පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු 2
'ජාතිය' කියන එකට නැත්තම් පුද්ගලභාවයේ ඉපදීමට රන් රිදී මුතු මැණික් ආදි වස්තූන්ගේ ඉපදීමට ක්‍රම දෙකක් තියෙනවා.
1. කර්ම භවය
2. උප්පත්ති භවය
කියලා. ඒ කියන්නේ අපි ඇතිකර ගත්ත කෙලෙස් ටික නිසා මනෝමයෙන්ම ඒ ටික සිහිකර ගෙනත් පුද්ගලභාවය, සත්ත්වභාවය, වස්තූන් උපදවාගෙන සැප දුක් විඳින්න පුළුවනි.
ආපහු රූප ශබ්ද ගන්ධාදි අරමුණු හම්බෙනකොටත්, අන්න අර අපි 'දැනගත්තා වූ දේ සිහිපත් කරගෙන' පුද්ගලභාවය සත්ත්වභාවය වස්තූන් උපදවාගන්න පුළුවනි. අන්න එහෙම උපදවා ගත්තහම, ඒ නිසායි පින්වතුනි අපිට ජාති ජරා ව්‍යාධි මරණ සොක පරිදෙව දුක් දොම්නස් තියෙන්නේ කියන කාරණාවයි තථාගතයන් වහන්සේ පෙන්නුවේ.
~~කුමක්ද පටිච්චසමුප්පාද ධර්මය තුලින් පෙන්නුවේ ~~
"පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා" කියනකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා, මේ පංච උපාදානස්කන්ධ දුක ඇතිවුන ආකාරය තමයි පටිච්චසමුප්පාද සිද්ධියෙන් පෙන්නුවේ. ''අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං....භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාසා සම්භවන්ති. එවමෙතස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති'' මෙසේ හුදු දුක් රැසගේ හටගැනීම වේ කියලා මේ දුක ඇතිවෙන ආකාරය. ඒක එක සිද්ධාන්තයක් නෙවෙයි, ධර්මතා ටිකක්.
~~ලෝකය (දුක) හැදුන හැටි ~~
පෙර අවිද්‍යා කර්ම හේතු වුනා විපාක ස්කන්ධ ටික හදන්න. විපාක ස්කන්ධ ටික හේතු වුනා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදෙන්න. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික යෙදුනකම හේතුවුනා 'ලෝකය' කියන එක නිර්මාණය කරන්න, ඇතිකමට දැනුමක් හදන්න. ඒ ඇතිකමට හදාගත්ත දැනුම හේතුවුනා සත්ත්ව පුද්ගලභාවයෙන් අරමුණු සිහි කරමින් උපද්දවන්න. ඒ සිහිකරමින් උපද්දවනකම හේතුවුනා හොඳ නරක විනිශ්චය කරලා සැප දුක් විඳිනවා කියන කාරණාවට කියන ධර්මතාවයක් මේ තුල තියෙයි.
මෙතනදී තව කාරණාවක් මට මතක් කරන්න ඕනකමක් තියෙනවා; මේ දුක කියන එක පිරිසිඳ නොදකින තාක් අපිට හැමදාම දුක් විඳින්න වෙයි, දුක කියන එක ඇත්තක් වෙයි, දුක කියන එක තියෙන එකක් වෙයි. යම්කලෙක දුක කියන එක පිරිසිඳ දකින්න ගියොත් තමයි දුක ඇති කරන තණ්හාවක් තියෙනවා නම්, ඒ තණ්හාව ප්‍රහාණය වෙලා දුක කියන එක නිරුද්ධ වෙන්නේ.
~~ දුක්ඛෙ අඤ්ඤාණං සහ දුක්ඛෙ ඤාණං ~~
පින්වතුනි, මෙන්න මේ කාරණාව ගොඩාක් වටිනවා. අපි ගොඩාක් දෙනෙක්ගේ අදහස දුකින් නිදහස් වෙන්න. ඒ කියන්නේ නිවන් දකින්න. අම්මා, තාත්තා, දුවා දරුවා නැතිවීම, ලෙඩවෙන එක දුකක්. ඒවගේම වටිනා දේවල්, වටිනා අය විනාශවීම දුකක්. නින්දා අපහාස ඇනුම් බැනුම් අහන්න වෙන එකත් දුකක්.
ඒ නිසා දුකෙන් අපිට නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය, එකම තැන තමයි නිවන් දැකීම කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා අපි කවුරුත් කැමති ඉක්මනට නිවනට පත්වෙන්න හෝ ඉක්මනට නිවන් දකින්න. නිවන් දැක්කහම මොකද වෙන්නේ? සියලු දුකින් අපි නිදහස් වෙන නිසා.
නමුත් ඇත්තටම ඒකේ අනිත් පැත්ත වෙන්න ඕනේ. නමුත් මෙතනදී ඇත්තටම වෙලා තියෙන්නේ දුක කියන එක තියෙනවා. හැබැයි දුක ඇත්ත වෙලා, දුකෙන් තමන් පැනලා යන ක්‍රමයක් හොයනවා, නිදහස් වෙන්න ක්‍රමයක් හොයනවා. අම්මලා, තාත්තලා ලෙඩවෙලා මහලුවෙලා මැරුනු දුක එනවා. ඒ දුක් විඳින්න වෙන්නේ තමන් ඉන්න හින්දායි. නිවන් දැක්කොත් තමන්ට මේ සියලු දුක් විඳින්න වෙන්නේ නැහැ.
දුක තියෙද්දී, දුකෙන් බේරිලා පැනලා යන්න ක්‍රමයක් අපි හොයනවා වගේ තැනක් මෙතනදී තියෙන්නේ. නමුත් ඒකමයි මේකේ අවිද්‍යාව. මෙතනදී දුක පිරිසිඳ දකින්න කියලා කියන්නේ දුකත්, දුක් විඳින්නත් කියන දෙකම නිරුද්ධ වෙන්නට ඕනේ. දුක තියෙද්දී පුද්ගලයෙක් පැනලා යාමවත් නැත්තම් පුද්ගලයා නිරුද්ධ වෙනකමවත් නෙවෙයි.
~~දුක පිරිසිඳ දකිනකොට මොකද වෙන්නේ ~~
දුක කියන එක පිරිසිඳ දකිනකොට විඳින්න දුකකුත්, දුක් විඳින්නෙකුත් කියන දෙපැත්තම අතහැරෙනවා. ඒක අපි උපමාවක් හැටියට බලමු. දැන් මෙතන එක තැනක ඉඳලා, ඔබට සිහිකරන්න පුළුවන් 'තමන්ගේ දරුවා'. පිටරටක නම් ඉන්නේ හෝ ඉස්කෝලේ ගිහිල්ලා නම් 'අනේ දරුවාට කරදරයක් වේද, අනතුරක් වේද' හිතහිතා ඔබට දුක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් දෙමව්පියෝ, සහෝදරයෝ, ඥාතීන් නම් ඒ අය මැරිලා නම් 'අනේ ඒ අය ඉස්සර හිටියා, ඉස්සර මෙහෙම උදවු කළා, දැන් එහෙම නැහැනේ' කියලා දුක් විඳින්න පුළුවන්.
මේ විදිහට අපිට දුක් විඳින්න පුළුවන්කම තියෙන්නේ දුක තියෙන හින්දායි. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය හරහා දුක ඇතිවුනේ මෙන්න මෙහෙමයි. ''එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති'' මෙසේ මේ සියලු දුක් රාශියේ හටගැනීම වෙනවා කියලා පෙන්නුවේ අපිට මේ දුක පිරිසිඳ දකින්න. ඒකට කරන්න තියෙන්නේ එකම එක දෙයයි, කෙටි ක්‍රමයයි.
~~ දුක පිරිසිඳ දකින ක්‍රමය ~~
බුදුරජාණන් වහන්සේ දුක ඇතිවෙන ආකාරය පෙන්නුවා නම් ඒ ආකාරයට ආපස්සට යන්න. එතකොට ඉබේම දුක කියන එක අහෝසි වෙනවා, අවලංගු වෙනවා. දැන් අපිට සිහිපත් කරකර විඳින්න පුළුවන් අරමුණු ටිකක් තියෙයි. අපි ඒ අරමුණ මෙනෙහි කරලා ඒක විවෘත කරලා නොබලන තාක් ඒක ඇත්තයි අපිට.
~~ අවිද්‍යා අන්ධකාරයේ ඉන්න අපි ~~
රාත්‍රි වෙලාවකදී තනියම යනකොට කුමන හෝ ශබ්දයක් ඇහුනොත් අපි එක පාරටම බයවෙලා ගැස්සිලා 'අමනුෂ්‍යයෙක්ද දන්නෑ' කියලා හිතන්න පුළුවන්. අපි ඒ අරමුණට ආලෝකයක් හෝ යොමු කරලා මොකක්ද කියලා විමසුවේ නැත්තම් අපි ගාව තියෙන ඒ භය දුරුවෙන්නේම නෑ. අපිට බොහෝ වෙලාවක්, බොහෝ කාලයක්, බොහෝ දවසක් ඒ භය පවතින්න පුළුවන්.
යම්වෙලාවක අපි ආපහු හැරිලා ඒ ශබ්දය ඇතිවෙච්ච තැනට ආලෝකයක් යොමුකරලා මොකක්ද කියලා හරියට විනිශ්චය කරලා බැලුවොත්, එපමණකින් අපිට ඒ වටපිටාව දකිනකොට ඒ භය තැතිගැනීම කියන එක දුරුවෙනවා, 'මෙන්න මේ සිද්ධිය නේ වෙලා තියෙන්නේ' කියන අවබෝධය නිසා.
පින්වතුනි, ඒ වගේ දුක් විඳින්න අපි දුක හදාගෙන, දුක ඉතුරු කරගෙන ඉන්න එක අපේ දෝෂය. ඉතින් ඒ නිසා සැබෑවටම තිබුනු හෝ තියෙන දුකක් විඳින්න වුනා නම් තව කමක් නැහැ. නමුත් අවිද්‍යාව නැමති අන්ධකාරය තුළ දුක හදාගෙන දුක පවත්වනකමයි මේකේ තියෙන ශෝචනීය සිද්ධිය. ඒ සිද්ධියයි අපි හැමවෙලාවේම උත්සාහවත් වෙන්නේ ලෝකයට පෙන්නන්න දුක හදාගෙන, දුක් විඳින්න, දුක පවත්වන්නේ, දුක ඉතිරි කරන්නේ තමන්මයි කියලා.
තමන් බුද්ධිමත් වුනොත්, තමන් ඇස් ඇත්තෙක් වුනොත්, නුවණැත්තෙක් වුනොත්, දුක හැදුනු ක්‍රමය පෙන්නලා දුක තමන් තුළ ඉතුරු කර නොගෙන, දුකෙන් හා දුක් විඳින්නන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් කියන කාරණාව අපි මතක් කළා. දැන් 'දරුවා' ගැන සිහිකරලා අපිට දුක් විඳින්න පුළුවන්. හැබැයි දුක් විඳින්න අපිට පුළුවන්කම තියෙන්නේ බාහිර දරුවෙක් ඉන්න නිසා නැත්තම් එහෙම හිටපු නිසා.
~~ අට ලෝ දහමෙන් කම්පාවෙන මනසක් හැදුන හැටි ~~
ඉන්න නිසා, හිටපු නිසා, 'හිටපු දරුවා' හෝ 'ඉන්න දරුවාව' සිහිකරලා වෙච්ච ලාභයක් හෝ අලාභයක් හෝ යසසක්, අයසක්, නින්දාවක්, ප්‍රශංසාවක්, සැපක්, දුකක් කියන ධර්මතා අටෙන් එකක් ඊට ආරෝපණය කරගෙන සතුටු වෙන්න හෝ දුක් වෙන්න පුළුවන්. සතුටක් ඇතිවුනත් ඒ සැප නැතිවීමේ දුක විඳින්න වෙනවා. දුකක් වින්ඳොත් දුක ලැබීමම දුකක්. සැපයි දුකයි දෙකෙන්ම අරමුණක් සිහිපත් කරගැනීම නිසා අපි යථාර්ථ වශයෙන් විඳිලා තියෙන්නේ දුකක්.
එහෙනම් අපි දැන් මොකක්ද මෙතනදී කටයුත්තේ?
අපි මේ අරමුණ ලිහලා, විවෘත කරලා පෙන්නුවේ නැතිනම්, තවත් විදිහකින් කිවහොත් දුක පිරිසිඳ දැක්කේ නැතිනම් දුක කියන එක ඇත්තක්ම වෙනවා. බුදුරජාණන් වහන්සේ දුක පිරිසිඳ දකින්න, සමුදය ප්‍රහාණය කරන්න, දුකේ නිරෝධය සාක්ෂාත් කරගන්න කියලා කිව්වේ, ඔය කාරණාව නිසායි.
දුක විමසීමකට ලක් කළොත්, හොඳට ලිහලා, විසුරුවලා පෙන්නුවොත් දුක පිරිසිඳ දකිනකොට ඉබේම දුක ඇතිකරන්න පුළුවන් තණ්හාවක් කෙලේසයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය වෙනවා විතරක් නෙවෙයි, දුක කියන එක නිරුද්ධ වෙනවා, අන්තරදහන වෙනවා, දුක් විඳින්න සිද්ධාන්තයක් ඉතුරු වෙන්නේ නැතිවෙනවා.
පින්වතුනි, අපි බලමු 'දරුවා ලෙඩවෙච්ච' හෝ 'දරුවා මැරුණු දුක' හෝ දරුවා සිහිකරලා අපි දුක් විඳිනවා නම්, එහෙම පුළුවන්කමක් තියෙන්නේ 'බාහිර දරුවෙක් හිටිය නිසා හෝ ඉන්න නිසා, ( මේ ආකාරයෙන් අනික් අරමුණු සදහාත් ආරෝපණය කරන්න) ඒවගේම ඕනම වස්තුවක් තිබුනු නිසා හෝ තියෙන නිසා. දැන් අපි නුවණින් ඒ අරමුණ පිරිසිඳ දකින්න හදනවා.
~~ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ~~
අපි කියමු, 'දරුවා' කියලා සිහිවෙනකොටම, වෙනදාට වගේ සිහිවෙලා අනේ 'හිටපු දරුවා', 'ඉන්න දරුවා' කියලා ඇත්තම වෙලා එක පාරටම විලාප දෙන මට්ටමට නැත්තම් සිහි කරගත්ත අරමුණ පිළි අරගෙන ඒක වැළඳගන්න මට්ටමට යන්නේ නැතුව, සිහි ඇතිව නුවණ ඇතිව අපි සිහිකර ගත්ත අරමුණ නුවණින් මෙනෙහි කටයුතුයි.
ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළවෙන්නේ, කල්‍යාණමිත්‍ර ඇසුරෙන්, සද්ධර්ම ශ්‍රවණය තුළින් ඔබට කියලා දෙන්නේ ඔය පණිවිඩය. යම් අරමුණක් ඔබට සිහිවෙච්ච ගමන්ම මෙච්චර කාලයක් කළේ, ඒ සිහිවෙච්ච අරමුණ තුළ නැවත සසරට හේතුවෙන විදිහට එක්කෝ රාග, ද්වේශ, මෝහ හදගන්නවා, දුක ඇතිකරන හේතුව හදාගන්නවා වගේම ජරාමරණ දුකත් වැඩෙනවා. (දුකයි, දුක්ඛසමුදය කියන දෙක හදාගන්නවා) එහෙම කරන්නේ නැතිව මෙන්න මේ විදිහට කරන්න කියන කාරණාව පෙන්නන්නේ.
සද්ධර්ම ශ්‍රවණය තුළින්, කල්‍යාණ මිත්‍ර ඇසුරින් නැතිනම් බුදුරජාණන් වහන්සේලා පහළවුනේ / පහළවෙන්නේ මේ පණිවිඩය කියලා දෙන්නමයි. ධර්මය ශ්‍රවණය කරනවා කියන එකේ අර්ථයම ඕකයි. 'දරුවා' සිහිවුනහම අන්න කල්‍යාණ මිත්‍ර ඇසුරෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන් ඉගෙනගන්න ලැබුනා අරමුණක් සිහිවෙච්ච ගමන්ම වෙනදා වගේ ඒකට ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැතුව ඒක හොඳට නුවණින් විමසන්න කියලා.
ඊටපස්සේ තමන් සිහිපත් කරනවා 'දරුවා' කියලා මට හිතට සිහිකරන්න පුළුවන්කමක් හැදුනා. ඇත්තටම 'දරුවා' කියලා සිහිකරන්න පුළුවන්කම ඇතිවුනේ කොහොමද කියලා හොඳට තමන් ටිකක් හිතනවා. නුවණින් බලනවා, 'මම දරුවෙක් හිටියා/ ඉන්නවා' කියලා යම් රූපයක් දිහා බලාගෙන ඒ රූපයට හිත නැඹුරු කරලා මම හැමදාම හිතුවා, හැමදාම ආදරය කළා, හැමදාම ඒ කෙනාට කරදර වුනා කියලා දුක් වින්ඳා.
ඇත්තටම මම සතුටු වෙච්ච, දුක් වෙච්ච ඒ රූපයේ ස්වභාවය මොකක්ද කියලා හොඳට පෙන්නනවා. ඇත්තටම එහෙම පෙනුන රූපයක් තියෙනවා නම් කෙස් ලොම් නිය දත් සම් මස් නහර.... කියලා එකින් එකට, එකින් එකට ඉතාමත් වේගයෙන් නැතිව, ඉතාමත් හෙමිනුත් නෙවෙයි, අර්ථය වැටහෙන විදිහට තමන් ටිකක් හෙමීට හිතනවා. හිතුවහම තමන්ට හම්බවෙනවා කලාප වශයෙන්, කොට්ඨාශ වශයෙන් නිමිති වශයෙන් ගන්න පුළුවන් ලකුණු තිස් දෙකක්.
කෙස් ලොම් නිය දත් සම් මස් ... කියලා පඨවි ස්වභාවයෙන් යුක්ත කොටස් 20 කුත්,
පිත් සෙම් සෙරව.... කියලා ආපෝ ස්වභාවයෙන් යුක්ත කොටස් 12 කුත්,
ඊටපස්සේ මේ හැම කොටසක්ම හැදෙන්නේ කන බොන ආහාරයෙන් නේද කියලා හිතන්න පුළුවන්. මෙන්න මෙබඳු වූ රූපයක හැඩ සටහනක් නේද ඇස් ඉදිරිපිටට ආවේ, පෙනුනේ. ඒ පෙනෙන රූපයට, 'මේ මගේ පුතා', 'මේ මගේ එකම දරුවා', 'මගේ දරුවාව මම මෙහෙම හදාගන්න ඕනේ' කියලා හිතනවා. ඕකට කියනවා ''අනුබන්ධන චිත්තවීථි'' කියලා. සිය දහස් වාරයක් වුනත් අරමුණක් අරභයා හිත මෙහෙයවන්න පුළුවන්. ඒ විදිහට හිතන වාරයක් වාරයක් ගානේ 'ඒ රූපය මෙහෙම කෙනෙක්', 'ඒ රූපය මේ වගේ දෙයක්' කියන එකෙන් හිත දැනුවත් වෙනවා.
ඇස් ඉදිරිපිටට ආපු, කනබොන ආහාරයෙන් හැදුනු කුණුප කොටස් තිස් දෙකකින් යුක්ත ධාතු මාත්‍රයක් වූ රූපයට තණ්හාව ඇතිවෙන, පුද්ගලභාවය ඇතිවෙන, සත්ත්වභාවය ඇතිවෙන විදිහට හිත හැසිරෙව්වහම 'මේ මගේ දරුවා' කියලා, හිත හසුරවපු ක්‍රමයයි, අර පෙනුන රූපයයි දෙක එකතු කරලා 'මගේ දරුවා' කියන දැනුමක් ඇතිවුනා. ඒ දැනුම නේද මේ සිහිකරන්නේ සිතින් කියලා තමන්ට බලන්න පුළුවන්.
එයාට කාලයක් යනකොට නුවණක් එනවා, තමන්ට 'දරුවා' කියලා සිහිකරන්න පුළුවන්. ඒ මොකද? හිතට එහෙම අත්දැකීමක් තියෙන නිසා හිතේ අත්දැකීම හිතට සිහිකරන්න පුළුවන්. හැබැයි හිත එහෙම සිහිකරද්දිත් බාහිර භෞතිකය තුල කිසිම දවසක එහෙම කෙනෙක් හිටියා නෙවෙයි, ඉන්නවා නෙවෙයි. ඉඳලාවත් නැහැ කියන නුවණක් තමන්ට එනවා.
ඒ කියන්නේ දුක් විඳින්න දුක කියන එක ඉතුරු වෙන්නේ නැහැ ඒ කියන්නේ අතීතයේදීත් ඇස් ඉදිරිපිටට ඇවිල්ලා තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක්. ඔන්න 'රූපය කෙනෙක්' කියලා පනවන්න බැහැ.
ඊටපස්සේ ඒ රූපයට 'මේ මගේ දරුවා නේද, මට කවදාහරි උදවුකරන කෙනා, එයාට මම මේ විදිහට යුතුකම් උපකාර කරන්න ඕනේ' කියලා රූපය ඇස් ඉදිරිපිට තියාගෙන අපි හිත හැසිරෙව්වහම, ඒ හිත හසුරවන ආකාරයෙනුත් 'දරුවා' නෙවෙයි. ඒක අපි ගාව තියෙන චෛතසිකවල (සිතුවිලිවල) කෘත්‍යයක්.
අපි හිත හසුරුවන ආකාරයකට අනුව අර රූපයට, 'විඤ්ඤාණය මායාකාරයා' වෙලා පැත්තක ඉඳන් නිර්මාණය කරගන්නවා, මේ හිතන හිතන ගානට අර රූපය ආදේශ කරකර මේ නාමයයි, මේ රූපයයි කියන දෙකම එකතු කරලා 'මෙබඳු කෙනෙක්', 'මෙබඳු දෙයක්', 'මේ විදිහට උපකාර කරලා', 'මෙයා මගේ ආදරණීය පුතා' කියකියා හිතන හිතන ආකාරයට දැනුමක් එකතු වුනහම, ඒ අරමුණේ තියෙන දැනුම් ඔක්කොම එක නිමිත්තකට ගන්න පුළුවන්.
දැන් අපි හිතින් 'දරුවා' කියලා සිහිකරනකොට හිතට ලැබුන, හිතේ තියෙන අත්දැකීම සිහිපත් කරන්න පුළුවන්. සිහිකරලා කල්ප ගණනක් වුනත් තියාගෙන අඬන්න වැළපෙන්න වුනත් පුළුවන්. කිසිදවසක ඒකට මොකුත් වෙන්නේ නෑ. හරියට අපි ගහක් කොළක් තියෙනවා නම් ඒක වීඩියෝ කරලා, පටිගත කරලා තියාගත්තා වගේ, ඒ ගහ මොනතරම් කොළ හැළිලා වේලිලා කුමන විදිහට තිබුනත්, අර පටිගත කරපු සිද්ධිය තියෙයි.
~~ දුක්ඛ සත්‍යය පනවපු තැන ~~
ඒවගේ විඤ්ඤාණඨිතිය (විඤ්ඤාණයේ පැවැත්ම) කියන එක හේතු වුනහම ඒ ආරම්මණය සිහිකරකර සිතට පවතින්න පුළුවන්. ඔන්න ඔය සිතට පවතින්න පුළුවන් තැන තමයි බුදුරජාණන් වහන්සේ 'දුක්ඛසත්‍යය' හැටියට පැනව්වේ. දැන් කෙනෙක්ව සිහිකරලා දුක්විඳින්න පුළුවන්. ඔබ මේ ජීවිතේ පමණක් නෙවේ, මතු සසරෙදී හෝ කවදාහරි දවසක දුක පිරිසිඳ දැක්කොත් විතරමමයි දුක ඇතිකරන තණ්හාව හා විඳින්න තියෙන දුක ඔබට අහෝසි වෙන්නේ. හොඳට ඒ කාරණාව මතක තබාගන්න ඕනේ.
0 Comments