ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 11
❇️ කාම භූමීයේ සත්වයන්ගේ ලක්ෂණය
ඇයි රූපය මූලික කර ගෙන මුලින් ම අනිච්ච සංඥාව ගැන කතා කරන්නේ? කාම භුමියේ සත්ත්වයෝ හැටියට ඔබට සිතට වඩා ප්රධාන හා ප්රකට රූපය යි. අද ඉන්න කාම භූමී මට්ටමේ දී වේදනාවත් ඔබට ඇසුරු වෙන්නේ රූපය පැත්තෙන්. මේ මේ රූප බැලුවහම තමයි සතුට ඇති වෙන්නේ, මේ මේ රූප නිසා තමයි දුක ඇති වෙන්නේ, මේ මේ වචන නිසා තමයි සතුටු හිතුනේ, මේ මේ වචන නිසා තමයි දුක ඇති වෙන්නේ, ආදී වශයෙන් ඔබට නාම ධර්ම ටිකත් ප්රකට වෙලා තියෙන්නේ රූපය ඇසුරෙන්.
කාම ධාතුවේ සත්ත්වයෝ නැතිනම් මේ මනුස්ස තලයත්, සතර අපායත්, දිව්ය ලෝක හයත් මේ හැම තැනක ම රූපය අනුව තමයි සැප දුක් විඳින්නේ. ඒ නිසා කියනවා කාම භූමිය රූපය පරියාපන්නයි කියලා. රූපය පරියාපන්නව, රූපය අනුව ගිහිල්ලා සැප දුක් විඳින නිසා තමයි ඔබට මෙච්චර ම රූපය පිළිබඳව කතා කරන්නේ. ආයතන හයක් කතා කරනවා නේ අපි. ඒ කියන්නේ ලෝකේ තැන් හයක් පිළිබඳව. ඒ හයෙන් පහක් ම රූපයට අදාළ දේවල්. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඔක්කොම රූපය ගෝචර කරන්න පුළුවන් තැන් ටික. එනම් ආයතන පහක් ම රූපය ගෝචර කර ගන්න තැන්. ඒ නිසා අපි මේ පස් තැන නුවණින් පිරිසිඳ දැක්ක යුතු වෙනවා. ඒ නිසා තමයි රූපය ගැන වැඩිදුරටත් අපි කතා කරන්නේ.
❇️ මාලුඞ්ක්ඛ්යපුත්ත සූත්රයට අනුව
බුදුරජාණන් වහන්සේ මේ කාරණාව බොහොම අපූරුවට දේශනා කරපු තව සූත්ර දේශනාවක් තමයි මාලුඞ්ක්ඛ්යපුත්ත සූත්රය කියලා කියන්නේ. මාලුඞ්ක්ඛ්යපුත්ත සූත්රයේ දී, මාලුඞ්ක්ඛ්යපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් කෙටියෙන් දහම් අවවාදයක් අහපු වෙලාවේ දී බුදුරජාණන් වහන්සේ මාලුඞ්ක්ඛ්යපුත්ත හාමුදුරුවන්ට පැහැදිලි කරනවා;
➖“දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති”- යම්කිසි කෙනෙකුට දැකපු දේ දැකීම් මාත්රයෙන් ඉවරයි කියලා නුවණක් තියෙනව නම්,
➖ "සුතෙ සුතමත්තං භවිස්සති" අහපු දේ ඇහීම් මාත්රයෙන් ඉවරයි කියලා නුවණක් තියෙනව නම්,
➖ “මුතෙ මුතමත්තං භවිස්සති” - දැනුණු දේ දැනීම් මාත්රයෙන් ඉවරයි කියලා නුවණක් තියෙනව නම්,
➖”විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති” - දැන ගත්තු දේ දැන ගැනීම් මාත්රයෙන් ඉවරයි කියලා නුවණක් තියෙනව නම්,
⚜️ “තතො ත්වං මාලුඞ්ක්යපුත්ත, න තෙන.”- මාලුඞ්ක්ඛ්යපුත්ත, ඔබ ඒ දැකපු, අහපු, දැනුණු, දැන ගත්ත දේවල් හා සමග නැහැ.
⚜️“යතො ත්වං මාලුඞ්ක්යපුත්ත, න තෙන, තතො ත්වං මාලුඞ්ක්යපුත්ත, න තත්ථ” - මාලුඞ්ක්ඛ්යපුත්ත, ඔබ යමක් සමග නැත්නම්, මාලුඞ්ක්ඛ්යපුත්ත, ඔබ එතන නැහැ.
⚜️“යතො ත්වං මාලුඞ්ක්යපුත්ත, න තත්ථ, තතො ත්වං මාලුඞ්ක්යපුත්ත, නෙවිධ න හුරං න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සාති.” - මාලුඞ්ක්ඛ්යපුත්ත, ඔබ යම් තැනක පිහිටා සිටලා නැත්නම්, ඔබට මේ ලෝකේ නැහැ. පරලොවත් නැහැ. මේ දෙක අතරත් නැහැ. මේක තමයි දුකේ කෙළවර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළේ අනිත්ය සංඥාව තුළ උපදවා ගන්නා නුවණක් පිළිබඳව. මොකක් ද අපි අනිත්ය සංඥාව කියලා මෙතැන දී අපි උද්දීපනය කර ගත යුත්තේ? මෙතන දී අපි උද්දීපනය කර ගත යුතු දේ තමයි “දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති” ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නුවණ පිළිබඳව. දැකීම දැකීම් මාත්රයක් පමණයි කියන නුවණ අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ අනිත්ය සංඥාව පරිභාවිත කිරීමෙන්. අනිත්ය සංඥාව වැඩීමෙන් විතරයි අපිට ඒ නුවණ ඇති කර ගන්න පුළුවන්කම තියෙන්නේ.
ඒ කියන්නේ අපි දැක්කේ නැති වුණොත් ඇහැට ආපු වර්ණ රූපය ඒ මොහොතේ හට ගෙන ඉතුරු නැතිව නැති වෙනවා කියලා, එවිට ඒ රූපය එළියේ තියෙන බවට ඔබ නිමිති ඉතුරු කර ගන්නවා.
❇️ තමාව ගොඩනැගෙන ආකාරය
ඔබ නිවසේ දැන් දකින ඔය පරිසරය ම ඔබ ආපහු හෙට ඇවිල්ලා බලන කොටත් ඔබ කියයි ඊයේ තිබුණ විදිහට ම තියෙනවා කියලා. ඔබට ඊයේ දැකපු දේ ම නැවත දකින්න පුළුවන්කමක් කිසිම විටෙක යථාර්ථය තුළ තිබුණේ නැහැ. ඊයේ දැකපු දේ නැවත තියෙනවා කියලා හිතන කොට ම ඔබට තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඊයේ ඒ දේ දැකපු මමත් ඉන්නවා කියන එක. එතකොට ඒ මම කවුද?
ඒ මම කියලා වෙන ම දෙයක් තිබුණේ නැහැ. රූපය එළියේ පවතිනවා කියලා නිමිති ඔබට තියෙනවා නම්, ඒ පේන දේ දකින කෙනා ආධ්යාත්මික පැත්තේ ඉන්න බවට, ‘තමන් ඇති බවට’ ගෙනෙවිත් දීලා තියෙනවා. එතකොට තමන් ඇති බවට ඔබට ඇසුරු වෙනවා. තමන්ට තමන් ඇති බවට ඇසුරු වෙන්නේ වෙන තැනක නෙමෙයි පින්වතුනි, රූපයේ අනිත්යතාවය නොදැක පේන රූපය එළියේ ඇති බවට ඇසුරු වෙනවා නම්, ඒ රූපය විඳින තමන් ආධ්යාත්මික පැත්තේ ඉන්නවා. ඇහෙන ශබ්දය එළියේ තියෙන දෙයක් නම්, ඒ ශබ්දය විඳින තමන් ආධ්යාත්මික ආයතන පැත්තේ ඉන්නවා. ඒ වගේ ම ගඳ, සුවඳ, රස, ස්පර්ශයන්ගේ අනිත්ය නොදැක ඔබට බාහිර ලෝකය තුළින් ඇති බවට ලැබෙනවා නම්, ඒ දේවල් විඳපු කෙනා ආධ්යාත්මික පැත්තේ ඉන්නවා. ස්කන්ධ ටිකේ අනිත්යතාවය නොදැන ගත්තහම මොකද වෙන්නේ? ඒ ස්කන්ධ ඇසුරු කර ගෙන ජීවත් වෙන පුද්ගලයෙක් ඔබට ලැබෙනවා. එනම් පුද්ගල බවක් ඔබට ලැබෙනවා.
මාලුඞ්ක්ඛ්යපුත්ත හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, යම්කිසි විදිහකින් දැකපු දේ දැකීම් මාත්රයෙන් ඉවරයි කියලා දැක්කොත්, මාලුඞ්ක්ඛ්යපුත්ත ඔබ ඒ දේ එක්ක නැහැ කියලා. නමුත් අද මොකද අපිට වෙලා තියෙන්නේ? දකින දේත් එක්ක අපි ජීවත් වෙනවා. දකින දේත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ? රූපය දකිනවා, ඒ රූපය දකින මමත් ඉන්නවා. ඒ නිසා පොඩි කාලේ ඉඳපු මම දැනුත් ඉන්නවා. ඒ මම අනාගතේට යනවා කියන මිච්ඡා දිට්ඨිය අපිට තියෙන්නේ අන්න ඒ නිසයි.
❇️ අපේ වැරදීම දැකීම නිසා ඇතිවෙන ආදීනව
ඒ මිථ්යා දර්ශනය අපිට තියෙන කොට මොකක් ද වෙන්නේ පින්වතුනි? ඒ දැක්ම තියා ගෙන ජීවත්වෙන ඔබට ඔබේ කැමැත්ත අනුව පවතින දේවල් වෙනස් වෙලා යන කොට දුක එනවා ඔබේ ජීවිතේට. එතකොට ඒ දුක ආවේ මොකක් නිසා ද? ඔබ යථාර්ථය අවබෝධ කර ගත්තේ නැහැ. කුමන යථාර්ථය අවබෝධ කර නොගත්තේ? රූපය හට ගෙන ඉතුරු නැතිව නැති වුණු ධර්මයක් විදිහට නොදන්නාකම නිසා ඔබ නැවත නැවතත් රූපය පවතින දෙයක් හැටියට හිතුවා. පවතින දේ විඳින තමාත් ඉන්නවා කියලා හිතුවා. දැන් ඔය ජීවත් වෙන තමන්ට ලෙඩ වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, මහලු වෙන්න පුළුවන්. තමන්ට ලෝකේ තව පුද්ගලයන්ගේ ලෙඩ වෙන, මැරෙන, මහලු බව හම්බෙන්න පුළුවන්.
නමුත් කවදාවත් ඔබට එළියේ තියෙන රූපෙකින් ලෙඩ වීමේ දුක ගෙනත් දෙන්න පුළුවන්කම තිබ්බේ නැහැ. කවදාවත් එළියේ තියෙන රූපෙකින් ඔබට මරණ දුක ගෙනත් දෙන්න පුළුවන්කම තිබ්බෙ නැහැ.
හැම වෙලාවක දී ම ස්කන්ධයන්ගේ අනිත්යතාවය නොදැකීම හේතුවෙන් ස්කන්ධ ධර්මයන් අරභයා ගොඩ නගා ගත් පුද්ගලභාවය, එනම් ඔබේ ජීවත් වීමත් එක්කම ඒ හැම දුකක් ම උපදවා ගෙන තියෙනවා. මේක ඉතා ම සියුම් ඉතා ම නුවණින් දැක්ක යුතු සිද්ධියක්.
අපි හොඳින් කල්පනා කරලා බලන කොට අපිට පේනවා ලෝකය අපි ඇසුරු කරන්නේ මොන තරම් අවිද්යා සහගත, මොන තරම් කෙලෙස් සහගත තත්වයක ඉඳල ද කියලා. අපි ලෝකය ඇසුරු කරන්නේ නිත්ය, සුඛ, ආත්ම කියන තැන ඉඳලා. ඒ සත්ත්ව, පුද්ගල, ආත්ම බව පවත්වලා තියෙන්නේ අනිත්ය දේ නිත්යයි කියලා ගත්ත විපල්ලාස සංඥාව මත. ඒ නිසා තමයි අතීතේ ඉඳලා ජීවත් වෙන, අනාගතයට තව ඉන්න පුළුවන්කමක් තියෙන කෙනෙක් හැටියට ඔබට ඔබව හම්බ වෙන්නේ. ඒ ඉන්න ඔබට විඳින්න පුළුවන් භෞතික ලෝකයක් එළියේ තියෙනවා කියලා ඔබට හම්බ වෙන්නේ.
ඒ නිසා ඔය තියෙන දේවල් වෙනස් වෙන කොට ඔබට දුක එනවා. තියෙන දේවල් හම්බ වෙන කොට ඔබට ඒ තියෙන දේවල් ගැන ඇලෙන්න පුළුවන්කම තියෙනවා. තියෙන දේවල් ලෝකේ හම්බ වෙන කොට ඒ දේවල් ගැන ඔබට ගැටෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ ඇලෙන දේවල් පිළිබඳව කල්පනා කර කර හිතින් තැවෙමින් ඒ දේවල් හොයනවා. ගැටෙන දේවල් ගැන කල්පනා කර කර ඔබ හිතෙන් දුක් වෙනවා. ඔබ රූපාදී ස්කන්ධ ධර්මයන්ගේ අනිත්යතාවය දකින්නේ නැහැ.
සමහර වෙලාවට එක මොහොතක ඇහෙන වචන ටිකක් විතරයි අපිට. ඒ මොහොතට ඇහෙන වචන ටික පිළිබඳව අපි ඇතැම් වෙලාවට කොච්චර කාලයක් හිත හිතා දුක් වෙන්න පුළුවන් ද? මේ මනුස්සයා මට බැන්නා, මේ මනුස්සයා මට මෙහෙම කිව්වා. මට මේ විදිහට දෝෂාරෝපණය කළා. ආදී වශයෙන් ඒ ගැන හිත හිතා ඔබට කොච්චර දුක් වෙන්න පුළුවන් ද. නමුත් ඒ සද්දේ ඔබට දැනුත් ඇහෙනවා ද? නැහැ, ශබ්දය ඇහෙන්නේ නැහැ. ශබ්දය හට ගෙන නැති වෙලා ගියපු දෙයක්. නැති වීම පිළිබඳව නොදන්නා ඔබ, ඒ ශබ්දය හට ගත්ත ආකාරය පිළිබඳවත් නොදන්නා ඔබට ශබ්දය පුද්ගලයෙකුගේ වෙලා, අහවල් මනුස්සයා තමයි ඒක කිව්වේ වෙලා. ඒ කියපු දේ පුද්ගලයෙකුගේ වෙන කොට ඒක අහ ගත්තේ තමන් වුණ තවත් පුද්ගලයෙකු ද වෙන කොට ඔන්න ඔබට බැනුම් අහන්න පුළුවන්කම ලැබිලා. දැන් ඔබට පුළුවන් ලෝකෙන් බැණුම් අහන්න.
අපි කොච්චර කිව්වත් ඒ මනුස්සයා බැන්න නිසයි මට දුක ආවේ කියලා ඇත්තට ම ඔබට දුක එන්නේ බැණපු නිසා නෙමෙයි. ඔබට දුක එන්නේ ඒ බැණුම ඔබේ කර ගත්ත නිසා. ඒ බැණුම තව පුද්ගලයෙක් විසින් කරපු දෙයක් බවට ඔබ උපාදානයෙන් ගත්ත නිසා. ඔබ දුක උපද්ද ගත්තේ ඔබේ ම තියෙන වැරදි අදහස නිසා. හිතේ පෙරලුණු සංඥාව නිසා. ඒ නිසා ඔබට දුක නැති කර ගන්න ඕනේ නම්, ඔබ කළ යුතු වෙන්නෙත් පෙරලුණු සංඥාව (විපල්ලාස සංඥාව) වෙනස් කර ගන්න එක. අනිත්ය දේ අනිත්යයි කියලා දකින එක. ඒ සඳහායි අපි අනිත්ය සංඥාව භාවිතා කළ යුත්තේ.
අනිත්ය සංඥාව වැඩීම තුළින් මාලුඞ්ක්ඛ්යපුත්ත හාමුදුරුවන්ට දේශනා කරපු තත්වයටනේ ඔබ පත් වෙන්න ඕනේ. දැකපු දේ එතනින් ඉවර නම්, අහපු දේ එතනින් ඉවර නම්, දැනුණු, දැන ගත්ත දේවල් එතනින් ඉවර නම්, ඒ දේවල් අනාගතයට තියෙන්නෙත් නැත්නම් අතීතේ තිබුණ දේ ආයේ එන්නෙත් නැත්නම් ඒ හා සමග ජීවත් වෙන්න පුද්ගලයෙක් ගොඩ නැගෙන්න තැනක් නැහැ.
දැන් අපි දැක්කා ඉන්න කෙනාව (මමත්වය) ගොඩ නැගෙන්නේ, මේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ඉන්න සත්ත්වයෙක්, ආත්මයක් තියෙනවා කියන එක ගොඩ නැගෙන්නේ කොතන ද? ඒ පුද්ගලභාවය ගොඩ නැගෙන්නේ දැකපු රූපය තියෙනවා කියන තැන, අහපු ශබ්දය තියෙනවා කියන තැන. හැබැයි ඒ රූප, ශබ්ද ආදී ධර්මයෝ එතන ම හට ගෙන ඉතුරු නැතුව නැති වෙනවා නම්, හේතු නිසා සකස් වෙච්චි දෙයක් නම් ඒ ස්කන්ධයෝ කෙනෙක් වෙන්න බැහැ, ඒවා පුද්ගලයෙක් වෙන්න බැහැ, ඒවා ආත්මයක් වෙන්න බැහැ. හේතු නිසා හට ගත්ත ස්කන්ධයෝ හේතු නැති වෙන කොට නැති වෙලා යනවා.
මෙන්න මේ අනිත්යතාවය දකින තැනක ඔහුට කවදාවත් පවතින දේවල් හම්බ වෙන්නේ නැහැ. එනම් එක දිගට ලෝකේ තියෙන දේවල් හම්බ වෙන්නේ නැහැ. ඒකයි,
“සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දතී දුක්ඛෙ
එස මග්ගො විසුද්ධියා”
❇️ දුකේ කළකිරීමට නම්
හේතු නිසා සකස් වෙන සියලු සංස්කාර ධර්මයන් හේතු නැති වෙන කොට නැති වෙනවා කියන දේ දකින්න පුළුවන් නම් දුකේ කළකිරෙනවා. මේක තමයි නිවනට තියෙන මග. හේතු නිසා සකස් වෙච්ච සියළු ධර්මයෝ හේතු නැති වෙන කොට නැති වෙලා යනවා කියන එක අද ප්රත්යක්ෂ වශයෙන් අපි තුළ උපදවා ගත යුතු ඤාණ දර්ශනයක්.
මාලුඞ්ක්ඛ්යපුත්ත සූත්රයේ දී කතා කරපු විදිහට, “යතො ත්වං මාලුඞ්ක්ඛ්යපුත්ත න තෙන, තතො ත්වං මාලුඞ්ක්ඛ්යපුත්ත න තත්ථ”, - මාලුඞ්ක්ඛ්යපුත්ත යමක් සමග ඔබ නැත්නම් මාලුඞ්ක්ඛ්යපුත්ත ඔබ එතන නැහැ. මාලුඞ්ක්ඛ්යපුත්ත තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පේන දේත් එක්ක, ඇහෙන දේත් එක්ක, දැනෙන දේත් එක්ක, දැන ගන්න දේත් එක්ක ඔබ නැත්නම්; පේන, ඇහෙන, දැනෙන, දැන ගන්න 'මම ඉන්නවා' කියලා හා මට ඉන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ‘න තත්ථ’, කියන්නේ එහි නැහැ කියන එක. එනම් ලෝකයේ පිහිටා ඉන්න තැනක් ඔබට හම්බ වෙන්නේ නැහැ.
❇️ ලෝකය ඇසුරුවෙන ආකාරය
ඔබ ලෝකය කියලා හඳුනන්නේ මොකක් ද? ඔබ ලෝකය කියලා හඳුනන්නේ ඔබ දැකපු දේවල්, ඔබ අහපු දේවල්, ඔබට දැනුණු දේවල්, ඔබ දැන ගත්ත දේවල්. ඔබ දැකපු, අහපු, දැනුණු, දැන ගත්ත දේවල් හැරුණු කොට ඔබට ලෝකය කියලා වෙන ඇසුරු කරන්න දෙයක් ඇත්තේ නැහැ. මේ මොහොතේ දකින බවක් තියෙනවා නම්, අතීතයේ දැකපු බවක් හෝ තියෙනවා නම්, ඒක තමයි ඔබ ලෝකය කියලා ඇසුරු කරන්නේ. තව ද ඔබ ලෝකය කියලා ඇසුරු කරන්නේ එක්කෝ ඔබ අහපු දෙයක් හෝ අහපු බවක හෝ දෙයක් ගැන. එක්කෝ දැනුණු දෙයක් හෝ දැනෙන බව තුළ. එක්කෝ දැන ගත්ත හෝ දැන ගැනීම් කියන ලක්ෂණය තිබුණ තැනක විතරයි.
ඒ නිසා ඔබ ලෝකය ගොඩ නගා ගෙන තියෙන්නේ මෙන්න මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියන තැනක. දිට්ඨ කියනවා දකින බවට. සුත කියනවා අහන බවට. මුත කියනවා දැනෙන බවට. දැනෙන්නේ ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල්, එතකොට ඒවා මුතය හැටියට දක්වනවා. විඤ්ඤාත කියලා කියනවා දැන ගත්ත දේවල්. මේ ටික නැතුව ඔබට ලෝකය කියලා යමක් හම්බ වෙන්නේ නැහැ. මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත ටික පිළිබඳව ඔබට අනිත්යතාවය ප්රත්යක්ෂ කරන්නට පුළුවන් නම්, මේ ටික හට ගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදියට ඔබට නුවණින් දකින්න පුළුවන් නම් ඔබට පිහිටා සිටින්න තැනක් නැහැ.
ඇයි තැනක් නැත්තේ? ඔබ නැති කරලා තියෙන්නේ ලෝකය නිසා. ඔබ ලෝකය නැති කරලා. එනම් ලෝක නිරෝධයක් කරලා. ඇයි ලෝකය කියලා කල්පනා කළේ දැකපු දේවල් නම්, ඒ දැකපු දේ තියෙනවා නෙමෙයි නම්, හේතු නිසා හට ගත්ත ධර්මයක් හේතු නැති වෙන කොට නැති වෙනවා නම්, ඔබට තියෙනවා කියලා හිතෙන ලෝකය පවත්වන්න දැන් තැනක් නැහැ. ඔබට පිහිටා සිටින්න තැනක් නැහැ. ඒකයි ‘න තත්ථ’ කියලා කිව්වේ.
⚜️ “යතො ත්වං මාලුඞ්ක්යපුත්ත, න තෙන, තතො ත්වං මාලුඞ්ක්යපුත්ත, න තත්ථ;” - මාලුඞ්ක්ඛ්යපුත්ත, යම් තැනක ඔබ නැත්නම්, ඔබට පිහිටා සිටින්න ලෝකයක් නැහැ.
⚜️ “තතො ත්වං මාලුඞ්ක්ඛ්යපුත්ත නෙ විධ”, මාලුඞ්ක්ඛ්යපුත්ත, ඔබට යම් පිහිටා සිටින්න තැනක් නැත්නම්, මාලුඞ්ක්ඛ්යපුත්ත, ඔබ මේ ලෝකේ ඉන්න කෙනෙක් නෙමෙයි.
⚜️ “න හුරං” - ඔබ පරලොව ඉන්න කෙනෙකුත් නෙමෙයි.
⚜️ “න උභයමන්තරෙන” - මෙලොව හා පරලොව කියන දෙක අතර කොතන හෝ තැනක ඉන්න කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ ලෝකයක් හදා ගෙන ලෝකේ ඇතුළේ ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. ඒ වගේ ම මේ ලෝකෙන් වෙනත් තැනකට වෙලා ඉන්න කෙනෙකුත් නෙමෙයි.
⚜️ “එසෙවන්තො දුක්ඛස්සාති”. මේක තමයි දුකේ කෙළවර.
බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දුකේ කෙළවර පිළිබඳව දේශනා කරපු තැන. දුකේ කෙළවර අපිට ප්රත්යක්ෂ වශයෙන් තේරුම් ගන්නට තියෙන්නේ අනිත්ය සංඥාව පරිභාවිත කිරීම තුළ, අනිත්ය සංඥාව දියුණු කිරීම තුළ. අනිත්ය සංඥාව භාවිත නොකළොත් අපිට මෙය අවබෝධ කර ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. දැන් ඔය අපි කතා කළේ රූපය ඇසුරෙන් අපි කොහොම ද අනිත්ය සංඥාව වඩන්නේ කියන එක.
මතු සම්බන්ධයි
හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-03- 14 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් අනිත්ය සංඥාවට අදාළව පවත්වන ලද තුන්වන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments