කල්‍යාණ මිත්‍ර සම්පත්තිය 2
සත්පුරුෂ ධර්මයේ දක්ෂයෙක් වෙනකොට ඒ කෙනා ළඟ නිතැතින්ම ඇතිවෙන ගතියක් තියෙනවා. ඒ කෙනා ළඟ නිතැතින්ම ඇතිවෙන ඒ ගතිය තමයි ඔහු තුල සත්පුරුෂ ධර්මයෙහි හික්මෙන කමක් ඇතිවෙනවා. ලෝකයේ අසත්පුරුෂයාගේ ලක්ෂණය, ධර්මය නොදන්නා කෙනාගේ ලක්ෂණය තමයි අවිනීත බව. 'සප‍්පුරිසධම‍්මෙ අවිනීතො' - ඔහු හික්මීමක් නැති කෙනෙක්.
~~ 'ශ්‍රැතවත් පුද්ගලයෙක්' කියන්නේ කවුද ~~
ධර්මය තුල ඇති කරන මුලිකම දේ තමයි සත්පුරුෂ ධර්මයේ ඇති කරන හික්මීම කියන දේ. අන්න ඒ සත්පුරුෂ ධර්මයෙහි හික්මෙන කෙනාට මේ ශාසනයේ කියනවා 'ශ්‍රැතවත් පුද්ගලයෙක්' කියලා. ඒ කියන්නේ හොඳට ධර්මය අහලා ධර්මය දැනගෙන හික්මෙන කෙනෙක්. එතකොට ඔහු ධර්මය සත්පුරුෂ ආශ්‍රය තුල ලබලා තියෙනවා. සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන ධර්මය දැනගෙන දක්ෂයෙක් වෙලා තියෙනවා. දක්ෂයෙක් බවට පත්වුන ධර්මය තුල ඔහු හික්මෙන කෙනෙක් බවට පත්වෙලා තියෙනවා.
පින්වතුනි, මේක තමයි මේ ශාසනයේ තියෙන මූලිකම අදියර කල්‍යාණ මිත්‍ර සේවනය, සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. සත්පුරුෂ ආශ්‍රය ලබාගත්ත කෙනෙකුට තමයි මේ ධර්මයේ එතනින් එහාට දියුණුවක් තියෙන්නේ, වැඩීමක් තියෙන්නේ. ඒ සත්පුරුෂයෝ කවදාවත් අපිට නරක දෙයක් කරන්නට කියලා උපදෙස් දෙන්නේ නැහැ නේ. හොඳ දේකට තමයි හැමදාම සත්පුරුෂයෝ උපදෙස් දෙන්නේ. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය තමයි යහපත් ම දේ.
~~ අද සමාජයේ අඩු කුමක්ද ~~
මං හිතනවා අපේ සමාජයට අද නැත්තේ සත්පුරුෂ ආශ්‍රය, කල්‍යාණ මිත්‍ර සේවනය කියලා. අසත්පුරුෂ ආශ්‍රයකට කෙනෙකු ස්වභාවයෙන්ම නැමෙනවා. ඒ හිතේ පවතින ලෝභ, ද්වේශ, මෝහ කියන අකුසල ධර්මයන් නිසා. ඒ අය දන්නේ නැහැ අපි මොන තරම් දුකක ද ජීවත් වෙන්නේ, නැත්නම් මොන තරම් දුක් සහගත සසරක ද ඉන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ අවබෝධයක් නැතිකම නිසාම තමයි අසත්පුරුෂ ලක්ෂණයන් වැඩිපුර නැගෙන්නේ.
අපි හිතාගෙන ඉන්නේ අපි හැමදාම ජීවත් වෙනවා වගේ. අපි දන්නේ නැහැ අපි අවුරුදු පනහක් හැටක් ජීවත්වෙන අසරණ තත්වයට පත්වෙන කයක් ඇසුරු කරගෙනයි මේ ඉන්නේ කියලා. ඒ හැම තැනකම අපිට ජීවිතයේ දුක කියන දේ උරුම කරන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ නොදන්නා නිසා තමයි පින්වතුනි, අපි සැප කියන දේ හැමදාම හොයාගෙන ගිහින් දුක ගෙනල්ලා දෙන්න පුළුවන් පැතිකඩවල්ම නැවත නැවතත් ඇසුරු කරගෙන මේ ජීවිතය තුල කටයුතු කරන්නේ.
~~ ජීවිතයක ස්වභාවය යථාර්ථවාදී ව නොදකින නිසා ~~
ඒ හින්දා අපි යථාර්ථවාදීව අපේ ජීවිතය පිළිබඳව ටිකක් බලන්නට ඕනේ. යථාර්ථවාදීව ජීවිතය පිළිබඳව අපි බලනකොට අපි සමාන්‍යයෙන් දකින දැක්මට වඩා වැඩි යමක් අපිට ජීවිතය තුල දකින්න පුළුවන්කම තියෙනවා. ඒ මක් නිසාද? අපි සාමාන්‍ය ස්වභාවයෙන්ම ඇත්ත කතාව තේරුම් ගන්න ටිකක් හොරයි, ඇත්ත කතාව තේරුම් ගන්නට අපි ටිකක් මැලිකමක් දක්වනවා. ඒ නිසා අපි ජීවිතයේ ඇත්ත කතාව තේරුම් ගන්න මැලිකමක් දක්වනකම නිසාම තමයි ජීවිතයේ අපි නොසිතන විදිහට බලාපොරොත්තු සුන්වෙලා දුක කියන දේවල් අපේ ජීවිතයට උරුම වෙන්නේ.
අපේ ජීවිතය දිහා අපි හැරිලා බැලුවොත්, අපි උදාහරණයක් අරගත්තොත් අපි කවුරුත් කැමති නේ හොඳ ලොකු නිවසක් හදාගෙන, හොඳ ලස්සනට තියෙන ගෙදරක ජීවත් වෙන්න. අපි දන්නවා, හොඳ ලොකු නිවසක්, හොඳ ලොකු ගෙදරක් අපිට නිකන්ම ලැබෙන්නේ නැහැ. ඒ සදහා අපිට සිද්ධ වෙනවා බොහොම වෙහෙස මහන්සි වෙලා යමක් උපයන්නට. වෙහෙස වෙනවා කියන එක සැපක් නෙමෙයි නේ. වෙහෙස වෙනවා කියන එක අමතර වෙනත් දුකක්.
වෙහෙසට පත්වෙනවා කියන එක අපේ ජීවිතයේ අපි ලබන තවත් එක දුක්ඛ දායක තත්වයක්. අව්වක් වැස්සක් නොබලා වැඩට ගිහිල්ලා දෙයක් හරිහම්බ කරනවා කියන එක අපි එතරම්ම කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. ඒක අපි ඉතාම දුක් සහගත බවක ඉඳලා කරන දෙයක්. ගෙදරක තියෙන සැපය අපිට ලැබෙන්නේ කොහෙන්ද කියලා අපි හිතලා බලනකොට අපිට පේනවා ඒ ගෙදර හදන්න කියලා අපි කොතෙක් වෙහෙස වුනත් ඒ වෙහෙස වීම අපිට සැපයක් ගෙනල්ලා දෙන්නේ නැහැ.
ඒවගේම තමයි හොඳට හදපු ගෙදරක් පවත්වාගෙන යන්න ගියහම, පවත්වන්න මහන්සි වෙනවා කියන එකත් සැපයක් නෙමෙයි. ඒකෙනුත් අපිට දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා. ඒවගේම තමයි අන්තිමේට අපිට දෙකෙන් එකක් උරුමයි. ඒ කියන්නේ,
•• එක්කෝ හොඳට හදපු ගෙදර තියෙනකොට අපිට නැතිවෙන්නට සිද්ධ වෙනවා
•• එහෙමත් නැතිනම් අපි ජීවත්වෙලා ඉන්නකොට අර හොඳට හදපු ගෙදර නැතිවෙලා යනවා.
මේ ජීවිතය තුලම අපිට උරුමකම් කියන්නට සිද්ධවෙන, මේ ජීවිතය තුලම අපිට ලැබෙන දේ නේ මේ කතා කළේ. මේ කතා කළේ ඒකට තණ්හාවෙන් ඉඳලා මැරුණට පස්සේ මරණෙන් පස්සේ එන දුක පිළිබඳව නෙමෙයි, මේ ජීවිතයේදීම කෙනෙකුට ලබන්නට පුළුවන්, මේ ජීවිතයේදීම කෙනෙකු කරා එන්න පුළුවන්, විඳින දුක පිළිබඳව. ගෙදරකින් ලැබෙන සැප, ගෙදරකින් ලබන සතුට අපි ලබන්නේ කොහෙන්ද?
~~ ගෙදරකින් ලබන සැප සතුට ~~
ගෙදරකින් ලබන සැප, ගෙදරකින් ලැබෙන සතුට අපි විඳින්නේ කොහොමද? හිතන්නකෝ ඔබ ගෙදරට ගියා කියලා. එතකොට ගෙදර දකින එක සැප නම්, ගෙදර දකින එක ඔබට සතුට ගෙනල්ලා දෙනවා නම් පින්වතුනි, ඔබට ගෙදරක් හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ, හොඳට හදපු ගෙවල් බල බලා ඉන්නකොට ඔබට සතුට සැප කියන දේ ජීවිතයට එන්න ඕනේ. හැබැයි එහෙම එන්නේ නැහැ නේ. එහෙනම් දකින දේ නෙමෙයි ඔබට සතුට උපදවන්නේ. එහෙනම් මොකක්ද?
~~ සිතුවිල්ලක සැපක් වෙනුවෙන් ~~
ගෙදර ගිහිල්ලා ඔබ හිටගත්තොත්, ඒ හිටගත්ත තැන නම් ඔබට සතුට ගෙනල්ලා දෙන්නේ ඒ ස්පර්ශවෙන ටික නම්, මොන තරම් පොඩි ප්‍රමාණයක් ද ඔබ 'ගෙදර සැප විඳිනවා' කියලා විඳින්නේ. නමුත් ඇත්තටම කතාව දිහා යථාර්ථවාදීව ඔබ ටිකක් හිතලා බැලුවොත් 'හොඳට හදපු ලොකු ගෙදරක් තියෙනවා' කියලා ඇතිකර ගන්න මානසික තෘප්තිය, එහෙම නැතිනම් හිතුවොත් විතරක් දැනෙන සිතුවිල්ලක සැප, සිතුවිල්ලක සතුට තමයි ඔබ ජීවිතය තුල ගෙදරක සැපක් විදිහට විඳින්නේ.
එතකොට සිතුවිල්ලක සැප වෙනුවෙන්, සිතුවිල්ලක සතුට වෙනුවෙන් ඔබ ජීවිතයේ මොනතරම් දෙයක් කැප කරලා තියෙනවද? ඒ සිතුවිල්ලක සැප ලබාගන්නට ගිහිල්ලා භෞතික දේ වෙනුවෙන් ගැටෙමින් ඔබ කොච්චර කාලයක් වෙහෙස වුනාද, ඒ වෙහෙස වීම නිසා ඔබට මොන ප්‍රමාණයක දුකක් උරුම වන්නට තියෙනවද? මෙන්න මෙබඳු දේකට තමයි අපිට කිව්වේ, ආශ්වාදය ටිකයි මේකේ, නමුත් මේ තුල ලැබෙන ආදීනවය බොහොම විශාලයි කියලා.
~~ ඇයි අපි ආශ්වාදය පසුපස හඹායන්නේ?~~
ආශ්වාදය කියන දේ නැහැ කියලා කිව්වේ නැහැ. ආශ්වාදයක් තියෙනවා ලෝකේ කාමයන්ගේ. හැබයි ඒ ආශ්වාදය බොහොම ටිකයි, ආශ්වාදය තුල ලැබෙන ආදීනවය බොහොම විශාලයි. මෙන්න මේ විදිහේ තැනක අපි අපේ ජීවිතය අරගෙන යන්නේ. මේ විදිහේ තැනක අපි ජීවිතය අරගෙන යනකොට අපි දන්නේ නැහැ ආශ්වාදය ඉතාම තාවකාලිකයි, ආශ්වාදය ඉතාම කෙටි කියන එක ගැන අපි දන්නේ නැහැ. ආදීනවය ගොඩක් එනවා කියන එක ගැනත් අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකම නිසා තමයි අපි ආශ්වාදය පසුපස හඹාගෙන යනවා ආදීනවය නොතකා.
"කාමං කාමයමානස‍්ස තස‍්ස චෙතං සමිජ‍්ඣති,
අද‍්ධා පීතිමනො හොති ලද‍්ධා මච‍්චො යදිච‍්ඡති".
ලෝකයේ කාමය කැමතිවෙන කෙනාට, ඒක සමෘද්ධ වෙනකොට, ඒක ඉෂ්ට වෙනකොට ඒ කෙනා බොහොම සතුටට පත්වෙනවා. ඒක ලැබිච්ච කෙනා දැන් නම් මට ඇති කියලා හිතන්නේ නැහැ, ඔහු විසින් හිතනවා, 'තව තවත් දේවල් ලබාගන්න තියෙනවා නම් හොඳයි' කියලා.
"තස‍්ස චෙ කාමයානස‍්ස ඡන්‍දජාතස‍්ස ජන‍්තුනො,
තෙ කාමා පරිහායන‍්ති සල‍්ලවිද‍්ධොව රුප‍්පති"
ඒ විදිහට කාමය කැමතිවෙන කෙනාට, ඡන්දය ඇතිකර ගත්ත කෙනාට, ඒ කාමය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පරිහානියට පත්වෙලා යනවා නම් හරියට ඊතලයකින් විදුමක් කාපු කෙනෙක් වගේ හඬන්න වැළපෙන්න සිද්ධ වෙනවා.
~~ ධර්මයෙන් ලැබෙන සැනසිල්ල ~~
පින්වතුනි, ඒක අපි කාටත් අපේ ජීවිතයට උරුමකම් කියන්නට සිද්ධවෙන යථාර්ථයක්. අපි ලෝකේ සැප පසුපස හොයාගෙන යන අය. කවුරුත් මේ ලෝකේ ඇත්තේ නැහැ, දැන් මම සැපයේ කෙළවරට පත්වුණා, සැපයේ නිෂ්ඨාවට පත්වුණා කියන අය. තවමත් බලාපොරොත්තු ඇතිව වෙහෙසවන, මහන්සිවෙන අය විතරයි ලෝකේ ඉන්නේ. එදා වේල හම්බ කරගෙන ජීවත්වෙන මනුස්සයාගේ ඉඳලා මහා ලොකු ධන කුවේරයෙක් දක්වාම අරගෙන බැලුවොත් එයාට තව කරන්නට දේවල් තියෙනවා, එයාට තව එකතු කරන්න දේවල් තියෙනවා.
එයාට ජීවිතය තෘප්තියකට පත්වුණා කියලා ඇති සැනසිල්ල කියන දේ තාම ලැබිලා නැහැ. ඒ නිසා අපිට මේ ධර්මය තුල ලබාදෙන්නේ ඒ ලෝකට ලබන්නට බැරිවුන උත්තරීතර සැනසිල්ල. ඒ සැනසිල්ල ලබලා දෙන්නේ ලෝකේ ගොඩාක් දේවල් වෙනස් කරලා නෙමෙයි. ඒ සැනසිල්ල ලබලා දෙන්නේ අපේ ජීවිතයේ සිතුවිල්ලක් වෙනස් කරලා. අන්න ඒකයි විශේෂ වෙන්නේ. ඒ සදහා හැමෝටම මේ ධර්මය අවබෝධ කරගන්නට ගිහිල්ලා මහණ වෙන්නට අවශ්‍ය නැහැ. ගිහිගෙය අතහැරලා යන්නට අවශ්‍ය නැහැ හැමෝටම ධර්මය අවබෝධ කරගන්න කියලා.
~~ ගිහි අපිට ධර්මය අවබෝධ කළ හැකිද ~~
බුදුරජාණන් වහන්සේ ළඟට එක බමුණෙක් ඇවිල්ලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. "මගේ මේ ධර්මය භික්ෂුන් වහන්සේලාටත් අවබෝධ කරගන්න පුළුවන්, ඒවගේම මේ ධර්මය භික්ෂුණින් වහන්සේලාටත් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා, ඒවගේම උපාසකයන්ටත් අවබෝධ කරගන්න පුළුවන්, ඒවගේම උපාසිකාවන්ටත් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක අනගාරික උපාසකයන්ට, අනගාරික උපාසිකාවන්ට, ඒවගේම කාමභෝගී උපාසකයන්ට, කාමභෝගී උපාසිකාවන්ට කියන මේ කාටත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා".
එහෙනම් මේ ශාසනය එක පිරිසකට පොදු වුන දෙයක් නෙමෙයි. ඔබ කාටත් මේ ධර්මය එක හා සමානව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව/නුවණ. අපේ ජීවිතය තුල අන්න ඒ නුවණ ඒ ඤාණ සම්ප්‍රයුක්ත බවයි අපි ඇතිකර ගත යුත්තේ. ඒ ඤාණ සම්ප්‍රයුක්ත බව ඇතිකර ගන්නකොට තමයි අර අපි මුලින් මතක් කරපු කාරණාවෙහි තියෙන වැදගත්කම පේන්නේ. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නැතිනම් සත්පුරුෂ ආශ්‍රය කියන එක අපිට වැදගත් වෙන්නේ.
~~ සීලය ~~
අන්න ඒ දේ සම්පුර්ණ කරගත්ත කෙනාට සත්පුරුෂයෝ නිරන්තරයෙන්ම උපදෙස් දෙනවා. කුමක් කරන්නටද? කය වචන දෙකේ සංවරය ඇතිකර ගන්නට කියලා. කය වචන දෙකේ සංවරය කියලා කියන්නේ? සීලයට. යම්කිසි කෙනෙක් තමන්ගේ කය වචන දෙක හික්මවා ගන්නවා නම් ඒ කය වචන දෙක හික්මවා ගන්න කෙනාට කියනවා, 'සීලයක් පුරන කෙනෙක්', 'සීලයක් සමාදන්ව ගන්නා කෙනෙක්' කියලා.
මනස හැරුණු කොට අපේ අකුසල කර්ම පථයන් ඉතාමත් වීථික්කම මට්ටමෙන් සිද්ධ කරන්න පුළුවන් දේ තමයි කය වචන දෙක කියන්නේ. කායිකව අකුසල් සිද්ධ කරන්නට පුළුවන්, එක්කෝ වාචසිකව අකුසල් සිද්ධ කරන්නට පුළුවන්. කායිකව අකුසල් සිද්ධ කරන කෙනෙකු, එයා කය ක්‍රියාත්මක කරලා කය උපයෝගී කරගෙන සතුන් මැරීම, හොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම, රහමෙර පානය කිරීම ආදී නොයෙක් විදිහේ දුසිරිත් හා දුරාචාරයන්හි නිරත වෙනවා.
ඒවගේම තමයි වචනය. නොකිය යුතු දේ කියනවා කියනකොට හිස්, කේලම්, මුසාවාද, පරුෂ වචන ආදීය ප්‍රකාශ කරමින් ඔහු වාග් අසංවරත්වයට පත්වෙනවා. සීලයකින් කරන්නේ මෙන්න මේ කය වචන දෙක සංවරයකට පත්කරන එක. ඒ නිසා බෞද්ධයෙක් හැටියට අපි කල්පනා කරන්නට ඕනේ යටත් පිරිසෙන් පන්සිල් ටිකවත් හොඳට රැකගෙන අපේ ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද කියන එකට.
~~ මේ ශාසනයේ සිල්වතා කෙබඳු කෙනෙක්ද~~
ඒ මොකද? සීලය තමයි තියෙන වැදගත්ම දේ. සීලය තමයි මේ ශාසනයේ පදනම. නිකන්ම සිල්වත් වුනා කියලා ඒක පදනමක් කියනවා නෙමෙයි. මේ ශාසනයේ සිල්වතා "දස්සනෙන සම්පන්නො", එයා දර්ශනයකින් යුක්තව තමයි මේ ශාසනයේ සිල්වතා සිල්වත් වෙන්නේ. එතකොට ඒ දර්ශනයකින් යුක්තව සිල්වත්වෙන කෙනාට මුලික විදිහට අවශ්‍යවන දේ තමයි ශික්ෂා පද. "සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු" කියලා කියන්නේ, ශික්ෂා පදයන් සමාදන් වෙලා හැසිරෙනවා කියලා.
අන්න ඒ ශික්ෂා පදයන් සමාදන් වෙලා හැසිරෙනකම තමයි අවශ්‍ය දේ බවට පත්වෙන්නේ. පින්වතුනි, ඒ ශික්ෂා පදයන් සමාදන්ව හැසිරෙන්නට පෙර අපිට ජීවිතයේ තියෙන්න අවශ්‍ය ලොකු දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය අපි ප්‍රඥාවෙන් තේරුම්ගත යුතු දෙයක්. ඒ දර්ශනය අපි ඉතාම නුවණින්ම අවබෝධ කරගත යුතු දෙයක්. ඒ නිසා මුලික ලෙසම අද දවසේදී අපි ඒ දර්ශනය පිළිබඳව කතා කරනවට වඩා ඊට පරිබාහිරව අපේ ජීවිතය තුල ඇතිකර ගත යුතු ගති ලක්ෂණ ටික පිළිබඳව කතා කරන එකටයි අවධානය යොමු කරලා තියෙන්නේ.
~~ අකුසල සිතුවිල්ලක් හිතපු පමණින් සිල් බිඳෙනවාද?~~
ඒ නිසා කායික වාචසික සංවරත්වය පිළිබඳව අපි මුලින්ම කතා කරන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ කායික වාචසික සංවරත්වය කියනකොට සීලයක් කවදාවවත් පනවන්නේ නැහැ මානසික සංවරයට. ඒ කියන්නේ සිතුවිල්ලක් හිතපු ගමන්ම කැඩිලා යන කිසිම ශික්ෂා පදයක් ඇත්තේ නැහැ. ශික්ෂා පදයක් කැඩෙන්නේ, භේදයට පත්වෙන්නේ කායික හෝ වාචසික ක්‍රියාකාරිත්වයක් අනුව. ඒ නිසා තමයි ඉස්සෙල්ලාම රළු මට්ටමේ දේ නතර කරන්න තමයි මේ සීලයේ පැනවීමක් කරන්නේ.
කයෙන් ඉක්මවා යන වැරදි කරන්නට එපා. ඒ වගේ ම වචනයෙන් ඉක්මවා යන වැරදි කරන්නට එපා කියලා ඉස්සෙල්ලාම සීමාවක් පනවන්නේ. සීලය හරියට වැටක් වගේ. මේ වැට තියෙන්නේ සත්තුන්ට එන්න බැරි වෙන්න ආරක්ෂාවක් දාන්නට. මේ වැටෙන් කරන්නේ ඒ ආරක්ෂාව රැකවරණය හදලා දෙන එක. එතකොට ඒ හදලා දීපු ආරක්ෂාව, හදලා දීපු රැකවරණය කියන දේ අපේ ජීවිතයට උපකාර වෙනවා මානසික සංවරය ඇතිකර ගන්නට.
කයෙනුත් වැරදි කරන, වචනයෙනුත් වැරදි කරන කෙනෙකුට හිත සංවර කරගන්නවා කිව්වට ඒක එච්චර ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා තමයි මුලින්ම කෙනෙකුට කියන්නේ කායිකව හා වාචසිකව සංවර වෙන්න කියලා. අන්න ඒ කෙනාට පුළුවන් ඊටපස්සේ මානසික සංවර බව ඇතිකර ගන්න. ඒ සීලයකින් යුක්ත වුන කෙනා තමාගේ සිත පිළිබඳව හොඳ අවධානයකින් කටයුතු කරන්නට ඕනේ.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ගෞරවණීය වැඩමවීමෙන් 13.09.2020 දින හිරු tv නාලිකාව ඔස්සේ විකාශය වුනු සදහම් දේශනාව අනුසාරයෙන් පිටපත් කිරීමකි
0 Comments