සමථ විපස්සනා 5
~~ ඇහැ සහිත තමන් හැදෙන හැටි ~~
අපි කොච්චර කෙස්, ලොම්, නිය, දත් කියලා බැලුවත් මේ සත්ත්ව පුද්ගල හැඟීම අපේ ගෙවෙන්නේ නැති එක පොළක් තමයි අපේ විදර්ශනා ඥානය හරියට වැඩුනේ නැතිකම හින්දා අපි හැමෝම හිතන්නේ 'රූප පෙනෙන්නේ මට' කියලා, අපි ඇහැ සහිත තමන්ව නේද ආදේශ කරගන්නේ.
එහෙමම බලන්න, 'ඇහැ උපකාරයෙන් හිතටයි රූප පෙනෙන්නේ' කිව්වොත් 'මට රූප පේනවා' කියලා පනවාගන්න ඇහැ මිම්ම වෙයිද? වෙන්නේ නැහැ.
කය බිඳෙන මැටි කළයකට උපමා තබාගන්න කියන්නේ ඇහැට රූප පේන්නේ නැහැ කියන එක කියන්න. ඒකෙන් කිව්වා 'ඇහැ' කියන එක, චිත්ත චෛතසික ටික උපදින්න, පවතින්න උපකාරයක් වෙලා විතරයි කියන එක. විදර්ශනා කරන කෙනා කය හොඳට බලලා 'අචේතනික වස්තුවක්, සතර මහා ධාතුයි, බිඳෙන මැටි කළයක් බඳුයි, ඇහැට රූප පේන්නේ නැහැ, ඒ ඇහැ ඇසුරු කරගෙන පවතින චක්ඛු විඤ්ඤාණ හිතෙන් නේද මේ රූපය දැනගන්නේ' කියලා බලනවා.
එයා දන්නවා, මට එහෙම බලන්න බැරිවෙන හැම වෙලාවකම 'රූප පේන්නේ ඇහැට යි' කියලා මිම්ම එනවා ඇහැට. 'පෙනීම කයෙන් කෙරෙන්නේ' කියන අදහස නිර්මාණය වෙනවා. එතකොට ඉබේම රූපයට පණ එනවා.
~ ශබ්ද අහන පුද්ගලයා නිර්මාණය වෙන හැටි ~
ඊගාවට, මළමිනියකට ශබ්ද ඇහෙනවද? නැහැ. මේ රූපය බිඳෙන මැටි කළයක් බඳුයි නම් මළමිනියක් බඳුයි. එහෙනම් ශබ්ද ඇහෙන්නේ මොකේටද? හිතට. ඒ හිත නම් කරනවා සොත විඤ්ඤාණ හිත කියලා.
කන උපකාරක ධර්මයක්. කන උපකාර කරගෙන ඒ ශබ්දය දැනගන්නේ හිතෙන්. ඒ හිත හඳුන්වනවා 'සොත විඤ්ඤාණ' සිත කියලා. ශබ්දය දැනගන්නේ හිතෙන් කියලා දැක්කොත් 'පුද්ගලයා' මැවෙන්නේ නැහැ. නමුත් 'ශබ්දය ඇහෙන්නේ කනට' කිව්වොත් ඉබේමයි 'අහන පුද්ගලයා' නිර්මාණය වෙන්නේ.
~ නාසය සහිත පුද්ගලයා නිර්මාණය වෙන හැටි ~
ඊගාව දේ තමයි, ගඳ සුවඳ දැනෙන්නේ නාසය උදව් කරගෙන ඝාන විඤ්ඤාණ සිතට. නමුත් ඕක අපි පෙන්නන්නේ නැතුව 'නාසයටයි ගඳ සුවඳ දැනෙන්නේ' කියලා නාසයට තිබ්බොත් 'පුද්ගලයා' නිර්මාණය වෙනවා.
අර කුණුප කොටස් බැලුවට පුද්ගලභාවය ගෙවෙන්නේ නැත්තේ පුද්ගලභාවය නිර්මාණයවෙන තැන් ටික ඔයගොල්ලො ආවරණය කරලා නැති නිසා. බලන්න, කෙනෙක්ව ජීවමාන කරන්නේ මේ වැරැද්ද නෙවෙයිද කියලා.
~ දිව සහිත පුද්ගලයා නිර්මාණය වෙන හැටි ~
ඊගාවට, දිව මළමිනියක් බඳුයි. දිවට රසයක් දැනගන්න බැහැ. දිව උපකාරයෙන් සිතෙන් තමයි රස හඳුනා ගන්නේ, ලුණු රසද, පැණි රසද, තිත්ත රසද කියලා. අපි 'ඒ රස දැනගත්තේ දිවෙන්' කියලා දිවට තිබ්බොත් සම්පූර්ණයෙන්ම 'පුද්ගලයා' සජීවී වෙනවා.
~ කය සහිත පුද්ගලයා නිර්මාණය වෙන හැටි ~
සීතල ද, උෂ්ණ ද, රළු ද, සියුම් ද කියලා, කය උපකාරයෙන් කයට ගැටෙන දේ දැනගන්නේ සිතෙන්. ඒ සිතට කියනවා කාය විඤ්ඤාණ සිත කියලා. 'ගැටුන දේ දැනගත්තේ කයෙනුයි' කියලා දැක්කහම 'පුද්ගලයා' නිර්මාණය වෙන්නේ ඉබේමයි.
එතකොට, අපි නාමරූප කියලා දෙකක් දැකලා නැහැ. ඇහෙන් රූප දැනගත්තා, කනෙන් ශබ්දය දැනගත්තා, නාසයෙන් ගන්ධය දැනගත්තා, දිවෙන් රස දැනගත්තා, කයෙන් ස්පර්ශය දැනගත්තා කියනකොට ඔක්කොම කරලා තියෙන්නේ රූපයෙන් මිසක නාම ධර්ම ටිකක් හම්බ වෙලා තියෙනවද?නැහැ. එහෙනම් විදර්ශනා වෙලා තියෙනවද? නැහැ.
අපි 'රූපය කනබොන ආහාරයෙන් හැදෙන්නේ, සතර මහා ධාතුයි' කියලා බැලුවා. ආපහු, ඒ සතර මහා ධාතු රූපයටම රූප බලන්නත් පුළුවන්, ශබ්ද අහන්නත් පුළුවන්, ගඳ සුවඳ දැනගන්නත් පුළුවන් කියන එක කියලා. ඉතින් ගෙවෙයිද කෙලේසය. මෙන්න මේ දෝෂය අයින්වෙන විදියට ඔයගොල්ලෝ මෙනෙහි කරලා බලන්න, ඔයගොල්ලන්ට බලාගෙන ඉද්දී මේ කෙලේසය ගෙවෙනවා.
බලන, අහන, දැනෙන, දැනගන්න (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත) මෙන්න මේ සතර පොළට කියනවා 'සතර වොහාර ධර්ම' කියලා. රූප දැනගන්න කමයි වෙන්නේ, නමුත් 'බලනවා' කියලා ව්යවහාර වෙනවා. ශබ්ද දැනගන්න කම වෙන්නේ, 'අහනවා' කියලා ව්යවහාරයක් තියෙනවා දැනෙන කමක් (මුතය) තියෙන්නේ, 'නාසයට ආග්රහණය කරනවා', 'දිවෙන් රස විඳිනවා', 'කයට ස්පර්ශ වෙනවා' කියලා ව්යවහාර කරනවා. සිතෙන් දැනගන්න කම වෙන්නේ, 'සිතනවා' කියලා ව්යවහාර කරනවා.
ඒවා, ව්යවහාර කියලා කියන්නේ, ප්රඥප්ති. නමුත් වෙන්නේ, රූප දැනගන්න එක, ශබ්ද දැනගන්න එක, ගන්ධ දැනගන්න කම, රස දැනගන්න කම. දැනගන්නවා කියන එක හඳුන්වන්නේ විඤ්ඤාණය කියන එකෙන්. චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනො විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ ටික.
චක්ඛු විඤ්ඤාණය - ඇහැ උදව්වෙන්, ඇහැ නිසා හටගන්න සිතෙන් කරන්නේ රූප දැනගන්න එක.
සොත විඤ්ඤාණය - කන ඇසුරු කරගෙන උපදින සිතෙන් කෙරෙන්නේ ශබ්ද දැනගන්න එක.
අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි, "කුම්භූපමං කායමිමං විදිත්වා ", රූපය සතර මහා ධාතුයි, කුණුප කොටස් ටිකක්, කනබොන ආහාරයෙන් හැදුනේ කියලා බැලුවේ කයේ අචේතනික බව පෙන්නන්නයි. ඒ කියන්නේ, චේතනා නැති බව පෙන්නන්නයි. ක්රියාකාරී ස්වභාවයක් නැති බවයි ඒකෙන් අපි කිව්වේ මිසක මේ කියන්නේ පුන පුනා වෙන මුකුත් නෙවෙයි. ඒ කයට මොකුත් කරන්න බැරි කළුගලක් බඳු එකක් කියන්නයි.
ඒ ටික කිව්වේ ඇයි අපි? 'එහෙනම් රූප පෙනෙන කම, ශබ්ද ඇහෙන කම, ගඳ සුවඳ දැනන කම, රස විඳින කම, ස්පර්ශ දැනෙන කම වෙන්නේ, ඒ කය උපකාරයෙන් හිතටයි' කියන එක කියන්නයි. ඇයි මේ බලන්නේ? එතකොට කිසි වෙලාවක 'පුද්ගලයා' ඉතුරු වෙන්නේ නැහැ.
~ තරහා ගන්න පුද්ගලයෙක් ඉතුරු වෙයිද ~
දැන් බලන්න මෙතන වෙනස. පෙනෙනකම ඇහැට තිබ්බොත්, දැන් යම්කිසි කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නකොට මට තරහා ගන්න පුළුවන්, 'ඇයි මොකද මං දිහා බලාගෙන ඉන්නේ, මොකද රවන්නේ' කියලා බැන්න හැකි මට. යම් වෙලාවකදී මට දර්ශනයක් තිබුණොත් 'මේ ඉදිරියෙන් තියෙන කය මැටි කළයක් බඳුයි, මුකුත් තේරෙන්නේ නෑ. ඒ ඇහැ උදව්වෙන් එතන හිතෙන් නේද මේ රූප නිමිත්ත අරගෙන තියෙන්නේ' කියලා කිව්වොත් මම දැන් 'ඇයි බලන්නේ' කියලා බනින්නේ කාටද?
දැන් මම මෙහෙම බලනකොට ඔයගොල්ලො දිහා, 'පේන්නේ ඇහෙන්' කියලා කිව්වොත්, 'හාමුදුරුවෝ රවාගෙන වගේ ඉන්නේ, මොකද අපි දිහාම බලන්නේ' කියලා කියන්න පුළුවන්ද, බැරිද? පුළුවන්. ඔයගොල්ලො නුවණින් බැලුවොත් මේ විදිහට, 'හාමුදුරුවෝ කිව්වට ඒ රූපය මළමිනියක් බඳුයි. ඇහැට පේන්නේ නැහැ, කයට පේන්නේ නැහැ, ඒ ඇහැ උදව්වෙන් මේ අපි ඉන්න තැන රූප නිමිත්ත චක්ඛු විඤ්ඤාණ සිතට නේද වැටිලා තියෙන්නේ' කියලා ඔයගොල්ලො දැක්කොත්,
කය ගැන දන්නවා, 'කය බිඳෙන මැටි කළයක් බඳුයි, ඇහැ උදව්වෙන් චක්ඛු විඤ්ඤාණ සිතෙනුයි මේ රූප ආරම්මණය අරගෙන තියෙන්නේ' කියලා දැක්කොත්, 'හාමුදුරුවෝ අපි දිහා බලාගෙන ඉන්නවා' කියලා ඔයගොල්ලෝ චක්ඛු විඤ්ඤාණ සිතටද කියන්නේ? ඔයගොල්ලන්ට කියන්න යමක් හම්බ වෙයිද පෙනෙන දේ අරභයා? පුද්ගලභාවය ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ.
~ ඉරියව් පැවැත්වීමේදී නොරැවටීමට ~
ඊගාවට 'පුද්ගලයෙක්' කියලා රැවටෙන්න තියෙන හේතුව තමයි ඉරියව් පවත්වන එක. ඉඳගන්නවා පේනවා, හිටගන්නවා පේනවා, නිදාගන්නවා පේනවා, ඇවිදිනවා පේනවා. එතකොට කොච්චර කුණුප කොටස් බැලුවත් ඉඳගන්නවා, හිටගන්නවා, නිදාගන්නවා කියන ඉරියව්වේ නම් පුද්ගලභාවය තියෙන්නේ අපිට, ඒ ඒ ඉරියව්ව හැදෙන ආකාරය පෙන්නුවේ නැත්තම් පුද්ගලභාවය ගෙවෙන්නේ නැහැ කුණුප කොටස් බැලුවා කියලා.
'අන්න අරයා ඉඳගෙන, අන්න හිටගෙන, අන්න දුවනවා, අන්න නිදාගෙන ඉන්නේ'... කියලා ඉරියව්වෙන් නේද අපි පුද්ගලයා මනින්නේ? ඒ වගේ වෙලාවකදී අපි ඉරියව්ව බලනවා. ("කුම්භූපමං කායමිමං විදිත්වා ") - 'බිඳෙන මැටි කළයක් බඳුයි රූපය', එතන හැම වෙලේම හිත තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
"නායං භික්ඛවෙ, කායො තුම්හාකං. නාපි අඤ්ඤෙසං. පුරාණමිදං භික්ඛවෙ කම්මං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං වෙදයිතං දට්ඨබ්බං" - මහණෙනි, මේ කය නුඹලාගේ නෙවෙයි, වෙන කෙනෙකුගෙත් නෙවෙයි, පුරාණ කර්මයෙන් හටගත්තේ, චේතනාවෙන් පිළියෙළ වෙනවා, නිතරම මේ කය ඉරියව්වෙන් ඉරියව්ව පිළියෙළ කරන්නේ චේතනාවෙන්.
අපි කියමු,
- මේ කය ඇසුරු කරගෙන පවතින සිතේ 'නැගිටියි' කියන චේතනාව නිසා කුසල හෝ අකුසල සිතක් ඇති වුනා. ඒ සිතේ ඇතිවෙන චේතනාව නිසා නැගිටිනවා කියන ඉරියව්ව පිළියෙළ කෙරෙනවා නේද.
- හිටගන්නවා කියන එක - 'මේ සිතේ ඇති චේතනාව නිසා කය මේ ඉරියව්වට පිළියෙළ වෙලා නේද'.
- ඇවිදිනවා - 'සිතේ ඇති චේතනාව නිසා කය මේ විදියට පිළියෙළ වෙලා නේද'.
නිදාගන්නවා - 'සිතේ ඇති චේතනා නිසා කය මේ විදියට පිළියෙළ වෙලා නේද'...
කය පැත්තෙන් බලන්න එපා, කය පිළියෙළ කරපු චේතනාවයි හැම වෙලේම ගන්නේ. 'කය මළමිනියකට බඳු උපමා තබාගන්න' කියන එකෙන් කිව්වා කය පැත්තෙන් මනින්නේ නැහැ කියන එක, ඒ පැත්තෙන් බලන්නේ නැහැ කියන එක. එතකොට එයා දන්නවා 'කෙනෙක් ඉඳගෙන ඉන්නවා', 'කෙනෙක් හිටගෙන ඉන්නවා' නෙවෙයි, ඒ ඉරියව්වට කය පිළියෙළ කරනවා චේතනාවෙන්.
එතකොට, 'ඉඳගෙන ඉන්නවා' කියන එකට බනිනවා නම් බනින්න වෙන්නේ කය සහිත කෙනාට නෙවෙයි, ඔය ඉරියව්වට කය නවලා තබපු හිතට එහෙනම්. 'මොකද හිටගෙන ඉන්නේ' කියලා බනිනවා නම් බනින්න වෙන්නේ කය කෙලින් කරපු හිතට මිසක කයට නෙවෙයි. ඉරියව්ව කයට තිබ්බොත් 'පුද්ගලයා' නිර්මාණය වෙනවාමයි.
හොඳට මතක තබාගන්න, පෙනෙන ඇහෙන දේ කයට තිබ්බොත් 'පුද්ගලයා' නිර්මාණය වෙනවා වගේ, ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින කියන සතර ඉරියව්ව චේතනාවෙන් පිළියෙළ කෙරෙනවා කියලා දැක්කොත් පුද්ගලභාවයට ඉඩ නැහැ සතර මහා ධාතු කයේ. නමුත් ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින කියන සතර ඉරියව්ව කයෙන් කෙරෙන්නේ කියලා දැකීමෙන්ම පුද්ගලයා නිර්මාණය වෙලා.
කොච්චර 'කුණුප කොටස් තිස් දෙකක්, සතර මහා ධාතුයි' කියලා උදේ ඉඳන් රෑ වෙනකන් බැලුවත් වැඩක් නැහැ, මොකද පුද්ගලභාවය ආවේ ඔය කොටස් ටික නොබලපු එකෙන් නෙවෙයි, මේ ඉරියව්ව ගැන නුවණ නැති එකෙන්. කොටස් ටික බලපු එක උපකාර වෙන්නේ මේ ඉරියව්ව පවත්වන තැන පුද්ගලභාවය සිඳින්න උපකාර පිණිස.
'කුණුප කොටස් ටිකක්, සතර මහා ධාතුයි, ආහාරයෙන් හැදුනේ' කියන නුවණ තමයි අපිට ප්රධාන වුනේ 'කය චේතනාවෙන් පිළියෙළ වෙන්නේ' කියන එක පැත්තට එන්න. ඇයි, කුණුප කොටස් වශයෙන්, සතර මහා ධාතු ආදී වශයෙන් බලනකොට උත්තරේ ආවනේ කය මළමිනියක් බඳුයි, මුකුත් කරන්න බැහැ කියලා.
එතකොට විදර්ශනා යෝගියා දකිනවා, 'අහවලා ඉඳගෙන ඉන්නවා නෙවෙයි', 'කය චේතනාවෙන් මේ විදියට පිළියෙළ වෙලා නේද, ඒක අපි "ඉඳගන්නවා" කියලා ව්යවහාර කරනවා, දැන් වෙනත් විදියකටට පිළියෙළ වෙනකොට, "හිටගන්නවා, ඇවිදිනවා, නිදාගන්නවා" කියලා ව්යවහාර කරනවා'....කියලා.
~ කියන, කරන ආදී ක්රියාකාරකම්වල නොරැවටීමට ~
ඊට පස්සෙ, ආයෙත් පුද්ගලභාවය ඇති වෙන්න තව තැනක් තමයි කියන හෝ කරන දේ. හොඳ දෙයක් කිව්වොත්, හොඳ දෙයක් කරොත් 'අනේ අර පුද්ගලයා නම් හරිම හොඳයි' කියයි. නරක දෙයක් කිව්වොත්, නරක දෙයක් කළොත් 'අර මනුස්සයා නම් මහ නරක මිනිහෙක්' කියලා කියනවාද, නැද්ද? කියනවා. විටෙක හොඳ දේකුත් විටෙක නරක දේකුත් කළොත් මොකද කියන්නේ අපි?. එදා හොඳ දේ කළාට දැන් නරක දේ කරනවා කියලාත් කියනවා.
නමුත්, කවදාවත් මේ ලෝකේ කිසිම මනුස්සයෙක්ට සියල්ල සියලු ආකාරයෙන් හොඳ වෙන්න බැහැ. කෙලෙස් සහගත මේ ලෝකයේ කිසිම කෙනෙකුට සියල්ල සියලු ආකාරයෙන් නරක වෙන්නත් බැහැ. අපි 'කෙනා' හැටියට පනවන තැනක 'කෙනෙක්' නොවෙන නිසයි එහෙම වෙන්නේ. යම් වෙලාවක කුසල සහගත සිතක් උපන්නොත්, කුසල සහගත සිතේ ඇති චේතනාව නිසා වචන කතා කළොත් කියවෙන්නේ මොන වගේ වචනද? යහපත්, හොඳ වචනයක්මයි.
එබඳු කුසල සිතේ කුසල චේතනාව නිසා මොනවාහරි දෙයක් කයෙන් කළොත් කෙරෙන්නේ යහපත් වූ දෙයක්මයි. අපි 'හොඳ දෙයක් කළා' කියලා 'කෙනෙක්ව' ක්රියාවෙන් අපි පනවන්නේ. නමුත් අපිට දකින්න පුළුවන් නම් කුසල සිතක් ඇති වුනහම ඒ කුසල සිතේ කුසල චේතනාව නිසා මේ සම්මා වාචාව වුනා, මේ සම්මා කම්මන්තය වුනා කියලා දකින්න,
අපි පුදුම වෙන්නේ නැහැ අකුසල චේතනාවක් ඇතිවෙලා අකුසල සිතක් උපන්නොත් මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත වෙයි කියන එකට. අපි 'කෙනෙක්මයි' කියලා බැලුවොත්, 'බලන්නකො අපි හිතාගෙන හිටපු කෙනාද මේ වගේ නරක දේවල් කරන්නේ' එහෙම නැත්නම්, 'අපි හිතුවේ නරක මිනිහෙක් කියලා, බලනකොට හරි හොඳ කෙනෙක්නේ' කියලා හිතනවා නේද අපි?
නමුත් අපි ඒ පුද්ගල මිම්ම ක්රියාවකට තියන්නේ ක්රියාව කරන සිත, චේතනාව, නාම ධර්ම ටික දකින්නේ නැති හින්දයි. නාමරූප ධර්මයන් පිරිසිඳ දැකීම, විදර්ශනා කියලා කියන්නේ 'රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා ස්කන්ධ පහක් තියෙනවා. රූප කියන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූපයි. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ නාම. වේදනා, සංඥා, සංඛාර කියන්නේ චෛතසික. විඤ්ඤාණය කියන්නේ චිත්තය....ඔහොම බැලුවට වැඩක් නැහැ..
ඒ ස්කන්ධයන් ගැන ඉගෙන ගන්න, නමුත්, නාමරූප කියන එක බලන්නේ සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය දුරුවෙන්න නම් දෘෂ්ඨිය ඇතිවෙන මේ ක්ශේස්ත්රය දැකිය යුතුයි. අර ටික පෙළ දහම. ඒ පෙළ දහම නිසයි අපි මෙහෙම බලන්නේ. නමුත් එදිනෙදා ජීවිතයේදී පුද්ගලභාවය දුරු කරන්න, ඉස්සෙල්ලාම බලන්න පුද්ගලභාවය ඇති වුනේ කොහෙද කියලා.
පුද්ගලභාවය ඇතිවෙන්නේ පෙනෙනවා, ඇහෙනවා කියන අරමුණු දැනගන්න ටිකේදී නම්, ඉරියව්ව පවත්වන ටිකේදී නම්, කය වචනය ක්රියා කරන තැනකදී නම් ඒ ටික එහෙමම කයට බාර දීලා අනිත් අතට 'රූපය සතර මහා ධාතුයි, කන බොන ආහාරයෙන් හැදුනේ, කුණුප කොටස් ටිකක්, කෙස් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, ලොම් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි' කියලා පය ගහලා කියනවා.
එහෙම කිව්වට ජීවත්වෙන ජීවිතය තුළ මේ ක්රියා ටික ඔක්කොම අර කුණුප කොටස් ටිකට බාරදීලා. පුද්ගලභාවය ඇති වෙන්න ඕන තැන කුණුප කොටස් ටිකට බාරදීලා පැත්තකට වෙලා ඉඳගෙන 'මම නෙවෙයි' කියලා කිව්වට පුද්ගලභාවය ගෙවෙයිද? අපි මේ කරන්නනේ මොකක්ද කියන එක තේරුම් ගන්න.
අපි 'කුණුප කොටස් ටිකක්' කියලා බැලුවේ, 'සතර මහා ධාතුයි' කියලා බැලුවේ, 'ආහාරයෙන් හැදුනේ' කියලා බැලුවේම උත්තරයක් ගන්න. 'කයට මුකුත් කරන්න බැහැ, අරමුණු දැනගන්න බැහැ, හිතන්න බැහැ, චේතනා නැහැ’ කියන පැත්ත ගන්න. ඒක ගත්තේ ඇයි? 'පුද්ගලභාවය ඇතිවෙන්න තියෙන ක්ශේස්ත්රයේදී ඔය වැඩ ටික කරන්නේ නාම ධර්ම ටිකකින් ය' කියන උත්තරේ ගන්න.
මතු සම්බන්ධයි
අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 2020.09.01 බිනර පොහොය දින ලබුනෝරුව කන්ද ආරණ්ය සේනාසනයේදී සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments