ලෝකයෙන් එතෙරට- 1 දේශනාව - දෙවන කොටස
~~ සතිපට්ඨානය වඩන ආකාරය ~~
ඒ කෙලේසය ගෙවීම සඳහා කළ යුතු දේ තමයි සම්මා දිට්ඨියෙන් ලෝකය (දුක) හැදුවේ තණ්හාවෙන් කියලා දැන ගෙන සතිපට්ඨානය වැඩීම. ඒ කියන්නේ ඇස් ඉදිරිපිටට එන රූපය පුද්ගලයෙක් කියලා තමන්ට පෙනෙනවා. මේ ශරීරය අරභයාත් මමත් සත්වයෙක්, පුද්ගලයෙක් කියලා පේනවා. හිතේ තියෙන තණ්හාව කියන කෙලේසයට නේද පුද්ගලභාවය/ආත්මභාවය හදලා තියෙන්නේ කියලා හිතුවට තවම හිත පිළිගන්නේ නැහැ. ‘කෙනෙක් ඉන්න හින්දා ම යි, පුද්ගලයෙක් ඉන්නවා කියලා පෙනෙන්නේ’ කියල ම යි අපිට හිතෙන්නේ.
අන්න එතකොට සතිපට්ඨානයේ කායානුපස්සනාව වඩන්න. චතුරාර්ය සත්‍යය දර්ශනය පිළිගන්නේ නැතිව රූපය සත්වයෙක් ම යි කියලා පෙනෙන කොට, හොඳට රූපයේ ඇත්ත පෙන්වන්න. රූපය හැදිලා තියෙන්නේ කන බොන ආහාරයෙන්. මේ රූපයේ තියෙන්නේ කෙස්, ලොම්, නිය, දත්, මස්, නහර” කියලා. එහෙම කුණුප කොටස් වශයෙන් මෙනෙහි කර ගෙන යන කොට, “ඇත්ත තමයි, සත්ව පුද්ගල නොවන කොටස් ටිකක් තමයි මේ කයෙහි අන්තර්ගතය” කියලා ඔප්පු වෙලා පේනවා. අන්න එතකොට, “ඇත්ත තමයි, එහෙනම් කය ආත්ම කරලා පෙන්වන්නේ හිතේ තියෙන කෙලේසයකට නේ” කියලා ඔප්පු වෙනවා. හිතේ තියෙන කෙලේසයකට තමයි රූපය පුද්ගලයෙක්, සත්වයෙක් කරලා පෙන්වන්නේ කියන එක සතිපට්ඨානය වඩන ගානේ ඔප්පු වෙනවා.
ආයෙත් බැහැර ඉන්න පුද්ගලයෙක්ව සිහි වෙනවා. සිහි කරන්න හදන කොට ම තමන් පෙන්වනවා; “එහෙම බාහිර කෙනෙක්ව සිහි කරන එක වැරදියි. එහෙම බාහිර පුද්ගලයෝ කවදාවත් හිටියත් නෙමෙයි, ඉන්නවත් නෙමෙයි, ඉන්නේ ද නැහැ. තණ්හාව නිසා ඇස් ඉදිරිපිටට හම්බ වෙන රූපය ආත්ම කරලා පෙන්වන ගතිය මිසක තිබිලා තියෙන්නේ, රූපය පැත්තේ කවදාකවත් පුද්ගලයෙක් ඉඳලා නැහැ” කියලා පෙන්වනවා. එහෙම කිව්වට හිත පිළිගන්නේ නැත්නම්, එතකොට මොකද කරන්නේ? නැවත සතිපට්ඨානය වඩනවා. ඒ ඉන්න පුද්ගලයා කියන තැනක රූපය හැදුණ හැටි පෙන්වන්න. බත්, පාන්, කව්පි, මුං ඇට කියන සත්ව පුද්ගල නොවන ආහාරයකින් හැදිලා තියෙන්නේ. ඒ රූපයේ තියෙන කෙස් විතරක් ගත්තොත් පුද්ගලයෙක් පෙනෙන්නේ නැහැ. ඒ වගේ ම ලොම්, නිය, දත්, මස් ආදී කොටස් අරගෙන ඒවායේ ඇති අනාත්ම ලක්ෂණය හොඳින් සම්මර්ශනය කරලා බලනවා.
