සමථ විපස්සනා 6



සමථ විපස්සනා 6
~ ශබ්දයේ නොරැවටීමට ~
දැන් මම මේ මයික් එකෙන් කතා කරනවා, අර ස්පීකර් එකෙන් ඇහෙනවා, මම දැන් බනිනවා කියලා හිතන්නකෝ. 'අපිට බනිනවා' කියලා ඔයගොල්ලෝ අර ස්පීකරේට ගැහුවොත් හරිද? ඒ වගේ, අකුසල සිතේ ඇති අකුසල චේතනාවකින් ඇති කරන වායෝ ධාතුවේ ශබ්දය තමයි පිට වෙන්නේ 'කට' කියන ස්පීකරෙන්. 'නුඹේ කටටයි ගහන්න ඕනේ' කියලා ගහන එක ස්පීකරේට ගහනවා වගේ.
එහෙමනම් ගහන්න හිතට, ඒ හිතේ ඇති චේතනාවට. මම මොකක්හරි කියලා බැන්නොත්, ඔයගොල්ලො අර ස්පීකරේට ගැහුවම හරිද? නරක වචනයක් කිව්වා කියලා ස්පීකරේට ගහන කෙනයි, නරක වචනයක් කිව්වා කියලා කටට ගහන කෙනයි අතර වෙනසක් නැහැ. අකුසල සිත හෝ අකුසල සිතේ චේතනාව තමයි මේකේ නියමුවා. අපි කතා කරන එක කටට බාර දුන්නා කියලා කියන්නේ ඉබේම පුද්ගලභාවය ඇතිවෙලා.
කතා කරන එක කටට බාරදෙන්න එපා, කට කියන්නේ ස්පීකරයක් කියලා දකින්න. හොඳ දෙයක්ද කියන්නේ, නරක දෙයක්ද කියන එක ස්පීකරයේ දෝෂයක්ද. නරක දෙයක් කිව්වා කියලා ගහලා හෝ හොඳ දෙයක් කිව්වා කියලා මල් තියලා වැඳලා හරි යයිද ස්පීකරේට? ඒක කරනවා නම් කරන්න ඕන එහෙනම් මේ මයික් එක තියාගෙන කියන මට, මේ උපමාවේ හැටියට ඒ වගේ.
කුසල චේතනාව නිසා මෛත්රී සහගත වචන පිටවෙනවා නම්, අකුසල චේතනාව නිසා තමන්ටත් අනුන්ටත් අවැඩ පිණිස, අහිත පිණිස වචන පිටවෙනවා නම් ඒ පිටවෙන හොඳ හා නරක වචන ස්පීකරේ වගේ. ඒකට බාරදෙන්න එපා. ඒක දකින්න, කුසල සිත නිසා ඇති වෙච්ච චේතනාවෙන් කුසල සහගත වචනයක් පිටවුනා කියලා. අකුසල සහගත හිත නිසා අකුසල සහගත වචනයක් පිටවුනා කියලා දකින්න. ඔයගොල්ලන්ට ගහන්න 'කෙනෙක්' ඉතුරු වෙන්නේ නැහැ, බැනපු කටක් ඉතුරු වෙන්නේ නැහැ.
'කපනවා තගේ කට' කියලා අපි බැනගෙන යන්නේ ඇයි? එතනින් 'පුද්ගලයා' දකින හින්දා. අපි කොච්චර අසුභ භාවනාව ගැන ඉගෙන ගත්තත් මේ වැරැද්ද තියාගෙන අපි කාම භූමියෙන් මිදෙයිද, පුද්ගලභාවය ගෙවන්න පුළුවන් වෙයිද? ඒක හොඳට හඳුනගන්න. තමන් ජීවත්වෙන ජීවිතය තුළ ඔයගොල්ලෝ ටිකක් හරි මේ ස්වභාවය, පුද්ගලභාවය ඇතිවෙන තැන හොයලා එතනට සිහිය යොමු කළොත්, නාමරූප දෙක දකින්න හැදුවොත් මෙලහකට ගෙවිලා පුද්ගලභාවය.
හොඳට මතක තබාගන්න කතා කරපු දේ, ඇහෙන ශබ්දය සමානයි ස්පීකරේට. උපමාවට අනුව ' බැනපු පුද්ගලයා', වගකිවයුත්තා මිසක ස්පීකරේ නෙවෙයි. ඒ වගේ, ඒ වෙලාවේදී සිතේ ඇති කුසල හෝ අකුසල චේතනාවයි වගකිව යුත්තා වෙන්නේ. අකුසල සිතට ගහන්න බැහැ නරක දෙයක් කිව්වා කියලා. ඊගාව මොහොත වෙනකොට ඒ සිත නිරුද්ධ වෙලා, ඇතැම් විට කුසල් සිතක් පහළ වෙලා.
~~ බැකෝ යන්ත්රයක් බඳු කය ~~
ඊගාවට, බැකෝ යන්ත්ර දැකලා තියෙනවා නේද? ලීවර් එක එහාට මෙහාට කරනකොට කුල්ල මොකක්ද කරන්නේ? පස් ටික හාරනවා. 'අපේ වත්තේ පස් හෑරුවා' කියලා බැකෝ එකේ කුල්ලට (යකඩ ගොඩට) ගහලා හරියනවද?නැහැ. ගහනවනම් ගහන්න ඕන කාටද? ඒ ලීවර් එක එහා මෙහා කරන මිනිහට ගැහුවනම්, තව කමක් නෑ.
ඒ වගේ, අතෙන් යමක් ගන්නවා, තියෙනවා කියන එක හරියට අර බැකෝ එකේ කුල්ලෙන් වැඩ කරනවා වගේ. ඉතින් මේ ටික කරන්නේ මොකෙන්ද? කුසල චේතනාවෙන් හෝ අකුසල චේතනාවෙන්. එහෙනම් බැකෝ එකට ගහලා හරියන්නේ නෑ. කකුල්, අතපය කියලා කියන්නේ අර බැකෝ එකේ තියෙන එහාට මෙහාට කරන කෑලි ටික වගේ.
මට ඔයගොල්ලන්ට මතක් කරන්න තියෙන්නේ එක දෙයයි. 'විදර්ශනා' කියලා කිව්වේ සාමාන්ය ලෝකයා සත්ත්වයෙක් පුද්ගලයෙක් කියලා දකින තැනක විශිෂ්ඨව දකිනවා, විශේෂණයකින් දකිනවා. සාමාන්ය ලෝකයා 'පුද්ගලයෙක්', 'කෙනෙක්' කරන දෙයක් දකින තැනක මෙයා දකිනවා නාමරූප ධර්මතාවයක් තියෙන්නේ කියලා.
රූපය මොන වගේද? බිඳෙන මැටි කළයක් බඳුයි. ඇයි එහෙම කියන්නේ? ඒක කනබොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ, කුණුප කොටස් තිස් දෙකක්, සතර මහා ධාතුයි, අචේතනිකයි කියන උත්තරයක් දෙනවා. ඊටපස්සෙ, ඒකෙ පිහිටලා, දකින, අහන අරමුණු දැනගන්න කම හිතෙන් කරන්නේ කියලා දකිනවා. ඔන්න දැන් 'බලනවා, අහනවා' කියන තැනක පුද්ගලභාවය අතහැරියා.
කුසල, අකුසල චේතනා නිසයි කය වචනය ක්රියා කරන්නේ කියලා කිව්වහම හොඳ කතා කරන, නරක කතා කරන, හොඳ දේවල් කරන, නරක දේවල් කරන 'පුද්ගලයා' අවලංගු වුනා. සිතේ ඇති චේතනාව නිසයි ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින ආකාරයට කය පිළියෙළ වෙන්නේ කියලා කිව්වහම ඉඳගෙන, හිටගෙන, ඇවිදින, නිදාගෙන සතර ඉරියව්වක් පවත්වන 'පුද්ගලයා' අතහැරෙනවා.
රූපය බිඳෙන මැටි කළයක් බඳුයි කියන තැනට තබලා, එබඳු කය ක්රියා කරවන්නේ පෙර අවිද්යා කර්මයට හටගත්ත මේ කය ඇසුරු කරගෙන පවතින චිත්ත චෛතසික ටික නිසයි කියලා තමන්ට තේරෙන මට්ටමට ටික ටික පෙන්නන්න. පෙන්න පෙන්න ආනාපානසති කමටහනෙන් හිත වඩන්න.
නීවරණ ධර්ම දුරු වෙනකොට ආයෙත් විදර්ශනාව වඩනවා. මෛත්රී කමටහන වඩන කෙනා නීවරණ ධර්ම දුරුවුනහම මේ වගේ විදර්ශනා කරනවා. විදර්ශනා කරන්නේ මෙහෙමයි. ඔය දැන් මම පොදුවේ කියලා දුන්නේ. නමුත් ඔයගොල්ලෝ විදර්ශනා කරන්න ඕන මෙහෙම.
~ විදර්ශනා කරන ආකාරය ~
ආනාපානසතිය වඩ වඩා ඉන්නවා. 'දරුවා' සිහිවුනා ටක් ගාලා. සිහි වෙනකොටම 'එතන නාමරූප දෙකක්නේ තියෙන්නේ' කියලා හිතනවා. හිතුවට හිත පිළිගන්නේ නැහැ. 'ඇයි නාමරූප දෙකක් තියෙන්නේ' කියලා විස්තර පෙන්නන්න ඕනේ. නිකන්ම 'නාමරූප දෙකක්' කියලා නෙවෙයි, කරන වැඩ පෙන්නන්න 'පුද්ගලයාව' අවලංගු වෙන්න නම්.
'රූපය කනබොන ආහාරයෙන් හැදුනු කුණුප කොටස් ටිකක්, සතර මහා ධාතුයි, ඒ කය ඇසුරු කරගෙන පවතින චක්ඛු විඤ්ඤාණ හිතට නේද රූප පෙනිලා තියෙන්නේ' කියලා හිතුවහම 'රූප බලපු දරුවා' අවලංගු වුනා. 'කන උදව්වෙන් සොත විඤ්ඤාණ සිතෙන් නේද ශබ්ද අහලා තියෙන්නේ', එතකොට 'දරුවාගේ කන' අවලංගු වෙනවා. ඔය විදියට අරමුණු දැනගත්ත විදිය පෙන්නනවා.
'ඒ සිතේ කුසල සහගත චේතනාවන් නිසා හොඳ වචන, හොඳ දේවල් වෙලා. අකුසල සහගත චේතනාව නිසා නරක වචන, නරක දේවල් වෙලා'... 'හොඳ කරපු දරුවා', 'නරක කරපු දරුවා' නෙවෙයි. හොඳ නරක දෙකක් තියෙයි සිතෙන් ඔසවපු.
ඊගාවට, 'ඒ කයේ ඇති චේතනාව නිසා නේද එතන ඉඳගෙන, හිටගෙන ඉන්නවා කියන ඉරියව් පිළියෙළ වෙන්නේ. මේ නාමරූප දෙකේ පැවැත්ම ගැන නොදන්නාකම නිසා "දරුවා" කියලා රැවටිලා හිතාගෙන ඉන්නවා නේද' කියලා අරමුණ විදර්ශනා කරලා ආයෙත් ආනාපානසති හෝ මෛත්රි කමටහනට තියලා හිත වඩන්න.
'අම්මා' කියලා, 'මල්ලී' කියලා සිහි වෙනකොට, එහෙම 'කෙනෙක්' ඉන්නවා නෙවෙයි මෙහෙම දෙයක් තියෙන්නේ කියලා පෙන්නලා ආයෙත් සිත වඩනවා. ඔන්න ඔය විදියට කරමින් හිත වඩනකොට, හැමදාම එච්චර අමාරු නැහැ. 'කෙනෙක්' කියලා සිහි වෙනකොටම 'එතන නාමරූප දෙකක්නේ තියෙන්නේ' කියලා සිහි කෙරුවහම හොඳටම ප්රමාණවත් වෙන දවසක් එනවා. එහෙම 'නාමරූප දෙකක්' කියන තැන මේ සපයපු විස්තර ඔක්කොම ඒක ඇතුලේ තියෙනවා එතකොට.
මුලින් පෙන්නන්නම වෙනවා. ඔන්න ඔය විදියට කරනකොට 'කෙසේද, කෙසේද' යන විචිකිච්ඡා විමති හිටින්නේ නැහැ. 'සත්ත්වයා ඉන්නවද, ඉන්නවනම් කොහේ ඉඳන්ද ආවේ, කොහාටද යන්නේ' කියලා කෙසේද කෙසේද විමති හිටින්නේ නැහැ. විචිකිච්ඡාව, සැකය දුරු වෙනවා. තුනුරුවන් කෙරෙහිත් ශ්රද්ධාව ඇතිවෙනවා. තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ ධර්මය අවබෝධ කරගෙන තියෙනවාමයි, මේ ධර්මය ස්වාක්ඛාතමයි කියන එක තේරෙනවා.
ඒ වගේම, මේ විදියට විදර්ශනා කරමින් කමටහන වඩනකොට නීවරණ ධර්ම පහම අතහැරෙනවා. "නගරූපමං චිත්තමිදං ඨපෙත්වා" හිත රක්ෂිත නගරයකට උපමා තබාගෙන කමටහනක හිත තබාගෙන නීවරණ ධර්මයන්ට වැටෙන්න නොදී, ඒවා දුරු කරලා නැවත හිත කමටහනට ගන්න."කුම්භූපමං කායමිමං විදිත්වා" කය බිඳෙන මැටි කළයකට උපමා තබාගන්න, කය අචේතනික, අචිත්තක වස්තුවක්, බිඳිලා යන මළමිනියකට සමාන කරගන්න කියලා කිව්වා.
ඒ කිව්වේ මොකටද? කය එහෙම සමාන නම්, ඉරියව් පැවැත්ම වෙන්නේ මෙහෙමයි කියන කාරණාව පෙන්නන්න. අන්න ඒ විදියට "යොධෙථ මාරං පඤ්ඤායුධෙන" - ප්රඥාව නැමැති ආයුධයෙන් මාරයාට පහර දෙන්න. නොබෝ දවසකින්ම කෙලෙස් අඩුවෙලා හොඳ තරුණ සමාධියක් ඇති වෙනවා. ඊට පස්සෙ කියනවා,
"ජිතඤ්ච රක්ඛෙ" - දැන් ඒ දිනපු ටික රැකගන්න කියනවා. මෙහෙම කරනකොට යම් නුවණක්, යම් සමාධියක් එනවා නම් ඒක වැටෙන්න නොදී නැවත නැවත ඒ සමාධි නිමිත්තම ආසේවනය කරලා, නැවත නැවත ඒ නාමරූප ධර්මයන් පෙන්නලා පෙන්නලා ඒක රැකගන්න කියනවා.
"අනිවෙසනො සියා" - හැබැයි ඔය මට්ටමට එනකොට මිහිරක්, සැහැල්ලුවක්, සතුටක් දැනෙනවා. ඒ වුනාට ඒකේ ඇලෙන්න එපා කියනවා ඇලෙන්නේ. ඇලෙන්නේ නැතුව වැඩුණු ගුණ ධර්ම ටික රැකගන්න කියනවා. මොකද? ඒක නොබෝ කලකින්ම මාර්ගය ඉපදීමට උපකාරී වෙනවා. ඔය ටික තමයි මට ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්න තියෙන්නේ. ඔය විදියට හැමදෙනාම පුළුවන් තරම් ටික ටික හරි උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා.
දේශනාව නිමි
අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 2020.09.01 බිනර පොහොය දින ලබුනෝරුව කන්ද ආරණ්ය සේනාසනයේදී සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.

Post a Comment

0 Comments