කල්‍යාණ මිත්‍ර සම්පත්තිය 1
නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස
ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සුදානම්වන මොහොත. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මේ උතුම් සද්ධර්මය හරියට මහා ඖෂධයක් වගේ දෙයක්. "ධම්මොසධසමං නත්‍ථි - එතං පිවථ භික්ඛවො" කියලා භාග්‍යවතුන් වහන්සේම පෙන්වා දුන්නේ මේ ධර්මය හා සමාන වෙනත් ඖෂධයක් ලෝකයේ නැහැ. ඒ ධර්මය නැමති ඖෂධය අරගෙන පානය කරන්නට කියලා.
~~ සංසාර රෝගයට එකම ඖෂධය ~~
ඒ ඖෂධය ලෝකේ අසදෘශ මහා ඖෂධයක්. අපිට කොතෙකුත් කයේ ලෙඩරෝග ඇතිවෙනවා. කායික ලෙඩරෝග කොතෙක් ඇති වුනත් ඒ බොහෝ දේට අපි බෙහෙත් ඖෂධ පරිහරණය කරනවා. හැබැයි ඒ හැම දේකටම පුළුවන්කම තියෙන්නේ අවුරුදු පනහක් හැටක් තියෙන මේ කායික සුවපත්භාවය ඇති කරන්න පමණයි.
මේ ලෝකේ තියෙන කිසිම ඖෂධයකට පුළුවන්කමක් නැහැ, ඔබේ ජීවිතයට ඇතිවෙන ලෙඩවීම, මරණයට පත්වීම, කැමති දේ නැතිවීම ආදී මේ දේවල් වලින් උරුමවෙන දුක නැති කරන්න කිසිම දේකට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ දේ පුළුවන් නම්, ඒ පුළුවන්වෙන එකම දේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ උතුම් සද්ධර්මය කියලා කියන්නේ.
ඒ නිසා අපි මේ සද්ධර්මය පිළිබඳව දක්වන ආකල්පය ඉතාම දියුණු කරගත යුතු වෙනවා. ඒ නිසා මේ කියන කරුණු කාරණා ටික හොඳට තමන්ගේ ජීවිතයට ඉතාම නුවණින් යුක්තව ශ්‍රවනය කරන්න කියලා අපි මුලින්ම සිහිපත් කරනවා.
~~ පළගැටියා හා අපි ~~
දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට හවස් වෙලාවක පහන් පත්තු වෙලා තියෙනවා. මේ පහන් පත්තු වෙලා තියෙනකොට මේ අවට හිටපු පළගැටියෝ ඇවිල්ලා මේ පහන් දැල්ලට පනිනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ පළගැටියා උපමා කරගෙන ඉතාම වටිනා ධර්ම කාරණාවක් ප්‍රකාශ කරන්නට යෙදුනා.
පළගැටියා කියලා කියන්නේ පින්වතුනි, පහන් දැල්ලට හරි ආශා කරන සතෙක්. පළගැටියා පහන් දැල්ලට මොන තරම් ආසයිද කියනවා නම් ඌ පහන් දැල්ල ලබාගැනීම සදහා පහන් දැල්ලට පනිනවා. පහන් දැල්ලට පනින පළගැටියා කවදාවත් තමන්ගේ කැමැත්ත උරුම කරගන්නේ නැහැ. අපි දන්නවා පළගැටියෙක් පහන් දැල්ලට පනිනකොට පහන් දැල්ල නිසා ඇතිවෙන පිච්චීමේ දුක ඒ සතාට උරුම වෙනවා.
හැබැයි තව පොඩ්ඩක් හෝ පණ තිබුනොත් ඒ සතා උත්සාහවත් වෙන්නේ මොකක් කරන්නද? තව එක පොඩ්ඩක් හෝ පණ තිබුනොත් පළගැටියා උත්සාහවත් වෙන්නේ අප්‍රමාණ දුකක් ගෙනල්ලා දුන්න, පිච්චීමේ දුක උරුම කරලා දුන්න අර පහන් දැල්ලටම ආපහු පනින්න.
පින්වතුනි, පළගැටියා හරි මෝඩයි. පළගැටියාගේ මෝඩකම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි පළගැටියා කරන ඒ වැඩේම අපිත් තව පැත්තකින් කරනවා. අපි තව පැත්තකින් කරන්නේ පළගැටියාගේ මෝඩකම පිළිබඳව එක පැත්තකින් විතරක් තීරණය කරලා අපේ මෝඩකම දකින්නේ නැති නිසාමයි. පින්වතුනි, පළගැටියා පහන් දැල්ලට කැමති, හැබැයි පහන් දැල්ල කවදාවත් උරුම කරගන්න බැහැ වගේ, ලෝකය තුල අපිත් සැපයි කියලා ගන්න ලෝකය තුල අපිත් හොඳයි කියලා හිතන ගොඩාක් දේවල් තියෙනවා.
ඒ ගොඩාක් දේවල් පසුපස්සේ අපි අපේ ජීවිතය තුල හඹාගෙන යනවා. හැබැයි ඒ දේවල් පසුපස හඹාගෙන යනකොට ඒ දේවල් අපිට තාවකාලික ආශ්වාදයක් ගෙනල්ලා දෙන්නේ නැහැ කියන්නේ නැහැ. හැබැයි කොතැකින් හරි දුකම උරුම කරවනවා. අපිට ඒ දේ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතිකම නිසා අපි ආශ්වාදය ටිකක් වුන ආදීනවය ගොඩක් වුන දෙයක් බොහොම කැමැත්තෙන් යුක්තව ඇසුරු කරන්නට පෙළඹෙනවා.
අපිට ඒ තුලින් දුක ගෙනල්ලා දෙනවා. දුක ගේනකොට නැවත නැවතත් අපි උත්සාහවත් වෙනවා, ඒ දුක නැති කරගන්නට කියලා තවත් දෙයක් ලබාගන්නට. ලබාගන්න දේ නිසා ආපහු දුකක් ඇතිවෙනවා. හැබැයි ආපහු අපි උත්සාහවත් වෙනවා තව දෙයක් ගෙනල්ලා ඒ දුක නැති කරගන්නට කියලා. පින්වතුනි, ලෝකය තුල ජීවත්වෙන අපේ සාමාන්‍ය පැවැත්ම තමයි මේක.
~~ කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මය ශ්‍රවනය ~~
මේ විදිහේ පැවැත්මක් තුල ජීවත්වෙන අසරණ ලෝකයට බුදුරජාණන් වහන්සේ ඉතාම වටිනා ප්‍රතිපදාවක් පෙන්නුවා. ඒ වටිනා ප්‍රතිපදාව, අපි දුක නැති කරගන්නේ කොහොමද කියන ප්‍රතිපදාව. ඒ නිසා දුකක් නැතුව ජීවත් වෙන්න කැමති අපි කාටත් මේ ප්‍රතිපදාව පිළිබඳව තේරුම් අරගෙන ඉන්න එක ඉතාම වටිනා දෙයක්. ප්‍රතිපදාව පිළිබඳව තේරුම් ගන්නකොට මුලින්ම අපිට තියෙන්නට ඕනේ දේ තමයි "පරතොඝොෂ ප්‍රත්‍යය".
'පරතොඝොෂය' කියලා කියන්නේ අපිට ධර්මය වුනත් තව කෙනෙකුගෙන් අහලා දැනගන්න වෙනවා. ඒ ධර්මය අහලා දැනගන්නට වෙන්නේ, එහෙම නැතිනම් ශ්‍රැතවත් භාවය ඇතිකර ගන්නට වෙන්නේ සත්පුරුෂයෙක් හමුවේ. අසත්පුරුෂයෙක් හමුවේ අපිට බැහැ කිසිම කලෙක ධර්මයක් ලබන්නට. ඒ නිසා සත්පුරුෂ සංසේවනය, සත්පුරුෂයන් ආශ්‍රය කිරීම ධර්මය පැත්තෙන් අපිට ඉතාම වැදගත් වෙනවා අවබෝධයකට යන්නට.
ඒ නිසා පළවෙනිම කාරණාව තමයි, කල්‍යාණ මිත්‍ර සේවනය, එහෙම නැතිනම් කල්‍යාණ මිතුරන් ඇසුරු කිරීම කියන දේ. කල්‍යාණ මිතුරන් ඇසුරු කරනකොට අපි දැනගන්නට ඕනේ කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ කවුද, පාප මිත්‍රයෙක් කියන්නේ කවුද කියන කාරණාව අපි තේරුම් අරගෙන ඉන්නට ඕනේ.
~~ 'බාලයා' කියන්නේ කවුද?~~
බුදුරජාණන් වහන්සේ මේක හොඳට ලස්සනට නිර්වචනය කොට දක්වනවා. "ඉධ භික‍්ඛවෙ, බාලො දුච‍්චින‍්තිතචින‍්තී ච හොති දුබ‍්භාසිතභාසී ච දුක‍්කතකම‍්මකාරී ච" මේ ලෝකයේ බාලයාගේ ස්වභාවය තමයි,
'දුච‍්චින‍්තිතචින‍්තී ච හොති' - එයා නොසිතිය යුතු දේ සිතනවා.
'දුබ‍්භාසිතභාසී ච' - නොකිය යුතු දේ කියනවා
'දුක‍්කතකම‍්මකාරී ච' - නොකළ යුතු දේ කරනවා.
මේක තමයි බාලයාගේ බාල ලක්ෂණය කියලා කියන්නේ. ලෝකේ නුනුවණක් තියෙන කෙනෙක්, මෝඩ කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ ස්වභාවය තමයි නොසිතිය යුතු දේ සිතන කම. ඒ වගේම නොකිය යුතු දේ කියන කම, ඒ වගේම නොකළ යුතු දේ කරන කම. එතකොට අපිට හිතාගන්නට වෙනවා මොකක්ද අපි නොසිතිය යුත්තේ, මොකක්ද අපි නොකිය යුත්තේ, මොකක්ද අපි නොකළ යුත්තේ කියලා.
යම්කිසි දෙයක් අපි හිතන්නේ ලෝභ ද්වේශ මෝහ කියන අකුසල ධර්මයන්ගෙන් යුක්තව නම් අන්න ඒ දේට කියනවා, 'දුච‍්චින‍්තිතචින‍්තී ච හොති' කියලා. නොසිතිය යුතු දේ සිතන කෙනෙක් කියලා. ඒවගේම යම්කිසි වචනයක් තුලින් තමාත් දුකට පත්වෙනවා නම් අනුනුත් දුකට පත්වෙනවා නම් ඒ තමාත් දුකට පත්වෙන, අනුනුත් දුකට පත්වෙන අනර්ථ සහිත අකුසල සිතකින් ඉපදුන යම් වචනයක් තියෙනවා නම් අන්න ඒ අකුසල සිතකින් උපදිනා වචනය නොකිය යුතු දේ.
ඒවගේම යම්කිසි දෙයක් කරනකොට, එය නොකළ යුත්තක් නම් ඒ දේ කිරීමෙන් තමාත් බාහිර ලෝකයත් දුකට පත්වෙනවා නම්, ඒ දේ අකුසල සිතකින් උපන් දෙයක් නම් අන්න ඒකට කියනවා 'දුක‍්කතකම‍්මකාරී ච' කියලා, නොකළ යුතු දේ කරන කෙනෙක් කියලා. මෙන්න මේ නොසිතිය යුතු දේ හිතන, නොකිය යුතු දේ කියන, නොකළ යුතු දේ කරන පුද්ගලයට මේ ආර්ය ශාසනයේ 'බාලයා' කියලා ව්‍යවහාර කරනවා. මේ බාලයාගේ ලක්ෂණ ටික තමයි අපි කතා කළේ.
~~'අසෙවනා ච බාලානං' කියන්නේ කුමක්ද~~
අපි නිතර දෙවේලේ අහන දෙයක්නේ, "අසෙවනා ච බාලානං" - බාලයෝ ඇසුරු කරන්නට එපා!. බාලයෝ ඇසුරු කරන්නට එපා! කියනකොට නොසිතිය යුතු දේ සිතන, නොකිය යුතු දේ කියන, නොකළ යුතු දේ කරන මෙබඳු පුද්ගලයන් ඇසුරු කරන්නට එපා!. කෙනෙකුට හිතෙන්නට පුළුවන් ප්‍රයෝගික අපේ ජීවිතය තුල අපි කොහොමද මෙබඳු දේවල් තේරුම් අරගන්නේ. කොහොමද මෙබඳු දේවල් වලට අපි පත්නොවී ඉන්නේ කියලා.
එතකොට සමහරවිට අපිට එදිනෙදා ජීවිතය තුල මේ පුද්ගලයන්ව ඇසුරු කරන්නට ලැබෙනවා. ඇසුරු නොකර අපේ ජීවිතය අරගෙන යන්න පුළුවන්කමක් නැහැ. එතකොට කොහොමද අපි අපේ ජීවිතය මෙතැනින් හැඩගස්සවා ගන්නේ? පින්වතුනි, බාලයන් ඇසුරු කරන්නට එපා කියන එකෙන් අදහස් කරන්නේ බාලයෙක් දැක්කොත් සම්පුර්ණයෙන් ඔහු සමග අමනාපව ඔහුව ඉවත් කරන්නට කියන දේ නෙමෙයි.
ඔහුගේ ඒ බාල ධර්මයන් ඔහුගේ ඒ බාල ලක්ෂණයන් තුලින් ඒ බාලයාව ඇසුරු කරන්නට එපා කියන එක. ඒ නිසා අපිට අපේ ජීවිතය තුල කල්‍යාණ මිත්‍ර සේවනයක් ලබාගන්නට, කල්‍යාණ මිත්‍ර සේවනයක් හොයාගෙන යනකොට අපිට වැදගත්වෙන දේ තමයි බාලයා කවුද, පණ්ඩිතයා කවුද කියලා හොඳින් තේරුම් අරගෙන බාල ලක්ෂණ ටික දුරු කරලා දාන්නට ඕනේ. ඒ බාල ලක්ෂණයන් අනුගත කරගන්නේ නැතුව ඉන්නට ඕනේ අපේ ජීවිතය තුලට.
යම්කිසි බාලයෙක්, අපව ඇසුරු කරනවා නම් ඒ බාලයා අපව ඇසුරු කරන විට අපව ඇසුරු කරන බාලයා පවා පණ්ඩිතයෙකු බවට පත්වන්නට අවශ්‍යයි. ඒ කියන්නේ අපි තුල තියෙන පණ්ඩිත ගුණ නිසා, අපි තුල තියෙන නුවණැති ගුණයන් නිසා බාලයාට බාල ලක්ෂණ දරාගන්නට බැරි තරමක් වෙන්නට ඕනේ. අනුකරණය විය යුත්තේ අප විසින් බාලයා නොව, බාලයා විසින් අපව අනුකරණය කරන තැනට අපි ශක්තිමත් විය යුතුයි. අන්න ඒ නිසා තමයි අපිට ඉස්සෙල්ලාම බාලයෙක් සහ බාල ලක්ෂණ ටික තේරුම් ගන්නට අවශ්‍යයි කියලා කියන්නේ.
එතකොට අපිට තීරණය කරගන්නට පුළුවන් මෙබඳු ක්‍රියා නොකළ යුතු දේ, මෙබඳු දේවල් නොසිතිය යුතු දේවල්, මෙබඳු දේවල් නොකිය යුතු දේවල් කියලා. ඒ ටික තේරුම් ගත්ත කෙනෙක් තමයි බාල ලක්ෂණ පිළිබඳව තේරුම් ගත්ත කෙනෙක් බවට පත්වෙන්නේ. එබඳු බාල ලක්ෂණ ටිකක් තේරුම් ගත්ත කෙනෙකුට වඩා පහසුයි ඒ බාල ලක්ෂණ දුරු කරගන්නට.
ලෝකය තුල පංච දුශ්චරිත ආදී අකුසල ධර්මයන්ගෙන් කෙනෙක් යුක්ත නම්, ඒ පංච දුශ්චරිත ආදී අකුසලයන්ගෙන් යුක්ත කෙනා බාල ලක්ෂණ සමාදන්ව ගත්ත කෙනෙක්, බාල ලක්ෂණයන්වල හැසිරෙන කෙනෙක්. ඒ කෙනා සුචරිතය දන්නේ නැති කෙනෙක්. එයාට කියනවා,
•• "සප‍්පුරිසානං අදස‍්සාවී" - සත්පුරුෂයන්ව දැක්කේ නැහැ.
•• "සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො" - සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ.
•• "සප‍්පුරිසධම‍්මෙ අවිනීතො" - සත්පුරුෂ ධර්මයේ අවිනීතයි.
එතකොට ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. 'සප‍්පුරිසානං අදස‍්සාවී' - සත්පුරුෂයෝ දකින්නේ නැහැ. සත්පුරුෂයෝ දකින්නේ නැහැ කියන්නේ කෙනකුට ඇසුරු කරන්නට සත්පුරුෂයෝ ලැබෙන්නේ නැතිනම්.
'සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො' - සමහර කෙනෙක් ලෝකය තුල ඉන්නවා සත්පුරුෂයන් වහන්සේලා, කල්‍යාණ මිත්‍රයෝ දකින්නට ලැබෙනවා. කල්‍යාණ මිත්‍රයෝ කොතෙක් දකින්නට ලැබුනත් ඒ කල්‍යාණ මිත්‍ර ධර්මය පිළිබඳව ඔහු අහන්නට පෙළඹෙන්නේ නැහැ, කල්‍යාණ මිත්‍ර ධර්මයේ ඔහු දක්ෂයෙක් බවට පත්වෙන්නේ නැහැ. අන්න එබඳු කෙනෙකුට කවදාවත් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ.
~~ කල්‍යාණ මිත්‍රතාවය පරිපූර්ණ වීමට~~
ඒ නිසා පළවෙනිම දේ හැටියට අපි සත්පුරුෂයන් දකින්නට අවශ්‍යයි. ඇස් දෙකන් විතරක් නෙමෙයි, හදවතින් සත්පුරුෂ ගුණ හඳුනාගන්නට ඕනේ. හදවතින් සත්පුරුෂ ගුණ හඳුනා ගත්ත කෙනාට තමයි 'සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො' කියන සත්පුරුෂ ධර්මයේ අදක්ෂ බව ඉවත් කරලා දක්ෂ බව උපදවා ගන්නට පුළුවන් වෙන්නේ. විශේෂ වචනයක් මෙතනදී පාවිච්චි වෙනවා.
•• කල්‍යාණ මිත්‍රතා - කල්‍යාණ මිත්‍රයන් ඇති බව,
•• කල්‍යාණ මිත්‍ර සහයතා - කල්‍යාණ මිත්‍රයන් සහයකොට ඇති බව
•• කල්‍යාණ මිත්‍ර සම‍්පවඞ‍්කතා - කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි තමාත් නැමුණු බව
කියලා වචන ටිකක්. ලෝකේ අපිට සත්පුරුෂයෝ ලැබුනත් වැඩක් නැහැ, ඒ සත්පුරුෂයන් සහය කොට නැතිනම්. එහෙම නැතිනම් ඒ සත්පුරුෂයෝ අපිට අවවාද කරන්නට පෙලඹෙන්නේ නැතිනම් ඒ සත්පුරුෂයෝ අපිව අතහැරලා දමන කෙනෙක් නම්, පින්වතුනි අපි ළඟ කුමන හෝ දුර්ගුණයක් තියෙනවා. එහෙනම් අපි ඒ දුර්ගුණය ඉවත් කරගෙන සත්පුරුෂයන් සහායකොට ඇති බවක ඉන්නට ඕනේ.
~~ සත්වයෝ අදහස් වශයෙන් ගැලපෙත් ~~
අපි ළඟට වටවන්නේ අසත්පුරුෂයෝ වුනොත් අපේ සහයට, අපේ එකතුවට එහෙනම් අපේ ගති ලක්ෂණ ටිකක් නොසුදුසු ගති ලක්ෂණ වැඩිවෙලා තියෙන්න ඕනේ. එහෙනම් අපි නිවැරදි ගති ලක්ෂණ ඇතිකර ගන්නට අවශ්‍යයි. ඒ කල්‍යාණ මිත්‍රයන් සහයකොට ඇති බව ඇතිවෙන්නේ අපේ ගතිත් කල්‍යාණ ලක්ෂණයන්ගෙන් යුක්තව තියෙනකොට. මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා. ඒ ලෝක ස්වභාවය තමයි, "අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්දන්ති සමෙන්ති" ලෝකය තුල අදහස් වශයෙන් තමයි සත්වයෝ සැසදෙන්නේ, එකතු වෙන්නේ.
දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතප්‍රන්තයෙහි සක්මන් කරනකොට දකිනවා සැරියුත් තෙරුන් වහන්සේ පෙරටු කරගෙන බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් සක්මන් කරනවා. ඒවගේම මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පෙරටු කරගෙන බොහෝ භික්ෂු පිරිසක් සක්මන් කරනවා. ආනන්ද තෙරුන් වහන්සේව ප්‍රධාන කරගෙන බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්මන් කරනවා. දේවදත්ත හාමුදුරුවෝ ප්‍රධාන කරගෙන බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්මන් කරනවා.
මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සැරියුත් තෙරුන් වහන්සේ හා ප්‍රධානව සක්මන් කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා නම් ඒ හැමෝම මහා ප්‍රඥාවන්තයි, ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරපු අය. මුගලන් තෙරුන් වහන්සේ හා සමග සක්මන් කරන භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම සෘද්ධි සම්පන්න අය, සෘද්ධිය කෙරෙහි නැමුණු සිත් ඇති අය.
ඒවගේම මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හා සමග සක්මන් කරනවා නම් ඒ හැම කෙනෙක්ම ධුතාංග ධාරී උත්තමයෝ. ඒවගේම දේවදත්ත හාමුදුරුවෝ හා යම් පිරිසක් සක්මන් කරනවා නම් ඒ බොහෝ පිරිසක් ලාභ කීර්ති කෙරෙහි නැමුණු බොහෝ පාප සිතුවිලි ඇති අය.
"අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්දන්ති සමෙන්ති" - අදහස් වශයෙන් තමයි සත්වයෝ එකතුවෙන්නේ, සැසදෙන්නේ.
"ගූථො ගූථෙන සංසන්‍දති සමෙති" අසුචිය, අසුචිය හා එකතු වෙනවා. ඒවගේම සුවඳ දෑ සුවඳ දෑ සමග එකතු වෙනවා. මේ විදිහට ලෝකේ ස්වභාවයක් තියෙනවා ගැලපෙන ගැලපෙන ධාතු ගැලපෙන ගැලපෙන විදිහට එකතු වෙනවා කියලා. අන්න ඒ විදිහටම තමයි ලෝකේ මේ සත්වයොත් එකතු වෙන්නේ.
අසත්පුරුෂයන් හා සමග අපේ සිතුවිලි සැසදෙනවා නම් පින්වතුනි, අසත්පුරුෂයන් හා සමග ඒ සැසදෙන්නේ අසත්පුරුෂ සිතුවිලි. අපේ සිතුවිලි එහෙම සැසදෙනවා නම් පින්වතුනි, අපි වහාම අපේ සිත සකසා ගත යුතුයි. ඇයි අපේ සිත අපි සකසා ගත යුතු වෙන්නේ? අසත්පුරුෂ සිතුවිලි කෙනෙකුව දුකට පත් කරනවා. මෙලොව වශයෙනුත් සාංසාරික වශයෙනුත් ඒ කෙනාව දුකට පත්කරන්නට ඔහු සතු අසත්පුරුෂ සිතුවිලි ඔහුට හේතුවක් බවට පත්වෙනවා.ඒ නිසයි අසත්පුරුෂ සංකල්පනා අප ඉවත් කළ යුතු වෙන්නේ.
අපේ සිතුවිලි සත්පුරුෂයන් හා සමග සැසදෙනවා නම්, සත්පුරුෂයන් හා සමගව යනවා නම් පින්වතුනි, අපි එතකොට දැනගන්නට ඕනේ අපේ සිතුවිලි සත්පුරුෂයන් හා සමගයි කියලා. අසත්පුරුෂයෝ දහසක් ඔබට සිටියත් ඒ අසත්පුරුෂ පාප මිත්‍රයන් දහසකට වඩා එකම එක කල්‍යාණ මිත්‍රයෙක් ඔබට ප්‍රමාණවත් වෙනවා. ඒ අසත්පුරුෂයෝ දහසකගෙන් නොලැබෙන දේ ඔබට එකම එක කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් ලබන්න පුළුවන් කම තියෙනවා.
~~ අසත්පුරුෂ ඇසුර හැමදාම ලෝකේ තියෙන දෙයක් ~~
ඒ නිසා හොඳ ගති, හොඳ ගුණ ඇතිකර ගන්නකොට අසත්පුරුෂයන් අමනාප වුනා කියන එක ඔබ එතරම්ම දරන්නට එපා, එතරම්ම ගණන් ගන්නටත් එපා. මොකද, අසත්පුරුෂයන් කියන එක ලෝකේ හැමදාමත් කොතෙකුත් පවතින දෙයක්. ඒ අසත්පුරුෂ ආශ්‍රය ඒකාන්තයෙන්ම කෙනෙකුව දුකට පත්කරන්නට පුළුවන්කමක් තියෙන දෙයක්. ඒ නිසා සත්පුරුෂකම තමයි කෙනෙකුට උරුම කරගන්න අවශ්‍ය එකම දේ බවට පත්වෙන්නේ.
ලෝකේ ධාතු- ධාතු සැසඳෙන නිසා අපේ සත්පුරුෂ සිතුවිලි සත්පුරුෂයන් හා සමගමයි සැසඳෙන්නේ. ඒ නිසා සත්පුරුෂයන් හා සමග සැසඳෙනකොට ඒ ගතිගුණ තමයි අපි තව තවත් දියුණු කරගත යුතු බවට පත්වෙන්නේ. ඒකට තමයි අපි කිව්වේ 'කල්‍යාණ මිත්‍ර සහයතා' කියලා. කල්‍යාණ මිත්‍රයන් හා එකතුවෙන කම තියෙන්නට ඕනේ. කොච්චර කල්‍යාණ මිත්‍රයන් හා එකතු වුනත් වැඩක් නැහැ කල්‍යාණ මිත්‍ර සම‍්පවඞ‍්කතා කියන ලක්ෂණය නැතිනම්.
ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි තාමත් නැමුණු බව නැත්නම්, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ලැබිලා, කල්‍යාණ මිත්‍රයන්ගෙන් උපකාරත් ලබන්නට පුරුදු වෙලා, කල්‍යාණ මිත්‍රයන් කියන වචන අපි පිළිගන්න ලැහැස්ති නැතිනම් කලණ මිතුරන් අපිට පැහැදිලි කරලා දෙන දේවල් ගැන අපි එතරම් තැකීමක් නැතිනම් පින්වතුනි, අන්න එතකොට ඒකට කියනවා 'කල්‍යාණ මිත්‍ර සම‍්පවඞ‍්කතාවය' අපි ළඟ නැහැ කියලා.
කල්‍යාණ මිත්‍ර සම‍්පවඞ‍්කතාවය නැතිනම් අපි ළඟ පින්වතුනි, ඒත් තේරුමක් නැති වෙනවා.මොකද, කල්‍යාණ මිත්‍රතා හා කල්‍යාණ මිත්‍ර සහායතා කියන දෙකම තිබුනත් අපි ගන්න ඕනේ ප්‍රයෝජනය අරගන්න පුළුවන්කම අපි ළඟ ඇත්තේ නැහැ. ඒ නිසා වැදගත්ම දෙයක් තමයි 'කල්‍යාණ මිත්‍ර සම‍්පවඞ‍්කතාවය' කියලා කියන්නේ. අන්න එහෙම කෙනෙකුට තමයි අර අපි කතා කරගෙන ආපු විදිහට "සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො" කියන සත්පුරුෂ ධර්මයේ අදක්‍ෂයෙක් කියන කම ඉවත් කරලා දාලා සත්පුරුෂ ධර්මයේ දක්ෂයෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ගෞරවණීය වැඩමවීමෙන් 13.09.2020 දින හිරු tv නාලිකාව ඔස්සේ විකාශය වුනු සදහම් දේශනාව අනුසාරයෙන් පිටපත් කිරීමකි
0 Comments