සතිපට්ඨානය වඩන්නේ සම්මා දිට්ඨිය ඔප්පු කර ගන්න. සම්මා දිට්ඨියට තමයි සතිපට්ඨානයෙන් අනුග්‍රහය දක්වලා තියෙන්නේ.
කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියලා එකින් එක එකින් එක බලන කොට, “ඇත්ත තමයි මෙහෙම අනාත්ම වූ කොටස් ටිකක් තියෙයි. කයේ ඒ කොටස් සත්ව පුද්ගල නොවන කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. මේ කොටස් ටික ඇතුළේ සත්ව පුද්ගලභාවය බහාලන්න තැනක් නැහැ කියලා” පෙනෙනවා. එතකොට ඔප්පු වෙනවා බුදුරජාණන් වහන්සේගේ වචනය “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො” භාග්‍යවතුන් වහන්සේ මනා කොට ධර්මය දේශනා කරලා තියෙනවා.
“ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ. රූපය පුද්ගලයෙක් කියලා පෙන්වන්නේ කෙලේසයකට තමයි. නැතුව කය පුද්ගලයෙක් හින්දා නෙවෙයි” කියලා ඔප්පු වෙනවා. එහෙම මනසිකාරය කරන වෙලාවට ඒ සම්මා දිට්ඨිය ඔප්පු වුණත් අපේ ආශ්‍රව ධර්මයෝ බලවත් නිසා නැවත ගෙදර ඉන්න දරුවෙක් පිළිබඳව සිහි වෙනවා. එතකොට ද තමන් පෙන්වන්න ඕනේ, රූප පැත්තේ කවදාවත් ම ආත්මීය හෝ ආත්මයට හිත වූ වස්තු තිබිලා නැහැ. රූපය අනාත්ම ම යි. “තණ්හාවේ ඡායාව වැටුණු අත්දැකීම ම දැන් මේ සිහි කරනවා නේද” කියලා.
ඒ කියන්නේ ඇස් දෙකට පෙනුණු රූපයට තණ්හාව වැටිලා දරුවා වූ පුද්ගලයෙක් හැදුණා. රූපයක් පෙනෙන කොට, මේ ‘මගේ දරුවා නේ, දරුවාගේ නමත් මේකයි’ කියලා අපි හිතුවා කියන්නකෝ. දැන් එතැනින් අපි අහකට ගිහින් තමන්ගේ තණ්හාවේ ඡායාව වැටිලා රූපය පුද්ගලයෙක් කර ගත්ත කෙලෙස් අත්දකීම අපිට සිහි කරන්න පුළුවන්. සිහි කරන කොට, ගෙදර ඉන්න ළමයා සිහි කරනවා වගේ තැනකින් තමයි ක්ෂණිකව හිත සිහි කරන්නේ.
එහෙම සිහි කරන කොට ම අපි පෙන්වන්න ඕනේ “ඇස් ඉදිරිපිටට රූපය ඇවිත් පෙනුණු අවස්ථාවේ දී යෙදුණු තණ්හාව නිසා පුද්ගලයෙක් කරලා ඇසුරු කරපු කෙලෙස් අත්දැකීම දැන් මේ සිහි කරනවා මිසක බාහිර ඉන්න දරුවෙක් සිහි කරනවා නෙමෙයි නේද, එහෙම ඉන්න පුද්ගලයෙක්ව, තියෙන දෙයක් ව සිහි කරන්න බාහිර එහෙම පුද්ගලයෝ හිටියේ නැහැනේ. තණ්හා, උපාදාන කියන කෙලේසයේ ලක්ෂණයක් තමයි රූපය පුද්ගලයෙක් කරලා පෙන්වන එක” කියලා පෙන්වන්න. සතිපට්ඨානය වඩන ගානේ නොබෝ දවසකින් ම ඔයගොල්ලන්ට ඔප්පු වෙලා පෙනෙනවා, දුක (ලෝකය) කියන එක තණ්හාවෙන් හදලා තියෙන්නේ කියලා.
පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා මෙච්චර ඇස් දෙක පාදලා දෙන ධර්මයක් හම්බ වෙච්ච වෙලාවේ ලෝකයේ අඩියට ම යන්න හදන්න එපා. හොඳට ඇස් ඇරලා බලන්න මෙතන මහා අමාරු දෙයක් තියෙනවා නෙමෙයි. මේකෙන් කියන්නේ තමන්ට බාහිර සත්වයෝ, පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙනවා. මේ ශරීරය දිහා බලන කොටත් ‘මම කියලා’, ‘පුද්ගලයෙක් කියලා’ පෙනෙනවා. එහෙම අපිට පෙනෙන්නේ තණ්හා, උපාදාන කියන තමන් ගාව ම තියෙන කෙලේසයේ ඡායාව රූපයට වැටිලයි, රූපය පුද්ගලයෙක් කරලා පෙන්වනකම තියෙන්නේ කියන එක දකින්න.
තණ්හා, උපාදාන නැති වෙනවා කියලා කියන්නේ රූපාදී ස්කන්ධ ටික ආත්ම කරලා පෙන්වනකම නැති වෙනවා. එතකොට පුද්ගලභාවය නිසා එන දුක සම්පූර්ණව ම නැහැ. ඒ හින්දා මාර්ගය හැටියට සතිපට්ඨානය වඩන්න. තමන්ගේ පැත්තෙනුයි රූපය පුද්ගලයෙක් කරලා තියෙන්නේ කියලා කිව්වට හිත පිළිගන්නේ නැත්නම් රූපය පැත්තේ ඇත්ත සතිපට්ඨානයේ කායානුපස්සනාවෙන් පෙන්නන්න. රූපයේ ඇත්ත පෙන්නන කොට හොඳට තේරෙනවා රූපය අනාත්මයි කියලා. ඇයි රූපය අනාත්මයි කියලා කියන්නේ?
· කන බොන ආහාරයෙන් හැදිලා හින්දත් අනාත්මයි කියලා කියනවා.
· පුද්ගල නොවන සත්ව නොවන කොටස් තිස් දෙකකින් හැදිලා හින්දත් අනාත්මයි කියලා කියනවා.
· කෙස්, ලොම්, නිය, දත්, සම් කියන කොටස් ටික පඨවි ධාතු. පිත්, සෙම්, සැරව, ලේ, දහඩිය කියන ගලන වැගිරෙන ස්වභාවය ආපෝ ධාතුව. ශරීරයේ දවන තවන උෂ්ණයක් තියෙනවා නම් තේජෝ ධාතුව. හමන, පිම්බෙන, හැකිලෙන, සොලවන, හකුලන, දිග හැරෙනකමක් තියේ නම් වායෝ ධාතුව. සම්පූර්ණ රූප කය විභජනයකට ලක් කළොත් ධාතු මාත්‍රයක් හම්බ වෙනවා. එහෙම බලන කොට ම “ඇත්ත තමයි, එහෙනම් රූපය ආත්ම කරලා පෙන්වන ගතිය (තණ්හාව) තිබිලා තියෙන්නේ හිතේ නේද” කියන එක ඔප්පු වෙනවා. ඒ විදිහට ඔයගොල්ලන් තමන්ට පිහිටක් කර ගන්න.
බාහිර පුද්ගලයෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා කියලා හිත සිහි කරන ගානේ “එහෙම පුද්ගලයෙක් හිටියෙත් නැහැ, ඉන්නවත් නෙවෙයි, ඉන්නේ ද නැහැ. අපි ගාව තියෙන කෙලේසයට ම යි පුද්ගලයෙක් හදලා තියෙන්නේ” කියන එක පෙන්වන්න.
රූපය සත්වයෙක් හෝ පුද්ගලයෙක්, වේදනාව සත්වයෙක් හෝ පුද්ගලයෙක්, සංඥාව සත්වයෙක් හෝ පුද්ගලයෙක්, සංඛාරය සත්වයෙක් හෝ පුද්ගලයෙක්, විඤ්ඤාණය සත්වයෙක් හෝ පුද්ගලයෙක් කියලා සක්කාය දිට්ඨියෙන් ගන්නේ නැහැ. ඒ ස්කන්ධයෝ සත්වයෙක් හෝ පුද්ගලයෙක් නෙවෙයි. තණ්හාව නිසයි ඒ ස්කන්ධයෝ පුද්ගලයෙක්, ආත්මයක් කරලා පෙන්වන්නේ කියලා දකිනවා.
ටීවී එකේ තියෙන රූපය කෙලේසයකට නම් අපිට ආත්ම කරලා පෙන්නුවේ; පුද්ගලයෙක් පෙනෙනවා, ඒ පුද්ගලයා කොහේ ඉඳන් ද එන්න ඇත්තේ, ඒ පුද්ගලයා කොහාට යයි ද කියලා පූර්වාන්තයට හා අපරාන්තයට දුවන එක සුදුසු ද කියලා බලන්න. ටීවී එකේ රූප, ශබ්ද සත්වයෙක්ගේ පුද්ගලයෙක්ගේ කළේ කෙලේසයෙන් කියලා දැක්කොත්, ඒ වගේ ම යි, තණ්හාව නැමති කෙලේසයෙන් තමයි මේ රූපය මම කියලා පෙන්නුවේ, තව පුද්ගලයෙක් සත්වයෙක් බව පෙන්නුවේ කියලා දන්නවා.
රූපයක් පෙනුණ තැනක අනාත්ම ස්කන්ධ ටිකක් තිබ්බේ, ඒ රූපය; මම කළේ/ පුද්ගලයෙක්/ සත්වයෙක් කළේ තණ්හා, උපාදාන කියන කෙලේසයෙන් කියලා හොඳට පෙනුණොත්, එනම් පුද්ගලභාවය ඇති වෙන හේතු ටික පෙනුණොත්, ඔයගොල්ලන්ට පුළුවන් ද මේ මම/ මේ පුද්ගලයා/ මේ සත්වයා කොහේ ඉඳන් ද ආවේ කියලා පූර්වාන්තයට දුවන්න? මේ මම/ මේ සත්වයා/ මේ පුද්ගලයා මරණින් පස්සේ කොහේ යයි ද කියලා අපරාන්තයට දුවන්න පුළුවන් ද?
රූපය පුද්ගලයා, වේදනාව පුද්ගලයා, සංඥාව පුද්ගලයා, සංඛාරය පුද්ගලයා, විඤ්ඤාණය පුද්ගලයා කියලා ඔයගොල්ලො ගන්නවා ද මනසේ තියෙන ඡායාවයි මේ ස්කන්ධ මතට වැටිලා තියෙන්නේ කියලා දැක්කොත්? එතකොට සක්කාය දිට්ඨිය ඉතුරු වෙයි ද? සක්කාය දිට්ඨිය දුරු වෙනවා.
සත්වයා කොහේ ඉඳන් ද ආවේ? කොහෙට ද යන්නේ? කියලා විචිකිච්ඡාවෙන් පූර්වාන්තයට හෝ අපරාන්තයට ඕගොල්ලෝ දුවයි ද, පුද්ගලභාවයේ දුක හදලා තියෙන්නේ තණ්හාවෙන් කියලා දැක්කොත්? අපේ රතු ලයිට් එකේ එළිය වැටිල ම යි පේන රූපය රතු පාට වුණේ කියලා දැක්කොත් රතු පාට රූපය කොහේ ඉඳන් ද ආවේ, කොහෙට ද යන්නේ කියලා අපි කියනවා ද? සුදු පාට රූපයේ සුදු පාට පෙනෙන්නේ නැහැ, රතු පාටටයි අපිට පෙනෙන්නේ. හැබැයි අපි එක කාරණාවක් දන්නවා. අපි ගාව තියෙන ලයිට් එක වැටිලයි රූපය රතු පාට වුණේ කියලා.
එහෙනම් දැන් සුදු පාට වහගෙන රතු පාට පෙනෙන්නේ මං ගාව තියෙන රතු පාට ලයිට් එකේ එළිය වැටිලා කියලා දන්න කොට ආයේ අහන්න කතාවක් නැහැ “මේ රතු පාට රූපේ කොහේ ඉඳන් ද ආවේ, කවුද ගෙනාවේ, කොහාට යයි ද” කියලා. ඒ වගේ එහෙනම් රූපය ද සත්වයා?, වේදනාව ද සත්වයා?, සංඥාව ද, සංඛාරය ද විඤ්ඤාණය ද සත්වයා කියලා කෙසේ ද කෙසේ ද විමති තියෙන්නේ නැහැ. ඒ ඇයි? ඒ ස්කන්ධයෝ අනාත්ම යි. ප්‍රත්‍ය නිසා හට ගන්න ධර්මයෝ ප්‍රත්‍ය නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියලා දන්නවා. ඒ වගේ ම ඒ ස්කන්ධයෝ සත්වයෙක්/ පුද්ගලයෙක්/මම කියලා පෙනුණේ අපි ගාව තියෙන තණ්හාව ස්කන්ධ ටික මත වැටිලා කියලා දන්නා නිසා.
ඒ හින්දා තමන්ට පිහිටක් කර ගන්න. තමන්ගේ ඇස් දෙක පාදගන්න. කල්ප කෝටි ප්‍රකෝටි ගාණකින් මේ ත්‍රිලක්ෂණය පැහැදිලි කරලා දෙන්න බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ නොවුණොත් මේ ලෝකය ආත්ම කරලා පෙන්වන්නේ තෘෂ්ණාව නැමැති වඩුවා කියන එක එළිපෙහෙළි කරලා දෙන්න කවුරුවත් නැහැ. මේ අවස්ථාව අතහැර ගත්තොත්, මේ ලෝකයෙන් මිදී ගන්න බැහැ, මේ දොරටුව වැහිලා යනවා. තව ටික දවසයි මේ නිවන් දොර ඇරිලා තියෙන්නේ.
ඒ හින්දා අප්‍රමාදීව සතිපට්ඨානය වඩමින් පෙනෙන, ඇහෙන ස්කන්ධ පැත්තේ අනාත්මය පෙන්න පෙන්න ආත්ම සංඥාව ගෙවා ගන්න. මේ දර්ශනය ඇතුව සතිපට්ඨානය වැඩුවොත් ඉක්මනට ආශ්‍රව ක්ෂය වෙනවා. පුද්ගලභාවය නිසා එන දුකක් තියෙනවා නම් තමන් ගාව තියෙන තණ්හාව නිසයි ආත්මභාවය, පුද්ගලභාවය හදලා දුක ගෙනත් දුන්නේ, තණ්හාව නැති කළොත් තමයි පුද්ගලභාවයේ දුක නැති වෙන්නේ කියන දර්ශනය නැතුව සතිපට්ඨානය වඩන්න ගියොත් අපිට පුද්ගලයෙක් පෙනෙනවා, සත්වයෙක් පෙනෙනවා කියලා ම යි හම්බ වෙන්නේ.
~~ තණ්හාව ගෙවෙන්න නම් ~~
සත්ව පුද්ගලභාවය අයින් කරන්න කියලා අපි සතිපට්ඨානය වඩනවා. නමුත් කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියන්නේ සත්වයෙක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි කුණුප කොටස් ටිකක් නේද තියෙන්නේ කියලා බැලුවට ආශ්‍රව ගෙවෙන්නේ නැහැ. ඇයි ඒ? පුද්ගලයාගේ ඇඟේ තියෙන්නේ මේ වගේ කොටස් කියලා තමයි අපි හිතන්නේ. ඊට පස්සේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා බැලුවට ආයෙත් පුද්ගලභාවයට පේනවා. ඒ මොකද? අපි දන්නේ නැහැ අපි බලන ගානේ පුද්ගලයාගේ ඇඟේ තියෙන්නේ මේ මේ දේවල් වගේ තැනකින් අපිට පේන්නේ මිසක දර්ශනය නැතුව බැලුවට සතිපට්ඨානය නිවැරදිව වැඩෙන්නේ නැහැ.
හොඳම කාරණාවක් තියෙනවා මතක තියා ගන්න. තණ්හාව කියන කෙලේසය නැති වෙන්නේ කය සම්මර්ශනය කරලා බලනකමට නෙවෙයි. නුවණට, අවබෝධයට යි තණ්හාව දුරු වෙන්නේ. කය එහෙම බලන්නේ කුමක් නිසා ද? රූපය අනාත්මයි කියන එක පෙන්වන්න. තණ්හාව ගෙවෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන්. අනාත්මයි කියන එක ඔප්පු වෙන කොට “ඇත්ත තමයි එහෙනම් තණ්හාව නිසා රූපාදී ස්කන්ධ ධර්මයන් ආත්ම කරලා දුක ගෙනත් දුන්න එක” කියලා ඔප්පු වෙනවා. අන්න ඒ අවබෝධයටයි තණ්හාව ගෙවෙන්නේ. එහෙම නැතුව රූපය කොටස් කොටස් එහාට මෙහාට වෙන් කෙරුවට තණ්හාව ගෙවෙන්නේ නැහැ. එනම් ස්කන්ධ ටික පුද්ගලයෙක් කියලා පෙන්වන ආත්ම සංඥාව ගෙවෙන්නේ නැහැ.
රූපය මම වගේ, සත්වයෙක් වගේ පෙනෙන හින්දයි දුක එන්නේ කියලා දන්නවා. හැබැයි ඒ දුක හැදුවේ මෙහෙමයි, ඒ දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නැතුව පුද්ගලභාවය තුළ ඉඳගෙන ම සතිපට්ඨානය වඩන අපි, “රූපය කන බොන ආහාරයෙන් නේ හැදුණේ; කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර ආදී කුණුප කොටස් ටිකක් නේ තියෙන්නේ” කිය කිය බල බලා කරන්නේ මොකක් ද? පුද්ගලභාවය අයින් කරන්න හදනවා. ඒ කරන ක්‍රියාව තුළ ම තියෙනවා චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන එක. ඔහොම කොටස් එහාට මෙහාට පෙරළලා බැලුවා කියලා පුද්ගලභාවයට හේතු වන තණ්හාව ගෙවෙන්නේ නැහැ. කුණුප කොටස් ටික නොබලපු නිසා නෙවෙයි තණ්හාව කියන එක තියෙන්නේ. තණ්හාව තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තණ්හාවත්, තණ්හාව නිසා අවිද්‍යාවත් ඔවුනොවුන්ට උපකාරව පවතින්නේ.
ඒ හින්දා ඔයගොල්ලෝ රූපය කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියලා, කන බොන ආහාරවලින් හැදුණේ කියලා, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මේ කයේ තියෙන්නේ කියලා හොඳට බලන්න. දර්ශනය තියා ගෙන බලන ගානේ “ඇත්ත නේ, හිතේ තියෙන තණ්හා, උපාදාන කියන කෙලෙස් ගතියටනේ රූපය ආත්ම කරලා පෙනෙන්නේ, තණ්හාව නිසායි රූපාදී ස්කන්ධ ධර්ම ටික පුද්ගලයෙක් හැටියට පෙන්නලා තියෙන්නේ, ආත්මයක් කරලා පෙන්වන්නේ කියන එක මොන තරම් ඇත්ත ද?” කියලා තමන්ට ම පැහැදිලි වෙනවා. ඒ මොකද? කය ආත්මයි කියලා අපිට හිතුනට, සම්මර්ශනය කරලා බලන කොට කය ඇතුළේ එහෙම ආත්මයක් හෝ ආත්මයට අයත් කොටස් හෝ නැත්නම්, එහෙනම් කෙලේසයකටයි රූපය ආත්ම කරලා පෙනෙන්නේ කියන නුවණ එනවා. එහෙනම් තණ්හාව නිසයි පුද්ගලභාවය හදලා තියෙන්නේ, දුක ඇති වෙන්නේ කියලා පේනවා.
අනාත්ම ලක්ෂණය මාර්ගයෙන් සම්මර්ශනය කරන කොට දුකත්, දුකට හේතුව සමුදයත් (තණ්හාව) කියන එක තහවුරු වෙන්න වෙන්න නිරෝධය සාක්ෂාත් වෙනවා. පුද්ගලභාවයේ ඉපදීම ම දුක. තමන්ගේ තණ්හාවටයි රූපය පුද්ගලයෙක් කරලා පෙන්වලා තියෙන්නේ කියලා දුක ඇති වීමට හේතුවත්, ඒ තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියන එක අහගත්තේ නැතුව සතිපට්ඨානය වඩන්න ගියාට ආශ්‍රව ක්ෂය වෙන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ සතිපට්ඨාන භාවනාව වැඩුවහම නොබෝ දවසකින් ම ඒ භික්ෂූන් වහන්සේලා විශේෂණයකට පත් වෙනවා කියලා පෙන්නනවා. අද බලන්නකෝ, සතිපට්ඨාන භාවනාව අවුරුදු ගණන් කරනවා. එහෙම විශේෂණයකට පත් වෙනව ද කියලා? නමුත් මේ අර්ථය තියා ගෙන එක මාසයක් හරියට කරන්නකෝ.
පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා කියලා සිහි කරන්න හදන කොට ම “බාහිර පුද්ගලයෝ සත්වයෝ ඉඳලා නැහැ. තමන්ගේ කෙලේසයෙනුයි ඒ රූප පුද්ගලයෙක් සත්වයෙක් කරලා තියෙන්නේ” කියලා පෙන්වනවා. හිත ඒක පිළිගන්නේ නැති වුණහම සතිපට්ඨානය වඩලා පෙන්වනවා. එනම් කායානුපස්සනාවෙන් රූපයේ ඇත්ත පෙන්නනවා.
රූපය කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක්, සතර මහා ධාතුයි කියලා පෙන්නන කොට ම “ඇත්ත නේ, මොන තරම් ඇත්ත ද එහෙනම්” කියලා“ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො”- භාග්‍යවතුන් වහන්සේ මනා කොට ධර්මය දේශනා කරලා තියෙනවා කියන වචනෙ ම ඔප්පු වෙයි.
ඒකයි චතුරාර්ය සත්‍ය දන්න කෙනාට සක්කාය දිට්ඨිය නැහැ කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය දන්නා කෙනා; රූපය, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ ටික ආත්ම කොට ගන්නේ නැහැ. එයාට පුබ‍්බන‍්තෙ කඞ‍්ඛති නැහැ (අතීතය පිළිබඳ සැකය නැහැ), අපරන‍්තෙ කඞ‍්ඛති නැහැ (අනාගතය පිළිබඳව සැකය නැහැ) කියලා කියන්නේ වෙන මුකුත් හින්දා නෙවෙයි. දුක, තණ්හාව නිසයි හැදුණේ කියලා දන්නවා. ඒ කියන්නේ ස්කන්ධ ටික ආත්ම කරලා පෙන්නුවේ, පුද්ගලයෙක් කරලා පෙන්නුවේ තණ්හාව නැමැති ලයිට් එකේ එළිය වැටිලා කියලා දන්නවා.
මම මේ කතා කරන ටිකේ අර්ථය හිතේ පැත්තකින් තියා ගෙන එක රැයක් දවාලක් සතිපට්ඨානය වඩන්න. ඔයගොල්ලන්ගේ හිත මනා කොට පිළිගනී ඇත්තට ම ස්කන්ධ, ධාතු, ආයතන, ලෝකය කියලා කියන්නේ අනාත්ම දෙයක්. තමන්ගේ පැත්තෙන් ආත්ම කරලා තියෙන්නේ කියලා ලෝකය කියන එක සත්ව පුද්ගල ආත්මභාවයෙන් තොර ශුන්‍යතාවයක් කියන එක පෙනෙයි නොබෝ දවසකින් ම. ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ ඒකට.
මතු සම්බන්ධයි
පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ හා පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් 'ලෝකයෙන් එතෙරට' ධර්ම ග්‍රන්ථය ඇසුරෙන්
0 Comments