🔴 ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 09
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ශ්රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම කෙනෙක් ම උතුම් සද්ධර්ම ශ්රවණයට සූදානම් වන මොහොත. හිමිදිරි උදෑසන බුදු බණ පදයක් අහන්නට තිබෙනවා කියලා කියන්නේ එය ඔබ ලබන උතුම් වාසනාවන්ත ම දෙයක්. බුද්ධ සාසනයක් කියන එක පින්වතුනි, මේ ලෝකේ ඉතා ම දුර්ලභ දෙයක්. ඒක ලේසියෙන් කෙනෙකුට ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට ඒ මහා ලාභය ලැබිලා තියෙනවා. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඔබට ශ්රවණය කරන්නට ලැබෙනවා වගේ ම ඔබට එය තේරුම් ගන්නට පුළුවන් මනසකුත් ලැබිලා තියෙනවා. උත්සාහය සහ වීර්යය තියෙනවා නම්, ඔබට පුළුවන්කම තියෙනවා මේ උතුම් ධර්මය තේරුම් ගන්නට.
පින්වතුනි, මේ ධර්මය ඉතා ම ගැඹුරුයි. නුවණැත්තන් විසින් තේරුම් ගත යුතු දෙයක්. “පඤ්ඤාවන්තස්සායං ධම්මො” කියලා භාග්යවතුන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය ප්රඥාවන්තයින් සඳහා තිබෙන දෙයක් හැටියට. මේ ධර්මය ස්වභාවයෙන් ම ක්රම ක්රමයෙන් ගැඹුරට යන දෙයක්. ඒ නිසා ඔබේ නුවණේ හැටියට මේ ධර්මය ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුළින් සාමාන්ය කෙනෙක් දකින දේට ඔබ්බෙන් දෙයක් දකින්නට අපිට පෙන්වා දුන්නා. ඒ උතුම් දර්ශනය තමයි අපි අද දවසේ දී තේරුම් ගන්නට උත්සාහවත් විය යුත්තේ.
බුද්ධ සාසනය කිව්වහම ගොඩක් දෙනෙක් සීමා කර ගෙන ඉන්නවා බුද්ධ සාසනය ඉතාමත් සුළු දේවල් ටිකකට. දාන, බණ, පාංශුකූල, පිරිත් ආදී සාමාන්යයෙන් අපි වටා ගොඩ නැගුණු අපේ බෞද්ධ සංස්කෘතිය තුළින් මුළු සමස්ත බුද්ධ සාසනය ම ඇතැම් කෙනෙක් තීරණය කරනවා.
නමුත් පින්වතුනි, බුද්ධ සාසනයේ හරය සංස්කෘතිමය වශයෙන් ගොඩ නැගුණු දේ නෙමෙයි. බුද්ධ සාසනය මහා හර පද්ධතියකින් හෙබියි. බුද්ධ සාසනයේ තිබෙන හර පද්ධතිය ඔබ තේරුම් ගත යුතුයි. බුද්ධ සාසනයේ තියෙන හර පද්ධතිය තේරුම් ගැනීමේ දී පරිබාහිර කාරණා ප්රතික්ෂේප කිරීම නෙමෙයි සිද්ධ කළ යුත්තේ. ඒ කාරණා ටික අපේ සංස්කෘතිය විදිහට අපි රැකගෙන යා යුතුයි වගේ ම සාසනයේ හරය පිළිබඳව බෞද්ධයන් හැටියට අපි විශේෂ සැළකිල්ලක් දක්වමින් අප එය තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ.
✳️ බෞද්ධයෙක් වීමට නම් ✳️
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්රතිපදාව පිළිබඳව ඔබට මුලික ලෙසවත් දැක්මක් නැතිනම් ඒ වගේ ම ඒ සාසනයේ පරමාර්ථය බවට පත් වෙන සියලු දුක් කෙලවර කොට ලබන උතුම් නිර්වාණය පිළිබඳව ඔබට දැක්මක් නැතිනම් ඔබ නිවැරදිව ම බෞද්ධයෙක් යැයි කිව නොහැකියි. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මය, සංඝයා පිළිබඳව දන්න කෙනෙක් නම්, ඔබ තෙරුවන් සරණ යන කෙනෙක් නම්, ඔබ ඒකාන්තයෙන් ම ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, ඒ ධර්මය තුළ සඳහන් දේ, මහා සංඝරත්නයේ සුප්රතිපන්න භාවය පිළිබඳව ඔබ තේරුම් අරගෙන සිටිය යුතු වෙනවා.
ඒ නිසා ඔබ මේ උතුම් සාසන මාර්ග බ්රහ්ම චරියාව පිළිබඳව බොහෝ ම නුවණින් කල්පනා කරන්නට ඕනේ. නුවණින් ඒ පිළිබඳව තේරුම් ගන්නට ඕනේ. ඒ තුළින් තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ විමුක්ති සුඛ සාධනය ඇති කර ගන්නට. එහෙමත් නැතිනම් ලෝකේ ස්ථිර සැපයක් හැටියට ඔබ කල්පනා කරන නමුත් එයින් තාවකාලික සැපයක් පමණක් ඔබට ලැබෙන මහා දුකක් උරුම කරන ධර්මයන්ගෙන් වෙන් වන්නට ඔබට පුළුවන්කම තියෙන්නේ මේ සාසනයේ හරය ඔබ නිවැරදිව වටහා ගත්තොත් පමණයි. නමුත් අවාසනාවකට සාසනයේ හරය සොයා ගෙන යන පිරිස ඉතාමත් ස්වල්පයයි. බොහෝ දෙනෙක් සාසනයේ පරිබාහිර දේවල්වලින්, ඒ දේවල් දැන කියා ගෙන ඒ මට්ටමින් යැපීම සිද්ධ කරනවා. නමුත් එතනින් එහාට ධර්මය තුළින් ලැබෙන නිවීම සහ සැනසීම බොහෝ දෙනෙක් හොයා ගෙන යන්නේ නැහැ. ඒ නිසා මෙතෙර ම ඉපදිලා මෙතෙර ම දුවලා මෙතෙර ම මිය යන සත්වයන් අතර ඔබට අපි ආරාධනා කරනවා පරතෙරක් හොයන කෙනෙක් බවට පත් වෙන්න.
පරතෙරක් හොයන කෙනෙක් බවට පත් වීමට මේ කියන කාරණා ටික ඔබට තේරුම් ගැනීමේ දී ටිකක් ගැඹුරුයි කියලා හිතෙන්නට පුළුවන්. නමුත් ගැඹුරු වුණත් අත් හැර ගන්නට එපා. මේ ධර්ම කරුණු පිළිබඳව නැවත නැවතත් ඔබ මෙනෙහි කරන්න. නැවත නැවතත් මෙනෙහි කරන කොට ඔබට මීට අනුරූප ධර්ම කාරණාවන් ඔබට ශ්රවණය කර ගන්නට දැන ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අත් නොහැර මේ කාරණාව තේරුම් ගන්නට උත්සාහය සහ වීර්යය ඔබ සතු විය යුතුයි. එය ඒකාන්තයෙන් ම ඔබට සැනසිල්ල පිණිස පවතින දෙයක් බවට පත් වෙයි.
✳️ සබ්බං පහාය ගමනීයං✳️
පින්වතුනි, ලෝකය සාරයි කියලා හිතා ගෙන ඔබ ජීවිතයේ කොච්චර දේවල් ගොඩ නගනව ද? ඒ ඔබ ගොඩ නගන කිසිම දෙයක් ඔබව මරණයෙන් ගලවන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබ මහා ධනවතෙක් වුණත්, ඒ වගේ ම ඔබ මහා රෝහල් පද්ධතියක හිමිකාරයෙක් වුණත් ඔබට මරණයෙන් ගැලවෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඔබ ලෝකයේ ම සිටින මහා බලවතෙක් වුණත් ඔබට මරණයෙන් ගැලවෙන්නට තව කෙනෙක් හා සමග ජීවිතය හුවමාරු කර ගන්නට ඔබට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒකට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනව ම තමයි. ඔබ මොන දේ ගොඩ නැගුවත් ඒ ගොඩ නගපු සියලු දේ “සබ්බං පහාය ගමනීයං” අත් හැරදාලා ඔබට යන්නට සිද්ධ වෙනවා.
“උභයෙනමිදං මරණමෙව නාමරණං පච්ඡා වා පුරෙ වා,
පටිපජ්ජථ මා විනස්සථ ඛණො වො මා උපච්චගා”
සැරියුත් මහා තෙරුන් වහන්සේ අවවාද කළේ ඒ විදිහට.
⏺ “උභයෙනමිදං මරණමෙව නාමරණං පච්ඡා වා පුරෙ වා’ - දෙපැත්තකින් ම මරණය. ඉදිරියෙන් හා පිටුපසින් කොහොම හරි මරණය කියන එක ඔබ කරා පැමිණෙනවා ම තමයි. නොමැරීමක් පෙරවත් පසුවත් ඇත්තේ නැහැ.
⏺ “පටිපජ්ජථ මා විනස්සථ” මේ ධර්ම මාර්ගයට ප්රවිෂ්ට වෙන්න, විනාස වෙන්න එපා.
⏺ “ඛණො වො මා උපච්චගා” මේ ලැබුණු ක්ෂණය ඔබ ඉක්මවා යන්න දෙන්න එපා. ඔබ මෙයින් ප්රයෝජන ගන්නට කියලා දේශනා කරනවා.
අපේ ජීවිතයේ ස්වභාවය බොහෝ ම අස්ථිරයි. අපි මොන දේවල් ගොඩ නගලා තිබුණත් ඒ ගොඩ නගපු දේවල් ක්ෂණයකින්, එක මොහොතකින් වෙනස් වෙලා යන්නට පුළුවන්කම තියෙනවා. ඒ වෙනස් වීම වළක්වා ගන්නට ඔබට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසයි ඔබ අප්රමාදී විය යුතු වන්නේ. ඒ හැම තැනක දී ම ඔබට දුක නූපදින තත්වයකට පත්වන්නට පුළුවන් නම්, දුකෙන් නිදහස් වන්නට පුළුවන් නම්, ඔබ අනුගමනය කළ යුත්තේ අන්න ඒ ක්රියා පිළිවෙත යි.
බුදුරජාණන් වහන්සේ අපට ඒ සඳහා වැඩිය යුතු මාර්ගයන්, ප්රතිපදාවන්, විවිධ පරියායන් ඔස්සේ දේශනා කරලා තියෙනවා. අපි පසුගිය දේශනාවන් කිහිපය තුළ ම සාකච්ඡා කර ගෙන එන්නේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ඒ උතුම් ප්රතිපදාව පිළිබඳව. ඒ සඳහා අපි පාදක කර ගන්නට යෙදුණා ගිරිමානන්ද සූත්රය. ඔබ නිතර දෙවේලේ පාවිච්චි කරන භාවිත කරන සූත්රයක්. ඔබට අසනීපයක් හැදුනත් මේ පිරිත ඔබ ඕනෑ තරම් සජ්ඣායනා කරලා ඇති. නමුත් මේ පිරිත තුළ අන්තර්ගත මහා ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව ඔබ කොතෙක් දුරට නුවණින් විමසලා තියනව ද කියන එක පිළිබඳව ඔබ ටිකක් කල්පනා කරලා බලන්න.
අපිට බුදුරජාණන් වහන්සේ මේ සූත්ර දේශනාව තුළ ඉතාමත් වැදගත් කරුණු රාශියක් දේශනා කරලා තියෙනවා. අපි පසුගිය දේශනා දෙකේ ම ඒ පිළිබඳව සාකච්ඡා කළා අනිත්ය සංඥාව දියුණු කරන ආකාරය පිළිබඳව. අපි තව දුරටත් කතා කරන්නේ අනිත්ය සංඥාව දියුණු කරන ආකාරය ම තමයි. අනිත්ය සංඥාව පිළිබඳව අපි කතා කරන කොට, අපි පසුගිය දේශනාවේ දී සාකච්ඡා කළේ රූපයේ ඇති වීම පිළිබඳව කොහොම ද බලන්නේ කියලා. ඒ කියන්නේ, ‘ඉති රූපස්ස සමුදයො’ කියන කොට මොකක් ද රූපයේ හට ගැනීම කියන දේ ගැනයි අපි සාකච්ඡා කරමින් පැවතියේ.
ඊට පෙර දේශනාවේ දී ‘ඉති රූපං’ කියන එක පිළිබඳව අපි විස්තර කළා ලෝකේ යථාර්ථයක් විදිහට රූපය කියලා කියන්නේ මොකක් ද කියන කාරණාව සම්බන්ධව. අපි සාමාන්යයෙන් සංකල්ප විදිහට, එසේ නැති නම් හිතෙන් සකස් කර ගෙන අපි හිතෙන් ඇසුරු කරන අම්මා, තාත්තා, දුව, පුතා, ගෙවල් දොරවල් මේ විදිහට හදා ගන්න ලෝකය වෙනුවට බුදුරජාණන් වහන්සේ රූපය කියලා පෙන්නුවේ යථාර්ථ ස්වභාවයක්. ඒ කියන්නේ ඇහැට එන පාට ටිකක් කනට එන ශබ්දයක්, නාසයට දැනෙන ගන්ධයක්, දිවට දැනෙන රසයක්, කයට දැනෙන ස්පර්ශයක්. ඒ ධර්මයෝ ඊට කලින් තිබිලා එන දෙයක් නෙමෙයි. ඒ මොහොතේ හට ගෙන ඉතුරු නැතුව නැති වෙන දේවල්.
මෙන්න මේ විදිහට ඒ රූපය පිළිබඳව අපි තේරුම් කර ගත්තට පස්සේ, ‘ඉති රූපස්ස සමුදයො’ මේකයි රූපයේ සමුදය කියලා රූපයේ හට ගැනීම පැත්තට අපේ අවධානය යොමු කළා. හට ගැනීම කියලා කියන්නේ රූපය ඇති වන්නට තියෙන හේතු. හේතු ගැන කතා කරන කොට අපි කිව්වා ඇහැ, රූප දෙක ඇති කල්හි එතනට සිත යොමු වුණාට පස්සේ මේ තුන් දෙනා ම හේතු කර ගෙන පෙනීම කියන ක්රියාවලිය සිද්ධ වන ආකාරය. ඒ වගේ ම ඒ එක එක ධර්මයන්ට හේතු පිළිබඳව කතා කරන කොට අපි රූපය ගැන කතා කළා අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ධර්මයන් නිසා රූපය උපදින හැටි පිළිබඳව.
අවිද්යාව කියලා කියනවා, යථාර්ථය නොදන්නාකම, චතුරාර්ය සත්ය ධර්මය නොදන්නාකම. ඊට පස්සේ එතැන දී කර්මය කියලා කිව්වා කුසල්, අකුසල් වශයෙන් අපි සිද්ධ කර ගත්ත දේවල් පිළිබඳව. තණ්හාව කියලා කිව්වා කර්මයට කරන තණ්හාව පිළිබඳව. ඒ නිසා ප්රතිසන්ධි වශයෙන් විඤ්ඤාණයක් මව් කුසකට බැස ගෙන ඇහැ හදන්නට හේතු වුණ ආකාරය පිළිබඳව අපි කතා කළා.
ඒ වගේ ම වර්තමානය තුළ අපට යම් ඇහැක්, රූපයක් කර්ම විඤ්ඤාණයෙන් ඇසුරු කරන්නට ලැබෙනවා නම්, අන්න ඒ තැනක තියෙනවා අවිද්යා, කර්ම, තණ්හා ආහාරය කියන මෙන්න මේ ලක්ෂණ ටික කියන ඒකත් අපි එතනදී සාකච්ඡා කරන්නට යෙදුණා. මෙන්න මෙතන දී ඇහැට පෙන්වන හේතු ටික ම තමයි රූපයට පෙන්වන්නේ. ඇහැ ඇති වෙන්නට යම් හේතුවක් ගැන කතා කළා නම්, ඒ හේතු ටික ම පෙන්වනවා රූපය ඇති වෙන්නටත්. එතකොට අපිට හිතෙන්නට පුළුවන්,
✳️ ආයතනානුබද්ධව ලෝකය හට ගන්නා ආකාරය ✳️
රූපය හට ගන්නට මොකක් ද තියෙන අවිද්යාව❓
රූපයට හට ගන්නට මොකක් ද තියෙන කර්මය❓
රූපයට හට ගන්නට මොකක් ද තියෙන තණ්හාව❓
කියලා. නමුත් ඇහැට තියෙන හේතු ටික ම රූපයටත් පෙන්වන්නේ, ඇස ඇති කල්හි ම රූපය හට ගන්න නිසා. ඒ කියන්නේ ඇහෙන් තොරව රූපයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ජාති අන්ධ කෙනකුට ඒ කියන්නේ උප්පත්තියෙන් ම අන්ධ කෙනෙකුට වර්ණ රූපය ගැන කතා කරන්නට පුළුවන්කමක් නැහැනේ. උප්පත්තියෙන්ම කන් ඇහෙන් නැති කෙනෙකුට ශබ්ද රූපය ගැන කතා කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ විදිහට ම ගඳ සුවඳ නොදැනෙන බවකුත් තිබුණොත්, රස ස්පර්ශ නොදැනෙන බවකුත් තිබුණොත් ඒ අයට ඒ ඒ දේවල් පිළිබඳව කතා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
අන්න එතකොට අපිට පේනවා අපිට රූප දකින්න පුළුවන්කම තියෙන්නේ ඇහැ තිබුණොත්, ඇහැට වර්ණ රූපය ගැටෙන කොට තමයි අපිට ඒ රූපය පිලිබඳ දැනීමක් තියෙන්නේ. ආයතනයකට ස්පර්ශ වෙන්නේ නැතිනම් ස්පර්ශ නොවන ධර්මයක් ගැන කවදාවත් අපිට දැන ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි දැන ගන්නේ ස්පර්ශ වන දෙයක් ගැන ම යි. එනම් ආයතනවලට ගැටෙන දෙයක් ගැන ම යි අපි දැන ගන්නේ. එහෙනම් ඇහැ තිබුණොත් රූප දකින්න පුළුවන් වෙනවා. කන තිබුණොත් ශබ්ද අහන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ම ගන්ධය, රසය, ස්පර්ශය ආදී බාහිර ආයතන ටික අපිට ගෝචර කර ගන්නට පුළුවන්කම තියෙන්නේ නාසය, දිව, කය කියන ආධ්යාත්මික ආයතන ටික තියෙන කොට විතර ම යි. එහෙම නැත්නම් ඒවා අපිට ගෝචර කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.
මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නට අවශ්යයි ආධ්යාත්මික ආයතනයන්ට තියෙන හේතු ටික ම බාහිර ආයතනයන්ටත් පෙන්වා දෙනවා කියලා. ඒ කියන්නේ ආධ්යාත්මික හා බාහිර ආයතන ටික එකට හට ගන්නවා කියන එක. ඇහැ නැත්නම් රූපය තියනවා කියන්නේ නැහැ. මෙය හරි ම සියුම්, ඉතාමත් ගැඹුරු නුවණින් ප්රත්යක්ෂ කළ යුතු ධර්මයක් පින්වතුනි. ඒකට හේතුව තමයි, ඔබ දැන් මේ මොහොතේ මුළු ලෝකයක් තියෙනවා කියලා හිතුවට, ඔබට ලෝකෙ ම දකින්න පුළුවන් කියලා හිතුවට ඔබ මේ වෙලාවේ දී ඇසුරු කරන්නේ ඔබේ ඇහැට පෙනෙන වර්ණ සටහන විතරයි.
ඒ වර්ණ සටහන පේන තැනක ඔබ මනසින් තමයි සංකල්පයක් විදිහට උපද්ද ගන්නේ දකින්න කලිනුත් ලෝකේ තියෙනවා, දැක්කට පස්සෙත් තියෙනවා කියලා. හැබැයි ඒ ඔබ සංකල්පයක් විදිහට උපදවා ගන්න ලෝකේ තියෙනවා කියන එක යථාර්ථය නෙමෙයි. ආපහු ඔබ ගිහිල්ලා බැලුවොත් එහෙම, එළියේ තියෙනවා ද කියලා අලුතෙන් ම පාට ටිකක් ඇහැට එනවා. ඒ පාට ටිකක් ඇහැට ගැටෙන කොට ඔබ මනසින් අර සංකල්පය ස්ථාවර කර ගන්නවා කලින් තිබ්බ එක තමයි තාම තියෙන්නේ කියලා. හැමදාම ඔබේ හීන ලෝකේ ස්ථාවරයි. ඒ කියන්නේ ඔබ ගොඩ නගා ගත්ත හීන ලෝකය, ඔබ ගොඩ නගා ගත්ත සංකල්ප ලෝකය යථාර්ථ නොවන ලෝකය ඔබට හැමදාම ස්ථිරයි.
අන්න ඒ විදිහට ඔබ ජීවත් වෙන කොට ඔබට පැවැත්ම ගොඩ නැගිලා තියෙනවා. ඒ කියන්නේ අතීතයේ දැකපු දේවල් තියෙනවා. ඒ දේවල් අනාගතේට දකින්න පුළුවන්කමක් තියෙනවා කියලා ගන්න අදහස ඔබට පැවතිලා තියෙනවා. එක දිගට ම තියෙන, එනම් ශාස්වත වුණ ලෝකයක් තියෙනවා කියලා ඔබ හිතනකමට කියනවා අනිත්ය දේ පිළිබඳව ඔබ ඇති කර ගත්ත නිත්යයි කියන විපල්ලාසය කියලා.
✳️ විපල්ලාස යනු ✳️
විපල්ලාස කියලා කියන්නේ පින්වතුනි, හිතේ පෙරලුනු සංඥාවක්. ඒ කියන්නේ තියෙන යථාර්ථය නෙමෙයි වරදවා ගත්ත අදහසක්, වැරදි විදිහට අල්ල ගත්ත දෙයකට තමයි විපල්ලාස කියලා කියන්නේ. ලෝකේ පවතින්නේ අනිත්ය ධර්මයක්. ඒ පවතින අනිත්ය ධර්මය ඔබ දකින්නේ නැතිකම නිසා ඔබේ හිතේ විපරීත සංඥාවක් ඇති වෙනවා. ඒ තමයි රූපාදී ධර්මයන් තියෙනවා (නිත්ය) යැයි කියලා. ඒ හින්දා ඊයේ දැකපු දේ අද දකින්න පුළුවන් කියන විපල්ලසයක්/ විපරීත මනෝභාවයක් ඔබට තියෙනවා.
නමුත් යථාර්ථය තමයි, ඔබ ඊයේ දැකපු දේ ම දකින්න කියලා අද ගියොත් ඔබට ඇස් හමුවට අලුතෙන් ම වර්ණ සටහනක් එන්නේ. ඊයේ තිබුණ ආලෝකය නෙමෙයිනේ අද එන්නේ. අපි ඕලාරික (රළු) මට්ටමෙන් ම කතා කළොත් එහෙම, ඉර එළිය යම් වස්තුවක් මතට පතිත වෙලා ඇහැට පරාවර්තන ආලෝකයක් එනවා. එතකොට ඊයේ ආපු එළිය ද ඔබ නැවත අද ගිහිල්ලා බලන කොට එන්නේ. නැහැ. අලුතෙන් ම වර්ණ සටහනක්නේ එන්නේ. රුපායතනය කියලා කිව්වේ අලුතෙන් ම එන වර්ණ සටහන ඇහැට පතිත වෙන එකට. ඒක ඊයේ තිබ්බ එක නෙමෙයි.
නමුත් අලුතෙන් ම ඇහැට වර්ණ සටහනක් එන කොට ඔබ දැන ගන්නේ ඊයේ තිබුණ දේවල් තවම තියෙනවා කියලා. එතකොට ඊයේ තිබුණ එක කොහෙ ද තිබුණේ? ඒක බාහිර තිබුණ ද එහෙම නැති නම් ඔබ ආධ්යාත්මිකව රැස් කර ගත්ත ආශ්රව ධර්මයන්ගෙන් ඇසුරු කළා ද? වර්තමානේ ඇස් හමුවට ආපු වර්ණ සටහනේ ඇත්ත නොදන්නාකම නිසා ඔබ ඒ රූපය ආශ්රවයන්ගෙන් ඇසුරු කළා. ආශ්රවයන්ගෙන් ඇසුරු කරන කොට ඔබට හම්බ වුණා ඊයේ ඉඳලා තිබුණ දේ තාම තියෙනවා නේද කියලා. මේ විදිහට ආශ්රවයන්ගෙන් ඔබ ඇසුරු කරන කොට එක දිගට තියෙන දේවල් ඔබට අත්දකින්නට පුළුවන්කම තියෙනවා. එසේ නැතිනම් එක දිගට තියෙන දේ ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා. මේක තමයි පින්වතුනි, ඔබ වරදවා ගන්න තැන. ලෝකේ වැරදි විදිහට අල්ල ගන්න, වැරදි විදිහට ග්රහණය කර ගන්න තැන.
ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විවිධ පරියායන් ඔස්සේ දේශනා කළේ. මෙන්න මේ ඇහැ රූපාදී ධර්මයන් දකින්න මේ මොහොතේ හට ගෙන ඉතුරු නැතුව නැති වෙන අනිත්ය වන ධර්මයක් කියලා. ඒකයි, “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො” කියලා මේකයි රූපය, මේකයි රූපයේ හට ගැනීම කියලා දකින්න කියලා කිව්වේ.
මතු සම්බන්ධයි
හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-03- 14 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් අනිත්ය සංඥාවට අදාළව පවත්වන ලද තුන්වන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments