ලෝකයෙන් එතෙරට- 1 දේශනාව - පළමු කොටස
නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස
සදා පූජනීය වන්දනීය මහා සංඝ රත්නයෙන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුන් සැම දෙනා ම මේ මොහොතේ සූදානම් වෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. මුලින් ම මතක් කරනවා, අද පෙන්නලා දෙන්න හදන කරුණු ටික ගොඩක් ම වටිනවා. ඒ නිසා ඉතාමත් ම උවමනාවෙන්, ඉතාමත් ම ඕනෑකමෙන් මේ කියන්නේ මොකක්ද කියන කුතුහලය, අදහස ඇතුව මනා සිහියකින් යුතුව ධර්මය ශ්‍රවණය කරන්න කියලා. හිත එහාට මෙහාට ගියොත් මේ පෙන්වා දෙන්න හදන දහම් කරුණු ටිකේ අර්ථය තේරුම් ගන්න අපහසු වෙයි.
බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ පහළ වෙන්නේ “අනිච‍්ච, දුක‍්ඛ, අනත‍්ත” කියන අකුරු අටකින් යුක්ත වචන තුනක් ලෝකයට පැහැදිලි කරලා දෙන්න කියලා පෙන්වනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ ලෝකයට හැමදාම වැහිලා තියෙන්නේ, ලෝකය වහගෙන තියෙන්නේ, මේ ලෝකෙට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණොත් ත්‍රිලක්ෂණය පිළිබඳව ලෝකයේ කවුරුවත් දන්නේ ම නැහැ.
~~ ලෝකයායේ මනස ~~
අපි ඒ පිළිබඳව මෙහෙම කතා කළොත්; ‘මමත් සත්වයෙක්, තව සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා’ කියන තැනකින් තමයි අපි ඉපදෙන්නේ. තව සත්වයෝ, පුද්ගලයෝ, ආත්මයන් ඉන්නවා කියන තැනකින් තමයි අපි ජීවත් වෙන්නේ. තව සත්වයෝ, පුද්ගලයෝ, ආත්මයන් ඉන්නවා කියන හැඟීම් ඇතිව ම කටයුතු කරලා අපි මිය යන්නෙත්, ලෝකය පිළිබඳව පුද්ගලභාවයකින් ඇසුරු කරන මනෝභාවයක් සහිතව ම යි. ලෝකයාගේ පැත්තෙන් ගත්තහම නිත්‍යයි, සැපයි, ආත්මයි කියන මානසික මට්ටමක් තමයි තියෙන්නේ.
නිත්‍යයි, සැපයි, ආත්මයි කියන මානසික මට්ටමක ම ඉපදිලා, ඒ මට්ටමක ම ජීවත් වෙලා, නිත්‍ය වූ, සැප වූ, ආත්ම වූ මනෝභාවයකින් ලෝකය ඇසුරු කර ගෙන කුසල හා අකුසල කර්ම රැස් කර ගෙන; නිත්‍යයි, සැපයි, ආත්මයි කියන මට්ටම තුළ ඉඳිමින් ම මැරිලා යනවා. එබඳු ලෝකයාට හැමදාම හැංගිලා තියෙනවා, පෙනෙන්නේ නැහැ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන ත්‍රිලක්ෂණය. අපි අද ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ; ඒ ත්‍රිලක්ෂණය වැහුණේ කොහොම ද, වැහිලා තියෙන්නේ කොහොම ද එය විවර කර ගන්නේ කොහොම ද කියන කාරණාව පිළිබඳව.
ඒ වගේ ම රෝහිතස්ස සූත්‍රය වගේ සූත්‍රවල දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා; මහණෙනි, ලෝකයත්, ලෝකය ඇති වීමත්, ලෝකය නැති වීමත්, ලෝකය නිරුද්ධ කරන ප්‍රතිපදාවත් බඹයක් පමණ ශරීරයෙන් ම පනවමි කියලා. එතකොට ඒ ලෝකය අපි තුළින් ම දකින්නත්, තමන් තුළින් ම හට ගත්තේ කොහොම ද කියන කාරණාවත් ඒ තුළින් විවර වෙනවා. ඒ එක්ක ම චතුරාර්ය සත්‍යයත් අපිට පෙනෙනවා. අපි ඒ කාරණාව පොඩ්ඩක් බලමු.
~~ දුක්ඛ සත්‍ය හඳුනා ගනිමු ~~
අපි ඉස්සෙල්ලා දුක්ඛ සත්‍යයෙන් පටන් ගනිමු. හොඳට බලන්න දුක්ඛ සත්‍යය කියන කොට; සත්ව පුද්ගලභාවය නිසා ලෙඩ වීමේ දුක, මහලු වීමේ දුක, මරණ දුක, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක, අප්‍රිය පුද්ගලයන් ලැබීමේ දුක, බලාපොරොත්තු වෙන කැමති දේවල් නොලැබීමේ දුක ආදී යම් තාක් දුකක් තියෙයි නම්, මේ සියලු දුක් ටික බුදුරජාණන් වහන්සේ පෙන්වලා, මේ දුකට හේතුව තණ්හාව කියලා දේශනා කළා. තමන්ගේ පැත්තෙන් ඇති වෙන තණ්හාව නැමැති කෙලේසයෙන් දුක හට ගත්තේ කියලා පෙන්වනවා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක් නැති කරන මගයි කියලා පෙන්වනවා.
ඒ කාරණාව පිළිබඳව බොහෝ ගැඹුරකට යන්නේ නැතුව සරල මට්ටමින් ගත්තොත්, තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණාව. පටිච්චසමුප්පාදයේ දී පෙර අවිද්‍යා කර්මයට ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය මව් කුසක බීජ කළලයට බැස ගෙන කයක් සවිඤ්ඤාණක කරලා ඇස, කන, දිව, නාසය, ශරීරය කියන ආයතන ටික හදා ගන්නවා. ඊට පස්සේ, ඒ සවිඤ්ඤාණක ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ඵොට්ඨබ්බ, මනසට ධම්මාරම්මණ ආදී බාහිර අරමුණු ස්පර්ශ වෙනවා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම ආදිය ගැටෙන කොට චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිහ‍්වා විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ වගේ සිත් ඊට අනුගතව ඉපදිලා, ස්පර්ශය නිසා වේදනා, සංඥා පහළ වෙනවා කියලා නාම රූප දෙකක් ඇති වෙනවා. ඒ කියන්නේ; අපිට රූපයක් පෙනෙන, ශබ්දයක් ඇහෙන, ගඳ සුවඳ දැනෙන, රස දැනෙන, ස්පර්ශ දැනෙන, අරමුණු දැන ගන්න මට්ටම.
ඒ රූපයක් පෙනෙන, ශබ්දයක් ඇහෙන, ගන්ධයක් දැනෙන, රසයක් දැනෙන, ඵොට්ඨබ්බයක් දැනෙන, අරමුණක් දැන ගන්න තැනක තියෙන ස්කන්ධ ටිකට කියනවා පංච උපාදානස්කන්ධයක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ස්කන්ධයන්ගේ ලක්ෂණය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා.
~~ තණ්හාවේ කෘත්‍ය ~~
හොඳට මතක තබා ගන්න රූපයක් පෙනෙන කොට, ශබ්දයක් ඇහෙන කොට, කෙනා කෙනාගේ මනස පැත්තෙන් තණ්හා උපාදාන භව කියන කෙලේසයෙන් සම්පූර්ණයෙන් ස්කන්ධ ටික නිත්‍යයි, සැපයි, ආත්මයි කරලා පෙන්වනවා. අපි කෙටියෙන් ගත්තහම, ඇහැට පෙනෙන්නේ සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක්. තණ්හා, උපාදාන කියන කෙලේසයෙන් මොකද කරන්නේ? රූපය ආත්මයක් හැටියට, සත්වයෙක් හැටියට, පුද්ගලයෙක් හැටියට පෙන්නනවා.
~~ අවිද්‍යාව යනු ~~
අවිද්‍යාව කියලා කියන්නේ පෙනෙන රූපය, ඇහෙන ශබ්දය පුද්ගලයෙක්, සත්වයෙක්, ආත්මයක් කරලා පෙන්නුවේ තමන් ගාව ම තියෙන තණ්හාව නිසා නේද කියලා අපි දන්නේ නැහැ. තණ්හාව නැති කළොත් (තණ්හාව නැති කරනවා කියලා කියන්නේ රූපාදී ස්කන්ධ ටික ආත්ම විදිහට පෙනෙන ගතිය නැති එකට) පුද්ගලභාවය නිසා එන දුක උපදින්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ රූපාදී ස්කන්ධ ටික පුද්ගලයෙක් හැටියට පෙන්වන කෙලේසය ගෙවන්න තියෙන මග කියලා දන්නේ නැහැ. ඒ නොදන්නාකම නිසා, අපි කපපු වලේ අපි ම වැටෙනවා. ඉන්න පුද්ගලයෙක්, හිටපු පුද්ගලයෙක් හම්බ වෙනවා වගේ තැනකින් තමයි අපි ස්කන්ධ ටික ඇසුරු කරන්නේ.
“අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා” කියලා කියන්නේ ඉන්න කෙනෙක්ව, තිබුණු දෙයක් දකින මට්ටම. හොඳට බලන්න, මෙතැන දී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා රූපය ආත්ම විදිහට පෙන්වනකම තියෙන්නෙ තණ්හා, උපාදාන, භව කියන කෙලේසයෙන් කියලා. රූපය ආත්ම කොට තමන්ට පෙනෙන්නේ රූපය ආත්ම නිසා නෙවෙයි, රූපය අනාත්මයි. අනාත්ම රූපයක් ඇස් ඉදිරිපිටට එනවා, තණ්හා උපාදාන කියන කෙලේසෙන් කරන්නේ ඒ රූපය ආත්ම විදිහට පෙන්වන එක. එතකොට සත්ව පුද්ගලභාවයේ දුකක් විඳිනවා නම්, ඒ දුකට හේතුව ‘තණ්හාවයි’ කියලා කියන්නේ, ස්කන්ධ ටික සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් කරලා පෙන්වනකම කරන්නේ තණ්හා, උපාදානය නිසා.
~~ ටීවී එකකින් අනාත්මය අවබෝධයට ~~
අපි වෙනදා කතා කරපු උපමාව බලමු. ටීවී එකක තියෙන රූපය දිහා හොඳට බැලුවොත්ම, අපි දන්නවා ඒ රූපයේ යථාර්ථය සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක්. හැබැයි ඒ රූපය දකින කොට අපි ගාව තියෙන තණ්හා, උපාදාන කියන කෙලේසයෙන් ඒ රූපය ආත්ම කරලා පෙන්වන්නේ. අපිට ටීවී එක ඇතුළෙත් පුද්ගලයන්ගේ කතා, සත්වයන්ගේ කතා, පුද්ගල චරිත, පුද්ගලයෝ කරන කියන දෙයක් දිහා බලලා සැප දුක් විඳින්න පුළුවන්. ඒ මොකද? තණ්හාවේ කෘත්‍ය තමයි;
· ඇස් ඉදිරිපිටට එන රූපය, පුද්ගලයෙක් කරලා පෙන්වනකම
· කනට ඇහෙන ශබ්දය සත්වයෙක්ගේ ශබ්දයක් කරලා පෙන්වනකම
· නාසයට දැනෙන ගන්ධය සත්වයෙක්ගේ ගන්ධයක් කරලා පෙන්වනකම
· දිවට දැනෙන රසය සත්වයෙක්ගේ රසයක් කරලා පෙන්වනකම
· කයට දැනෙන ස්පර්ශය සත්වයෙක්ගේ ස්පර්ශයක් කරලා පෙන්වනකම
· හිතින් අරමුණක් සිහි කරන කොට සත්වයෙක් සිහි කරනවා කියලා පෙන්වනකම.
මහා ගැඹුරු දෙයක් නෙමෙයි සරල කාරණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රූපය සත්වයෙක් හැටියට පෙනෙන්නේ තණ්හා උපාදාන කියන තමන්ගේ කෙලේසය නිසයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පින්වතුන්, හොඳට ඇස් ඇරලා බලන්න, ටීවී එකේ අපිට පුද්ගලයෙක් පෙනෙන්නේ පුද්ගලයෙක් ඉන්න හින්දා ද, නැතිනම් අපි ගාව තියෙන කෙලේසයකින් ඒ පෙනෙන රූපය පුද්ගලයෙක් කරලා ද කියලා? හොඳට බැලුවොත් අපිට පෙනෙනවා, ඒ රූපය පුද්ගලයෙක් නෙවෙයි. අපි ගාව තියෙන කෙලේසයටයි ඒ රූපය පුද්ගලයෙක් කරලා පෙන්නුවේ කියලා.
ඒ සිද්ධිය ම ආදේශ කරන්න සැබෑ ජීවිතයේ ඔබ ඉදිරියේ හම්බ වෙන රූපවලට. ඒ රූප ටික පුද්ගලයෙක් හින්දා නෙවෙයි; ඇස් ඉදිරිපිටට එන වස්තුවක් ආත්ම කරලා ගන්න, කන ඉදිරිපිටට එන ශබ්දයක් ආත්ම කරලා ගන්න කෙලේසයක කෘත්‍ය කරනවා තණ්හා, උපාදාන කියන කෙලෙස් ටිකෙන්. හොඳට බලන්න, තමන්ගේ පැත්තෙන් තණ්හා, උපාදාන කියන කෙලේසය ස්කන්ධ ටික මත පතිත කරලා සත්ව පුද්ගලභාවයක් හැදුවහම, දැන් රූප පැත්තේ සත්වයෝ, පුද්ගලයෝ ඉන්නවා වගේ පේනවා.
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුණේ නැත්නම්, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ඒ ධර්මය අපි දන්නේ නැත්නම්, අහලා නැත්නම්, ඉගෙන ගෙන නැත්නම්, කෙලේසයකිනුයි පෙනෙන ඇහෙන දේ අරභයා පුද්ගලභාවයක් ඇති කෙරුවේ කියලා දන්නේ නැති වුණහම, උගන්නන්න කෙනෙක් නැති වුණහම, ‘පුද්ගලයෙක් ඇත්තට ම ඉන්න හින්දයි පුද්ගලයෙක් හම්බ වෙන්නේ’ කියලා අපි හිතන්නේ, අපි රැවටෙන්නේ.
මහ ගොඩක් ගැඹුරු සිද්ධියක් නෙමෙයි මේ කියන්නේ. ඇස් ඉදිරිපිටට පහළ වෙන රූපය අනාත්ම ම යි. ඒ පෙනෙන රූපය ආත්ම කරන, පුද්ගලයෙක් කරන, සත්වයෙක් කියලා පෙන්වනකම තියෙන්නේ තණ්හා, උපාදාන, භව කියන කෙලේසයටයි කියලා පෙන්වනවා. ඒ කෙලේසයට හසුවෙන නිසායි ස්කන්ධ ටිකට කියන්නේ උපාදානයට හිතයි කියලා. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික උපදින කොට අපිට සත්වයෙක් පුද්ගලයෙක් කියලා පෙනෙනවා. එවිට සත්ව පුද්ගලභාවයේ දුක එනවා.
සත්වයෙක් ඉන්න හින්දා, සත්වයෙක් කියලා පෙනිලා නෙවෙයි තියෙන්නේ. ටීවී එකේ තියෙන රූපය සත්වයෙක් කරනකම තිබිලා තියෙන්නේ තමන්ගේ පැත්තේ කෙලේසයකින්. පෙනෙන රූප, පුද්ගලයෙක් කරලා තියෙන්නේ තමන්ගේ පැත්තේ කෙලේසයකින් නේද කියන එක දන්නේ නැති වුණහම ටීවී එක පැත්තෙන් පුද්ගලයෙක් දැකලා, අපි සැප, දුක් විඳිනවා. “අර පුද්ගලයාගේ නපුරුකම බලන්නකෝ, අර පුද්ගලයා වැටුණු හැටි බලන්නකෝ” කියලා කතා කරනවා.
ටීවී එකක රූපයක් පෙනෙන තැනකයි, අපි සැබෑ ලෝකේ කියලා කියන තැනක පෙනෙන රූපයක තියෙන කතාව එක ම යි. ඒ තමයි රූපය අනාත්මයි කියන එක. ඇස් ඉදිරිපිටට ටීවී එකේ වගේ රූපයක්, කන ඉදිරිපිටට ටීවී එකේ වගේ ශබ්දයක් හම්බ වෙන කොට තමන් ගාව තියෙන තණ්හා, උපාදාන කියන කෙලේසයෙන් කරන්නේ ඒ රූපය ආත්ම කරලා පෙන්වනවා. අපේ ම මනසේ ඡායාව නේද ස්කන්ධ ටික මතට පතිත වෙලා තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි ගාව තියෙන කෙලේසයට ආත්ම කරලා ඒ රූපය ආත්ම කරලා පෙන්නනවා නේද කියලා දන්නේ නැහැ, ඉගෙන ගෙනත් නැහැ.
ඊට පස්සේ බාහිර ඉන්න කෙනෙක්ව, හිටපු කෙනෙක්ව ඇසුරු කරන විදිහට හිත් මෙහෙයවනවා. ඕක තමයි අපිට වෙලා තියෙන දේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ‘තමන් තුළින් දුක හදා ගත්තා’ , ‘තමන් තුළින් ලෝකය හදා ගත්තා’ කියලා දකින්න කියලා පෙන්නුවේ.
අතීතයේ රූපයක් තිබුණා නම්, වර්තමානයක රූපයක් තියෙනවා නම්, අනාගතයට හම්බ වෙන රූපයක් තියෙනවා නම් ඒ රූප ඔක්කොම අනාත්මයි. නමුත් තමන්ගේ ඇස් ඉදිරිපිටට එන කොට තණ්හාවේ ඡායාව ඒ රූපය මත වැටෙනවා. එතකොට හම්බ වෙන්නේ අපිට ඒ රූප පුද්ගලයෙක්, ආත්මයි වගේ. අතීතයේදීත් පුද්ගලයෝ, සත්වයෝ අපිට හම්බ වෙලා තියෙනවා. පෙනුණු, ඇහුණු ස්කන්ධ ටිකට අපේ මනසේ තණ්හාවේ ඡායාව වැටීම නිසා. දැනුත් අපිට පුද්ගලයෝ, සත්වයෝ පෙනෙනවා. ඒ රූපයක් පෙනෙන කොට, ශබ්දයක් ඇහෙන කොට තණ්හා, උපාදාන කියන මනසේ ඡායාව වැටීම නිසා. අනාගතයටත් අපිට පුද්ගලයෝ පෙනෙයි තණ්හා, උපාදාන කියන කෙලෙස් තිබුණොත්.
තණ්හා, උපාදාන කියන කෙලේසයන් නැති වුණොත්, අපිට ටීවී එහෙම වැඩක් නැතුව යනවා. අපිට තණ්හා, උපාදාන කියන කෙලේසය තියෙනකන් ටීවී එකට වටිනාකමක් හම්බ වෙයි, එතකන් රූප බලමින් සත්ව පුද්ගලභාවය උපදවා ගෙන සැප, දුක්, උපේක්ෂා විඳින්න පුළුවන් වෙයි. ඒ වගේ ම තණ්හා, උපාදාන කියන කෙලේසයන් තියෙනකන් ලෝකයක් හම්බ වෙයි. ලෝකය වටින්නේ නැති වෙයි, ලෝකයේ අරමුණු නැති වෙයි අපිට ඒ කෙලේසයන් නැති වුණොත්. හොඳට බලන්න, හැමදාම රූප ටික ආත්ම කරලා පෙන්වනකම තමන්ගේ පැත්තේ නම් තියෙන්නේ; සත්වයෙක්ගේ, පුද්ගලයෙක්ගේ රූපයක් අතීතයෙත් තිබිලා තියෙනව ද, දැන් ද තියෙනව ද, අනාගතයටත් තියෙනව ද කියලා. එවිට සම්පූර්ණ ලෝකේ ශුන්‍යතාවයක් හම්බ වෙන හැටි බලන්න.
~~ උපමාවක් ~~
උපමාවක් විදිහට, අපි ඔළුවේ පැළඳ ගෙන ඉන්නවා ලයිට් එකක්. හැබැයි මේ ලයිට් එක රතු පාටයි. අපි ඉපදෙන කොට ම නළලේ රතු පාට ලයිට් එක හයි කරලා ම තමයි ඉපදෙන්නේ. ඒ ලයිට් එකෙන් තමන්ගේ ශරීරය බැලුවහමත් රතු පාටට තමයි පෙනෙන්නේ. ඇස් ඉදිරිපිටට මොන රූපයක් හම්බ වුණත්, ඒ රතු පාට ලයිට් එක නිසා රූප රතු පාටට තමයි පෙනෙන්නේ. ශබ්දයක් ඇහුණත් ඒ රතු පාට එළිය තමයි වැටෙන්නේ කියලා හිතන්නකෝ. දැන් එතකොට තමනුත් රතු පාටයි, අනෙක් හැම රූපයක්මත් රතු පාටයි කියන තැනින් ඉපදිලා, රතු පාටයි කියන තැනින් ම ජීවත් වෙනවා.
එහෙම රතු පාටයි කියන තැනින් ම කටයුතු කරන කොට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා කියනවා කියලා හිතන්නකෝ, ‘රූපය සුදු පාටයි’ කියලා. එහෙම කියන්නේ ඇයි කියලා පෙන්නනවා; කන බොන ආහාර පාන කියන්නේ ‘සුදු පාට’ ඒවා. කන බොන ආහාරයෙන් හැදුණහම ඒ රූපය සුදු පාට වෙන්න ඕනේ. සුදු පාට ආහාරයක් නිසා රතු පාට රූප හැදෙන්න බැහැ. ඒ හින්දා මේ රූපය හැදිච්ච හේතුවක්, ප්‍රත්‍යයක් තියෙනවා නම් ඒ හේතුවත්, ප්‍රත්‍යත් දිහා බැලුවහම රූපය ‘සුදු පාටයි’ කියලා කියනවා. හැබැයි අපිට දැනිලා තියෙන අත්දැකීම රූපය රතු පාටයි කියන එක.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සුදු පාට රූපය ස්පර්ශය නිසා පෙනෙන කොට, ඇහෙන කොට ඒකට තමන් ගාව තියෙන රතු පාට ලයිට් එක වැටිලයි රතු පාටට පෙනෙන්නේ. එහෙම නැතුව රූපය රතු පාට නිසා නෙවෙයි රතු පාටට පෙනෙන්නේ කියලා. රූපය සුදු පාටයි. සුදු පාට රූපයට තමන්ගේ ලයිට් එක වැටිලයි රතු පාටට පෙනෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ තිබුණු රූපයක් තියෙනවා නම්, දැන් ද රූපයක් තියෙනවා නම්, අනාගතයේ හට ගන්න රූපයක් තියෙනවා නම් මේ රූප ඔක්කොම සුදු පාට ම තමයි. හැබැයි තමන් ගාව රතු පාටට පෙන්වන ලයිට් එක තියෙන තාක් ඒ ලයිට් එකේ ආලෝකය වැටුනහම පෙනෙන්නේ රූපය රතු පාටටයි කියලා. ඒ කියන්නේ රතු පාට රූපයක් අපිට හම්බ වෙන්නේ අපේ ම ලයිට් එක වැටිලා හින්දා මිසක රූපය රතු පාට හින්දා නෙවෙයි.
හොඳට බලන්න, තමන්ගේ සම්බන්ධතාවකින් තොර ව තමන්ගේ ලයිට් එකේ රතු පාට එළිය වැටුණේ නැති, බාහිර තියෙන රතු පාට රූප සිහි කරන්න පුළුවන් ද කියලා අපිට. එහෙම බැහැ. අපි රතු පාට යමක් සිහි කරනවා නම් අපේ ලයිට් එකේ එළිය වැටිලා හම්බ වෙච්ච රතු පාට දෙයක් සිහි කරන්න පුළුවන් මිසක ලයිට් එළියට හම්බ වුණේ නැති දෙයක් සිහි කරන්න බැහැ. ඒ රතු පාට ලයිට් එක වගේ තමයි තණ්හා, උපාදාන, භව කියන කෙලේසයෙන් පෙන්වපු ආත්ම සංඥාව. සුදු පාට වගේ තමයි අනාත්මයි කියන එක.
කන බොන බත්, පාන්, කවුපි, මුං ඇට වගේ දේවල් අනාත්මයි, කලින් උදාහරණය අනුව ගත්තොත් ඒවා සුදු පාටයි. අඹ ගහක දෙල් හැදෙන්නේ නැහැ, දෙල් ගහක අඹ හැදෙන්නේ නැහැ වගේ අනාත්ම වූ හේතුවක් නිසා ආත්ම වූ ඵලයන් හට ගන්නේ නැහැ. කන බොන බත්, පාන්, කව්පි, මුං ඇට කියන ටික සත්ව පුද්ගල නොවන අනාත්මයි නම්, ඒ අනාත්ම වූ ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්න රූපය ද අනාත්ම ම යි.
එතකොට අනාත්මයි කියලා කියන්න තවත් හේතු තියෙනවා. තමන් වශයෙහි පවතින්නෙත් නැහැ, වෙනස් වෙනවා, විපරිණාම වෙනවා. එහෙනම් මේ රූප ටික ආත්ම කරන ගතිය තිබිලා තියෙන්නේ තණ්හාව නිසයි කියලා පෙන්වනවා. ඒකයි දුකට හේතුව තණ්හාව කියලා පෙන්වන්නේ. අපි සත්ව පුද්ගලභාවයෙන් දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුව රූපාදී ස්කන්ධ ධර්ම ටික ආත්ම කරලා පෙන්වපු ‘තණ්හාව’ කියලා පෙන්වනවා. තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක නැති කරන මග යි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, සම්මා දිට්ඨිය මුල් කර ගෙන.
දැන් ඔය ටික අපිට තේරුණත් හිත පිළිගන්නේ නැහැ. ටීවී එකේ වගේ උපමාවක් කියන කොට තේරෙනවා, “ඇත්ත තමයි. එහෙනම් තමන්ගේ ළඟ තියෙන කෙලේසයෙන් තමයි පුද්ගලභාවය හදලා තියෙන්නේ. බාහිර පුද්ගලයෙක් ඉන්න හින්දා පුද්ගලයෙක් හැටියට පෙනිලා තියෙනවා නෙවෙයි. අනාත්ම වූ ස්කන්ධ ටික පුද්ගලභාවයට පෙන්වන කෙලේසය නිසා පුද්ගලයෙක් පෙනිලා තියෙන්නේ” කියන එක තේරෙනවා. පුද්ගලභාවය නිසා එන දුකක් තියෙනවා නම්, ඒ පුද්ගලභාවය නිසා එන දුක තණ්හාව නිසයි. හැදුවේ. තණ්හාව නැති කළොත් පුද්ගලභාවය නැති කරන්න පුළුවන්. ඒ දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා චතුරාර්ය සත්‍යය නොදන්නා කාලයේ, එනම් පුද්ගලභාවයකින් රූප පෙනෙනකම හැදුණේ මෙහෙමයි කියන එක නොදන්නා කාලයේ, ඒ නොදන්නාකම නිසා බාහිර ඉන්න පුද්ගලයන්ව ඇසුරු කරන විදිහට, ඉන්න පුද්ගලයෝ ගැන හිතන ආකාරයට හිතලා හුරුවක් තියෙනවා අපිට. ඒ හුරුව තව ම අපේ ගෙවිලා නැහැ.
අර උපමාවේ වගේ, නළලේ තියෙන ලයිට් එකේ රතු පාට එළිය වැටිලයි රූප රතු පාට කරලා තියෙන්නේ කියලා දැන් අපිට පෙනුනට, තවම රතු පාට වූ රූප සිහි කරන අත්දැකීම අපේ ගෙවිලා නැහැ. ඒ වගේ, රූපය ආත්මයක් හෝ ආත්මයකට අයිති දෙයක් හෝ නෙමෙයි කියලා දන්නවා. නමුත් අනන්ත සංසාරෙක ඉඳලා ආත්ම සංඥාවෙන් ලෝකය ඇසුරු කරපු හුරුව ගෙවිලා නැහැ තවම.
මතු සම්බන්ධයි
පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ හා පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් 'ලෝකයෙන් එතෙරට' ධර්ම ග්‍රන්ථය ඇසුරෙන්
0 Comments