් කොට නිර්වේදයට පත් වූ ප්රතිපදාව තමයි ලෝකයාට පෙන්නලා තියෙන්නේ. අපිට අමුතුවෙන් මගක් හොයා යන්නට අවශ්ය වෙන්නේ නැහැ. අපිට ඒ මාර්ගය පෙන්වා දීලා තියෙන නිසා ඉතාම පහසුවෙන් අපිට ඒ ප්රතිපදාව පිළිබඳව තේරුම් ගැනීමක් සිද්ධ කරන්නට අවශ්යයි. තේරුම් ගැනීමට අවශ්ය මූලිකම දැනුම ඇතිකර ගැනීමේ මාර්ගයට තමයි 'සුතමය ඤාණය' කියලා කියන්නේ. පරතොඝොෂ ප්රත්ය තුළ අපි අනුන්ගෙන් අසා දැනගන්න දෙයක් තමයි 'සුතමය ඤාණය' කියලා කියන්නේ. ඒ දැනගන්න දේ තුළ අමුතුවෙන් හොයලා, නූපන් මාර්ගය උපදවීම සඳහා ස්වයංභූ ඥානයකින් කරන්නට දෙයක් අපට ඇත්තේ නැහැ.
~~ නිවන් දකින්න ත්රිපිටක දහම අවශ්ය ද ~~
ඥානයකින් අවබෝධ කළ උත්තමයෙක් තමයි ඒ ප්රතිපදාව පිළිබඳව දේශනා කරලා තියෙන්නේ. මේ වචන ටික මතක් කළොත් හොඳයි කියලා හිතුනා, සාමාන්ය සමාජය තුළ ඇතැම් පිරිස් විසින් සමහර වෙලාවට විවිධ මතවාදයන් ඇති කරනවා. 'ධර්මය තියෙන්නේ පොතක නෙවෙයි, ධර්මය තියෙන්නට ඕන ජීවිතය තුළ, ධර්මය තියෙන්නට ඕනේ අවබෝධය තුළ, ධර්මය තියෙන්නට ඕන කවදාවත් සංග්රහ කෙරුණු පරම්පරාවෙන් ආපු පොත පොතක නෙවෙයි' කියලා විවිධ මත ප්රකාශ කරනවා. නමුත් මෙතනදී අපේ ථෙරවාද ත්රිපිටක ධර්මයක සහ අනෙකුත් පොත පතක අතර තියෙන වෙනස්කම මුලින්ම අපි තේරුම් ගන්නට අවශ්ය වෙනවා. ත්රිපිටකය තුළ තියෙන්නේ තමන් ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට ඒ ප්රතිපදාව තුළ ගමන් කිරීම පිණිස ඒ මහෝත්තමයාණන් වහන්සේලා විසින් දේශනා කළ උතුම් මාර්ගය, උතුම් ප්රතිපදාව.
අපි විසින් ඇතිකර ගතයුතු අවබෝධය තමයි ඒ තුළ තියෙන්නේ. ප්රධාන ලෙසම සුතමය ඥානය සඳහා මූලාශ්ර සපයන්නේ ඒ ත්රිපිටකය. ඉතින් අපි අද අවබෝධ කරනවා නම් යම්කිසි අවබෝධයක්, ඒ අවබෝධය සහ එදා ඒ මහෝත්තමයාණන් වහන්සේලා දේශනා කළ අවබෝධ ඥානය දෙකක් වන්නට කිසිසේත්ම පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපට ත්රිපිටකය තුළ තියෙන දේ සහ අපි අවබෝධ කරගන්න ප්රතිපදාව එකම ප්රතිපදාවක් බවට පත්වන්නට ඕන. එහෙම නැතිනම්, ඒක වෙනස් වෙනවා නම්, ඒ වෙනස් වෙලා තියෙන්නේ කෙන කෙනාගේ න්යාය පත්ර අනුව නිවන් දකින්නට යෑම කියන කාරණාව මත. කෙන කෙනා ස්වයංභූ ඥානයෙන් අලුතෙන් දෙයක් අවබෝධ කරගන්නට යෑම තුළ, කෙන කෙනා සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට යෑම තුළිනුයි එබඳු මිත්යා මතවාද ඇතිවෙන්නේ.
