විභජ්ජවාද
පලමු දේශනාව:5
‘සබ්බං රූපං න හේතු, අහේතුකං, හේතු විප්‍රයුක්තං‘ කියන කාරණාව ගැන කතා කරනකොට, අපට දුරුවෙන්න ඕන කෙලෙස් මට්ටම, ආශ්‍රව මට්ටම තමයි, කැමති රූප ලෝකේ තියෙනවා, අකමැති රූප ලෝකේ තියෙනවා, උපේක්‍ෂා සහගත රූප ලෝකේ තියෙනවා, කියන ඔය කෙලෙස් සහිත මානසික මට්ටම.
රූපය කියන එක කිසිම කලෙක, හේතුවලට අයිති ධර්‍මයක් නෙවෙයි කියලා කියනකොට, කවදාවත් දකින්න එපා, රූපය කැමති අකමැති ස‍්වභාවයකින්. මොකද, කැමති අකමැති ස‍්වභාවය හැමදාම, හැමකල්හිම තියෙන්නේ හේතු හා යෙදිලාමයි. කැමති අකමැති ස‍්වභාවයට රූපය අයිති නැහැ කියලා කියනකොට, රූපය කියන එක දකින්න බොහොම අහිංසක මට්ටමක. එයින් කියන්නේ, රූපයට ආයතන හමුවට එන්න විතරයි පුළුවන්කම තියෙන්නේ.
ඊටපස්සේ, අපි ඒ පිළිබඳ හේතු ටික හදාගන්නේ, තම තමන්ගේ මනස තුළ මිසක රූපය තුළ නෙවෙයි. එතකොට, රූපය ඉතුරු නැතුව වැයවෙලා ඉවරයි. රූපයේ අර්‍ථය ඉතුරු නැතුව නැතිවුනු තැනක තමයි අපි හේතු ටික ඇති කරගන්නේ. ඒක රූපයත් එක්ක කිසිම කලෙක සම්බන්ධ වෙන්නේ නැහැ.
අපි හිතමු, අපට බොහොම ප්‍රියමනාප රූපයක් ලෝකයේ තියෙනවා කියලා. අපි මේ රූපයට බොහොම කැමතියි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ වගේම ඒ රූපය දකිනකොට අපට සුවක් සොම්නසක් ඇතිවෙනවා. අපි හිතන්නේ, ඒ රූපය බොහොම සැප සහිතයි, බොහොම ලස්සනයි, බොහොම ආශ්වාද ජනකයි කියලා. නමුත් ඒ රූපයම, ලෝකේ තවත් කෙනෙකුට ඒ විදියට ආශ්වාදය ගෙනල්ලත් නැහැ, එයාට ඒක ප්‍රියත් නැහැ. සමහරවිට අප්‍රසන්න වෙන්නත් පුළුවන්, සමහරවිට මධ්‍යස්ත වෙන්නත් පුළුවන්.
ඔබට ප්‍රියමනාප දරුවා කියන රූපය අරගෙන බැලුවොත්, තමන්ට බොහොම ප්‍රිය මනාප, තණ්හාව යෙදෙන, හේතු යෙදෙන,ඔය දරුවා කියන සංකල්පය, ඔය දරුවා කියන රූපය, ලෝකේ තවත් කෙනෙක් දැක්කාම, එයාට තරහක් පටිඝයක් ඇතිකරගන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තවත් කෙනෙක් ඒ රූපය දැකලා, උපේක්‍ෂා සහගතව ඉන්න පුළුවන්කමත් තියෙනවා.
දැන් මේ පුද්ගලයෝ 3 දෙනා දිහා බලනකොට, කෙනෙක් රූපයේ සතුටුවෙලා, කෙනෙක් නො සතුටුවෙලා, කෙනෙක් උපේක්‍ෂා සහගතවෙලා.
ඒකාන්ත වශයෙන් රූපය ප්‍රිය නම්, රූපය මනාප නම්, රූපය මධුර නම්, රූපය ආශ්වාද ජනක නම්, කවදාවත් රූපයට පුළුවන්කමක් තිබුනේ නැහැ අප්‍රසන්න වෙන්න, ඒ ප්‍රිය මනාප බව රූපයේ තිබුනා නම්. අප්‍රිය අමනාප බව රූපයේ තිබුනා නම්, කවදාවත් ඒකට ප්‍රිය මනාප විදියට පෙනී ඉන්න පුළුවන් කමක් තිබුනේත් නැහැ. ඒ වගේම, ඒකේ, ප්‍රිය මනාප බවක්, අප්‍රිය අමනාප බවක් තිබුනා නම්, කවදාවත් තවත් කෙනෙකුට මැදහත් බවකින් ජීවත්වෙන්න පුළුවන්කම තිබුනේත් නැහැ.
දැන් අපට ප්‍රිය මනාප බවත්, අප්‍රිය අමනාප බවත්, මැදහත් බවත්, කියන මේ කාරණා 3 ම, නැතිනම්, මේ කාරණා 3 කියලා කිව්වේ එක්කෝ ලෝභය, එක්කෝ ද්වේෂය, නැතිනම් උපේක්‍ෂාව කියන මෙන්න මේ කාරණා ටික, හැම වේලාවකදීම, හේතු ටික ඇති කල්හිම යොදාගෙන තියෙන ධර්‍මතා ටිකක්. අපට රූපය ප්‍රියමනාප විදියට හම්බවෙනවා කියලා කියන්නේම, අපි හේතූන් යෙදුනු රූපය පරිහරනය කරනවා කියන එක. අප්‍රිය අමනාප රූපය පරිහරනය කරනවා කියලා කියන්නේ, අපි හේතු ටික පරිහරනය කරනවා කියන එක.
අපට හේතුව වෙන්වෙලා, ඒ වගේම රූපය වෙන්වෙලා හම්බවෙලා නැහැ. අපට රූපය සහ හේතු ටික එකම ධර්‍මතාවයක් විදියට, එකම කාරණා ටිකක් විදියට හම්බවෙලා තියෙනවා. හේතූන්ගෙන් වෙන්වුනු රූපයත්, රූපෙන් වෙන්වුනු හේතු ටිකත් අපට හම්බවෙලා නැහැ.
ඒ නිසා, අපට හේතූන්ගෙන් වෙන්වුනු රූපයත්, රූපෙන් වෙන්වුනු හේතු ටිකත්හම්බවෙන්න ඕන. සරළවම කියනවා නම්, අපට නාම ධර්‍මතා ටික වෙනම හම්බවෙන්න ඕන, රූපය කියන එක වෙන්වෙලා පේන්න ඕන.
රූපය වෙන්වෙලා පේන්න ඕන කියලා කිව්වේ, රූපයේ තිබෙන යථා ස‍්වභාවය, පිරිසිදු අවස්ථාව, පිරිසිදු ආකාරය අපට පේන්නට ඕන.
හේතු ධර්‍මතා යෙදෙන්නේ, හේතු සම්ප්‍රයුක්ත වෙන්නේ, මනසකම මිසක, කවදාවත් රූපයේ නෙවෙයි. රූපය කියන එක හේතු විප්පයුක්තයි. ඒ වගේම, හේතුත් නෙවෙයි, ඒ වගේම අහේතුකයි.
එතකොට අපට කිසිම කලෙක ප්‍රිය මනාප මධුර විදියට රූපයක් ලෝකේ හම්බවෙන්න බැහැ. රූපයේ යථා ස‍්වභාවයම අපට හසුවෙලා තියෙන්නට ඕන, ආයතන ටික පරිහරනයවෙන මොහොතේදීත්.
ඇහැ පැත්තෙන් ගත්තොත්, අපට ඇස් හමුවට එන්නේ ප්‍රිය මනාප රූපයක් නෙවෙයි. ඇහැට පතිත වෙන්නේම, අනාත්ම ධර්‍මතාවයක්, අනාත්ම වර්‍ණසටහණක්. අනාත්ම වර්‍ණසටහණ, අනාත්ම පාට ටිකක්, කවදාවත් හේතු විදියට අපේ ඇස් හමුවට ආවේ නැහැ. ඇහැට පුළුවන්කම තිබුනේත් නැහැ කිසිම කලෙක හේතු ඇති කරගන්න. ඇහැත් තිබුනේ අනාත්ම ලක්‍ෂණයකම, රූපය තිබුනේත් අනාත්ම ලක්‍ෂණයකම. මේ ඇහැ රූප දෙකම අනාත්ම ස‍්වභාවයක ඇති තැනක කෙනා කෙනා හේතු ධර්‍මතා යොදාගත්තේ, හේතු ධර්‍මතා ඇති කරගත්තේ, කෙනා කෙනාගේ මානසික පසුබිම තුළ.
මතු සම්බන්ධයි...
තෙරුවන් සරණයි...!!!
0 Comments