✳️ රූපයේ හට ගැන්ම තවත් ආකාරයකින් ✳️
ඒ වගේ ම තවත් විදිහකට ඔබට පුළුවන්කම තිබෙනවා රූපය හට ගත්ත විදිහ ගැන සම්මර්ශනය කරලා බලන්න. රූපය හට ගත්ත ආකාරය ගැන දේශනා කරනවා; “අවිජ්ජා සම්භූතං, කම්ම සම්භූතං තණ්හා සම්භූතං ආහාර සම්භූතං” - අවිද්යාව, කර්මය, තණ්හාව, ආහාරය කියන මෙන්න මේ ධර්මතා නිසා තමයි ඇහැ හට ගන්නේ. ඇහැක් හදන්න හේතු වන එක ම දේ ආහාරය විතරක් නෙමෙයි. අවිද්යාව, කර්මය, තණ්හාව කියන ටිකත් හේතුයි.
අවිද්යාව කියලා කියන්නේ චතුරාර්ය සත්යය ධර්මය නොදන්නාකම. මව් කුසකට විඤ්ඤාණය ප්රතිසන්ධි වශයෙන් බැස ගන්නේ පෙර ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත්තේ නැති නිසා. එහෙමත් නැතිනම් ලෝකේ ඇත්ත කතාව පිළිබඳව දැනුමක් නැතිකම නිසා තමයි ප්රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය බැස ගන්නේ.
ඒ වගේ ම ඒ අවිද්යාව පමණක් තිබුණත් උපදින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ අවිද්යාව නිසා පින් (කුසල්) හෝ පව් (අකුසල) කර්ම සිද්ධ කිරීමක් කරන්නට ඕනේ. ඒ වගේ ම කර්මය විතරක් තිබුණත් උපදින්න පුළුවන්කමක් නැහැ. ඒ කර්මයට තණ්හාවක් යෙදෙන්නට අවශ්යයි. අවිද්යා, කර්ම, තණ්හා කියන මෙන්න මේ හේතු තුන නිසා තමයි විඤ්ඤාණය ප්රතිසන්ධි වශයෙන් එන්නේ. ඒ කියන්නේ මව් කුසකට විඤ්ඤාණය බැස ගැනීමක්/ උප්පත්තිය පිණිස එන්නේ අවිද්යාවත්, කර්මයත්, තණ්හාවත් කියන මේ ත්රිවිධ හේතුන් නිසා.
✳️ බීජ කළලයේ විකාශනය ✳️
මෙන්න මේ හේතු ටික නිසා ප්රතිසන්ධි විඤ්ඤාණයක් මව් කුසකට බැස ගත්තට පස්සේ එතන නාම රූප ධර්මයන් සකස් වෙනවා. එනම් එතන රූපයත් (බීජ කළලය) ඒ සිතට (ප්රතිසන්ධි විඤ්ඤාණයට) අනුරූපීව සකස් කර ගන්න බවක් තියෙනවා. ඒ කළල රූපය සිතට අනුරූපීව සකස් කර ගන්න කොට එහි දී සිදු වෙනවා ප්රසාද රූප සකස් කිරීමක්. ඒ ප්රසාද රූප සකස් කිරීමට ආහාර රූපය අවශ්ය වෙනවා. ආහාර රූපය කියලා කිව්වේ මවගේ කන බොන ආහාරය නිසා ලැබෙන ඕජාමය සාරයට.
✳️ ඇහැ හැදෙන හැටි ✳️
පෙර ජීවිතයේ අවිද්යා කර්ම, තණ්හා කියන හේතු ටිකත්, වර්තමාන කන බොන ආහාරයේ ඕජා සාරයත් මුල් කර ගෙන තමයි චක්ඛු ප්රසාදය හැදෙන්නේ. කර්මයෙන් ඔබට නැති වුණොත් ඇහැ හදනකම එවිට ඔබට ඇහැ උපදින්නේ නැහැ. එතකොට ඇහැ උපදවනව ද නැද්ද කියන එක පිළිබඳව ප්රධාන ම කෘත්ය කරලා තියෙන්නේ මොකකින් ද? ප්රධාන ම දේ කරලා තියෙන්නේ අවිද්යාව සහ කර්මය කියන මේ දේවල් වලින්. පුරාණ කර්මය තුළ ඇහැ උපදවන්න පුළුවන් ශක්තිය තිබුණ නිසා තමයි ඒ මව් කුසකට ප්රතිසන්ධි වශයෙන් බැස ගත්ත විපාක විඤ්ඤාණයෙන් පුළුවන්කම තිබුණේ කනබොන ආහාරයේ ඕජා සාරයේ උපකාරය ඇතුව ඇහැ නිර්මාණය කරන්න. මෙන්න මේ අවිද්යාවත්, කර්මයත්, තණ්හාවත් කියන මේ ධර්මතා තුන හේතු වුණා ඇහැ, කන, නාසය, දිව, කය උපදවන්න. එනම් අවිද්යා, කර්ම, තණ්හා නැති වුණොත් ආධ්යාත්මික ආයතන උපදවන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
එතැන දී කනබොන ආහාරයත් ප්රත්යක් හැටියට උපකාර වෙනවා චක්ඛු ප්රසාදය, සෝත ප්රසාදය, ඝාන ප්රසාදය, ජිහ්වා ප්රසාදය, කාය ප්රසාද සකස් කරන්න. කනබොන ආහාරය එතැන දී බාහිර ප්රත්යයක් විදිහට උපකාරී වෙනවා ප්රසාද රූපයන් සැකසීමට. අපි ඒක තේරුම් ගන්නට අවශ්යයි. ආහාරය නැති වුණත් ඇහැ උපදවන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. සමහර වෙලාවට ප්රතිසන්ධි විඤ්ඤාණයෙන් ඇහැ උපදවන්න පුළුවන්කම ගෙනැල්ලා තියෙනවා. හැබැයි ආහාරය වෙනස් වුණොත් එයාට ඇහැ උපදවන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අන්න එබඳු පුද්ගලයින් ඇතැම් වෙලාවට ඇස් නැතුව මව් කුසෙන් බිහි වුණත් ප්රතිසන්ධි විඤ්ඤාණය තුළින් ඔහුට ඒ චක්ඛු ඉන්ද්රිය රූපය ඉපදිලා තියෙනවා නම්, චක්ඛු ප්රසාදය ඉපදිලා තියෙනවා නම් එයාට නැවත ඒ ඇහැට ආහාරමය පැත්තෙන් අවශ්ය දේවල් ටික බද්ධ කරලා හෝ පෙනීම ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි උප්පත්තියෙන් ම චක්ඛු ඉන්ද්රිය රූපය ප්රතිසන්ධි විඤ්ඤාණයෙන් ම එතන සකස් වෙලා නැතිනම් ඔහුට කවදාවත් පෙනීම ලබා දෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මෙන්න මේ විදිහේ එතන ධර්මතාවයක් තියෙනවා.
ඇහැ ඇති වෙන හේතුව ගැන කතා කරන කොට අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ටික පිළිබඳව අපි කතා කරන්නේ එක පැත්තකින්, එක ප්රදේශයකින්. ඒ ප්රදේශයෙන් කතා කරන කොට තමයි පෙර ජීවිතයේ හේතු නිසා මේ ජීවිතයට ප්රතිසන්ධි වශයෙන් බැස ගත්ත තැන පිළිබඳව අපි කතා කළේ.
✳️ ඇහැ ඇති බවට හමු වීම ✳️
ඒ වගේ ම ප්රවෘත්තිය විදිහටත් එනම් දැන් මේ මොහොතේ දීත් අපිට ඇහැ තියෙනවා. ඇහැ තියෙනවා කියලා කියන්නේ ඔබට ඇහේ අත්දැකීමක් තියෙනවා ලෝකය තුළ. ඔබට ඇහැ තියෙනවා කියන බවට ඇහැ හම්බ වෙනවා. ඇහැ හමු වන තැනක, එනම් ඔබට ඇහැ ඇසුරු වන තැනක ද තියෙනවා වර්තමානය තුළ ඔබ ඇති කර ගනු ලබන අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ගති ටික. මොකක් ද? වර්තමානේ තියෙන අවිද්යාව. ඔබ දන්නේ නැහැ, ඔබ දකින්නේ නැහැ මොහොතක් මොහොතක් පාසා ඇහැ පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතුව නැති වුණා කියලා.ඒ වගේ ම ඇහැට පතිත වූ රූපය ද පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතුව ම නැති වුණා කියලා දන්නේ නැහැ සහ දකින්නේ නැහැ. ඇහේ නිරෝධය නොදන්නකම හා නොදකිනකම නිසා ඔබ හිතනවා රූප දකින්න පුළුවන් ඇහැක් එක දිගට තියෙනවා කියලා.
ඒ කියන්නේ ඔබට ඔබ පිළිබඳව මතක ඇති කාලෙක ඉඳලා ඇහැක් තියෙන ඔබව මතකයි නේ. ඔබ ඇහැ කියලා යම් දෙයක් පිළිබඳව හඳුනා ගෙන තියෙනවා. ඒ ඇහැ ඔබ හඳුනා ගෙන තියෙන්නෙත් ඔබ ඇහේ යථාර්ථය පිළිබඳව නොදන්නාකම හා නොදකිනකම නිසා. ඒ කියන්නේ ඇහේ යථාභූත ස්වභාවය පිළිබඳව නොදන්නා කොට හා නොදකිනකම නිසා විඤ්ඤාණයට ඇස ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ම විඤ්ඤාණයට රූපය ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. විඤ්ඤාණයට රූපය ඇසුරු කරන්න පුළුවන්කම තියෙන කොට රූපය දැකපු ඇහැ තියෙනවා වෙනවා ඔබට. ඉතා ම සියුම් සිද්ධියක් පිළිබඳව මේ කතා කරන්නේ.
ඊයේ දැකපු දේ අද ඔබට දකින්න පුළුවන් කියලා කියන්නේ; ඔබේ ළඟ අදහසක් තියෙනවා, ඔබේ සංකල්පනාවක් තියෙනවා ඊයේ දැකපු රූප තාමත් එළියේ තියෙනවා කියලා. ඒ නිසා තමයි ඊයේ දැකපු දේ අද ද දකින්න පුළුවන් කියලා ඔබ කියන්නේ. ඊයේ දැකපු රූප තාම තියෙනවා කියලා ඔබට හිතෙනවා නම්; ඊයේ රූපය දැකපු ඇහැ, එහෙම නැතිනම් ඒ රූපය දැකපු කෙනා, එනම් ඇහැ ඇති ඔබ තාමත් ඉන්නවා. ඒ නිසා තමයි ඔබට ඊයේ දැකපු ඒ රූපය දකින්න අද ද පුළුවන්කම තියෙන්නේ කියලා ඔබට හිතෙන්නේ. එක ම ධර්මයක එක දිගට පැවැත්මක් ඔබට හම්බ වෙනවා.
මේ එක ම ධර්මයක පැවැත්මක් ඔබට හම්බවෙන කොට මෙන්න මේ ගතිය අවිද්යාව කියන ස්වභාවය, යථාර්ථය නොදන්නාකම, රූපයෙහි අනිත්ය ලක්ෂණය නොදන්නාකම නිසා ඇති වුණ දෙයක්. අපිට එයින් හොඳින් අවබෝධ කර ගන්නට පුළුවන්කම තියෙනවා ඇහැ ඇති වෙන්න හේතු වෙනවා, ඒ කියන්නේ ඇහැ ඇති බවට ගන්නට හේතු වෙනවා වර්තමාන අවිද්යාව. ඒ වගේ ම අවිද්යාව තුළින් ඇත්ත නොදන්නාකම නිසා අපි රැස් කර ගත්ත කර්ම සංස්කාරය එනම් ඇහැ තියෙනවා, රූපය තියෙනවා කියලා හිතපු ඒ සංස්කාරය ද ඒ වගේ ම එතන ඇති කර ගත්ත තණ්හාව කියන මේ හේතු ටික අපි වර්තමානයේ දීත් රැස් කර ගන්නවා. ඒ වර්තමාන අවිද්යා, කර්ම, තණ්හා කියන හේතු ද ඇහැ ඇති කරන්නට හේතු වෙන දෙයක්. ඒ වගේ ම අනාගතයට ඇහැක ප්රතිලාභයටත් හේතු වෙන දෙයක්. ඒ වගේ ම වර්තමානේ ඇහැ ඇති බවට හමු වෙනවා කියන තැනට ඒ කියන්නේ තමාගේ කියලා හෝ ගන්න ඇහැක් හම්බ වෙනවා කියන තැනටත් තියෙන උත්තරයක් තමයි ඒක.
'මේක ඇහැ', ඒක රූපය කියලා අපිට ඒවා වෙන් කර ගන්න පුළුවන්කම අද ලැබිලා තියෙනවා අවිද්යා, කර්ම, තණ්හා කියන මේ හේතු ටික නිසා. පෙර අවිද්යා, කර්ම, තණ්හා නිසා ප්රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය බැස ගත්ත නිසා වර්තමානයේ ආහාර ප්රත්යයෙන් ඉපදුණු ඇහැ ඒ මොහොතේ හට ගෙන ඒ මොහොතේ නැති වෙලා යනවා. ඒ වගේ ම වර්තමාන අවිද්යා, කර්ම, තණ්හා කියන මේ ධර්මතා ටික නිසා එක දිගට පවතින ඇහැක් ඇති බවට අපිට හිතන්න පුළුවන්කම ද ලැබිලා තියෙනවා. ඔන්න ඔය දෙපැත්තකින් ඇහැ හදලා තියෙනවා. එනම්,
1️⃣ විඤ්ඤාණය මව් කුසකට ප්රතිසන්ධි වශයෙන් බැස ගැනීම කියන තැන ඉඳලත් ඇහැ හදලා තියෙනවා.
2️⃣ වර්තමානය තුළත් අපිට ඇහැ ඇති බවට හම්බ වෙන තැනට අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ධර්මතා ටික උපකාර කරලා තියෙනවා.
✳️ රූපය ඇති බවට හමු වීම ✳️
‘ඉති රූපස්ස සමුදයො’ කියන කොට මෙන්න මේ හේතු ටික නිසා තමයි ඇහැ හට ගත්තේ. ඇහැ හට ගත්තේ ඒ හේතු ටික නිසා නම් රූපය හට ගත්තේ මොකක් නිසා කියල ද හිතන්නේ? රූපයත් අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන ටික නිසා ම යි හට ගන්නේ.
එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ පේන රූපයට වටාපත කියලා කියනවා නම්, ඒ රූපයට මොකක් ද තිබුණ අවිද්යාව? ඒ පේන රූපයට මොකක් ද තිබුණු කර්මය, ඒ රූපයට මොකක් ද තිබුණු තණ්හාව කියලා. නමුත් ඒක ද අපිට දෙපැත්තකින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන ටික නිසා ඇහැ හදපු ලක්ෂණය නිසා තමයි මේ රූපය දකින්න පුළුවන්කම තිබුණේ. ඒ නිසා ඇහැට පෙන්වන හේතු ටික ම පෙන්වනවා රූපයටත්. ඒ මොකද? ඇහැ ඇති කල්හි තමයි රූපය කියලා කියන්නේ. රූපය නැතුව ඇහැවත් ඇස නැතුව රූපයවත් කියන්නේ නැහැ.
ඒ වගේ ම රූප නිරෝධය සාක්ෂාත් නොකොට ඔබට දැකපු රූප එළියේ තියෙනවා කියලා පෙන්වා දෙනවා නම්, එනම් විඤ්ඤාණය රූපය ඇසුරු කර ගෙන පවතිනවා නම් එතනත් අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ලක්ෂණ ටිකේ උපකාරය තියෙනවා එනිසා ඒ රූපයේ ඇති වීමටත් හේතුත් අවිද්යා, කර්ම, තණ්හා, ආහාර යි කියලා පෙන්වනවා. ‘ඉති රූපස්ස සමුදයො’ - මෙන්න මෙහෙමයි රූපය හට ගත්තේ කියන කොට ඔබට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ රූපය හට ගෙන තියෙන්නේ මෙන්න මේ අවිද්යා, කර්ම, තණ්හා, ආහාර කියන මෙන්න මේ ලක්ෂණ ටික නිසයි කියලා.
මේ විදිහට ඔබ රූපයේ හට ගැනීම දකින කොට ඔබට පුළුවන්කම තියෙනවා අනිත්ය සංඥාවට අවශ්ය පරිසරය නැතිනම් අවශ්ය පදනම සකස් කර ගන්නට. ඉතින් මේ විදිහට අපි ඉදිරියේ දීත් ඉතිරි කාරණා හැටියට මේ අනිත්ය සංඥාවට අදාළව සහ ඉතිරි දස සංඥාවන්ට අදාළව අපි සාකච්ඡා කරමු.
මතු සම්බන්ධයි
හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-03-07 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් අනිත්ය සංඥාවට අදාළව පවත්වන ලද දෙවන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments