දුකක් දැනුන විට 2
වඩාත්ම ප්‍රධානම දේ තමයි පින්වතුනි, අනාත්ම ධර්මය අවබෝධ කරගැනීම. අපි අනිත්‍යතාව ගැන කියනවා, දුක්ඛතාවය ගැන කියනවා, අනාත්මතාවය ගැන කියනවා.
"යද නිච්චං, තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා" - යමක් අනිත්‍ය නම් එය දුකයි, යමක් දුක නම් එය අනාත්මයි. අනිත්‍ය හා දුක කියන ධර්මය පවා උපස්ථම්භක වෙන්නේ අනාත්ම ධර්මය ගෙනල්ලා දෙන්න. ලෝකයේ අපිට තියෙන්නේ ආත්ම සංකල්පනාවක්.
~~ ආත්ම සංකල්පනාවක ජීවත්වෙන අපි ~~
ආත්ම සංකල්පනාවක් කියලා කියන්නේ, අනාත්ම සතර මහා ධාතු රූපය, ඒවගේම සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින වර්ණ සටහන් ආදී මේ සියලුම දේවල් අපිට හම්බවෙන්නේ ආත්ම සංකල්පයක් විදිහට. ආත්ම සංකල්පයක් විදිහට ඒ දේවල් හම්බවෙනකොට අපිට, සත්වයෝ පුද්ගලයෝ කියලා ඒ දේවල් අපි ඇසුරු කරන්නට පුරුදු වෙනවා.
ඒවගේම ඒ දේවල් අනුව අපි ප්‍රියමනාප කම, අප්‍රිය අමනාප කම අපේ ජීවිතයේ ඇතිකර ගන්නවා. ඒ දේවල් මත තමයි අපි ලෝකය පිළිබඳව තීරණය කරන්නේ. අපි අකැමති දේවල් ඉවත් කරගන්න, කැමති දේවල් ළඟින් තියාගන්නට උත්සාහවත් වෙනවා. අපි කැමති දේ කියලා අපි අල්ලාගෙන තියෙන හැමදේම පින්වතුනි අපේ මතකයන්. එහෙමත් නැතිනම් ආශ්‍රව සමුදායක් එකතු කරගෙන, ඒ ආශ්‍රව සමුදාය එකට තවරලා තමයි කැමති දේ එකතු කරගෙන තියෙන්නේ.
ඒක හරියට අපිව දුකට පත්කරන්නට පුළුවන් හලාහල විෂක් පේන්නේ නැති විදිහට ගාලා ලස්සන වෙන්න චොකලට් ටිකක් තවරලා කන්න පුළුවන් පැණි රස කෑමක් හදලා තියෙනවා වගේ දෙයක්. ඒ වගේ අපේ ජීවිතයේ මනස පුරුදු වෙලා තියෙන්නේ හටගෙන නිරුද්ධවෙන ස්කන්ධ ධර්මය පෙන්වන්නේ නැතුව ඒ ධර්මය පුරාවට අපි බොහෝ කාලයක් තිස්සේ රැස්කර ගත්ත කෙලෙස් සමුදාය, ආශ්‍රව සමුදාය එකතු කරලා ස්කන්ධ මත තවරලා අපි ඒ ටික විඳින්නට පුරුදු වෙලා තියෙනවා.
~~ අපේම මනස විඳින අපි ~~
අපි සමාන්‍යයෙන් තළු මරන්නේ අපේ මනසමයි. අපි හිතනවා, අපි විඳින්නේ බාහිර ලෝකේ තියෙන දේ කියලා. නමුත් අපි විඳින්නේ බාහිර ලෝකේ තියෙන දේ කියලා කල්පනා කළාට පින්වතුනි, යථාර්ථය බවට පත්වෙන්නේ බාහිර ලෝකය විඳිනවා කියලා ලෝකය ඇති බවට ගෙනෙවිත් දෙන අපේ මනසම අපි විඳිනවා මිසක කිසිම මොහොතක අපි ලෝකය විඳීමක් සිද්ධ කරන්නේ නැහැ.
ඒ නිසා මේ තුල අපි සංකල්පමය වශයෙන් හැසිරෙන ලෝකයේ යථාර්ථය පිළිබඳව අපි යමක් තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ අපි හැම මොහොතකම විඳින්නේ, කල්පනා කරන්නේ අපි එකතු කරගත්ත ආශ්‍රව ටිකක්. රළු මට්ටමෙන් කතා කළොත් අපි එකතු කරගත්ත අපේ මතකයන් සමුදායක්.
ඒ මතකයන් සමුදාය අතර අපි සැරිසරන කොට, ඒක අස්සේ අපි නැවත නැවත මෙනෙහි කිරීම් කරනකොට පින්වතුනි, ඒ දේ ඇසුරු කරගත්ත දුක වෙහෙස විඩාව අපේ ජීවිතයට ළං වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඒ ඔස්සේ රැඳෙන්නේ නැතිව අපි නිවැරදි දිශාවකට අපේ මනස එතැනින් ගලවලා තියාගන්නට ඕනේ.
ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම බාහිර ලෝකයට ඇඟිල්ල දික් කරනනේ මෙන්න මේ නිසයි, මෙන්න මේ හේතුව නිසයි මගේ ජීවිතයට සැපක් ඇතිවෙන්නේ, නැත්නම් මගේ ජීවිතයට දුකක් ඇතිවෙන්නේ කියලා අපි ඒ බව බාහිර ලෝකය තුලින් දකින්න කැමති. ඒ කැමැත්ත නිසාම තමයි ලෝකයේ තියෙන දේ වෙනස් කරලා අපිට ඕනේ විදිහට පවත්වාගෙන, අපි ඒ සැප පවත්වාගන්නට උත්සාහවත් වෙන්නේ.
නමුත් අපි තේරුම් ගත යුතු වෙනවා, අපි බලාපොරොත්තුවෙන තැන තියෙන වරද මොකක්ද කියලා.
1). අපිට ලෝකය කියන දේ අපිට අවශ්‍ය විදිහට පවත්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒකට හේතුව තමයි අනාත්ම සතර මහා ධාතුව කියන දේ අපිට ඕනේ විදිහට මේ ධාතු සංයෝගය පවත්වන්න පුළුවන්කමක් නැතිකම.
2). හැම වෙලාවකම අපි විඳින්නේ සතර මහා ධාතුව නෙමෙයි, සතර මහා ධාතුව ඇති තැනක අපි උපාදාන වශයෙන් ග්‍රහණය කරගත්ත අපේ සංකල්පනාව කියන එක.
ඒ සංකල්පනාව විඳින අපි ඒ දේ දකින්නේ බාහිර ලෝකයට අයිති දේ විදිහට. ඒ නිසා තමයි ධාතුව වෙනස් වෙනකොට අපි කැමති දේ වෙනස්වීම නිසා එන දුක අපේ ජීවිතයට ලැබෙන්නේ. එතකොට දුක ඇතිකිරීමේ ප්‍රධානම හේතුව බවට පත්වෙන්නේ පින්වතුනි, තමන් තුල තියෙන කැමැත්ත.
~~ ප්‍රිය දේ නිසයි දුක එන්නේ ~~
ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ "ප්‍රිය දේ නිසයි ජීවිතයට දුක එන්නේ" කියලා. ප්‍රිය දේ නිසයි දුක එන්නේ කිව්වහම, එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එච්චරම සමහර අය පිළිගන්නට ලැහැස්ති වුනේ නැහැ. කොසොල් රජ්ජුරුවෝ පවා මේ කාරණාව ගැන දැඩිව ටිකක් ප්‍රශ්න කළා, 'කොහොමද ප්‍රිය දේ නිසා දුක එන්නේ' කියලා.
අන්තිමට මල්ලිකා දේවිය මේ බව බුදුරජාණන් වහන්ස්ගෙන් විමසලා නැවත මල්ලිකා දේවිය රජ්ජුරුවන්ට මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා. " රජතුමනි, ඔබට වජිරි කුමාරිකාව ප්‍රිය ද? එතකොට රජ්ජුරුවෝ කියනවා මට වජිරි කුමාරිකාව මගේ ජීවිතය වගේ බොහොම ප්‍රියයි, මම හරි ආදරෙයි ඇයට.
මල්ලිකා දේවිය නැවත රජ්ජුරුවන්ගෙන් අහනවා, "ඔබට වජිරි කුමාරිකාව ලෙඩ වුනොත්, කරදරයකට පත්වුනොත් මරණයට පත්වුනොත් ඔබට මොකද හිතෙන්නේ? "එතකොට රජ්ජුරුවෝ කියනවා මම ඇයට ඉතාම ආදරේ කරනවා, ඒ විදිහේ දෙයක් ඇයට වුනොත් මම ඉතාම දුකට, වෙහෙසට, විඩාවට පත්වෙනවා.
එතකොට මල්ලිකා දේවිය කියනවා, "රජතුමනි, ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, ඔබ ප්‍රිය කරන දේ නිසා තමයි ඔබට දුක ගේන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ යම් දෙයකට අප්‍රිය කළොත් ඒ අප්‍රිය කිරීම නිසා එන දුකත් ඔබට තියෙනවා. ඔබ ප්‍රිය අප්‍රිය යන දෙකෙන් මිදුනොත් ඒ දෙකම නිසා එන දුකක් ඇත්තේ නැහැ. මේ කාරණාව මල්ලිකා දේවිය පැහැදිලි කරලා දුන්නා.
නැවත නැවතත් මල්ලිකා දේවිය අහනවා, "විඩුඩභ කුමාරයා ඔබට ප්‍රිය ද? ඔව්, විඩුඩභ කුමාරයා මට හරි ප්‍රිය මනාප කෙනෙක්. එතකොට ඒ විඩුඩභ කුමාරයා මරණයට පත්වුනොත් ඔබේ ජීවිතයට දුක දැනෙනවද? "ඔව් මගේ ජීවිතයට මහා විශාල දුකක් එනවා. එහෙනම් රජතුමනි, ඒ ප්‍රිය දේ නිසා තමයි ජීවිතයට දුක එන්නේ."
කොසොල් රජතුමාට පවා මල්ලිකා දේවිය මේ විදිහට තමන්ගේ ජීවිතය තුල ඉන්න ප්‍රිය මනාප දේවල් නැතිවෙලා යනකොට දුක එන ආකාරය ගැන පැහැදිලි කරලා දුන්නා. පින්වතුනි, අපිට ඒ නිසා හොඳ අත්දැකීමක් ලබාගන්නට පුළුවන්, අපේ ජීවිතේ එක හොඳ පාඩමක් ඉගෙන ගන්නට පුළුවන්, හැරවුම් ලක්ෂයක් බවට පත්කරගන්නට පුළුවන් දෙයක් අපිට තියෙන්නේ.
ඒ කියන්නේ අපේ ජීවිතය තුල අපේ ප්‍රියමනාප භාවය නිසාම අපේ ජීවිතවලට දුක අරගෙන එන්නට පුළුවන්කම තියෙනවා. ඒ කාරණාව ගැන අපි නැවත නැවත සම්මර්ශනය කළ යුතුයි, නැවත නැවත මෙනෙහි කළ යුතුයි. එතකොට අපිට පේනවා, අපි ප්‍රියමනාප භාවය ගොඩනගා ගන්නේ බාහිර තියෙන රූප නිසා නෙමෙයි.
~~ ප්‍රිය මනාප බව ගොඩනගා ගන්නේ කුමක් මතද ~~
ප්‍රිය මනාප බව ගොඩනගා ගන්නේ බාහිර තිබුනා කියලා හිතාගෙන අපි ඇසුරු කරන, සංඥා විපල්ලාසයන් සමුදායක් තුල කියලා. ඒ කියන්නේ අතීතයේ ඉඳලා තිබුන, එකට හිටිය, එකට ජීවත් වුනා කියලා අපි හිතන සිතුවිලි සමුදායක් පිළිබඳව තමයි අපි කල්පනා කරන්නේ. ඒ කල්පනා කිරීම, ඒ මනසිකාරය නිසා තමයි අපිව දුකට වෙහෙසට පත්කරන්නට පුළුවන්කම තියෙන්නේ.
ඒ මනසිකාරය අපි ඒ විදිහට පවත්වන්නේ නැත්නම් පින්වතුනි, අපි ඒ විදිහට නොපවත්වන කොට අපේ ජීවිතයට දුක කියන දේ ගලාගෙන එන එක නතර කරන්නට පුළුවන්කම තියෙනවා. අපි අර මුලින්ම කිව්වානේ, සිත කියන්නේ යම් ප්‍රවාහයක් වගේ, ඒ ප්‍රවාහය එක පැත්තකට ගලාගෙන යන දෙයක්. මේ සිත අපිට ධර්මය පැත්තට අපිට හරවන්න වෙනවා කියලා.
අපේ මනෝ ප්‍රවාහයේ ස්වභාවය තමයි එකතු කරගත් ආශ්‍රව සමුදායම පෙරටු කරගැනීම. ඒකේ අපේ තියෙනවා මුලික ලෙසම කාමාශ්‍රවය. කාමාශ්‍රවය කියන්නේ අපි අපේ හිත ගැන හිතලා නැවත නැවත සතුටු වෙමින් ඒක රූපයට අයිති දෙයක් කියලා හිතනකම. ඒක අපි කෙනකෙනා තුල පවත්වන සංකිලෙසි බවක්.
~~ ඇත්තටම අපි ඉන්න කෙනෙක්ට ආදරෙයි ද ~~
අපි හැම වෙලාවකදීම ලෝකයේ ඉන්න කෙනෙකුට කැමති කිව්වට, ඉන්න කෙනෙකුට ආදරේ කියලා කිව්වට පින්වතුනි, අපි දන්නේ නැහැ ඇත්තටම අපි ආදරේ කරන්නේ ඉන්න කෙනෙකුට කියලා ඒ හා අනුයාත වුන, ඒ හා සමග යන අපේ මනස තුල පවතින කෙලෙස් ආශ්‍රව ටිකටයි අපි කැමතිවෙලා තියෙන්නේ කියන එක අපිට පේන්නේ නැහැ.
~~ හිත ගැන හොඳ අවදානයක් ~~
ඒ නිසා අපි දැක්ක යුතු වෙනවා ඒ සමගාමී වුන අපේ සිතුවිලි සමුදාය. ඒ නිසා අපි ටිකක් නතර වෙලා පැත්තකට වෙලා අපි කල්පනා කළ යුතු වෙනවා අපේ මනස දිහාම නැවත හැරිලා බලන්නට. අපිට දකින්නට පුළුවන් නම් අපේ හිතේ විතර්ක ඇතිවෙන හැටි, අපේ හිතේ සංකල්පනා ඇතිවෙන හැටි එතකොට අපිට පේනවා පින්වතුනි, අපේ හිතේ විතර්ක නැවත නැවතත් ප්‍රවාහයක් විදිහට එකම දෙයක් පිළිබඳව ගලාගෙන යන්න පටන්ගෙන තියෙන විදිහ.
ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න, මම කෙනෙක් ගැන හිතනවද, එහෙමත් නැතිනම් තමන්ගේම හිතෙන් උපද්දවන අරමුණු පිළිබඳව තමන්ම දැනගන්න එකද කරන්නේ කියන එක? එතකොට තමන්ට පෙනෙයි තමන්ගේ හිතින් හිතන අරමුණු තමන්ම හිතෙන් දැනගන්නවා මිසක වෙනත් දෙයක් මෙතන නැති බව.
ඒක තව කෙනෙකුට දැනෙන්නෙත් නැහැ. අපි ඒ විදිහේ විඳීමක් කළා කියලා ඒකෙන් ලෝකේ සිද්ධවෙන දේකුත් නැහැ. එයින් අවසානයට සිද්ධවෙන එකම දේ තමයි අපේ ජීවිතයට දුක කියන දේ ගලාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ දුක එන පැතිකඩක් අපි ඇසුරු කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි ලක්ෂණය තමයි පින්වතුනි, අන්න ඒ දුක එන පැතිකඩ වහගන්න පුළුවන්කම තියෙන එක.
ඒ කියන්නේ අපිට ඒ සදහා උතුම් නුවණකුයි පාවිච්චි කරන්න ඕනේ. උතුම් නුවණක් කියලා කියන්නේ අපේ ජීවිතයේ යථාර්ථවාදී දර්ශනයක් අපි දකින්නට ඕනේ. ඒ යථාර්ථවාදී දර්ශනය තුල අපිට ලෝකය දකින්නට පුළුවන් ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්.
~ අපි ඇසුරු කරන සංකල්ප ලෝකය විනිවද යාම ~~
එසේ දකින්න පුළුවන් වෙනකොට පින්වතුනි, ඒ තුල තමයි අපිට දුක නැති කරගන්න පුළුවන් ප්‍රයෝගික දේ බවට පත්වෙන්නේ. ඒ කියන්නේ හරියට තුඹසක් හාරාගෙන යනකොට වගේ අපේ හිතට ඇතිවෙලා තියෙන සංකල්පනාව අපි හාරාගෙන යනකොට අපිට හසුවෙන දෙයක්නේ පින්වතුනි, හොඳට හිතලා බැලුවොත් අපි ආදරෙන් ඇසුරු කරන අරමුණෙ ඇත්ත හොයාගෙන ගියොත් 'දරුවා' කියලා කියන එක රූපයට අයිති ද?
රූපය පිළිබඳව අපි හොඳට සම්මර්ශනය කරලා බලනවා. රූපය කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහාභූත රූපයක්. සතර මහා ධාතුවෙන් තොර දෙයක් එතන ඇත්තේ නැහැ. ඒවගේම සතර මහා ධාතුව ඇසුරු කරගත්ත පාට ටිකක් අපේ ඇහැට පේනවා. මේ ඇහැට පතිතවෙන පාට ටික පෙර නැතුවම එන දෙයක්, ඒ කියන්නේ කලින් තිබිලා එන දෙයක් නෙමෙයි.
ආවට පස්සේ ඒ පාට ටික නැවත ආයේ අනාගතයට එනවත් නෙමෙයි. ඒ මොහොතට හටගෙන නැතිවෙන දෙයක්. සතර මහා ධාතුව කියන එකේ පඨවි ධාතුව 'දරුවා' නෙමෙයි, ආපෝ ධාතුව 'දරුවා' නෙමෙයි, තේජෝ ධාතුව 'දරුවා' නෙමෙයි, වායෝ ධාතුව 'දරුවා' නෙමෙයි. එහෙනම් ඇහැට පෙනුන වර්ණ සටහන කියන එකත් 'දරුවා' නෙමෙයි.
'දරුවා' නොවුණු ධර්මතා ටිකක් තමයි තිබුනේ රූපයේ තිබුනේ. 'දරුවා' නොවුණු ධර්මතා ටික ඇති තැනක අපිට 'දරුවා' හම්බවුනේ කොහොමද? අපිට පේනවා රූපය කියන එක 'දරුවා' නෙමෙයි. වේදනාව? තමන්ගේ හිතේ ඇතිකර ගන්න සැප හෝ දුක් හෝ උපේක්ෂා සහගත වේදනාව 'දරුවා' නෙමෙයි. එහෙනම් හඳුනනකම? ඒ හඳුනනකමත් 'දරුවා' නෙමෙයි. හිතනකම? හිතනකමත් 'දරුවා' නෙමෙයි.
මොකද ඒ දේවල් 'දරුවා' නම් ඒ 'දරුවා' කාටවත් දකින්න වෙන්නේ නැහැනේ, අනික් අයට 'දරුවා' කියන සංකල්පනා ඇතිවෙන්න බැහැනේ, ඒක තමන්ගේ හිතේ පවතින චෛතසික ධර්මයක් වුනොත්. ඒවගේම විඤ්ඤාණය (දැනගැනීම) 'දරුවා' ද? දැනගන්න එකත් 'දරුවා' නෙමෙයි.
එතකොට අපිට හම්බ වෙනවා 'දරුවා' නොවුණු රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ ධර්මතා පහක්. මේ ස්කන්ධ ධර්මතා පහ පිළිබඳව තමයි අපි 'දරුවා' කියලා සංකල්පනාවක් ඇතිකරගෙන තියෙන්නේ. මේ ස්කන්ධ පහ තමයි යථාර්ථය, ලෝකේ පැවතුන ඇත්ත.
මේ ඇත්ත පේන්නේ නැතිවෙන්න ගාපු පැණිරස චොකලට් තට්ටුව වගේ තමයි අපි අතීතයේ ඉඳලා ඇසුරු කරගත්ත රූප නිමිති. අතීතයේ ඉඳලා අපිට ඇතිවුන සැප වේදනාවන්, දුක් වේදනාවන් ඒ හැම දෙයක්ම කොටින්ම කිව්වොත් අපේ මතක සමුදාය අර චොකලට් තට්ටුව වගේ, ස්කන්ධ ටික පේන්නේ නැතිවෙන්න ආවරණය කරපු නිසා තමයි අපිට මේක විඳීම තුල දුක ගෙනල්ලා දෙන්න පුළුවන්කම හදලා දීලා තියෙනවා.
දැන් ඒ නිසා අපි මේ ආවරණයට ඇතුලෙන් තියෙන දේ දකින්නට ඕනේ. මේක හරියට තිබහ වෙලාවකට අපිට වතුර වීදුරුවක් දුන්නොත් අපි ඒ වතුර වීදුරුව බොනවා. හැබැයි හොඳටම තිබහේ ඉන්න වෙලාවකට අපිට වතුර වීදුරුවක් දෙනවා, ඒ වතුර වීදුරුව දීලා අපිට කියනවා මේකේ තියෙන්නේ හලාහල විෂක් මේක බිව්වොත් අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා.
මැරෙනවා කියලා දන්නවා නම් අපි ඒක පානය කරන්න යන්නේ නැහැ කොතෙක් පිපාසය තිබුනත්. අන්න ඒ වගේ මෙතන තියෙන භායනක කම තේරුම් ගන්නට ඕනේ. ඒ ඇයි? අපි ස්කන්ධ ටිකකට 'දරුවා' කියලා හිතලා අර තැවරුම කළාට පස්සේ, හිතේ ආශ්‍රව ටික එකතු කෙරුවට පස්සේ අපි මේ ස්කන්ධ ටිකට තණ්හා කරනවා.
~~ ස්කන්ධ ටිකකට කරන තණ්හාව ~~
ඇත්තටම අපි 'තණ්හා' කරන්නේ 'දරුවාට' කියලා හිතුවට පින්වතුනි, අපි ඇත්තටම තණ්හා කරලා තියෙන්නේ ස්කන්ධ ටිකකට. තමන් කරගත්ත ස්කන්ධ ටිකකට තමයි අපි තණ්හා කරලා තියෙන්නේ. එතකොට ස්කන්ධ ටිකකට කරපු තණ්හාව නිසා ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? නැවත එබඳු වූ ස්කන්ධ ටිකක් හදලා දෙන්න, එබඳු වූ ස්කන්ධ ඇති භවයක ප්‍රතිසන්ධිය හදලා දෙන්න එයම හේතුවක් බවට පත්වෙනවා.
ඒ නිසා අපේ සසර ගමනක පැවැත්මක් අපිට පේනවා. මේක මෙතැනින් නතර වෙන්නේ නැහැ, ඒක තමයි මෙතන තියෙන භායනකම දේ. මේක එක තැනකින් නතර වෙනවා නම් මොන තරම් දුකක් ජීවිතේට ආවත් ඒක ප්‍රමාණවත් වෙනවා. ගැටලුව තියෙන්නේ මේක එක තැනකින් නතර නොවෙන එක. දිගින් දිගට දිගින් දිගටම තව කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතලා ඒදේට කැමති වෙනවා, එහෙම නැත්නම් කෙනෙක් පුද්ගලයෙක් කියලා ඒකට ගැටෙනවා.
එතකොට අපි දන්නේ නැහැ, අපි ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව තමයි කර්ම රැස්කරගෙන තියෙන්නේ. ඒ රැස්කර ගත්ත කර්මය මත ඇතිකර ගත්ත කෙලෙස් ටික නිසාම නැවත නැවත ප්‍රතිසන්ධිය පිණිස අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහේ ප්‍රතිසන්ධියකට අපිව නැවත නැවත අරගෙන යනකොට පින්වතුනි, ඒ හැම තැනක අපිව දුකට ඇදලා දාන්න පුළුවන් හේතු ටික තියෙනවා නේ.
ඒ කෙලේසය අපි කාගේ ළඟත් අපි බොහොම ආදරයෙන් රැකලා තියෙනවා. ඒක තමයි මෙතන තියෙන භයානක කම. අපි සමහරවිට අද මෙතනින් මැරිලා ගියොත් හෙට දවසේදී අපි ඇසුරු කරන සියලුම පරිසරය හාත්පස වෙනස්, අපි අද ආදරේ කියන අය කෙරෙහි ඉතාම තරහා තැනක අපිව උප්පත්තිය ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි පින්වතුනි, සසරේ ස්වභාවය.
'මම' කියලා දැන් මේ පෝෂණය කරන කය ඇසුරු කරගෙනම පණුවෙක් වගේ ජීවියෙක් වෙලා උපදින්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ සසර ගමනක තියෙන ස්වභාවය, සසරේ තියෙන භයානක කම. ඒ නිසාමයි සසරෙන් මිදිය යුතු වෙන්නේ. ඒ නිසාමයි අපි මේ තවරලා තියෙන කෙලෙස් තැවරුම ඉවත් කරලා ඒ තුල තියෙන විෂ සහගත බව අපි තේරුම්ගත යුතු වෙන්නේ.
යම්කිසි විදිහකින් අපි දැක්කොත් යථාර්ථමය ස්වභාවය. අපිට පේනවා හටගෙන නිරුද්ධවෙන ස්කන්ධ පංචකයක්, ඒ ස්කන්ධ ධර්මතා ටික එකවරක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ ස්කන්ධ ටිකම නැවත හටගන්නේ නැහැ, නැවත අළුතෙන්ම ස්කන්ධ ටිකක් හටගන්නවා, ඒ ස්කන්ධ ටිකද හටගෙන නිරුද්ධ වුනාට පස්සේ අතීතයේ තිබුන ස්කන්ධ නෙමෙයි දැන් මෙතනට ආවේ, මෙතන තියෙන ස්කන්ධ ටික නෙමෙයි අනාගතයට යන්නේ මේ අතර පරම්පරා සම්බන්ධයක් නැහැ.
මේ දැක්ම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ දැක්ම දකිනකොට ලෝකයේ අපේ කැමැත්ත උපදවපු අර තැවරුම තවරන්න පුළුවන් කෙලේසයට දැන් පවතින්න විදිහක් නැහැ. ඇයි ඒ කෙලේසය පවත්වලා තියෙන්නේ ස්කන්ධ ටිකේ ඇත්ත නොපෙනෙනකන්. ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පෙන්වලා දෙනකොට අර කෙලේසය පවතින්නේ නැති බවට ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා අපි හැම වෙලාවකදීම ඒ ලක්ෂණය පිළිබඳව නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ.
මතු සම්බන්ධයි
අතිපූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.10.04 දින සිදු කල ධර්ම දේශනාව ඇසුරෙන් කරන ලද පිටපත් කිරීමකි.
0 Comments