ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 10
❇️ රූපයේ නැති වීම
“ඉති රූපස්ස අත්ථගමො” හේතු නිසා හට ගත්ත රූපය ඒ හේතු ටික නැති වෙන කොට නැති වෙලා යනවා. එනම් ඒ වර්ණ සටහන නැති වෙන කොට රූපය නැති වෙලා යනවා. චක්ඛු ප්රසාදය නැති වෙලා යන කොටත් රූපය නැති වෙලා යනවා. ඒ අනුව ඇති වුණු හිත බිඳී යන කොටත් රූපය නැති වෙලා යනවා. දැකපු බව තියෙන්නේ ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණය කියන හේතු ටික නිසා නම් ඒ හේතු ටික නැති වෙන කොට දැකපු බව (පෙනීම) තියෙන්න පුළුවන්කමක් නැහැ. ඒ පෙනීම ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක තමයි ලෝකේ තියෙන යථාර්ථය. ඒක තමයි ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය.
❇️ අනාගතේට ඇහැක් නූපදීමට නම්
ඒ වගේ ම අවිද්යාව නැති වුණොත් ඔබට ඇස නැති වෙනවා. කර්මය නැති වුණොත් ඔබට ඇස නැති වෙනවා. තණ්හාව නැති වුණොත් ඔබට ඇස නැති වෙනවා. ඒ කියන්නේ වර්තමානේ හට ගෙන නිරුද්ධ වූ ධර්මයන් අරභයා 'ඇහැ තියෙනවා' කියලා ඔබට ඇසුරු කරන්න පුළුවන් මෝඩකම නැති වුණොත්, 'රූපය තියෙනවා' කියලා ගන්න මෝඩකම නැති වුණොත්, 'හිත තියෙනවා' කියලා ගන්න මෝඩකම නැති වුණොත්, ඔබට අනාගතේට ඇහැක් උපදින්න තියෙන හේතුව තමයි ඔබ අද නැති කරලා තියෙන්නේ. ඇහැ ඇති වුණේ අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික නිසා නම් ඒ හේතු ටික නැති වෙන කොට ඇහැ නැති වෙනවා කියලා දකිනවා. ඒ සඳහා ඔබ වර්තමාන ඇහෙත් ඇත්ත යථාර්ථය දකිනවා.
ඇහැ උපදින්න කන බොන ආහාරයත් ප්රත්යයක්. කන බොන බත්, පාන්, කව්පි, මුං ඇටවලින් කෙලින් ම ඇස් හැදුණේ නැහැනේ. කන බොන ආහාරයේ තියෙන ඔජාමය සාරය අරගෙන ඒ ඔජාමය සාරයෙන් තමයි ප්රසාද රූපයන් නැවත නැවත වැඩි දියුණු කළේ, නැතිනම් ප්රසාද රූප නැවත නැවත උපද්දවන්නේ. ආහාරය නොලැබී ගියොත් මොකද වෙන්නේ? ප්රසාද රූප උපදවන්නේ නැහැ. ඕජාමය ගතිය ඉවර වෙන කොට එතනින් එහාට නැවත රූප උපදවන්න පුළුවන්කමක් නැහැ. අද ආහාරයේ නොලැබී යාමෙනුත් ඇස නොලැබී යනවා. ඒ වගේ ම මොහොතක් මොහොතක් පාසා ඇහැ ඇලුතෙන් ම හට ගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා.
❇️ ඇහැට උපමා
චක්ඛු ප්රසාද රූපය, (ඇහැ) කියන එක අපි උදාහරණයකින් කිව්වොත් රීල් එකක් දාලා ෆොටෝ ගහන පරණ කැමරාවක නෙගටිව් පටියක් වගේ දකින්නකෝ. ඒ නෙගටිව් පටය ආලෝකයට සංවේදියි, ආලෝකයට පිච්චිලා යනවා. අන්න ඒ වගේ මේ ඇහේ තියෙන ප්රසාදවත් බව, ඔපවත් බව, ආලෝකයට පිච්චිලා යනවා, ආලෝකයට බිඳෙනවා. ඒ වර්ණ සටහනට අනුව බිඳී යන ස්වභාවයට අනුව තමයි අපි රූපය කියලා යමක් දැන ගන්නේ. ඒ ඇහැට පත් වුණ ප්රතිබිම්භය, වර්ණ සටහනේ රතිබිම්භය තමයි අපි දැන ගන්නේ හිතෙන් (චක්ඛු විඤ්ඤාණයෙන්).
එක නෙගටිව් පටයකින් පුළුවන් එක ෆොටෝ එකක් ගහන්න වගේ ම එක ඇහැකට පුළුවන්කම තියෙන්නේ එක වර්ණ රූපයක් ගෝචර කර ගන්න පමණයි. එනම් එක මොහොතකට එක තැනක් දකින්න විතරයි පුළුවන්. නැවත අලුතෙන් ප්රසාදය හදලා අලුතෙන් වර්ණ සටහන ගැටෙන්න වෙනවා ආයේ දකින්න නම්. ඒක තමයි ඇහේ ස්වභාවය. ඒ නිසා අපි මේ ඇස සහ රූපයට කියනවා පරිත්තයි කියලා. මේවා ඉතා ම කෙටියි. මේ දේවල් දීර්ඝ කාලීනව තියෙන දේවල් නෙමෙයි.
ඇහැ කියලා කියන්නේ පොඩි කාලේ ඉඳලා ඔබ මැරෙනකන් ම එක දිගට ම තියෙන දෙයක් එහෙම නෙමෙයි. ඇහැ මොහොතක් මොහොතක් පාසා, ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යනවා. කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි. මොහොතක් මොහොතක් පාසා මේ ධර්මයෝ හට ගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා.
මේ රූපයේ හට ගැනීම, රූපයේ සමුදය කියලා කිව්වේ අන්න ඒකටයි. “ඉති රූපස්ස සමුදයො” කියන කොට ඔබට සිද්ධ වෙනවා රූපයේ හට ගැනීම තේරුම් ගන්නට. ඒ වගේ ම “ඉති රූපස්ස අත්ථගමො” කියන කොට ඔබට සිද්ධ වෙනවා ඒ රූපයේ නිරෝධය, ඒ රූපයේ අස්තඞ්ගමය ඒ රූපයේ නැති වී යෑම තේරුම් ගන්න. ඒ රූපය නැති වී යෑම කියලා කිව්වේ; ඉන්න මිනිස්සු මැරෙන ඒවා, ගෙවල් දොරවල් නැති වෙලා යන එක ගැන නෙමෙයි.
මොකක් ද රූපයේ නැති වී යෑම කියලා කිව්වේ? ඇස් හමුවට ආපු වර්ණ රූපය ඒ මොහොතේ හට ගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියා. ඔබ ඒ රූපය හට ගෙන ඉතුරු නැතුව නැති වුණ බව දැක්කා නම්, කවදාවත් ඔබට අදහසක් තියෙයි ද ඊයේ දැකපු කෙනා අද දකින්න පුළුවන් කියලා, ඊයේ අහපු දේ අද අහන්න පුළුවන් කියලා? එහෙම අදහසක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතු නැහැ ඔබ ළඟ. ඒ හේතු ටික ඔබ දුරු කරලා තියෙනවා.
ඒ නිසා ඔබ උත්සාහවත් වෙන්නට ඕනේ, මෙන්න මේ අවිද්යා, කර්ම, තණ්හා නැමති හේතු දුරු කරන තැනට. මේ රූපය හට ගත්තේ මෙන්න මේ දේවල් ටික තියෙන කොට, ඒ වගේ ම ඒ හේතු ටික නැති වෙලා යන කොට, ඒ රූපය නැති වෙලා යනවා. අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන ටික උපස්ථම්භක වුණා ඇහැ හදලා රූපය ගෝචර කර ගන්න.
❇️ ඇස සහ රූපයේ පැනවීම
ඒ වගේ ම ඇස ඇති කල්හි තමයි රූපය තියෙනවා කියලා පනවන්නේ. රූපය තියෙන කල්හි තමයි ඇහැ තියෙනවා කියලා පනවන්නේ. ඇහැ සහ රූප ගැටුණු තැනට හිත (චක්ඛු විඤ්ඤාණය) යොමු වුණ කල්හි තමයි ඒ රූපය දැන ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ධර්මතා තුන ම හෝ තුනෙන් එකක් හෝ නැති වී යෑමෙන් රූපය නිරුද්ධ වෙනවා. රූපයේ නිරෝධය සාක්ෂාත් කරන මනසකට 'රූපය තියෙනවා' කියලා පනවන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හේතු නිසා හට ගත්ත ධර්මය, හේතු නැති වෙන කොට නැති වෙලා යනවා. එකයි ‘ඉති රූපස්ස සමුදයො’ කියලා මේකයි රූපයේ සමුදය, ‘ඉති රූපස්ස අත්ථංගමො’ මේකයි රූපයේ තියෙන අස්තඞ්ගමය කියලා කිව්වේ.
මේ විදිහට රූපයේ සමුදය සහ රූපයේ අස්තඞ්ගමය පිළිබඳව ඔබ තේරුම් ගන්න කොට, ඔබට පුළුවන්කම තියෙනවා රූපයෙන් මිදෙන මාර්ගයකට ප්රවිෂ්ට වෙන්න. රූපයෙන් මිදෙන තැනකට ඔබට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ රූපය දැන ගන්නකමට, රූපයේ සමුදය දකිනකමට, රූපයේ නිරෝධය දකිනකමට තමයි අනිත්ය සංඥාව වඩනවා කියලා කිව්වේ. “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො ඉති රූපස්ස අත්ථංගමො” කියලා දකිනකමට කිව්වා අනිත්ය සංඥාව දියුණු කරනවා කියලා.
❇️ අනිත්ය සංඥාව වැඩීම යනු
අනිත්ය සංඥාව කියලා කිව්වේ සුළුවෙන් ගත යුතු තැනක් නෙමෙයි කියන එක දැන් ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔබ අනිත්ය සංඥාව භාවිත කරන කෙනෙක් නම්, ඔබේ ජීවිතය තුළ ඔබට ලෝකය පිළිබඳව ඇති වෙන සංකල්පනාවන් පිළිබඳව ඔබට යථාර්ථවාදීව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. එනම් රූපයේ අනිත්යතාවය දකිමින් වාසය කරන්න පුළුවන්කම තියෙනවා. රූපය යනු රුප ස්කන්ධයක් හැටියට ඔබ තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ ප්රිය මනාප වූ අම්මා, තාත්තා, ගෙවල් දොරවල් කියලා හම්බ වෙන, ප්රඥප්ති විදිහට පනව ගත්ත දේ රූපය කියලා ඇසුරු කරන මට්ටමින් ඔබ ඔබ්බට ගිහිල්ලා යථාර්ථයට හිත තියන්නට ඕනේ. එතකොට ඔබට පේනවා ලෝකේ ඇත්ත කතාව මොකක් ද කියලා. ඒ තමයි රූපය කියනේ ස්කන්ධ ධර්මතාවයක් කියන එක.
රූපය හුදු ස්කන්ධ ධර්මයක් හැටියට දකින කොට රූපය හට ගත්තේ කොහොම ද? මෙන්න මේ හේතු ටික ඇති කල්හි හට ගත්තා, ඒ හේතු ටික නැති වෙන කොට නැති වෙලා යනවා කියලා දැකිය යුතුයි. අන්න ඒ දකින දැකීමට, ඒ විදිහට ඔබ යම් සම්මර්ශනයක් කරනවා නම්, ඔබ අනිත්ය සංඥාව වඩනවා, අනිත්ය සංඥාව ප්රගුණ කරනවා කියලා. වඩන ලද අනිත්ය සංඥාව මහත්ඵලයි මහා ආනිසංසයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
❇️ අනිච්ච ද? අනිච්ඡ ද?
සමහර වෙලාවට කෙනෙකුට ප්රශ්නයක් තියෙනවනේ අනිච්ච ද? නැතිනම් අනිච්ඡ ද කියලා. ඇතැම් කෙනෙක් කියනවා හරි නම් එන්නට ඕනේ ‘ච’ නෙමෙයි “ඡ” එන්න ඕනේ කියලා. අනිච්ච කියලා සංස්කෘත වචනයක් දාලා අර්ථය වෙනස් කරලා කියලා කෙනා කෙනා මේකට විවිධ අර්ථකථන දෙන්නටත් උත්සාහවත් වෙනවා. ඔවුන් විසින් ලබා දෙනවා මේකට අනිච්ජ කියලා මහප්රාණ චයන්න (“ඡ”) දාලා. ඒකට අර්ථයකුත් දෙනවා කැමති පරිදි පවතින්නේ නැහැ කියලා නැතිනම් ලෝකේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ, ලෝකේ කැමති විදිහට තියෙන්නේ නැහැ, ඉච්ඡාව සිද්ධ කරන්නේ නැහැ කියලා.
අනිත්ය සංඥාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිච්ඡ නෙමෙයි අනිච්ච කියන පාලි වචනය. අපි අපේ වචනෙන් (සිංහලෙන්) ඒකට කියනවා අනිත්ය කියලා. මෙන්න මේ අනිත්ය පිළිබඳව කතා කළේ ඉතා ම ගැඹුරු තැනකින්. ඒ කොහොම ද? හේතු නිසා හට ගත්ත ධර්මය හේතු නැති වෙන කොට නැති වෙලා යනවා කියලා. මේ අනිත්යතාවයයි, අනිච්ජ කියලා අද සමහර අය ඉදිරිපත් කරන අර්ථයයි එක්ක අපි පොඩ්ඩක් සසඳලා බැලුවොත් එහෙම, කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා බලලා නිවන් දකින්න පුළුවන්කමක් නැහැ.
ඒ ඇයි? කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති දේවල් ලෝකේ ඕන තරම් තියෙනවා නම්, ඒ කැමැත්ත ඉෂ්ට නොකරන දේ විඳින කෙනත් ආධ්යාත්මික පැත්තේ ඉන්නවා නම්, එසේ කෙනෙකුට ලෝකය හම්බ වෙන තැනක කොහොම ද ලෝකෙන් මිදීමක් ගැන කතා කරන්නේ? ඒ අය ගොඩ නගන තර්කය තමයි "ඔබට අවශ්ය විදිහට ලෝකේ තියෙන්නේ නැහැ. ඔබේ දරුවෝ ඔබට අවශ්ය විදිහට ඉන්නේ නැහැ. ඔබට එතකොට තේරුම් ගන්න කියනවා ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිච්ජ කියන කාරණාව, එනම් ඔබට අවශ්ය විදිහට, ඔබ කැමති විදිහට ඔබ හිතන විදිහට ලෝකේ තියෙන්නේ නැහැ" කියන එක.
ලෝකේ ළමයත් ඉන්න කොට, ඒ දේ විඳින ඔබත් ඉන්න කොට ඔබට කවදාවත් යථාර්ථය අවබෝධ කර ගන්න පුළුවන්කමක් නැහැ. පුද්ගල බව බිහි වෙලා ඉවර නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිච්ච (පාලි) නැති නම් අනිත්යතාවය ඔය වගේ සරල තැනකට ලඝු කරලා දකින්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ නිසා ‘අනිච්ජ’ කියලා වචනයක් ත්රිපිටකය තුළ ඒ පිරිස් විසින් ගේන අර්ථය ප්රකාශ කිරීම සඳහා පාවිච්චි වෙන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්ය නැතිනම් අනිච්ච කියන වචනය. අනිච්ච කියලා කියන්නේ මෙන්න මේ “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො ඉති රූපස්ස අත්ථංගමො” කියලා මේ තමයි රූපය, මේ රූපයේ හට ගත්ත බව, මේ රූපය ඉතුරු නැතුව නැති වෙලා යන බව. මේ ටික දකිනවා නම් තමයි එයා අනිත්ය දකින්නේ. නැතිනම් අනිච්ච ධර්මය දකින්නේ. රූපයේ
අනිත්යතාවය දකිනවා.
එයා රූපය කියලා අම්මා තාත්තා, ගෙවල් දොරවල්, යාන වාහන ආදිය නෙමෙයි දකින්නේ. එයා දකිනවා මේ රූපය හේතු නිසා හට ගත්ත ධර්මයක්. හේතු නිසා හට ගත්ත රූපය හේතු නැති වෙන කොට ඉතුරු නැතිව නැති වෙලා යනවා කියන එක එයා දකිනවා.
මෙන්න මේ විදිහට අනිච්ච ධර්මය දකින කොට පින්වතුනි, ඒ කෙනාට සියලු දුක් කෙළවර කරන්නට පුළුවන්කම තිබෙනවා. සියළු ම කාම රාග, රූප රාග, භව රාග, අවිද්යාව, අස්මි මානය වැනි කෙලෙස් ධර්ම දුරු කරනවා කියලයි දේශනා කළේ. අනිත්ය සංඥාව කියන්නේ මහා ගැඹුරු අර්ථයකට යන, මහා ගැඹුරු තැනකට ප්රවේශයක් ගන්න පුළුවන් දෙයක්. හොඳින් මෙන්න මේ විදිහට අපිට රූපය පිරිසිඳ දකින්නට පුළුවන් නම්, ඒක තමයි අපි අද දවසේ දී අනිත්ය සංඥාව භාවිතයෙන් කළ යුතු ප්රධාන ම දේ.
මතු සම්බන්ධයි
හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-03- 14 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් අනිත්ය සංඥාවට අදාළව පවත්වන ලද තුන්වන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments