ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 04
❗️රූපයේ හට ගැනීම❗️
“ඉති රූපස්ස සමුදයො” - මේ රූපයේ හට ගැනීම. මොකක් ද රූපයේ හට ගැනීම කියලා කියන්නේ? රූපයක් හට ගන්නට හේතු තියෙනවා. හේතු නිසා තමයි රූපයක් හට ගන්නේ. ඒ හේතු එක එක පරියායන්ගෙන් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඔබට වඩාත් ප්රකට වෙන පරියායයක් පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. ඔබට එළියේ රූපයක් තියෙනවා කියලා හිතෙන තැනක ඇත්ත යථාර්ථය ගැන ඔබ හොයා ගෙන ගියොත් ඔබට දකින්නට ලැබෙන්නේ ඇහැ, රූප සහ හිත කියන ධර්මතා තුනක එකතුවක්.
වර්ණ රූපයක්, වර්ණ සටහනක් ඇහැට පතිත වුණේ නැති නම්, කවදාවත් ඇහැට පුළුවන්කමක් තිබුණේ නැහැ ඒ රූප දකින්නට. එහෙම නැතිනම් පරාවර්තිත ආලෝකයක් ඇහැ කරා එන්නේ නැතිනම් එබඳු වූ රූපයක් ඔබට කිසි ම කලෙක ඇහෙන් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. යම් අවස්ථාවක ඔබ දකිනවා කියලා කියනවා නම් යම් රූපයක්; ඒ ඔබේ ඇසට පතිත වූ වර්ණ සටහන් මාත්රයක් ම තමයි.
යමක් පෙනීම සඳහා ප්රධාන අංග තුනක් තියෙන්නට ඕනේ.
1️⃣ ප්රතිබිම්භය (වර්ණ සටහන) පතිත කර ගන්නට ඇහැක් තියෙන්නට ඕනේ.
2️⃣ ප්රතිබිම්භයක් හට ගැනීම සඳහා වස්තුවක් තියෙන්නට අවශ්යයි.
3️⃣ හිතක් (චක්ඛු විඤ්ඤාණය) පහළ වෙන්න ඕනේ.
වස්තුවක් තියෙන්නට ඕනේ කියලා කියන්නේ? බාහිර සතර මහා ධාතුව ඇසුරු කර ගෙන පවතින වර්ණ සටහන් මාත්රයක් තමයි ඔබේ ඇහැට පතිත වෙන්නේ. අන්න ඒ වර්ණ සටහන් මාත්රය ඇසට පතිත වුණාට පස්සෙත් ඒක තව දුරටත් ඒ සතර මහා ධාතුවට පැත්තට අයිති නැහැ. එනම් ඇහැට වැටුණු වර්ණ සටහන සතර මහා ධාතුව පැත්තට අයිති නැහැ. සතර මහා ධාතුව නිසා තමයි වර්ණ රූපය හට ගත්තේ හැබැයි ඇහැට වැටුනාට පස්සේ ආයෙත් ඒක සතර මහා ධාතුවට අයිති නැහැ.
දැන් ඒ වර්ණ රූපය බිදී යන ස්වභාවයකින් යුක්තයි. එතකොට ඒ වර්ණ රූපය බිඳී යන ස්වභාවයකින් යුක්ත ධර්මයක් නිසා ඒ වර්ණ රූපය ගෝචර කර ගත්ත ඇහැත් බිඳී යන ස්වභාවයකින් යුක්තයි. ඒ ඇහෙන් ගෝචර කර ගත්ත නිසා මේ දෙක එකතු වුණ නිසා තමයි ඔබට පෙනීම කියන කෘත්ය පටන් ගෙන තියෙන්නේ. ඔබට ඇහැ නැති වුණොත් රූප කොච්චර තිබුණත් ඔබට ඒ දේවල් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඇයි ඔබට ඇහැක් නැහැ. ඇහැක් නැති නිසා රූප කොච්චර තිබ්බත් ඔබට දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
❗️චක්ඛු ප්රසාදය අනුව ගෝචර කර ගන්නා වූ රූප ❗️
ඔබේ චක්ඛු ප්රසාදය තියෙන මට්ටමටනේ ඔබට රූප පේන්නේ. දැන් ඔබ වටා තියෙන අවකාශය තුළ පවතින සියුම් රූප ඔබට දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. යම් විදිහකින් ඔබේ ප්රසාදය ඔබ දියුණු කළොත් එහෙම, ප්රසාදය අලුත්වැඩියා කළොත් (දිවැසක් ලබා ගත්තොත්) ඔබ අවකාශය යැයි කියලා දැන් කියන තැන්වල තියෙන සියුම් රූප පවා ඔබට එවිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි අද ඔබට ඒ මට්ටමේ රූප පේන්නේ නැහැ. එතකොට දැන් පේන එක ද හරි, අර මට්ටමේ පේන එකද හරි කියලා ඇහුවොත්? එහෙම අපිට මොන මට්ටමේ පෙනීම ද හරි කියලා ඒ ගැන කතා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අප පෙනීම ලබා ගෙන තියෙන්නේ, ඒ පෙනෙන මට්ටම තීරණේ කරන එක කරලා තියෙන්නේ ඇහැ අනුව. එනම් ප්රසාදය අනුව. එතකොට ඒ ප්රසාදය අනුව තමයි අපි රූපය ගෝචර කර ගෙන තියෙන්නේ. එහෙනම් ඇහැත් හේතු වුණා අපිට රූපය පෙන්නන්න.
රූපයත් හේතු වුණා ඇහැට පතිත වෙන්න. ඒ වගේ ම ඇහැ උපකාර වෙලා තියෙනවා වර්ණ රූපය ඇහැට පතිත කර ගන්න. එතකොට මේ දෙක එකිනෙකාට උපකාරක ධර්ම දෙකක්. මේ දෙක ම තිබුණත් පුළුවන්කමක් ඇත්තේ නැහැ මෙතනට යොමු වන හිතක් නැත්නම් ඇහැට ආපු වර්ණ සටහන ගැන දැන ගන්න. ඒ නිසා ඊට අනුරූප වන මනසිකාරයක් තියෙන්නට ඕනේ. එනම් ඇහැට ආපු වර්ණ සටහන පිළිබඳව කරන මෙනෙහි කිරීමක් තියෙන්නට ඕනේ. ඊට අනුරූප වන මනසිකාරයක් නොවේ නම් කිසි ම විදිහකින් පුළුවන්කමක් ඇත්තේ නැහැ ඇහට පතිත වුණු රූපය ගැන දැන ගන්න.
ඔන්න ඔබට ලැබෙනවා, “චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” ඇහැයි රූපයයි නිසා උපදිනවා එතන චක්ඛු විඤ්ඤාණය. ඒ කියන්නේ ඇසෙහි පහළ වන, රූපය දැන ගැනීම් වශයෙන් ඇති වුණ සිත. ඒ සිතෙන් තමයි රූපය දැන ගන්නවා කියන දේ කරලා තියෙන්නේ. ඒ දැන ගත්ත රූපය පිළිබඳව ඔබට හඳුනා ගැනීමක් තියෙනවා. ඒ රූපය පිළිබඳව ඔබට විඳීමක් තියෙනවා. දැන් ඔය හඳුනනකම විඳිනකම අයිති අර රූපයට ද කියලා ඔබෙන් ඇහුවොත් එහෙම? ඒක රූපයට අයිතියි කිව්වොත් එතන ඔබට ඇහැත්, හිතත් අතහැරිලා තියෙනවා. ඒ වගේ ම ඒක අයිති ඇහැට කිව්වොත් රූපයත්, හිතත් අතහැරෙනවා. ඒක අයිති හිතට කිව්වොත් ඇහැ රූප දෙක අතහැරෙනවා.
පෙනීම කොයි ම වෙලාවකවත් ඇහැටවත්, රූපයටවත්, හිතටවත් කියන මේ එකකට පමණක් අපිට පවරා දෙන්නට, පනවන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපිට කියන්න පුළුවන් එක ම දේ තමයි අපිට යමක් පෙනීම සිද්ධවෙනවා කියන්නේ මේ තුන් දෙනාගේම එකතුව නිසා හට ගත්ත දෙයක්. මේ තුන් දෙනාගේ එකතුව පවතින තැන ඒ හා සම්ප්රයුක්තව පවතින දෙයක්, ඒ හා එකතුව පවතින දෙයක් කියලා. එතකොට අපි රූපයක් හඳුනා ගත්තකම මේ තුන් දෙනාගේ එකතුව නිසා වුණ දෙයක් මිසක එළියේ තියෙන සතර මහා ධාතු රූපෙට අයිති නෑ නේද කියලා අපිට හොඳට නුවණින් සම්මර්ශනය කරන්නට පුළුවන්කම තියෙනවා.
සියුම්ව අපි මෙනෙහි කරලා බලන කොට අපිට පෙනෙනවා ඇහැ, රූප චක්ඛු විඤ්ඤාණ කියන මේ තුන් දෙනාගේ එකතුව නිසායි මේ රූපය පෙනුනේ. කන, ශබ්ද, සොත විඤ්ඤාණ කියන මේ තුන් දෙනාගේ එකතුව නිසයි ශබ්ද මාත්රයක් අපිට ඇහුණේ. මේ තුන් දෙනාගෙන් එකක් හෝ නැති වුණොත්; කන හෝ නැත්නම්, ශබ්දය නැතිනම් හෝ, හිත (සොත විඤ්ඤාණ) හෝ නැත්නම් ශබ්දය අහන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ තුන් දෙනාගේ එකතුව වෙච්චි තැනක තමයි ඒ දැන ගැනීම කරන්නට පුළුවන්කම තිබුණේ.
ඒ තුන් දෙනාගේ එකතුව සිදු වුණ තැනක “තිණ්ණං සඞ්ගති ඵස්සො” කියලා කියනවා. තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා. ඒ ස්පර්ශ වෙච්චි දේ තමයි අපි වේදනා වශයෙන් විඳින්නේ. ඒ වේදනා වශයෙන් විඳිනු ලබන දේ තමයි හඳුනන්නේ. වේදනා, සංඥා, ස්පර්ශ කියන චෛතසික චක්ඛු විඤ්ඤාණ සිත සමග එකට හට ගන්න ධර්මයන්.
අපිට දැන් “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො” කියන කොට එනම් මේ රූපයයි, මේ රූපේ හට ගැනීමයි කියලා කියන කොට ඔන්න අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ රූපේ හට ගත්ත ආකාරය පිළිබඳව හොඳින් නුවණින් විශ්ලේෂණය කරන්න. මේ හේතු ටික ඇති කල්හි තමයි රූපය හට ගෙන තියෙන්නේ. මේ ටික නැත්නම් රූපය පනවන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ සිද්ධිය පුද්ගලානුබද්ධයි. පුද්ගලානුබද්ධයි කියලා කියන්නේ කෙනා කෙනා තම තමන් තුළ අත්දැකිය යුතු දෙයක්.
තමන් තමන්ට විෂය නොවන පරාසයන් ගැන එනම් තමන් තමන්ට අයිති නැති පරාසයන්වලට ඇඟිලි ගහන්න සාමාන්යයෙන් කවුරුත් කැමතියි. ඉතින් ඒ නිසා බොහෝ වේලාවට හිතෙනවා එහෙනම් මේ ලෝකේ කියලා එකක් නැද්ද, මේ ලෝකේ බාහිරව නැද්ද කියලත් ඇතැම් වෙලාවට කෙනෙක් හිතනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකය නැද්ද ලෝකය තියෙනව ද කියන ප්රශ්නවලට උත්තර නෙමෙයි. මොකද එහෙම කියන්න ගියොත් ලෝකේ තියනවා කියන්නවත්, නැහැ කියන්නවත් යන එක ම මෝඩකමක් වෙනවා. ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ කියන්න යන එකත් මෝඩකමක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙය එහෙම තියනවා හෝ නෑ හෝ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ හෝ කියලා දේශනා කළේ නැහැ.
ලෝකය පනවන්නේ මොකක් තියෙන කොට ද කියලා පෙන්නුවා. ලෝකය පනවන්නේ ඇහැ තියෙනවා නම්, රූපය තියෙනවා නම්, චක්ඛු විඤ්ඤාණය තියෙනවා නම් අන්න ඒ කෙනාට ලෝකය තියෙනවා. ඇස ඇසුරු වෙනවා නම්, රූපය ඇසුරු වෙනවා නම් චක්ඛු විඤ්ඤාණය ඇසුරු වෙනවා නම් එයාට ලෝකය තියෙනවා. ඇයි එයාට ලෝකය තියෙනවා කියලා කියන්නේ? එයාට එළියේ දකින්න පුළුවන් රූප තියෙනවා. අන්න ඒ කෙනාට රූපය තියෙනවා. හැබැයි ඒක කෙනා කෙනාට සාපේක්ෂව තියෙන දෙයක් මිසක ඇත්ත ම ලෝකේ බාහිරව තියෙනව ද නැද්ද කියන කාරණාව නිර්වචනය කළ දෙයක් එහෙම නෙමෙයි.
නිර්වාණ ගාමිණී ප්රතිපදාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොට ලෝකය පිළිබඳව පැනෙව්වේ කෙනා කෙනා තුළ උපදවා ගන්න දෙයක් හැටියට. ඒ කියන්නේ හේතු ටික එකතු වෙන තැනක කියන්න පුළුවන්කම තිබිලා තියෙනවා ලෝකේ තියෙනවා කියලා. හැබැයි ඒ හේතු ටික මේ මොහොතේ හට ගෙන නැති වෙලා යනවා. එසේ නැති වෙලා යනවා නම් ලෝකය කියන දේ නැති වෙලා යන දෙයක් කියලා දකින්න පුළුවන්කම තියෙනවා. “ඉති රූපස්ස සමුදයො” කියලා මේ රූපේ හට ගැනීම කියලා දකින කොටත් ඔබට පුළුවන්කම තියෙනවා රූපයේ හට ගැනීම මේ විදිහට දකින්න. ඒ වගේ ම තවත් විදිහකට ඔබට පුළුවන්කම තියෙනවා
❗️ආහාරය නිසා රූපය හට ගන්නා ආකාරය ❗️
“ඉති රූපස්ස සමුදයො” කියන කොට “ආහාරසමුදයා රූපසමුදයො” ආහාරය නිසා රූපය හට ගන්නවා කියන එක ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. අර විදිහටත් රූපයේ සමුදය සම්මර්ශනය කරන්නට පුළුවන්. ඒ වගේ ම ආහාරය නිසා කොහොම ද රූපය හට ගන්නේ කියලත් දකින්න පුළුවන්. ආහාරය කියන කොට ප්රධාන වශයෙන්ම අපි දන්නවා ආහාරය කියලා කියන්නේ අපි කන බොන ආහාරය. කබලිංකාර ආහාර ප්රත්යයත් හේතු වෙනවා රූපය හට ගන්න.
ඉතින් අද දවසේ දී ඔබට විශේෂයෙන් සිහිපත් කරන්නට අවශ්ය වුණේ අනිත්ය සංඥාව පිළිබඳව. අනිත්ය සංඥාව පිළිබඳව අපි කතා කරන කොට අද දේශනාව තුළ අපි සාකච්ඡාවට භාජනය කළේ රූපය අනිත්යයි කියලා දැන ගන්නේ කොහොම ද? ඒ සඳහා අනිත්ය සංඥා සූත්රය අපි පාදක කර ගත්තා. ඊට පස්සේ අපි ප්රවේශයක් ගත්තා “ඉති රූපස්ස සමුදයො”, කියන මේක තමයි රූපයේ සමුදය කියලා දැන ගන්නේ කොහොම ද කියන කාරණාව කරා.
රූපයේ සමුදය දැන ගන්න කොට අපි ආයතන ටික ඇති කල්හි රූපය ඇතැයි යන ප්රඥප්තියට යනවා. ඒ ටික නැති වෙන කොට ඒ රූපය ඉතුරු නැතුව නැති වෙනවා කියන තැනට අපි සාකච්ඡා කළා. එතකොට තව පරියායන් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා අනිත්ය පිළිබඳව මෙනෙහි කළ හැකි. අපි ඉදිරියේ දීත් ඒ දහම් පරියායන් පිළිබඳව සාකච්ඡා කරමු.
මතු සම්බන්ධයි ❗️
✳️ හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-02-28 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් පවත්වන ලද පළමු ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments