සබ්බාසව සූත්‍රය 3
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස...
දිට්ඨිය යනු පුද්ගලයෙකු නිවැරදි දිශාවකට සහ වැරදි දිශාවකට යොමු කළ හැකි දෙයකි. යම්කිසි පුද්ගලයෙකු එල්බ ගත් දැක්ම අනුව ඔහු කටයුතු කරනු ලැබේ. දැක්ම යහපත් වන කල ඔහුට යහපත් ප්‍රතිඵල ලැබිය හැකි අතර, දැක්ම අයහපත් වන කල ඔහුට අයහපත් ප්‍රතිඵල ලැබෙයි. බුදු දහම තුළ දිට්ඨි පිළිබඳව විවිධ ආකාරයන්ගෙන් ඉතා ගැඹුරින් සාකච්ඡා කරයි. දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය සහ සම්මා දිට්ඨිය ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සාකච්ඡා කරන අතර, සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෙස ද, මිච්ඡා දිට්ඨිය නියත මිච්ඡා දිට්ඨි සහ මිච්ඡා දිට්ඨි ලෙස ද වර්ගීකරණයට ලක්වනු දැකිය හැකිය.
මිච්ඡා දිට්ඨි යනු උපාදානයකි. එසේම දිට්ඨි යනු ආශ්‍රව ධර්මයකි. සත්ව සන්තානයේ පවත්නා මේ උපාදානයන්හි සහ ආශ්‍රවයෙහිලා ගැනෙන දිට්ඨි ධර්මයෝ සත්වයා විනාශය කරා පමුණුවයි. ඒ හේතුවෙන් දිට්ඨිය (දෘෂ්ටිය) පිළිබඳව අප විශේෂයෙන් සාකච්ඡා කළ යුතුය.
ආශ්‍රවයන් යනු සිතෙහි වැරදි ලෙස පුරුදු කර ගත් ගති ලක්ෂණ බව අපි පෙර කීමු. දිට්ඨිය ද එසේ පුරුදු කරන ලද්දක් වන කල, එය 'දිට්ඨාශ්‍රව' යනුවෙන් හඳුන්වනු ලබයි. මිථ්‍යා දෘෂ්ටිය හා සමාන බලවත් වූ දෙයක් වෙනත් නැති තරම්ය. වැරදි දැක්මෙන් යුතු සත්ත්වයෝ වැරදි ලෙස කීම්, කිරීම් ආදියෙහි නිරත වෙති. සියලු අකුසල ධර්මයෝ රඳා පවතින්නේ වැරදි ලෙස ගත්තා වූ දෘෂ්ටිය මතය. ඒ වැරදි දෘෂ්ටිය දුරු කර ගැනීමටවත්, ඒ දෘෂ්ටිය වැරදි බව තේරුම් ගැනීමට බොහෝ දෙනෙකුට නොහැකිය.
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වීමෙන් සිදු වන ප්‍රධානතම අර්ථය බවට පත්වනුයේ මිථ්‍යා දෘෂ්ටිය තුළ ගිලී සිටින සත්ත්වයාට ඉන් මිදීමට අවශ්‍ය මාර්ගය පිළිබඳව පැහැදිලි කර දීමය. මිථ්‍යා දෘෂ්ටිය දුරු කර ගැනීමේ දී මිත්‍යා දෘෂ්ටිය, මිථ්‍යා දෘෂ්ටිය ලෙස හඳුනා ගැනීම ඉතාම වැදගත් වේ. "මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨිංති පජානාති" යනුවෙන් බුදුරජාණන් වහන්සේ මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා දෘෂ්ටියක් ලෙස දැන ගත යුතු බව දේශනා කළහ.
වැරදි ලෙස ගත්තා වූ දෘෂ්ටි බොහෝ ප්‍රභේදයන් ලෙස සාකච්ඡා කළ හැකි වේ. අප ලිපි පෙළෙහි ප්‍රස්තූතයට අදාළ වනුයේ ආශ්‍රවයක් ලෙස ගන්නා වූ දෘෂ්ටියයි. එනම් දිට්ඨාශ්‍රවයයි. දිට්ඨාශ්‍රවය විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටීමෙන් සත්ත්වයා අකුසලයන් කරා මෙහෙය වනු ලබයි. දිට්ඨිය ආශ්‍රවයක් ලෙස විස්තර කරන බුදුරජාණන් වහන්සේගේ ධම්මසංගණී ප්‍රකරණය හිදී "තත්ථ කතමො දිට්ඨාසවො? සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරං මරණාතිවා, න හොති තථාගතො පරං මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරං මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරං මරණාති වා; යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං ගාහො පටිග්ගාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියාසග්ගාහො - අයං වුච්චති දිට්ඨාසවො. සබ්බා පිමිච්ඡාදිට්ඨි දිට්ඨාසවො." යනුවෙන් දේශනා කොට ඇත.
1. සස්සතො ලොකො
ලෝකය ශාස්වත යැයි ගැනීම දෘෂ්ටියකි. ඒ දෘෂ්ටිය ම දිට්ඨාශ්‍රවයෙකි. ලෝකය ශාස්වත යැයි දන්නා බව යනු ආත්මය සහ ස්කන්ධ ලෝකය පිළිබඳව පවත්නා ඇත යැයි යන හැඟීමය. එනම් මරණින් මත්තේ පවත්නා ආත්මයක් පිළිබඳව හෝ නොවෙනස්ව දිගින් දිගට ම පවත්නා ලෝකයක් පිළිබඳව යම් සංකල්පනාවක් ඇත්නම්, එය ශාස්වත දෘෂ්ටියයි. එය රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන් පිළිබඳව ඇති වේ. මේ ස්කන්ධයන් ඇසුරු කොට පවත්නා ආත්මය, භවයෙන් භවයට යෑමක් පිළිබඳව ඇති හැඟීම ඉන් ගම්‍ය වේ.
2. අසස්සතො ලොකො
අසස්සතො ලොකො යනු දිට්ඨාශ්‍රවයෙහි තවත් ප්‍රභේදයකි. ලෝකය අශාස්වත හෙවත් නොපවතින දෙයක් බවට කල්පනා කිරීම මෙයට ඇතුළත් වෙයි. ස්කන්ධ ධර්මයන් ම ආත්මයන් ලෙස සිතීමෙන් ලෝකය අශාස්වත යැයි අදහස් ඇති වෙයි. එනම් "රූපං අත්තතො සමනුපස්සති" ලෙස ඇතිවන දෘෂ්ටියයි. රූපයම ආත්මය ලෙස සිතන්නාට මරණයෙන් රූපය නැති වන කල, ආත්මය ද නැති වන බවට අදහසක් වේ. එලෙසට ම වේදනාව හෙවත්, මේ විඳින්නා ආත්මය යැයි සලකන කල, මරණයෙන්, විඳින්නාගේ නැති වීමෙන් ආත්මයේ නැති වීම සිදුවේ. මෙලෙසට සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ ආදියෙහි පවත්නා දෘෂ්ටිය නිසා ආත්මයක් මරණින් මතු නොවේ යැයි හැඟීම ඇති වේ. මෙහි ලෝකය යනු ආත්ම ලෝකයයි. ආත්මය පිළිබඳව නොපැවැත්ම කල්පනා කෙරේ නම්, එය අශාස්වත දෘෂ්ටියයි. එනම් උච්ඡේදයයි.
3. අන්තවා ලොකො
අන්තවා ලොකො යනු ලෝකයෙහි කෙළවරක් ඇත යනුවෙන් ගත්තා වූ දෘෂ්ටියයි. එහි ලෝකය යනු අප අද හඳුනා ගනු ලබන පෘථිවිය නොවේ. බොහෝවිට යම් කසිණ නිමිත්තක් ආදී භාවනාවක නිරත වන කෙනෙකු ඒ කසිණ ආලෝකය පැතිර වීමෙන් ඇති කර ගත්තා වූ ඔහුගේ ලෝකයයි. ලෝකය සැමවිට ම ඔහුට සාපේක්ෂය. ලෝකය ඔහුට කෙළවරක් දැකිය හැක්කක් වන අතර ම, එය පරිවටුම හෙවත් හාත්පසින් වටකුරු වූවක් ලෙස ද ඔහුට වැටහෙයි. එය "අන්තවා ලොකො" යනුවෙන් ලෝකයෙහි කෙළවරක් ලෙස ඔහු කල්පනා කරයි. ඔහු ඇති කර ගත් මානසික ලෝකය ඔහුට කෙළවරක් දැකිය හැකි දෙයකි. ඒ ආලෝක නිමිත්තක් හෝ කසිණ නිමිත්තක් අන්තයක් ලෙස ගෙන, ලෝකය අන්තවත් යනුවෙන් ඇති කර ගත්තා වූ සංකල්පය හෙවත් දෘෂ්ටිය මේ නමින් හැඳින් වේ.
4. අනන්තවා ලොකො
අන්තවා ලොකො යැයි ගත් දෘෂ්ටිය පිළිබඳව විග්‍රහ කළාක් මෙන් ම, යම්කිසි කෙනෙකු යම් ආලෝක නිමිත්තක් හෝ කසිණ ආලෝකයක් හෝ පැතිරවීම් වශයෙන් අප්‍රමාණව පැතිර විය හැකි බවට පත්වේ නම්, එබඳු පුද්ගලයාට ඔහුගේ ලෝකය අනන්තවත් සේ වැටහෙයි. ඔහුගේ ලෝක සංඥාව ද අනන්තවත්ව පවතී. ඔහු ලෝකය අනන්ත හෙවත් කෙළවර රහිත වූවක් ලෙස හඳුනන නිසා ම ඔහුට ඒ ඔහුගේ ලෝකය අනන්තවත් ලෙස ගැනීම වේ. ඇතැම් විටෙක ඒ ගත්තා වූ ලෝකය මත මා යැයි ගැනීම ද වේ. මෙය ද දිට්ඨාශ්‍රවයෙහි ඇති එක ප්‍රභේදයකි.
5. තං ජීවං තං සරීරං
ඇතැම් කෙනෙකුට යමක් ජීවය හෙවත් පණ ලෙස හඳුනා ගනු ලබයි නම්, එය ම ශරීරය ලෙස දකී. එනම් මේ ශරීරය සහ ජීවය, පණ, ආත්මය මේ දේවල් එකක් කොට කල්පනා කරයි. ඒ ජීවී බව ම මෙලෙස රූපවත්ව සිටින ලෙසට ඔහු හඟී. භෞතිකවාදී අදහස් දරන්නවුන් බොහෝ කොට මේ දෘෂ්ටියෙහි එල්බ ඇති සෙයක් දක්නට ඇත. ජීවය හෙවත් ආත්මය හා රූපය එකක් වන කල, එය ඉහත කී අසස්සත ලෝකය යැයි ගත් දෘෂ්ටියට සමානුපාත වේ. එවිට එය මරණයත් සමග අත්හැරෙන දෙයක් ලෙස ඔවුහු කල්පනා කරති. මෙය හා ඉහත කී "අසස්සතො ලොකො" යන දෘෂ්ටිය ඉතා භයානක දෙයකි. කර්ම හෝ ක්‍රියාවාදී බව නැති නිසා ම නියත මිත්‍යා දෘෂ්ටිකත්වය ඔවුන් කෙරෙන් නිරූපණය වේ. නිරාගමික සංකල්පයන් හි එල්බ ගත් බොහෝ අනුවණ තැනැත්තන්ගේ දෘෂ්ටි ස්ථානය ලෙස මෙය හඳුනා ගත හැකිය. මෙය ද රූප සරීර, වේදනා සරීර, සඤ්ඤා සරීර, සංඛාර සරීර, විඤ්ඤාණ සරීර යනුවෙන් ඇතිවන ආකාරය සාකච්ඡා කළ හැකිය. මේ දෘෂ්ටිය ද දිට්ඨාශ්‍රවයේ ලක්ෂණයකි.
6. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං
අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං යනුවෙන් ආත්මය හා ශරීරය හෙවත් කය දෙකක් ලෙස ඇතැම් කෙනෙකුගේ සිතීම දැකිය හැකිය. මෙය ද දෘෂ්ටියකි. එහිදී ජීවය හෙවත් පණ අනෙකක් ලෙස ගැනීම සිදුවේ. එසේ ගත් කල කය අත්හැර පණ වෙනත් තැනකට යාමක් ගැන අදහසක් ඇති වේ. මෙය බොහෝවිට සාමන්‍ය සමාජය තුළ වඩාත් ප්‍රකට දෙයකි. මරණයෙන් පසුව මිය ගිය ප්‍රාණකාරයා අවට සැරිසරනවා වැනි සංකල්ප සමාජය තුළ බොහෝවිට දක්නට ලැබෙයි. ඒ ආත්මය හා කය කොටස් දෙකක් ලෙස ගැනීම නිසාය. මෙය දෘෂ්ටියකි. සාස්වතය ඇසුරු කරන දෘෂ්ටියක් නිසා ම මෙය කර්මවාදී බවට ගැටලුවක් ඇති නොකරයි. ඒ නිසා ම මෙය නියත මිථ්‍යා දෘෂ්ටියකට පදනමක් සේ නොසැලකේ.
7. හෝති තථාගතෝ පරම්මරණා
මෙහි තථාගත යනු සත්ත්වයා හැඳින්වීමට භාවිත වචනයකි. "යථා ආගතො තථා ගතොති තථාගතො" යම් සේ කර්ම කෙලෙස් ටිකක් නිසා ප්‍රතිසන්ධි වශයෙන් පැමිණ කර්ම හා කෙලෙස් හේතුවෙන් නැවතත් උප්පත්ති පිණිස යන නිසා තථාගත යන වචනය සත්ත්වයා හැඳින්වීමට ද භාවිත වේ. මෙය බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට භාවිත වනුයේ වෙනත් නිර්වචනයකිනි. ලිපිය කෙටි කර ගැනීම සඳහා ඒ පිළිබඳව මෙහි සාකච්ඡා නොකෙරේ. සත්ත්වයා මරණින් මතු වේ යැයි ගැනීම දෘෂ්ටියකි. එනම් මේ සත්ත්වයා මේ ආත්මය මරණින් මතු තවත් තැනකට පත්වේ යැයි සිතීමකි. එසේ සිතීම මිථ්‍යා දෘෂ්ටියකි. භවයෙන් භවයට යන කෙනෙකු ඇති ලෙස ගැනීම මින් ගම්‍ය වේ.
8. න හෝති තථාගතෝ පරම්මරණා
සත්ත්වයා මරණින් මතු නොවේ, එනම් ආත්මය සහ සත්ත්වයා මරණින් මතු නොවී සිඳී යන සේ දැකීමයි. මෙය උච්ඡේදය ලෙස හඳුන්වනු ලබයි. මෙයද මිථ්‍යා දෘෂ්ටියකි. ඉහත "සස්සතො ලොකො" හා "තං ජීවං තං සරීරං" දෘෂ්ටියෙකිලා මෙය විග්‍රහ කළ බැවින් ඊට අනුරූපව තේරුම් ගත හැකිය.
9. හෝති ච නච හෝති ච තථාගතො පරම්මරණා
සත්ත්වයා මරණින් මතු වන්නේ ද නොවන්නේ ද වේ යැයි ලිස්සා යා හැකි පරිදි ඇති කර ගත් අමරාවික්ඛේපවාදයට අයත් දෘෂ්ටියකි. ආඳෙකු අතින් ඇල්ලීමට අපහසු ඌ ලිස්සා යන නිසාය. මේ වාදය ඇත්තා ද එසේය. මෙය ද මිථ්‍යා දෘෂ්ටියකි.
10. නෙව හොති න න හෝති තථාගතො පරම්මරණා
සත්වයා මරණින් මතු නොවන්නේත් වෙයි, නොවන්නේත් නොවෙයි යනුවෙන් ඉහත දැක් වූ ලෙසට ම ලිස්සා යෑමට ඇති කර ගත් දෘෂ්ටියකි.
මේ ආකාරයෙන් ඇති කර ගත් යම් දැක්මක්, ඊට අනුගත වූවක්, ඊට අනුගතව සිටීම, අතරක් නැතිව එහි පැවැත්ම ආදී එහි ලැග සිටීමක් වේ නම් එය දිට්ඨාශ්‍රව යනුවෙන් හඳුන්වනු ලබයි.
ඉහත දැක් වූ දිට්ඨි පිළිබඳව සලකා බැලීමේ දී ප්‍රධාන දෘෂ්ටි දෙකක් දැකිය හැකිය. එනම් ශාස්වත දෘෂ්ටිය හා උච්ඡේද දෘෂ්ටියයි. පැවැත්ම පිළිබඳව ඇති සංකල්පනාව ශාස්වත දෘෂ්ටියයි. ඇතැම් විටෙක භව දිට්ඨි යනුවෙන් එහි තවත් ස්වරූපයක් ද අපට දැක්විය හැකිය. භව දිට්ඨි යනු ද ලෝකයේ පැවැත්ම පිළිබඳව පවත්නා දෘෂ්ටියකි. හෙවත් ශාස්තය ඇසුරු කරන දැක්මකි. ආත්මය මරණින් මත්තෙහි වේ යැයි දැඩි ලෙස බැස ගෙන සිටීම මෙම දෘෂ්ටියට අයත් වන අතර, බාහිර පවත්නා බවට ඇති සංකල්පනාව දෘෂ්ටියේ පැවැත්මට උපකාර වූ වස්තුවයි.
වස්තුව හා දෘෂ්ටිය යනු දෙකකි. වස්තුවක් පිළිබඳව ඇති අභිනිවේස පරාමාසය හෙවත් බැස ගෙන දැඩිව ග්‍රහණය කොට පැවැත්ම දෘෂ්ටියයි. පැවැත්ම පිළිබඳව දැඩිව ග්‍රහණය කොට බැස ගෙන සිටීම දෘෂ්ටියයි. ශාස්වත දෘෂ්ටිය යනු පැවැත්ම පිළිබඳව ඇති වූ දැඩි සංකල්පනාවයි. සිඳීම පිළිබඳව එසේ පවත්නා සංකල්පනාව හෙවත්, මරණින් මතු නොවීම පිළිබඳව ඇති සංකල්පනාවෙහි දැඩිව බැස පැවැත්ම උච්ඡේද දෘෂ්ටියයි.
මෙම දෘෂ්ටි ආශ්‍රවයක් ලෙස ස්කන්ධයන් ඇසුරු කොට යෙදේ. ඒ ආශ්‍රව ස්කන්ධයන් ඇසුරු කරන ලක්ෂණය නිසා ම උපාදාන ස්කන්ධය සාසව යන වචනයෙන් හඳුන්වයි. පුහුදුන් චිත්ත සන්තානයක නිරන්තරයෙන් ම දිට්ඨාශ්‍රවය යෙදෙයි. ආත්මයක් පිළිබඳව හා ආත්මයක පැවැත්ම පිළිබඳව කල්පනා කිරීම එහි ස්වභාවයයි. මිථ්‍යා දෘෂ්ටිය පිළිබඳව සලකා බැලීමේ දී චිත්ත සන්තානගත ශාස්වත හෝ උච්ඡේද දෘෂ්ටිය හඳුනා ගැනීමට එය ඉතාම පහසුවකි. එසේ ආත්මයක් ඇත හෝ නැත යනුවෙන් පැවැත්ම හෝ නොපැවැත්ම පිළිබඳව කල්පනා කිරීම සැමවිට ම අවිද්‍යාව නිසා ම පුහුදුන් චිත්ත සන්තානයන් තුළ වර්ධනය වේ.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු ආදිය ඇසුරු කරන කල එය බාහිරව පවත්නා බවට නිමිති ඉතුරු කිරීමෙන් ඒ නිමිති ඇසුරු කරන පුද්ගලයා ද ඉතිරි වේ. බාහිර ආයතනය ගෝචර කර ගත් පුද්ගලභාවය ආත්මය යැයි වරදවා හඳුනා ගනී. ඒ ආත්මය පිළිබඳව මරණින් මතු පවතින්නේ ද, නොපවතින්නේ ද ආදී වශයෙන් ලෝකයාට නොයෙක් දෘෂ්ටිවාද ගොඩ නැගිය හැකිය. එසේ නම් දෘෂ්ටියට ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත යන මේ ධර්මයන් පිළිබඳව ඇති කර ගත් වැරදි සංකල්පනාවයි. ඒ ආයතනයන් පිළිබඳව නිමිති ඉතිරි කිරීමෙන් ආශ්‍රවයන්ට මග පාදා ඇත. ඇසුරු කිරීමට දිට්ඨි, සුත, මුත, විඤ්ඤාත ආදී දේවල් ලැබෙන තැනක එය ගෝචර කර ගනු ලබන විඳින්නෙකු ආධ්‍යාත්මිකව ලැබෙයි. තමා සහ වෛෂයික ලෝකය නිර්මාණය වන්නේ එලෙසය. එලෙස ලෝකයෙහි පැවැත්ම පිළිබඳව අදහස් සංකල්පනා ඇති වූ කලෙක මෙලොව සහ පරලොව පිළිබඳව කතා කළ හැකිය.
දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත ධර්මයන් පිළිබඳව යථාර්ථය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් සියලු දිට්ඨාශ්‍රවය ගෙවීමට යැවිය හැකිය. ඇස, රූප හා විඤ්ඤාණයාගේ එකතු වීම හෙවත් ස්ඵර්ශ ප්‍රත්‍යයෙන් හට ගත් දේ නැවත පෙරළා ඇස, රූප ආදී එකක් එකක් කෙරෙහි නොපවත්වන කල, ඇසුරු කිරීමට බාහිර ආයතනයක් නොලැබේ. එසේ විඤ්ඤාණය ඇස, රූප, චක්ඛු විඤ්ඤාණය ආදිය ඇසුරු නොකරන කල, ඒ දේවල් පවතිනවා යැයි කිව නොහැකිය. එවිට ඒ දේ සමග තමා හෙවත් දෙවැන්නෙක් නිර්මාණය වීම සිදු නොවේ. දෙවැන්නෙක් නිර්මාණය නොවන කලෙක, දිට්ඨියට වස්තුවක් නොලැබේ. වස්තු නොලැබෙන කල අභිනිවේස පරාමාස හෙවත් බැස දැඩිව ග්‍රහණය කොට පැවැත්මක් නොලැබේ. එය ම දිට්ඨාශ්‍රවයේ නිරෝධයයි.
සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!
✍🏻 කොත්මලේ කුමාරකස්සප හිමි
0 Comments