දුකක් දැනුන විට 1


දුකක් දැනුන විට 1

නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස

ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් අපේ ජීවිතවලට බුදු දහම තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ උත්තරීතර දර්ශනය තුලින් ලබාගත හැකි සැනසීමේ මගක් පිළිබඳව ශ්‍රවනය කරන්නට සුදානම්වන මොහොත.

~~ සසර ඒ මේ අත ඇවිදින අපි ~~

පින්වතුනි, අපි හැමදෙනාම අනන්ත අප්‍රමාණ සසර ගමනක සැරිසරන ඇත්තො. හරියට මහා හුලඟකට අහුවෙන වියලෙන කොළ එහෙ මෙහෙ අත ගහගෙන යනවා වගේ වෙලාවකට ප්‍රේත ලෝකවල, නිරය ආදී අපායන්වල, තිරිසන් ලෝකයන් ආදී නොයෙක් තැන් වලටත් ඒවගේම මනුස්ස ලෝක, දිව්‍යලෝක, බ්‍රහමලෝක ආදී මේ හැම තැනකටම ප්‍රතිසන්ධ් වශයෙන් ගමන් කරන ඇත්තො.

මේ හැම තැනකටම ප්‍රතිසන්ධි වශයෙන් ගමන් කරන අපි කර්මයම දායාද කොට, කර්මයම සහයකයා කරගෙන, කර්මයම නෑදෑයා කරගෙනයි වාසය කරන්නේ. පින්වතුනි, මෙහෙම කර්මය සහයකයා කරගෙන ඉන්න අපේ සසර ගමන පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ 'අනමතග්ග සංයුක්තයේදී' අප කාටත් බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා.

අනන්ත අප්‍රමාණ සසර ගමනක සැරිසරන කොට මේ සසර ගමෙන් දී මව මැරුණු දුකට හඬපු කඳුළු ප්‍රමාණය එකතු කළොත් ඒ මව් මැරුණු දුකට හඬපු කඳුළු ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. පිය මැරුණු දුකට හඬපු කඳුළු එකතු කළොත් ඒ කඳුළු ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා.

ඒවගේම දුව, පුතා මැරිලා ඒ දුකට හඬපු කඳුළු එකතු කළොත් ඒ කඳුළු ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. පින්වතුනි, අපි කවුරුත් මේ මහා සමුදුරු පරයා හඬපු කඳුළු හෙලපු ඇත්තො. ඒවගේම මේ මහා සමුදුරු පරයා ලේ හෙලපු ඇත්තො. එබඳු වූ අතිදීර්ඝ සසර ගමනක සැරිසරන අපිටයි භාග්‍යවතුන් වහන්සේ මේ සසර දුකෙන් එතෙරවීමේ ඒකායන මාවත දේශනා කළේ.

ඒ ඒකායන මාවත තුල අපිට පුළුවන්කම තියෙනවා සියලු දුක්ඛ දෝමනස්සයන් දුරුකරගන්නට අවශ්‍ය උත්තරීතර අවබෝධයක් කරා ළං වන්නට අවශ්‍ය දැක්මක් ලබාගන්නට. ඒ දැක්ම තුල මේ ජීවත්වෙන කොටම අපේ ජීවිතයට දුක එන පැතිකඩවල් වහලා දාන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය සුවිශේෂවත් වෙන්නේ.

පින්වතුනි, ඒ නිසා අපි කතා කරන දහම ප්‍රයෝගික විය යුතුයි. අපේ ජීවිත වලට ඒ නිසා ඒ දහමෙන් ලැබිය හැකි ආලෝකය ලබාගැනීම සදහා ඒ කරුණු කාරණා අපේ ජීවිතය තුල අපි කවුරුත් විමසිය යුතු වෙනවා. පින්වතුනි, අපි ලෝකය තුල හැමදාම සාමාන්‍ය මානසික මට්ටම අනුව සැප සම්පත් හා වටිනාකම් මත ජීවත් වෙන්නේ. ඒ නිසාමයි ලෝකය තුලට අපේ වටිනාකමක් හිමිවෙලා තියෙන්නේ.

~~ අපේ ජීවිතයට දුක එන හැටි ~~

ඒ වටිනා දේවල් කෙරෙහි අපේ හිත්වල කැමැත්ත උපදිනවා. ඒ උපදින කැමැත්ත පවතින තැන් හැටියට අපි දකින්නේ බාහිර පවතින ලෝකය. පින්වතුනි, දුකට මුල බවට පත්වෙන්නේ ඒ බාහිර පවතින දේකට තමන්ගේ සිතින් ඇතිකර ගනු ලබන ඒ බැඳීම් සමුදාය. ඒකට බුදුරජාණන් වහන්සේ නොයෙක් වචන භාවිතා කළා.

තණ්හාව, ආශාව, කාමය ආදී නොයෙක් වචනයන් ඒ සදහා භාවිතා කළා. කෙසේ වෙතත් අපිට මේ කාරණාය තුල දකින්නට  පුළුවන් දෙයක් තමයි ලෝකයාට දුක වෙහෙස පැමිණෙන්නේ කෙසේද කියන කාරණය. පින්වතුනි, අපි බෞද්ධයින් හැටියට ඒ කාරණාව හොඳින් තේරුම්ගත යුතුව තියෙනවා. මොකද, ඒ කාරණාව අපි තේරුම්ගත යුතු වෙන්නේ අපේ පුහුදුන් චිත්ත සන්තානයන් ඇතැම් වෙලාවට යම් ධර්මාවබෝධයක් තිබුනත් සමහර දේවල් වලදී සැලීම් ඇතිවෙනවා.

~~ විශාකාවගේ කතා පුවත ~~

විශාකාවගේ කතා පුවතක එන්නේ, එක දවසක් විශාකාව තෙත් කෙහෙ ඇතිව මහා දවල් ජේතවනාරාමයේ ළඟින් යනකොට තෙත් කෙහෙ ඇතිව, තෙත් වස්ත්‍ර ඇතිව විහාරයට පිවිසෙන කොට බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව විමසනකොට ඒ තමන්ගේ ළඟම ඥාති දරුවෙක් මරණයට පත්වීම හේතු කරගෙන ඒ දුක නිසා, එහෙම නැතිනම් චාරිත්‍ර ඉටු කිරීම සදහාත් එසේ පැමිණුන බව සදහන් කරන්නට යෙදුනා.

ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විමසා සිටියේ එබඳු වූ හොඳ දරුවන් තව ලැබුනොත් වඩා කැමතිද කියලා? මේ වෙලාවේදී පිළිතුර දුන්නේ "ස්වාමීනි, මේ නගරය පිරෙන්න තරම් එබඳු දරුවන් ඉන්නවා නම් ඒක මම බොහොම කැමැත්තෙන් භාර ගන්නවා" කියලා.

පින්වතුනි, ඒක තමයි සියලු කෙලෙස් ප්‍රහීන නොකළ මනසක තියෙන ස්වභාවය. දුක එන පැත්ත පිළිබඳව අපි බොහෝ විට අපේ හිතේ අවධානයක් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා අපි බාහිර භෞතිකත්වය තුල අපේ මනස රඳවා ගන්නවා. නමුත් අපි නිවැරදිව ධර්ම ප්‍රතිපදාවක් තුල මනස පිහිටවා ගන්නට තරම් දක්ෂ වන්නට ඕනේ.

~~ බන්දුල මල්ලිකාවගේ කතා පුවත ~~

ඒ දක්ෂ වීම අපිට දකින්නට පුළුවන් හොඳම අවස්ථාවක් තමයි බන්දුල මල්ලිකාවගේ කතා පුවත. බන්දුල මල්ලිකාව දානය පූජා කරන අවස්ථාවේදී, බන්දුල මල්ලිකාවට හසුනක් ලැබෙනවා. මේ හසුන කියවලා බලලා බන්දුල මල්ලිකාව ඒ හසුන ඉනේ ගහගෙන දන් පූජා කිරීම සිද්ධ කරනවා.

දන් පූජා කිරීම සිද්ධ කරනකොට අසලක හිටපු එක දාසියක් අතින් එක ගිතෙල් කළයක් බිඳෙනවා. මේ වෙලාවේදී බන්දුල මල්ලිකාව ඇයට අවවාද කරනවා, බොහොම ප්‍රවේශමෙන් කටයුතු සිද්ධ කරන්නට කියලා. ඒ වෙලාවේදී එක ස්වාමීන් වහන්සේ නමක් බන්දුල මල්ලිකාවට අවවාද කරනවා, "මල්ලිකාවෙනි, ඒ දේ ගණන් ගන්නට එපා. බිඳෙන දේ බිදී යනවා යැයි" කියලා.

මේ වෙලාවේදී බන්දුල මල්ලිකාව මේ ස්වාමීන් වහන්සේට කියනවා, "ස්වාමීනි ඒ හේතුවෙන් මගේ හිතේ ද්වේශයක්, කම්පනයක් හටගත්තේ නැහැ. මීට මොහොතකට පෙර මට ලැබුණු හසුන්පතේ දැක්වුනේ මගේ දරුවන් තිස්දෙදෙනායි, මගේ ස්වාමිපුරුෂයායි ඝාතනයට ලක්වෙලා කියන හසුන. ඉතින් එයිනුත් කලබලයට පත්නොවුණු මම ගිතෙල් කළයක් බිඳුනා යැයි කලබලයට පත්වෙන්නේ නැහැ ස්වාමීනි" කියලා.

පින්වතුනි, ධර්මය කියන එක ඒ තරම් ආශ්චර්යමත් දෙයක්. ඒ තුල අපේ මනස නිවැරදිව අපිට පිහිටවා ගන්නට පුළුවන් නම් අපේ මනස අපිට නොසෙල්වී තියාගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තුල අපේ මනසිකාරය පිහිටවන්නට අපි වඩ වඩාත් උත්සාහවත් වන්නට අවශ්‍ය වෙනවා.  

~~ හිතේ ස්වභාවය ~~

සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය තමයි පින්වතුනි, යම් මනසිකාරයක් කෙරෙහි අපේ හිත නැමුනහම ඒ නැමුණු පැත්තට ගහගෙන යන එක. හිත කියන එක හරියට ප්‍රවාහයක් වගේනේ. ජල ප්‍රවාහයක ස්වභාවය තමයි එක දිශාවකට නැමිලා ඒ දිශාවට ගහගෙන යන එක. ඒ දෙපස වැවුණු තණකොළ ආදී දේවල් තියෙනවා නම් ඒ තණකොළ පවා මේ ජල ප්‍රවාහයේ ගෑවෙනවා නම් ඒ දිශාවටම නැමුණු වූවක් කොට පවතිනවා.

පින්වතුනි, හිතේ ස්වභාවයත් ඒ විදිහටම තමයි. යම් විදිහකින් යම් යම් මනසිකාරයක් අපි ප්‍රගුණ කරනවා නම් යම් යම් පැතිවලට අපි අපේ හිත යොමු කරනවා නම් ඒ පැත්තට බරව අපේ සිතේ සිතුවිලි සමුදාය නැගෙන්නට පටන් ගන්නවා. ඒ විදිහට එක ප්‍රවාහයක් එක පැත්තකට යන්නට පටන් ගත්තට පස්සේ කෙනෙකුට පින්වතුනි, ප්‍රයෝගිකව අපහසුයි ඒ ප්‍රවාහය නතර කරලා දාලා අනික් පැත්තට හිත හරවන එක.

නමුත් අපි කෙසේ හෝ එය හරවා ගත යුතු වෙනවා. එහෙම නැති වුනොත් ඒ ප්‍රවාහය බොහොම දුක්ඛදායි තැනකට අපිව අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා හිතට නැගෙන සිතුවිලි පිළිබඳව හොඳ කල්පනාවෙන් අපි බලාගෙන ඉඳලා ඒ සිතුවිලි ප්‍රවාහය අපිට අවශ්‍ය තැනට අරගෙන යන්නට ඕනේ.

ඒ නිසා ඒ අවශ්‍ය තැනට අරගෙන යන එකේදී මුලික ලෙසම අපි භාවිත කරන්නට අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය අනුව මනසිකාරය පිහිටුවීම. හිත යම් පමණකට පිළිගන්නට අකැමති වුනත් හිතට අපි එය නැවත නැවතත් පෙන්වා දිය යුතුව පවතිනවා.

~~ සසර රෝගය සුවපත් කරන ඒකායන ඔසුව ~~

අපි බෙහෙතක් බොන්නේ ආසාවට නෙමෙයි. අපි බෙහෙතක් බොන්නේ යම්කිසි රෝගයක් සුවපත් කරගැනීම සදහා. තිත්ත වූද බෙහෙත බීම තුල අපිට වැළදුනා වූ රෝගය සුව අතට පත්කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම හිත ස්වභාවයෙන්ම කාමයට බරයි.

නමුත් හිත කාමය පැත්තට බර වුනාට ධර්මය පැත්තට නොඇලුනාට, නොඇලෙන ධර්මය නැවත නැවතත් හිතට හුරු කිරීම මත මේ සංසාර රෝගයම අපට සුවපත් කරගැනීමට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සසර රෝගය සුවපත් කරගන්නට පුළුවන් ඒ දර්ශනය පිළිබඳව කවුරුත් සිත් සතන් තුලට හොඳ අදහසක් විදිහට ඇතිකර ගන්නට ඕනේ.

~~ මනුස්ස ජීවිතයක ස්වභාවය ~~
 
පින්වතුනි, අපි ජීවත් වෙන්නේ ඉතාම අස්ථිර වූ ලෝකයක. ඒ අස්ථීර ලෝකය තුල අපිට කිසිම දෙයක් තමාගේ වශයෙහි පවත්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.

"යථාපි කුම‍්භකාරස‍්ස කතා මත‍්තිකභාජනා,
සබ‍්බෙ භෙදනපරියන‍්තා එවං මච‍්චාන ජීවිතං"

බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳව දේශනා කළේ ඒ විදිහට. වළං හදන කෙනෙක් හදන වළඳක ස්වභාවය තමයි කොයිම වෙලාවක හෝ බිඳී යන ස්වභාවය. සමහර වළං හදන කොටම කැඩිලා බිඳිලා යනවා. සමහර වළන් ගබඩාකරණයේදී, ප්‍රවහානයේදී, පරිහරණයේදී කැඩිලා බිඳිලා යනවා. පින්වතුනි, මැටි වළඳක ස්වභාවය තමයි ඕනෑම මොහොතක කැඩෙන්නට පුළුවන් බව.

අපි කාගේත් ජීවිතවල ස්වභාවය පින්වතුනි, හරියටම මැටි වළඳක් වගේ. ඒකට කොයි කාලයද කියන එක නියතියක් ඇත්තේ නැහැ. සමහරවිට පුංචිම කාලේදී, එහෙම නැතිනම් යම් විදිහකින් වැඩුනට පස්සේ, තරුණ වයසේදී, මැදි වයසේදී, මහළු වයසේදී කියන ඕනෑම මොහොතක අපේ ජීවිතය මරණය කරා ළංවන්නට පුළුවන්කම තියෙනවා. ඒක අපේ කාගේත් ජීවිතවල යථා ස්වභාවය. ඒක ඔබටත් මටත් සාධාරණ ධර්මයක්.

හරියට තණකොළ ගහක අග රැඳුණු පිනි බිඳුවක් වගේ අපේ ජීවිතය . මේ පිනි බිංදුව කොයි වෙලාවේ බිමට පතිත වෙයිද කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ වගේ.

ඒවගේම ගහක හැදෙන ගෙඩියක් වගේ අපේ ජීවිතය. ගහක හැදෙන ගෙඩි කුඩා කාලයේදීත්, ඒවගේම පැසෙන්නට කිට්ටුවත්, පැසුනට පස්සෙත්, ඉදුනට පස්සෙත් කියන ඕනෑම අවදියකදී බිමට පතිත වෙනවා. අපේ ජීවිතත් ඒ විදිහටම තමයි.

~~ තම වශයෙහි පවත්වන්නට බැරි ලෝකය ~~

අපිට පුළුවන්කමක් නැහැ ලෝකය අපට අවශ්‍ය විදිහට පවත්වාගෙන යන්න. ලෝකයේ ස්වභාවය තමයි පින්වතුනි, වෙනස්ව යන ස්වභාවය. ඒකට හේතුව තමයි ලෝකය තුල පවතින්නේ එකම නියාම ධර්මයක්. ඒ තමයි අනාත්මතාවය. අනාත්මතාවය කියන්නේ ආසාර අර්ථයක් තියෙනවා.

"අත්තසාරසාරෙන අසාරො" - ආත්ම සාර වශයෙන් අසාරයි. ආත්ම සාර වශයෙන් අසාරයි කියලා කියන්නේ, "අවසියපවත‍්තසල‍්ලක‍්ඛණවසෙන" - තම වශයෙහි පවත්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.

අපි කාටකාටත් අවශ්‍ය වුනාට ලෝකය අපිට ඕනේ විදිහට පවත්වා ගන්නට කියලා මේක අපිට ඕනේ විදිහට පවත්වා ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අප විසින් මේ ගැන නිරන්තරයෙන්ම මෙනෙහි කිරීම කළ යුතු වෙනවා. අපේ වශයෙහි මේ ලෝකය පවත්වන්නට පුළුවන්කමක් නැහැ කියන එක. ඒ හා සමගාමීව අපිට ලොකු ධර්මයක් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා.

මතු සම්බන්ධයි

අතිපූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.10.04 දින සිදු කල ධර්ම දේශනාව ඇසුරෙන් කරන ලද පිටපත් කිරීමකි.


Post a Comment

0 Comments