දුකක් දැනුනු විට 3
~~ අපේ හිත ගැන බැලිය යුත්තේ ඇයි ~~
තමන් තමන්ගේ හිත දිහා බලාගෙන ටිකක් කල්පනා කරලා බලන්නට ඕනේ. හිත දිහා බලාගෙන කල්පනා කරලා බලන්න කියලා කිව්වේ, නිමිත්තක් ඇත්ත කරගත්තට පස්සේ ඒ නිමිත්ත තමන්ව මොන තරම් ආවරණය කරලා දානවද කියන එක ගැන ටිකක් අපි හොඳට බලන්න අවශ්‍යයි.
අපිට ඒක ලෝකේ ඇත්තම කරලා, 'ලෝකේ පවතින දෙයක්', 'පැවතුන දෙයක්' කියලා ඒක අපිට ගෙනල්ලා දීලා ඒක අනුසාරයෙන්ම මනසිකාරය නැවත නැවත අරගෙන යන තැනකට අපිව පත්කරලා දුක වෙහෙස විඩාව උපදවන තැනටම අපිව පත්කරලා තියෙනවා.
ඒ හින්දා එබඳු මනසක් අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ පින්වතුනි, යථාර්ථය නොදන්නාකම නිසා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා එබඳු වූ මානසික මට්ටමක ජීවත්වෙන අපිට ඒ වගේ තැන් වලදී අසරණ නොවීම පිණිස අපිට මේ දැක්ම පෙන්නලා දුන්නා. "ඔතන ඔය විදිහට දකින්නට එපා! ඔතන දකින්න, ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන නිරුද්ධවෙන බව, ආයතන ධර්මතා ටිකක් හටගෙන නිරුද්ධවෙන බව".
~~ ස්කන්ධ ධර්මතා ටිකක් පිළිබඳව ~~
රූපය හටගෙන නිරුද්ධ වුනා කියලා අපි දුකට පත්වෙන්නේ නැහැ, වේදනා ස්කන්ධය හටගෙන නැති වුනා කියලා දුකට පත්වෙන්නේ නැහැ, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ස්කන්ධයන් හටගෙන නිරුද්ධ වුනා කියලා අපි දුකට පත්වෙන්නේ නැහැ.
අපිට මේ දැක්ම තුල අපේ ජීවිතයේ තියෙන යථාර්ථයම පෙන්නලා දෙනවා. එතකොට දැන් අර හලාහල විෂ දැක්කහම අපි ඒක පානය කරන්නේ නැහැ වගේ, මේ යථාර්ථය දැක්කට පස්සේ, මේ යථාර්ථය පිළිබඳව අපේ හිතේ සංකල්පනා නැගෙන්නේ නැහැ, මේ ස්කන්ධ ධර්මතා ටික අල්ලගන්න පුළුවන් කියලා කෙලේසයක් විදිහට.
ඒ නිසා තමයි "සබ‍්බසඞ‍්ඛාරෙහි අට‍්ටීයති හරායති ජිගුච‍්ඡති" කියලා වචන ටිකක් පාවිච්චි කරන්නේ. හේතු නිසා සකස් කරපු මේ සියලු සංස්කාර ධර්මයන්ගේ එයා, පිඩාවට පත්වෙනවා, ඒවගේම එයා ඒක පිළිකුල් කරනවා, ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට පත්වෙනවා, එයා ඒකෙන් ලැජ්ජිත වෙනවා.
~~ දුක උපද්දවාගෙන දුක් විඳින අපි ~~
ඒ මොකද? හේතු නිසා සකස් වුනු ධර්මයක් අපි 'පුද්ගලයෙක්' කියලා ගත්තට පස්සේ, ඒ පුද්ගලයෙක් කියලා අල්ලාගැනීම නිසා පින්වතුනි, අපි දුක කියන දේ උපද්දවාගෙන නිකන් දුක් විඳිනවා. අපි කියනවා බාහිර ලෝකේ නිසා තමයි අපිට දුක එන්නේ කියලා. අපි දන්නේ නැහැ, අපේ හිත නිසාමයි අපි දුක උපද්දවා ගත්තේ කියලා.
ඒ නිසා අපේ හිත ගැන අපි තේරුම් ගන්නට ඕනේ. ඒ හිත ගැන තේරුම් ගත්තොත්, හිත රැක්කොත් විතරයි පින්වතුනි, ඔය හැම පැත්තකින්ම අපේ හිතට රැකවරණයක් සපයාගන්න පුළුවන්කම තියෙන්නේ.
~~ හිත හොඳට රැකගන්න ~~
"නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි යං එවං රක‍්ඛිතං මහතො අත්‍ථාය සංවත‍්තති, යථයිදං චිත‍්තං. චිත‍්තං භික‍්ඛවෙ රක‍්ඛිතං මහතො අත්‍ථාය සංවත‍්තතීති" - "මහණෙනි, මම වෙන එකදු ධර්මයක්වත් දකින්නේ නැහැ, හොඳට රැකගත්තොත් මේ ලෝකේ ගෙනල්ලා දෙන්න පුළුවන් මහත්ම අර්ථය ගෙනල්ලා දෙනවා නම් මේ රැකගත් හිත තරම්" කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
හිත රැක්කොත් මහණෙනි, මේ ලෝකේ ගෙනල්ලා දෙන්න පුළුවන් ඉහලම රැකවරණය, උපරිම ආරක්ෂාව, උපරිම නිවීම කියන දේ ගෙනල්ලා දෙනවා කියලා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ නමක් ඒ විදිහට අපිට වචන ප්‍රකාශ කරලා, ඒ විදිහට අපිට ඇපවෙලා කියලා තියෙනවා මේ කාරණාව පිළිබඳව. ඒ හින්දා අපි අපේ ජීවිතය තුල අපි අපේ හිත රැකගන්නට ඕනේ.
ඒ රැකගන්නට ඕනේ මේ යථාර්ථය නොදන්නා අවිද්‍යාවෙන් අපේ හිත වැහිලා ගිහිල්ලා අර සංකල්පයන්ම තළු මරණ මට්ටමට අපි පත්නොවී අපිව අනාරක්ෂිත තැනකට පත්නොකරගෙන ආරක්‍ෂිත භූමියක අපි පිහිටා සිටින විදිහට අපේ හිත ඒ දහම් මනසිකාරය ඔස්සේ අපි අරගෙන යන්නට ඕනේ. ඒ නිසා මේක ඉතාම ප්‍රයෝගිකව පාවිච්චි කරන්න තියෙන දෙයක්. ඔබේ මනස නිවැරදිව සකස් කරගැනීම පිළිබඳව අපි පියවරවල් විදිහට කතා කළොත්,
• පළමු පියවර
පළවෙනිම දේ, ඔබේ මනස පිළිබඳව නිහඩව ඉඳගෙන ටිකක් කල්පනා කරලා බලන්න. එතකොට ඔබේ සිත් ඇතිවෙන විදිහ ගැන ටිකක් කල්පනා කරන්න පුළුවන්. එතකොට පේනවා අපිට දුක කියන දේ උපදින්නේ කොහොමද කියලා. දුක කියන දේ උපදින්නේ අපේ හිතේ ඇතිකර ගන්න සංකල්පනාවන් අනුව කියන එක ඔබට ඒ වෙලාවේදී දකින්න පුළුවන්කම තියෙනවා.
~~ ධර්මය හා සමාන වෙනත් ඖෂධයක් නැහැ ~~
අද කාලේදී සිද්ධ වුනු කතාවක් තියෙනවා, අපේ කිරිඅම්මා මේ සම්බන්ධ අවස්ථාවක් ගැන කියලා දෙනවා. කිරිඅම්මාගේ පුතා එහෙම නැතිනම් අපේ මාමා අකාලයේ නැතිවුනා. කිරිඅම්මා බණ අහලා තිබ්බා ටිකක්. ඒ මෘත දේහය තියෙන තැනට ගිහිල්ලා කල්පනා කරලා හිතලා බලනවා "මේ මම ආදරෙන් හදාගත්ත දරුවා" නේද කියලා පුංචි කාලේ ඉඳලා තිබුන සිදුවීම් පිළිබඳව හිතලා බලනකොට පපුව කඩාගෙන යන තරමේ මහා දුකක්, මහා වෙහෙසක් හිතට දැනෙන්න පටන් ගත්තා කිව්වා.
ඒවගේම ඒ රූපය දිහා බලාගෙන මෙහෙම හිතනකොට, "නෑ, මේ මම මගේ හිතෙන්ම ඇතිකර ගත්ත සංකල්පනා ටිකක්ම නේ මම මේ බලන්නේ. මෙතන සැබෑවටම පවතින්නේ එහෙම ධර්මතාවයක් නෙමෙයි නේ" කියලා ඒ පැත්තට බලනකොට හිත දිහා බලාගෙන ඉන්නකොටම ඒ දුක නිකන්ම තුනීවෙලා යන්න පටන් ගත්තා කියලා කිව්වා.
ඉතින් ඇවිල්ලා බොහොම පින් දුන්නා ස්වාමීන් වහන්සේටත් (සුදස්සන ස්වාමීන් වහන්සේටත්), අපිටත් මේ ධර්මයේ තියෙන ආශ්චර්යමත් ස්වභාවය පිළිබඳව දුක නැතිව ඉන්න පුළුවන්කම ලැබුනේ ස්වාමීන් වහන්ස මේ ධර්මය නිසයි කියලා. ඒ නිසා අපේ ජීවිතයේ එදිනෙදා අපිට දැනෙන අපිට විඳින්නට ලැබෙන ඕනෑම දුකකදී, ඕනෑම වෙහෙසකදී පින්වතුනි, ධර්මය හා සමාන වෙනත් ඖෂධයක් නැහැ.
කය ලෙඩ වුනොත් නම් අපිට කොහෙන් කොහෙන් හෝ ඖෂධ සපයාගන්නට පුළුවන්. නමුත් අපේ හිතේ ඇතිවෙන දුකට, වෙහෙසට, දෝමනස්සයන්ට ඖෂධ ඇත්තේ නැහැ නේ. ඒකට තියෙන එකම ඖෂධය තමයි ධර්මය. ඒ ධර්මය කියලා කියන්නේ බොරුවට අපිව රවට්ටලා කියන දෙයක් නෙමෙයි. තුවාලය පාරලා තුවාලය සුද්ධ කරලා බෙහෙත් දානවා වගේ හිත පිළිගන්නට අකමැති වුනත් ඒක ඇත්තටම හාරලා යථාර්ථයම ප්‍රකට කරවලා දෙන දෙයක් ධර්මය කියලා කියන්නේ.
බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී පැහැදිලි කරනවා එක උදාහරණයක්, " කටුවක් හිර වුනොත් යම් ළමයෙකුගේ උගුරේ, ලේ ගැලුවත් ඒ කටුව ගලවලා ගන්න වෙනවා. ඒ වගේ ඒක එයා දරුවා කෙරෙහි අනාදරය නිසා කරන දෙයක් නෙමෙයි, ආදරය නිසා කරන දෙයක්. ඒ වගේමයි පින්වතුනි, අපිට සමහර වෙලාවට හිතට දුක එන්න පුළුවන්කම තියෙනවා, එතකොට ධර්ම මනසිකාරය කෙරෙහි හිත නැමෙන්නේ නැති වෙන්නත් පුළුවන්කම තියෙනවා
නමුත් හිත අකැමැති වුනත්, නැමෙන්නේ නැති වුනත් මේ ධර්මය කෙරෙහි අපි හිත නමන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ උත්සාහය, විර්යය කළොත් අපිට පුළුවන්කම තියෙනවා ඊට වඩා බොහෝ වැඩි දුකකට අපිව පත්වෙන එකෙන් අපේ හිත ගලවාගන්න. ඒ නිසා අපේ මනස ඒ ධර්මය තුල හොඳට පිහිටවලා බලන්නට ඕනේ. එහිදී අපි කතා කළේ පළමු පියවර ගැන. ඒක තමයි පැත්තකට වෙලා අපේ සිතේ සාමාන්‍ය සිතුවිලි නැගෙන ආකරය පිළිබඳව අපි ටිකක් හිත දිහා පාඩුවේ බලාගෙන ඉන්න එක.
• දෙවෙනි පියවර
ඊටපස්සේ දෙවෙනි පියවර තමයි, අපේ හිතේ නැගෙන අරමුණ පිළිබඳව අපි ටිකක් හොඳට කල්පනා කරලා බලනවා, මේ අරමුණේ, මේ විතර්කයේ මූලය මොකක්ද කියලා? මේ විතර්කය පටන් ගත්තේ, ආරම්භ වුනේ කොහොමද කියලා? එතකොට අපිට පේනවා මේ විතර්කය හා සම්බන්ධ අවස්ථාවන් මොනවද කියලා. එතකොට අපි මතක් කරගත්ත දේවල් දිහා බලනකොට ඒ දේවල්වල ඇත්තම කතාව මොකක්ද කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා.
එතකොට ඒ වෙලාවට බලන්න, ඒක දැන් ඇත්තටම ලෝකේ තුල තියෙන දෙයක්ද, එහෙමත් නැතිනම් 'තිබුනා' කියලා තමන් තමන් විසින්ම අරමුණක් විදිහට උපද්ද ගන්න දෙයක්ද කියලා. එතකොට තමන්ට දෙවෙනි අදියරේදී දකින්න පුළුවන්කම තියෙනවා එය තමන් තමන්ගේ සිත තුලම උපද්ද ගත්ත අරමුණක් කියලා.
• තුන්වෙනි පියවර
අරමුණක් කියලා පේනකොට, තුන්වෙනි අදියර හැටියට දකින්න, ඒ අරමුණ බාහිර ලෝකයට කිසිම විදිහකින් අතීතයේදී අයිති වුනෙත් නැහැ, වර්තමානයේදී අයිති කරන්නත් බැහැ, අනාගතයට අයිති වෙන්නෙත් නැහැ. ඒ ඇයි? රූපයේ ස්වභාවය පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ස්වභාවය. ඒවගේම රූපයේ ස්වභාවය අනාත්ම පාට ටිකක් විදිහට ඇස් හමුවට එන එක, ශබ්ද මාත්‍රයක් විදිහට කන හමුවට එනකම.
මේ අනාත්ම වූ ධර්මතා ටිකක්, ඒ මොහොතට හටගෙන නැතිවෙලා යන එකක්. එහෙනම් මේ අරමුණ, ඒ අනිත්‍ය වුනු රූපයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒවගේ යම් අනිත්‍ය වුනු රූපයක් අනාගතයට පැමිණෙන්නේත් නැහැ. එතකොට මේ අනාත්ම ධර්මතා ටිකක් නේද කියලා, තමන්ටම නුවණක් ඇතිකර ගන්නට පුළුවන්කම තියෙනවා.
~~ දුකට පදනම නැතිවෙන හැටි ~~
එතකොට ඒ තුල තමන්ගේ දුක්ඛ දායක අරමුණ, තමන්ගේම සිතක් බවට ප්‍රකට වෙනකොට ඒ දේ බාහිර ලෝකයට පතිත කරන්න බැරිවෙනකොට පින්වතුනි, අපිට අර දුකට පදනම නැතිවෙලා යනවා. අපි දුක නැති කරන්න නෙමෙයි ගිහින් තියෙන්නේ, අපිට දුක ඇති කරපු තැන දුකේ පැවැත්මට පදනමක් නැති කිරීම තමයි අපි එතැනදී කරලා තියෙන්නේ.
ඒ නිසා අපේ හිතට දුකක්, වෙහෙසක් ඇතිවෙන වෙලාවේදී ඒ දුක වෙහෙස ඇතිවෙන තැනදී මේ පියවරවල් තුන අනුගමනය කරනවා නම් බොහොම ඉක්මනට දුක නැතිකර ගන්න පුළුවන්කම තියෙනවා.
ඒවගේ කෙනෙකුට අමනාපයක්, ගැටීමක් ඇතිවෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්, ඒ ඕනෑම අවස්ථාවකදී ඒ විදිහට තමන්ගේ හිත පිළිබඳව බලලා හිතේ ඒ අරමුණ ඇතිවුන ආකාරය පිළිබඳව අරමුණේ මුලට ගිහිල්ලා අපි පරික්ෂා කරලා බලනවා නම් පින්වතුනි, අපිට පුළුවන්කම තියෙනවා මේ දුක කියන කාරණාව, අමනාප ගතිය කියන එක, කැමැත්ත කියන එක බොරුවක් වූ තැනක (අනිත්‍ය වූ ධර්මයක් නිත්‍ය වශයෙන් ගත්ත තැනක) හදාගත්ත දෙයක් කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙන්වා දෙන්න.
එතකොට ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙන්වා දීමේදී පින්වතුනි, ඔබට ලෝකය තුල ඇලෙන්න ගොඩාක් අරමුණු, බැඳෙන්න ගොඩාක් අරමුණු හමුවෙන්නේ නැතිවෙයි. ඒවගේම ලෝකය කියන එක අනාත්ම ධර්මයක් හැටියට, සත්ව පුද්ගලභාවයෙන් හිස් වුනු ධර්මයක් හැටියට දකින්නට පුළුවන්කම තියෙයි.
සත්ව පුද්ගල බවෙන් හිස් වුනු ධර්මයක් සත්වයෝ පුද්ගලයෝ කියලා ගත්තොත් එදාට ඒ සත්වයෝ පුද්ගලයෝ නිසා එන දුක වෙහෙස විඩාව තමන්ගේ ජීවිතයට විඳින්න වෙනවා කියන එක තමන්ට අත්දකින්නට පුළුවන්කම තියේවි. ඒ නිසා හොඳින්ම මේ කාරණාව පිළිබඳව තමන් තමන්ගේ සිතට අදහසක් ඇතිකර ගන්න.
~~ විදර්ශනා භාවනක් ලෙස මෙය යොදාගන්න ~~
මෙය එක පැත්තකින් භාවනාවක්, එක පැත්තකින් තමන්ට හොඳ විදර්ශනා අවබෝධයක් ලබාගන්න පුළුවන්කමක්. ඒවගේම තවත් පැත්තකින් තමන්ගේ හිතට දැනුන වෙහෙස, තමන්ගේ දැනට හිතට දැනෙන දුකක් තියෙනවා නම් ඒ දුක වෙහෙස නිවාගන්නට පුළුවන් එක පැතිකඩක්.
අපේ හිත දුක ගෙනෙන දෙයක් පසුපස හඹා නොයන විදිහට පවත්වා ගන්න පුළුවන්කම තියෙන්නේ ධර්මය තුලමයි. ඒ නිසා ඔබට ඒ කතා කරපු විදිහට දර්ශනය පැත්තෙන් පිළිසරණක් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒවගේම සතිපට්ඨානය පැත්තෙනුත් ඔබට පිළිසරණක් ලබන්නට පුළුවන්කම තියෙනවා.
~~ සතර සතිපට්ඨානයේ ප්‍රධාන කෘත්‍ය ~~
"සොකපරිද‍්දවානං සමතික‍්කමාය දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමාය" කියලා නේ කිව්වේ. දුක්ඛ දෝමනස්සයන් නැතිකරන්න පුළුවන් දෙයක් හැටියට නේ සතිපට්ඨානය පෙන්නුවේ. එතකොට ලෝකේ ආත්ම සංඥාව නිසයි දුක් දොම්නස් එන්නේ. ආත්ම සංඥාව වෙනුවට ඔබට අනාත්ම සංඥාව භාවිතා කිරීමනේ සතර සතිපට්ඨානයේ ප්‍රධාන වශයෙන් සිද්ධ කෙරෙන්නේ.
එතකොට සත්වයෙක් පුද්ගලයෙක් නොවුණු, හුදෙක්ම කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ධර්මයන්ගේ පැවැත්ම පමණයි කියලා ඇති කරපු මනසිකාරයක සිත පැවැත්වීමක්. එතකොට මේ ඕනෑම ක්‍රමයකින් පින්වතුනි, අපේ හිත රැකගන්න, ආරක්ෂා කරන්න අපිට පුළුවන්කම තියෙනවා.
ඒ නිසා අපි ඒ විදිහට අපේ ජීවිතයට ධර්මය තුලින් සැනසීම උරුම කරගත හැකි විදිහට අපේ ජීවිතය පත්කර ගන්නට අවශ්‍යයි. ඒ නිසා ඔබ හැමදෙනාටම බොහොම කල්‍යාණ මිත්‍රභාවයෙන් අපි සිහිපත් කරන්නේ මේ ජීවිතය තුල ඒ ධර්මය තුලින් ලබන උත්තරීතර සැනසීම ඒ විදිහටම ලබාගන්නට අපි උත්සාහාවත් වන්නට ඕනේ කියලා.
හැමදෙනාටම තෙරුවන් සරණයි!
දේශනාව නිමි
අතිපූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.10.04 දින සිදු කල ධර්ම දේශනාව ඇසුරෙන් කරන ලද පිටපත් කිරීමකි.
0 Comments