කල්‍යාණ මිත්‍ර සම්පත්තිය 3
~~ හිත ගැන හොඳ කළමනාකරණයක් ~~
තමාගේ සිත පිළිබඳව හොඳ අවධානයකින් කටයුතු කරන්නට ඕනේ කියලා කිව්වේ? පින්වතුනි, අපේ හිතට අකුසල් සිතුවිලි උපදිනවා අපි දන්නෙවත් නැතුව. එහෙමම අකුසල සිතුවිලි නැතිවෙලා යනවා අපිට අවබෝධයක් නැතුව. ඒ නිසා අපි අපේ හිත ගැන හොඳ කළමනාකරණයක් ඇතිකර ගන්නට ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ භාවිතා කළා 'සතර සම්‍යක් ප්‍රධාන විර්යය' කියලා.
වීර්යය කියන එකෙන් අදහස් කළේ දත්මිටි කාගෙන අපි පැත්තකට ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා කියන එක නෙමෙයි. වීර්යය කියන එකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ නූපන් අකුසල් නූපදවන්නට, උපන් අකුසල් දුරු කරන්නට, නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩිදියුණු කරගන්න පුළුවන් දෙයක් තමයි අපිට මේ වීර්යය වඩනවා කියන එකෙන් අදහස් කළේ.
එතකොට අපේ හිත පිළිබඳව හොඳ කළමනාකරණයක් තිබ්බේ නැත්නම් නූපන් අකුසල් උපදිනවා යැයි කෙනෙකුට දැනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හිත පිළිබඳව කළමනාකරණයක් තිබ්බොත් තමයි අපිට නූපන් අකුසලයක් උපදින්න පුළුවන්කම තියෙනවා කියලා ඇලෙන හෝ ගැටෙන මනසක් එනකොටම ඒ කෙනාට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ.
හිතන්නකෝ, ඔබ උදෑසන රාජකාරියට පිටත්වෙන අවස්ථාවක් වෙන්නට පුළුවන්. මග තොටේදී මොන තරම් අරමුණු ඔබව අකුසලය කරා යොමු කරන්නට බලාගෙන ඉන්නවද? වාහනයක යන කෙනෙකුට වෙන්නට පුළුවන්, ඒවගේම පාරේ ගමන් කරන කෙනෙකුට වෙන්න පුළුවන් මොන තරම් අරමුණු ලෝභය පැත්තෙන්, ද්වේශය පැත්තෙන් ඔබව අවුස්සන්නට බලාගෙන ඉන්නවද? අනික් අයගේ වරදක් නිසා තරහා ගත්තත් ද්වේශ සහගත සිතක පැවැත්ම සිද්ධ කරන්නේ අනුන් නෙමෙයි නේ. ඒක සිද්ධ කරන්නේ තමන්.
ගිනි අගුරු ටිකක් අතට ගත්තොත් පිච්චෙන්නේ ගිනි අගුරු ටික නෙමෙයි නේ, අපිව නේ පිච්චෙන්නේ. ඒවගේ තරහා ගත්තා කියලා තව කෙනෙක් පිළිබඳව ඒකෙන් දුකක් උරුම කරගන්නේ, ඒකෙන් අකුසලයක් සිද්ධ කරගන්නේ අනුන් නෙමෙයි, තමන්. ඒ නිසයි අපි තමන් පිළිබඳව, තේරුම් ගන්නට අවශ්‍ය පවත්වන හිත පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඇතිකර ගන්න අවශ්‍ය.
~~ හිතේ ස්වභාවය ~~
පින්වතුනි, අපේ සිතේ ස්වභාවය තමයි යම්කිසි පැත්තකට නැමුනාහම ඒ පැත්තටම නැවත නැවත සිතුවිලි උපද්දවලා දෙන එක. ගැටීම් සහිත මනසක් උරුම කරගත්ත කෙනෙක් ගැටී ගැටී ගැටීම යනවා ඉතාම ද්වේශ සහගත පැත්තට තමන්ගේ හිත මෙහෙයවනවා. ඇලීම් සහගත මනසක් උරුම කරගත්ත කෙනාට හැම වෙලාවේම එයාගේ හිතට ඇතිවෙන්නේ රූපයක් දැක්කහම, ඒ රූපය සුභ විදිහට අරගෙන ලස්සන පැත්තක් ගැන ඇලෙන්න පුළුවන් පැත්තක් ගැන හිතනකම.
