අවිද්‍යාව සියලු ආශ්‍රවයන්ට පදනමයි...සබ්බාවාස සූත්‍රය 4


සබ්බාසව සූත්‍රය 4

නමො තස්ස භවතො අරහතො සම්මා සම්බුද්ධස්ස...

නොදන්නාකම හෙවත් අවිද්‍යාව මූලක්ලේශ ධර්මයකි. මූලක්ලේශයක් යනු සියලු අකුසලයන්ට මුල්වනු ලබන්නකි. කෙලේසයක යථාර්ථය පිළිබඳව නොදන්නා මෝඩකම අවිද්‍යාව නමින් හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව කළ විග්‍රහය "තත්ථ කතමො අවිජ්ජාසවො? දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං, පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛණා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්‍යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසල මූලං - අයං වුච්චති අවිජ්ජාසවො." යනුවෙන් ධම්මසංගණී ප්‍රකරණයෙහි දැකිය හැකිය.

1. දුක්ඛෙ අඤ්ඤාණං

දුක පිළිබඳව නොදන්නාකම. දුක යනු කායිකව හා මානසිකව ඇතිවන වේදනාත්මක භාවයෙන් පමණක් අප හඳුනන දෙයකි. එය කවුරුත් වේදනාත්මකව විඳිනු ලබන දෙයක් වන අතර, එහි වේදනාත්මකව නොදන්නාකමක් සවිඤ්ඤාණිකයෙකුට නැත. යටත් පිරිසෙන් තිරිසන්ගත සත්ත්වයෙක් පවා දුක පිළිබඳව එලෙසට හඳුනා ගනී. එසේ නම් දුක්ඛෙ අඤ්ඤාණං යනු ඒ වේදනාත්මක බව නොවේ. දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රතිවේද නොකළ බව දුක්ඛෙ අඤ්ඤාණ බවයි. ඒ ප්‍රතිවේදය "දුක්ඛෙ ඤාණ"යයි. එහිදී දැන ගනු ලබන්නේ වේදනාත්මක දුක නොව, දුක්ඛ ලක්ෂණයෝය. එය කායික හෝ මානසික දුකට මෙන්ම, සැපට ද උපේක්ෂාවට ද පොදු වූ තත්ත්වයකි. ඒ සෑම තැනක ම දුක්ඛ ලක්ෂණයෝ පවතී. දුක්ඛ ලක්ෂණ ප්‍රධාන ලෙස,

• පීළණාර්ථ -
 පෙළීම් ලක්ෂණය. එනම් මානසික පෙළීම නොවේ. හේතු ධර්මයන්ගේ පවත්නා පෙළීමයි. යම් දෙයක් සකස් වන්නේ හේතු සමූහයක් නිසා නම්, ඒ සියල්ලේම පෙළීම් සහිත බවක් පවතී. එකක් රඳා පවතිනුයේ තවත් එකක් මත වීම නිසා ම, එකක වැයවීමෙනිදු අනෙක් ධර්මයන්ට පැවැත්විය නොහැකිය. උදාහරණයක් ලෙස ඇස හා රූපයත්, ඒ ඇස පිළිබඳව පහළ වූ රූප දැන ගන්නා සිතත් යන හේතු තුනක වැය වීම පෙනීම ලෙස හැඳින්විය හැකිය. අප රූපය කීව ද එහි ඇත්තේ ඒ තුනක එකතුවකි. රූපය කීව ද තනි දෙයක් නොව මේ තුනේ වැයවීමයි. දැන ගන්නා සිත කීව ද මේ තුනේ ම එකතුවයි. ඒ එකක එකක පැවැත්මක් නැති කල, අනෙක්වා පැවැත්විය නොහැකිය. රූපය නොපවතින කල ඇස ඇතැයි කිව නොහැකි අතර ම, ඇස ඇති කල්හි රූපයත්, රූපය ඇති කල්හි ම ඇසත් ප්‍රකට වේ. 

මේ ධර්ම දෙක අවියෝජනීය ය. එසේම මේ ධර්ම ද්විත්වයේ එකතුව තිබුණ ද එහි යොමු වූ මනසිකාරයක් නැත්නම්, ඒ ධර්ම නොවැටහේ. දත නොහැකි වේ. එසේ නම් එහි තද්භාගීය වූ විඤ්ඤාණයාගේ පහළ වීමත් යන කරුණු ඇති තැනෙකම පෙනීම පැනවිය හැකිය. එකක් එකක් රඳා පවතිනුයේ අනෙක මතය. එකක හෝ වැය වීමෙන් අනෙක් ධර්මයන්ට පැවතිය නොහැකිය. ඒ නිසා ඒ එකක් අනෙකකට හේතුවීමේදී හේතූන්ගේ පීළණාර්ථයක් ඇති වේ. එය නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුත්තක් විනා සාමාන්‍යයෙන් නොවැටහෙන්නකි. ඒ ප්‍රත්‍යක්ෂය දුක්ඛෙ ඤාණයයි.

• සංඛතාර්ථ - 
සංඛත යනු හේතු නිසා සකස් වන බවයි. හේතු නිසා යමක සැකැස්ම වේ නම් එය සංඛත ධර්මයකි. සංඛත ධර්මයන්ගේ විද්‍යමාන වන සංඛත ලක්ෂණ තුනකි. "තීණිමානි භික්ඛවෙ සංඛතස්ස සංඛත ලක්ඛණානි, කතමානි තීණි, උප්පදො පඤ්ඤායති. වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති" එනම්, උත්පාදයත්, වැය වීමත් හා සිටියහුගේ වෙනස් බවත් යන මේ තුනය. ඒ අනුව යම් දෙයක මේ ලක්ෂණ පවතී නම් එය දුකකි. තමන්ට අවශ්‍ය පරිදි නොපැවැත්විය හැකි දෙයකි.

• සංතාපාර්ථ - 
සංතාපන ස්වභාවයයි. තාපනය යනු තැවීමයි. දුක්ඛ ධර්මය සංතාපන ලක්ෂණයෙන් යුක්තය. රූපය පරිපාකයට හෙවත් පැසීමට යෑමට එහි පවත්නා තේජෝ ගුණිකත්වය හේතු වෙයි. එලෙසට ම හේතුන්ගේ ආයු සන්තතිය මුහුකුරා යන බව සංතාප ලක්ෂණයයි. දුකෙහි පවත්නා වේදනාත්මක බව ද මෙයින් ගම්‍ය වෙතැයි ද අදහසක් වේ.

• විපරිණාමාර්ථ - 
යම් ධර්මයක් හේතු නිසා සකස් වූයේ නම් හෙවත් සංඛත නම්, එහි පවත්නා ස්වභාවය ලෙස වෙනස්ව යෑම, විපරිණාමය ලෙස දැක්විය හැකිය. හේතු සමූහයක ප්‍රතිඵලයක් ලෙසට යම් දෙයක හට ගැනීම පෙනේ නම්, විපරිණාම ලක්ෂණය දැකිය හැක්කේ එහිය. හේතූන්ගේ ඇති පීළණාර්ථය නිසා ම, ඇති වූ දෙයෙහි විපරිණාමයක් දැකිය හැකිය. එනම්, වෙනස්ව යෑමයි. ඇස, රූප හා චක්ඛු විඤ්ඤාණය ආදියේ වෙනස්ව යෑම නිසා ම, ඊට වඩා වෙනස් ස්වරූප වූ සිත් එය අරමුණු කොට පැවතිය හැකිය.

ඒ අනුව ලෝකයේ පවත්නා ධර්මයන්ගේ මේ යථා ලක්ෂණය ප්‍රතිවේද නොකිරීම 'දුක්ඛෙ අඤ්ඤාණං' යනුවෙන් හඳුන්වනු ලැබේ. එසේ නොදන්නාකම ඇති විට දුක්ඛ ධර්මයන්හි සැපයයි ගන්නා විපල්ලාසයන් ඇති වේ. එනම් ලෝකයේ සැප පවත්නා දේවල් ඇති බවට කල්පනා කරයි. රූප, ශබ්දාදිය සංකල්ප සමග එක් කොට පවත්නා දේ යැයි කල්පනා කරයි. ඒ අනුව පවත්නා දේවල්හි වටිනාකම්, නොවටිනාකම් පිරික්සා බලයි. වටිනා දේට ඇලීමත්, අනෙක්වා පිළිබඳව පවත්නා ගැටීම හෝ මෝහ උපේක්ෂාව පවත්වයි. යථාර්ථයට අනුව ගත් කල, ඒ ඇලුණු සැප වේදනාවේත්, දුකේත්, උපේක්ෂාවේත් පැවතියේ ඉහත කී දුක්ඛ ලක්ෂණයන් ම ය. ඒ බව නොදන්නා කමින් පුද්ගල බවින් ඇසුරු කිරීම ම අවිද්‍යාවයි.

2. දුක්ඛ සමුදයේ අඤ්ඤාණං

දුක්ඛ සමුදය යනු දුකේ හට ගැනීමට වන හේතුවයි. ඒ පිළිබඳව පවත්නා නොදන්නාකම ද අවිද්‍යාවයි. කායික හා මානසික වශයෙන් පවත්නා වේදනාවට හේතුව පමණක් දුක්ඛ සමුදය ලෙස සිතිය නොහැකිය. බොහෝවිට දුක පිළිබඳව සහ දුක ඇති වීම පිළිබඳව නොදන්නා පුද්ගලයා දුක ඇති වීම බාහිර ලෝකය වෙත පවරා දෙනු ලබයි. ඔහු දුක පිළිබඳව දන්නේ කායිකව හෝ මානසිකව ඇති වන දෙයක් ලෙස පමණක් වන කල, ඒ ඇති කිරීමට හේතුව බාහිර ලෝකයෙන් පැමිණෙන ලෙස හඳුනා ගනු ලබයි. ඒ අනුව දරුවාගේ මරණය, මවගේ මරණය, පියාගේ මරණය ආදිය නිසාත්, අනුන්ගෙන් ලැබෙන දෝෂාරෝපණ ආදිය නිසාත් තමාට දුක පැමිණෙන බව බොහෝ දෙනා කල්පනා කරති. එසේ ඒ පැමිණි දුකට හේතුව පිළිබඳව දන්නාකම දුක්ඛ සමුදය පිළිබඳව පවත්නා ප්‍රඥාවක් නොව, දුකේ ඇති වීම පිළිබඳව පවත්නා නොදන්නාකම යි. ඒ නිසා දුක නැති කිරීම පිණිස ලෝ වැසි සත්ත්වයා ලෝකය තුළ ම ඉමහත් පරිශ්‍රමයක් දරයි. ඒ ගන්නා පරිශ්‍රමය තුළ කිසිදු ලෙසකට ඔවුන්ට දුක නැති කිරීමට හැකියාවක් ද නොලැබෙයි. දුක්ඛ සමුදය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ තෘෂ්ණාවයි. යම් තැනක තෘෂ්ණාවේ පැවැත්ම ඇත්නම් එහි දුක උපදින්නට හේතු ඇත. දුක පිළිබඳව ඉහත සිදු කළ විග්‍රහයට අදාළව දුක්ඛ සමුදය පිළිබඳව අප විවරණයට ලක්කර ගතහොත්, දුක්ඛ සමුදය ඉතාමත් ගැඹුරු විෂය පරාසයක සිට අපට තේරුම් ගත හැකිය.

දුක්ඛ සමුදයෙහි ඇති ලක්ෂණයක් ලෙස "තත්‍ර තත්‍රරාභිනන්දනී" හෙවත්, ඒ ඒ තැන සතුටු වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. ඒ අනුව සැමවිටක ම තෘෂ්ණාව හෙවත්, දුක්ඛ සමුදය කර්ම ගත ජීවිතය තුළ පවත්වයි. එක් පරියායක දී ඒ නිසා ම කුසලය ද දුක්ඛ සමුදය යටතේ සංග්‍රහ කොට ඇත. එයට හේතු වන්නේ කුසල සිතක් තුළ අකුසල චෛතසික යෙදීමක් නොව, කුසලය පිළිබඳව වුවත් ඇති කර ගනු ලබන තෘෂ්ණාව හේතුවෙන් ප්‍රතිසන්ධිය කරා යෑමය. අද යම් දුක් වූ ස්කන්ධ ධර්මයක් පරිහරණය කරයි නම්, එයට හේතු වූයේ ද දුක්ඛ සමුදය හෙවත් තෘෂ්ණාවයි. මවු කුසකට ප්‍රතිසන්ධි වශයෙන් බැස ගන්නට හේතු වූ කර්මයකට වූ තෘෂ්ණාව නිසා ම අද මේ ස්කන්ධයන්ගේ පරම්පරා වෘත්තියක් දැකිය හැකිය. 

අද ද සෑම නිමිත්තක් පිළිබඳව ම තෘෂ්ණා, දෘෂ්ටි, මාන වශයෙන් ඇසුරු කරන කල, දුක්ඛ සමුදය හෙවත්, දුක ඇති කරන්නට හේතු අප තුළ ම පුනර්ජනනීය වේ. මේ පිළිබඳව අප වටහා ගත යුත්තේ සාමාන්‍යයෙන් අප හඳුනා ගන්නා රළු ලෝභ යන අකුසලයෙන් පමණක් නොව, නිකාන්ති තණ්හා යනුවෙන් ඇති කර ගනු ලබන ඒ සියුම් තෘෂ්ණාවත් සමගය. තෘෂ්ණා මූලය නොසිඳී පවත්නා කල, සෑම ස්කන්ධ ධර්මයක් පිළිබඳව ම තෘෂ්ණාව යෙදිය හැකිව පවතී. ඒ සමුදය ලෙස අප හඳුනා ගත යුත්තේ ඒ ස්කන්ධයන් පිළිබඳව පවත්නා තණ්හාවයි. එය හුදු ලෝභය යන අකුසල චෛතසිකය ඉක්මවා ගොස් සියලු කර්මගත ජීවිතය පිළිබඳවම පවත්නා දෙයක් ලෙස අපට සැලකිය හැකිය. උපදින්නේ කර්මයකට නොව ස්කන්ධයන්ට ඇති තණ්හාව නිසයි. දුක්ඛ සමුදය තේරුම් ගැනීම යනු ඒ ස්කන්ධයන්ට පවත්නා තෘෂ්ණාව පිළිබඳව තේරුම් ගැනීම සහ එය ප්‍රහාණය කළ යුතු බවට ඇති කර ගනු ලබන ප්‍රඥාවයි.

3. දුක්ඛ නිරොධෙ අඤ්ඤාණං

දුක්ඛ නිරෝධය පිළිබඳව පවත්නා නොදන්නාකමයි. එනම්, දුකේ නැති වීම පිළිබඳව ඇති නොදන්නාකමයි. දුකේ හට ගැනීම බාහිර ලෝකය වෙත පවරා දෙන මෝඩකම ඇති කලෙක සැමවිට ම දුකේ නැති කිරීම ද බාහිරයෙන් බලාපොරොත්තු වීම සිදුවේ. ලෝකයා සැමවිට ම උත්සහා ගනු ලබන්නේ බාහිර වෙනස් කිරීමෙන් දුක වෙනස් කිරීමටය. උදාහරණයක් ලෙස බැණුම් ඇසීමට ඇති අකැමැත්ත නිසා ලෝකයේ ම කටවල් වැසෙනා ලෙස ජීවත් වීමට සිදු වීම දැක්විය හැකිය. දරුවාගේ වෙනස් වීම දුකට හේතුව ලෙස දකින ඔබ, දරුවා නොවෙනස්ව තබා ගෙන දුක නැති කිරීමට වෙහෙස වෙයි. එය හුදු වෙහෙසක් පමණක් ම ඉතුරු කරන්නකි. ඒ තත්ත්වයට සිතක පත් වීම සිදු කරනුයේ දුකේ නිරෝධය පිළිබඳව පවත්නා නොදන්නාකම නිසාවෙනි.

"දුක්ඛ නිරොධෙ ඤාණං" යනු නිරෝධය පිළිබඳව පවත්නා ප්‍රඥාවයි. දුක්ඛ සමුදය වූ තෘෂ්ණාවගේ ම නිරවශේෂ නිරෝධයෙන් දුක නිරුද්ධ කළ හැකිය. තෘෂ්ණාවගේ නිරෝධය යනු තෘෂ්ණාව ඇතිවන තැන සහ තෘෂ්ණාව පවතින තැන නිරුද්ධ කිරීමයි. එනම් සලායතන නිරෝධයයි. සමුදය ඇතිවන තැන ඉතිරිව තිබිය දී සමුදය පමණක් ඉවත් කළ නොහැකිය. ඒ නිසා එය හට ගන්නා තැනත් සමග ම ඉවත් කළ යුතුය. තෘෂ්ණාව හෙවත් දුක්ඛ සමුදය ඇස, රූප, චක්ඛු විඤ්ඤාණය ආදිය නිකේතන්ස්ථාන කොට උපදිති. ඒ නිකේතනයන්හි නිරෝධය, දුකේ නිරෝධයයි.

නිරෝධය පිළිබඳව සාකච්ඡා කිරීමේදී,
- ස්කන්ධ නිරෝධය,
- අනුත්පාද නිරෝධය,

යනුවෙන් කොටස් දෙකක් ප්‍රධාන ලෙස සාකච්ඡා කළ හැකිය. ස්කන්ධ නිරෝධය යනු මොහොතින් මොහොත හට ගෙන නිරුද්ධ වන ස්කන්ධයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීමයි. එසේ ස්කන්ධයන්හි නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනා කල, ලෝකයේ පවත්නා දෙයක් නොලැබේ. එසේ වූ කල, තෘෂ්ණාව හට ගන්නට තැනක් නැත. ඒ තෘෂ්ණාවගේ අනුත්පාදය හෙවත් මතු නූපදීම යි. එපමණක් ද නොව, තෘෂ්ණාවගේ  අනුත්පාදය සමග ම මතු ස්කන්ධයන්ගේ අනුත්පාදය ද සිදු වේ. මෙසේ වූ දුක්ඛ නිරෝධය සාක්ෂාත් නොකිරීම ම දුක්ඛ නිරෝධය පිළිබඳව පවත්නා අවිද්‍යාවයි.

4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය අඤ්ඤාණං

දුක නැති කිරීමට අදාළ ප්‍රතිපදාව නොදන්නා කල, ඉහත නිරෝධය පිළිබඳව දැක්වූ ලෙසට ම වැරදි මාර්ග අනුගමනය කරති. නමුත් දුක නැති කළ හැකි ආර්යාෂ්ඨාංගික මාර්ගය පිළිබඳව එහිදී අවබෝධයක් නොවේ. එය අවිද්‍යාවයි.

5. පුබ්බන්තෙ අඤ්ඤාණං
පූර්වාන්තය හෙවත් පෙර ස්කන්ධ ධර්මයන් පිළිබඳව පිරිසිඳ නොදන්නාකමයි. ඒ නිසා ම භවයෙන් භවයට යන ආත්ම සංකල්පනා ගොඩ නැගෙයි. විභවය පිළිබඳව හෙවත්, මතු නොවීම පිළිබඳව ද දෘෂ්ටිගත වීමට මේ පූර්වාන්තය පිළිබඳව පවත්නා නොදන්නාකම හේතුවක් වේ.

6. අපරන්තෙ අඤ්ඤාණං
අපරාන්තය හෙවත් මතු ස්කන්ධයන්ගේ පහළ වීම පිළිබඳව නොදන්නාකමයි. මේ නිසා මතු පවත්නා ආත්මයක් හෝ මතු ආත්මයේ නොපවත්නා බව ආදී දෘෂ්ටි ප්‍රභවය වීමට මේ නොදන්නාකම හේතු වේ.

7. පුබ්බන්ත අපරන්තෙ අඤ්ඤාණං
පුර්වාන්ත හා අපරාන්ත දෙකෙහි ම ඇති මෝඩකමයි. මේ අන්ත පිළිබඳව නොදන්නාකම් තුනෙන් ම අදහස් කෙරෙනුයේ හේතුඵල දහම පිළිබඳව නොදන්නාකමයි. එනම් අතීත අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, භව යන හේතු නිසා වර්තමාන විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්ස, වේදනා යන ඵල පහක හට ගැනීම හා වර්තමාන අවිද්‍යා, සංඛාරාදී හේතු නිසා වර්තමාන අනාගත විඤ්ඤාණාදී ඵලයන් හට ගැනීමේ ඇති නොදන්නාකමයි.

8. ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං

එනම්, "ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති; ඉමස්මිං අසති ඉදං න හොති ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති." මේ දෙයෙහි ඇති කල්හි මෙය වෙයි. මේ ධර්මයේ ඉපැද්මෙන් මේ ධර්මය උපදී. මේ දෙයෙහි නැති කල්හි මෙය නොවේ. මේ දේ නිරෝධයෙන් මෙය නිරුද්ධ වේ යන ධර්මයයි. එහි දී සමස්ත පටිච්චසමුප්පාද සිද්ධාන්තයේ ම ප්‍රත්‍යතාවය හා නිරෝධය පිළිබඳව අදහස් කෙරෙයි. මේ පටිච්චසමුප්පාද සිද්ධාන්තය පිළිබඳව නොදන්නාකම අවිද්‍යාවයි. මේ ලෙස පවත්නා නොදන්නා අවිද්‍යාව ම අවිද්‍යාශ්‍රවයක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ.

ආශ්‍රවයක් යනු ඔබ වැරදි ලෙස පුන පුනා භාවිත කොට එක් කර ගත් දෙයකි. අවිද්‍යාව ආශ්‍රවයක් වන කල ඔබට සමස්ත ලෝකයේ ම සත්භාවය හෙවත් අස්තීත්වය ලැබී ඇත. එය කෙතරම් බලවත් ද යන වග නැවත නැවතත් රූපාදී ධර්මයන් ම නිශ්‍රය කර ගන්නා මනස පිරීක්සීමෙන් අවබෝධ කළ හැකිය. අවිද්‍යාව ආශ්‍රවයක් ලෙස ඉතාමත් ප්‍රභලය. එය අනෙක් සියලු ආශ්‍රවයනට පදනම ද වේ. අවිද්‍යා ආශ්‍රවය දුරු කිරීමට වෑයම් කිරීමෙන් ම අනෙක් ආශ්‍රවයන්ගේ ගෙවීම ද දැකිය හැකිය.

සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!

✍🏻 කොත්මලේ කුමාරකස්ස. හිමි

Post a Comment

0 Comments