ගිරිමානන්ද සූත්‍රය - අනිත්‍ය සංඥා


🔴 ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 13

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

ශ්රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම කෙනෙක් ම උතුම් සද්ධර්ම ශ්රවණයට සූදානම් වන මොහොත. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය හැම කෙනාගෙ ම සිත් සතන් නිවා සැනසීම පිණිස පවතින උතුම් ශ්රේෂ්ඨ ධර්මයක්. ඒ ධර්මය සියලු දෙව් මිනිසුන්ට යහපත පිණිස පවතින දෙයක්. සියලු දුක් කෙළවර කිරීම පිණිස පවතින උතුම් දෙයක්. ඒ නිසා ම තමයි ඒ ධර්මය ස්වාක්ඛාත ධර්මයක් බවට පත් වෙන්නේ. ඒ වගේ ම ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන කෙනෙකුට සැනසීම උරුම කර ගන්නට ජීවත් වෙන කොට ම පුළුවන්කම තියෙනවා.

බුද්ධ සාසනයක ලබන්නට පුළුවන් සුවිශේෂ අග්රතම, ශ්රේෂ්ඨතම ප්රතිඵලය අපට ලබන්නට පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙන කොට. ඒ ජීවත් වෙන කොට ම ලබන ශ්රේෂ්ඨ ප්රතිඵලය ප්රතිලාභය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ නිවැරදි මාවතක් නිවැරදි මාර්ගයක් අපට දේශනා කරලා තියෙනවා. ඒ නිවැරදි මාර්ගය අප අනුගමනය කළ යුතු වෙනවා. ඒ අනුගමනය කිරීම තුළින් තමයි අපිට ඒ උත්තරීතර තත්වය අපේ ජීවිතය තුළ ඇති කර ගන්නට පුළුවන්කම තියෙන්නේ.

ඒ සඳහා වීර්යය, සිහිය මේ දේවල් අත්යවශ්ය ගුණාංගයන් විදිහටයි අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. වීර්යය හා සිහිය ආදී මේ දේවල් සමග යෙදුණු ප්රඥාව බොහෝ දෙනෙකුට හිත සුව පිණිස පවතින දෙයක්. බොහෝ දෙනෙකුට ඒ උත්තරීතර ධර්ම ප්රතිලාභයට හේතු වෙන්නේ එබඳු වූ ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වීම. සම්මා දිට්ඨිය, සම්මා වායාමය සහ සම්මා සතිය කියන මේ උතුම් අංග ටික යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ මූලික අංගයන් බවට පත්වෙනවා නම් ඔවුන්ට මේ සාසනයේ නිවැරදි අග්රතම ශ්රේෂ්ඨතම ප්රතිඵලය ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවශ්ය වන කරුණු කාරණා හා ඒ සඳහා අපේ ජීවිතයට අවැසි වටපිටාව තමයි අපි නොයෙක් දහම් පරියායන් ඔස්සේ සාකච්ඡා කරන්නේ.

✳️ ධර්ම ශ්රවණයේ ආනිසංස

⚜️“අස්සුතං සුණාති”
ධර්ම දේශනාවක් කරන කොට, ඒ ධර්මය ශ්රවණය කිරීම තුළ අපි කලින් අහපු නැති දේවල් අපිට අහගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා “අස්සුතං සුණාති” කියලා.

⚜️"සුතං පරියොදපෙති"
ඒ අහගත්ත දේ වඩාත් අපිට පැහැදිලි කර ගන්නට පුළුවන්කම තියෙනවා.

මෙබඳු වූ ආනිසංස දායක දෙයක් ධර්ම ශ්රවණය කියන්නේ. ඔබ මේ විදිහට ශ්රවණය කර ගන්නේ තමන්ගේ ජීවිතයේ දුක නිවා ගන්නට පුළුවන් උත්තරීතර ප්රතිපදාව. ඒ නිසා ඉතාමත් ශ්රද්ධාවෙන් යුක්තව ඉතාමත් ඕනෑකමින් යුක්තව මේ කරුණු කාරණා හැම කෙනෙක් ම ශ්රවණය කරන්නට ඕනේ.
අපි මීට පෙර සිදු කළ දේශනාවන් හා සමග ම අනුයාත සම්බන්ධ දේශනාවක් තමයි අද දවසේ දීත් සිද්ධ කෙරෙන්නේ. මීට පෙර කෙරුණු දේශනාවන් ඔබට පුළුවන්කම තියෙනවා අන්තර්ජාලය ඔස්සේ සොයලා ශ්රවණය කරන්නට.