මේක තමයි හිතේ තියෙන ස්වභාවය. ඒ නිසා මේ වගේ ස්වභාවයක් තියෙන හැම කෙනා විසින්ම තමන්ගේ හිත ගැන හොඳ තේරුමක් ඇතිව කටයුතු කරන්න ඕනේ. එතකොට එයාට පේනවා ගැටීම් සහිත මනසක් ඇතිවෙන කොටම තමන්ගේ හිතේ ද්වේශ සහගත බවක් ඇතිවෙන්න පුළුවන් පසුබිම තියෙනවා. එහෙනම් මේක නතර කරගන්නට ඕනේ, මේක ඉක්මනින් අවසන් කරගන්නට අවශ්‍යයි. ඒ සදහා උපක්‍රමයක් යොදන්නට අවශයි කියලා එයා දන්නවා.
ඒ නිසයි හිත පිළිබඳව කළමනාකරණයක් තියෙන්න ඕනේ කියලා කිව්වේ. අකුසල් සිතක් උපදින කොට ඒ අකුසල සිතක් ඉපදුනහම අකුසල් සිතක් ඇතිවෙනවා කියලා බලාගෙන හිටියා කියලා හරියන්නේ නැහැ නේ. අකුසල් සිතක් උපදින කොට ඒ අකුසල් සිත පිළිබඳව අපි කළ යුතු කටයුත්තක් තියෙනවා.
නමුත් සමහරවිට සමාජයේ අපිට අහන්නට දකින්නට ලැබෙනවා, සමහර ඇත්තෝ කියනවා අකුසල් සිතක් ඇති වුනහම මේක අකුසල් සිතක් කියලා දැනගෙන හිටියහම ඇති, ඒ දේ පිළිබඳව කරන්න දෙයක් ඇත්තේ නැහැ, මොකුත් කරන්න අවශ්‍ය නැහැ කියලා කියනවා වගේ අදහසුත් ඇතැම් වෙලාවට ප්‍රකාශ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ,
"උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති",
"උප‍්පන‍්නං ව්‍යාපාදවිතක‍්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති"
>> උපන්නා වූ කාම විතර්කය,
• 'නාධිවාසෙති' - ඉවසන්නේ නැහැ
• 'පජහති' - ඒ අකුසල විතර්කය දුරු කරලා දානවා
• 'බ්‍යන‍්තීකරොති' - ක්ෂයභාවයට පමුණුවනවා
• 'අනභාවං ගමෙති' - නැවත නොහටගන්න බවට පත්කරනවා.
>> උපන්නා වූ ව්‍යාපාද විතර්කය, තරහා සහගත සිතුවිල්ල,
• 'නාධිවාසෙති' - ඒ අකුසල විතර්කය ඉවසගෙන, ඒකත් එක්ක ජීවත් වෙන්නේ නැහැ
• 'පජහති' - ඒ අකුසල විතර්කය දුරු කරලා දානවා
• 'බ්‍යන‍්තීකරොති' - ක්ෂයභාවයට පමුණුවනවා
• 'අනභාවං ගමෙති' - නැවත නොහටගන්න බවට පත්කරනවා.
පින්වතුනි, ධර්මය තුල වැඩෙන මනසක් තියෙන කෙනෙකුගේ ලක්ෂණ ටික තමයි මේක. තමන්ගේ හිතට ඇතිවෙන සිතුවිලි කළමනාකරණය කරගෙන අකුසල සිතුවිලි සිතට නැගෙනකොට අකුසල සිතුවිලි දුරු කිරීම සදහා උත්සාහවත් වෙනවා. ඒවගේම කුසල සිතුවිලි උපදිනකොට කුසල සිතුවිලි තව තව දියුණුවෙන පැත්තට පමුණුවනවා. ඔබ, ඔබේ ජීවිතය දිහා හැරිලා බැලුවොත් ඔබ දවසේ මොන තරම් සිතුවිලි ප්‍රමාණයක් ඇසුරු කරනවාද ?
ඒ ඇසුරු කරන සිතුවිලි කුසල පැත්තට ද , අකුසල පැත්තට ද බර කියලා ටිකක් හිතලා බැලුවොත් පින්වතුනි, අපේ ජීවිතය වැඩිපුරම බරව ඇතිවෙන සිතුවිලි තියෙන්නේ අකුසල පැත්තට බරව ඇතිවෙන සිතුවිලි. හොඳයි, අපි මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් ඇසුවොත්?
හාල් ටිකක් තියෙන, ගල් කැට ගොඩාක් තියෙන මල්ලකට අත දාලා අහුරක් අරගත්තොත් ඔබට වැඩිපුර හාල් අහුවෙයිද, ගල් කැට අහුවෙයි ද? හාල් ටිකයි නම් තියෙන්නේ ගල් කැට ගොඩයි නම් තියෙන්නේ ඔබ අතට ගන්න අහුරට වැඩිපුරම ඔබට අහුවෙන්නේ ගල් කැට. පින්වතුනි, අන්න ඒ වගේ තමයි අපේ ජීවිතෙත්. අපේ ජීවිතේ හොඳ සිතුවිලි අඩුයි නම්, නරක (අකුසල්) සිතුවිලි වැඩයි නම් (මහා ලොකුවට සත්තු මරන්නේ, හොරකම් කරන්න හිතන්නේ නැති වෙන්න පුළුවන්) හැබැයි ඔබේ ජීවිතයේ ලෝභයෙන් නම් කටයුතු කරන්නේ, තරහෙන් ද්වේශයෙන් නම් කටයුතු කරන්නේ ඒ සියලුම අරමුණු අකුසල් තමයි.
එබඳු මට්ටමකින් කටයුතු කරන ඔබ අර හාල් හා ගල් සහිත මල්ලට අත දාලා අහුරක් ගත්තා වගේ අවසාන මොහොතේ ඔබේ හිතට නැගෙන්න තියෙන වඩාත්ම වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ හොඳ සිතුවිලි ද, නරක සිතුවිලි ද? ඔබ ජීවිතයේ වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ නරක සිතුවිලි නම් පින්වතුනි, ඔබට අවසාන මොහොතේ වැඩිපුර හිතට උරුම වෙන්න පුළුවන්කම තියෙන්නේ ඉතාමත් නරක සිතුවිලි.
~~ අකුසල් සිතක විපාකයේ බරපතලකම ~~
නරක සිතකින් කවදාවත් හොඳ උප්පත්තියක් ලැබෙන්නේ නැහැ. නරක සිතකින් ලැබෙන්නේ නරක උප්පත්තියක් විතරමයි. නරක උප්පත්තියක් ලැබෙනවා කියලා කියන්නේ එක්කෝ තිරසන්ගත ආත්මභාවයක්, එක්කෝ ප්‍රේත ආත්මභාවයක්, එසේත් නැතිනම් මහා නරකාදියක උප්පත්තියක් නේ. එබඳු තැනක උප්පත්තියක් ලබාගත්තට පස්සේ නැවත මනුස්සයෙක් වෙනවා කියන එක ලෙහෙසියෙන් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
හිතන්නකෝ, තිරිසන්ගත සතෙක්ට කුසල් සිතුවිල්ලක් ඇතිවෙන්නේ මොන තරම් කලාතුරකින් ද කියලා. සමහරවිට ඉපදිලා මැරෙනකන්ම ඒ සතාට කුසල් සිතක් උපදින්නේ නැහැ. එබඳු මට්ටමකට පත්වුනාට පස්සේ ඒ කෙනාට ආයේ මනුස්සයෙක් වෙනවා කියන එක ලෙහෙසි දෙයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
~~ කන කැස්බෑවාගේ උපමාව ~~
බාලපණ්ඩිත සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදාහරණයක්, ඔබ නිතර අහලා තියෙන. මහා මුහුදට වැටුණු විය ගහක සිදුරකින් කන කැස්බෑවෙක් අහස බැලුවොත් එහෙම ඒක මොන තරම් කළාතුරකින් සිද්ධවෙන අසම්භව්‍ය සිද්ධියක්ද? ඒ කියන්නේ මහා සාගරයේ අවුරුදු සියයකට එක වතාවක් උඩට එන කන කැස්බෑවෙක් මහා මුහුදේ පාවෙමින් තියෙන විය ගහක තියෙන සිදුරෙන්ම හරියටම ඇහැ තියලා අහස බැලුවොත් එහෙම ඒක වීමේ සම්භාවිතාවට වඩා වැඩිපුරම තියෙන්නේ නොවීමේ සම්භාවිතාවක්, ඒක අසම්භව්‍ය දෙයක්.
