මෙලොව පරලොව දුක ගෙනෙන කාමය..සබ්බාවාස සූත්‍රය 1


නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස...

පුරුදු අප කා සතුවත් පවත්නා දෙයකි. පුරුදු හොඳ සහ නරක ලෙස කොටස් දෙකකට බෙදා සාකච්ඡා කළ හැකිය. හොඳ පුරුදු වටිනා දේ වන අතර ම, නරක පුරුදු නොවටිනා දෙයකි. බොහෝ කල් සිට හුරු කළ පැවැත්ම හඳුන්වන්නට පාවිච්චි කළ හැකි පදයක් ලෙස "ආසව" (ආශ්‍රව) යන්න හැඳින්විය හැකිය.  ඒද හොඳ පුරුදු ලෙස නොව, බොහෝ කල් සිට පුරුදු කළ කෙලෙස් යන අරුතිනි. ආසව යන මාතෘකාවත් ත්‍රිපිටක පාලිය තුළ විවිධ සන්දර්භයන්හි සිට සාකච්ඡා වන අයුරු දැකිය හැකිය. ඒ අතර,

කෙලෙස් ධර්ම ආශ්‍රව ලෙස දැක්වීමත්, ඊට අමතරව,
1. දිට්ඨ ධම්මික ආසව
2. සම්පරායික ආසව

ලෙස ආශ්‍රව ආකාර දෙකකින් දැක්වීමත්,
1. කාමාසව
2. භවාසව
3. දිට්ඨාසව

යනුවෙන් තෙවැදෑරුම්වත් ආශ්‍රව පිළිබඳව දක්වා ඇත. එසේම සුප්‍රකට බෙදීමක් ලෙස,
1. කාමාසව
2. භවාසව
3. දිට්ඨාසව
4. අවිජ්ජාසව

ලෙස සතර බෙදීමක් ද දැකිය හැකිය.

එසේම, පවත්නා තවත් සුවිශේෂී බෙදීමක් ලෙස නිබ්බේධික පරියායේ එන ආශ්‍රව බෙදීම දැකිය හැකිය.
1. නිරයගමනීයා
2. තිරච්ඡානයොනිගමනීයා
3. පෙත්තිවිසයගමනීයා
4. මනුස්සලොකගමනීයා
5. දෙවලොකගමනීයා

එය සුවිශේෂී බෙදීමකි.

එපමණට ම ප්‍රධාන ආශ්‍රව පිළිබඳව සවිස්තරයක් සබ්බාසව සූත්‍රයේද එයි.
1. දස්සනා පහාතබ්බා
2. සංවරා පහාතබ්බා
3. පටිසෙවනා පහාතබ්බා
4. අධිවාසනා පහාතබ්බා
5. පරිවජ්ජනා පහාතබ්බා
6. විනොදනා පහාතබ්බා
7. භාවනා පහාතබ්බා

ඒ අනුව ආශ්‍රව සතක් හඳුනා ගත හැකිය. මේ සියල්ල සම්පිණ්ඩනය කොට ගත් කළ, ආශ්‍රව යන පදයේ පුළුල් අර්ථය මැනවින් තේරුම් ගත හැකිය.

සමස්තයක් ලෙස ආශ්‍රව යනු බොහෝ කල් සිට පැවැති හා පුරුදු කරනු ලැබූ කෙලෙස්ය. එය පුද්ගල සන්තානගතව සාංසාරික පැවැත්මට උපස්ථම්භක වෙයි. ඒ නිසා ම අවිද්‍යාවට පවා හේතුවක් ලෙස ආශ්‍රව ධර්ම දක්වයි. ආශ්‍රව දුරු කිරීම හෙවත් අනාශ්‍රවත්වයට පත්වීම බෞද්ධ දර්ශනයේ මුඛ්‍යාභිලාශයයි. එලෙස අනාශ්‍රවත්වයට පත්වූ තැනැත්තා ක්ෂීණාශ්‍රව (රහතන් වහන්සේ) යන නමිනුදු හඳුන්වනු ලබයි.

ආශ්‍රව ධර්ම දුරු කිරීමට නම් ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් අප සතුව පැවතිය යුතුය.

"චක්ඛුතොපි සන්දන්ති පවත්තන්තීති (ආසවා)" ආදී ලෙසින් ගත් කල ඇසින් ගලා යන බැවින් හා පවත්වනුයේයි ආශ්‍රව නම් වේ. එසේම අනෙකුත් ආයතනයන්ගෙන් (අරමුණු කරා) ගලායන බැවින් ආශ්‍රව නම් වේ. ඉන්ද්‍රිය වෛශයික ධර්මයන් අතොරක් නැතිව පැමිණීමත්, ඒ ධර්මයන්ගේ පැවැත්මත් යන කාරණා මුල් කොට ගෙන ආශ්‍රව නමින් හඳුන්වයි. ඒ ආශ්‍රව පුහුදුන් චිත්ත සන්තානයක කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව ලෙස විවිධ කෘත්‍යයන් සිදු කරයි.

~~ කාමාශ්‍රවය ~~
කාමය යනු කාමනය වන ස්වභාවයයි. ඇලීම හා අභිනන්දනය එහි ස්වභාවයයි. ලෝකය පිළිබඳව සිතන කළ ඔබට ලස්සන රූප, මිහිරි ශබ්ද, මිහිරි රස, ප්‍රිය උපදවන සුවඳ හා සැප සහගත ස්පර්ශ ආදිය හමුවේ නම් එය කාමාසවය නිසා ඇති වන තත්ත්වයකි. රූපයේ ලස්සන ඇති බවට ඔබට පිහිටි මනසක් ඇත. ඒ නිසා ඔබ ඒ ප්‍රිය රූප ම සොයා යයි. රූපය දක්නා කල එය ප්‍රිය ලෙස නැවත නැවතත් ආශ්වාදය අනුව බලයි. බලමින් එය බැහැර පවත්නා බවට තහවුරු කර ගනී. එලෙස බැහැර පවත්නා ප්‍රිය හා අප්‍රිය ලෝකයක් නිර්මාණය කර ගනී. එය කාමාසවයේ ස්වභාවයයි. 

"තත්ථ කතමො කාමාසවො? යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දී කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං - අයං වුච්චති කාමාසවො."

කාමයන් කෙරෙහි පවත්නා ඡන්දය, රාගය, ඇලීම, තෘෂ්ණාව, ස්නේහය, පරිලාහය හා මුසපත් බව හා බැස ගෙන පැවැත්ම යන මේ සියල්ල කාමාසවය හඳුනා ගත හැකි ලක්ෂණයන්ය. කාමය පිළිබඳව විමසීමේ දී බුදුරජාණන් වහන්සේ පළමුව ඒ කාමයට විෂයය ක්ෂේත්‍රය වදාළහ. "
"
අපිච ඛො භික‍්ඛවෙ නෙතෙ කාමා, කාමගුණා නාමෙතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති." ඒ අනුව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාදිය කිසිම කලෙක කාමය නොවේ. ඒ ධර්මයෝ කාම ගුණයන් ලෙස බුදුරජාණන් වහන්සේ දක්වති.

සිතෙහි පවත්නා කාම සංකල්පනාවන් පැවැත් වීම සඳහා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය උපකාර කර ගන්නා බැවින් ඒ ධර්මයෝ කාම ගුණ ලෙස හඳුන්වති. නමුත් කාමය යනු පුද්ගල සන්තාන ගත සංකල්පනාවයි. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ "සංකප්ප රාගො පුරිසස්ස කාමො" යනුවෙනි. සංකල්පමය වශයෙන් පුද්ගලයා ඇති කර ගනු ලබන බැඳීම කාමය ලෙස හඳුන්වනු ලැබේ. 

"නෙතෙ කාමයානි චිත්‍රානි ලොකෙ" මේ ලෝකයෙහි පවත්නා චිත්‍ර හෙවත් රූපාදී ධර්මයෝ කිසිදු කලෙක කාමය ලෙස හඳුන්වනු නොලැබේ. එලෙස හැඳින්විය නොහැකි වුව ද, කාමය බාහිර ලෝකයෙහි පවත්නා ලෙස අප සංකල්පනා ඇති කර ගැනීම කාම සංකල්පනා යනුවෙන් හඳුන්වයි. එය පුරුද්දක් ලෙස අපේ මනසට භාවිත කොට ඇති බැවින් කාමාසව යනුවෙන් ද හඳුන්වනු ලබයි.

ආශ්‍රවයන් යනු බොහෝ කලක් එක තැන පල් වූ දේය. ඒ අනුව කාමය රූපයෙහි පවත්නා ලෙස බොහෝ කලක් සිතෙහි අදහස් පැවැත් වූ අපට වෛශයික ලෝකය සැම කල්හි ප්‍රිය දේ ඉටු කරන ලෝකයක් ලෙස පෙනී යයි. ඒ පෙනීම කාමාශ්‍රවයයි. කාමාශ්‍රවය තවදුරටත් වඩාත් වර්ධනය කර ගැනීම පුහුදුන් චිත්ත සන්තානයක ස්වභාවයයි. ඒ නිසා ම ඉන්ද්‍රියන් පිනවීම සඳහා ලෝකයා නැවත නැවතත් උත්සාහවත් වෙයි. 

එලෙස කාමය තුළින් ලබන පිනවීම පිළිබඳව උත්සාහවත් වන ලෝකයාට බුදුරජාණන් වහන්සේ කාමය තුළින් දුක උපදින ආකාරය පෙන්වා දුන්හ. ඒ තුළින් කැමැත්තට සාපේක්ෂව උපදින දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. දුක, ශෝකය, ළෙහි අත් පැහැර හැඬීම්, වැලපීම්, මේ සියල්ල ම කාමයෙහි ඇති ආදීනවයෝ ය.

තමන් සිතන ආකාරයට ලෝකය නොපවතින කල, ඒ තම කැමැත්ත ඉටු කර ගත නොහැකිව බොහෝ දෙනෙක් දුක උපදවා ගනිති. දෙමවුපියන් අහිමිවන දරුවන් ද, දරුවන් අහිමි වන දෙමවුපියන් ද, නෑදෑයන්, හිතවතුන් අහිමි වන මිනිසුන් ද තමා හට පීඩා පැමිණෙන මිනිසුන් ද, කාමය මුල් කොට ගෙන බොහෝ දුක් වෙහෙස විඳිති. කාමය මුල් කොට ගෙන මිනිස්සු අපරාධ කරති. අපරාධ මුල් කොට ගෙන ඔවුහු මහත් දුක් දොම්නස් අනුභව කරති. මෙලොව පරලොව භේදයකින් තොරව ඔවුහු දුක උරුම කොට පවතින්නා වූ අය බවට පත් වෙති. එසේ ගත් කළ කාමය යනු මෙලොව හා පරලොව සත්ත්වයාට දුක ගෙනැවිත් දෙන ධර්මයකි. 

කාමයෙහි පවත්නා විපාකයක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ "යං ඛො, භික්ඛවෙ, කාමයමානො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බත්තෙති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා, අයං වුච්චති, භික්ඛවෙ, කාමානං විපාකො." ආදී වශයෙනි. ඒ අනුව යමකට කැමති වන පුද්ගලයා ඒ ඒ තැන සුදුසු ආත්මභාවයක් උපදවයි. පුණ්‍යභාගීය හෝ අපුඤ්ඤභාගීය හෝ ආත්මභාවයක් ඉපද වූ කල, ඔහුට සාපේක්ෂව ගොඩ නැගෙන ලෝකය තුළින් එන සියලු දුක් කම්කටොලු වෙහෙස විඩාව විඳින්නට ඔහුට සිදු වෙයි. ඒ මහා ව්‍යසනය හමුවේ අත් මිදීමට මගක් ඔහු කිසිදු ලෙසක නොදකියි.

එහෙයින් කාමාශ්‍රවය පිළිබඳව සංවරයට අප පත් විය යුතුය. කාමාශ්‍රවය පිළිබඳව සංවරයට පත් වන අප කාම නිරෝධය පිළිබඳව අවබෝධ කර ගත යුතුය. කාම නිරෝධය යනු ලෝකයෙහි නිරෝධයයි. එනම් ස්පර්ශ නිරෝධයයි. ස්පර්ශය පවතින තාක් ඒ පුද්ගලයාට කාමාශ්‍රවය වැඩෙයි. ස්පර්ශය යනු ඇස, රූප, සිත යන තිදෙනාගේ එකතුවයි. එසේම කන,ශබ්ද, සිත ආදී ලෙස අනෙකුත් ආයතනයන් හිද දත යුතුය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගනු ලබන වේදනා සංඥා ආදියෙහි පැවැත්ම රූපය තුළින් දැකීම කාමය ඇති වීමටත්, කාමය පැවතීමටත් මූලික ම හේතුවයි. ස්පර්ශය තිදෙනකුගේ එකතුව අනුව පැනවූවක් මිස ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගත් කිසිම දෙයක් ස්පර්ශය සඳහා හේතු වූ එක කරුණකට පමණක් අදාළ කොට දැක්විය නොහැකිය.

ඇසට පෙනෙන රූපය පිළිබඳව පවත්නා රූප සංඥාව, සැම කල්හි ම බාහිර රූපය පැත්තෙන් දකින පුද්ගලයාට කාමාශ්‍රවය දියුණු වෙයි. එසේ නම් කාමාශ්‍රවය නිරුද්ධ කිරීමට ද සිදු වනුයේ  රූප සංඥාව බාහිර රූපය වෙත පතිත කිරීම වැළැක්වීමෙනි. එය ස්පර්ශ නිරෝධයයි. ස්පර්ශ නිරෝධය යනු සාක්ෂාත් කළ යුතු දෙයකි. ස්පර්ශ නිරෝධය සාක්ෂාත් නොකරන කලෙක සංඥා වේදනාවන් රූපය තුළින් දැකීම කිසිදු ලෙසක වෙනස් නොවේ. 

කිසිම කලෙක ඇස නැතිව රූප දැකිය නොහැකිය. රූප නැතිනම් හෙවත්, ඇසට වර්ණ සටහනක පැමිණීම සිදු නොවන්නේ නම්, ඒ ද රූප පිළිබඳව දැන ගැනීමක් සිදු කළ නොහැකිය. ඇස තිබුණ ද, රූපය තිබුණ ද කෙසේවත් රූපය පිළිබඳව දැන ගැනීමට සිතක් නැතිනම් හැකියාවක් නැත. එසේ නම් රූපය පිළිබඳව දැන ගන්නා තැන හෙවත් රූපය දකින තැන හුදු එක ධර්මයක පැවැත්මක් නොව, හේතු තුනක එකතුවක් අපට දැකිය හැකිය. එනම් ඇස, රූප සහ චක්ඛු විඤ්ඤාණයේ එකතුවයි.

මේ තිදෙනා නිසා හට ගත්තා වූ ධර්මයෝ කිසිම කලෙක මේ එකකටවත් අයත් වන ධර්මයන් ලෙස දැක්විය නොහැකිය. තිදෙනා නිසා උපන්නා වූ දේ ඇසට අයත් නොවේ. රූපයට අයත් වූවක් ද නොවේ. එය විඤ්ඤාණයට අයත් වූවක් ද නොවේ. තිදෙනාගෙන් එකක් එකක් නොමැතිව ද ස්පර්ශය හට නොගනී. වේදනා, සංඥා ආදියෙහි හට ගැනීමට උපකාර වූයේ ද ස්පර්ශයයි. ඒ ස්පර්ශය තිදෙනකුගේ එකතුව මිස එක ධර්මයක පැවැත්මක් නොවේ. ඒ තිදෙනාගේ ම නැතිව යෑමෙන් හෝ එක එකක නැතුව යෑමෙන් හෝ ඒ තිදෙනා නිසා උපන් ඵලය නැතිව යයි. 

මෙලෙස පවත්නා යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් බාහිර ආයතනය කෙරෙහි නොපිහිටි මනසක් සකස් කර ගත හැකිය. මෙලෙස රූප සංඥාව බාහිර ආයතනයන් කෙරෙහි හෝ ආධ්‍යාත්මික ආයතනයන් කෙරෙහි හෝ නොපිහිටා සිටින කල එහි පැවැත්මක් සිදු නොවේ. එවිට ඒ රූපය අරභයා කාම වශයෙන් හෝ පටිඝ වශයෙන් හෝ සිතුවිලි පැවැත්විය නොහේ.

