🔴 ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 12
අනිත්ය සංඥාව ඔබේ ජීවිතයේ ප්රායෝගිකව ප්රගුණ කරන ඒ භාවිතය තුළ ඔබට තියෙනවා පළවෙනියටම කළ යුතු දෙයක්. මොකක් ද පළවෙනි දේ? ඔබට තියෙනවා එතන නුවණින් මනසිකාරය පවත්වන්න දෙයක්. ඒ නුවණින් කරන මනසිකාරය තමයි පළවෙනියට ම, “ඉති රූපං” - මේ රූපයයි කියලා දැන ගන්න එක. රූපයයි කියලා දැන ගන්න එකත් එච්චර ම ලේසි තැනක් නෙමෙයි. ඔබට අම්මා, තාත්තා, ගෙවල් ආදී ප්රිය අප්රිය වස්තු හම්බ වෙන තැනක, ගෙවල් දොරවල් යාන වාහන ආදී වශයෙන් නානත්වයක් හම්බ වෙන තැනක ඔබට ඒකත්වයක් දකින්න වෙනවා.
✳️ අනිත්ය සංඥාව වඩන අනුපිළිවෙළ
අපි අද ලෝකය ඇසුරු කරන්නේ නානත්වයක. නානත්වයක කියලා කියන්නේ නානත්ත සංඥාවක ඉඳලා. හොඳ දේවල් තියෙනවා, නරක දේවල් තියෙනවා, වටිනා දේවල් තියෙනවා, නොවටින දේවල් තියෙනවා. ප්රඥප්ති මගින් පනවා ගත්ත ප්රඥප්ති මගින් සංස්කරණය කර ගත්ත දේවල් තුළ තමයි අපි අද වාසය කරන්නේ. අපි හිතනවා ඒ දේවල් ලෝකේ ඒ විදිහට ම තියෙන දේවල් කියලා.
අම්මා ඉන්නවා ම යි, තාත්තා ඉන්නවා ම යි ගෙවල් දොරවල් තියෙනවා ම යි, යාන වාහන තියෙනවා ම යි මේ විදිහට අපි ඒ දේවල් වල පැවැත්ම ගැන තමයි කල්පනා කර ගෙන යන්නේ. අන්න ඒ විදිහට මේ දේවල් වල පැවැත්ම පිළිබඳව අපි කල්පනා කර ගෙන යන කොට ඒ දේවල් තියෙනවා කියලා හිතන කොට මේ නානත්ත සංඥාව තමයි අපි ඉස්සෙල්ලා අයින් කර ගන්න ඕන. එහෙනම් අනිත්ය සංඥාව ප්රායෝගික භාවිතයේ දී ඔබ තේරුම් ගන්නට ඕනේ පළවෙනි ම දේ තමයි නානත්ත සංඥාවෙන් හිත අයින් කරලා, එනම් මේ ලෝකේ වටිනා නොවටින වස්තු තියෙනවා කියන තැනින් හිත පොඩ්ඩක් නිදහස් කර ගෙන රූපය (රූප ස්කන්ධය) ප්රකට කර ගන්න උත්සාහවත් වෙන එක.
රූපය කියලා කියන්නේ මොකක් ද? ඇහැට නම් එන වර්ණ රූපය. කනට නම් එන ශබ්ද රූපය. නාසයට නම් ගන්ධ රූපය. දිවට නම් රස රූපය. කයට නම් ඵොට්ඨබ්බ රූපය. එතකොට මෙන්න මේ විදිහට “ඉති රූපං” කියන කොට ඔබට රූපය අරමුණු කර ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ අරමුණු එකක් එකක් ගැට ගහ ගත්ත ඒවා නොවෙන්නත් ඕනේ ඒ කියන්නේ ඇහැට පෙන දේ අතින් අල්ලන්නත්, අතින් අල්ලන දේ ඇහැට දකින්නත් පුළුවන් ආදී වශයෙන් නොවෙන්න ඕනේ.
ඒ කියන්නේ ඔබට දකින්න පුළුවන් ලුණු තියෙන්න බැහැ ලෝකේ. ලුණු කොයි වගේ ද කියලා ඇහුවොත් ඔබ කියයි; සුදු පාට කැට කැට වගේ දෙයක්, නැතිනම් සුදු පාට කුඩු මේවට තමයි ලුණු කියන්නේ කියලා. හැබැයි ලුණු කියන්නේ රසක්නේ. ඒකට වර්ණ රූප ඇත්තේ නැහැනේ. අන්න ඒ වගේ අපි මේ ආයතන ටික ඔක්කොම එකතු කර ගත්ත බවක් තියෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
කවදාවත් විඳින (දැනෙන) දේ දකින්න බැහැ. ඒ කියන්නේ රසය අපිට ඇහෙන් දකින්න පුළුවන්කමක් නැහැනේ. එහෙම පුළුවන් නම් ඔබට හොඳි ටික දිහා බලලා ලුණු වැඩි ද? ලුණු මදි ද කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ නේ. හැබැයි හොද්ද දිහා බලලා ලුණු වැඩි ද මදි ද කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. රසය දිවට ස්පර්ශ වුණොත් දැනෙන දේ. රසය කවදාවත් පෙන්නේ නැහැ. ඒ වගේ ම පේන දේ අපිට කවදාවත් දිවට දැනෙන්නෙත් නැහැ. අපි බත් පිඬක් අරගෙන කටට දාගෙන කෙලත් එක්ක මිශ්ර වෙලා එන කොට අපිට දැනෙන රසය, අපි දකින්නේ කොහේ තියෙන දෙයක් හැටියට ද? අපි දකින්නේ අර බත් පිඟානේ තියෙන දෙයක් හැටියට. අපි රසයි කියලා දකින්නේ කොහේ තියෙන දේ ද? අර බත් පිඟානේ තියෙන ටික දිහා. හැබැයි කවදාවත් බත් පිඟානේ තියෙන රසය නෙමෙයිනේ අපි විඳින්නේ. දිවට ස්පර්ශ වුණ රසය අපි විඳින්නේ. හැබැයි අපි දකින්නේ ඒක අර පිඟානේ තියෙන දේ හැටියට. ඒක තමයි අපේ තියෙන මෝඩකම. ඒක තමයි අපේ තියෙන අවිද්යාව.
‘ඉති රූපං’ කියලා රූපය අපි දැන ගන්න කොට අන්න ඒ විදිහට තමයි රූපය ගැන දැන ගත යුතු වෙන්නේ. එහෙම නැතුව ආයතනයකට නොආපු දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. ඇහැට නම් ආපු වර්ණය, කනට නම් ආපු ශබ්දය, නාසයට ගන්ධය, දිවට නම් ආපු රසය කයට නම් ආපු ඵොට්ඨබ්බය (ස්පර්ශය) කියන මෙන්න මේ ටික ගැන තමයි කතා කරන්නේ. එතකොට ඔබට පේනවා අපි මේ රූපය කියලා කතා කරන්නේ නානත්වයක් අනුව ගියපු දෙයක් ගැන නෙමෙයි, ආයතනයක් හමුවට එන දේ පිළිබඳව කියලා. ‘ඉති රූපං’ කියලා ඔබ නැවත නැවත ව්යවස්ථාපනය කරන කොට පිහිටුවා තබන කොට නැතිනම් මනසින් ඔබ නැවත නැවත සම්මර්ශනය කරන කොට ඔබට කරන්න තියෙන්නේ මොකක් ද? රූපය කියන ගතිය ප්රකට කර ගන්න.
ඒ කියන්නේ අම්මා, තාත්තා කියලා ඔබට පේන නානත්වය අයින් කරලා ඒ හැම තැනක ම ඔබට හම්බ වෙන එක පොදු ලක්ෂණයක් තියෙනවනේ. මොකක් ද පොදු ලක්ෂණය? ඇහැට එන වර්ණ රූපය කියන දේ. අන්න ඒක ප්රකට කර ගන්න. අන්න ඒ වර්ණ රූපය ගැන ඔබ මනසිකාරය පවත්වලා ප්රකට කර ගන්න කොට ඔබට දකින්න පුළුවන් ‘ඉති රූපස්ස සමුදයො’ - මේක තමයි රූපේ හට ගැනීම. කොහොම ද රූපය හට ගත්තේ? ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ කියන මේ ධර්මතා ටික එකතු වුණ තැනක තමයි රූපය පෙනීම සිද්ධ වෙන්නේ. ඒ රූපයක් පෙනෙන බව ඇහැටවත්, රූපයටවත්, චක්ඛු විඤ්ඤාණයටවත් කියන එකකට විතරක් අයිති දෙයක් එහෙම නෙමෙයි. ඒ හේතු තුන්දෙනාගේ එකතුව නිසා අපිට රූපය දකින්න පුළුවන්කම තියෙනවා.
ඒ වගේ ම අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ටික නිසා තමයි රූපය හට ගත්තේ කියලා අපිට ඒ රූපය හට ගත්ත ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ මොහොතේ හට ගෙන ඒ ධර්මතාවයන් නිරුද්ධ වෙන කොට අපිට රූපයේ නිරෝධය (අසතඞ්ගමය) ප්රත්යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. ඇසේ නැති වීමෙන් ඒ රූපේ නැති වෙලා යනවා එක පාරක් දැකපු රූපය ආයේ ඒක දකින්න පුළුවන්කමක් නැහැ. අලුතෙන් ඇහැක් හැදෙන කොට අලුතෙන් තමයි රූපය එන්නේ. අන්න ඒ විදිහට රූපයේ අසතඞ්ගමය දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබට නුවණින් සම්මර්ශනය කරන්න පුළුවන්කම තියෙනවා.
1️⃣ පළවෙනි අදියර ලෙස ඔබ රූපය ඉස්මතු කර ගන්න.
2️⃣ දෙවෙනි අදියර ඔබ රූපය හට ගත්ත හේතු ටික ඔබ ගවේෂණය කරන්න.
3️⃣ තුන් වෙනි අදියර රූපයේ වැය වීම පිළිබඳව දකිමින් වාසය කරන්න.
4️⃣ සිව්වනුව රූපය හට ගැනීම අනුව සහ වැය වීම කියන මේ දෙක ම ප්රකට කර ගනිමින් වාසය කරන්න.
✳️ සංයෝජන දුරුවෙන ආකාරය
එතකොට ඔබට කියනවා නිවැරදිව අනිත්ය සංඥාව භාවිතා කරනවා කියලා. මේ විදිහට අනිත්ය සංඥාව භාවිතා කරන කොට “සබ්බං කාමරාගං පරියාදියති” - කාම රාගය දුරු කරනවා. ඇයි එයා කාම රාගය දුරු කරනවා කියලා කියන්නේ? කාමය පවත්වන්නේ රූපය ඇසුරු කර ගෙන. එනම් කාමය ඇසුරු කරන්නේ කාම ගුණ ටික අනුරුපීව. කාම ගුණ කියන්නේ මොනව ද? කාමය පැවැත්වීම සඳහා උපකාර වන දේ. කාම ගුණ වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ කියන මේ ටික. මෙන්න මේ දේවල් අරභයා අපි සංකල්පමය වශයෙන් බැඳෙනකම තමයි කාමය කියලා කියන්නේ. රූපය කාමය වුණේ නැහැ. හැබැයි රූපය පිළිබඳව හිතේ ඇති කර ගත්ත කැමැත්ත, ඡන්ද රාගය කියන දේ තමයි කාමය. කැමැත්ත පවත්වා ගැනීමට රූපය හම්බෙන බව උපකාර වුණා. ඒ නිසා අපට ඒ කාම ගුණ ටික අපිට මේ කාමයේ පැවැත්මට හැමදාම උපකාර කරලා තියෙනවා.
දැන් අපි අනිත්ය සංඥාව ප්රකට කර ගන්නවා නම්, ප්රගුණ කර ගන්නවා නම් අන්න එතකොට කාමයේ පැවැත්ම නැති වෙලා යනවා. ඇයි? කාමය පවත්වන්න කාම ගුණ හම්බ වෙන්නේ නැහැ. එනම් රූපය හම්බ වෙන්නේ නැහැ. එක දිගට තියෙන රුප හම්බ වෙන්නේ නැහැ. දැන් මේ මොහොතේ දැකපු දේ මේ මොහොතේ නැති වෙන බවට අපිට නුවණයි නම්, එනම් කලින් දැකපු දේ නැවත තියෙන බවක් අපිට එන්නේ නැතිනම්, අපිට කාමය පවත්වන්න, කැමැත්ත පවත්වන්න තැනක් හම්බ වෙන්නේ නැහැ.
ඇත්ත ම කිව්වොත් එයා ලෝකේ තියෙන කොට ඒ තියෙන දේවල් පිළිබඳව කැමැත්ත නැති කර ගෙන නෙමෙයි. එයා ලෝකය හම්බෙන බව නැති කරලා නිසා කැමැත්ත උපදින ක්ෂේත්රය නැති කරලා. ඒකට කියනවා රූපය විභූත කරලා කියලා. ඒ කියන්නේ රූපය දුරු කරලා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, “යං භික්ඛවෙ, න තුම්හාකං තං පජහථ”. මහණෙනි, යමක් ඔබලගේ නෙමෙයි නම්, ඒක දුරු කරලා දාන්න. මොනව ද ඔබලගේ නොවෙන්නේ? රූපය ඔබලගේ නෙමෙයි. ඇස ඔබලගේ නෙමෙයි කියලා අපිට දේශනා කරන්නේ.
මෙන්න මේ විදිහට අපිට ඇහැ, රූප දී ධර්මයෝ ඇසුරු වෙන් නැති තත්වයට මේ ස්කන්ධ ධර්මයන්ගේ තියෙන අනිත්යතාවය, අනිත්ය ලක්ෂණය අපි ප්රත්යක්ෂ කරන කොට ඒ අවබෝධය අපට හේතු වෙනවා කාම සහගත මනසිකාර ටික ඉවත් කරලා දාන්න.
✳️ වේදනාවේ අනිත්යතාව
වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා තව නාම ධර්මතා ටිකකුත් තියෙනවා. ඒ නාම ධර්මතා ටික ඇසුරු කර ගෙනත් අපිට මේ කෙළෙස් පවත්වන්නට පුළුවන්කම තියෙනවා. වේදනාව කියන කොට විඳීම් සහගත ස්වභාවය. විඳීම් සහගත ස්වභාවය කියලා කියන්නේ අපි ලෝකය සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. සැප, දුක්, උපේක්ෂා වශයෙන් ලෝකය ඇසුරු කරන කොට සැප, දුක්, උපේක්ෂා වශයෙන් ඇසුරු කරන ලෝකය අපි රූපය අනුව ගිහින් නේ අද දැන ගන්නේ. ඒ කියන්නේ දැන් අපි මුලින් ම සිහිපත් කළා කාම භුමිය අනුව ගියපු සත්ත්වයෝ හැටියට අපි රූපය අනුසාරයෙන් තමයි ලෝකේ විඳින්නේ කියලා. කොයි වෙලාවකවත් විඳීම් සහගත ස්වභාවයක් නැතුව අපිට රූපය දැනුනේ නැහැනේ. ඒ නිසා මෙතැන දී රූපයත් එක්ක වේදනාවත් අපි කතා කරනවා.
වේදනාව කියන්නේ විඳින බව. විඳින බව කියන එක නිකන් ම ඇති වුණේ නැහැ. වේදනාව ඇති වුණේ හේතු ටිකක් නිසා. වේදනාව හේතුවක් නිසා හදපු දෙයක් නම්, හේතුව නැති වෙන කොට වේදනාව නැති වෙලා යනවා. ඒක තමයි වේදනාවේ තියෙන ස්වභාවය. අපිට වේදනාවේ අනිත්යතාවය ප්රත්යක්ෂ කරන්නට නම් අපිට හොඳින් තේරුම් ගන්නට වෙනවා අනිච්ච සඤ්ඤා සූත්රය අනුසාරයෙන්. ඒ අනුව බලන කොට “ඉති වෙදනාය, ඉති වෙදනා සමුදයො ඉති වෙදනා අත්ථගමො” කියන එක. ගිරිමානන්ද සුත්රයට අනුව නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ “වෙදනා අනිච්චා” - වේදනාව අනිත්යයි කියලා.
වේදනාව අනිත්යයි කියන එක අපට ප්රත්යක්ෂ කරන්න වෙන්නේ සංඥාවක් විදිහට භාවිත කරලා. අන්න එතකොට ‘ඉති වෙදනා’ - මේක තමයි වේදනාව කියලා කියන්නේ කියන එක මුලින් අපි දැන ගන්න ඕනේ. මොකක් ද වේදනාව? සැප, දුක්, උපේක්ෂා වශයෙන් ඇති කර ගන්න වේදනාව. මේ ටික තව දුරටත් බෙදලා අපි කියනවා,
හිතට සුවක් සොම්නසක් දැනෙන කොට සෝමනස්සය කියලා. කයට දැනෙන කොට ඒකට කියනවා සැපය කියලා. ඒ වගේම කයට දැනෙන්නේ දුක. හිතට දැනෙන්නේ දෝමනස්ස ය. ඊට පස්සේ උපේක්ෂාව නැති නම් සැප, සහ දුක් වශයෙන් නොකියන ලද, ඒකටත් තව වචනයක් පාවිච්චි කරනවා අදුක්ඛමාසුඛ කියලා.
වේදනාව මේ පස් ආකාරයකිනුත් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මුලින් සදහන් පරිදි තුන් ආකාරයකිනුත් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා පොදුවේ වේදනාව පිළිබඳව. වේදනාව පිළිබඳව අපි හඳුනා ගන්නට ඕනේ. වේදනාව කියලා කියන්නේ විඳීම් ස්වභාවය. විඳීම කියන්නේ රූපය නෙමෙයි. විඳින බව ස්පර්ශ ප්රත්යයෙන් උපදින දෙයක්. ඒ විඳින බව අනුභවන ලක්ෂණයෙන් යුක්ත දෙයක්. වේදනාව කවදාවත් රූපය නෙමෙයි කියලා අපි තේරුම් ගන්නට ඕනේ. ‘ඉති වෙදනා’ කියන කොට වේදනාව පිළිබඳව අපි හඳුනා ගෙන තියෙන්නට ඕනේ.
කාය සම්ඵස්සයෙන් නම් කෙළින් ම සැප සහ දුක් වේදනාව හට ගන්නවා. කයට කටුවකින් ඇන්නොත් ඒ වේදනාව දුක් වේදනාවක් තමයි. ඒ වගේ ම මෘදු ස්පර්ශයක් ලැබුණොත් ඒක කයට දැනෙන සැප වේදනාවක් තමයි. හැබැයි ඇහැට පෙනෙන රූපයක් කෙලින්ම සැප වෙලා පේන්නේ නැහැ. ඒ රූපය ස්පර්ශ වීමෙන් හට ගන්නේ සැප සහ දුක් වශයෙන් නැතිව උපේක්ෂා මට්ටමකින් (චක්ඛු විඤ්ඤාණ සිතේ වූ වේදනාව). ඊට පස්සේ මනෝ විඤ්ඤාණ මට්ටමේ හිතකින් තමයි සෝමනස්සය උපදවා ගන්නේ. ඒ කියන්නේ මේ රූපය හොඳයි, යහපත් කියලා හිතෙන් සංකල්පමය වශයෙන් සතුටු වෙනවා. අන්න ඒ නිසා ඒකට කියනවා සොමනස්සය කියලා.
මෙන්න මේ ලෝකයේ ඇති වෙන වින්දනය (විඳීම) අපි මෙතැන දී වෙන් කර ගන්නට ඕනේ. ඒ විඳීම වෙන් කර ගත්තහම අපිට හරි පහසුයි මේක තේරුම් ගන්න යන කොට. ‘ඉති වෙදනා’ කියලා කිව්වේ මෙන්න මේ විදිහට විඳීම පිළිබඳව අපි තේරුම් ගැනීමට. විඳීම බාහිරට පතිත කර කර දකින්න එපා. විඳීම ලෝකෙට අයිතියි කියලා ලෝකේ පැත්තට නැඹුරු කර කර දකින්න එපා. විඳීම කියන ස්වභාවය පමණක් වෙන් කර ගෙන දකින්න. ‘ඉති වෙදනා’ කියලා කිව්වේ ඒකට. එතකොට මේ විදිහට වේදනාව දකිනවා වගේ ම ‘ඉති වෙදනාය සමුදයො’ කියලා වේදනාවේ හට ගැනීමක් තියෙනවා. ‘ඉති වෙදනාය අත්ථගමො කියලා වේදනාවේ අස්තඞ්ගමයක් තියෙනවා. එනම් වේදනාව නැති වී යන බවක් තියෙනවා. ඒ නිසා වේදනාවේ නැති වී යන බව අපිට තේරුම් ගන්නට තියෙනවා. රූපය පිළිබඳව වගේ ම අපිට පුළුවන් වේදනාව පිළිබඳවත්, වේදනාවේ හට ගැනීමත්, වේදනාවේ නැති වීම පිළිබඳවත් දැන ගන්න. ඒක තමයි වේදනාව පිළිබඳව වඩන අනිත්ය සංඥාව බවට පත් වෙන්නේ.
මේ විදිහට වේදනාව, සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය පිළිබඳවත් අපිට අනිත්ය වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේ දීත් තව දුරටත් මේ අනිත් නාම ධර්මයන් පිළිබඳවත් අනිත්ය සංඥාව කොහොම ද භාවිත කරන්නේ, ප්රගුණ කරන්නේ කියන කාරණාව පිළිබඳව කතා කරමු. අපි අනිත්ය සංඥාව නිවැරදිව පාවිච්චි කළොත් මෙය ම මූලික කර ගෙන නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට පුළුවන්කම තියෙනවා.
ඒ නිසා කෙනෙක් අනිත්ය සංඥාව විතරක් ප්රගුණ කළත් එයාට ඒකත් ප්රමාණවත් නිර්වාණය අවබෝධ කරන්න. ඒ නිසා මේ අනිත්ය සංඥාව ඉතා ම විශේෂ සංඥාවක්. ඔබේ දැහැමි ප්රතිපදාව ඔබ දියුණු කර ගෙන යන කොට ඔබ අප්රමාදී වෙන්න කොහොම හරි මේ අනිත්ය සංඥාව තමන් තුළ උපදවා ගන්නවා කියන අදහසින් යුක්තව.
මතු සම්බන්ධයි
හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-03- 14 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් අනිත්ය සංඥාවට අදාළව පවත්වන ලද තුන්වන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments