ගිරිමානන්ද සූත්‍රය - අනිත්‍ය සංඥා 15

ගිරිමානන්ද සූත්‍රය - අනිච්ච සංඥාව 15

"ඉති වෙදනා ඉති වෙදනාය සමුදයො" කියන කොට මෙන්න මේ තමයි වේදනාව, මේ වේදනාව හට ගත්ත විදිහ කියලා පේන කොට ඔබට පේනවා ඇහැට වර්ණ රූපය ගැටීම නිසා අදුක්ඛමාසුඛ සහගත වේදනාවක්, ශබ්දය පිළිබඳව අදුක්ඛමාසුඛ සහගත වේදනාවක්, ගන්ධය පිළිබඳව අදුක්ඛමාසුඛ සහගත වේදනාවක්, රසය පිළිබඳව අදුක්ඛමාසුඛ වේදනාවක්, ඵොට්ඨබබය පිළිබඳව නම් සුඛ වේදනා හෝ දුක්ඛ වේදනා වශයෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා කියලා අපි මතක් කළා.

රූප, ශබ්ද, ගන්ධ, රස මේ ආයතන ටික අනුසාරයෙන් කතා කරන කොට අපිට පේනවා වේදනාව අදුක්ඛමාසුඛ කියලා කිව්වේ ඇයි කියලා. ඇහැට ආපු වර්ණ රූපය හුදු පැහැ සටහනක් පමණක් බවට චක්ඛු විඤ්ඤාණයෙන් විජානනය කරන කොට ඒ චක්ඛු විඤ්ඤාණයෙන් එතනින් එහාට වෙන දෙයක් දැන ගන්න පුළුවන්කමක් නැත්නම්, ඒ රූපාරම්මණය ඇසුරු කර ගෙන චක්ඛු විඤ්ඤාණ මට්ටමේ පවතින්නේ හුදු සැප වේදනාවක් ගොඩ නැගෙන්නට හේතු නැති, දුක් වේදනාවක් ගොඩ නැගෙන්නට හේතු නැති හුදු උපේක්ෂා වේදනාවක් නැතිනම් අදුක්ඛමාසුඛ ස්වභාවයක් පමණයි.

‘ඉති වෙදනා’ කියන කොට වේදනාව පිළිබඳවත්, ‘ඉති වේදනාය සමුදයො’ කියලා මේ වේදනාවේ හට ගැනීම කියලා අපි දකින කොටත් අපිට ඒක පේනවා. ඇහැ අනුසාරයෙන් වගේ ම කන, නාසය, දිව සහ කය කියන මේ ආධ්‍යාත්මික ආයතන ටිකට බාහිර ආයතන ස්පර්ශ වෙන කොට ඊට අනුරූපව වේදනාව උපදින්නේ කොහොම ද කියලා දැන් අපි දන්නවා. ඒ කියන්නේ වේදනාවක් ප්‍රකට වෙන්නෙ ම ස්පර්ශ ප්‍රත්‍යයෙන්.

✳️ පුද්ගලභාවයේ ගොඩ නැගීම

ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව නැවත ඇහැ පැත්තේ දාලා අපි බලනවා නම්, නැවත රූපය පැත්තට අපි දාලා බලනවා නම්, නැවත චක්ඛු විඤ්ඤාණය පැත්තට අපි දාලා බලනවා නම් ඒ විදිහට අපි වේදනාව බලන කොට අපිට බාහිර ආයතනයට යොමු වූ මනසක් ගොඩ නැගෙනවා. එතකොට ඒ වේදනාව විඳින පුද්ගලයා ආධ්‍යාත්මික පැත්තෙන් හම්බ වෙනවා. ඒ පුද්ගලයට වේදනාව විඳින්න පුළුවන්කම තියෙනවා කියලා හිතෙනවා.

එතකොට ඔහුට දුක් විඳින්න පුළුවන් මනසක් ලැබිලා ඒ මනසත් සමග ම දුකෙන් ඔහු පීඩාවට පත් වෙලා මැඩිලා, ඔහුට ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන දුක් කරා යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා මෙන්න මෙතැන දී අපි වේදනාව ඇහැට, රූපයට, චක්ඛු විඤ්ඤාණයට නැවත පතිත කරලා බලන මෝඩකම දුරු වෙන විදිහට අපේ මනසිකාරය භාවිත කරන්නට අවශ්‍යයි. වේදනාවේ සමුදය අපි දැක්ක යුත්තේ ඒ නිසා තමයි. ස්පර්ශය නිසයි වේදනාව හට ගත්තේ. ස්පර්ශය නිසා හට ගත්ත දෙයක් නම් වේදනාව, ඒ ස්පර්ශය නිසා හට ගත්ත වේදනාව ඇස පැත්තෙහි ලා නොදැකිය යුතුයි.

ඒ මක් නිසා ද වේදනාව ඇහැට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඇහැට තනිව පුළුවන්කමක් තිබුණේ නැහැ ඔබට එබඳු වූ වේදනාවක් සකස් කරන්න. ඒ වගේ ම රූපයට විතරක් තනිව පුළුවන්කමක් තිබුණේ නැහැ එබඳු වූ වේදනාවක් සකස් කරන්න. ඇහැ රුප දෙක නොවේ නම් ඇස පිළිබඳව පවත්වන රූපය දැන ගැනීම් වශයෙන් පවත්වන චක්ඛු විඤ්ඤාණ හිතක් උපදින්නේ නැහැ. එහෙනම් එතන ඒ හිතේ වේදනාව පෙනෙන්නේ ද නැහැ ඇහැ සහ රූප පනවන්න පුළුවන්කමක් නැත්නම්. අන්න එතකොට අපිට පේනවා ස්පර්ශය තුන් දෙනෙක් නිසා හට ගත්ත දෙයක් මිසක ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව කොයි වෙලාවකවත් මේ එකකට හෝ (ඇහැට හෝ, රූපයට හෝ, චක්ඛු විඤ්ඤාණයට පමණක්) පවරා දෙන්න පුළුවන්කමක් තියෙන දෙයක් නෙමෙයි කියලා.

ඒ කියන්නේ වේදනාව ඇහැට පවරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. වේදනාව රූපය වෙත පවරා දෙන්නට පුළුවන් දෙයක් නෙමෙයි. වේදනාව චක්ඛු විඤ්ඤාණයට පමණක් තනිව පවරා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. “ඉති වෙදනාය සමුදයො” කියලා මේ වේදනාවේ හට ගැනීමයි කියලා දකින කොට ආයතන ටික ආයතන කෘත්‍යක් කරන තැනක හට ගන්න වේදනාවක් නේද කියන එක දකින්න පුළුවන්කම තියෙනවා.

මෙබඳු වූ විපාක මට්ටමේ වේදනාවක් ඇති තැනක, ඒ කියන්නේ කර්ම සහගත නොවෙන සැප, දුක් නොවෙන වේදනාවක් ඇති වෙන කොට අපි ඒ පිළිබඳව නැවත සෝමනස්ස හෝ දෝමනස්ස හෝ මධ්‍යස්ථ විදිහට හිතලා නැවත මනසින් බාහිරට නැඹුරු වෙන එක වැරදියි කියලා ඔබට එතකොට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ විදිහට ස්පර්ශය පිරිසිඳ දැකීම තුළ. ස්පර්ශය හට ගත්තේ කොහොම ද කියන එක දකින කොට ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව ඇහැ පැත්තට හෝ රූපය පැත්තට හෝ හිත පැත්තට හෝ පතිත කරලා දකින්නේ නැහැ. ඔබට පේනවා වේදනාව මේ හේතු ටික නිසා සකස් වුණ දෙයක් කියලා. ඒකයි ඉති වෙදනාය සමුදයො කියලා කිව්වේ.

✳️ වේදනාවේ නැති වීම

ඒ වගේ ම “ඉති වෙදනාය අත්‍ථගමො” - මේ වේදනාවේ අස්තඞ්ගමයයි කියන කොට ස්පර්ශ නිරෝධය වෙන කොට, එනම් තුන් දෙනාගේ (ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණය) එකතුව නැති වෙලා යන කොට මේ එකක් එකක් හරි නැති වෙනවා නම් තිදෙන ම හෝ නැති වෙනවා නම් වේදනාව පනවන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ස්පර්ශය නැතිව යෑමෙන් වේදනාව නැතිව යනවා. ස්පර්ශය, එනම් මේ තුන් දෙනා එකට තියෙනවා කියන එක නැති වෙලා යන කොට වේදනාව ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ මොහොතේ හට ගත්ත වේදනාව ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ වේදනාව නැවත කවදාවත් ආයේ උපදින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. නැවත හට ගන්නවා කියන බවකට ඒක යෙදෙන්නේ නැහැ. එතකොට කලින් ඇති කර ගත්ත වේදනාව ඔබට නැවත විඳින්න පුළුවන්කමක් නැහැ.

නමුත් මේ අනිත්‍යතාවය අපි ලෝකේ නොදකින නිසා තමයි, අපි හිතන්නේ කලින් දැකපු දේවල් ආපහු දකින්න පුළුවන් කියලා. ඒ නිසයි කලින් ඔබ සුව සොම්නස වින්දා කියලා හිතපු තැන් පිළිබඳව ඔබ නැවත ඒ තැන් දැකලා ම ඔබ සතුටු වෙන්න පුළුවන් කියලා හිතන්නේ. ඒ නිසා ම යි කලින් ඔබට සුවක් සොම්නසක් දැනුණු සිංදුව අහලා ම ඔබ නැවත සතුට උපද්ද ගන්න හිතන්නේ. ඔබ හිතනවා ඒ සැප වේදනාව බාහිර තියෙනවා කියලා. නමුත් යථාර්ථය තමයි කවදාවත් ඒ සැප වේදනාව බාහිර තිබුණ දේ නෙමෙයි. ඒක තමන් තමන්ගේ මනස තුළින් උපද්ද ගෙන විඳපු දෙයක්.

එතකොට ඒ විදිහට ලෝභ සිතක වේදනාව උපද්ද ගෙන වින්දේ, ස්පර්ශය නිසයි වේදනාව ඉපදුණේ ස්පර්ශය නැති වෙන කොට වේදනාව නැති වෙනවා කියලා ස්පර්ශයේ ඇත්ත නොදන්නාකම නිසයි. ඔබේ ඒ අනවබෝධය, ඔබේ ඒ මෝඩකම නිසා ඒ දේ ඇති වුණේ. ස්පර්ශය නිසා හට ගත්ත ධර්මයෝ ස්පර්ශ නිරුද්ධ වෙන කොට නිරුද්ධ වෙනවා කියන එක ඔබ දන්නවා නම්, දකිනවා නම් ඔබට එතන කර්ම හා කෙලෙස් ගොඩ නැගෙන්නේ නැහැ.

ඒ වගේ ම අපිට පුළුවන්කම තියෙනවා තව පරියයන්ගෙන් මේක මේක තේරුම් ගන්නට. අපිට වේදනාව පිළිබඳව පරිග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා අවිද්‍යා, කර්ම, තණ්හා ස්පර්ශ කියන මේ දේවල් නිසා තමයි වේදනාව ඉපදුණේ කියලා. වේදනාව නිකන් ම ඇති වුණ දෙයක් නෙමෙයි. වේදනාව ඇති වෙන්නට පාදක වුණා අවිද්‍යාව, කර්මය, තණ්හාව. අවිද්‍යාව, කර්මය, සහ තණ්හාව ආදී දේවල් වේදනාව ඇති කරන්නට පාදක වෙන කොට අපිට කතා කරන්නට වෙනවා අවිද්‍යා, කර්ම, තණ්හාව වේදනාවේ හට ගැනීමට පාදක වෙලා තියෙන්නේ කොහොම ද කියන දේ පිළිබඳව. ඒ කියන්නේ එක පැත්තකින් ප්‍රතිසන්ධි විපාකය පැත්තෙන් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා.

මව් කුසකට ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය බැස ගත්ත නිසා තමයි නැවත නැවතත් බාහිර රූපයන් ප්‍රසාදයන් කරා පත් වෙන්නට පුළුවන් වෙන්න මහාභූත පිළිබඳව උපාදාය රූපයන් වූ ප්‍රසාද රූප නැවත නැවත සකස් කරන්නේ. එතකොට පෙර අවිද්‍යාව, පෙර කර්මය, පෙර තණ්හාව කියන දේවල් ඒ පැත්තෙන් උපස්ථම්භක වෙලා තියෙනවා වර්තමාන කනබොන ආහාර ප්‍රත්‍යයෙන් උපන්නා වූ ප්‍රසාද රුප ටික හදන්න. ඒ විදිහට ආධ්‍යාත්මික ප්‍රසාද රූප ඇති වුණ තැනක තමයි බාහිර රූප ගැටීමෙන් ස්පර්ශය ඇති වෙන්නේ. ඒ කියන්නේ බාහිර රූපයක් ඇවිල්ලා ගැටෙන්නේ අර ප්‍රසාද රූප තිබුණොත් තමයි. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව උපදින්නේ.

වර්තමානය තුළ ප්‍රසාද රූපයන්ට ගැටෙන බාහිර අරමුණු නිසා ස්පර්ශය නිසා වේදනාවක් හට ගන්නවා. ස්පර්ශය හේතු නිසා හට ගත්ත ධර්මයක් නම්, ඒ හේතු නැති වෙන කොට ස්පර්ශය නැති වෙලා යනවා. එහෙනම් ස්පර්ශය නිත්‍ය දෙයක් නෙමෙයි. හේතු නිසා නම් යම් දෙයක් සකස් වෙන්නේ ඒ හේතු නැති වෙන කොට ඒ ඵලය නැති වෙලා යන්නට ඕනේ. ඒක තමයි ඒකේ තියෙන ලක්ෂණය. ඒක තමයි ඒකේ ස්වභාවය. “හෙතුංපටිච්ච සම්භූතං හෙතු භඞ්ගා නිරුජ්ඣති” හේතු නිසා හට ගත්ත ධර්මයෝ හේතුන්ගේ බිඳී යාමෙන් බිඳී යනවා. එහෙනම් ස්පර්ශය නැති වෙන කොට වේදනාව ද නැති වෙනවා.

මෙන්න මේ හේතු නිසා හට ගත්ත, හේතු නැති වෙන කොට නැතිව යන මේ ලක්ෂණය පිළිබඳව ඔබට දකින කොට වේදනාව පිළිබඳව ඔබට පුද්ගල දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ. වේදනාව පිළිබඳව ඔබට නිත්‍ය සංකල්පනාවක් ගොඩ නැගෙන්නේ නැහැ. වේදනාව එක දිගට පවතින දෙයක් හැටියට ඔබට හිතෙන්නේ නැහැ. වේදනාව එක දිගට පවතින දෙයක් නොවී අනිත්‍ය ධර්මයක් ලෙස දකිනවා නම් ඒ වේදනාව සමග පවතින තමාව හම්බ වෙන්නේ නැහැ. අපිට වේදනාව පිළිබඳව පවතිනකම හම්බ වෙන කොට ඒ වේදනාව විඳින පුද්ගලයෙක් හම්බ වෙනවනේ. මේ ආත්මය නැතිනම් මේ කෙනා තමයි වේදනා විඳ විඳ ඒ ඒ තැනට යන්නේ, මෙතනින් තව තැනකට යන්නේ, මේ කලින් වේදනාව විඳපු මට තමයි දැන් මේ වේදනාවත් ඇති වෙන්නේ කියලා. අන්න එබඳු වූ මිච්ඡා දිට්ඨි ඇති වෙන්නේ නැහැ.

රූපයක් දකින කොට ඒ පිළිබඳ අදුක්ඛමාසුඛ වේදනාවක් ඇති වුණා කියමුකෝ. ඒ වේදනාවත් එක්ක ම වේදනාවට අනුරූපීව වේදනාව වින්ඳ තමන් ආධ්‍යාත්මික ආයතන ටික පැත්තේ ඉන්නවා කියලා හිතනවා. ඊළඟට තව රූපයක් දිහා බලන කොට සොම්නසක් හෝ දොම්නසක් ඇති වෙනවා. කලින් වේදනාව විඳපු මම තමයි දැන් මෙතන මේ සතුට ද විඳින්නේ, ඒ මම තමයි දැන් මේ දුක විඳින්නේ කියලා හැම වෙලාවක දී ම වේදනාව ඇසුරු කර ගෙන ඔබ ආධ්‍යාත්මික ආයතන පැත්තේ පුද්ගලයෙක්ව එකතු කර ගන්නවා. එනම් පුද්ගලභාවය රැස් කර ගන්නවා. එතකොට අන්න ඒ ඉන්න පුද්ගලයට විඳ විඳ ඒ ඒ තැනට යන්න පුළුවන් කියන අපේ තියෙන මෝඩකම අයින් වෙන්න, ඒ නිත්‍ය සංකල්පනාව දුරු වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ වේදනාවේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අපිට දේශනා කරන්නේ.

අපි වේදනාව පිළිබඳව මූලික ලෙස හඳුනා ගෙන, ඒ වේදනාව හට ගත්ත ආකාරය ගැන අපි බලන කොට අපිට පේනවා වේදනාව හේතු ප්‍රත්‍යයන්ගෙන් උපදවපු දෙයක්. ස්පර්ශය නිසයි වේදනාව ඉපදුණේ. ස්පර්ශය ගොඩ නගන්නට අවිද්‍යා කර්ම, තණ්හා කියන හේතු පාදක වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට වේදනාව හේතු නිසා සකස් වෙච්ච දෙයක්. ඒ වගේ ම ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා.

✳️ වේදනාවේ අනුප්පාදය

අවිද්‍යා, කර්ම, තණ්හා කියන මේ වර්තමාන හේතු ටික නැති වෙලා යන කොට අනාගතේට ඔබට මෙබඳු වූ වේදනාවක් විඳින්න තියෙනවා නම් ඒ වේදනාව අනුත්පාදයට යනවා. එනම් නැවත නොහට ගන්න බවට යනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන මේ හේතු ටික අද ඔබ දුරු දුරු කරන්නේ කොහොම ද? වේදනාව පිළිබඳව යථාභූත ස්වභාවය අවබෝධ කර ගෙන. එනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාව ස්පර්ශ නිරුද්ධ වෙන කොට නිරුද්ධ වෙනවා කියන එක දැකීමෙන්. එතකොට ඔබට වේදනාව පනවන්නට දෙයක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ ලෝකේ දෙයක් හම්බ වෙන්නේ නැති වෙන කොට අනාගතේට වේදනාව ලබන්නට සුදුසු මට්ටමේ කර්මාභියූහනයක් /කර්ම රැස් කර ගැනීමක් ඔබ සිද්ධ කර ගන්නේ නැහැ.

එබඳු වූ කර්ම රැස් කර ගැනීමක් ඔබ සිදු කර ගන්නේ නැති වෙන කොට අන්න ඔබට කියනවා ඒ මට්ටමේ වේදනාවෙන් මිදුන කෙනෙක් කියලා. වේදනාවේ අනිත්‍ය දැකලා වේදනාවෙන් මිදුන කෙනෙක් බවට පත් වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. මේක එක පැත්තකින් තාක්ෂණයක්. ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්. හේතු නිසා හට ගත්ත දෙයක් පිළිබඳව ඔබට තිබුණු නිත්‍ය සංකල්පනාව දුරු කරලා මතු වේදනාව උපදින්න තියෙන හේතු ටික සම්පූර්ණයෙන් ම ඉවත් කර දමනවා.

මතු සම්බන්ධයි

හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021- 03- 21 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් අනිත්‍ය සංඥාවට අදාළව පවත්වන ලද හතරවන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.

Post a Comment

0 Comments