පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු 1



පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු 1

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

සදාපූජනීය, වන්දනීය, මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාබුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ඒ නිසා හැමදෙනාම ඉතාමත්ම උවමනාවෙන්, ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා.

~~අතිදීර්ඝ සංසාර ගමනක් එන අපි~~

පින්වතුනි, ඉමක් කොණක් පරක් තෙරක් නැති අතිදීර්ඝ සංසාරයක ඔබත්, මමත් ඉපදෙමින් මැරෙමින්, මැරෙමින් ඉපදෙමින් අතිදීර්ඝ සංසාර ගමනක් එන අය. මේ දීර්ඝ සංසාර ගමන පුරාවටම ජීවිතයකට රැකවරණයක්, සැනසිල්ලක් හොයමින් අපි හැමදෙනෙක්ම එන්නේ. එහෙත් මෙතරම් අතිදීර්ඝ සංසාරයක ජීවිතයට රැකවරණයක් හෙව්වත්, අපිට තවම ඒ රැකවරණය හදාගන්න ළඟා කරගන්න බැරිවුනා. ජීවිතයකට රැකවරණයක්, ආරක්ෂාවක් නියමාකාරව ලබාගන්නේ කොහොමද කියන කාරණාව පෙන්නලා දෙන්න තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළවෙන්නේ.

ඉතින් මේ තරම් දීර්ඝ සංසාරයක අපි ආවත්, ඒ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ලෝකය තුළ පහළවෙන ඒ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ වචනය මීට පෙර මනාකොට අහලා ධාරණය කරගෙන, ඒ තුළින් අපේ ජීවිත හදා නොගත්ත එකේ ප්‍රතිවිපාකයක් තමයි තවම මේ දීර්ඝ සංසාරේ අපි ඒ මේ අත දුවන සැරිසරන බව.

ඉතින් අද දවසේදී හරි අපිට බුද්ධිමත් වෙන්න පුළුවන් වුනොත්, මේ බුද්ධ ශාසනය හරි අපිට බොහෝම ආදරයෙන් සෙනෙහසින් ඇසුරු කරන්න පුළුවන් වුනොත්, මේ අතිදීර්ඝ සංසාර දුක්ඛය මේ ජීවිතයේදීම අවසන් කරගන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි හැමදෙනාම ලබපු මනුෂ්‍ය ජීවිතය හිස් නොවන ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුනහම, ඒ ශාසනයෙන් යම්කිසි කෙනෙක් වැඩක් ගත්තා කියන ඥාණවන්ත ගණයට යන්න පුළුවන් ඉතා වටිනා දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

~~පෙර නොඇසූ විරු දහමක දහම් ඇස පහළ වීම~~

විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ පෙන්නපු, ''පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි'' කියන කාරණාව පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් වෙනවා. ඒ තුළ අපි හැම කෙනෙක්ම දන්න, හිතාගෙන ඉන්න වටපිටාවට වඩා අතිශයින් සියුම් වගේම ගැඹුරු දර්ශනාත්මක පැතිකඩක් තථාගතයන් වහන්සේ විවර කරනවා. එබඳු වූ ධර්මයන් කෙරෙහි තියෙන අවබෝධයෙන් තමයි මේ සසර ඒ මේ අත දුවන්න සැරිසරන්න වෙන අවිද්‍යා තණ්හාදී කෙලේසයන් ප්‍රහාණය වෙන්නේ.

එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ,

''පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු''
පෙර නො ඇසූ විරූ ධර්මයන් කෙරෙහි

''චක්ඛුං උදපාදි''
ඇහැ පහළවුනා

''ඤාණං උදපාදි''
ඥාණය පහළවුනා

''පඤ්ඤා උදපාදි''
ප්‍රඥාව පහළවුනා

''විජ්ජා උදපාදි''
විද්‍යාව පහළවුනා

''ආලොකො උදපාදි''
ආලෝකය පහළවුනා

එතකො‌ට පෙර නො ඇසූ විරූ ධර්මයන් කෙරෙහි 'ඇස', 'ඥාණය', 'ප්‍රඥාව', 'විද්‍යාව', 'ආලෝකය' උපන්නා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකේටද?
—මේ දුක
—මේ දුක ඇතිවෙච්ච හේතුව
—මේ දුක නැති තැන හෝ නැති කිරීම
—මේ දුක නැති කරන මාර්ගය

කියන මෙන්න මේ ධර්මතා හතරට. පින්වතුනි, එතනදී අපිට හොඳට හිතලා බලන්න වෙන කාරණා රාශියක් තියෙයි. ඒ තමයි තථාගතයන් වහන්සේ පෙන්නුවේ ආර්‍ය්‍යසත්‍ය හැටියට 'පෙර නො ඇසූ විරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළවුනා' කියලා.

~~දුක්ඛ ආර්ය සත්‍යය~~

එතකොට එතනදී දුක්ඛ ආර්‍ය්‍යසත්‍ය අපි අරගත්තොත්, තථාගතයන් වහන්සේ පෙන්නුවේ, ''ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා''

මේ දුක් ටික විස්තර කරලා, ඒ සියල්ල කෙටි කරලා කැටි කරලා මේ සියලුම දුක් ටික තියෙන්නේ කොහෙද? ''පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා''  පඤ්ච උපාදානස්කන්ධයකයි තියෙන්නේ කියන කාරණාව තථාගතයන් වහන්සේ පෙන්වා වදාළා.

එතනදී අපිත් දන්නවා ඇත්තටම මේ දුක කියන එක ගත්තහම 'කෙනෙක් ඉපදෙනවා. ඉපදෙන නිසා තමයි ලෙඩ වෙන්නේ. ඒ නිසා තමයි මහලු වෙන්නේ. ඒ නිසා තමයි මරණයට පත්වෙන්නේ. ඒවගේම ශෝක කිරීම්, හැඩීම්, වැළපීම් ආදි නොයෙක් විදිහේ දුක්දොම්නස් විඳින්න වෙන්නේ' කියලා අපිත් දන්නවා.

හැබැයි, අපි දන්න ටිකට වඩා ගොඩාක් ගැඹුරු අර්ථයක් මේ තුළ තියෙනවා කියන කාරණාවක් පෙන්නනවා ''පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු'' කියන තැනකදී. ඒ ''පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු'' කියන වචනය අයිති වෙනවා බෝසතාණන් වහන්සේගේ බෝසත් ජීවිතයට පමණක් නෙවේ, පෙර සසරේදී ඉඳලා ලෝකය තුළ තියෙන ධර්මතාවයන්ට වඩා අතිශය සියුම් අවබෝධාත්මක ධර්මයක් අරභයා නුවණ යෙදිච්ච බවක් තමයි ඒකෙන් පෙන්නන්නේ.

ඒවගේම තමයි පින්වතුනි, මේ ලෝකය තුළ හැම සිද්ධියක්ම මේ දුක පිළිබඳව ලෝකය තුළ විවරණය වෙන්නේ පුද්ගලභාවයක ඉඳලා. ඒ කියන්නේ 'ඉපදෙන්නේ පුද්ගලයෙක්, සත්ත්වයෙක්'. ඒ ඉපදුන කෙනාට, ඉපදුන සත්ත්වයාට, ඉපදුන පුද්ගලයාට ලෙඩ වෙන්න වෙනවා, මහලු වෙන්න වෙනවා, මරණයට පත්වෙන්න වෙනවා. එයාට ප්‍රිය විප්‍රයෝග දුක්ඛය, අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛය කියන මේ සියලු දුක් විඳින්න වෙනවා. මේ දුකට හේතුව ඉපදීම කියලා මෙන්න මෙහෙමයි අපි දන්නේ.

~~පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා~~

එතකොට මේ විදිහට ලෝකය තුළ තියෙන 'මේ දුක පිළිබඳ විස්තරය ආත්මවයි තියෙන්නේ'. ඒ තුළම තියෙනවා කෙනෙකුට වෙච්ච, කෙනෙක් විඳින දුකක්. නමුත් 'පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු' කියලා තථාගතයන් වහන්සේ දුක්ඛ සත්‍යය විවර කරන තැන බොහෝම ලස්සන කාරණාවක් තියෙනවා. මේ දුක් ටික ඔක්කෝම පෙන්නලා, ''පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා'' මේක තව පුද්ගලයෙකුගේවත්, තව සත්තවයෙකුගේවත්, තව කෙනෙකුගේවත් නෙවෙයි, මේ පංච උපාදානස්කන්ධයක පවතින දුකක් මේ තියෙන්නේ කියන කාරණාව.

ඉතින් අන්න ඒ ටික මම අද දවසට පැහැදිලි කරලාදෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද, ඇත්තටම අපිට ජීවිතයෙන් දුක අයින් කරගන්නවා නම්, දුක කියන්නේ මොකක්ද කියන කාරණාව හරියටම අපිට තේරිලා අවබෝධ වෙලා තියෙන්නට ඕනේ. ''පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා'' කියන තැන ගත්තහම පින්වතුනි, ඕකටම තමයි 'පංච උපාදානස්කන්ධ ලෝකය' කියලා කියන්නේ.‍

~~පටිච්චසමුප්පාදයේ විපාක වට්ටය~~
 
මම මීට කලිනුත් පින්වතුනට මතක් කරලා තියෙයි පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව. මම නැවතත් කෙටියෙන් පොඩ්ඩක් මතක් කළොත්, අවිද්‍යා කර්ම කියන පෙර හේතු ටිකට විපාක ස්කන්ධ ටිකක් හම්බුනහම 'විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා' කියලා.

ඒ විපාක ස්කන්ධ ටික ආයතන පරියායකින් මතක් කළොත්,
_ ඇහැට රූප පෙනෙන,
_ කනට ශබ්ද ඇසෙන,
_ නාසයට ගන්ධ,
_ දිවට රස,
_ කයට ස්පර්ශයන්,
_ මනසින් ධම්මාරම්මණයන් සිහිකරනවා

කියලා දිට්ඨි, සුත, මුත, විඤ්ඤාත කියන මෙන්න මේ හතර පොළේ අරමුණුවල පැවැත්ම තමයි විපාක ස්කන්ධ ටික කියලා කියන්නේ. ඒ හැම අවස්ථාවකම ඒ ආයතන ටිකේ යථාර්ථයක් නැත්තම් යථාභූත ස්වභාවයක්, ඇත්ත ඇති හැටියේ පවතින ධර්මතාවයක් තියෙනවා.

ඒ තමයි හේතුන්ගෙන් හටගත්ත, ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත, හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත ධර්මතාවයක්. ඒ තුළ සත්ත්ව පුද්ගල ආත්ම නොවන අනාත්ම ලක්ෂණයක් වගේම හොඳ / නරක වශයෙන් බෙදන්න පුළුවන්කමක් නැති 'අප්පණිහිත' ලක්ෂණයක් ඔන්න ඒ ආයතන ටිකේ තියෙනවා.

''චක්ඛුං අනත්තා, රූපා අනත්තා, සොතං අනත්තා, සද්දා අනත්තා, ඝාණං අනත්තා, ගන්ධා අනත්තා....'' කියලා මේ ආයතන ටිකේ අනාත්ම ස්වභාවය (සුඤ්ඤත ස්වභාවය), ඒ කියන්නේ තවත් පැත්තකින් ගත්තොත්, අරමුණක් පෙනෙනවා, ඇහෙනවා කියන තැනට සාපේක්ෂකව සවිඤ්ඤාණක අවිඤ්ඤාණක කතාවක් යථාර්ථයේ ඇත්තටම නැහැ. රූපායතනය, රූපායතනයම තමයි.

එතකොට අපි ඒ රූපායතනය ඇතුලට කෙලෙස් වශයෙන් ගියහමයි සවිඤ්ඤාණක රූප / අවිඤ්ඤාණක රූප / හොඳ රූප / නරක රූප කියන කාරණාවද ඇතිවෙලා තියෙන්නේ හෝ ඇතිකර ගන්නේ. මෙතනදී ඇස් ඉදිරිපිට රූපයක් පෙනනකම, කන ඉදිරිපිට ශබ්දයක් ඇහෙනකම, නාසයක් ඉදිරිපිටට ගන්ධයක් හමුවෙනකම කියන මේ ටික තමයි 'විපාක ස්කන්ධ' කියලා කියන්නේ.

හැමවෙලාවේම හොඳට මතක තියාගන්නට ඕනේ පින්වතුනි,
- පෙනෙනවා (දිට්ඨි)
- ඇහෙනවා (සුත)
- දැනෙනවා (මුත)
- දැනගන්නවා (විඤ‍්ඤාත)

කියන මේ ''සතර වෝහාර ධර්මයන්'' ගත්විට, පෙර විපාක මාත්‍රයක්, එක පැත්තක්.

~~පටිච්චසමුප්පාදයේ කෙලෙස් වට්ටය~~

ඒ අරභයා තෘෂ්ණා වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ තණ්හාදිට්ඨි වශයෙන් හෝ යම්යම් ආකාරයට පෙනෙන ඇහෙන දේට අපි මොන විදිහේ හරි හිතන්න උත්සාහවත් වෙනවා නම්, හිතනවා නම් ඒ වර්තමානයේ හිත හසුරුවන ආකාරය වර්තමාන කර්මයක්, වර්තමාන කෙලේසයක්. මෙන්න මේ විපාක ස්කන්ධ ටිකට වර්තමාන තණ්හා වශයෙන් දිට්ඨි වශයෙන් හිත හසුරුවන එකට තමයි ''තණ්හා උපාදාන'' කියන කාරණා දෙක පෙන්නන්නේ.

~~මොකක්ද 'භවය' කියනේ~~

'භවය' කියලා කියන්නේ පෙනුන දේ  හා පෙනුන දේට හිත හසුරවපු ආකාරයයි කියන දෙකේම අත්දැකීම තමන්ට ඇතිවෙච්ච තැන. තව පැත්තෙන් ගත්තොත්, පෙනෙන අරමුණ අරභයා තමන්ට දැනුමක් ඇතිවෙච්ච තැන තමයි 'භවය' කියලා කියන්නේ. තව පැත්තකින් ගත්තහම විඤ‍්ඤාණඨිතියක් (විඤ්ඤාණයට පවතින්න පුළුවන් අවස්ථාවක් වුනා).- රූපයට යමක් සිතුවහම, සිහිකළහම, ඇහෙන ශබ්දයට යමක් හිතුවහම සිහි කළහම ඒක හිතට නැවත නැවත සිහි කරමින්  විඤ්ඤාණයට පවතින්න පුළුවන්වෙන කිසිම දෙයක් නැතත්, ඒකයි විඤ‍්ඤාණඨිතියක් කියන්නේ සිතට හෙවත් විඤ්ඤාණයට පැවැත්මට කාරණාවක් වුනා.

ඔන්න හොඳට බලන්න: පෙර අවිද්‍යා කර්ම කියන ටිකට විපාක ස්කන්ධ ටිකක් ඇතිවෙලා විපාක ස්කන්ධ ටිකට වර්තමානයේ කෙලෙස් ටිකක් එකතු වුනහම, ඒ සිද්ධාන්තයම මුල් කරගෙන ඇතිවෙච්ච අත්දැකීමක් තමයි පෙනෙන ඇහෙන දේ අරභයා දැනුමක් අපිට ඇතිවෙච්ච හැටි. ඇහැට එපිටින්, කනට එපිටින් තිබුණු අරමුණු අරභයා විස්තර විසින් දන්නා දැනුමක් අපිට එකතුවෙලා තියෙයි. එහෙම දැනුමක් හදන්න හේතුවෙච්ච ඒ ධර්මතා ටික අපිට දැනුම හදලා ඒ ධර්මයෝ නිරුද්ධ වෙනවා.

~~පංච උපාදානස්කන්ධයෝ රැස්වීම~~

ඇහැ, රූපය, චක්ඛුවිඤ්ඤාණය නිරුද්ධ වෙනවා. තණ්හා වශයෙන් හෝ දිට්ඨි වශයෙන් හිතුවහම ඒ හිතීම හිතීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. ඒ කන ශබ්දය සොත විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. ඒ අරභයා යම් ආකාරයකට හිතුවහම, ඒ හිතීම එතනින් පස්සේ නිරුද්ධ වෙනවා. නමුත් ඒ ඇහෙන පෙනුනු දේට අපි හිතලා, හිතපු විදිහට පෙනෙන ඇහෙන දේ දැනගත්තට පස්සේ, ඒ දැනගත්ත දැනුම නැතිවෙන්නේ නැහැ. ඒ දැනුම අපිට සිහිපත් කරගන්නට පුළුවන්.

අන්න ඒ විදිහට දැනුම් සම්භාරයක් අපිට එකතුවෙන තැනට කියනවා ''පඤ්‍චුපාදානක‍්ඛන්‍ධා උපචයං ගච‍්ඡති.'' - පංච උපාදානස්කන්ධය උපචයට යනවා කියලා. ඒ කියන්නේ ඇහැ එකතුවෙලා, රූපය එකතුවෙලා, චක්ඛුවිඤ්ඤාණය එකතුවෙලා. කන ශබ්දය සෝතවිඤ්ඤාණය කියන මේ වගේ පෙනෙන ඇහෙන දේවල් අපිට දැනුමට එකතුවෙනවා. ඒකට කියනවා ''පඤ්‍චුපාදානක‍්ඛන්‍ධා උපචයං ගච‍්ඡති.'' පංච උපාදානස්කන්ධයෝ රැස්වීමට යනවා.

අන්න ඒ පංච උපාදානස්කන්ධය රැස්වෙනවා කියන තැනට තමයි 'භවය' නැතිනම් 'ලෝකය' කියලා කියන්නේ. අන්න එතනයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ, 'ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව යම්තාක් දුක් දොම්නස් අපිට තියෙයි නම්, අපිට  විඳින්න වේ නම්, හම්බවෙයි නම්, මෙන්න මේ පංච උපාදානස්කන්ධයකයි මේ දුක් ටික තියෙන්නේ කියලා. ඒ කියන්නේ පින්වතුනි, අපි පොතපතට සීමාවෙන්න අවශ්‍ය නැහැ.

~~අට ලෝ දහමින් කම්පාවන මනසක්~~
 
අපි සිහිපත් කරමු, ඔබ එක තැනකට වෙලා ඉන්නකොට බලන්න පින්වතුනි ඔබට තමන්ගේ කුඩා කාලයේ සිද්ධියක් වුනත්, හිතලා සිහි කරලා සතුටු වෙන්න හෝ දුක් වෙන්න පුළුවන්කම තියෙයි. ඒවගේම තරුණ කාලේ සිද්ධියක් සිහිකරලා දුක් වෙන්න සතුටු වෙන්න පුළුවන්කම තියෙයි. ඒවගේම කැමති කෙනෙක්, අකැමකි කෙනෙක් ගැන කුමන හෝ ආකාරයට ඔබේ ජීවිතයකට සතුටක් හෝ දුකක් හෝ ඇතිකර ගන්න පුළුවන්කම තියෙයි.

කෙටියෙන් ගත්තහම ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් කියන ධර්මතා අටෙන් ඕනම එකක් ලබාදෙන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය විඤ්ඤාණඨිතියක් වෙච්ච බාහිර වස්තූන්, බාහිර දේවල් පිළිබඳව දැනුමක් ඇතිවෙලා තියෙන මෙන්න මේ මානසික මට්ටම තුල ඒ දැනුම සිහිකරලා තමයි අපිට සැපක් දුකක් විඳින්න පුළුවන්කම තියෙන්නේ.

ඒ වගේම එබඳු දැනුමක් ඇතිවුනාට පස්සේ වර්තමානයක ඇස් ඉදිරිපිටට, කන ඉදිරිපිටට රූපයක් හම්බවුනත් අපි ඒ රූපය දකිනකොටම සිහිකරගන්නේ ''භව පච‍්චයා ජාති'' භවය නිසාම අපිට සත්ත්ව පුද්ගලභාවයේ ඉපදීම නැත්තම් ඒ විස්තරයක් ඇතිවෙනවා මිසක කිසිවෙලාවක පෙනෙන දේ හම්බවෙන්නේ නෑ.

මතු සම්බන්ධයි

සෑම ඉරු දිනකම උදෑසන 8.00ට බෞද්ධයා නාලිකාවේ විකාශනය වන අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් සිදු කෙරෙන 'බුදු මඟ' දේශනා මාලාවේ හයවෙනි දේශනාව ඇසුරෙන් කළ පිටපත් කිරීමකි.

Post a Comment

0 Comments