විඤ්ඤාණයට බාහිර ආයතන ඇසුරු වන කල ඒ ධර්මයන්ගේ පැවැත්ම ලැබෙයි. පැවැත්ම ලැබූ කල්හි තමන්ට පිහිටා සිටින්නට තැනක් ඇත. තමාට පිහිටා සිටින්නට තැනක් ඇති කල්හි තම රුචි අරුචිකම් අනුව බාහිර ලෝකය වර්ගීකරණය කර ගනිමින් වින්දනය ලැබිය හැකිය. එම වින්දනීය ලෝකය සැම විට ම තම සංකල්පමය වශයෙන් උපදවා ගත්තකි. නමුත් බාහිර ප්‍රත්‍යය ධර්මතාව යනු මොහොතක් මොහොතක් පාසා වෙනස් වන්නකි. එලෙස ප්‍රත්‍ය වෛකල්‍යභාවයට පත් වන කල සංකල්පමය වශයෙන් සකස් කර ගත් සංකල්ප ලෝකය පවත්වා ගත නොහැකි බව පෙනී යයි. එසේ පවත්වා ගත නොහැකි නිසා ම ඔවුන් කරා දුක පැමිණේ.

එලෙස දුක උපදවා ගෙන විඳින ලෝකයට බුදුරජාණන් වහන්සේ සංකල්පය බාහිර වෛශයික ලෝකය පිළිබඳව නොපවත්වන්නට වදාළහ. ඒ අනුව ඉබ්බෙක් තමන්ගේ කබල ඇතුළට අවයව බහාලා ගත්තාක් මෙන් බාහිර ආයතන පිළිබඳව තම සංඥාව නොපවත්වන මනසක් තමා තුළ භාවිත කළ යුතුය. එබඳු වූ දර්ශනයට සැම විට ම ස්පර්ශ නිරෝධය හසුවෙයි. තිදෙනාගේ එකතුව පිළිබඳව අවබෝධ කර ගනු ලබන තැනැත්තා තිදෙනාගේ එකතුව නිසා හට ගත් ධර්මයන් තිදෙනාගෙන් එකක් කෙරෙහිවත් නොපවත්වනු ලැබේ. ඒ එකටවත් එහි අයිතියක් නොමැති නිසාවෙනි. එසේ ගත් කල ඔබ කාමාශ්‍රවය දුරු කළ පුද්ගලයෙකු බවට පත්වේ. කාමාශ්‍රවය දුරු කළේ කාම සහගත ලෝකය බාහිරව පවත්නා විටෙක තම මනස ඉන් නිදහස් කර ගැනීමෙන් නොවේ. බාහිර ලෝකය ඇති බවට ගත්තා වූ වැරදි සහගත සංකල්පනාව දුරු කිරීමෙන් හෙවත්, ලෝකය දුරු කිරීමෙන් කාමය දුරු කිරීමෙනි.

ඒ අනුව කාමාශ්‍රවය දුරු කිරීමට නම් විඤ්ඤාණය නිශ්‍රිත කර ගන්නා වූ දෙය පිළිබඳව යථා තත්ත්වය අවබෝධ කර ගත යුතුය. එනම් ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ, ආදී ධර්මයන් පිළිබඳව සිදු කරනු ලබන යථාර්ථාවබෝධය නිසා ම ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කළ හැකිය. ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කළ විට විතර්කයන් බාහිර ආයතනයන් කෙරෙහි නැඹුරු කිරීම නවතාලයි. එය කාමාශ්‍රවය පූර්ණ දුරු කිරීමයි. 

මෙලෙස කාමාශ්‍රවයේ නිරෝධය පිළිබඳව සාකච්ඡා කළ ද ඒ සඳහා ප්‍රායෝගික මගක් අවශ්‍ය වෙයි. ඒ ප්‍රායෝගික මග සකස් කරගැනීමේදී චිත්ත සන්තානය නිවැරැදි මාර්ගයක මෙහෙය වීම අනිවාර්යෙන් ම කළ යුතුය. ඉහත සාකච්ඡා කළ මූලික දර්ශනය ඒ සඳහා උපනිශ්‍රය වේ. ඒ දර්ශනයට අමතරව තමන්ගේ ජීවිතය සීල ප්‍රතිපදාවක හික්මවා ගැනීම තුළින් ආරම්භ කොට, බාහිර අරමුණුවල හිත නොවිසිරී පවත්වා ගැනීමෙන් සමාධිය දියුණු කිරීම කළ යුතුය. සමාහිත වූ සිතකට නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය කරන කෙලෙස් ධර්මයන්ගෙන් ඇති වන පීඩාව නොලැබේ. එවිට යථාර්ථය අවබෝධ කිරීමට පහසුය.

සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!

✍🏻 කොත්මලේ කුමාරකස්සප හිමි

Post a Comment

0 Comments