කුසලයෙන් නිවනට 3
~~නාමරූප පරිච්ඡේදයක්~~
අපිට මෙන්න මේ විදියට 'දුක' කියන දේ හදාගෙන, 'දුක' කියන දේ උපද්දගෙන ජීවත්වෙන ලෝකයේ බුදුරජාණන් වහන්සේ පෙන්නුවා මේ නාමරූප ධර්මතාවය දකින්න හොඳටම මේ දෙක දෙකක් කරලා. තමන්ගේ මනෝ විතර්ක එළියට දාන්න එපා. ඉබ්බා තමන්ගේ අතපය, ඔලුව, වලිගය එළියට දාන්නේ නැතුව කටුව ඇතුලට හකුලවා ගත්තා වගේ මේ මනෝ විතර්ක ටික එළියට දාන්නේ නැතුව ඇතුලේ තියාගන්න කිව්වා. 'ඇතුලේ තියාගන්න' කියලා කිව්වේ, නුවණින් මේ ටික වෙන් කරගන්න. 'එළියට දාන්න එපා' කියලා කියන්නේ, මේ මනෝ විතර්කය එළියේ බොහෝ කාලයක් තිස්සේ තියෙන දෙයක් හැටියට මෙනෙහි කරන්න එපා. මනෝ විතර්කය මනෝ විතර්කයක් හැටියට දකින්න.
එළියේ තියෙන දේ එතකොට අපිට පේනවා අපේ සංකල්පනාව පවත්වන්න බැරි දෙයක් හැටියට. මහාභූත රූපය හෝ වර්ණ සටහන කියලා කියන්නේ 'අම්මා' නෙවෙයිනේ. පඨවි ධාතුව 'අම්මා' ද? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ඒ නිසා හැදුණු වර්ණ සටහන ආදී ඒ එකක්වත් 'අම්මා' නෙවෙයි. එතකොට, සතර මහා ධාතු සහ වර්ණ සටහනකින් තොර දෙයක් අද අපිට හම්බ වෙන්නෙත් නෑනේ එතැන තිබිලා, අතීතයේත් මහාභූත රූප හා උපාදාය රූප වලින් තොර දෙයක් හම්බ වුනෙත් නෑනේ. එතකොට ඒ ටිකම විතරයි පැවතුනේ. අතීතයේ ආවෙත් ඒ විදියෙම අනාත්ම ධර්මතා ටිකක්, වර්තමානයේ හම්බ වෙන්නෙත් එවැනි වූ අනාත්ම ධර්මතා ටිකක්, අනාගතයටද හම්බ වෙන්නෙත් ඒ වගේ අනාත්ම වූ ස්කන්ධ ටිකක්.
එතකොට ඒ අනාත්ම වූ ධර්මතා ටික ඇති තැනකනේ අපි 'අම්මා' උපද්දගන්නේ කියලා දකිනකොට තමන්ට පේනවා තමන්ගේ සංකල්පනාව වැරදියි කියලා. තමන්ගේ සංකල්පනාව වැරදියි කියලා කියන්නේ, ඒ අනාත්ම වූ ස්කන්ධ ටිකද හටගෙන නිරුද්ධවෙන බව දකින නිසා සංකල්පනාව පතිත කරන්න තැනක් නැහැ. අපිට projector එකක් තිබ්බොත් නේ අපි බිත්තියට ගහලා බලන්නේ ඒක. හැබැයි බිත්තිය නැත්තම්, නිකන්ම අහසට ගැහුවට අපිට පේනවද? නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ඒක පතිත වෙන්න තැනක් නැහැ. අන්න ඒ වගේ, අපේ මනෝ විතර්ක පතිත වෙන්න තැනක් නැත්තම්, ඒකට කියනවා අනුපට්ඨිත යි' (අප්පතිට්ඨිත - පතිට්ඨිත නැහැ, පිහිටා සිටින්න තැනක් නැහැ) කියලා. පිහිටා සිටින්න තැනක් නැති වෙනකොට ඒක එතනම හටගෙන, එතනම නිවී යන දෙයක් බවට පත්වෙනවා මිසක තව තැනකට යන්නේ නැහැ.
අපේ හිත හැම වෙලාවකදීම රූපය ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා තමයි අද, 'අන්න කපුටෙක්' කියලා කියනකොට කපුටෙක් ගැන ඕගොල්ලන්ට හිතේ මැවිලා පේනවා. මොකක් හරි ශබ්දයක් ගැන කිව්වොත් ඒ ශබ්දය ගැන හිතන්න පුළුවන් කම තියෙනවා. ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ගැන කිව්වොත් ඒක අනුව ඔයගොල්ලන්ගේ හිත පවත්වන්න පුළුවන් කම තියෙනවා. ඒකට තමයි කියන්නේ අපි සම්පූර්ණයෙන්ම මනෝ විතර්ක එළියට දාලා තියෙනවා, ඒ ඔක්කොම එළියේ තියෙන්නේ කියලා. අපි ඉන්නේ මාරයගේ විෂයේම තමයි හැම වෙලාවකදීම. මේ මනෝ විතර්ක ටික හැකිළෙනවා නම් යම් විටක, අපිට පේන්නේ 'හටගත්ත රූපය ඉතුරු නැතුව නැති වුනා' කියන ස්කන්ධ නිරෝධය යි.
ඒ රූපය අතීතයේ ඉඳලා මේ මොහොතට පැවැත්මක් නැහැ, මේ මොහොතේ ඉඳලා අනාගතයට පැවැත්මක් නැති බව අපිට පේනකොට අපිට පේනවා රූපයේ පුද්ගල බවක් නැහැ කියන එක. ඒ කියන්නේ, 'ඉන්න මට තව අය හම්බ වෙලා' නෙවෙයි. 'මට ලෝකය ගොඩනැගිලා නැහැ'. මේ ධර්මතාවය ඇතුලේ කතා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා, ගොඩක් කාරණා බොහොම සියුම්ව බැසගන්න තැන් තියෙනවා. මොකද 'පුද්ගල බව' කියන එක, 'මම','මගේ' කියලා ගත්ත කම නිකන්ම උපදින්නේ නැහැ. අපිට හැම වෙලාවකදීම ස්පර්ශ ආයතන හයකම එකතුවක් තමයි හම්බ වෙන්නේ.
~~ පුද්ගල බවේ වැඩීම දුකේ වැඩීමයි ~~
ස්පර්ශ ආයතන හයේම එකතුවක් කියලා කියන්නේ, කනට ඇහෙන්නේ පුංචි ශබ්ද මාත්රයක් වෙන්න පුළුවන්. ශබ්ද මාත්රයක් හම්බ වෙන තැනක ශබ්දයට ප්රතිචාර දක්වන්නේ, එළියට දාන්නේ එක ආයතනයක් විතරක් නෙවෙයි අපි. එළියට දාන්නේ 'ඇහැත් තියෙන, කනත්, තියෙන, නාසයත් තියෙන, දිවත් තියෙන, කයත් තියෙන "මට" තමයි ශබ්දය ඇහුනේ' , 'අර ආයතන ඔක්කොගේම අත්දැකීම තියෙන "මට" තමයි ශබ්දය ඇහුනේ' කියලා. පේන්නේ වර්ණ සටහනක්, වර්ණ සටහන පේන තැනක අර ආයතන ටික ඔක්කොගේම අත්දැකීම තියෙන "මම" තමයි රූපේ දැක්කේ. එතකොට ආයතන හයෙන්ම රැස්කර ගන්නවා පුද්ගල බව. එන්න එන්න පුද්ගල බව තර වෙනවා. පුද්ගල බව තර වෙනවා කියලා කියන්නේ ජාතිය, නැතිනම් දුක එන්න පුළුවන් කම එන්න එන්න ලොකු වෙනවා කියන එක.
~~ මරණාසන්න මොහොත ඉතා තීරණාත්මකයි ~~
එතකොට අපිට අරමුණු කරන්න පුළුවන් විෂය යම් පමණකට තියෙනවා නම් එපමණකටම අපිට දුක ගේන්න පුළුවන් වටපිටාව තියෙනවා. ඒ වගේම සසර කියන දේත් හිස් වෙලා නැහැ. ඒ අපිට ඕනම තැනකින් අරමුණක් අරගෙන ඕනම තැනකට ප්රතිසන්ධි වශයෙන් යන්න පුළුවන් කම තියෙනවා. අවිද්යාවේ කෙළවරක් නැහැ, වගේම අවිද්යාව නිසා රැස්කර ගත්ත කර්ම වලත් කෙළවරක් නැහැනේ. දැන් අද, අපේ හිතේ හැකියාවට කයේ හැකියාව සීමාවෙලා නිසා අපිට එන්නේ මේ ජීවිතයේදී ගත්ත අරමුණු ටික විතරයි. අනිත් ඔකොම පෙර ජීවිතවල ගත්ත අරමුණු මේ ජිවිතයේදී ඇති බවට ගත්ත අරමුණු වලින් වැහිලා දැන් මේ තියෙන්නේ (භවයෙන් ප්රතිච්ඡන්නයි කියලා කියනවා). ඒ හින්දා අපිට මේ ජීවිතයේ ළගදී ළගදී ගත්ත අරමුණු තමයි ප්රකටව නැගෙන්නේ.
අතීතයට ගියපු දේ අපිට අමතකයි. ඒ කියන්නේ, මේ කයට සාපේක්ෂව ඒ ටික ඔක්කොම අමතක වෙලා තියෙන්නේ. යම් වෙලාවක මේ කයෙන් හිත මිදුනොත්, මේ කයේ හැකියාවෙන් හිත අයින් වුනොත් ඒ වෙලාවට හිතේ හැකියාව තමයි එතන වැඩ කරන්නේ (මරණාසන්න මොහොතේ දී). හිතට කාලය නෑනේ. කයකට, රූපයකට සාපේක්ෂව නේ කාලය කතා කරන්නේ විනාඩිය, දෙක කියලා. හැබැයි මනසට සාපේක්ෂව කාලය නෑනේ. 'ගිය අවුරුද්ද' කියලා අපි මෙනෙහි කරන එකටත් එක සිතුවිල්ලක වෙනසක්නේ තියෙන්නේ අපිට. ඒ හින්දා ඒකට කාලය නැහැ. කල්පයද, දෙකද කියලත් නැහැ ඒකට. ඒ ඕනෑතරම් කාලෙක ඉඳලා කරපු දෙයක් සිහිපත් වෙන්න පුළුවන් කම තියෙනවා. ඒක තමයි හිතේ හැකියාව.
මේ ජීවිතය තුල හිත දමනය නොකර ගත්තොත්, කර්ම බීජ රැස්කර ගත්ත සාගරයක් තියෙනවා අපි ළග. ඒ හින්දා 'ගතිය' කියන දේ (කොතෙන්ට යයිද කියන එක) කියන්න පුළුවන් කමකුත් නැහැ. එච්චර අවිනිශ්චිතයි අපි ඉන්න තැන. ඒ අවිනිශ්චිත බව නිසා තමයි අපි නිවැරැදිව හික්මිය යුත්තේ අද හිත දමනය කරගන්න. හිත දමනය නොකර ගත්තොත් මොකද වෙන්නේ, අර හැම තැනකම එන නිමිති ඇසුරු වෙන්න සිද්ධ වෙනවා. සසර ඉඳන් කරපු කුසල අකුසල විතර්කවල සිත විසිරෙන්නේ නැතුව එක පුංචි සීමාවක විතරයි මේ 'සිත' කියන සතාව නතර කරලා තියෙන්නේ අද. "හිත" කියන්නේ මහා දරුණු සතෙක් නම්, ඒ සතාව අද බොහොම කොටු කරලා සීමා සහිත තැනක මේ නතර කරලා තියෙන්නේ. මේ ජීවිතයේ ගත්ත අරමුණු ටික විතරයි අද අපිට තියෙන්නේ.
හැබැයි යම් වෙලාවක මේ ජීවිතයේ ගත්ත අරමුණු ටික අතහැරෙන තැනක, කොටු කිරීම අතහැරුනොත් එහෙම කොයි විදියට එයිද කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ හින්දා තමයි මේ කොටු කරගත්ත වෙලාවේ මේ සිත දමනය කරගන්න ඕනේ කියලා කියන්නේ. කොටු කරගත්ත වෙලාවේ දමනය කරගන්න ඕනේ කියලා කියන්නේ මේ ජිවිතයේ ගන්න අරමුණු ටිකේ ඇත්ත දකින්න බැරි නම්, මොන වෙලාවකවත් හිතන්න එපා මරණාසන්න මොහොතේ නම් සිහිය උපද්දගන්න පුළුවන් වෙයි කියලා. ඇයි, අනන්ත අප්රමාණ සසරක කරපු මහා කර්ම ප්රවාහයක් තියෙනවා. එදාට එන්නේ මේ කයේ ඉඳන් ගත්ත අරමුණු විතරක් නෙවෙයි, සසර ඉඳන් ගත්ත ඕනම අරමුණක් එන්න පුළුවන් කම තියෙනවා.
එදාට අපිට ඕන විදියට අරමුණු දකින්න පුළුවන් කමක් නැහැ අපිට. ඒ කියන්නේ, හීනෙකින් බය වෙනකොට අපිට පුළුවන් කමක් නෑනේ 'මේක හීනයක්' කියලා දැකලා හීනෙන් නැගිටින්න. ඒ වගේම තමයි, සසරේ ඉඳන් කරපු කර්ම තියෙනවා නම්, සසරේ ඉඳන් කරපු කර්ම අපිට පෙන්නුම් කරන කොටත් එතනින් අපිට 'ආ මේක වැරදියි' කියලා නැගිටින්න පුළුවන්කමක් නැහැ. අද මේ කායික මට්ටම තියෙන නිසා තමයි අපිට පහසුවක් තියෙන්නේ. ඒක හීනයක් කියලා කියන්නේ අද මේ තියෙන ප්රකෘතියට සාපේක්ෂවනෙ. හැබැයි හීනේ පේන වෙලාවට හීනේ ඇත්තමනේ. එහෙනම් මේ කය අතහැරිලා ඒ මානසික මට්ටම ජීවිතේ වෙනකොට ඒ ඕන දෙයක් අපිට මැවිලා පේන්න පුළුවන් හිතේ විතර්කමය හැකියාව පවතිනවා.
~~ රූපයතනයේ ඇත්ත දැක හිත දමනය කිරීම ~~
ඒ හින්දා හරි පරිස්සම් වෙන්නෙ ඕනේ මේ කායික හැකියාව තියෙන කාලෙදී අපි පුළුවන් තරම් නිවන් දකින්න උත්සාහවත්වෙන තැනට හිත ගන්න. අපි සියලු රූපායතනයන්ගෙන් මිදෙනවා එක තැනකින් මිදුනොත්. එක රූපෙක ඇත්ත දැක්කොත්, ඇත්තටම එක රූපායතනයේ ඇත්ත දැක්කොත් සියලු රූපයතනයේ ඇත්ත තමයි දැකලා තියෙන්නේ. අංගුලිමාල තෙරුන් වහන්සේ මිදුනේ, අර මරපු ඔක්කොම පුද්ගලයින්ගෙන් මිදුනනේ. නැවත සසරට යන්න කිසිම හේතුවක් ඇත්තේ නෑනේ. 'මරපු කෙනෙක්' නැති කළා. මරපු 'මනුස්සයෝ' නැහැ. 'මරපු මනුස්සයෝ' නැත්නම් 'මනුස්සයෝ මරපු' කර්ම එන්න පුළුවන් කමකුත් නෑනේ. ප්රතිසන්ධිය පිණිස හේතු වෙනවා නම් ඒ කර්මය, ඒ සියලු කර්මය නැති කරලා දැම්මා.
ඇයි කර්මය නැති කළේ? මරන්න 'මිනිස්සු' හිටියා නම්, මරපු 'මිනිස්සු' හිටියා නම් අනිවාර්යයෙන් විඤ්ඤාණ ඨිතියක් ඒක. හිත බැසගන්නවම තමයි අර මරස්සයෝ මරපු දේ ඇසුරු කරගෙන. හැබැයි 'මරපු මිනිස්සු' කියන තැන හම්බ වෙන්නේ නැත්නම්, මරන්න 'මිනිස්සු' හිටියෙත් නැත්නම්, වර්තමානයේද ඇත්තෙත් නැත්නම්, අනාගතයට හම්බ වෙන්නෙත් නැත්නම් හටගෙන නිරුද්ධවෙන රූපයත්, හටගෙන නිරුද්ධවෙන තමන්ගේ මනස කියන ආයතනයන්ගේ හටගෙන නිරුද්ධවෙන බව හම්බ වෙනවා නම්, අන්න ඒ ආයතනයන්ගේ හටගෙන නිරුද්ධවෙන බව හම්බවෙන තැනක කිසිම විදියකින් පුද්ගල බවක හටගැනීමක් නැත්නම් අර මරපු ඔක්කොගෙන්ම මිදිලා තියෙන්නේ. ඇයි? සියලු කර්මයන්ගෙන් මිදිලා.
~~ කායානුපස්සනාවෙන් රූපයේ ඇත්ත දකිමු ~~
ඒ විදියටම අපි එක රූපායතනයකින් අද දවසෙදි මිදුනොත්, අනන්ත සසරේ ඉඳලා කරපු අර සියලු කර්මයන්ගෙන් අපිට මිදෙන්න පුළුවන් කම තියෙනවා. ඒ හින්දා දමනය කරගන්න තියෙන්නෙ හිතයි. මනෝ විතර්ක ටික එළියට නොදී අල්ලගෙන තියාගන්න එක. ඒ මනෝ විතර්ක එළියට දාන්නේ නැතුව තියාගන්න පුළුවන් කමක් නැහැ අපිට. රූපයේ අනිත්ය දකින්නේ නැත්නම්. ඒ නිසා අපි මුලින්ම රූපයේ අනිත්ය දකින්න ඕන. අනිත්ය එකපාර පේන්නේ නැති නිසා තමයි, අපි ඉන්න මට්ටම බොරු කරන්න අවශ්ය නිසා තමයි සතර සතිපට්ඨානයක් දේශනා කරන්නේ. එතකොට ඒ සතර සතිපට්ඨානයෙන් කරන්නේ මේ 'සත්ත්වයෙක්' ඉන්නවා, 'පුද්ගලයෙක්' ඉන්නවා කියලා අපිට හම්බවෙන මේ රළු මට්ටමේ තියෙන ස්වභාවය යටපත් කරලා දාන එක.
ඒ කියන්නේ 'මේ "මම" මයි ජීවත් වෙන්නේ', "දරුවා" මයි ජීවත් වෙන්නේ' කියන මට්ටම හොල්ලලා දානවා. ඇයි? කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු,... මේ කොටස් ටික මෙනෙහි කරනකොට අපිට පේනවා, 'කෙස්' කියන ස්වභාවය අරගෙන බලනකොට මේ 'කෙස්' කියන්නේ 'මම' වත්, 'මගේ' වත් නෙවෙයි. 'කෙස්' කියන බව තුළ 'මම' හිටියේ නැහැ. 'කෙස්' කියන්නේ 'දරුවා'ද කියලා බැලුවොත් 'කෙස්' කියන්නේ 'දරුවා' වත් නෙවෙයි. 'කෙස්' කියන්නේ 'අම්මා' ද, 'තාත්තා' ද කියලා බැලුවොත්, කෙස් කියන්නේ 'අම්මා', 'තාත්තා' ත් නෙවෙයි. අපිට පේනවා මේ 'කෙස්' කියන ස්වභාවයේ එහෙම පුද්ගලභාවයක් නෑනේ. ඒ විදියටම ලොම්, සම්, මස්, නහර... එක එක අරගෙන බලනකොට එකකවත් සත්ත්ව පුද්ගල බවක් නැහැ.
එහෙනම් අපිට එතන තියෙන අනාත්ම ලක්ෂණයක් ප්රකට කරනවා. ඒ කියන්නේ මේ එකක්වත් සත්ත්ව පුද්ගල බවෙන් ඇසුරු කරන්න පුළුවන් තැනක නෙවෙයිනේ තියෙන්නේ කියන අවබෝධය අපිට සතිපට්ඨානය තුළ ගෙනැල්ලා දෙනවා. ඒක තමයි සතිපට්ඨානය කරන මූලිකම දේ වෙන්නේ. අන්න ඒ විදියට යනකොට තමයි 'මේ අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක අපිට එහෙනම් කොහොමද "පුද්ගලයෙක්" හම්බ වුනේ' කියන ප්රශ්නේ අපිට හම්බ වෙන්නේ. එතකොට මේ එකක්වත් 'සත්ත්වයෙක්' නෙවෙයි නම්, 'පුද්ගලයෙක්' නෙවෙයි නම් 'සත්ත්ව පුද්ගලයෝ' නොවන අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක අපි තම තමන්ගේ මනස තුළම සකස් කරගත්ත දේකින් නේද පුද්ගල බව හදාගත්තේ, රූපයේ ස්වභාවය හටගෙන නිරුද්ධවන බව නේද...කියලා අපිට පුළුවන් කම තියෙනවා ඒ ඔස්සේ නිරෝධය අනුව දකිමින් වාසය කරන්න.
එතකොට ඒ සතිපට්ඨානය අනුව බලමින් වාසය කරනකොට අපිට ඉස්සෙල්ලාම අර රළු මට්ටමේ තියෙන කෙලෙස් ටික මුලින් දුරු කරගන්න පුළුවන්. ඒ මට්ටමේ කෙලෙස් ටික දුරුවෙන කෙනාට තමයි ස්කන්ධ මට්ටමක් ප්රකට වෙන්නේ, ස්කන්ධ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් කම තියෙන්නේ. එයාට, ඇහැට පේන රූපය ඉතුරු නැතුවම වර්ණ සටහනක් විදියට හටගෙන නිරුද්ධ වුනා කියන බව දකින්න පුළුවන්. ඒ නිරුද්ධ වෙච්ච බව දකින එයාට, නාම ධර්මතා ටික හටගෙන නාම ධර්මතා ටික නිරුද්ධවෙන බව ඒ හා සමගාමීවම දකින්න පුළුවන් කම තියෙනවා. එහෙම දකින කෙනාට ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ලෝකයක් හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ, ඇහැට දැකපු රූප ඇති බවට හම්බ වෙන්නේ නැත්තම් 'මම හිටියා' කියන එක කියන්න බෑනේ කවදාවත්.
අද ඕගොල්ලො මෙතන හිටියා කියලා ඔප්පු කරන්නේ කොහොමද? මෙතන හිටියා කියලා ඔප්පු කරන්න වුනොත් ඕගොල්ලන්ට ඔප්පු කරන්න වෙන්නේ මෙතන දැකපු දේවල් කියන්න වෙයි, මෙතනදී අහපු දේවල් කියන්න වෙයි, විඳපු දේවල් ගැන කියන්න වෙයි. ඔය විදියටනේ ඔප්පු කරන්න වෙන්නේ 'මම මෙතන හිටියයි' කියලා. එතකොට මේ එකක්වත් ඔබ නෙවෙයිනේ. ඒ එකක්වත් තමන් නෙවෙයි. ඔයගොල්ලෝ හිටියා කියන එක ගැන කියන්න ගිහිල්ලා කුටිය ගැන කියයි, ඔයගොල්ලො මෙතෙන්ට ආවා කියලා කියන්න ගිහිල්ලා 'ඒක කන්දක් නේද' කියලා කන්ද ගැන කියයි, 'කැලේ' ගැන කියයි, 'පාර' ගැන කියයි, 'මහන්සිය' ගැන කියයි. ඒ එකක්වත් තමන් ද? තමන් නෙමෙයි. තමන් හිටපු බව පෙන්නන්න එකක්වත් නෑනෙ.
එහෙනම් 'තමන්' ඉඳලා තියෙන්නේ කොහෙද? 'තමන්' ඉඳලා තියෙන්නේ ඔබ ඔය ඇසුරු කරන හැම අරමුණක් තුළම 'විඳින්නේ මම' කියන දේ තමයි සංකල්පමය වශයෙන් හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ, ගන්න ගන්න හැම අරමුණක් එක්කම 'තමන්' තමයි තමන්ට ගොඩනැගිලා තියෙන්නේ. හැම වෙලාවකදීම ඒ හැම මොහොතකම 'තමන්' ගේ ඉපදීම තමන් සිද්ධ කරගෙන තියෙනවා. හිත හැම වෙලාවකදීම ඒ අරමුණුත් එක්ක යනවා. ඒ තරම් සියුම්ව යන දේ කඩන්න නම් අපිට ඒ ධර්මය හටගෙන නිරුද්ධවෙන දෙයක් හැටියට පෙන්නන්න ඕන. රූපය ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධවෙන දෙයක් හැටියට දැක්කොත්, අපිට අතීත රූප දැන් දකින්න බැරි නම්, කලින් මොහොතේ හටගෙන නිරුද්ධ වුන වර්ණ සටහන මේ මොහොතේ දකින්න බැරි නම් එහෙනම් ඒ රූපය දැකපු 'මම' ඉන්න පුළුවන්ද? 'මම' ජීවත් වුනා කියපු තැන තමයි එතකොට අපි නැති කරලා තියෙන්නේ.
අපි ඒ 'මම ජීවත් වුනා' කියපු බාහිර ආයතනය තමයි ඒ නැති කරලා තියෙන්නේ. 'මම දැක්කා' කියපු දේ අපි නැති කරලා තියෙනවා. එහෙනම් 'දැකපු මම' පවත්වන්න තැනක් නැතිවෙලා තියෙනවා. අපි කිව්වෙ අර projection එක පතිත කරන්න තැනක් නැහැ කියලා, බිත්තියක් නැහැ කියලා...අන්න ඒ වගේ ඔබට ආයතන ටික බාහිරව හම්බ වෙන්නෙ නැත්නම්, මනසේ ඇති කරන දේ පතිත කරන්න තැනක් නැති නිසා ඒක නොපෙනී යනවා. ඒකට කියනවා 'අනුප්පාද නිරෝධයක්' කියලා, නොහටගන්න බවකට ගිහිල්ලා. ඒ කියන්නේ 'අම්මා ලෝකේ ජීවත් වෙනවා, අම්මා ජීවත් වෙනකොට ඔබ අම්මාට තණ්හා නොකර ඉන්නවා' නෙවෙයි. තණ්හා නොකර ඉන්න 'අම්මා' කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි, ඔබට ලෝකයක් හම්බ වෙන්නේ නැති කම නිසා.
එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ' එහෙනම් අම්මට සලකන්නේ නැති වෙයිද, අම්මා ගැන බලන්නේ නැති වෙයිද' කියලා. එහෙම නැහැ. සම්මුති නුවණ නෙවෙයි මේ නැතිවෙලා තියෙන්නේ. මොකද, ප්රශ්නේ තිබුනේ දැනගන්න එකේ නෙවෙයි. 'දැනගන්නෙ එළියේ තියෙන දේයි' කියලා දැනගත්ත දේ එළියට දාලා බලන එකෙයි ප්රශ්නය තිබුණේ. projection එකකින් අර බිත්තියට පතිත කරලා ඒ වින්දන ලෝකයක් එළියේ හදාගන්න එකේ මිසක දැනගැනීම තුළ නෙවෙයි ප්රශ්නය තිබුණේ. කැමරා වීමේ නෙවෙයි ප්රශ්නය තිබුණේ, ඒක එළියට පතිත කරලා බලන එකෙයි ප්රශ්නය තිබුණේ. ඒ හින්දා නැති කරන්නේ එළියට පතිත කරලා බලන කොටස මිසක දැනගන්න කොටස නෙවෙයි.
ඒ නිසා අම්මා දැක්කොත් 'අම්මා' කියලා අදුරගන්න බැරි වෙනවා නෙවෙයි. අඳුන ගනියි, 'අඳුන ගන්න දේ එළියේ තියෙන දේයි' කියලා රැවටෙන මෝඩකම නැහැ හැබැයි. ඒක හින්දා එයාට ලෝකේ තුළ ඉන්න අම්මා ඉන්නවාද කියලා එයාගෙන් ඇහුවොත් එයාට දෙන්න වෙන උත්තරේ තමයි 'අම්මා ඉන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ' කියලා. හැබැයි එයා අම්මට සලකලා නැද්ද කියලා ඇහුවොත් එයා සලකලා තියෙනවා. ලෝකය ඇත්ත කරගත්ත අපිට තර්ක කරන්න පුළුවන් 'අර රහතන් වහන්සේත් අම්මට සලකන්නේ' කියලා, අපිට හිතන්න පුළුවන්. ඇත්තම කතාව, රහතන් වහන්සේට, සලකන්න 'අම්මා' කෙනෙක් හෝ තමන්ව හම්බ වෙලාත් නැහැ. ඒ නිසා තමයි රහත් කියලා කියන්නේ.
ඒ නිසා එබඳු සියුම් වූ දර්ශනයකට අපේ හිත අරගෙන යන්න තියෙනවා. ඒ සියුම් වූ දර්ශනයකට අපේ හිත අරගෙන යනකොට අර වගේ සතර සතිපට්ඨානයක ඉඳලා අපේ හිත ක්රමක්රමයෙන් ඉදිරියට දියුණු කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා පුංචි තැන ඉඳලා අපිට පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ, අද ඔබ ඉන්න මට්ටම බොරුවක් කියලා ඔබට පෙන්නලා දෙන්න පුළුවන් නම් ඒක ඉතාම ප්රායෝගිකයි. විදර්ශනාව පැත්තෙන් පටන් ගන්නවා නම්, ඔබට ඇති බවට හම්බවෙන එක අරමුණක් දිහා බලාගෙන ඒ අරමුණේ ඇත්ත දකින්න පුළුවන් නම්, හැම වෙලාවකදීම ඒ අරමුණ ගැන මනසිකාර කරන්න පුළුවන් නම් ඒක ඉතාම ප්රායෝගිකව කරන්න පුළුවන් දෙයක්.
එහෙනම් නැත්නම්, ඔබට හැම වෙලාවකදීම ඒ විදියට එක අරමුණක තියෙන දේ ගැන නුවණ ඇති කරගෙන ඔබට සිහිය පවත්වන්න පුළුවන් නම් 'තමන්' කියන බව ගොඩනැගෙන පැත්ත ගැන. ඒ කියන්නේ, අපි හිතමුකො මෙතන කුටිය තියෙනවා කියලා අපි දැනගන්නවා කියලා. 'කුටිය' සහ 'තමන්ව' බෙදාගන්න පොඩ්ඩක් උත්සාහවත් වෙන්නකො. මොකක්ද කුටිය කියන්නේ, මොකක්ද 'තමන්' කියන්නේ කියලා. සතර මහා ධාතුව සහ උපාදාය රූප(රූපස්කන්ධය) කියන එක කුටියත් නෙවෙයි, රූපස්කන්ධය ඇති තැනක 'කුටිය' කියලා එකක් අපි මනසින් දැනගත්තා. දැනගත්ත එක කුටියත් නෙවෙයි. එතකොට 'කුටිය' කියන එක පනවන්න දෙයක් හම්බ වෙලා නැහැ. එතකොට අපි කුටිය කියලා ඇසුරු කරලා තියෙන්නේ ස්කන්ධ ටිකක්.
~~ මමත්වය හැදෙන හැටි ~~
රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ටිකේ ප්රතිඵලයනේ අපිට 'කුටියක්' හම්බවෙන කම. එතකොට 'කුටිය' කියන එක ගොඩනගලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ස්කන්ධ ටිකක් මත. එතකොට කුටිය දැකපු 'මම'? ඒ ටික මොකක්ද? හයවෙනි ස්කන්ධයක් නෑනේ 'මම' වූ ස්කන්ධය කියලා. මේ ස්කන්ධ පංචකයමනෙ. එහෙනම් 'කුටිය පේනවා' කියන උපාදානස්කන්ධයම තමයි ඒ වෙලාවෙම 'මම' වෙලා තියෙන්නේ. එතකොට කුටිය ඇති බවට හම්බ වෙන කමම 'තමන්' කරගෙන, 'තමන්' කියන කමම කුටිය හම්බ වෙන බව වෙලා. මේ දෙකම එකක් කරගෙනනේ අපි ජීවත් වෙන්නේ. ඒ හින්දා අපි ඔය කාරණාව දැක්කොත් එහෙම ලෝකෙ බොහොම වේගයෙන් කෙලෙස් දුරු කරගන්න පුළුවන්. ඇලීම් ගැටීම් දෙක බොහොම වේගයෙන් නැති කරගන්න පුළුවන්.
ඒ කියන්නේ, ඔයගොල්ලො තරහක් ඇතිකර ගන්නවා නම් කෙනෙක් ගැන, තමන්ටම දකින්න පුළුවන් නම් ඔබ තරහ ඇති කරගන්නේ ඇත්තටම තව 'කෙනෙක්' ගැනද? 'ඒ කෙනා හොඳ නෑ' කියලා ඇතිකර ගත්ත ස්කන්ධ පංචකයක් පිළිබඳවද? ඔයගොල්ලො අකැමතිම කෙනෙක් සිහිපත් කරගත්තොත් ඒ අකැමති කෙනා ගැනද, 'අකමැති කෙනා ඉන්නවා' කියලා ගත්ත රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ (රූපය, සිත සහ සිතුවිලි) කියන ටික ගැන ද? අපි පවත්වලා තියෙන්නේ උපාදානස්කන්ධ පංචකයක්. එතකොට ඒ වෙලාවෙදී 'මම' කවුද? ඒ ඇසුරු කරන කෙනානේ 'මම' වුනේ. නැතිනම්, ඒ ස්කන්ධ ටිකම තමයි මමත්වය හදන්නත් වැයවෙලා තියෙන්නේ. එක පැත්තකින් 'තරහ කෙනා', තව පැත්තකින් 'මම'.
දැන් ගැටීම ඇති කරගත්තෙත් ඒ ස්කන්ධ ටික ගැනම නම්, 'මම' වුනෙත් ඒ ස්කන්ධ ටික පිළිබඳවම නම්, 'තරහ කෙනා' වුනෙත් ඒ ස්කන්ධ ටිකම නම් දැන් ඒ ගැටීම ඇති කරගෙන තියෙන්නේ මොකක් ගැනද? එක පැත්තකින් අපි බලලා කියනවා තරහ කෙනා ගැන කියලා, අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම ඒක ඇතිකරගෙන තියෙන්නේ 'තමන්' පිළිබඳවමයි. එතකොට මම තරහ මනුස්සයාට ගහන්න කැමතියි කියලා කියන එකෙන් අනිත් පැත්තෙන් කියවෙන්නේ නැද්ද මම ගහන්න කැමති මටමයි කියලා. කැමැත්තට විපාක හම්බ වෙනවා. අපි එහෙම ගිහිල්ලා ගැහුවහම තමන්ටද එවැනිම ගුටි කන්නට, කැමති දේ ලබන්න පුළුවන් කම තියෙනවා. තව කෙනෙකුට දානේ දෙනවා කියලා අපි කිව්වනෙ. දානේ දෙනවා කියන එකෙන් ඒ දේ ලැබෙන්නේ ඇයි?
අපි දෙනවා කියන එකෙන් අපි කරලා තියෙන්නේ, ඒ දේ තමන්ටම ලැබෙනවට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ දේ ලබන්නෙක් බවට තමන් පත්වෙලා තියෙනවා. එතන එහෙම කර්මය සහ විපාකය කියලා ධර්මතාවයක් තියෙනවා. අපි තව කෙනෙක් මරන්න කැමතියි කියලා කිව්වට, සතෙක් මරනවා කියලා කිව්වට අපි ඇත්තටම මරන්න කැමති වෙලා තියෙන්නේ... අර ස්කන්ධ ටිකේ පැවැත්මට කැමති වෙලා නැහැ. ඒ ඇතිකර ගත්ත ද්වේශයේ විපාකය මොකක්ද? තමන් තමන්ට අකැමති වෙනකොට අකැමති විදියටම වැඩිකල් ජීවිත් වෙන්න බැරි අල්පායුෂ්ක කෙනෙක් වෙලා උපදිනවා. අපි රහමෙර පානය කරන්නේ, ප්රකෘති මානසික මට්ටමටයි අකැමති. එතකොට විකෘති මානසික මට්ටම නිකන්ම හම්බ වෙලාම උපදිනවා. කැමති විදියට විපාකය හදාගන්න පුළුවන්, අපහසුවකින් තොරවම.
ඒක හැබැයි අපි බලන පැත්තෙන් නෙවෙයි වෙනම පැත්තකින් තමයි ක්රියාත්මක වෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ අපි තරහ ගන්නේ වෙන මනුස්සයෙක් එක්ක කියලා. ඇත්තටම අපි තරහා අරගෙන තියෙන්නේ වෙන මනුස්සයෙක් එක්ක නෙවෙයි, තමන් කරගත්ත ස්කන්ධ ටිකක් පිළිබඳවයි කියලා අපිට පේන්නේ නැහැ. හැබැයි මේ ටික දෙකක් කරගන්න ඔබ හැම වෙලාවකදීම උත්සාහවත් වුනොත්, මහන්සි වුනොත් ඔබට පෙනෙයි කොච්චර වේගෙන් තරහ සිත් නැති වෙනවද කියලා. ඇයි, තමන් තමන් ගැන තරහ තියාගෙන ඉන්න කැමතිද? අපි තරහ පවත්වන්නෙම තව මනුස්සයෙක් ගැන හිතලනේ. හැබැයි 'තව මනුස්සයෙක්' කියන තැන ඉක්මවා ගිහිල්ලා තමන් තමන් ගැනමයි මේ තරහව පවත්වන්නේ කියලා පෙන්නුවොත් තරහට පැවැත්මක් නැතිවෙලා තියෙනවා.
එතකොට අපිට ඇලීම් සහ ගැටීම් නැති කරගන්න පුළුවන් තවත් ක්රමයක් මේක. මේ විදියට තමන්ගේ මනස ධර්මය පැත්තෙන් හොඳට හික්මවා ගන්න, ධර්මය පැත්තෙන් විවිධ විදියට සම්මර්ෂණය කරමින් මේ කාරණාවට හිත තියන්න. ඒ විදිහට හිත තියනකොට ඔබට බොහොම වේගයෙන් හිත සමාධි කරගෙන පුළුවන් වෙයි, බොහොම වේගයෙන් හිත එකඟ කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ විදියේ කුසල ධර්ම කරන එකෙන් අපිට යහපතක් සිද්ධ වෙනවා, හොඳක් සිද්ධ වෙනවා. අලෝභ, අද්වේශ, අමෝහ සහගත සිතුවිලි, කුසල නිශ්රිත මනසිකාර ඇතිවෙනවා. ඒ වගේම සසරේ හිටියොත් කල්යාණ මිත්ර සේවනය ලැබෙන්න පුළුවන්, සත්පුරුෂ ආශ්රය ලැබෙන්න පුළුවන්, ධර්ම ශ්රවණය කරන්න පුළුවන් වටපිටාවක් ලැබෙන්නට අවශ්ය සියලු කටයුතු ටික මේ ඔස්සේ අපි සිද්ධ කරනවා.
ඒ ලෞකික කුසලය පැත්ත දියුණු කිරීම තුළ මේ ටික අපි ලබන්න පුළුවන් කම තියෙනවා. ඒ කුසලය ඒ පැත්තෙන් සිද්ධ කරනවා වගේම අපි මේ ඔස්සේ ගිහිල්ලා ඒ නිවීම ලබාගන්න පැත්තටත් අපේ මනස පත්කරගන්නට ඕන. එතකොට තමයි මේ කුසලය තව තවත් අර්ථාන්විත වෙන්නේ. අපි කරගත්ත කුසලය අනුව ගිහිල්ලා අපිට තවදුරටත් ප්රතිපදාව පුරාගන්න පුළුවන් කම තියෙන්නේ. ඒ හින්දා මේ කුසලය මෙතනින් ප්රමාණ කරන්න එපා, මෙතනින් අවසන් කියලා හිතන්නත් එපා. කොහොමහරි දිගින් දිගටම, දිගින් දිගටම මේකත් එක්ක එල්ලිලා යන්න. එක පැත්තකින් ලෞකික කුසලය දියුණු කරගන්න, අපි අර කලින් කතා කළා වගේ ඒ ගැන මනසිකාරය පවත්වමින්. විදර්ශනාවකට ඒක පාදක කරගන්න, ප්රඥා දියුණු කරන පැත්තකට. ඒ නිසා ඒ හැම පැත්තකටම මේක උපකාර කරගන්න. එතකොට හැම කෙනාටම මේ කුසලය හැම පැත්තකින්ම බොහොම යහපත පිණිස පවතියි.
දේශනාව නිමි.
0 Comments