ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 02
❗️අනිච්ච සංඥාව යනු❗️
අනිච්ච සඤ්ඤාව පිළිබඳව දේශනා කරන කොට, “ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසංචික්ඛති: “රූපං අනිච්චං වෙදනා අනිච්චා සඤ්ඤා අනිච්චා සඞ්ඛාරා අනිච්චා විඤ්ඤාණං අනිච්චන්ති”
ආනන්ද මේ සාසනයේ යම්කිසි කෙනෙක් කැලේකට ගිහිල්ලා හෝ ඒ වගේ ම “රුක්ඛමූලගතො වා” ගහක් මුලකට ගිහිල්ලා හෝ “සුඤ්ඤාගාරගතො වා” හිස් ගේකට ගිහිල්ලා හෝ “ඉති පටිසංචික්ඛති” මේ විදිහට නුවණින් සලකා බලනවා. “රූපං අනිච්චං” රූපය කියන එක අනිත්ය ධර්මයක්. ඒ වගේ ම වේදනාව අනිත්යයි. සංඥාව අනිත්යයි. සංස්කාරය අනිත්යයි. විඤ්ඤාණය අනිත්යයි.
“ඉති ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු අනිච්චානුපස්සී විහරති. අයං වුච්චතානන්ද අනිච්චසඤ්ඤා” - මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට අනිත්ය සංඥාව පිළිබඳව දේශනා කරන්නේ. අනිත්ය සංඥාව කියන සංඥාව පිළිබඳව මූලික හඳුනා ගැනීමක් අපි කළොත් ඉතා ම වැදගත්, ඒ වගේ ම හැමෝම ප්රගුණ කළ යුතු වටිනා සංඥාවක් තමයි අනිත්ය සංඥාව කියලා කියන්නේ. අනිත්ය සංඥාව කෙනෙක් දියුණු කරනවා නම් ඔහු නිවන දියුණු කරන්නෙක් බවට පත් වෙනවා.
❗️අනිච්චසඤ්ඤා සූත්රය පිළිබඳව ගවේෂණය❗️
විශේෂයෙන් ම අනිච්ච සඤ්ඤාව පිළිබඳව සූත්ර ගණනාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සංයුක්ත නිකායේ විවිධ පරියායන්ගෙන් බුදුරජාණන් වහන්සේ අනිත්ය සංඥාව පිළිබඳව කරන ලද දේශනාවන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ අනිත්ය සංඥාව පිළිබඳ කරන ලද දේශනාවන් අතර අපිට දකින්න පුළුවන් සූත්රයක් තමයි අනිච්චසඤ්ඤා සූත්රය.
එම සූත්රයේ දී බොහෝ කරුණු කාරණා උදාහරණ මගින් බුදුරජාණන් වහන්සේ දක්වනවා අනිත්ය සංඥාව භාවිත කිරීමෙන් ලබන ආනිසංස ධර්මයන් පිළිබඳව. එනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ ධර්මයන්ගේ අනිත්යතාවය මෙනෙහි කිරීම තුළින් ලැබිය හැකි ආනිසංස ධර්මයන් පිළිබඳව.
ගිරිමානන්ද සුත්රයේ දී මුලින් ම දක්වන්නේ භාවනා කිරීම සඳහා අවැසි කාය විවේකය පිළිබඳව. ඒ නිසා තමයි “අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා” කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත්ය සංඥාව වඩන්න අනිවාර්යයෙන් ම අරණ්යයකට යන්න ඕනේ කියන එක නෙමෙයි. අනිවාර්යයෙන් ම ගහක් මුලකට ගිහිල්ලා අනිත්ය සංඥාව වඩන්න ඕන කියන එක නෙමෙයි ඒකෙන් කියන්නේ. එහෙමත් නැතිනම් හිස් ගෙවල් හොයා ගෙන යන්නට ඕනේ කියන එක ම නෙමෙයි. ඒ වචන ටිකෙන් අදහස් කරන්නේ තමන්ට කාය විවේකය සපයා ගැනීම කියන දේ.
කාය විවේකය නැති කම්මාරාමතාව එනම් ගොඩක් කටයුතුවල නියැලුණු ඒ දේවල් තුළ ඇලුණු කෙනෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ තමන්ගේ භාවනා කටයුතු මැනවින් සිද්ධ කර ගන්නට. ඒ කියන්නේ අනිත්ය සංඥාව ආදී සියුම් සංඥාවක් දියුණු කරන්නට, ප්රගුණ කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ, ඊට අවශ්ය වටපිටාව සකස් කර ගෙන නැතිනම්. අන්න ඒ කාය විවේකය සලසා ගැනීම පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ අවධාරණයට ලක් කරන්නේ “අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා” කියලා. කැලේකට ගිහිල්ලා හෝ, ගහක් මුලකට වෙලා හෝ, හිස් ගේකට වෙලා හෝ කියන එකෙන් අදහස් කරන්නේ තමාට සලසා ගත හැකි කාය විවේකය සලසා ගෙන කියන අර්ථය. ඒ විවේකය සපයා ගැනීම කැලේකට ගිහිල්ලා වෙන්නත් පුළුවන්, ගහක් මුලට වෙලා වෙන්නත් පුළුවන්, හිස් ගේකට වෙලා වෙන්නත් පුළුවන්.
❗️විකුර්ති අදහස්❗️
කාය විවේකය සලසා ගැනීම ගැන සඳහන් කරන මේ බුද්ධ භාෂිතය ඇතැම් වෙලාවට ඇතැම් කෙනෙක් වැරදි විදිහට අර්ථ ගන්වන්නටත් උත්සාහවත් වෙනවා. ‘රණ’ කියලා කියන්නේ යුද්ධෙට. එතකොට අරණ කියලා කියන්නේ රණ භුමිය නැති තැනකට. ඒ කියන්නේ රණ කියන්නේ කෙලෙස් භුමිය. එතකොට අරණ කියලා කියන්නේ කෙලෙස් භූමිය නැති කෙලෙස් යුද්ධය නැති තැනක් තමයි ‘අරඤ්ඤගතො වා’ කියන්නේ කියලා එබඳු වූ අර්ථකථන දෙන්නට හදනවා.
‘රුක්ඛමූලගතො වා’ කියලා කියන්නේ සිත ස්ථාවර කර ගෙන, නිශ්චල කර ගෙන, ගහක මුලක් වගේ කර ගෙන කියලා මේවාට එක එක අර්ථකථන දෙන්නට ඇතැම් වෙලාවට ධර්මය පිළිබඳව පුංචි ම අවබෝධයක්වත් නැති අය විසින් උත්සාහවත් වෙනවා. මේ විදිහට වචන ස්වරූපය දැකලා අපිට පුළුවන්කමක් නැහැ ත්රිපිටක ධර්මයට අර්ථකථන සපයන්නට.
ඒ කියන්නේ වෙනත් භාෂාවක තියෙන වචනයකට අපිට සිංහල අර්ථකථන එහෙම දෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අරඤ්ඤගතො වා කියලා දේශනා කළා මිසක අරණ ගතොවා කියලා දේශනා කළේ නැහැනේ. ‘අරණ්ය’ කියලා කියන්නේ කැලයට/ වනයකට. වනයකට ගිහිල්ලා හෝ විවේකය සපයා ගැනීම ගැනයි භාග්යවතුන් වහන්සේ ප්රධාන වශයෙන් ම ඒ තුළ දක්වන්නේ. නැතිනම් අරඤ්ඤගතො වා කියලා කියන්නේ රණ හෙවත් කෙලේස් නැති කළා කියන එක නම් කෙලෙස් නැති කරපු කෙනෙකුට ආයෙත් මොකට ද අනිත්ය සංඥාවක් වඩන්නට අවශ්ය වෙන්නේ? කෙලෙස් නැති කළා නම් ආයේ අනිත්ය සංඥා වඩන්න අවශ්ය වෙන්නේ නැහැ.
නමුත් මෙතන දී දේශනා කරන්නේ අපට අවශ්ය කාය විවේකය සපයා ගැනීම සඳහා අවශ්ය කරුණු. අන්න ඒ විදිහට ඔබේ ජීවිතය තුළ ඔබට පුළුවන් නම් යම් පමණකට කාය විවේකයක් සපයා ගන්නට සම්බාධ රහිත ස්ථානයක්, ඒක තමයි ඔබට භාවනාවට සුදුසු තැන. ඒක හිස් ගෙයක් වෙන්නට පුළුවන්. ඔබ ඉන්න ඕනෑ ම තැනක් ඔබට ඒ තත්වයට පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා.
අන්න ඒ විදිහට භාවනාවට සුදුසු අවකාශයක් සලසා ගත්ත කෙනා, “ඉති පටිසංචික්ඛති” කියලා කිව්වේ ඔහු රූපය පිළිබඳව මෙනෙහි කරලා බලනවා “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො” ආදී වශයෙන්. ඒක තමයි රූපය අනිත්ය අනුව බැලීම කියලා කියන්නේ. අනිච්ච සඤ්ඤා සූත්රය අරගෙන ඒ තුළින් අනිත්ය සංඥාව විමසා බැලීමේ දී අපිට දකින්න පුළුවන්කම තියෙනවා කොහොම ද අපි රූපය පිළිබඳව අනිත්ය සංඥාව වඩන්නේ කියලා. ඒ තමයි, “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො”
ගිරිමානන්ද සුත්රයේ කිව්වේ “රූපං අනිච්චං” - රූපය අනිත්යයි කියලනේ. ඒ අනිත්ය සංඥාව වඩන්නේ කොහොම ද කියන එක අපිට වඩාත් පැහැදිලි කර ගන්න පුළුවන්කම තියෙනවා අනිච්ච සඤ්ඤා සූත්රය දිහා බලන කොට. අනිච්ච සඤ්ඤා සුත්රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොම ද අනිත්ය සංඥාව වඩන්නේ? “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො”. මේ තමයි රූපය, මේ තමයි රූපයේ හට ගැනීම, මේ තමයි රූපයේ අස්තඞ්ගමය නැතිනම් නිරෝධය කියලා කියන්නේ, මෙන්න මේකයි කියලා ඔහු රූපය පිළිබඳව දකිනවා.
එනම් රූපය යනු කුමක්ද කියලා දකිනවා. රූපය හට ගත්ත විදිහ දකිනවා. රූපය නැති වෙන ආකාරය දකිනවා. මෙන්න මේ රූපයත්, රූපය හට ගත්ත විදිහත්, රූපය නැති වීමත් දකින කොට ඔහුට මොකක් ද සිද්ධ වෙන අර්ථය?
❗️අනිත්ය සංංඥාව වැඩීමේ ආනිසංස ❗️
✳️ “සබ්බං කාමරාගං පරියාදියති” - සියලු කාම රාගය දුරු කරලා දානවා.
✳️“සබ්බං රූපරාගං පරියාදියති” - සියලු රූප රාගය දුරු කරලා දානවා.
✳️“සබ්බං භවරාගං පරියාදියති”- සියලු ම භව රාගය දුරු කරලා දානවා.
✳️ “සබ්බං අස්මිමානං පරියාදියති, සමූහන්ති”- සියලු අස්මිමානය සමූහනය කරනවා, නැති කරලා දානවා.
මෙන්න මේ අනිත්ය සංඥාව භාවිත කිරීම තුළ ඔහුට පුළුවන්කම තියෙනවා කාම රාග, රූප රාග, භව රාග, අරූප රාග, අවිද්යා, මාන ආදී මේ ලක්ෂණයන් නැති කරලා දැමීමේ හැකියාවක්. ඒ නිසා මෙතන දී ඉතා ම වැදගත් වෙනවා කාම රාගය නැති වෙන ආකාරයට, රූප රාගය නැති වෙන ආකාරයට, භව රාගය දුරු වෙන ආකාරයට අස්මිමානය නැති වෙන ආකාරයට අපි කොහොම ද මේ අනිත්ය සංඥාව දියුණු කරන්නේ, අනිත්ය සංඥාව වඩන්නේ කියන එක. එය අපි තේරුම් ගන්නට අවශ්ය ම දෙයක්.
❗️අනිත්ය සංඥාව යනු බොහොම ගැඹුරු දෙයක් ❗️
නිකන් ම කතාවක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේකයි රූපය, මෙහෙමයි රූපය හට ගත්තේ, මෙහෙමයි රූපය නැති වෙන්නේ කියලා හිතුවා කියලා අපි සාමාන්යයෙන් එදිනෙදා දකින දැකීමක් ඇතුළේ විතරක් අපිට කතා කරන්නට පුළුවන්කමක් නැහැ මේ කතා කරන අනිත්ය සංඥාව දියුණු කිරීම පිළිබඳව.
අපි උදාහරණයක් ගත්තොත්; මනුස්සයෙක් කියලා ඉපදුණා. ඒ නිසා මේ තමයි රූපය. දැන් මේ ජීවත් වෙනවා නැති නම් මේ කය පවතිනවා. එහෙම පැවතිලා තව අවුරුදු පනහකින් හැටකින් හෝ විස්සකින් තිහකින් හෝ මේ කය නැති වෙලා යනවා. මෙන්න රූපයේ හට ගැනීම සහ මෙන්න රූපයේ වැය වීම කියලා අපිට එහෙම අනිත්ය දක්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.
අපේ ගෙවල් දොරවල් හෝ අපි හදපු දේවල් හෝ අපි ලෝකේ දකින ගහ කොළ ආදී දේවල් තියෙනවා. ඒ තියෙන ගහ කොළ හට ගෙන ටික දවසක් තිබිලා ඊට පස්සේ මැරිලා යනවා. මේක නේද අනිත්ය කියලා කියන්නේ කියලා හිතුවා කියලා ඒ අනිත්ය භාවිතය තුළ අපිට නිවන් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒකත් ලෝකේ ඇතුළේ අනිත්යක් තමයි. හැබැයි ලෝකයේ තුළ අනිත්යයක් වුණාට, ඒ අනිත්ය දැක්කා කියලා කෙනෙකුට නිර්වාණය අවබෝධ කරන්න, නිවන් දැකීම කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ ඒ අවබෝධය තුළින්.
ඔහුගේ අවබෝධය කොච්චර පැතිරිලා තියෙන්නට ඕනෙ ද කියනවා නම්, ඔහුගේ ඒ අවබෝධය තියෙන්නට අවශ්යයි සම්පුර්ණ ම ඔහුගේ කෙලෙස් දුරු වෙලා යන විදිහට. ඒකයි අනිත්ය සංඥාව බලන කෙනාට “සබබං කාමරාගං පරියාදියති” කියලා කිව්වේ. සියලු ම කාම රාගය දුරු වෙලා යනවා කියලා කිව්වේ. ඒ වගේ ම රූප රාගය, භව රාගය, අවිද්යාව, අස්මිමානය ආදී දේවල් දුරු වෙනවා කියලා කිව්වේ ඒ හේතුව නිසා තමයි.
අන්න එතකොට අපිට මේක මේ සාමාන්ය දැක්මක් නෙමෙයි කියන එක එතනින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සුත්රයේ දී අනිත්ය සංඥාව කියලා දේශනා කරලා ඒ අනිත්ය සංඥාව පිළිබඳව, අපිට ස්කන්ධ ධර්මයන්ගේ අනිත්ය පිළිබඳව දකින්න කියලා එහෙම නැතිනම් පංච උපාදානස්කන්ධයේ අනිත්ය දකින්න කියලා කරපු දේශනාව නිකන් ම වචන ටිකක් නෙමෙයි කියන එක අපිට එතකොට දකින්න පුළුවන්කම තියෙනවා.
❗️රූපය යනු❗️
මුලින් ම අපිට රූපය අවබෝධ කර ගන්නට වෙනවා. ඒකයි “ඉති රූපං” කියලා කිව්වේ. ඒ කියන්නේ මෙන්න මේකයි රූපය කියලා කියන්නේ, රූපය මෙසේ කියලා අපිට තේරුමක් තියෙන්නට ඕනේ. රූපය කියලා කියන්නේ මොකක් ද? අපිට රූප කොච්චර ලෝකේ හම්බ වෙනව ද? අපිට ලෝකය තුළ ඕනෑ තරම් රූප දකින්න පුළුවන්කම තියෙනවා. අම්මා, තාත්තා, ගෙවල් දොරවල්, යාන වාහන, දුව පුතා මේ විදිහට පවතින රූප කොතෙකුත් දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අනිත්ය සංඥාව සඳහා පාදක වෙන තැන දී “ඉති රූපං” කියලා, මෙන්න මේකයි රූපය කියලා කිව්වේ, අපි හැමදාම හඳුනා ගන්න එළියේ තියෙන, වස්තූන් බවට පත් වුණ, තව පුද්ගලයෝ බවට පත් වුණ, තමා බවට පත් වුණ ඒ රූප ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ “ඉති රූපං”- මෙන්න මේකයි රූපය කියන්නේ කියලා දේශනා කළේ.
“ඉති රූපං” - මේ රූපයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නුවණින් අවබෝධ කළ යුතු තැනක්. නුවණින් තේරුම් ගන්නට තියෙන තැනක්. එතකොට කොහොම ද අපි රූපය ගැන නුවණින් තේරුම් ගන්නට ඕනේ? ඔය මොන විදිහට තියෙනවා කියලා කිව්වත්, රූප තියෙන ලෝකයක් ගැන ඔබ කතා කළත් ඔබට ඒ හැම තැනකට ම පොදු දෙයක් ගැනයි බුදුරජාණන් වහන්සේ රූපය කියන තැනින් පැහැදිලි කරන්නට යෙදුණේ.
“ඉති රූපං” කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ “චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූපං” - සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයත්. මේක තමයි රූප ස්කන්ධය කියලා කියන්නේ. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවත්, සතර මහා ධාතුව ඇසුරු කර ගෙන තියෙන වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ ලක්ෂණ ටිකත් කියලා අපි දන්නවා. මේවා ශුද්ධාෂ්ටක රූප කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ අට කොටසක් මෙතන දකින්න පුළුවන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන කොටස් අට.
මතු සම්බන්ධයි❗️
✳️ හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-02-28 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් පවත්වන ලද පළමු ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments