ලෝකයෙන් එතෙරට ලිපි මාලාව ~ 3

ලෝකයෙන් එතෙරට- 1 දේශනාව - තෙවන කොටස

තණ්හාව නැති කරන්නට ඔයගොල්ලෝ කරන්නට තියෙන්නේ එක දෙයයි. ස්කන්ධ, ධාතු, ආයතන ටිකේ තියෙන අනාත්ම බව පෙන්වන්න සතිපට්ඨානය හරහා. අනාත්ම බව පෙන්නන කොට ආත්ම කරලා තියෙන්නේ කෙලේසයකින්, දුක ගෙනල්ලා තියෙන්නේ කෙලේසය නිසා තමයි කියන එක ඔප්පු  වෙනවා. එහෙම ඉස්සරහට යන්න යන්න පුද්ගලභාවය හදපු කෙලේසය එන්න එන්න දුර්වල වෙනවා ස්කන්ධයන්ගේ තියෙන අනාත්ම ගතිය ටික ටික මතු වෙලා එනවා.  

ප්‍රතිපදාව වඩලා ඉවරයි කියන්නේ, කලින් උපමාවට අනුව නම්, රතු පාට බල්බ් එක නිවිලා ම ගිහිල්ලා. රූපයක් ඇස් ඉදිරිපිටට එන කොට, රූපයේ අනාත්ම බව එළඹ සිටිනවා. තණ්හා, උපාදාන කියන කෙලේසය ගෙවිලා ම ගිහිල්ලා, රූපාදී ස්කන්ධයෝ සත්ව පුද්ගලභාවයකින් පෙනිලා එන දුක නිරුද්ධ ම වෙලා. එතකොට හට ගත්ත ධර්මයෝ නිරුද්ධයි කියන එක පේනවා. ඥාන දර්ශනය එළඹ සිටිනවා. ප්‍රශ්න ඔක්කොම විසඳෙයි.  

අපි මේ ගොඩක් ගැඹුරට පටලවා ගෙන කටයුතු කළාට මේක තේරුම් ගත්තහම සරල අර්ථයක් තියෙන්නේ. හැබැයි ආශ්‍රව ගැඹුරුයි. ඔයගොල්ලන්ට මේ අවස්ථාවේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ නම් හොඳට සිහිය නුවණ භාවිතා කරන්නට වෙනවා. සරල වුණාට ආශ්‍රව ගැඹුරුයි. චුට්ටක් ඇත්තම් ඉන්න අයව, තියෙන දේවල් සිහි කරපු හුරුව අපි ගාව තවම තියෙනවා. අන්න ඒ ආශ්‍රව ගෙවා ගන්න උත්සාහවත් වෙන්න. පෙන්නන්න රූපයේ ඇත්ත, ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක්, සතර මහා ධාතුයි, අනාත්මයි කියලා.  

අනාත්මයි කියලා බලන්නේ පුද්ගලභාවය ගෙවෙයි කියලා නෙවෙයි. චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා යි එහෙම බලන්නේ. එහෙම බලන කොට “ස්කන්ධ ටික කෙලේසයකට ආත්ම වෙලා පෙනුනා කියන එක මොන තරම් ඇත්තක් ද” කියලා දුකත්, දුක්ඛ සමුදයත් (තණ්හාව) පෙනෙයි තමන්ට. ඒ විදිහට බලමින් ටික කලක් යන කොට හරි වටිනා තැනකට ඔයාලා එයි. ඔයාලා යමක් සිහි කළොත්, තමන්ගේ කෙලේසයට හසු වෙච්ච ස්කන්ධ ටිකේ අත්දැකීම ඕනේ නම් සිහි කරන්න පුළුවන්. උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික ඕනේ නම් සිහි කරන්න පුළුවන්. හැබැයි ඉන්න අය, තියෙන දේවල්  සිහි කරන්න බැහැ. එහෙම අය බාහිර හිටියේ නැහැ කියලා නුවණයි.  

“කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං” - කෙලෙස් තවන වැර ඇතුව මනා සිහියෙන් හා නුවණෙන් යුක්තව ලෝකයේ ලෝභ, ද්වේශ දෙක හික්මෙන විදිහට බලන්න කියලා නේ දේශනා කළේ. ගෙදර ඉන්න දරුවාව, ගමේ ඉන්න යාළුවාව ආදී ඉන්න කෙනෙක්ව හිත සිහි කළහම ලෝභයෙන් දැඩි වෙනකන්, ද්වේශයෙන් දෘඩ වෙනකන් හිතන්න පුළුවන් අපිට. එහෙම හිතන්න හදන කොට ම, රූපයේ ඇත්ත පෙන්න පෙන්න අපේ මනස හුරු කරන්න ඕනේ, “එහෙම සත්ව පුද්ගලයෝ ඉඳලා නැහැ. අපි ළඟ තියෙන කෙලේසයකට යි සත්ව පුද්ගලභාවයක් හදලා තියෙන්නේ කියලා.  

මෙතන ගැඹුරු ශුන්‍යතාවයක් තියෙන්නේ. ‘අනාත්ම ලක්ෂණයකින් යුතු ස්කන්ධ ටික තණ්හාවෙන් ආත්ම කරලා පෙන්නලා තියෙන්නේ’ කියන එක දකින කොට ලෝකෙ පැත්තේ සම්පූර්ණ ශුන්‍යතාවයක් එනවා. මෙන්න මේ ගැඹුරු ශුන්‍යතාව අත්විඳින්න පුළුවන් ඔබට නොබෝ දවසකින්. එතකොට සිහි කරලා බලන්න හදන කොට ම පෙනෙනවා, “අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති” සත්වයෙක්, පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් එළඹ සිටිනවා. 

දරුවා, යාළුවා කියලා සිහි කරන්න හදන කොට ම; කන බොන ආහාරයෙන් හැදුණු කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් නහර ආදී කුණුප කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු රූපය නම් තියෙයි. ඒ රූපය ආත්ම කරලා පෙන්වන්නේ කෙලේසයකින්. ඒ රූපය ඇස් ඉදිරිපිටට ආවහම ඒ එක්ක ම කෙලේසය හිතේ යෙදුණහම, ඒ රූපය පුද්ගලයෙක් හැටියට පෙනෙයි, කියලා බලන කොට ලෝභ, ද්වේශ දෙක තමයි හික්මෙන්නේ. ඒ නිසයි “අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති” සත්වයෙක්, පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් එළඹ සිටිනවා යැයි කියන්නේ. ස්කන්ධ ටික පැත්ත අනාත්මයි, සත්ත්ව පුද්ගල නොවූ රූප තියෙන්නේ. ඒවා ආත්ම කරලා පෙන්වලා තියෙන්නේ කෙලේසයෙන්. ඒක ඔප්පු වෙන්න ඕනේ.  

ගෙදර ඉන්න කොට, වැඩ කටයුතු කරන කොට ඔය විදිහට තමන්ගේ ශරීරය දිහාත්, අනිත් කයවල් දිහාත් “ඇත්තට ම මේ කෙලේසයකටනේ ඒ සියලු ම රූප සත්වයෙක් පුද්ගලයෙක් කියල පෙන්වලා තියෙන්නේ” කියලා පෙන්නන්න. රූපය පැත්තෙනුත් රූපයේ ඇත්ත පෙන්නන්න. කුණුප කොටස් ටිකක් තියෙන්නේ, ධාතු මාත්‍රයක්නේ මේ කයේ තියෙන්නේ. කෙලෙස් නිසා රූපය පුද්ගලයෙක් හැටියට පෙන්නලා තියෙන්නේ කියලා කියපු වචනය මොන තරම් ඇත්ත ද කියලා අත්විඳින්න. කය දිහා බලන කොට “මේ මම” කියලා පේනවා නම්, ඇත්තට ම කය මම හින්දා මම කියලා පේනවා නෙවෙයි, හිතේ තියෙන තණ්හා, උපාදාන කියන කෙලේසයන් නිසානේ, ‘මේ රූපය මම’ කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ නේද කියන එක බලන්න, ඒක දකින්න.  

එහෙම පිළිගන්නේ නැති වුණහම තමන්ගේ යැයි ගන්නා කයෙත් ඇත්ත පෙන්නන්න. ‘මේ කයත් කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර මේ වගේ කුණප කොටස් ටිකක්, ධාතු මාත්‍රයක් තියෙන්නේ, අනාත්මයි. “ඇත්ත තමයි, මේ කය මම කියලා පෙන්වනකම තණ්හාවෙන් කරලා තියනවා කියන එක”. ඇයි ඒ? කය ඇතුළේ මගේ කෑලි හෝ මගේ කොටස් නැහැ. ඒ එකක්වත් මම නෙවෙයි.  කෙස් ටික ද මම? ලොම් ටික ද මම?  නිය ටික ද මම? කියලා එක එක කෑලි කෑලි වෙන් වෙන් කර කර බලන්න.   

තණ්හාව නැමති කෙලේසයේ කෘත්‍ය ම දෙවැන්නෙක් හදන එක. තණ්හාව දෙවැන්නයි කියලා කියන්නේ. (මේ ග්‍රන්ථයේ ඉදිරියට මේ කරුණ පිළිබඳව වැඩි දුර විස්තර කෙරේ) “තණ‍්හා ජනෙති පුරිසං” - තණ්හාව පුරුෂයාව උපදවයි කියලා පෙන්වන්නේ. තණ්හාවෙන් තමයි තමන්ව හදලා තියෙන්නේ, හිතේ තියෙන ගතියට මේ කය මම වගේ පේනවා. කයේ ඇත්ත බලන කොට කය අනෙකක්, මම කියලා පෙනෙනකම අනෙකක් කියන එක තේරෙනවා. කය අනුව බලන කොට තවත් ඔප්පු වෙලා පේනවා, ඇත්තට ම කයේ මම, මගේ කියන කොටස් එකක්වත් නැහැ. එහෙනම් හිතේ තියෙන කෙලේසයට කය මම කියලා පෙනුනා කියන එක කොච්චර ඇත්තක් ද කියන එක තේරෙනවා.  

ඔහොම බලමින් ආශ්‍රව ගෙවා ගන්න. එතකොට ලෝකය සත්ව පුද්ගල ආත්මභාවයෙන් තොර ශුන්‍යතාවයක් තියෙන්නේ කියලා නොබෝ දවසකින් ආර්ය වූ ශුන්‍යතාවය ස්පර්ශ කරන්න පුළුවන්. වැඩි දුර යන්න ඕනෙ නැහැ. හැබැයි පොඩි කැප කිරීමක් කෙනා කෙනාට කර ගන්න වෙනවා තමන් වෙනුවෙන්. අනන්ත ජාති සංසාරෙක ඇති කර ගත්ත ආශ්‍රව ප්‍රබලයි. ආශ්‍රවවලට ඉඩ තියෙන්නේ ම අවිද්‍යාව තිබ්බොත් විතර ම යි.

“දැන් මේ පුද්ගලභාවය නිසා එන දුකක් තියෙනවා නම් තණ්හාවෙන් නේද හදලා තියෙන්නේ” කියලා හොඳට අර්ථ ගන්න. මෙන්න මේ උපමාව තමන් සන්තකයේ හැම මොහොතක ම තියා ගන්න. ටීවී එකේ පුද්ගලයෙක් පෙනෙන්නේ ටීවී එකේ පුද්ගලයෙක් ඉන්න හින්දා නෙවෙයි, ඒ රූප පුද්ගලයෙක් කරලා පෙන්වන කෙලේසය තමන් ළඟ තිබුණ හින්දයි. ඒ උපමාව හැම වෙලාවේ ම සන්තකයේ තියා ගන්න. කොතනක හරි පැටලෙන ගානේ ඕක ඉදිරිපත් කරන්න.  

ගෙදර අම්මා ඉන්නවා කියලා සිහි වෙන කොට, ‘කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තියෙන්නේ, ඒ රූපය අනාත්මයි. මගේ කෙලේසයට ඒ රූපය ආත්ම වෙලා, ඒ ආත්මවත් වූ රූපය මගේ අම්මා කියන තැනකින් ඇසුරු කෙරුවා නේද කියලා බලනවා. බැලුවට පිළිගන්නේ නැහැ. එතකොට ටීවී එකේ උපමාව ආදේශ කරනවා. “ටීවී එකේ පුද්ගලයෙක් මට පෙනෙන්නේ ඒකේ ඇතුළේ පුද්ගලයෙක් ඉන්න හින්දා නෙවෙයි මගේ කෙලේසයට පුද්ගලයෙක් කරලා පෙන්වන නිසයි ඒ රූපය මට ආත්මව පේන්නේ”. ඔය සරල උපමාව තමන් තියා ගන්න. සතිපට්ඨානය මෙනෙහි කරන ගානේ හිත පිළිගන්නේ නැති වෙන කොට මේ උපමාව දිහා බලලා උපමේය වූ තමන්ගේ ජීවිතයෙන් ආත්ම වූ විදිහට හම්බ වෙන අරමුණට සංසන්දනය කරන්න.   

~~ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ~~   

ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. නොබෝ දවසකින් මේ අර්ථය තියා ගෙන සතිපට්ඨානය වැඩුවොත් මේ ලෝකයේ සිය දහස් ගණනකින් රහතන් වහන්සේලා බිහි වෙයි. ඇයි ඒ? එච්චර ඉක්මනට ආශ්‍රව ක්ෂය වෙනවා මේකෙන්. ඒ හින්දා මේ ජීවිතයේ දී ම අනාත්මය අවබෝධ කර ගන්න උත්සාහවත් වෙන්න. ඔබටත් මටත් ආත්ම සංඥාව නිසා එන දුකෙන් මුදවලා අනාත්මය අවබෝධ කරවන්න මේ පණිවිඩය අරගෙන දෙන්න මගේ බුදු හාමුදුරුවෝ දුක් වින්දේ නිකන් නෙවෙයි. ඒ ගැන ශ්‍රද්ධාව ඇති කර ගන්න.  

දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ දී හතර පද ගාථාවක් අහලා නිවන් දකින්න හේතු සම්පත් තියෙද්දිත් ඔබටත් මටත් අනාත්මය අවබෝධ කරලා ආත්ම සංඥාව ගලවලා දුකෙන් නිදහස් කරන්න, ඒ අතට පත් නිවන අතහැරලා සසරට පැමිණියේ. එදා ඉඳන් වින්ද දුක් සුළුපටු නැහැ. අනුන්ගේ දුක අයින් කරන්න තමන් දුක් වින්ද කෙනෙක් ඉන්නවා නම්, අනුන් සැපවත් කරන්න තමන්ගේ සැප අත්හළ කෙනෙක් ඉන්නවා නම්, එබඳු වූ මහා පරිත්‍යාගයක් කළ මගේ බුදු හාමුදුරුවන්ගේ එක ම අදහස වුණේ දුක් විඳින එක සත්වයෙක් හරි සසරෙන් එතෙර කර වන්න. මගේ මේ දේශනාව ඒ සා මහත් වූ වීර්යයක් කළ මගේ තථාගතයන් වහන්සේට පූජාවක් ම වේවා!  

මේ ධර්මයෙන් ඇස් දෙක පාදගන්න වෙහෙසෙන මේ ටිකේ ද  ගෞරවය ඇස්, හිස්, මස්, ලේ දන් දීලා අනන්ත අපරිමාණ කාලයක් සංසාරේ සැරි සරමින්, පාරමී ධර්ම පුරලා දුක් වින්ඳ මගේ බුදුරජාණන් වහන්සේට ම වේවා!  මගේ බුදුරජාණන් වහන්සේ පහළ නොවුණේ නම්, ඒ පණිවිඩය පොත්පත්වල ලියලා නොතිබුණේ නම්, හීනෙකින්වත් අනාත්මයි කියන පණිවිඩයවත්, ලෝකය ආත්මව පේන්නේ කෙලේසයකටයි කියන එකවත් පහළ කර ගන්න අපිට බැහැ. බුදුරජාණන් වහන්සේ මෙච්චර දුක් වින්දේ එක එක සත්ත්වයා හරි සසරින් එතෙර කරන්න. ඔයගොල්ලො බුදු හාමුදුරුවන්ට ගොඩාක් ආදරෙයි නම්, ගොඩක් ගෞරවයයි නම් ඒ අසීමිත මහා කරුණාවට ඔයගොල්ලො කෘත උපකාරයක් සලසනවා නම් එක ම එක දෙයක් කරන්න. අනාත්මය කොහොම හරි අවබෝධ කරලා ආත්ම සංඥාව ගෙවලා දුකින් නිදහස් වෙන්න. ඒක කරලා දෙන්න තමයි බුදු හාමුදුරුවෝ උත්සාහවත් වුණේ. ඒ මහෝත්තමයන් වහන්සේගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරලා දුන්නා වෙනවා.  

ඒ නිසා ගෙවල් දොරවල්වල ඉන්න සත්වයෝ, පුද්ගලයෝ සිහි වෙන ගානේ එහෙම අය අරමුණු කර ගෙන මෝඩකමට ලෝභ, ද්වේශ දෙක තර කර ගන්නේ නැතුව, තර කර ගන්න නොදී, එසේ සිහි වෙන ගානේ මේ දර්ශනය පෙන්වන්න. චතුරාර්ය සත්‍යය පෙන්වන්න. බාහිර පුද්ගලයෙක් හිටියා නෙවෙයි. කෙලේසයටයි පුද්ගලභාවය ඇති කළේ කියලා පෙන්නන්න. පිළිගන්නේ නැති වුණහම සතිපට්ඨානය කය අනුව බලලා පෙන්වන්න. එහෙමත් පෙන්නන්නෙ නැතුව හිත පස්සට යනවා නම් ටීවී එකේ උපමාව සිහි කරන්න. උපමාව සිහි කරලා සතිපට්ඨානය වඩන කොට හොඳට මේ දර්ශනය පිළිගන්නවා.  

මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති අති දීර්ඝ සංසාරයේ ඒ ඒ ජාති සසර ඉපදෙමින් දුක් විඳින්න වුණේ තෘෂ්ණාව නමැති වඩුවා නොදැකීමෙන්. තෘෂ්ණාව නමැති වඩුවා ආත්මභාවය නමැති දුක හදනවා කියලා දැක්කේ නැති නිසා. හැමදාම ලෝකය වහගෙන ඉන්න නිත්‍යයි, සැපයි, ආත්මයි, කියන විපල්ලාස ඇති කරන තණ්හාව (නායකයා) නැති කරලා අනාශ්‍රව චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කර ගන්න ඔබට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!  

විශේෂ ම දේ මෙන්න මේ කාරණාව හොඳට මතක තබා ගන්න. මේ ලෝකය හදපු, දුක හදපු, ආත්මභාවය, පුද්ගලභාවය හදපු තණ්හාව නැති වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මිසක වෙන හේතුවකට නෙවෙයි. ඒකෙන් මම මතක් කළේ රූපය පුද්ගලයෙක්, සත්වයෙක් හැටියට පෙන්වලා දුක එනවා නම් ඒ රූපය සත්වයෙක් පුද්ගලයෙක් හැටියට පෙන්වන මේ කෙලේසය අතහැරෙන්නේ රූපයේ සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැහැ, රූපය අනාත්මයි කියලා පෙන්නපු පමණකින් නෙවෙයි. රූපය සත්වයෙක්, පුද්ගලයෙක් නෙවෙයි අනාත්මයි කියලා පෙන්නන කොට “ඇත්ත තමයි එහෙනම් ඒ රූපය ආත්ම කරලා තියෙන්නේ තණ්හාවට. තණ්හාව නිසා තමයි ස්කන්ධ ටික ආත්ම කරලා පෙන්නලා දුක ආවේ”, ඒ තණ්හාව නැති වුණොත් දුක උපදින්නේ නැහැ නේද කියලා චතුරාර්ය සත්‍ය අවබෝධය පිරීමෙනුයි තණ්හාව නැති වෙන්නේ.  

දර්ශනයකින් තොරව සතිපට්ඨානය වැඩුවාට ඵලක් වෙන්නේ නැහැ. මෙන්න මේ අර්ථය ඇතුව සතිපට්ඨානය වඩන්න. එතකොට නිවන් නොදැක්කොත් තමයි පුදුමේ. මේ දර්ශනයෙන් දුක දැක්කා, දුකට හේතුව තණ්හාවයි කියලා දැක්කා, තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා කියලා දැකලා ඒ තණ්හා නිරෝධය සඳහා මාර්ගය වඩන කොට, එනම් සතිපට්ඨානය වඩන කොට, ඒ වඩන ගානේ ස්කන්ධයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ පේන ගානේ ඔප්පු වෙන්න ඕනේ ස්කන්ධ ටික ආත්ම කරලා පෙන්වලා තියෙන්නේ කෙලේසයකට. ඒ නිසයි දුක ආවේ, තණ්හාව නැති වුණොත් මේ දුක එන්නේ නැහැ කියන අන්න ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට ආශ්‍රව ගෙවෙයි.  

රූපය කුණුප කොටස් ටිකක්ය, සතර මහා ධාතුය, ආහාරයෙන්නේ හැදුණේ, කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා කියලා බැලුවට නෙවෙයි පුද්ගලභාවය ගෙවෙන්නේ. ඒ මාර්ගය නේ. ඒ බලපු එක උපකාරයි දුකයි, සමුදයයි, නිරෝධයයි කියන එක තේරෙන්න. ඒ කියන්නේ ඒ ව්දිහට බලන එක උපකාර යි “ඇත්ත තමයි තණ්හාවෙන් නේ ආත්මභාවය හදලා දුක ආවේ” කියන දර්ශනය තමන් තුළ ගොඩ නැගෙන්න. අන්න ඒ දර්ශන සම්පත්තියට, අන්න ඒ විද්‍යාවටයි තණ්හාව ගෙවෙන්නේ. අවිද්‍යාව හා භව තණ්හා කියන එක මූල ක්ලේශයන්. අවිද්‍යාවගේ නැති වීමෙනුයි තණ්හාව ගෙවෙන්නේ, තණ්හාව නැති වීම නිසයි අවිද්‍යාව ගෙවෙන්නේ.  

ඒ නිසා මෙන්න මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය පැහැදිලි කරන්න; බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙච්ච යුගයක, ඒ සද්ධර්මය ඇහෙන වටපිටාවක් තියෙන යුගයක, ධර්මය අහගන්න පුළුවන් අපි මනුස්සයෙක් වෙච්ච යුගයක, මේ ක්ෂණ සම්පත්තිය හම්බ වෙච්ච වෙලාවේ දී ත්‍රිලක්ෂණය අවබෝධ කර ගෙන මේ සියලු දුක් නිමා කර ගන්න ඔබ සියලු දෙනාට මේ දේශනාව හේතු උපනිශ්‍රය වේවා! 

හැම දෙනාට ම තෙරුවන් සරණයි! 

දේශනාව නිමි.

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ හා පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් 'ලෝකයෙන් එතෙරට' ධර්ම ග්‍රන්ථය ඇසුරෙන්


Post a Comment

0 Comments