නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස...
භවය යනු පැවැත්ම පිළිබඳව ඇඟවෙන පදයක් ලෙස සාමාන්‍යයෙන් සැලකිය හැකිය. විවිධ අවස්ථාවන් නියෝජනය කෙරෙන නිසා භවය අවස්ථානෝචිතව වටහා ගත යුතු පදයකි. ඒ පිළිබඳව ත්‍රිපිටක පාලිය තුළ ඒ ඒ අවස්ථාවන්හිදී ඇති අර්ථයද විවිධ වේ. "භවො, භවො'ති, ආවුසො සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො, ආවුසො, භවො ති? තයො මෙ, ආවුසො, භවා. කාමභවො, රූපභවො, අරූපභවො" භවය පිළිබඳව සැරියුත් තෙරුන් වහන්සේගෙන් විමසූ විටෙක ඒ සඳහා ලැබුණ විග්‍රහය වූයේ,
1. කාම භව
2. රූප භව
3. අරූප භව
යන තුන් භවය ලෙසයි. එසේ ම, තවත් තැනෙක එය,
1. සඤ්ඤා භව
2. අසඤ්ඤා භව
3. නේවසඤ්ඤානාසඤ්ඤා භව
යන විග්‍රහය යටතේ ද දක්නට ලැබෙයි. එසේම විටෙක,
1. කර්ම භව
2. උප්පත්ති භව
ලෙසට ද එය විග්‍රහව ඇත. එසේ ම පටිච්චසමුප්පාද විග්‍රහයේ ඒක චිත්තක්ෂණික විග්‍රහයේ දී එය වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ලෙස ද අර්ථ ගන්වා ඇත. එසේ ම ඇතැම් විග්‍රහයන් අනුව, "භවොති සස්සතං" භවය යනු සාස්වතය යි. බාහිර පවත්නා බවට ඇති දෘෂ්ටියක් ඉන් ගම්‍ය වේ. බාහිර වෛශයික ලෝකය පිළිබඳව පවත්නා පැවැත්ම භවය ලෙසට ද සැලකිය හැකිය. යම් යම් ආකාරයන්ගෙන් කර්මාභ්‍යූහනයක් වේ නම් එයට පදනම වනුයේ ද මේ භවයයි. එලෙස පවත්නා දෙය පිළිබඳව පවත්නා සාස්වත සහගත දෘෂ්ටිය භව දිට්ඨි ලෙසට ද විග්‍රහ වේ.
එසේ ගත් කල, භව යන්න විග්‍රහ වී ඇති ආකාරය අවස්ථානෝචිතව විය යුතු බව හැඟී යයි.
භවය යනු ආශ්‍රවයකි. විටෙක එය භව ඕඝයකි. විටෙක යෝගයකි. විටෙක සඤ්ඤොජනයකි. මේ ආකාරයට "භවය" බොහෝ තැනක යෙදෙමින් විවිධ ආකාරයන්ගෙන් ක්‍රියාත්මක වන අයුරක් දැකිය හැකිය.
භවය ආශ්‍රවයක් ලෙස ක්‍රියාත්මක වීමේ දී එය රූපාරූප භවයන් පිළිබඳව පවත්නා භව ප්‍රාර්ථනාවක් ලෙස දැක්වේ. "තත්ථ කතමො භවාසවො? යො භවෙසු භවච්ඡන්දො, භව රාගො, භව නන්දී, භව තණ්හා, භව සිනෙහො, භව මුච්ඡා, භව පරිළාහො, භවජ්ඣොසානං අයං වුච්චති භවො" ඒ අනුව භවයන් කෙරෙහි පවත්නා කැමැත්ත, ඇලීම, නන්දිය හා තෘෂ්ණාව එකතුව හා මුසපත් වීම, ස්කන්ධ දුක්ඛය හා බැස ගෙන සිටීම ආදී ලක්ෂණ භවාශ්‍රව ලෙස අර්ථ ගැන්වෙයි.
කාම ලෝකයට අදාළව කාම සහගත සඤ්ඤා පිළිබඳව බැස ගෙන සිටීම කාමාශ්‍රවයට අන්තර්ගෘහිත කළ බැවින් පුනරුක්තියක් ලෙස එය භවාශ්‍රවයට ඇතුළත්ව නැති බවක් පෙනෙයි. කාමය අනුව පවත්නා බැස සිටීම ද භව යන්නෙන් විනිර්මුක්ත වූවක් නොවේ. එය ද භව යන්නට ඇතුළත් වේ. ඒ කාමය අනුව බැස සිටීම භව අර්ථ කථනයේ කාම භව යන්නට අදාළ බැවිනි. නමුත් ආශ්‍රව සාකච්ඡාවේ දී එය බෙදා කතා කළ හැකි අතර, හුදෙක් භවය ගැන පමණක් ම ආශ්‍රවයක් කතා කළහොත් එයට කාමාශ්‍රවයද ඇතුළත්ව කතා කළ හැකිය. භවය සීමා කොට කෙරෙන මෙම අර්ථ විවරණයට ඒ නිසා ම කාම භව ශීර්ෂය ද ඇතුළත්ව කතා කෙරෙනුයේ සුඛාවබෝධය සඳහාය.
ආශ්‍රවයක් යනු බොහෝ කල් සිට පැවතෙන්නා වූ කෙලෙසුන්ය. භවය ද එලෙසට බොහෝ කල් සිට පැවතෙයි. එය කාම, රූප, අරූප වශයෙන් ඒ ඒ තැන ජාතිය ඇති කරලීමට ද උපකාර කරයි. කාම භවය ඇත්තාට කාම භවයේ ජාතියක් විනා රූප භවයක් නොලැබේ. ඒ අනුව භවය යනු ඔබ වැපුරූ භෝගයයි. ඔබට ලැබෙනුයේ ඊට අනුරූප අස්වැන්නකි.
භවය යනු ඔබ ලෝකය දැකීමට භාවිත කරන මෙවලමකි. මෙවලමට අනුරූපීව ඔබ ජීවත් වෙයි. කාම භවය අනුව ගිය පුරුදු රැසක් ඇති ඔබ, සැමවිට ම ආශ්වාදජනක ලෝකයක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් වෙතින් බලාපොරොත්තු වෙයි. ඔබ දකිනුයේ ද එලෙස ආශ්වාදජනක දේ ලෝකයේ පවත්නා බවයි. ඇස් හමුවට එන රූපය සුව වේදනාවක් නොගෙනාව ද, ඔබට එය කාම භවයට අනුරූපීව සුවයක් ලෙස කල්පනා කළ හැකිය. ඒ බාහිරව පවත්නා බවට ම ඇසුරු වෙනකම භවයේ ඇති ලක්ෂණයකි. එය සෑම රූපාදී ආරම්මණයක් වෙත ම පවත්වන කල, කාම නිශ්‍රිත බැවින් එය කාමාශ්‍රව යනුවෙන් හඳුන්වයි. නමුත් භව රාමුව ඔස්සේ පමණක් විමසුවහොත්, එය කාමභවාශ්‍රවයකි. යම් ප්‍රාර්ථනා හා බලාපොරොත්තු කැමැති ආදී සියල්ල ම පිහිටා ඇත්තේ මේ කාමභවාශ්‍රවය නිසාමය.
භවය අන්‍ය ආශ්‍රවයන් හා සමග විමසන කල, ඉන් ඉලක්කගතව ඇත්තේ රූපාරූප සංඛ්‍යාත භූමීන් පිළිබඳව පවත්නා කැමැත්තය. "ඊදිසං අඤ්ඤස්මිම්පි සම්පත්තිභවෙ සුගතිභවෙ ලභිස්සාමීති භවපත්ථනාය අස්සාදයතො භවාසවස්ස" අනෙක් භවයකට පත් වීම පිළිබඳව වූ කැමත්ත හෙවත් භව ප්‍රාර්ථනය පිළිබඳව වූ ආශ්වාද ලෙස දැකීම භවාශ්‍රවයයි, හෙවත් උත්පත්තීන්හි (උප්පත්තීසු ආසත්ති) ඇලීම භවාශ්‍රවයයි. ප්‍රාර්ථනය, රැස් කිරීම හා දැඩිව බැස සිටීම ආදිය එහි ලක්ෂණයයි.
ප්‍රථම ධ්‍යානලාභියෙකු හට කිසිදු කලෙක කාම සහගත සඤ්ඤා මනසිකාරයෝ නොපවතී. යම් විටෙක එසේ කාමය අනුව හැසිරෙන්නේ නම් එවිට ධ්‍යානය නොවේ. එලෙස ප්‍රථම ධ්‍යානය උපදවා වාසය කරන්නෙක් හට ඒ ස්කන්ධ ධර්මතාවය කෙරෙහි යම් ඇලීමක් හා නන්දියක් ඇත්නම්, බැස ගෙන සිටීමක් ඇත්නම් මේ ආදී සියල්ල භවාශ්‍රවයේ ලක්ෂණයි. ඒ ඒ තැන ඇලීම ස්වභාව කොට ඇති තෘෂ්ණාව විස්තර කිරීමේ දී භව තණ්හා යනුවෙන් දැක්වූයේ එයයි. ඒ අනුව රූපාදී භවයන්හි පැවැත්මට උපකාරී වන බැවින් රූපකය භවාශ්‍රවයට පදට්ඨානයයි, හෙවත් ආසන්න කාරණයයි. භව ආශ්‍රවයම පවත්නා කල, එය භව ඕඝයකි. එහි ම යෙදී පවත්නා කල, එය භව යෝගයක් ලෙස හැඳින්වේ.
නූපන් භවාශ්‍රවය ඉපදීමට ද, උපන් භවාශ්‍රය වැඩි වීමට ද අයෝනිසෝ මනසිකාරය හේතුවෙයි. අයෝනිසෝ මනසිකාරය පවත්නා තැනෙක මේ භව ආශ්‍රවය දියුණුවට පත්වේ. ඔහු ස්කන්ධ ධර්මයන් අරභයා වැරදි ලෙස මෙනෙහි කරයි. ඒ නිසා ම ඔහුට පුද්ගල බව ඇසුරු වෙයි. පුද්ගල බව ඇසුරු වන කල, මම අතීතයේ සිටියා ද, නොඑසේ නම් නොසිටියා ද, කවරෙක්ව සිටියේ ද, කෙසේ සිටියේ ද ආදී ලෙස පුද්ගල භාවය හා අනුබද්ධ මෙනෙහි කිරීම වෙයි. එවිට ඔහුට දෘෂ්ටිගතයෝ සය තැනක උපදිති.
1. අත්ථි මෙ අත්තා - මට ආත්මයක් ඇත.
2. නත්ථි මෙ අත්තා - මට ආත්මයක් නැත.
3. අත්තනාව අත්තානං සඤ්ජානාමී - ආත්මය ඇත්තේ ම ආත්මය හඳුනමි. (ආත්මවත් වූ මට ආත්මයක් ඇතැයි හඳුනමි.)
4. අත්තනාව අනත්තානං සඤ්ජානාමී - ආත්මවත් වූයේ ම ආනාත්මය හඳුනමි. (ආත්මවත් වූ මම අනාත්මය හඳුනමි.)
5. අනත්තනාව අත්තානං සඤ්ජානාමී - අනාත්මවත් වූයේ ම ආත්මය හඳුනමි. (අනාත්ම වූ මම ආත්මය හඳුනමි.)
6. යො මෙ අයං අත්තා වදො වෙදෙය්‍යො තත්‍ර තත්‍ර කල්‍යාණපාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙති සො ඛො පන මෙ අයං අත්තා නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සතී - යම් මේ මගේ ආත්මයක් වේ නම්, එය යහපත් අයහපත් කර්මයන්ගේ ප්‍රතිවිපාක විඳී. එසේ විඳින්නා වූ මගේ ආත්මය නිත්‍ය වූයේ නොවෙනස්ව පවතින්නක් වෙයි.
මෙලෙස පුද්ගල බව ඇසුරු කළ තැනෙක සියලු දෘෂ්ටිගතයෝ ඇසුරු වෙති.
යම් පුද්ගලයෙකු යම් රූපී නිමිත්තක් ඇසුරු කොට ධ්‍යානය උපදවා ද, ඔහුට ඒ රූපී නිමිත්ත තමා ලෙස ගැනීම හෝ වේදනා ආදී ස්කන්ධ තමා ලෙස ගැනීම විද්‍යමාන වෙයි. ඔහුට එලෙස පුද්ගල බව ඇති වූ කල්හි උක්ත දෘෂ්ටීන් ඇති වේ. ඒ නූපන් භවාශ්‍රවය ඉපදීමට ද, උපන් භවාශ්‍රවයේ වෘද්ධියට ද හේතු වෙයි. භවාශ්‍රවය දුරු කිරීමට නම් චතුරාර්ය සත්‍යය ප්‍රතිවේදය කළ යුතුය. මේ දුක යැයි තත් වූ පරිදි දකින්නේ නම්, ඔහුට හේතු නිසා හට ගත් හේතු බිඳීමෙන් බිඳී යන ස්කන්ධ ධර්මයන් දැකිය හැකිය. ඒ ස්කන්ධයන්ගේ පීළන, සංඛත, විපරිණාමාර්ථ, සංතාපාර්ථ යන දුක්ඛ ලක්ෂණ ප්‍රතිවේදයෙන් භවාශ්‍රවයට ඇති පදනම දුරු වෙයි. ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කරන්නාට කිසිදු විටෙක භවාශ්‍රවය නොපවතී.
මාර්ගය අනුව බලන කල, සෝවාන් මාර්ගයෙන් අපායගාමී භවාශ්‍රවය ද, සකෘදාගාමී මාර්ගයෙන් රළු භවාශ්‍රවය ද, අනාගාමී මාර්ගයෙන් රළු භවාශ්‍රවය ද, අරිහත් මාර්ගයෙන් සියලු භවාශ්‍රවය ද ගෙවීමට යයි. ඒ අනුව අපායගාමී භවාශ්‍රවයක් ද ඇත. ඒ භවාශ්‍රවය නම් උක්ත දෘෂ්ටි හා සමානුපාතව පවත්නා භවාශ්‍රවයයි.
වර්තමානයේ නිර්වාණ මාර්ගය සොයා යන බොහෝ දෙනෙක් ද මේ භවාශ්‍රවයෙන් ආවරණය කරයි. උපදින්නා වූ සමාධි මාත්‍රය පිළිබඳව ද බොහෝ දෙනා පුද්ගල සඤ්ඤාව පවත්වති. ඒ නිසා ම එහි ඇලෙති. ඒ ඒ තැන ස්කන්ධයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසා ම ඒ ඒ සමාධි මට්ටම් තුළ බොහෝ දෙනෙක් ලැග සිටිති. ඒ ධ්‍යානාදිය ඉපද වීම සඳහා තමාගෙන් තොර නිමිත්තක් හෝ නිමිත්ත දකින තමා හෝ විඳී. ඇතැම් කෙනෙක් ඒ නිමිත්ත හා තමා දෙදෙනෙකු කොට නොසිතයි. තමාත් නිමිත්තත් එකක් ලෙසට ම වැටහෙයි. මෙබඳු වූ මනෝභාවයන් ඇති වන්නේ භවාශ්‍රවයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එලෙස ආශ්‍රව බලවත් වූ කල, එයම ඕඝයක් හා යෝගයක් බවට පත් වෙයි.
නූපන් භවාශ්‍රවය නූපදවීමටත්, උපන් භවාශ්‍රවය දුරු කිරීමටත් ඇත්තේ, මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීම හා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකිරීම හෙවත් යෝනිසෝ මනසිකාරය පැවැත්වීමයි. යෝනිසෝ මනසිකාරය පැවැත් විය යුත්තේ ඒ ඒ ස්කන්ධ ධර්මයන් පිළිබඳවය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයෝ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වන බව ක්‍රමක්‍රමයෙන් නුවණින් විමසීම තුළින් භවාශ්‍රව සමුග්ඝාතය කළ හැකිය. ඒ සඳහා ස්කන්ධ ධර්මයන් වෙත නැඹුරු වන මනස වෙනස් කළ යුතුය. එය වූ කලී ආශ්‍රව සමුග්ඝාත මාර්ගයයි.
භවාශ්‍රවය යෙදෙනුයේ දිට්ඨිගත විප්පයුක්ත ලෝභ මූල සිත් සතරෙහිය.
1. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික.
2. සොමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික.
3. උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික.
4. උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික.
යන සිත් සතරෙහි භවාශ්‍රවය යෙදේ. ඒ අනුව භවාශ්‍රවය දිට්ඨියක් නොවේ. ඒ නිසා ම එයට අරහත් මාර්ගය දක්වා ම පැවතිය හැකිය. තෘෂ්ණා අනුසය පවතින තාක් ම, ප්‍රතිසන්ධිය පිණිස පවත්නා හේතු දුරු නොවේ. ඒ තාක් ම ප්‍රතිසන්ධියට හේතු වන භවාශ්‍රවයේ පැවැත්ම වේ. තෘෂ්ණාව දුරු කිරීමට යම් හෝ අනුපස්සනාවක් පවත්වයි නම්, එයම භවාශ්‍රවය දුරු කිරීම සඳහා උපනිශ්‍රය වේ. ඒ අනුව අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා යන අනුපස්සනා විධීන් ආශ්‍රව සමුග්ඝාතය සඳහා පවත්නා ආයුධයෝ වෙති.
ස්කන්ධයන්ගේ හට ගැනීම හා වැය වීම අනුව බැලීම අනිච්චානුපස්සනාවයි. උදය වැය දැකීම එහි ලක්ෂණයයි. රූප භූමියේ නම් "ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථංගමො" යනුවෙන් රූපය පරිග්‍රහණය කොට එහි හට ගැනීම හා වැය වීම සම්මර්ශනය කළ යුතුය. එලෙසට ම වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ස්කන්ධ ද පරිග්‍රහණය කළ යුතුය. එලෙස අනිත්‍යානුදර්ශනය පවත්නා කල, පෙර දැක් වූ දුක්ඛ ලක්ෂණ අවබෝධ කර ගත හැකිය. එසේ ම යම් ස්කන්ධ සමූහයක් දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුතු නම්, එය තම වශයෙහි නොපැවත්විය හැකි බව අවබෝධ කළ හැකිය. එසේම එවිට අනාත්ම ස්කන්ධ ධර්මයන් පිළිබඳව පුද්ගල දෘෂ්ටි කෝණය හෙළීමෙහි ඇති පහත් බව හෙවත්, සංස්කාරයේ පහත් ලක්ෂණය තේරුම්ගත හැකිය. එය වූ කලී අනාත්ම සඤ්ඤාවයි. මෙලෙස ස්කන්ධ ධර්ම පරිග්‍රහණය කරන කල, සියලු භවාශ්‍රවය ගෙවීමට යයි.
සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!
✍🏻 කොත්මලේ කුමාරකස්සප හිමි
0 Comments