ඒ නිසා අමුතුවෙන් අපිට උපදවන්නට දෙයක් නැහැ. අපිට පරතොඝොෂ ප්රත්ය තුළින් ඒක ලබාගන්නට හැකියාව තියෙනවා. ඒ පරතොඝොෂ ප්රත්ය තුළ අපිට ලැබෙන අවබෝධය ප්රධාන ලෙසම අපිට ගන්න තියෙන මූලාශ්රය තමයි ත්රිපිටක ධර්මය කියලා කියන්නේ. ඒ ත්රිපිටකය තුළම අපිට අතහරින්නට කාරණාවක් නැතුව ජීවිතය සකස් කරගන්නට අවශ්ය, නිවනට උපකාර පිණිස පවතින සියලුම කාරණා ඇතුලත් වෙලා තියෙනවා. ඒ නිසා, ධර්මය අවබෝධ කරගන්නට අපි පුරන ප්රතිපදාව ත්රිපිටකය තුළ ඇතුලත්වන, අතීතයේ වැඩ හිටිය උත්තමයන් වහන්සේලා අවබෝධ කරගත්ත ප්රතිපදාවක් බවට පත්වන්නටත් ඕන. ඒ විතරක් නෙවෙයි, අපි යම්කිසි තත්ත්වයකට පත්වෙනවා නම් ඒ පත්වෙන අපේ අත්දැකීම, අත්දැකීමට අදාළ උදෘත අපිට ත්රිපිටකය තුළ දකින්න පුළුවන් කම තියෙන්නට අවශ්යයි.
ඒ නිසා පොතක පතක තියෙන පමණින් ඒක බැහැර කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකදිවත් අපිට සූත්රය ප්රතික්ෂේප කරන්නට කියලා දේශනා කරන්නේ නැහැ. තුන් සංගීතියට ආරූල්හ ත්රිපිටකයක් නම් එබඳු වූ සූත්රය ප්රතික්ෂේප කරන්නා බුදුරජාණන් වහන්සේ ප්රතික්ෂේප කරනවා හා සමානයි කියලයි එදා අපේ මහරහතන් වහන්සේලා විසින් දරාගත්ත, ඇතිකර ගත්ත මතය බවට පත්වුනේ. ඒ නිසා අපිට ත්රිපිටකය තුළ පවත්නා කරුණු පිළිබඳව අපේ අවබෝධය ඇතිකර ගන්නකොට අපේ ප්රතිපදාවත් ඒ ඔස්සේ සැකසෙන්නට අවශ්යයි. ඒ ඔස්සේ ප්රතිපදාව සැකසෙනකොට, ත්රිපිටකයට පරිබාහිරව ගිහිල්ලා ඇතිකර ගන්න බොහෝ කරුණු කාරණා, අද සමාජයේ දකින දේවල් සමහරවිට බැහැර කරන්නට සිදු වන්නටත් පුළුවන්.
නමුත් ත්රිපිටකය පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා නම් අපි සැක කළ යුත්තේත් නැහැ. ඉතින් මේ විදියට අද දවසසේදී අපිට ධර්මය අවබෝධ කරගැනීම සහ අවබෝධ කර ගතයුතු ධර්මය පිළිබඳව කතා කරනකොට අපිට ඉතාම වැදගත් සූත්ර දේශනාවක් හැටියට කල්පනා කළා "ඛජ්ජනීය සූත්රය" අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා. සංයුක්ත නිකායේ, තුනේ තියෙන, ඛන්ධක වග්ගයෙහි දකින්නට ලැබෙන මේ ඛජ්ජනීය සූත්රයෙදී බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන, පැහැදිලි විග්රහයක් දේශනා කරනවා.
~~ ලෝකයා පඤ්ච උපාදානක්ඛන්ධයක්ම පරිහරණය කරයි~~
"යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරමානා අනුස්සරන්ති සබ්බෙ තෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනුස්සරන්ති එතෙසං වා අඤ්ඤතරං"
'යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා' - මහණෙනි, මේ ලෝකයේ යම් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ නොයෙක් ආකාරයෙන් පූර්වානුස්සතිය(පෙර ජීවිත පිළිබඳව) සිහිපත් කිරීමක් සිද්ධ කරනවා නම්, 'සබ්බෙතෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනුස්සරන්ති' - ඒ පිළිබඳව මෙනෙහි කරන ඔවුන් පංච උපාදානස්කන්ධයක්ම මෙනෙහි කරනවා. 'එතෙසං වා අඤ්ඤතරං' - ඒ පංච උපාදානස්කන්ධයන්ගෙන් අන්යතර වූවක් (එක්කෝ රූප උපාදානස්කන්ධය මුල් කරගෙන, එහෙම නැතිනම් වේදනා උපාදානස්කන්ධය, එහෙමත් නැතිනම් සංඥා උපාදානස්කන්ධය, එහෙමත් නැතිනම් සංස්කාර උපාදානස්කන්ධය, එහෙමත් නැතිනම් විඤ්ඤාණ උපාදානස්කන්ධය කියන එකක් එකක් හෝ) මෙනෙහි කිරීම සිද්ධ කරනවා.
යම්කිසි කෙනෙක් පෙර ජීවිත දකින මට්ටමකට හිත දියුණු කරගත්තත්, ඒ දියුණු කරගත්ත කෙනා එබඳු මට්ටමක රැඳී හිටියත් ඔහුට පුළුවන්කමක් නැහැ පංච උපාදානස්කන්ධය තුළින් තමන්ගේ හිත ගලවා ගන්නට, පංච උපාදානස්කන්ධය තුළම ඔහුගේ මනස රැඳී පවතිනවා, පංච උපාදානස්කන්ධය පිළිබඳවම ඒ මනසිකාරය පවතිනවා. ඒ නිසා ඔහු මෙනෙහි කරන ඕනම දෙයක් පංච උපාදානස්කන්ධය කියන රාමුව ඇතුලත ඇති කරන මනසිකාරයන් තමයි දකින්නට පුළුවන් කම තියෙන්නේ.
'එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති' - ඒ කෙනා මෙනෙහි කරනවා නම් "මම අතීතයේදී මෙබඳු වූ රූප ඇත්තෙක්ව හිටියා", එහෙම නැත්නම් 'එවංවෙදනො අහොසිං අතීතමද්ධානන්ති' - මම අතීත කාලෙදී මෙබඳු ආකාර වූ වේදනාවන් වින්දා, ඒ වගේම, මෙබඳු වූ සංඥා ඇතිව වාසය කළා, මෙබඳු වූ සංස්කාරයක් මම ඇසුරු කළා, මෙබඳු වූ විඤ්ඤාණභාගී බාවයක් ඇතුව වාසය කිරීම සිද්ධ කළා. මේ වගේ ඕනම විදියකට සිතීමක් තියෙනවා නම්, කල්පනා කිරීමක් තියෙනවා නම් අතීතය ගැන මෙනෙහි කිරීමක්, අතීත කාලයේ හිටියා යැයි දැක්මක් තියෙනවා නම් ඒ හැම දැකීමක්ම සිද්ධ කරන්නේ පංච උපාදානස්කන්ධ කියන රාමුව ඇතුලේ. පංච උපාදානස්කන්ධයක්ම මනසිකාරය පවත්වනවා.
** රූපය කියන්නේ මොකක්ද?
'කිඤ්ච, භික්ඛවෙ, රූපං වදෙථ? ' - මෙතන දැන් 'රූපය' කියලා කියන්නෙ මොකක්ද?
'රුප්පතීති ඛො භික්ඛවෙ, තස්මා ‘රූපන්ති වුච්චති.' - රුප්පන අර්ථයෙන් තමයි 'රූපය'යි කියලා කියන්නේ. 'රුප්පති' කියලා කියනවා බිඳී යන ස්වභාවයට. ඒ නිසා, බිඳෙන ස්වභාවයෙන් යුක්ත නිසා 'රූපය'යි කියලා කියනවා'
'කෙන රුප්පති?' - කුමකින්ද බිඳෙන්නේ?
'සීතෙන 'පි රුප්පති, උණ්හෙන 'පි රුප්පති, ජිඝච්ඡාය 'පි රුප්පති, පිපාසාය 'පි රුප්පති, ඩංසමකසවාතාතපස සිරිංසපසම්ඵස්සෙන 'පි රුප්පති. රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘රූපන්ති වුච්චති'
බිඳෙන නිසා තමයි 'රූපය' කියලා කියන්නේ. කුමකින්ද බිඳෙන්නේ? සීත උෂ්ණ ආදියෙන් බිඳෙනවා. ඒ වගේම 'ජිඝච්ඡාය' - පිපාසයන්ගෙන් බිඳෙනවා. 'ඩංසමකසවාතාතපසසිරිංසපසම්ඵස්සෙන' - මැසි මදුරු ආදී සත්ත්වයන්ගේ ස්පර්ශයන්ගෙන්, වාත ආදිය නිසා ද බිඳීමකට ලක්වෙනවා.
මෙතනදී මූලික ලෙසම කයක් හෝ පුද්ගල බව ප්රතිබද්ධ වූ රූපය ඇසුරු කරගෙන තමයි මේ දේශනාව පවත්වන්නේ. ඒ නිසා, සාපිපාසා ආදී දේවල මුල්කරගෙනත් මේ බිඳීම සිද්ධ වෙනවා, මැසි මදුරු ආදී උවදුරු නිසා ද මේ බිඳීම සිද්ධ වෙනවා, ඒ වගේම, වාතය නිසා, උණුසුම නිසා මේ බිඳීම සිද්ධ වෙනවා. මේ ඕනෑම දේකින් බිඳී යන ස්වභාවයකින් යුක්තයි. බිඳී යන ස්වභාවයකින් යුක්තයි කියන්නේ, ප්රත්ය නොලැබීම නිසා, ප්රත්ය නොසැපයීම නිසා වෙනස් වෙන, විපරිණාමයට පත්වෙන ස්වභාවයකින් යුක්තයි. දැන්, සතර මහා ධාතුව ඔවුනොවුන්ට ප්රත්යයි. පඨවි ධාතුව ආපෝ ධාතුවට, ආපෝ ධාතුව පඨවි ධාතුවට ප්රත්යයි. පඨවි ධාතුව තේජෝ ධාතුවට, තේජෝ ධාතුව පඨවි ධාතුවට ප්රත්යයි. පඨවි ධාතුව වායෝ ධාතුවට, වායෝ ධාතුව පඨවි ධාතුවට ප්රත්යයි.
එතකොට මේ එකකට එකක් ගානේ, ඒ වගේම එකකට දෙකක්, දෙකකට එකක්, එකක් තුනකට, තුනක් එකකට... මේ විදියට ඔවුනොවුන්ට ප්රත්ය වුන බවක් තමයි සතර මහා ධාතූන්ගේ ප්රත්ය වීම තියෙන්නේ. ප්රත්ය වෛකල්යභාවය නිසා (ප්රත්ය වලට පවතින්නට නොහැකි බව නිසා) ඒ තුළ ඇතිවෙනවා බිඳී යන ස්වභාවයක්, වෙනස් වෙන ස්වභාවයක්. ඒකටත් 'රුප්පන' අර්ථය කියලා කියනවා. කොටින්ම බිඳී යන්නට පුළුවන් දෙයක් වන නිසා තමයි 'රූපය' කියලා කියන්නේ. ඒ අතර අපි මෙනෙහි කරනවා නම් 'පුද්ගලයෙක්' ලෙස ඝන සංඥාව තුළ අපිට හම්බ වෙන කයක්, ඒ කයද බිඳී යන, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ඒක සාපිපාසා ආදිය නිසා වෙනස් වෙනවා, මැසි, මදුරු, පත්තෑ, සර්ප ආදීන්ගේ දෂ්ට කිරීම් නිසා වෙනස් වන්නට පුළුවන්කම තියෙනවා.
මේ විදියට මේ කය වෙනස් වීම ස්වභාව කොට ඇති නිසා, මෙන්න මේ වෙනස්වීම මුල් කරගත්ත රුප්පන අර්ථය නිසාම මේකට 'රූපය'යි කියලා කියනවා.

**වේදනාව කියන්නේ කුමක්ද?
'කිඤ්ච, භික්ඛවෙ, වෙදනං වදෙථ?' - මහණෙනි, වේදනාව කියලා කියන්නේ මොකක්ද?
'වෙදයතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘වෙදනාති වුච්චති' - විඳීම නිසා තමයි 'වේදනා' කියලා කියන්නේ. යම්කිසි දෙයක් වළඳ කරනවා, යම්කිසි දෙයක් අපි පරිභෝග කරනවා, විඳීමකට ලක් කරගන්නවා. ඒ නිසා 'වේදනා' කියලා කියනවා.
'කිඤ්ච වෙදයති?' - මොනවද අපි වේදනාවක් ලෙස විඳින්නේ?
'සුඛම්පි වෙදයති, දුක්ඛම්පි වෙදයති අදුක්ඛමසුඛම්පි වෙදයති.'
එක්කෝ සැප විදියට අරමුණක් ඇසුරු කරනවා, එහෙමත් නැතිනම් දුක් විදියට අරමුණක් ඇසුරු කරනවා, එහෙමත් නැතිනම් අදුක්ඛමසුඛ හැටියට (උපේක්ෂාව. 'අදුක්ඛම' - දුකකුත් නෑ, 'අසුඛ' - සැපයකුත් නෑ. දුකත් නොවන, සැපත් නොවන විදියට, ඒ ගැන විශේෂත්වයක් නොමැතිව) අරමුණු ඇසුරු කරනවා. 'වේදනාව' කියන ලක්ෂණය අපිට ප්රකට වෙනකොට, ලෝකය තුළ හැම දෙයක්ම වේදනාව අනුව ගිහිල්ලා තියෙන ධර්මයක් නිසා, (විඤ්ඤාණය වේදනාව ඇසුරු කොට පවතින ධර්මයක් මූලික ලෙසම) එක්කෝ අපිට දෙයක් 'බොහොම හොඳයි' කියලා විශේෂ වෙනවා, එක්කො දෙයක් 'හොඳ නෑ' කියලා විශේෂ වෙනවා, එක්කො 'හොඳ' හෝ 'හොඳ නෑ' කියන දෙකෙන්ම තොරව දෙයක් විශේෂ වෙනවා. එතකොට මේ මොන දේ තුළත් ඇසුරු වීම තුළ විඳීම කියන දේ පැවතිලා තියෙනවා. ඒක තමයි වේදනාවෙහි ඇති මූලික ස්වභාවය.
මතු සම්බන්ධයි
අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.07.01 දින සිදු කළ ඛජ්ජනිය සුත්රය ඇසුරෙන් පිටපත් කිරීමකි.

මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!

Post a Comment

0 Comments