විභජ්ජවාද
පලමු දේශනාව:6
අපට දකින්න වෙනවා, රූපය කියන එක ඇස් හමුවට එන තැනක, හැම වේලාවකදීම, තිබුනු පිරිසිදුම ආකාරයේ දැකීම තුළ, එතනම රූපය අනිත්‍යයි කියන තැන.
කවදාවත් ඇහැට පෙනෙන රූපයට පුළුවන්කම තිබුනේ නැහැ, අපේ හිතට ඇවිල්ලා වදින්නවත්, හිතට ඇවිල්ලා ගැටෙන්නවත්. හේතු යෙදෙන්නේ හිතක මිසක කවදාවත් හේතු රූපයේ යෙදෙන්නේත් නැහැ.
එතකොට, රූපයකට පුළුවන්කම තිබුනේ හිතට වදින්න නෙවෙයි නම්, රූපයකට පුළුවන්කම තිබුනේ ආයතනයන්ගේ ප්‍රසාදයට ගෝචරවීම පමණක්ම නම්, ප්‍රසාදයට කිසිම කලක හැකියාවක් තිබුනේත් නැත්නම් රූපය ගැන දැනගන්නත්, එහෙනම් කවදාවත්, රූපය කියන එක හේතු ඇතිකරගන්න යොදාගත්තු ධර්‍මතාවයක් නෙවෙයි කියන එක, අපට ඒ තුළ පැහැදිලිවෙලා තියෙන්නට ඕන.
ඒ වගේම තමයි, අපට කිසිම කලක, රූපය කියන එක කුසල මනසිකාරයක් ඇතිකරපු දෙයක් හෝ අකුසල මනසිකාරයක් ඇතිකරපු දෙයක් වුනෙත් නැහැ.
රුවන්වැලි සෑය අපි සිහිපත් කළොත්, අපට රුවන්වැලි සෑය බොහොම කුසල මනසිකාරයක් විදියට පේනවා. රුවන්වැලි සෑය බොහොම කුසල මනසිකාරයක් විදියට අපට පේනකොට, කුසලයක් කරගන්න පුළුවන් බාහිර භෞතික වස්තුවක් කියලා පේන තැනක, අන්‍යාගමික කෙනෙක් ඒක දැක්කොත් එයාට කුසලයක් සිද්ධවෙයිද? එයාට අකුසලයක් සිද්ධවෙයිද? බොහෝ විට එයාට ඇතිවෙන්නේ අකුසල සහගත චේතනාවක්. එකම රූපය. කවදාවත් අපට ඉෂ්ඨාරම්මණ අනිෂ්ඨාරම්මණ කියලා රූපය පැත්තෙන් කතාකරන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. රූපයේ හැකියාව තිබුනේ, අනාත්ම මට්ටමක, මේ දෙන්නාගේම ඇස් හමුවට එන එක කරන්න විතරයි.
නමුත්, මේක රුවන්වැලි සෑය,බුදුරජාණන්වහන්සේගේ ද්‍රෝනයක් පමණ ධාතූන්වහන්සේලා තැන්පත්කරලා තියෙන මහා ස්ථූපය, මේ විදියට ඒ පිළිබඳව සංඛාර නිමිති ඇති කරගෙන තියෙන, තම තමන්ගේ මනස පිළිබඳව මෙනෙහි කරගන්නකොට, හේතු ටික යෙදෙනවා තම තමන්ගේ මනස තුළ. නමුත් ඒ හේතු ටික කවදාවත් රූපයට අයිති වුනේ නැහැ, මොකද මේ මනසිකාරය ඇතිකරන්න, තමන්තුළ මේ දැනගන්න කෘත්‍යය සිද්ධකරන්න, අර ඇහැත්, ඇහැට පතිතවුන හේතු ටිකත් වැයවෙලා ඉවර නිසා.
අපි කිව්වොත්, ආලෝකය බාහිර වස්තුවක් මත, නැත්නම් රුවන්වැලි සෑය මත පතිතවෙලා, එන පරාවර්‍තන ආලෝකයක් නම් ඇහැට පතිතවෙන්නේ, ආලෝකයේ ආවේ නැහැ බාහිර වස්තුව, රුවන්වැලි සෑයක්. ආලෝකයෙන් ආවේ නැහැ සඤ්ඤා මනසිකාර දෙයක්, නැතිනම් සිතේ මේ ගැන මෙනෙහි කරන ගතියක්.
හැබැයි, මේක ඇහැට පතිතවීම තුළ, තම තමන්, තම තමන්ගේ මනසේ ආශ්‍රව ටික සිහිපත් කරගත්තා, පුරුදු විදියට රැස් කරගෙන තියෙන සංඛාර නිමිති ටික සිහිකර ගන්නවා.
එතකොට, තමන් ඇසුරු කරන්නේ තමන්ගේම මනස මිසක, රූපය නෙවෙයි. ඒ මනසම ඇසුරු කරලා මනසම දැනගන්න තැනදී, රුවන්වැලි සෑය කියලා අපි දැනගන්නා මොහොත වෙනකොටත්, රුවන්වැලි සෑය කියන නිමිත්ත ඇතිකරන්න හේතුවුනු ඇහැ, ප්‍රසාදය බිඳිලා ඉවරයි.ඒ වගේම ඇහැට පතිතවුනු ආලෝකයත්, නිරුද්ධවෙලා ඉතුරු නැතුවම නිරුද්ධවෙලා ඉවරයි. දැන් මේ කාරණා දෙකම ඉතුරු නැතුවම නිරුද්ධවුනු තැනක, ඉතුරු නැතුවම වැයවුනු තැනක, රුවන්වැලි සෑය කියලා දැක්මක් තම තමන් තුළ ගොඩනගාගෙන තියෙනවා.
ඒ දැක්ම, තම තමන් තුළ ගොඩනගාගත්ත ආකාරය, කොහොමද ගොඩනගාගත්තේ කියන එක මත, ඒ සංඛාර ටික, තව විදියකින් කියනවා නම් ආශ්‍රව ටික, නැතිනම් තම තමන් රැස්කරගෙන තියෙන කුණුගොඩ, තම තමන් දැනගන්න විදියට, කෙනෙකුට කුසල් යෙදෙනවා, කුසල හේතු යෙදෙනවා, කෙනෙකුට අකුසල හේතු යෙදෙනවා, කෙනෙකුට අව්‍යාකෘත හේතු යෙදෙනවා.
හැබැයි, ඒ මොන හේතුව යෙදුනත්, කොයි හේතුව යොදන්නත්, රූපය අහිංසක මට්ටමකින්ම, ඉතුරු නැතුව වැයවෙලා, සම්පූර්‍ණම අනිත්‍යවුනු මට්ටමක, වැයවුනු මට්ටමකම තමයි මේ හේතු ටික යෙදෙන මට්ටම වුනේ. ඉතුරු නැතුව වැයවුනු රූපයේ කවදාවත් හේතු යෙදෙන්නේ නැහැ.
අන්න ඒ අර්‍ථය අරගෙන තමයි, ‘සබ්බං රූපං න හේතු, අහේතුකං, හේතු විප්‍රයුක්තං‘කියලා කිව්වේ. මේ රූපයේ හේතු යෙදෙන්නේ නැහැ, ‘අහේතුකං‘ අහේතුක ධර්‍මයක්, හේතු නොයෙදී පවතින ධර්‍මයක්. ඒ වගේම, හේතු විප්‍රයුක්තක ධර්‍මයක් කියන ඔය කාරණා ටික තුළ දැන් අපට රූපයේ තියෙන පිරිසිදුම අවස්ථාව, රූපයේ තියෙන ඇත්තම ඇත්ත ස‍්වභාවය, එක පැත්තකින් හසුවෙලා තියෙන්නට ඕන.
මතු සම්බන්ධයි...
තෙරුවන් සරණයි...!!!
0 Comments