පින්වතුනි, අන්න ඒ වගේ කියනවා, තිරිසන්ගත ආත්මභාවයකට හෝ නිරයකට හෝ ගියපු කෙනෙකුට නැවත මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියනවා නම් ඒක අර වගේ ඉතාම අසම්භව්‍ය සිදුවීමක් කියනවා. මොකද, ඒ සත්වයෙක්ට ලෙහෙසියෙන් කුසලයක් ගැන අදහසක් ඇතිවෙන්නේ නැහැ. ලෙහෙසියෙන් හොඳ පැත්තට සිතුවිලි ඇතිවෙන්නේ නැහැ. ඒ නිසයි ඒක අසම්භව්‍ය යැයි කියලා කියන්නේ.
පින්වතුනි, අද මනුස්සයෝ හැටියට ඉපදුන අපිට, මනුස්සයෝ හැටියට ජීවත්වෙන අපිට එච්චරම අපහසුතාවයක් නැතිවෙයි ඊළඟ ජීවිතයේ මනුස්සයෙක් වෙන්න කුසල කර්ම සිද්ධ කරගන්න, දිව්‍ය ලෝකෙක යන කර්ම සිද්ධ කරගන්න එච්චරම අපහසුතාවයක් නැතිවෙයි. හැබැයි තිරිසන්ගත සතෙක්ට එහෙම කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසයි එබඳු තත්වයකට පත්වුන කෙනෙකුට නැවත මනුස්ස ජීවිතයක් ලබනවා නම් ඒක සාමාන්‍යයෙන් ඒක සිද්ධ කරන්න ඉතාම අපහසු කලාතුරකින් සිද්ධවෙන අසම්භව්‍ය දෙයක් හැටියට පෙන්නුවේ.
~~ නියපිටට ගත් පස් පිඩේ උපමාව ~~
ඒවගේම තමයි නියපිටට පස් ටිකක් අරගෙන දේශනා කරනවා, මේ ලෝකේ මනුස්සයින් අතර උපදින වැඩි ප්‍රතිශතයක් මරණෙන් මත්තේ යන්නේ මහා පොළවේ පස් හා සමානව දුගතියට. මේ නිය පොත්තේ තියෙන පස් ටික හා සමානව ඉතාමත් ස්වල්ප පිරිසක් තමයි සුගතියකට නැවත පත්වෙන්නේ කියලා. පින්වතුනි, ඒක අපිට ලෝකය දිහා බැලුවහම පෙනෙන දෙයක් නේ.
ඒ කියන්නේ කුසල පාක්ෂික අරමුණු ඇතිකර ගැනීම ඉතාම අඩුයි. අකුසල පාක්ෂික ධර්ම තමයි ලෝකේ වැඩි ප්‍රතිශතයක් ඇසුරු කරන්නේ. එතකොට හොඳ පැත්තට යන්න තියෙන කර්ම නෙමෙයිනේ ගොඩක් දෙනෙක් සිද්ධ කරගන්නේ. නරක පැත්තට යන්න අවශ්‍ය කර්ම තමයි සිද්ධ කරගන්නේ. ඒ නිසා මම හිතනවා ඔබට බොහොම වටිනා කාලයක් ලැබිලා තියෙනවා.
~~ වාසනාව, අවාසනාවක් බවට පත්කරගන්න එපා ~~
බුද්ධෝත්පාද කාලයක් ලැබිලා, මනුස්ස ජීවිතයක් ලැබිලා, ඒකත් නිකන්ම නෙමෙයි නේ සද්ධර්ම ශ්‍රවනය කරන්න අවශ්‍ය වටපිටාවක ඉපදිලා නිතර දෙවේලේ ඔබට බණ අහන්නට ලැබෙනවා. නිතර දෙවේලේ ධර්මය ඇසුරු කරන ඔබට ඒ ධර්මය ඇසුරු කරගෙන ඔබේ ජීවිතයට යමක් යොදාගන්නේ නැත්නම් පින්වතුනි, ඔබ තරම් අවාසනාවන්ත කෙනෙක් තවත් නැතිවෙයි. ඒ නිසා අපි මේ ධර්මය පිළිබඳව මීට වඩා ටිකක් වැඩිපුර උත්සාහයක් යොදන්නට ඕනේ.
අපේ ජීවිතයේ යම් තැනකින් අපි ඒ උත්සාහය පටන් ගන්නට ඕනේ, හොඳ හැරවුම් ලක්ෂයක් අපේ ජීවිතයේ ඇතිකර ගන්නට ඕනේ. මම කියන්නේ නැහැ, එක පාරම අපේ ජීවිතය අපිට හරවා ගන්නට පුළුවන් වෙයි කියලා. නමුත් ක්‍රම ක්‍රමයෙන් හෝ ඔබේ ජීවිතය පුරාවට කුසල සිතුවිලි ඇතිකර ගන්න පැත්තට ඔබ නැඹුරු වෙන්නට අවශ්‍යයි. ඒ සදහා ඔබ ඔබේ මනස කළමනාකරණය කරගන්න ඕනේ.
~~ හිත පිලිබඳ සැලැස්මක් තියාගන්න ~~
මනස කළමනාකරණය කරගන්න ඕනේ කියලා කිව්වේ? ඔබ ළඟ දළ සැලස්මක් තියෙන්නට ඕනේ. ඒ දළ සැලැස්ම
තමයි ඔබේ මනසේ දවසේ මොන තරම් ප්‍රමාණයක් හොඳ සිතුව්ලි ඇතිවෙනවද, දවසේ මොන තරම් ප්‍රමාණයක් නරක සිතුව්ලි ඇතිවෙනවද කියලා ගත්ත සැලැස්මක්. එතකොට ඔබ දවසින් දවස, දවසින් දවස හොඳ සිතුව්ලි ඇතිකර ගන්න ප්‍රමාණය වැඩි කරගන්නට ඕනේ. නරක සිතුවිලි ඇතිකර ගන්න තියෙන ඉඩ අවම කරන්නට ඕනේ.
මේ විදිහට ඔබේ ජීවිතය කුසලය පැත්තට ඔබ අරගෙන යන්නට ඕනේ. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට කය වචන සංවරය නිකන්ම ඇතිවෙයි. ඒ මොකද? අපි නරක විදිහට හිතුවොත් නේ නරක දේවල් කරන්න, නරක දේවල් කියන්න පෙලඹෙන්නේ. හැබැයි අපි හිතන්නේ හැම වෙලාවකම හොඳ විදිහට නම් අපි නරක පැත්තට පෙළෙඹෙන්නේ නැතිවෙනවා.
ඒ නිසා ඔබට කරන්නට ඉලක්කයක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔබේ හිත ගැන හොඳ සැකැස්මක් ඇතිකර ගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ දවසේ ඇතිවෙන සිතුවිලි ප්‍රමාණය හොඳ සහ නරක සිතුවිලි මොන මොන ප්‍රමාණයකින් ද ඔබට ඇතිවෙන්නේ කියලා. ඒ හොඳ සහ නරක සිතුවිලි ඇතිවෙන ප්‍රමාණය අනුව ඔබ තීරණය කරගන්නට ඕනේ අදට වැඩිය හෙට ඔබේ සිතුවිලි ප්‍රමාණය බොහොම හොඳ පැත්තට නැඹුරු කරන්නට අවශ්‍යයි.
ඒ හොඳ පැත්තට සිතුවිලි නැඹුරු වෙනකොට තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ අදට වැඩිය හොඳ කුසල සම්පන්න ජීවිතයක් ටිකෙන් ටික ඇතිකර ගන්න. එහෙම නැතිනම් අපි කොතෙකුත් බණ අහනවා, හැබැයි අහන බණ වලින් අපි ප්‍රයෝජනයක් ලබාගන්න බවක් පෙන්නේ නැතුව යනවා. අහන බණ වලින් අපි ප්‍රයෝජනයක් ලබාගන්නට ඕනේ නේ.
~~ ධර්මය අහන්න, දරන්න, ඒ අනුව හැසිරෙන්න ~~
"සුණාථ ධාරෙථ චරාථ ධම්මෙ" කියලා නේ කියන්නේ. ධර්මය අහන්න, දරාගන්න, හොඳට ධර්මය තුල හැසිරෙන්න. හැසිරෙන්නේ නැත්නම් අපි ධර්මය අහලා දරාගත්තත් වැඩක් නැහැ. ධර්මය ඇහුවත් වැඩක් නැහැ දරාගන්නේ නැත්නම්. ඒ නිසා මේ තුනම තිබුනොත් තමයි ජීවිතයක් සනසා ගන්න පුළුවන්කම තියෙන්නේ, සැනසීම කියන දේ උරුම කරගන්න පුළුවන්කම තියෙන්නේ.
~~ පංච සීලය මුල්ම අදියරයි ~~
ඒ ධර්මය තුල හැසිරෙන්න පටන් ගන්නකොට ඔබට පළවෙනිම දේ හැටියට අපි මතක් කළා කය වචන දෙකේ සංවරය ඇතිකර ගන්න කියලා. පංච සීල ප්‍රතිපදාව ඔබේ ජීවිතයේ අංගයක් බවට පත්කර ගන්න කියලා. පංච සීල ප්‍රතිපදාව අංගයක් බවට පත්කර ගත්තට පස්සේ ඔබේ මානසිකව ඇතිකර ගන්න සිතුවිලි දිහා ඔබ හොඳට බලාගෙන ඉන්න පුරුදු වෙන්න. එතකොට ඒ සිතුවිලි දිහා බලාගෙන, 'මට දැන් අකුසල් ඇතිවුනා' කියලා අකුසලය එක්ක ඉන්න කියලා නෙමෙයි කිව්වේ. අකුසල සිතක් ඇතිවුනා කියලා ඔබට තේරෙනකොටම අකුසල සිත දුරු කරගන්න උත්සාහවත් වෙන්න.
•• ඔබට තරහා සිතක් නම් උපදින්නේ ඒ තරහා සිත උපදිනකොට ඔබ මෛත්‍රී සහගත සිතුවිලි දියුණු කරමින් මෙත්තා සහගත චේතනාවන් කෙරෙහි ඔබේ මනස යොමු කරන්නට ඕනේ.
•• ඔබේ සිතට රාගාදී චේතනාවන්ගෙන් පීඩා ලැබෙනවා නම් ඔබ අසුභය පැත්තට බරව කටයුතු කරන්නට ඕනේ.
•• ඔබේ හිතේ විසුරුනුකම තියෙනවා නම් ඔබ සිත එකඟවෙන විදිහේ භාවනාවක් පුරුදු වෙන්නට අවශ්‍යයි.
මේ විදිහට අපි හිතේ ඇතිවෙන තත්වයන් පිළිබඳව හොඳ තේරුමක් අපිට තිබුනොත් තමයි අපිට හොඳ ප්‍රතිකර්ම සපයන්න පුළුවන්කම තියෙනෙනේ. හිතේ ඇතිවෙන තත්වයන් පිළිබඳව අපිට තේරුම් ගැනීමක් නැති වුනොත් එහෙම අපිට ඒ සදහා ප්‍රතිකර්ම දෙන්න බැරුව යනවා.
ඒ හින්දා පළවෙනිම දේ හැටියට අපි හිතේ මේ තත්වයන් තේරුම් අරගෙන සිතුවිලි වලට අවශ්‍ය ප්‍රතිකර්ම සැපයීමට ආරම්භ කරන්නට ඕනේ. සමහර වෙලාවට ජීවිතයේ නොයෙක් මානසික පීඩා, අවුල් වියවුල් මේ වගේ තැන්වලට අපිට පත්වෙන්නට සිද්ධ වෙනවා. මේ ඕනෑම වෙලාවක ඒ දේට අපි කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ, අපි කොහොමද ඒ මත නොවැටී අපේ ජීවිතය ගලවා ගන්නේ කියන එක තුල අපි හික්මීමක් ඇතිකර ගන්නට ඕනේ.
ඒ ඇතිකර ගන්න හික්මීම කියන දේ අපේ ප්‍රතිපදාවේ ඉතුරු ටික පුරාගන්නට අවශ්‍ය වෙනවා. අපි මුලින්ම මතක් කළා වගේම අපිට ධර්ම මාර්ගයක් තුල යන්න ලොකු ගමනක් තියෙනවා. බුද්ධ ශාසනයකින් අපිට ලැබෙන්නේ මේ ටික විතරක් නෙමෙයි. මේ තමයි මේ ශාසනයේ පටන් ගැන්ම. මේ ශාසනයේ පටන් ගැන්ම ඔතන වුනාට මේ ශාසනයේ අවසානයත් ඕකම නෙමෙයි.
අද අපි දකින්නේ අපි ඉපදුන දවසේ ඉඳලා පන්සිල් ටික රකින්න කියනවා, මැරෙනකනුත් ඒ මනුස්සයාට කියලා තියෙන්නේ පන්සිල් ටික රකින්න කියන එක. හැබැයි මැරෙනකනුත් මනුස්සයෙක්ට බැරිවෙලා තියෙනවා පන්සිල් ටික රැකගෙන ඉන්න. අපි ඒ තත්වයේ නොසිටිය යුතුයි. මේ ශාසනය හැමදාම සිල් රකින ශාසනයක් නෙමෙයි. මේ ශාසනයේ හැමදාම ආයාසයෙන් සිල් රකින්න කියලා දෙයක් ඇත්තේ නැහැ.
"වුසිතං බ්‍රහ්‌මචරියං" කියලා කියන්න එන දවසක් තියෙනවා. 'මම බ්‍රහමචාරියාව වාසය කරලා ඉවරයි දැන්'. "කතං කරණීයං" - 'කළ යුත්ත කරලා ඉවරයි'. "නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී" - මත්තේ කරන්න දෙයක් නැහැ කියන තත්වයක් තියෙනවා. ඒ තත්වය ඇතිකර ගන්නේ කොහොමද කියලා තමයි අපි උත්සාහවත් වෙන්නට ඕනේ.
ඒකෙන් කියන්නේ මට ආයේ සීලයකුත් නැහැ කියන එක නෙමෙයි. ධර්මය අවබෝධ කරගත්තහම මුකුත් නැහැ කියනවා නෙමෙයි. අද ආයාසයෙන් රකින දේ එදාට නිරායාසයෙන්ම ඔහුගේ පැවැත්ම බවට පත්වෙලා තියෙනවා. අන්න ඒ නිරායාසයෙන් පවතින නිරායාසයෙන් ඇතිවෙන දේ ගැන අපි දැක්මකින් මුල ඉඳලා දැනගෙන ඉන්නට ඕනේ. ඒ තැන දක්වා කොහොමද අපේ ජීවිතය දියුණු කරගෙන යන්නේ කියන කාරණාව.
අන්න එතනට තමයි මේ ප්‍රතිපදාව පිළිබඳව අපි ක්‍රම ක්‍රමයෙන් කතා කරගෙන එන්නේ. මූලික ලෙසම අපි දර්ශනය ගැන කතා කරන්න පටන් ගත්තොත් දර්ශනය කියන කොටස ගැඹුරු වැඩිවෙන නිසා තමයි ඊට අනුරූපව අවශ්‍යවෙන පරිබාහිර කරුණු ටිකක් පිළිබඳව අපි මේ කතා කරගෙන යන්නේ. ඒ නිසා පරිබාහිර මේ කරුණු ටික ඔබේ ජීවිතය තුල ඔබ ඇතිකර ගත යුතු කාරණා, ඇතිකර ගන්නට උත්සාහවත් විය යුතු කාරණා.
~~ ඕනෑම කෙනෙක්ට විවෘත ශාසනයක් ~~
ඔබේ ජීවිතය තුල මේ දේවල් තියෙනවා නම් ඔබට ඊළඟ පියවර තබන්නට පුළුවන් මට්ටමේ ඉන්නවා. මේ ටික ඔබේ ජීවිතය තුල නැත්නම් ඔබ මේ පියවර තැබිය යුතු වෙනවා. එතකොට ඔබ ඔබේ ජීවිතයේ මේ කියන කරුණු ටික සම්පුර්ණ කරගෙන මේ කියන කරුණු ටික ඔබේ ජීවිතය තුල ඔබ උපදවා ගෙන ඉදිරියට යන්නට උත්සාහවත් වන්නට ඕනේ. මේ ශාසනය ඕනෑම කෙනෙකුට විවෘත ශාසනයක් කියලා කිව්වනේ.
අංගුලිමාලලත් නිවන් දැක්කා, ඒවගේම පටාචාරාලත් නිවන් දැක්කා, කාටත් නිවන් දකින්න පුළුවන් ශාසනයක්. කාටත් වීර්යය කරන්නට තියෙන ශාසනයක්. ඒ නිසා පින්වතුනි, අපි කාටත් කියන්නට පුළුවන්,
"යො ච පුබ‍්බෙ පමජ‍්ජිත්‍වා පච‍්ඡා සො නප‍්පමජ‍්ජති.
සො ඉමං ලොකං පභාසෙති අබ‍්භා මුත‍්තො’ව චන්‍දිමා".
යම්කිසි කෙනෙක් මුලින් ප්‍රමාද වෙලා පස්සේ අප්‍රමාදී වුනොත්, ඒ කෙනා මේ ලෝකේ බබළවනවා හරියට වලාකුලකින් මිදුණු හඳ වගේ.
ඒ නිසා ඔබට බැරි කමක් නැහැ, හැබැයි ඔබ අද අදම ඔබේ ජීවිතය තුල ඔබ උත්සාහය ඇතිකර ගත යුතුයි. අද අද ඔබේ ජීවිතය තුල ඔබ උත්සාහය ඇතිකර ගත්තොත් තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ ඔබේ ජීවිතය පුරාවටම මේ ධර්මය තුල ලබාගන්න තියෙන සැනසීම ලබාගන්නට, ධර්මය තුල උරුම කරගන්නට පුළුවන් ඒකායන නිවීම ලබාගන්නට.
ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් ශාසන ධර්මයට පිවිසෙන්න, ශාසන මාර්ග බ්‍රහ්මචරියාවට එක්වෙමින් මේ ජීවිතය තුලම අපි අපේ සිතට නිවීම කියන දේ උරුම කරගෙන මේ ජීවිතය තුලම අපි නිවීම කියන දේ ලබාගනිමු කියලා.
දේශනාව නිමි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ගෞරවණීය වැඩමවීමෙන් 13.09.2020 දින හිරු tv නාලිකාව ඔස්සේ විකාශය වුනු සදහම් දේශනාව අනුසාරයෙන් පිටපත් කිරීමකි
0 Comments