අපි කතා කළේ අනිත්ය සංඥාව පිළිබඳව. අනිත්ය සංඥාව පිළිබඳව අපි කතා කරන්න පාදක කර ගත්තේ ගිරිමානන්ද සුත්රය. ගිරිමානන්ද සුත්රය ත්රිපිටකයේ සූත්ර පිටකයට අයත් වටිනා සූත්ර දේශනාවක්. ගිරිමානන්ද සූත්රය ඔබ නිතර භාවිත කරන සූත්රයක්. ඒ නිතර භාවිත කරන සූත්රයක් වුවත් එයින් ලැබිය හැකි ප්රතිලාභයන් කොතෙක් දුරට ඔබට ලබන්නට පුළුවන් ද කියන එක ගැටළුවක් තියෙනවා, එහි අන්තර්ගත කරුණු පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොතිබුණොත්.

ගොඩක් වෙලාවටම සූත්ර දේශනාවන් සජ්ඣායනා කළත්, සූත්ර දේශනාවන් ශ්රවණය කළත් ඒ ඔස්සේ ලෞකික ප්රතිඵලයක් ලබා ගැනීම සඳහා කරන ශ්රවණයක් සහ දේශනාවක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. පිරිත් කීම සහ පිරිත් ඇසීම කියලා අපි එය හඳුන්වනවා. ඒක වැරදියි කියනවා නෙමෙයි. නමුත් ඒ තුළින් අපිට ලැබිය හැකි සැනසීම සාමාන්යයෙන් අපි එය සජ්ඣායනා කරලා ඒ පිළිබඳව සැදැහැ සිතක් උපදවා ගෙන කරන දේට වඩා ඉතාමත් විශිෂ්ට ලෙස අපිට එය කරන්නට පුළුවන්කම තියෙනවා එයින් කියවෙන අර්ථය පිළිබඳව වැටහීමකින් යුක්තව එය ශ්රවණය කරනවා නම් හා ඒ වගේ ම එය දේශනා කරනවා නම්.

ඒ නිසා ගිරිමානන්ද සුත්රයේ අන්තර්ගත කරුණු කාරණා පිළිබඳව අපිට විශේෂ අවබෝධයක් තියෙනවා නම් ඒක ඉතා ම වැදගත්. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වුණු වෙලාවේ දී ආනන්ද තෙරුන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුන් වහන්සේ පිළිබඳව භාග්යවතුන් වහන්සේව දැනුවත් කළහම භාග්යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට මේ දස සංඥා පිළිබඳව දේශනා කළේ. දස සංඥා උගන්වලා, දස සංඥා ගිරිමානන්ද හාමුදුරුවන්ට ගිහිල්ලා කියන්නට කියලයි ආනන්ද තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණේ.
ඉතින් ඒ දස සංඥාවන්ගේ පළවෙනි සංඥාව හැටියට අපි දැක්කා අනිච්ච සංඥාව කියන එක.

අපි ස්කන්ධයන්ගේ උදය වැය පිළිබඳව කියන මාතෘකාව ඔස්සේ පසුගිය දේශනා වලදී අනිත්යතාවය පිළිබඳව බොහො ම ගැඹුරින් සාකච්ඡා කළා. ඒ විදිහට අනිත්ය පිළිබඳව අපි කතා කරන කොට, අපිට දකින්න පුළුවන්කම තියෙනවා අපි අනිත්ය අනුව දැකිය යුත්තේ කුමන ආකාරයකින් ද කියන එක තවත් එවැනි ම සූත්රයන් තුළින්. ඒ සඳහා අපි උපයෝගී කර ගත්තා අනිච්චසඤ්ඤා නමින් ම තියෙන සූත්රයක්. ඒ සූත්රයේ නම ම අනිච්චසඤ්ඤා සූත්රය. සංයුක්ත නිකායේ ඛන්ධ සංයුක්තයේ අපිට දකින්නට තියෙන අනිච්චසඤ්ඤා සූත්රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්ය සංඥාව වඩන්නේ කොහොම ද කියන එක සහ වඩන ලද අනිත්ය සංඥාව නිසා ලැබෙන ප්රතිලාභ මොනව ද, ඒක කොහොම ද අපිට යහපත පිණිස පවතින්නේ කියන කාරණාවන් තමයි අපි ඒ අනිච්චසඤ්ඤා සූත්රය අනුසාරයෙන් කතා කරන්නට යෙදුණේ.

එතන දී අපි කතා කළා රූපය පිළිබඳව අපි අනිත්ය අනුව බලන්නේ කොහොම ද කියලා. "ඉති රූපං, ඉති රූපස්ස සමුදයො ඉති රූපස්ස අත්ථගමො" - මේ රූපය යි, මේ රූපයේ හට ගැනීමයි, මේ රූපයේ අස්තඞ්ගමයයි කියලා, රූපය පිළිබඳව දැන ගැනීමත්, රූප සමුදය පිළිබඳව දැන ගැනීමත්, රූපයන්ගේ අස්තඞ්ගමය පිළිබඳව දැන ගැනීමත් අපි එතැන දී තේරුම් ගත්තා කොහොම ද ඒ අනුව බලන්නේ, කොහොම ද අපි ඒ පිළිබඳව මෙනෙහි කරන්නේ කියලා.

✳️ වේදනාව යනු

ඊට පස්සේ අවසාන වශයෙන් අපි ප්රවිෂ්ට වුණේ වේදනාව පිළිබඳව. පසුගිය දේශනාවෙන් අපි ප්රවේශයක් ගත්ත වේදනාව පිළිබඳවයි අද දවසේ දී අපි සාකච්ඡා කරන්නට තියෙන්නේ. වේදනාව කියලා කියන්නේ, “වෙදියතීති ඛො වෙදනා” කියලනේ කියන්නේ. විඳීම් ස්වභාවය නිසා තමයි වේදනාව කියලා කියන්නේ. විඳීම කියලා කියන්නේ සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, අදුක්ඛමාසුඛ වශයෙන් විඳිනවා. සාමාන්ය ව්යවහාරයෙන් අපි කියනවා සැප, දුක්, උපේක්ෂා වශයෙන් විඳිනවා කියලා.

⚜️ ලෝකයේ අපි සුව, සොම්නසක් විඳිනවා නම් මෙන්න මේකට පොදුවේ කියනවා සැප වේදනා කියලා.

⚜️ දුකක් දොම්නසක් විඳිනවා නම් අපි ඒකට දුක්ඛ වේදනා කියලා.

⚜️ ඒ දෙකෙන් ම තොර මට්ටමකට අපි කියනවා අදුක්ඛමාසුඛ වේදනා කියලා.

මේ තුන ඇතුළේ තවත් අපිට කොටස් බෙදන්නට පුළුවන්කම තියෙනවා කියන එක මේ ටික ගැන කියන කොට ම ඔබට තේරුම් යනවා. ඒකට හේතුව තමයි අපි සුවක් සොම්නසක් කියලා කිව්වා, දුකක් දොම්නසක් කියලා කිව්වා. ඒ නිසා මේ වේදනාව අනුභවන භේදයෙන් අරගෙන ඒ කියන්නේ විඳීම පැත්තෙන් අරගෙන තවත් විග්රහ කොට පෙන්වනවා.

සුව කියලා කියන්නේ කායිකව දැනෙන දේ. ඒ වගේ ම කායික වශයෙන් ඍජුවම දුක් වේදනාව කියන දේත් දැනෙනවා. හැබැයි කායික වශයෙන් සැප සහ දුක දැනුණට සොම්නස සහ දොම්නස අපිට ඍජුව ලැබෙන්නේ කායිකව නෙමෙයි, ඒක මානසිකව දැනෙන දෙයක්. ඒ කියන්නේ අපිට හිතින් හිතලා හිතේ සතුටක් ඇති කර ගන්න පුළුවන් කෙනෙකුට. ඒ වගේ ම හිතින් හිතලා කෙනෙකුට දුකක් ඇති කර ගන්නටත් පුළුවන්කම තියෙනවා. සුඛ, සෝමනස්ස, දුක්ඛ, දෝමනස්ස කියලා කොටස් හතරක් බෙදෙනවා මේ එකම සැප සහ දුක කියන වේදනාව අපිට දැනෙන විදිහ නැතිනම් අපි අරමුණු ගෝචර කර ගන්න විදිහ අනුව. ඒකයි අනුභවන භේදය කියලා කිව්වේ. අදුක්ඛමාසුඛ වේදනාව අපිට ඍජුවම උපේක්ෂා සහගත වේදනාවක් හැටියටයි දැනෙන්නේ.

එතකොට මෙන්න මේ විදිහට අපිට කායික දුක සහ මානසික දෝමනස්සයත්, කායික සුඛ සහ මානසික සෝමනස්සයත් සහ අපිට ඇති වන අදුක්ඛමාසුඛ (උපේක්ෂා) ලෙස වේදනාව පස් වැදෑරුම් කොට අපි කතා කරනවා. වේදනාව මේ මේ ආකාරයන්ගෙන් විවිධ ස්වරුපයෙන් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. විවිධ සංඛ්යාත්මකව වේදනාව පිළිබඳව සංග්රහ කොට දක්වන්නට පුළුවන්කම තියෙනවා.

නමුත් පොදුවේ අපි මේ සියලු ම වේදනාවන් සංගෘහිත කරලා, පොදුවේ සියලු වේදනාවන් එකතු කරලා අපි මේ වේදනාවන්ට කියනවා වේදනා ස්කන්ධය කියලා. දැන් අපි අනිත්ය සංඥාව පිළිබඳව සාකච්ඡා කරන නිසා අපි අනිත්යය අනුව දැකිය යුතු වෙන්නේ වේදනා ස්කන්ධය. එතකොට වේදනා ස්කන්ධය අනිත්ය අනුව බලන කොට, අනිච්චසඤ්ඤා සූත්රයේ දී අපිට භාග්යවතුන් වහන්සේ පැහැදිලි කරනවා කොහොම ද වේදනාවෙහි අනිත්යය බැලිය යුත්තේ කියන දේ.

වේදනාවේ අනිත්ය බැලිය යුත්තේ; වේදනාව පිළිබඳව හඳුනනවා නම්, වේදනාවේ සමුදය පිළිබඳව හඳුනනවා නම්, වේදනාවේ අස්තඞ්ගමය පිළිබඳව හඳුනනවා නම්, ඒ කියන්නේ “ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථගමො” කියලා මේ වේදනාව යි, මේ වේදනාවේ සමුදය යි, මේ වේදනාවේ අස්තඞ්ගමය යි කියලා මෙන්න මේ විදිහට පරිග්රහණය කරන කොට මේක තමයි වේදනාවෙහි තියෙන අනිච්චානුපස්සනාව කියලා කියන්නේ. ගිරිමානන්ද සූත්රයේ අනිත්ය සංඥාව විස්තර කරන කොට විස්තර කරන්නේ වේදනා අනිච්චා. වේදනාව අනිත්යයි කියලා දකින්න.

අනිත්ය වන වේදනාව පිළිබඳව සම්මර්ශනය කරන ආකාරය පිළිබඳව අපි හොයන කොට අපිට ලැබෙනවා අනිච්චසඤ්ඤා සූත්රයේ දී භාග්යවතුන් වහන්සේගේ තවත් විග්රහයක්. අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා වේදනාවෙහි අනිත්ය බලන කොට “ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො ඉති වෙදනාය අත්ථගමො” කියලා මෙන්න මෙයයි වේදනාව, මේ වේදනාවේ හට ගැනීම යි මේ තමයි වේදනාවේ අස්තඞ්ගමය. මෙන්න මේ විදිහට මේ පිළිබඳව දකිනවා කියලා.

‘ඉති වෙදනා’ කියන කොට මේ වේදනාවයි කියලා අපිට මූලික දැනුමක් තියෙන්නට ඕනේ. මෙන්න මේක තමයි වේදනාව කියන්නේ කියලා. වේදනාව පිළිබඳව දැනුමක් ඇති වෙන කොට අපිට වේදනාවේ වෙදයිත ලක්ෂණය පිළිබඳව අපිට එතන නුවණක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ වේදනාවේ විඳීම් සහගත බව පිළිබඳව. අපිට වේදනාව අද ප්රකට වෙන්නේ රූපය පැත්තෙන්. ඒ වගේ ම වේදනාව තව දේකට අයිති දෙයක් විදිහට අපි වේදනාව ඇසුරු කරන්නේ. ඒ කියන්නේ සැප සහගත වේදනාව අපිට අද ඇසුරු වෙන්නේ කොහොම ද කියලා බැලුවොත් එහෙම ඒ සැපය තියෙන දෙයකින් තමයි ඒ සැප වේදනාව එන්නේ කියලා හිතන්නේ අපි. ඒ කියන්නේ ලස්සන රූප දකින කොට තමයි අපිට සැප වේදනාව උපදින්නේ කියලා අපි හිතනවා ඒ වේදනාව රූපය පැත්තේ තිබිලා එන දෙයක් කියලා. ඒ නිසා අපිට ඒ රූපය හැමදාම ඕන කරනවා ඒ සැප වේදනාව ලබා ගන්න.

අපි ශබ්දයක් අහන කොට හිතට දැනෙන සොම්නස අපි දකින්නේ ශබ්දය තුළින් එන දෙයක් හැටියට. ඒ කියන්නේ ශබ්දය පැත්තෙන් තමයි ඒ සැප එන්නේ කියලා. ඒ නිසා අපිට ඒ සැපය ඇති කර ගන්න අවශ්ය වෙන කොට ඒ ශබ්දය ම ඕනේ කරනවා. ඒකට වෙන එකක් තිබිලා බැහැ ඒ ශබ්දය ම ඕනේ අපිට. මේ විදිහට ම ගඳ- සුවඳ, රසය සහ ඵොට්ඨබ්බය පිළිබඳවත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට ඒ ඒ වේදනාවන් ලැබෙන්නේ බාහිර තියෙන දේවල් වලින් කියලයි අපි හිතන්නේ. ඒ වේදනා බාහිර පවත්නා දේවල් හැටියට අපි ගෝචර කර ගන්නවා. එතකොට බාහිර පවත්නා දේවල් හැටියට ඒ වේදනා ගෝචර කර ගෙන පවතින කොට අන්න ඒ අවස්ථාවල දී අපි එතන පිහිටා සිටිනවා, වේදනාව ඒ බාහිර වස්තුවල තිබිලා ඇති වෙන දෙයක් හැටියට.

‘ඉති වෙදනා’ - මේක තමයි වේදනාව කියන කොට අපි වේදනාවගේ ලක්ෂණය හොඳට තේරුම් ගන්නට ඕනේ. එනම් විඳීම් සහගත ස්වභාවය කියන්නේ මොකක් ද කියන එක. මෙන්න මේ විඳීම් සහගත ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගන්න කොට ඒක රූපී ධර්මයන් හා සමග මිශ්රව නොගිය හුදු විඳීම් මාත්රයක් පමණක් වුණු දෙයක් හැටියට අපි හොඳින් පැහැදිලි කර ගන්න ඕනේ. ‘ඉති වෙදනා’ කියලා කියන්නේ ඒකට. එතකොට මෙන්න මේ විඳීම් සහගත ස්වභාවය වෙන් කර ගන්න කොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒ වේදනාව හට ගත්තේ කොහොම ද එහෙනම් කියලා විමසා බලන්න.

මතු සම්බන්ධයි

හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021- 03- 21 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් අනිත්ය සංඥාවට අදාළව පවත්වන ලද හතරවන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.

මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!

Post a Comment

0 Comments