සමථ විපස්සනා 4


සමථ විපස්සනා 4
අපි නීවරණ ධර්මතා පහෙන් හතරයි කතා කළේ, විචිකිච්ඡා නීවරණය කතා කළේ නැහැ. විචිකිච්ඡාව කියලා කියන්නේ මොකක්ද? සැකය. මොකක්ද සැකය? බුද්ධාදී අටතැන් කෙරෙහි සැකය.
• සත්ථරි (බුද්ධෙ) කඞ්ඛති
• ධම්මෙ කඞ්ඛති
• සඞ්ඝෙ කඞ්ඛති
• සික්ඛාය කඞ්ඛති
• පුබ්බන්තෙ කඞ්ඛති
• අපරන්තෙ කඞ්ඛති
• පුබ්බන්තාපරන්තෙ කඞ්ඛති
• ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛති
අන්න ඒ සැක සංකා ඔක්කොම අතහැරෙනවා යථාර්ථය පිළිබඳව දැක්මක් තියෙනකොට. බුද්ධා දී අට තැන් පිළිබඳව සැකය, විචිකිච්ඡාව, විමතිය පවතින්නේ හැම වෙලාවෙම යථාර්ථය පිළිබඳ දැනීමක්, දැකීමක් නැති නිසා.
~~ බිඳෙන මැටි කළයක් බඳු කය ~~
දැන් කය බිඳෙන මැටි කළයකට උපමා තබාගන්නවා. හොඳට බලන්න මෙන්න මේ ටික.
"යථාපි කුම්භකාරස්ස කතා මත්තිකභාජනා,
සබ්බෙ භෙදනපරියන්තා එවං මච්චාන ජීවිතං"
කුඹල්කරුවා විසින් හදන මැටි කළය අමු මැටි කාලෙදිත් බිඳෙනවා, ඒක පෝරණුවට තැන්පත් කරන්න හදනකොටත් බිඳෙනවා, පෝරණුවේ තියෙන වෙලාවෙදිත් බිඳෙනවා, ඊට පස්සෙ ඒක පිච්චිච්ච වෙලාවෙදිත් බිඳෙනවා. හදලා ඉවර වුනාට පස්සේ හෝ කොයි වෙලාවක හරි බිඳිලා යනවාමයි. ඒ වගේ කය, බිඳෙන මැටි කළයකට උපමා තබාගන්න කියලා කිව්වා.
ඒකෙන් කිව්වා, ‘මේ කය, බිඳිලා යන මැටි කළයක් බඳු ස්වභාවයෙන් යුක්තයි කියලා’ තථාගතයන් වහන්සේ. ඒකෙන් අදහස් කරනවා හොඳ දෙයක්. මොකක්ද? ඒකෙන් අදහස් කරනවා මේ කය හරියට මළ මිනියක් බඳුයි කියලා. මළ මිනිය කියන එක බිඳිලා යන එකක්නේ මැටි කළයක් වගේ.
හොඳට බලන්න, අපි මේ රූපය ගැන බලන වෙලාවෙදී, මේ රූපය හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට ඒක කොටස් වශයෙන් ගත්තහම කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර... කියලා පඨවි කොටස් විස්සකුත්, පිත්, සෙම්, සැරව, ලේ, දහඩිය. කියලා ආපෝ කොටස් දොළහකුත්, කොට්ඨාස වශයෙන්, කලාප වශයෙන් පෙනෙන මානයේ නිමිති ගන්න පුළුවන් කොටස් තිස් දෙකක් වශයෙන් රූපය ගැන බලනවා.
ධාතු වශයෙන් සතර මහා ධාතුයි. කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා අපි හැමවෙලේම කියනවා නේද? 'කනබොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි, කුණුප කොටස් තිස් දෙකක් තියෙන්නේ' කියන එකෙන් කියන්නේ 'මේක බිඳෙන මැටි කළයක් බඳුයි, මළමිනියක් බඳුයි' කියන එක.
~~ ඇයි කය මළමිනියක් බඳුයි කියන්නේ ~~
අපි හැමදාම කතාව ඔතනින් නතර කරනවානේ. නමුත් වැඩ ටික තියෙන්නේ ඊට පස්සෙ. ඇයි? බලන්න, මළමිනියකට රූප පේනවද? නැහැ. ශබ්ද ඇහෙනවද, ගඳ සුවඳ දැනනවද, රස විඳින්න පුළුවන්ද, ස්පර්ශ දැනෙනවද? නැහැ. කතා කරන්න, අතපය හකුළුවන්න, දිග අරින්න, යෑම් ඒම් කරන්න පුළුවන්ද? බැහැ.
අන්න ඒ කිසිම දෙයක් බැරි, කනබොන ආහාරයෙන් හැදුනු, බිඳිලා යන, සතර මහා ධාතු රූප මාත්රයක්ය කියන එක කියනවා "කුම්භූපමං කායමිමං විදිත්වා " කියන එකෙන්. මේ කය බිඳෙන මැටි කළයක් බදුයි කියනකොට ඒ මැටි කළයකට මොකක්ද කරන්න පුළුවන්? යන්න එන්න, දැකීම්, ඇහීම්, කීම්, කිරීම් කරන්න පුළුවන්ද? බැහැ. ඒකට පුළුවන් එකම දේ මොකක්ද? බිඳිලා යන්න කොයි වෙලාවක හරි.
ඒ වගේ, කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ, කුණුප කොටස් තිස් දෙකක්, සතර මහා ධාතුයි කියමින් මොකක්ද මේ බැලුවේ? ‘කයේ අචේතනික ස්වභාවය’. කය කියන්නේ, ඉරියව් පැවැත්මක් කරන්න බැරි, අරමුණු ගැනීමක්, දැනගැනීමක්, හිතීමක් කරන්න බැරි, බිඳීම කෙලවර කොට පවතින ධර්මතාවයක්ය, මළමිනියක් බඳුයි කියන කාරණාව කියන්නයි. ඒ ටික පෙන්නන්නයි තථාගතයන් වහන්සේ, කුම්භූපමං කායමිමං විදිත්වා " මේ කය බිඳෙන මැටි කළයක් ආකාරයකට දකින්න කියලා කිව්වේ.
මේ කයට මුකුත්ම කරන්න බැහැ, කරන්න පුළුවන් එකම දේ මොකක්ද? බිඳෙන්න විතරයි පුළුවන් කියන එක. හැමදාම අපි බැලුවේ ඔතනනේ. හැබැයි අපි ඔතෙන්ට ආවේ ඇයි? කයේ අචේතනික ස්වභාවය, චේතනා නැති, සිත් නැති, අරමුණු ගන්න, දැනගන්න, ඉරියව් පැවැත්මක් කරන්න හැකියාවක් නැති ස්වභාවය අපි පෙන්නුවේ මොකටද? දෙවනුවට මේ කය නිසා කෙරෙන වැඩේ පෙන්නන්නයි.
~~ විදර්ශනා කියන්නේ කුමක්ද ~~
දැන් අපි මේ විදර්ශනා භාවනාවක් කරන්න යන්නේ. "විදර්ශනා" කියලා කියන්නේ මොකටද? විශිෂ්ඨ දැක්මක්, විශේෂ දැක්මක්, යථාර්ථය දැක්මක්. කුමකටද? සාමාන්ය ලෝකයා දකින දේට වඩා විශේෂයකින් දකිනවා. ඒ කියන්නේ, සාමාන්ය ලෝකයා 'සත්ත්වයෙක්', 'පුද්ගලයෙක්', 'ආත්මයක්' කියලා දකින තැනක ඇත්ත ඇති හැටියෙන් දකින කමට කියනවා විදර්ශනා කියලා.
ඒ කියන්නේ, නාමරූප කියලා ධර්මතා දෙකක් තියෙන්නේ කියලා දකින කමට කියනවා විදර්ශනා කියලා. දැන් අපි ඉස්සෙල්ලාම රූපය මැටි කළයක් බඳුයි කියලා දැක්කා. කුණුප කොටස් තිස් දෙකක් තියෙනවා, ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක් තියෙනවා, ඒ වගේම, බත්, පාන්, කව්පි, මුංඇට කියන මේ වගේ ආහාරයකින් හැදිලා තියෙන්නේ කියලා දැක්කා.
~~ ඇයි අපිට සත්ව පුද්ගල බව ඉක්මවා ගන්න බැරිවෙලා තියෙන්නේ ~~
ඊට පස්සෙ, මේ කය බිඳෙන මැටි කළයකට උපමා තබාගත්තා, තථාගතයන් වහන්සේ ඒ පෙන්නුවේ කය, මළමිනියකට හා සමාන කරලා තබාගන්න කියලා. 'සත්ත්වයෙක්', 'පුද්ගලයෙක්', 'ආත්මයක්' කියලා රැවටෙන ගතිය තාම අපිට අඩු වුනේ නෑනේ. ඔය කොටස් ටික අපි නොදන්නවා නෙවෙයි දන්නවා නේද? කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ, කුණුප කොටස් තිස් දෙකක්, සතර මහා ධාතුයි කියලා කොච්චරවත් කියලා ඇති, හිතලත් ඇති.
ඒ වගේම, බත් පිඟාන අතට ගන්නකොටත්, සිහි කරනකොටත් ඇත්තමයි කියලත් පේනවා. ඒ බත් ආදී ආහාර කොටස් වලින් තමයි මේ කය හැදෙන්නේ කියලත් දන්නවා. ඒ වුනාට, 'සත්ත්වයෙක්', 'පුද්ගලයෙක්', 'ආත්මයක්' තියෙන්නේ කියන ගතිය අපේ අඩු වෙනවද? අඩු වෙලා නැහැ. අර මෙනෙහි කරන වෙලාවට අනුමාන ඥානයක් එනවා 'ඇත්ත තමයි, රූපය මෙහෙමයි' කියලා.
නමුත් ආපහු රූප දකිනකොට, ශබ්ද අහනකොට 'පුද්ගලයා' ම වෙලා නේද අපිට? දවසින් දවස, දවසින් දවස විදර්ශනා ඥානයක් එන්න එන්න මුහුකුරන්නේ නැහැ. අර මෙනෙහි කරන වෙලාවට ඒක ඇත්තයි කියලා ටිකක් හිතුනා, ඒක එතනින්ම නතර වෙනවා, එච්චරයි.
ඒකට හේතුවක් තියෙනවා. හොඳට මතක තියාගන්න, අපිට පුද්ගලභාවය ඇති වෙන්නේ මේ කයේ නෙවෙයි. අන්න ඒකයි මේ පුද්ගලභාවය ගෙවෙන්නෙ නැත්තේ.
පිස්සු මනුස්සයෙක්, පාරේ ලයිට් එළියක් ගාව බිම යම් දෙයක් හොයනවලු, තව මනුස්සයෙක් ඇවිල්ලා 'මොකද මේ කරන්නේ?' කියලා ඇහුවම 'යතුර වැටුනා' කියලා කිව්වලු. ඉතින් ඒ මනුස්සයත් එකතුවෙලා දැන් යතුර හොයනවා. එතකොට 'කොතනද වැටුනේ' ඇහුවම 'අන්න අර හරියේ' කිව්වලු. 'ඉතින් එහේ වැටුන නම් මෙහේ හොයන්නේ'?, 'එතන කලුවරයි' කිව්වලු. වැටුණු තැන කලුවර හින්දා පේන්නේ නැහැ, ඉතින් මේ එළිය තියෙන තැන හොයනවා. හෙව්වට හම්බ වෙයිද යතුර? නැහැ.
ඒ වගේ, අපි පුද්ගලභාවය නැති කරගන්න හදන වැඩපිළිවෙලේ ප්රධාන කොටස තමයි ඔය රූපය බලන එක. හැබැයි හොඳට මතක තියාගන්න ඕන, අපිට පුද්ගලභාවය ඇති වුනේ ඔතනින් නෙවෙයි. කන බොන ආහාරයෙන් හැදුනේ, සතර මහා ධාතුයි, කුණුප කොටස් තිස් දෙකක් කියන ටික බලනකොට පුද්ගලභාවය ගෙවෙනවා පුද්ගලභාවය ඔතන තිබුණා නම්. නමුත් අපිට පුද්ගලභාවය ඇතිවෙලා තියෙන්නේ ජීවත්වෙන ක්රියාවක් තුළදී.
අපි උදාහරණයක් හැටියට ගත්තොත්, අපි 'පුද්ගලයෙක්' කියලා රැවටෙන්න හේතුව තමයි රූප බලනවා පේනවා, ශබ්ද අහනවා පේනවා, ගඳ සුවඳ විඳිනවා පේනවා, රස විඳිනවා පේනවා, ස්පර්ශ කරනවා පේනවා, කතා කරනවා, වචනෙට වචනේ දෙනවා, ගහනවා, බනිනවා, දුවනවා පනිනවා කියන මෙන්න මේ ක්රියාකාරකම් ටිකත් එක්ක නෙවෙයිද අපිට 'පුද්ගලයෙක්' කියන කාරණාව හොඳටම තහවුරු වෙලා තියෙන්නේ.
අපිට එක තැනක තියෙන මළමිනියක් බඳු රූපය ගැන පමණක් හිතුවා කියලා ක්රියාකාරකම් ටිකේ ප්රශ්නය විසඳෙන්නේ නැතුව අපිට පුද්ගලභාවය ලෙහුණා නම් තමයි පුදුමේ, ලිහෙන්නේ නැති එක පුදුමයක් නෙවෙයි. පුද්ගලභාවය ඇතිවෙලා තියෙන්නේ වෙනත් තැනක, පුද්ගලභාවය නැති වෙන්න අපි වෙන තැනක කටයුතු කරනකොට, අර යතුර වැටුන තැන නැතුව, තව තැනක හොයනවා වගේ සිද්ධියක් මේ කරන්නේ කියලා මට හිතන්නේ.
"කුම්භූපමං කායමිමං විදිත්වා " - කය බිඳෙන මැටි බඳුනක් වගේ කියන එකෙන් ඉස්සෙල්ලා දෙන පණිවිඩය ඒකයි. ඉස්සෙල්ලා. කය බිඳෙන මැටි කළයකට බඳු උපමා තබාගන්න කියනවා. තබාගත්තට පස්සේ, දැන් අපි දෙවනුවට බලමු, ඒකෙදි, දැන් මළමිනියට රූප පේන්නේ, ශබ්ද ඇහෙන්නෙ නැහැනේ.
දැන් අපි ඔක්කොගේම මේ කයවල් බිඳෙන මැටි කළයකට උපමා තැබුවොත් කනබොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ, කුණුප කොටස් තියෙනවා, කෙස් ලොම් නිය දත් සම් මස් නහර කියන ඔය එකින් එක, එකින් එක කොටස් ගත්තොත්, කෙස් වලට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙන්න පුළුවන්ද? බැහැ. කෙස් වලට යෑම් ඒම් කරන්න පුළුවන්ද? බැහැ.
පඨවි කොටස් විස්සටම පුළුවන්ද? බැහැ. ආපෝ කොටස් දොළහටම පුළුවන්ද? බැහැ. ඔන්න කුණුප කොටස් තිස් දෙකටම බැරි නම් තිස් දෙකම එකතු කළහම පුළුවන්ද? ඒත් බැහැ. එහෙනම් කයට බැහැ. ඔන්න දැන් කයේ ස්වභාවය තිබ්බා අපි පැත්තකින්. ඔන්න කය, කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ.
ඊටපස්සෙ, මෙන්න මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්යා කර්මයට පැමිණි චිත්ත චෛතසික කියන ධර්මතාවයක්. චිත්ත චෛතසික කියන්නේ පෙර අවිද්යා කර්මය නිසා හටගත්ත අරමුණු දැනගන්න, අරමුණු හිතන්න පුළුවන් කම. එතකොට සිත කියලා කියන්නේ අරමුණක් හිතන්න, දැනගන්න පුළුවන් කම.
~~ කයෙන් කරන එකම වැඩේ මොකක්ද ~~
ඔන්න ඔය කනබොන ආහාරයෙන් හැදුනු, කුණුප කොටස් තිස් දෙකක් වූ සතර මහා ධාතු රූපය කරන එකම වැඩේ මොකක්ද කියලා දන්නවද? මෙන්න මේ පෙර අවිද්යා කර්මයට හටගත්ත අරමුණු හිතන්න, දැනගන්න පුළුවන් චිත්ත චෛතසික ටිකට නවාතැනක් දීලා තියෙන එක විතරමයි මේ කයෙන් කරන්නේ.
ඊටපස්සෙ මේ චිත්ත චෛතසික ටිකෙනුත් කයට උපකාරයක් තියෙනවා. මේ කය කුණු වෙන්න, නරක් වෙන්න නොදී තබා ගන්නවා. දැන් මේ රූපය කරන ලොකුම වැඩේ මොකක්ද? අරමුණු හිතන්න, දැනගන්න පුළුවන් චිත්ත චෛතසික ටිකට නවාතැනක් දීලා.
එතකොට හොඳට බලන්න කය මළමිනියක් බඳුයි නම්, කය ඇසුරු කරගෙන පවතින චිත්ත චෛතසික ටික ගත්තහම - රූපයක් බලනකොට ඇහැ උපකාරයෙන් ඉදිරියෙන් තියෙන රූපය දැනගන්නේ මොකෙන්ද? හිතෙන්. ඒ හිත නම් කරනවා චක්ඛු විඤ්ඤාණ සිත කියලා. ඇහැ උපකාරයෙන් ඉදිරියෙන් තියෙන රූපයක් දැනගන්නේ මොකෙන්ද? චක්ඛු විඤ්ඤාණ සිතෙන්.
අපි රූප දැනගන්න එක ප්රඥප්තියකට අනුව, 'දකිනවා' කියලා ව්යවහාර කරනවා. ඒක ව්යවහාරයක් මිසක යථාර්ථ වශයෙන් වෙන්නේ මේ විදියට. එතකොට දැනගන්නේ මොකෙන්ද? හිතෙන්. 'ඇහැ' කියන එක උපකාරක ධර්මයක්. ඇහැ උපකාරයෙන් චක්ඛු විඤ්ඤාණ සිතෙන් තමයි ඉදිරියෙන් තියෙන රූපය දැනගන්නේ.
නමුත් මේ රූප දැනගන්න කම, රූප දකිනකම ඇහැට භාර දුන්නොත් 'ඇහෙන් මේ රූපය දකිනවා' කියනකොට ඉබේමයි 'පුද්ගලයා' නිර්මාණය වෙන්නේ. දැන් අපි මෙච්චර කලක් හිතාගෙන ඉන්නේ 'ඇහැට රූප පේනවා' කියලා නේද? පෙනෙන කම ඇහැට භාර දුන්නොත්, ඇහෙන කම කනට භාර දුන්නොත්, ගඳ සුවඳ දැනෙන කම නාසයට භාර දුන්නොත්, රස විඳින කම දිවට භාර දුන්නොත්, ස්පර්ශවෙන කම කයට භාර දුන්නොත් සම්පූර්ණයෙන්ම පණ එනවා මේ රූපයට.
මතු සම්බන්ධයි
අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 2020.09.01 බිනර පොහොය දින ලබුනෝරුව කන්ද ආරණ්ය සේනාසනයේදී සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.

Post a Comment

0 Comments