🔴 ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 05
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ශ්රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම කෙනෙක් ම උතුම් සද්ධර්ම ශ්රවණයට සූදානම් වන මොහොත. ධර්මය කියලා කියන්නේ අපිට සැනසීම පිණිස පවතින ඒකායන මාර්ගය. ලෝකේ කවුරුත් සැනසීම කියන දේ හොයා ගෙන ජීවිතයේ බොහෝ කොට උත්සාහවත් වෙමින් ගමනක් යනවා. නමුත් සැනසීම කියන දේ උරුම කර ගන්නට කියලා හොයන ඒ එක ම පැතිකඩකින්වත් සැනසීමක් ලබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. සැනසීම කියලා සැනසීම හොයන දේවල්වලින් ගොඩක් වෙලාවට ජීවිතවලට ලැබෙන්නේ වැනසීමට මගක්. ඒ නිසා තමයි අපි සැනසීම හොයා ගෙන යන කොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය තුළින් අප සැනසීම සොයා ගත යුතු වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ අනුසෝතගාමී දැක්මකට අනුව නෙමෙයි සැනසීම සෙව්වේ. බුදුරජාණන් වහන්සේ පටිසෝතගාමී දැක්මකට අනුවයි සැනසීම හොයා ගෙන ගියේ. ඒ කියන්නේ ලෝකයාට හීනෙකින්වත් හිතන්නට බැරි ක්රමයකට, හීනෙකින්වත් අදහසක්වත් ඇති කර ගන්නට නොහැකි ආකාරයකට තමයි ඒ මහා බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ නුවණ මෙහෙයවා මේ උතුම් ධර්මය අවබෝධ කළේ. ඒ නිසා අපටත් ඒ දහම් ප්රතිපදාව දේශනා කරලා තියෙන කොට අපිටත් තියෙනවා ඒ පටිසෝතගාමී දැක්මක් අපේ ජීවිතයේ ඇති කර ගන්නට. ඒ කියන්නේ සාමාන්යයෙන් හිතන ක්රමයට වඩා වෙනස්ව යන ක්රමයකට ටිකක් අපිට කල්පනා කරලා බලන්නට සිද්ධ වෙනවා. ඒකට තමයි පටිසෝතගාමී දැක්මක් කියලා කියන්නේ.
පින්වතුනි, අපි හැමදාම ජීවිතයේ සැනසිල්ල හොයන කොට අපි ධනය, බලය මේ ආදී ගොඩක් දේවල් තුළින් අපි සැනසීම හොයනවා. සංකීර්ණ සමාජ රටාවක් තුළ කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔබට, හැමදාම සතුට තෘප්තිය සඳහා ඔබ බලාපොරොත්තු වන දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් හැම දෙයක් ම හොයා ගැනීම පිණිස ඔබ හැමදාම එක එක ක්රමවලට උත්සාහවත් වෙනවා. එක එක ක්රමවලට ඔබ ඒ සඳහා කටයුතු සම්පාදනය කරනවා.
ඔබ ඔබේ ජීවිතයට බොහෝ වෙලාවට සැනසිල්ල පිණිස කියලා ලබා ගන්න ගොඩක් දේවල් අන්තිමේට ම ඔබට තවත් වෙහෙසක් තවත් විඩාවක් පමණක් ඉතුරු කරලා තියෙනවා.
✳️ අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට වෙන දේ ✳️
ලෝකේ ඔබ කොච්චර හොඳට දේවල් ගොඩ නගලා තිබුණත් අන්තිමේට ම හොඳට ගොඩ නගපු ලෝකය තියෙන කොට ඔබට හෝ ඉවත් වෙලා යන්නට සිද්ධ වෙනවා. නැතිනම් ඔබ හෝ ජීවත් වෙන කොට හොඳට ගොඩ නගපු ලෝකය හෝ නැති වෙලා යනවා. මේ ධර්මතාවයට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා ම තමයි. ඒක අනිවාර්යයෙන් ම ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙන දෙයක්.
ඒ නිසා පින්වතුනි, අපි ටිකක් ප්රඥා සම්පන්න වෙන්නට ඕනේ. අපි ටිකක් නුවණින් කල්පනා කරන්නට ඕනේ. අපි හැමදාම ගොඩක් වෙලාවට නොවැදගත් දේකට වැදගත් තැනක් දීලා තියෙනවා. නොවැදගත් දේකට වැදගත් තැනක් දුන්නට පස්සේ අපේ ජීවිතේ ගොඩක් කාලය වැය කරලා තියෙන්නේ ඒ නොවැදගත් දේ සඳහා ම යි. ඒ එකක්වත් ඔබට සැනසිල්ල පිණිස පවතින දෙයක් නෙමෙයි. ඔබ ඔබේ ජීවිතයේ අද මොන තරම් දේවල් වෙනුවෙන් කැප කිරීම් කරනව ද? ධනය, ඒ වගේ ම දු දරුවන්, ගෙවල් දොරවල්, යාන වාහන මේ හැම දෙයක් වෙනුවෙන් ම ඔබ ඔබේ ජීවිතය දිය කර හරිනවා.
මේ හැම දේකින් ම ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබව දුකට පත් වෙන කොට ඔබට පිහිට සැනසීම පිණිස මේ දේවල් පවතීවි කියලා. එහෙම නැතිනම් මේ හැම දෙයක් ම ඔබ කරන්නේ ඔබ සතුටු වෙන්නට මුලාශ්රයක් හොයා ගෙන, සතුටු වෙන්න පුළුවන් තැනක් ඔබ ගොඩ නගා ගන්නට කියලා. හැබැයි මේ ගොඩ නගා ගත්ත හැම දෙයක් තුළින් ම ඔබේ ජීවිතයට දුක එන්න පුළුවන්කම තියෙනවා. ඔබේ ජීවිතයට ඒ දේවල් තුළින් දුක ගලා ගෙන එනවා. ඒක නතර කරන්න ඔබට පුළුවන්කමක් ඇත්තේ නැහැ.
✳️ සැබෑ ම සැනසිල්ල ✳️
ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඇලීම තුළින් දුක ජීවිතයට ගලා ගෙන එන හැටි. අපි සාමාන්යයෙන් දන්නේ ලෝකේ ක්රමය අනුව ඇලෙන මාවතක යන්න විතරයි. ඇලීම තුළින් අපි සැනසිල්ල ලැබෙනවා කියලා හිතා ගෙන කටයුතු කරනවා. ඔබ බලාපොරොත්තු වන ඇලිය යුතු දෙවල් ලබා ගැනීම සඳහා ඔබ නිනව්වක් නැතුව කටයුතු කරනවා. නමුත් පින්වතුනි, ඒ එක ම දෙයක් තුළින්වත් ඔබට සැනසෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ හැම දෙයක් ම ඔබේ ජීවිතයට දුක, වෙහෙස, විඩාව අන්තිමේට ම ඉතුරු කරලා තියෙනවා. අතෘප්තිකර තත්වයක තමයි ඔබට ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ. එබඳු අතෘප්තිකර තත්වයක ජීවත් වෙන ඔබට සැනසිල්ල පිණිස පවතිනවා නම්, සැනසිල්ල පිණිස පවතින්නේ ඔබ තුළින් ම දකින යථාර්ථ අවබෝධය පමණයි. ඒ යථාර්ථ අවබෝධය සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ.
භෞතිකය තුළ ඔබ සැප සතුට හොයා ගෙන කොච්චර ගියත් ඒ භෞතිකයට ඔබව සතුටින් තියන්නට කාවදාවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. හොඳට හදපු ගෙදරක් ගැන හිතලා මට මේ ගෙදර තියනවා නේ කියලා හිතලා සතුටු වෙන මානසික සතුටක් මිසක ඔබට ඒ සිතුවිල්ලෙන් කායික සුවයක් ලබන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ජීවිතයේ වැඩිපුර ම මානසික සතුට වෙනුවෙන් ඔබ භෞතික දේවල් ගොඩ නගලා තියෙනවා. හැබැයි ඔබ අවධානය පොඩ්ඩකටවත් යොමු කරලා නැහැ මානසික සතුට ඇති කර ගන්න පුළුවන් හොඳ ම තැන ඔබේ මනස ම යි කියන එක.
භෞතික දේවල් ගොඩ නගලා ඔබේ මනස සතුටු කරනවා කියන එක හරි ළාමක තැනක්. හැබැයි ඔබට පුළුවන් නම් ඔබේ මනස තුළින් ම ඔබේ මනස සතුටට පත්කර ගන්න, එනම් ඔබ හිතන ක්රමයට සතුට ඔබ කරා ළං කර ගන්න පුළුවන් නම් එහෙනම් එතනින් එහාට වෙනත් දෙයක් ඔබට අවශ්ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මය ස්වාක්ඛාතයි. මොකද, මේ ධර්මය තුළ කතා කරන්නේ ඔබ ලබන අවබෝධය තුළින් දුක නැති වෙන ක්රමයක් ගැන. ඒකට බාහිර ලෝකයට ඔබ නැඹුරු විය යුතු නැහැ. බාහිර ලෝකය තුළ පවතින දේවල් ඔබ සොයා යා යුතු වෙන්නේ නැහැ.
ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ මනස පිළිබඳව අවබෝධ කර ගෙන දුක නැති කරලා දාන්න. ඒ කියන්නේ නිරර්ථක තැනක දුක් වෙන ස්වභාවය ඔබට නැති කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව ඔබ ජීවිතයට දුක උපදවා ගන්නේ ඇලීම නිසා. ඇලීම පවත්වන්නේ යථාර්ථය පිළිබඳව අවබෝධයක් නැති නිසා. අපි යථාර්ථය දැකීම පිණිස උත්සාහවත් වෙනවා නම් ඒ යථාර්ථය දකින තැනක කවදාවත් ඇලෙන්න තැනක් ඇත්තේ නැහැ, ඇලෙන්න ඉඩ කඩක් පවතින්නේ නැහැ. ඇලෙන්න තැනක් නැති වෙන තැනක ඔබට දුක එන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා උතුම් ප්රතිපදාවක් මේ ලෝකේ ඇලීම් ගැටීම් දුරු කරලා දාලා නිවීම, සැනසීම උරුම කර ගන්නේ කොහොම ද කියලා.
ඉතින් මීට පසුගිය දේශනාව තුළ දීත් අපි කතා කළා. ඒ නිවීම උරුම කර ගත හැකි ක්රමවේදයන් පිළිබඳව. ඒ සඳහා අපි පාදක කර ගන්නට යෙදුණා ගිරිමානන්ද සූත්රය. ගිරිමානන්ද සූත්රය පිළිබඳව අපි කතා කරන කොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප තත්වයෙන් පසු වෙන කොට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීපෙන් පසු වෙනවා, ඒ ගිරිමානන්ද හාමුදුරුවන් ළඟට අපි යමු ද කියලා අහපු වෙලාවේ දී බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට මේ සූත්ර දේශනාව දේශනා කළේ. සංඥා දහයක් පිළිබඳව භාග්යවතුන් වහන්සේ මෙතන දී දේශනා කළා. මේ දස සංඥාවන් ඔබ ඉගෙන ගෙන ගිරිමානන්ද භික්ෂුවට මේ දස සංඥා කියලා දෙන්නට කියලා භාග්යවතුන් වහන්සේ දේශනා කළා. ආනන්ද තෙරුන් වහන්සේ භාග්යවතුන් වහන්සේ හමුවෙහි මේ දස සංඥාවන් ඉගෙන ගත්තා.
එහි පළවෙනි සංඥාව හැටියට අපි සාකච්ඡා කළා අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව පිළිබඳව අපි යම් පමණකට එක පුංචි කොටසක් ඒ දේශනාව තුළ දී සාකච්ඡා කරන්නට යෙදුණේ. නමුත් අපි අනිත්ය සංඥාව එතැනින් අවසන් කළේ නැහැ. අද අපිට මෙනෙහි කරන්නට තියෙන්නෙත් නැතිනම් ටිකක් ඉගෙන ගන්නට තියෙන්නෙත් අනිත්ය සංඥාව දියුණු කරන ආකාරය පිළිබඳව.
අනිත්ය සංඥාව වැඩීමේ දී අපි කිව්වා අපි ගොඩක් වෙලාවට කතා කරන අනිත්ය නෙමෙයි මේ සාසනයේ නිවන් දකින්නට කියලා කතා කරන අනිත්යානු දර්ශනය කියලා. ඒ කියන්නේ ලෝකේ අපි ගොඩක් වෙලාවට අනිත්ය කියලා දෙයක් හඳුන ගෙන ඉන්නවනේ. ඒ හඳුන ගෙන ඉන්න අනිත්ය තමයි ඇති දේක නැති වෙන බවක් පිළිබඳව. ඒ කියන්නේ තියෙන දෙයක් විනාස වෙලා යනවා කියන ස්වභාවය.
ගොඩක් වෙලාවට අපි මළ ගෙවල්වල ගහනවා “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා ති” කියලා. සියලු සංස්කාර ධර්මයන් අනිත්යයි කියලා. හැබැයි සියලු සංස්කාර ධර්මයන් අනිත්යයි කියලා අපි එතන බැනර් එකක් ගැහුවා කියලා මේ ඉන්න මනුස්සයෙක් මැරිලා යනවා කියලා කියන දේකට නෙමෙයි “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා ති ”. කියලා කියන්නේ. එනම් සියලු සංස්කාරයන්ගේ අනිත්යයි කියලා කියන්නේ මනුස්සයෙක් මැරිලා යනවා කියන තැනට ම නෙමෙයි. “වය ධම්මා සඞ්ඛාරා” කියලා සංස්කාරයෝ වැය ස්වභාවය කොට පවතිනවා කියලා කියන්නේ ජීවත් වෙච්චි මනුස්සයෙක් මැරුණා කියන තැනට කතා කරන දෙයක් නෙමෙයි. ඒක ඊට වඩා බොහෝ ම ඉතාමත් ගැඹුරු දහමක්.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම ගම්භීර ධර්මය අවබෝධ කර ගන්නට තියෙන නැතිනම් උතුම් නිර්වාණාවබෝධයට තියෙන ප්රවේශ මාර්ගයක් තමයි අනිත්ය සංඥාව කියලා කියන්නේ. ඒ නිසා තමයි අනිච්ච සඤ්ඤා සුත්රයේ දී යම් කිසි කෙනෙක් අනිච්ච සඤ්ඤාව භාවිත කළොත්, බහුලීකෘත කළොත් ඒ කෙනා,
✅ “සබ්බං කාමරාගං පරියාදියති”- සියලු කාම රාගය දුරු කරලා දානවා.
✅ “සබ්බං රූපරාගං පරියාදියති”. සියලු රූප රාගය දුරු කරලා දානවා.
✅ “සබ්බං භවරාගං පරියාදියති”. සියලු භව රාගය දුරු කරලා දානවා.
✅ “සබ්බං අවිජ්ජං සමූහන්ති”. සියලු අවිද්යාව දුරු කරලා දානවා.
✅ “සබ්බං අස්මිමානං සමූහන්ති”. සියලු ම අස්මිමානය දුරු කරලා දානවා කියලා.
අනිත්ය සංඥාවේ තියෙන ප්රභල බව ඔබට එතැනින් ම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අනිත්ය සංඥාව දියුණු කිරීම තුළින් අනිමිත්ත චේතෝ විමුක්තිය ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා. එනම් සිතේ ඇති කර ගන්න මිදීමක්. ඒ කියන්නේ නිමිති වශයෙන් ලෝකේ දෙයක් ඇසුරු නොකොට ගෙන ලෝකයෙන් මිදෙන්නට පුළුවන් ක්රමයක් තමයි අනිත්ය සංඥාව කියලා කියන්නේ.
✳️ නිවන් දකින්න හේතු වෙන අනිත්ය සංඥාව ✳️
එහෙනම් ඒ තුළින් අපි දැන ගන්නට ඕනේ කාරණාව තමයි මේ ලෝකේ අපි හිතා ගෙන ඉන්න, තියෙන දේවල් කැඩිලා බිඳිලා විනාස වෙලා යනවා කියන එක නෙමෙයි අනිත්ය සංඥාව කියන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක් අනිත්ය සංඥාව කියන්නේ. ඒ කියන්නේ ගෙවල් දොරවල් කැඩිලා යනවා, මිනිස්සු මැරිලා යනවා, මේ තියෙන දේවල් විපරීත බවට පත් වෙනවා මෙන්න මේක නෙමෙයි පින්වතුනි නිවන් දකින්න හේතු වන අනිත්ය සංඥාව කියලා කියන්නේ. නිවන් දකින්න හේතු වෙන අනිත්ය සංඥාව බවට පත්වෙන්නේ මොකක් ද?
අපිට බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සුත්රයේ දී ඒ පිළිබඳව පැහැදිලි කරනවා,
⏺ “රූපං අනිච්චං” - රූපය අනිත්යයි. අනිත්ය ධර්මයක් ලෙස පෙන්නනවා රූපය කියන එක. ඒ වගේ ම “වෙදනා අනිච්චා” වේදනාව කියන එක අනිත්යයි. සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය මෙන්න මේ ධර්මයෝ අනිත්යයි කියලා අපිට අනිත්ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
✳️ මහත්ඵල මහානිසංස වෙන අනිත්ය සංඥාව ✳️
අනිත්ය ධර්මය හැටියට අපිට පෙන්නන්නේ ස්කන්ධයන්ගේ ලක්ෂණ ටිකක්. ඒ කියන්නේ ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම සහ වැය වීම කියන දේ අනුරූපීව තමයි අපිට අනිත්ය කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අනිච්ච සඤ්ඤා සූත්රය අපි ටිකක් විවරණයට ලක් කර ගත්තොත්, එතනදිත් අපිට හොඳින් පැහැදිලි වෙනවා කොහොම වඩන ලද අනිත්ය සංඥාව ද මහත්ඵල මහානිසංස වෙන්නේ?
බුදුරජාණන් වහන්සේ අනිච්ච සඤ්ඤා සුත්රයේ දී පෙන්නනවා “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො.” මේ රූපයයි, මේ රූපයේ හට ගැනීමයි, මේ රූපයේ අස්තඞ්ගමයයි කියලා දකිනවා නම්, “ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථගමො” මේ වේදනාවයි, මේ වේදනාවේ සමුදයයි, මේ වේදනාවේ අස්තඞ්ගමයයි කියලා දකිනවා නම්, “ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථගමො.” මේ සංඥාව, මේ සංඥාවගේ සමුදය මේ සංඥාවගේ අස්තඞ්ගමය ඒ වගේ ම මේ සංස්කාරය, මේ සංස්කාරයේ සමුදය, මේ සංස්කාරයේ අස්තඞ්ගමය, මේ විඤ්ඤාණය, මේ විඤ්ඤාණයේ සමුදය, මේ විඤ්ඤාණයේ අස්තඞ්ගමය කියලා.
මෙන්න මේ විදිහට දකිනවා නම්, මේ විදිහට වඩන අනිත්ය සංඥාව තමයි මහත් ඵල මහත් ආනිසංස ගෙනැවිත් දෙන්නේ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ “සබ්බං කාමරාගං පරියාදියති” ආදී වශයෙන් සියලු කාම රාගය දුරු කරනවා, රූප රාගය දුරු කරනවා, භව රාගය දුරු කරනවා, අවිද්යාව දුරු කරනවා, අස්මිමානය දුරු කරනවා කියලා පෙන්නපු ආකාරයට එබඳු ප්රතිලාභ ගෙනැත් දෙන්නට පුළුවන් අනිත්ය සංඥාව බවට පත් වෙන්නේ ලෝකේ තියෙන දේවල් නැති වෙලා යනවා, වෙනස් වෙලා යනවා කියලා දකින දැකීම නෙමෙයි, එහෙනම් ඒ මහත් ඵල මහත් ආනිසංස වෙන අනිත්ය සංඥාව බවට පත්වෙන්නේ ස්කන්ධ ධර්මයන් පිළිබඳ වූ යථාභූත අවබෝධය. එනම් ස්කන්ධයන් පිළිබඳව දන්නාකම, ස්කන්ධ සමුදය පිළිබඳව දන්නාකම, ඒ වගේ ම ස්කන්ධ නිරෝධය පිළිබඳව නැතිනම් වැය වීම පිළිබඳව දන්නාකම. මෙන්න මේ ටික තමයි අපි තේරුම් ගන්නට ඕනේ අනිත්ය පිළිබඳව තේරුම් ගැනීමේ දී.
මතු සම්බන්ධයි
හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-03-07 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් අනිත්ය සංඥාවට අදාළව පවත්වන ලද දෙවන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments