කුසලයෙන් නිවනට 2
ප්රතිපදාව පිළිබඳව අපි කතා කළොත්, අපිට ඉතාම පහසුවෙන් සිහිය, නුවණ පවත්වන්න පුළුවන් දේවල් සහ ප්රායෝගිකව වඩන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. විදර්ශනාව පිළිබඳව අපි නොයෙක් ආකාරයන්ගෙන් සාකච්ඡා කරලා තියෙනවා. බොහෝ දෙනෙක් විදර්ශනාව වඩන්න එක එක ක්රමෝපායන් ඔස්සේත් මනස මෙහෙයවනවා. ඒ නිසා නිවන් දකින්න අපි යනකොට අපේ හිත භාවිත කරන්නට අවශ්ය 'වීථි' තියෙනවා, නැතිනම්, ක්රම උපාය, මාර්ග තියෙනවා. ඒ මාර්ග ඔස්සේ අරගෙන යනකොට බොහොම වේගයෙන් ආශ්රව ගෙවන්න පුළුවන්, ප්රායෝගිකව අපි වඩන්න යනකොට.
අපි එක එක න්යාය කතා කරනවනේ, 'ස්කන්ධයන්ගේ උදය-වැය' කියනවා, තවත් වෙලාවකට අපි කියනවා ආයතන ගැන බලන්න කියලා, තවත් වෙලාවකට කියනවා පටිච්චසමුප්පාදය අනුව මෙහෙම මනසිකාරය පවත්වන්න කියලා. එතකොට දැන් අපි එක එක පැතිවලින් තමයි මේ කතාව කතා කරන්නේ. එක එක පැතිවලින් කතා කළාට මේ එකම ධර්මය පිළිබඳව තමයි මේ කතාව ගැන කතා කරන්නේ. ඒ කියන්නේ, එකම දෙයක් පිළිබඳව විවිධ පැතිවලින් කතා කරනවා. ඒ විවිධ පැතිවලින් කතා කරනකොට අපිට පුළුවන් ඒ ග්රහණයවන හැම පැත්තක් ගැනම ටික ටික හරි අවබෝධ කරගන්න. ඒ කියන්නේ, අපිට පෙනෙන දෙයක් දිහා අපි බලන්නේ එක දිශාවකින් විතර නම් අපිට පේන්නේ ඒ පැත්ත විතරයි. හැබැයි අපි ඒක හාත්පස විමසනවා නම්, හාත්පස බලනවා නම් අපිට ඒ පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
~~ ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාදය ගැන ඇයි ඉගෙන ගන්නේ?~
දැන් මෙතන තියෙන 'කුටිය' දිහා අපි බැලුවොත්, මේ කුටිය ඉදිරිපසින් විතර නම් කෙනෙක් බලන්නේ, එයාට පේන්නේ ඉදිරිපස විතරයි. හැබැයි දෙපසත්, පිටුපසත්, උඩ, යට ඔක්කොම හාත්පස බලනවා නම් ඒ කෙනාට ඒක මනාකොට දැකගැනීමක් වෙනවා. අන්න ඒ වගේ මේ ධර්මය අපි අවබෝධ කරගන්න යනකොට ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් සම්මර්ශනය කළ යුතුයි. මේ එකම කුටිය. ඉදිරිපස බිත්තිය අයින් කරලා 'කුටිය' කියන්නේ නැහැ. පිටුපස බිත්තිය අයින් කරලා 'කුටිය' කියන්නේ නැහැ. මේ ඔක්කොම තමයි 'කුටිය'. ඒ වගේ, මේ න්යාය ඔක්කොගෙන්ම කතා කරනවා අපි එකම විෂය පරාසයක් පිළිබඳව.
ඒ විෂය පරාසය තමයි, අපි 'පුද්ගලයා' කියලා හිතාගෙන ඉන්න තැන, 'මම' කියලා හිතාගෙන ඉන්න තැන අපි පිරිසිඳ දකින්න ඕන. එතන දකින්න තමයි අපි විවිධ න්යායන් ඒ පාවිච්චි කරන්නේ. "ස්කන්ධ" කියනවා, "ධාතු" කියනවා, "ආයතන" කියනවා...මේ එක එක දේවල් කතා කළත් අපි දකින්න ඕන මේ 'පුද්ගල' බව කියන එක පිරිසිඳ දැකීම තමයි අරමුණ. බුදු දහම තියෙන්නේ, බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ දුකට ප්රතිකර්මයක්, දුක නැති කරන ක්රමයක්. අපිට ප්රශ්නය තියෙන්නේ 'දුක ඉවත් කරගන්නේ කොහොමද' කියන එක ගැන. ඒ ප්රතිකර්මය බාහිර ලෝකේ දකින නිසා තමයි අපි නරක රූප අයින් කරලා හොඳ රූප විතරක් හොයාගන යන්න උත්සාහවත් වෙන්නේ.
~~ මහා බෝසතාණන් වහන්සේ ගිහිගෙය හැරගියේ ඇයි?~~
හැබැයි ඒ ක්රමය ප්රායෝගික නැති නිසා තමයි බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙය අතහැරලා ගියේ. ඒ කියන්නේ, ඒ දේවල් ප්රායෝගිකව ලබාගන්න යනකොට ඉතාම අපහසුයි ලෝකේ තුළ ඒ දුක නැති කරන්න. ඒකෙන් ලැබෙන්නේ තාවකාලික විසඳුමක් විතරනේ. ඒ නිසා ගිහිගෙය අතහැරලා ගිහිල්ලා එතනින් එහාට දෙයක් හෙව්වා. එතනින් එහාට දෙයක් හොයනකොට දැක්කා දුක ඇතිවෙන්නේ කොතනද කියලා. දුක නැති කරන්න ඕන නම්, නැති කරන්න ඕන කොතනද කියලත් අවබෝධ කළා. ජාති, ජරා, ව්යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන දේවල් ගිහිගෙය අතහැරලා යන්න කලිනුත් දැක්කා. ඒකට ප්රතිකර්ම හොයන්න තමයි ගිහිගෙයින් නික්මිලා ගියේ.
ඒකට ප්රතිකර්ම හොයන්න ගිහි ගෙයින් නික්මිලා ගිහිල්ලත් අවබෝධ කළේ ඒකම දුකයි කියලා නෙවෙයි. පුද්ගලයා කරා කොහොමද මේ දුක එන්නේ කියලා දැක්කා. ඒක තමයි 'දුක්ඛෙ ඥානය' කියලා කිව්වේ. ඒ කියන්නේ, ඉපදීම, ලෙඩවීම, මහළු බව, මරණය...ආදී මේ ලෝකේ යම් දුකක් තියෙනවා නම් ඒ හැම දුකකටම හේතුව මොකක්ද කියලා අවබෝධ කරනකොට ඒක දුකයි කියලා නෙවෙයි දැක්කේ. ඒ දුක ආවේ කොහොමද කියලා දැක්කා. 'ඒ දුක ආවේ පුද්ගල බව හා ප්රතිබද්ධවයි' කියන එක තමයි අවබෝධ කළේ. ඒකට කියනවා අපි 'දුක්ඛෙ ඤාණං' (දුක පිළිබඳව දන්නවා) කියලා. එතකොට, 'දුක පිළිබඳව දන්නවා' කියලා කියන්නේ, අපි ඒකට කියනවා "සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා". කෙටියෙන්ම කියනවා නම් 'පංච උපාදානස්කන්ධය තමයි දුක'යි කියලා කියන්නේ.
එතකොට ඒ ‘පංච උපාදානස්කන්ධය දුකයි’ කියන එකම තමයි 'පුද්ගල' බවක දුක ගෙනැල්ලා දෙන්න පුළුවන් භූමිය. ඒ කියන්නේ, 'ඉපදීමේ දුක' කිව්වත්, 'ලෙඩ වීමේ දුක' කිව්වත්, 'මරණයේ දුක' කිව්වත්, 'මහළු බවේ දුක' කිව්වත් පොදුවේ මෙතෙන්ට කියන්න තියෙන එක තමයි 'පංච උපාදානස්කන්ධයේ දුක' කියලා. 'ඉපදීම දුකක් නෙවෙයි' කියන්න පුළුවන් කෙනෙකුට. සමහර අය අහනවා අපි දැකලා තියෙනවා 'ඉපදෙන එක කොහොමද දුකක් වෙන්නේ? ඉපදෙන එක දුකක් නම් අද ඔය ඉපදිලා හොඳින් ඉන්නේ' කියලා. නමුත් ඉපදීම දුකක් බවට පත්වෙන්නේ ඒක නිකන්ම ඉපදීමකුත් නෙවෙන නිසා.
~~ ඇයි ඉපදීම දුකක් වෙන්නේ? ~~
"යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො, ආයතනානං පටිලාභො අයං වුච්චතාවුසො, ජාති" - 'ජාතිය' විස්තර කරනවා 'ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකායන්ගේ හටගැනීමක්, සත්ත්ව නිකායන්ගේ ඉපදීමක්, පහළ වීමක්, ස්කන්ධයන්ගේ නැවත නැවත හටගැනීමක්, ආයතනයන්ගේ නැවත නැවත ලැබීමක් කියන තැනින් 'ජාතිය' විස්තර කරනවා. 'ඉපදීම දුකයි' කියලා කියන්නේ නිකන්ම 'ඉපදුන එක දුකයි' කියලා එකම නෙවෙයි.
'ඉපදීමේ දුක' කතා කරනකොට, ඔබ අද යම්කිසි දුක්ඛිත ආත්මභාවයක් දැක්කොත් ඒ දුක්ඛිත ආත්මභාවය ඒ කියන්නේ, තිරිසන්ගත සතෙක් වෙන්න පුළුවන්, ඒ ඕනම තැනක උපදින්න හේතු අපි ළඟ තියෙනවා නේ. ඒ ඕනම තැනක ඉපදීමත් දුකයි තමයි. මේ කය අද 'මම', 'මගේ' කියලා ඇසුරු කරගත්තට මේ කය අතහැරලා දාලා මේ කයම ඇසුරු කරගෙන පණුවෙක් වෙලා උපදින්න පුළුවන් කෙලේසය අපි ළඟ තියෙනවා. ඒ පණුවා කරගත්ත ස්වභාවය තමයි එතකොට 'මම'. එතකොට මේ කය 'මම' නෙවෙයි. ඒක එයාගේ ආහාරය වෙලා. එතකොට ඒ වගේ අවිනිශ්චිත බවක් ජාති කියන ස්වභාවය තුළ තියෙනවා. 'ඒ ඒ සත්ත්ව නිකායන්ගේ හටගැනීමක්' කියන දේට යන්න පුළුවන්කමක් තියෙනවා.
ඒක එතනින් සීමා නොවී ඊට පස්සේ තවදුරටත් ඒක ගැඹුරට කතා කරනවා. 'ජාතිය' කියන දේ අපිට තවත් එහාට යන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒ සත්ත්වයින්ගේ ජාතියක් අපිට හම්බ වෙනවනේ. දැන් මනුස්සයෙක් හැටියට 'මනුෂ්ය බවේ' ජාතියක් අපිට තියෙනවා. ඒ 'මනුෂ්ය බවේ' ජාතිය තමයි 'මේ මම', 'මේ ඉන්න පුද්ගලයා ජීවත් වෙනවා', මේ "පුද්ගලයා" ඉන්නවා දැන්. එතකොට ඒ මනුෂ්ය ලෝකේ ඉපදුණු 'මාව' මට හම්බ වෙනකොට, ඒ 'මට' තමයි මේ ජීවිතයේ එන ඕන දුකක් විඳින්න පුළුවන් කම තියෙන්නේ. එතකොට හැම වෙලාවකදීම යම් දුක්ඛ වේදනාවක් උපදිනවා නම් ඒ දුක් වේදනාව උපදින්නේ කාටද? මේ ඉන්න 'මට', මේ ඉන්න 'පුද්ගලය' ට.
ඒ ඒ 'පුද්ගල බවේ' ඉපදීමක් තියෙනවා නම්, ඒ මනුෂ්ය ලෝකේ, මනුෂ්ය ජාතිය ඇතුලේ කෙනෙක්ගේ ඉපදීම තියෙනවා නම් ඒ ඉපදීම කියන එක දුකක් තමයි. ඒ ඉපදීම කියන එකෙන් ඒ පුද්ගලයාට දුක උරුම වෙනවාම තමයි. ඕන වෙලාවක දුක කියන එක ගලාගෙන එන්න පුළුවන් කම එතන තියෙනවා. එතකොට, ඒකට කියනවා 'පුද්ගල බවේ' ජාතිය කියලා. 'පුද්ගලයෙක්' ගේ හටගැනීමක් තියෙනවා. ඒක තමයි දුක වෙන්නේ. ජාති දුක නැති කරන්න පුළුවන්ද අපිට? අපි මව් කුසින් ඉපදුණු එක නැති කරන්න බෑනේ දැන්, ඉපදිලා ඉවරනේ. එතකොට ඉපදුනා කියන එක නැති කරන්න බැහැ. හැබැයි ජාති නිරෝධයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවානේ, භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙනවා කියලා.
~~ ජාති නිරොධය මේ ජීවිතයේදීම ~~
එහෙනම් ජාතිය නිරෝධය අපිට කරන්න පුළුවන්. මොකක්ද ඒ කරන්න පුළුවන් ජාති නිරෝධය? ඉපදුණු තැනට ගිහිල්ලා ඒක නැති කරන්න බැරිවෙයි. හැබැයි අද අපිට පුළුවන් මේ 'පුද්ගල' බවේ ජාතිය නැති කරන්න. 'පුද්ගල බවේ ජාතිය' කියලා කිව්වේ ? මේ ඉන්න 'සත්ත්වයා', මේ ඉන්න 'පුද්ගලයා' මේ ලෝකේ ජීවත් වෙනවා. එතකොට මේ ඉන්න 'මට' තමයි මේ 'දුව, පුතා, ගෙවල් දොරවල්, යාන වාහන, මිනිස්සු' ඇසුරු කරන්න ලැබෙන්නේ. දැන් ඒ දේවල් නැති වෙනකොට දුක එන්නේ කාටද? මේ ඉන්න 'මට' තමයි ඒ දේවල් නැති වෙනකොට දුක එන්නේ. ඒ දේවල් වෙනස් වෙනකොට දුක එන්නේ ඒ දේවල් ඇසුරු කරන 'මට' තමයි. අන්න දැන් 'මට', පුද්ගලයෙක් විදියට හම්බවෙන 'කෙනා' ට ලෝකේ දුක් වෙන්න පුළුවන්කම තියෙනවා.
වෙනස් වෙන්නේ සතර මහා ධාතු රූපය. හැබැයි ඒ රූපය 'මගේ' කරගෙන ඉන්නකොට දැන් දුක් වෙන්නේ කොහොමද, ' "මට" ලෙඩ හැදුනා' කියලා. 'ලෙඩවීම' කියන දේ නෙවෙයි දුක වුනේ, ලෙඩවීම 'මගේ' වෙනකොට දුක අපිට ඇවිල්ලා තියෙනවා. වෙනස් වෙන්නේ එළියේ තියෙන රූපය. හැබැයි එතකොට ' "මගේ දරුවා" ලෙඩවුනා' කියලා අපි දුක් වෙනවා. දැන්, ලෝකේ ඕන තරම් අය අද දවසෙදී ලෙඩ වෙනවනේ. හැබැයි අපිට 'මගේ දරුවා ලෙඩ වුනා' කියන දුක එන්නෙ නැහැ කොච්චර වෙන දරුවෝ ලෙඩ වුනත්, ඇයි? අපිට ඒක පුද්ගල බවකින් හම්බ වෙලා නැහැ, ප්රිය මනාප බවකින් ඇසුරු වෙලා නැහැ.
~~ කොහොමද අපේ ජීවිතේට දුක එන්නේ ~~
හැබැයි යම් වෙලාවක ඒ පුද්ගල බව ඇසුරු වුනොත්, අන්න එතකොට දුක එන්න පුළුවන් කම තියෙනවා. දැන්, දුක ආවේ අපිට ඒ දේ වෙනස් වීම මත නෙවෙයිනේ. දුක ආවේ ඒ වෙනස් වෙන දේ පුද්ගල බවකින් ඇසුරු කරපු කම නිසා. ඒ දේ වෙනස් වෙනකම නිසා නම් දුක එන්නේ, ඔයගොල්ලොන්ට 'කාටහරි ලෙඩ වුනා' කියලා ඇහෙන ඕනම තැනක දුක එන්න වෙනවා. එහෙම දුක එන්නේ නැහැ. හැබැයි ඒ දේ පුද්ගල බවකින් ඇසුරු වෙනකොට අන්න අපිට දුක එනවා. 'මම කැමති කෙනෙක් ලෙඩ වුනා' කිව්ව ගමන්ම දුක එනවා දැන්. එතකොට දුකට හේතු වුනේ 'කැමති කෙනෙකුගේ ඉපදීම’ මිසක මේ ලෝකේ ව්යාධිය කියන ධර්මය නෙවෙයි දුක බවට පත්වුනේ. ඉපදීම නිසාම තමයි ඒ 'පුද්ගලයෙකුගේ ව්යාධිය’ ලැබුණේ.
ඒ නිසාම තමයි ඉපදීම දුකයි කියලා කියන්නේ. ඉපදීමේ දුක වෙන්නේ 'සත්ත්ව', 'පුද්ගල' බවක ඉපදීම. "ඛන්ධානං පාතුභාවො, ආයතනානං පටිලාභො" කියලා කිව්වෙත් ඒකමයි. ස්කන්ධයන්ගේ නැවත නැවත 'මම' කරගන්න කම. ආයතන ටික ඇසුරු කරගෙන නැවත නැවත මේ 'පුද්ගලයා' හදාගන්න කම. එතකොට නැවත නැවත 'මනුස්සයෙක්' කියලා සංකල්පය තියෙන මට මනුස්ස බවේ ජාතිය තියෙනවා. මනුස්ස බවේ ජාතිය තියෙනකම් මම 'මනුස්සයෙක්', මනුස්සයෙකුට විඳින්නවන දුක් ටික ඔක්කොම මට විඳින්න වෙනවා තමයි.
දවසක් බුදුරජාණන් වහන්සේ පාරක් අයිනේ වැඩ ඉන්නකොට බමුණෙක් ඇවිල්ලා අහනවනේ නුඹ කව්ද කියලා. මනුස්සයෙක්ද? 'නැහැ'. දෙවියෙක්ද? 'නැහැ'. එහෙනම් යක්ෂයෙක්ද? 'නැහැ'. එහෙනම් බ්රහ්මයෙක්ද? 'නැහැ'. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "මම මනුෂ්යයෙක් නම් 'මනුෂ්යයෙක්' කියන්න අවශ්ය කෙලෙස් ටික මගේ ළඟ තියෙන්න ඕන. මම දෙවියෙක් කිව්වොත් 'දෙවියෙක්' කියන්න අවශ්ය කෙලෙස් ටික මගේ ළඟ තියෙන්න ඕන. මම යක්ෂයෙක් නම් 'යක්ෂයෙක්' ට අවශ්ය කෙලෙස් ටික තියෙන්න ඕන. මම බ්රහ්මයෙක් නම් 'බ්රහ්මයෙක්' ට අවශ්ය කෙලෙස් ටික තියෙන්න ඕන. හැබැයි ඒ එකම තැනකවත් හටගැනීම නැත්නම්, ඒ එකම තැනකටවත් අදාළ කෙලෙස් ටික නැත්නම් මට දෙවියෙක්වත්, මනුෂ්යයෙක්වත්, බ්රහ්මයෙක්වත්, යක්ෂයෙක්වත් කියලා කියන්න සුදුසු නැහැ".
බමුණා ටිකක් වික්ෂිප්තවන උත්තරයක්නේ මේ. දෙවියෙක්ද කියලා අහනවා, ඒත් 'නැහැ' කියනවා. මනුස්සයෙක්ද කියලා අහනවා, ඒත් 'නැහැ' කියනවා. යක්ෂයෙක්ද ඇහුවාම, ඒත් 'නැහැ' කියනවා. බ්රහ්මයෙක්ද ඇහුවාම , ඒත් 'නැහැ' කියනවා. එහෙනම් කව්ද?. එතකොට අපිට තේරුම් ගතයුත්ත තමයි මේ පුද්ගල බව කියන දේ පනවන්නේ, පුද්ගල බව කියන දේ කතා කරන්නේ කෙන කෙනා සතුව තියෙන කෙලේසයකට සාපේක්ෂව. එතකොට මේ ලෝකේ මේ තියෙන දේවල් උපාදාන වශයෙන් ගත්ත මට මනුෂ්ය බවක් තියෙනවා දැන් අද. ඒ මනුෂ්ය බව නිසා මනුෂ්යයෙකුට අදාළ කෙලෙස් ටිකක් පවත්වනවා. දැන් ඒ කෙලෙස් ටික නිසා මනුෂ්යයෙකුට අදාළ දුක මට ඒ විදියටම විඳින්න සිද්ධ වෙනවා.
~~ දර්ශනයෙන් අපේ මනස වෙනස් කරගමු ~~
එතකොට මනුෂ්යයෙකුට අදාළ දුකේ හිමිකරුවා බවට පත්වුනේ මේ ලෝකේ බාහිර දේවල් වෙනස් වෙලා යන නිසා නෙවෙයි, මනුෂ්යයෙකුට අදාළ කෙලෙස් ටික මම පවත්වන නිසා. එහෙනම් දුක නැති කරන්න ඕන නම් මට කරන්න තියෙන්නේ ලෝකේ තියෙන හැම දේම වෙනස් නොවන විදියට පවත්වා ගැනීම නෙවෙයි. අපි අද කරන්න යන්නේ ලෝකේ තියෙන දේවල් වෙනස් නොවී පවත්වා ගන්න. හැබැයි අපි කරන්න අත්යවශ්ය දේ තමයි ලෝකේ තියෙන දේවල් වෙනස් නොවී පැවැත්වීම නෙවෙයි. ලෝකේ තියෙන වෙනස්වෙන දේවල් 'මම', 'මගේ' කියලා හම්බවෙන මානසික මට්ටම වෙනස් කරගන්න එක. අන්න ඒ මානසික මට්ටම වෙනස් කරගත්තොත් ලෝකේ ඒ කෙනාට දුක එන පැත්ත වැහෙනවා.
ඇයි, එයාගේ මනසට දෙයක් හසුවෙන්නේ නැහැ. මනසට දෙයක් හසුවෙන්නේ නැති වෙනකොට එයාට දුක උපදින්න තැනක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක නූපදින මගක්. ඒ කියන්නේ, දුක හටගන්න තියෙන හේතුවම නැති කරලා දාන එකට. දුක හැදුනේ යම් හේතුවක් නිසානම් දුක හැදෙන්න තියෙන හේතුවම නැති කරලා තියෙනවා. දුකට ප්රතිකර්ම හොයාගන යනකොට දුකට හේතුව දැක්කා, දුකට හේතුව දැකලා හේතුව තමයි නැති කළේ. ඒකනේ කිව්වේ තෘෂ්ණා නිරෝධයෙන් දුක නිරුද්ධ වුනා කියලා. තණ්හාව තමයි නැති කළේ.
තණ්හාව නැති කරන්න යනකොට තණ්හාවත් නෙවෙයි නැති කළේ, තණ්හාව පවතින්න තියෙන හේතු ටික නැති කළා. "යං ලොකෙ පියරූපං සාතරූපං, එත්‌ථෙ 'සා තණ්‌හා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති, එත්‌ථ නිවිසමානා නිවිසති"- ඇස ලෝකයේ ප්රිය මධුර ස්වභාව දෙයක්, තණ්හාව උපදින්නේත් එහියි, තණ්හාව පවතින්නේත් එහියි. එතකොට ප්රිය මනාප බව දේ තියෙන්නේ ඇහැ ළඟ. තණ්හාව උපදින්නේත් ඇහැ ළඟ, තණ්හාව පවතින්නේත් ඇහැ ළඟ තමයි. ඒ වගේම රූප, ලෝකේ ප්රිය සාත දේවල්... තණ්හාව උපදින්නේත් එතන, පවතින්නේත් එතන. එතකොට ඇහැ, රූප කියන මේ දෙක ළඟ තමයි තණ්හාව උපදින්නේත්, තණ්හාව පවතින්නේත්. මේ විදියටම කන, ශබ්ද කියන මේ දෙක ළඟ, නාසය හා ගන්ධය, දිව සහ රස, කය සහ ස්පර්ශය, මනස සහ ධම්ම කියන ටික තුළ. ඔය ටික නැතුව සැප එන පැත්තක් ගැන හිතන්න පුළුවන්ද? බැහැ.
අපි යම් දෙයක් සැපයි කියලා කල්පනා කරනවා නම් එක්කෝ අපි කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති ස්පර්ශ...කියන මේ දේවල් වලින් සමන්විත දෙයක් ගැන තමයි අපි කල්පනා කරන්නේ. ඒ කියන්නේ අපි රූපය පැත්තේ සැප ඇති බව හිතමින් සැපවත් රූප ලැබීම පිණිස කටයුතු කරන මානසික මට්ටමක අපි ජීවත් වෙනවා. අන්න ඒකට කියනවා 'කාම සුඛල්ලිකානුයොගය' කියලා. ඒ කියන්නේ, 'එළියේ (රූපයේ) සැප තියෙනවා, තියෙන සැප ලබාගැනීම පිණිස කටයුතු කරනවා'. යම් විදියකින් කෙනෙක් අවබෝධ කළොත් ඔය සැප යැයි කියලා තමන්, තමන් තුළම පවතින සංකල්පමය දේකට රැවටෙනවා කියලා. එතකොට අන්න ඒක පෙන්නලා දෙනකොට එයා සැප සොයාගෙන යෑම පිණිස බාහිර ලෝකයට නැඹුරු වෙන්නේ නැහැ, මොකද එයා දකිනවා ඒ සංකල්පමය වශයෙන් හදාගන්න තැන තියෙන ඇත්ත.
~~ ඉබ්බායි නරියාගෙයි කතාව ~~
ඒ නිසා, අපි බොහෝ වෙලාවට කතා කරලා තියෙන සූත්රයක් තියෙන්නේ, "කුම්මොපම සූත්රය"- අර ඉබ්බාගේ කතාව. දවසක් ඉබ්බෙක් යනකොට නරියා දකිනවා ඉබ්බාව, ඉබ්බා දකිනවා නරියාව. ඉබ්බා කල්පනා කරනවා, 'අද නම් නරියා හිතනවා ඇති මගේ කෑල්ලක් හෝ කඩාගෙන කනවා කියලා, මම නම් එකක්වත් එළියට දාන්නේ නැහැ, ඔක්කොම අකුල ගන්නවා' කියලා ඉබ්බා කල්පනා කරනවා. නරියා කල්පනා කරනවා, 'ඉබ්බෙක් එනවා, අද නම් අතක් පයක් හරි එළියට දැම්මොත් එකක් හරි කඩාගෙන කනවාමයි' කියලා. ඉතින් මේ දෙන්නා හම්බ වෙලා, නරියා බලාගෙන ඉන්නවා ඉබ්බා එකක් හරි එළියට දායි කියලා. එකක්වත් එළියට දාන්නේ නැතුව ඉබ්බත් ඉන්නවා. අන්තිමට නරියා බලන් ඉඳලා, බලන් ඉඳලා යනවා යන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "කුම්මො අඞ්ගානි සකෙ කපාලෙ, සමොදහං භික්ඛු මනොවිතක්කෙ" -හරියට, ඉබ්බා තමන්ගේ කටුව ඇතුලට අවයව ටික අකුල ගත්තා වගේ, අපිට කියනවා මනෝ විතර්ක ටික හකුළුවා ගන්න කියලා. 'මනෝ විතර්ක' කියලා කියන්නේ හිතේ පවතින විතර්ක, හිතේ පවතින සිතුවිලි. එතකොට හිතේ පවතින ඒ විතර්ක මොනවද අපිට? අපිට හිතේ පවතින විතර්ක තමයි 'ගෙවල් දොරවල්, අම්මා, තාත්තා, දුව, පුතා, යාන වාහන', මේ මේ ඒවා හොඳ දේවල්', 'මේවා නරක දේවල්'...මේ ඔක්කොම මනෝ විතර්ක.
මේ 'මනෝ විතර්ක එළියට දානවා' කියලා කියන්නේ මොකක්ද? අර හිතේ පවතින සංකල්ප වශයෙන් ඇතිකර ගත්ත දේ අපි බාහිර ලෝකේ පවතින දෙයක් කියලා හිතනවා. 'අම්මා' කියලා අපි හිතන්නේ බොහෝ කාලයක් තිස්සේ අපි ඇසුරු කරපු සංකල්පනාවක්නේ. පුංචි කාලේ ඉඳලා අපි දැකලා 'අම්මා', 'අම්මා' කියලා ඇසුරු කරපු දේ නිසා අපිට ඒක සංකල්පමය වශයෙන් තියෙනවා. හැබැයි පුංචි කාලේ ඉඳලා දැකපු දේ දැන් ඇත්තේ නෑනේ. හැබැයි දැන් හිතේ තියෙන සංකල්පනාව අපි දකින්නේ එළියේ තියෙන දේ හැටියට. අන්න අපේ මනෝ විතර්කය අපි එළියට දානවා. 'අම්මා ම' වෙන්න ඕන නෑනේ 'අම්මා' කියන්න, මනෝ විතර්කයට වස්තුවෙන විෂය වෙනස් වෙන්න පුළුවන් නේ පුංචි කාලෙදී. ඒ නිසා වෙන කෙනෙක් හදාගත්තත් ඒත් 'අම්මා' කියලා කියනවා.
මම පුංචිම කාලේ අපේ ආච්චිලාගේ ගෙදර ඇවිල්ලා මාස එකහමාරක් විතර ඉඳලා තියෙනවා. ඊළගට අම්මා ආවට පස්සේ 'ඔයා නෙවෙයි මගේ අම්මා, මේ ඉන්නේ' කියලා මම ආච්චි ළගට යනවා. ඉතින් ඒ වෙලාවෙදී ගත්තොත් මගේ ඇත්තම අම්මා මට කොච්චර කිව්වත් 'ආච්චි' තමයි. ඇයි එතකොට ඒ රූපේ දැකලා දැකලා 'අම්මා' විදියට ඇතිවෙලා තියෙන සංකල්පනාව. එතකොට අපි 'අම්මා' කියලා ඒ ඇසුරු කරන්නේ ඒ සංකල්පමය වශයෙන් හදාගත්ත දේ නේ. සංකල්පමය වශයෙන් හදාගත්ත දේ අපි හැම වෙලාවකදීම පතිත කරනවා බාහිර රූපයට.
~~ මනෝ විතර්ක එළියට දාන්න එපා ~~
ඒක හරියට අර projector එකකින් (ප්රක්ෂේපකයකින්) බිත්තියට දාලා චිත්රපටියක් බලනවා වගේ. තිරයට projector එකකින් චිත්රපටියක් දැම්මට පස්සේ ඒ ප්රක්ෂේපණය නිසා අපිට පේනවා ලස්සන රූප, ලස්සන දේවල්, එහා මෙහා යන දේවල්. ඇත්තටම ගත්තොත් අපි බලන් ඉන්නේ මොකක් දිහාද? අපි බලන් ඉන්නේ තිරය දිහා, නැත්නම් බිත්තියක් දිහා. බිත්තිය දිහා බලන් ඉන්නකොට අපිට රූප පේනවා. ඒ වගේ, අපිට ඇහැට පේන දේ දිහා බැලුවොත් එහෙම සතර මහා ධාතුව නිසා පවතින වර්ණ රූපයත් තමයි අපිට ඇහැට පේන්නේ, එච්චරයි.
එතකොට ඒ projector එකෙන් එන ආලෝක කදම්භය පේන තැනක අපි චිත්රපටිය බැලුවා වගේ අපිට ඇහැට පේන්නේ සතර මහා ධාතුව නිසා පවතින වර්ණ රූපය. වර්ණ රූපය පේන තැනක අර අපි පුංචි කාලේ ඉඳලා ඇසුරු කරපු සංකල්ප, සිතුවිලි ටිකේ තියෙනවා 'අම්මා' කියලා. අපි ඒ ටික මනසෙන් දැනගන්නවා. අපි හිතනවා, අපි දැනගත්තේ 'එළියේ ඉන්න අම්මා' මයි කියලා. අපි දන්නේ නැහැ, අපි හිතන්නේ නැහැ අපි ඇත්තටම දැනගත්තේ අපි හිතෙන්ම උපද්ද ගත්ත සංකල්පය මිසක් බාහිර පවතින රූපය නෙවෙයි අපි ඇසුරු කළේ කියලා.
ඒ හින්දා අපි ඇත්තටම කැමතියි කියලා, ආදරෙයි කියලා කිව්වොත් අපි ආදරය කරන්නේ අර එළියේ තියෙන සතර මහා ධාතුවටත් නෙවෙයි, වර්ණ සටහනටත් නෙවෙයි, අපි ආදරය කරන්නේ සංකල්පමය වශයෙන් අපි උපද්දපු 'අම්මා' කියන දේට. වෙනස් වෙන්නේ සතර මහා ධාතු රූපය. සතර මහා ධාතුවක් වෙනස් වුනා කියලා අපිට දුක එන්නේ නැහැ. හැබැයි අපිට දැන් අර projector එකෙන් සතර මහා ධාතුවේ වෙනස්වීම නිසා දාන්න බැරි වෙනකොට...අපිට හිතෙනවා 'අම්මා' නැහැ කියලා. ප්රක්ෂේපණය පතිතවෙන බිත්තියේ ඇද පළුදු තිබ්බොත් එහෙම, පින්තූරේ ඇද වෙලා වගේ තමයි දැන් අපිට පෙන්නේ. එතකොට අපි කියනවා අම්මා ලෙඩ වෙලා කියලා.
~~ මාරයාට හසුනොවෙමු ~~
එතකොට ලෝකේ තුළ අම්මා ලෙඩ වීම නිසා එන දුක, අම්මා මැරෙන නිසා එන දුක අපිට විඳින්න පුළුවන්. අපි කියනවා අපි ඒ දුක විඳින්නේ එහේ වෙනස්වන නිසාමයි කියලා. ඇත්තටම අපි ඒ දුක වින්දේ එහේ වෙනස්වන නිසාද? එහෙම නැතිනම්, වෙනස්වන රූපයක් අනුව මනෝ විතර්කය බාහිරට පතිත කරපු නිසාද? අපි ඇත්තටම දුක විඳින්නේ මනසේ හදාගත්ත මනෝ සංකල්පනාව, මනෝ විතර්කය රූපයට පතිත කරපු බව නිසා. බාහිර රූපයට යම්කිසි විදියකින් යම් ම මනෝ විතර්කයක් එළියට දැම්මොතින්, 'කුම්මොපම සුත්රය' අනුව අපි කිව්වා, නරියට අහුවෙනවා කියලා. 'නරියා' කියලා කිව්වේ මාරයාට නමක්.
මාරයාට නමක් කිව්වහම, ඒක ක්ලේශ මාරයාටත් වෙන්න පුළුවන්, ස්කන්ධ මාරයාටත් වෙන්න පුළුවන්, අභිසංස්කාර (කර්ම) මාරයා වෙන්න පුළුවන් 'මෘත්ය මාරයා' - මරණය කියන දේ නොඉක්මවන මට්ටමක් වෙන්නත් පුළුවන්, දේවපුත්ත මාරයා ඉක්මවා යන්නේ නැති මට්ටමක් වෙන්නත් පුළුවන්. අපි මාරයාගේ විෂයේ කොහෙන් ගියත් ඉන්නේ. ඒ කියන්නේ, තව කෙනෙක් යටතේ තමයි අපි ජීවත් වෙන්නේ. ඇයි දැන් අපිට සිද්ධ වෙනවා තව කෙනෙක් යටතේ බොහෝම කල්පනාකාරීව ජීවත් වෙන්න. ඇයි, මේ සංකල්පනාව පවත්වන්න නම් අපිට බාහිර වස්තුව රකින්න එපැයි දැන්. ඒ නිසා අපිට ඒක ලෙඩ නොවී තියාගන්න ඕන, ලෙඩ වුනොත් ඒකට ඇප උපස්ථාන කරන්න ඕන... ගොඩක් දේවල් තියෙනවා අපිට කරන්න. හැබැයි අපිට ඒත් පුළුවන් සීමාව ඉතාම ස්වල්පයයි. වෙනස්වන දේ වෙනස් වෙනවා. එතකොට ආයෙත් 'දුක' කියන දේ එනවා.
මතු සම්බන්ධයි.
0 Comments