පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු 3
~~ විදර්ශනා කරන්නේ කොහොමද~~
අපි විදර්ශනා කරනවා කියලා කරන්නේ මොකක්ද? දුක පිරිසිඳ දකින්න උත්සාහවත් වෙන එක. මේ විදිහට 'දරුවා' කියලා මට සිහිකරන්න පුළුවන්කම ඇතිවුනේ කොහොමද කියලා අපි බලන්න යනවා කියලා කියන්නේ ඒ දුක පිරිසිඳ දකින්න යන්නේ.
ඇයි ඒ?
මෙච්චර කල් දුක් විඳින්න මට 'කෙනෙක් ඉන්නවා'.( මමත් ඉන්නවා, දරුවෙකුත් හිටියා,) ඉන්න තාක් මම හිතහිතා දුක් විඳිනවා. එයාට වෙච්ච අසාධාරණකම්, අකටයුතුකම්, හිංසා, පීඩා මේ ඔක්කොම අරභයා මට දුක් විඳින්න පුළුවන්කම තියෙයි. ඒ නිසා දැන් අපි 'දරුවා' කියලා සිහි කරලා දුක් විඳින්න පුළුවන් අරමුණ පිරිසිඳ දකිනවා.
'දරුවා' කියන එක හැදුනේ කොහොමද?
i) රූපය මොකක්ද,
ii) ඒ රූපයට හිත හසුරවපු ආකාර මොනවාද (නාමය)
ඒ රූපයත්, නාමයත් කියන දෙක නිසා දැනගැනීමක් ඇතිවුනා, 'මේ රූපය දරුවා' කියලා. ඒ දැනගත්ත දේ සිහි කරන්න පුළුවන්. මේ සිහි කරන්න පුළුවන්කම විඤ්ඤාණයේ මායාවක්. හැබැයි ඒක හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා, අතීතයට යනකොට මේ දුක හැදුන හැටි බලනකොට, දුක පිරිසිඳ දකිනකොට, දරුවෙකුට තණ්හා කරලා සසරට නැවත යන්න තණ්හාව ඉතුරු වෙන්නේ නැහැ. තණ්හාව ප්‍රහාණය වෙනවා.
දරු තණ්හාව කියන එක ඉතුරු වෙන්නේ නැහැ. ඒවගේම දුක නිරුද්ධ වෙනවා. දරුවා ලෙඩවෙලා, මහලුවෙලා, මරණයට පත්වෙලා දරුවාට ගහලා බැනලා නින්දා අපහාස කෙරුවා කියන දුක් ටික ඔබට විඳින්න ඉතුරු වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔබට හිතට සිහි කරන්න පුළුවන් වුනාට දරුවෙක්ව, අන්තිමට ඒක හිතේම මායා ස්වභාවයක් මිසක ඒක සත්‍ය ස්වභාවයක් නෙවෙයි කියන එක ඔබටම හසුවෙලා තියෙනවා.
මොකද, ඔබ සිහිකර ගත්ත අරමුණ විමර්ෂණයකට භාජනය කළහම එහෙම දෙයක් මේ ලෝක ධාතුව තුළ තිබිලාත් නැහැ, තියෙනවාත් නෙවෙයි නිසා. අන්න දුක කියන එක නිරුද්ධ වුනා, සමුදය ප්‍රහාණය වුනා.
~~බැනුමක් නිසා දුක එනකොට~~
ඒවගේ ඔබ පැත්තකට ගිහිල්ලා යම් යම් දේවල් ඔබට දුක එනවා කියලා හිතෙන දෙයක් සිහි වුනා - අපි කියමු තව කාටහරි 'මම මේ වචන කියපු නිසා මට හරි ලජ්ජාවක් වුනා නේ' කියලා ඔබට හිතෙන්න පුළුවන්. එතකොට ඔබට ඒ දුක, ඔබත් ඉන්න නිසාත්, යම් වචනයක් කියපු කෙනාත් ඉන්න නිසා ඔබට නැවත නැවත හිතහිතා ලැජ්ජා වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්. ඔබ ඒ දුක පිරිසිඳ දකින්න යන්න.
දුක පිරිසිඳ දකින්න ගියහම, ඒ නිසා ඇතිවෙන යම් කෙලේසයක් තියෙනවා නම් ඒකත්, ඒ නිසා එන දුකක් තියෙනවා නම් ඒකත් නැතිවෙලා යනවා. 'අපරාදේ මම අර මනුෂ්‍යයාට මේ මේ විදිහට බැන්නේ' කියලා ඔබට පසුතැවීමක් ඇතිවෙනවා නම්, ඒ පසුතැවීම කියන්නේ දුකක්. ඒ පසුතැවීම ඇතිවෙන්නේ, පසුතැවෙන්න ඔබ ඉතුරු කරගෙන කෙනෙක්ව හෝ දෙයක් තියාගෙන ඉන්න නිසායි. ඒ නිසා හොඳම දේ තමයි ඒ පසුතැවෙන්න තියෙන අරමුණ පිරිසිඳ දකින්න යන්න.
ඇත්තටම කනට ඇහුන ශබ්දයක් තියෙනවා නම්, ශබ්ද රූප මාත්‍රයක්. නොදන්නා භාෂාවකින් යමක් කතා කළොත් ඒක අපි දන්නේ නෑ නේ. අන්න ඒ වගේමයි හැම ශබ්දයක්ම. ඒ ශබ්දය ඇහෙනකොට, ඒ ශබ්දයට, මේ මේ විදිහට මේ මේ වචන වලින් මට මේ මනුෂ්‍යයා බනිනවා නේද කියලා අපි හිත හැසිරෙව්වහම, අපි හිත හසුරුවපුකමයි ඒ ශබ්දයයි දෙකම එකතුවෙලා බැනුමක ශබ්දයක් ඇහෙනවා.
ඊටපස්සසේ බැනුමක ශබ්දයක් හදාගෙන 'මට බැන්නා නේද' කියලා දෙවනුවට අපිත් වචනයක් කතා කරනවා. මෙහෙම නේද බැනුමක් හදාගෙන බැනුමකට දුක්වෙලා තියෙන්නේත්, බැනුමකට බැනලා තියෙන්නෙත් නේද කියන කාරණාව දකිනකොට බැන්නා කියන එක සිහි කරන්න පුළුවන් මට හිතට. හැබැයි ඒක ඇතිවෙච්ච හැටි බැලුවොත් මට දුක් විඳින්න බැනුම කියන එකක් ඉතුරු වෙන්නේ නැහැ. තවත් ඒක විමර්ශනය කරන්න පුළුවන්.
• යම්කිසි කෙනෙක්ට සුඤ්ඤත ශබ්ද මාත්‍රයකට බැනුමක්වෙන ආකාරයකට තමන් හිත මෙහෙයවලා බැනුමක් හදාගත්තා කියලා බලන්නත් පුළුවන්. ඔන්න එක ආකාරයක්.
• තව පැත්තකින් ගත්තොත්, එතන කන බොන ආහාරයෙන් හැදුනු කෙස් ලොම් නිය දත් සම් මස් නහර කියන කුණුප කොටස් ටිකෙන් යුක්ත රූපය මළ මිනියක් වගේ. ඒ රූපයට බනින්න බැහැ. එහෙම නම් යම් වෙලාවක පටිඝ සම්ප්‍රයුක්ත (අමනාපය හා යෙදුනු සිත) සිතක් උපන්නහම, ඒ සිත නිසා වචනයක් කතා කළහම, ඒ සිත නිරුද්ධ වෙනකොටම කතා කරපු වචනයත් නිරුද්ධ වෙනවා.
එතකොට ඊටපස්සේ වෙන සිතක් දැන් ඉපදිලා ඇති - (කුසල් සිතක් වෙන්නත් පුළුවන්, විපාක සිතක් වෙන්නත් පුළුවන්), ද්වේශ සහගත සිත නිසා යම් වචනයක් කිව්වා නම්, ඒ සිත නිරුද්ධ වෙනකොටම ඒ වචනයත් නිරුද්ධ වෙනවා මිසක ඒ වචනය කොහෙවත් තියෙන්නෙත් නැහැ. ඒ වචන කියපු එකම හිතක් තියෙන්නෙත් නැහැ. එතකොට බැනපු පුද්ගලයා නාම කයෙන්වත්, රූප කයෙන්වත් දෙකෙන් එකකින් වත් මේ වෙලාවේදී එයාට දකින්න හම්බවෙන්නේ නෑ. අන්න එතකොටත් අර අමනාපය, අකැමැත්ත, බැනපුකම කියන අරමුණ තමන්ට නිරුද්ධවෙලා යනවා, දුරුවෙලා යනවා. ඒකට දුක් විඳින්න වෙන්නෙත් නැහැ.
~~ දුක හදාගෙන දුක් විඳින අපි ~~
මට මෙතනදී පෙන්නන්න ඕනේකම තිබුනේ ''පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු'' කියන එකෙන් එක කාරණාවක්. 'පෙර නො ඇසූ විරූ ධර්මයක්' කියලා තථාගතයන් වහන්සේ පෙන්නුවේ ලෝකයේ අපි දුක් විඳින්නේ දුක හදාගෙන, දුක පවත්වමින් කියන එක පෙන්නන්නයි. ඒක තමයි තථාගතයන් වහන්සේ දැක්කේ. ඒ කියන්නේ ලෝකය තුළ සිද්ධිය තමයි තමන්ගේ උත්සාහයක් නැතත් තමන්ට ඉබේම දුක පහළවෙලා දුක තියෙනවා.
ඒ දුකට තමන්ව පතිතවෙලා තමන්ට දුක් විඳින්නෙක් වෙන්න වෙලා වගේ කියන තැනකින් තමයි තියෙන්නේ. තමන්ට කිසිවක් කියන්න කරන්න බැහැ. ලෝකයා අතේ තමයි තමන්ගේ සැප දුක කියන එක තියෙන්නේ කියන තැනකින් තමයි ලෝකයේ දර්ශනය තියෙන්නේ. ඒවගේම දුක කියන එක තමන්ටත් අනිත් අයටත් වෙච්ච / වෙන දෙයක් හැටියට ආත්මීව හිතන්නේ..
නමුත් බුදුරජාණන් වහන්සේ, 'දුක කියන එක පුද්ගලයෙක්ගේවත් කෙනෙක්ගේවත් නෙවෙයි, දුක හේතුප්‍රත්‍යයි' කියලා පෙන්නනවා හොඳට පටිච්චසමුප්පාද ධර්මය හරහා දුක කියන එක ඇතිවුනේ මෙහෙමයි කියලා. කර්ම, විපාක, කෙලෙස් කියන කාරණාව නිසා දුක් වූ ලොකය හැදුන හැටි.
දැන් ඒ හැදුනු ලෝකය සිහිපත් කරකර දුක්විඳින හැටි: "භව පච්චයා ජාති. ජාති පච්චයා ජරාමරණ" කියන්නේ දුක පවත්වන තැන. අවිද්‍යා කර්මයට විපාක ටිකක් හැදිලා. විපාක ටිකට කෙලෙස් ටික යෙදිලා භවය හැදුනා කියන එකෙන් පෙන්නන්නේ දුක හදාගත්ත හැටි.
"භව පච්චයා ජාති, ජාති පච්චයා ජරාමරණ" - හදාගත්ත දුක පරිස්සම් කරලා තියාගෙන ඒක ඇත්ත කරගෙන අවස්ථාවට දුක් විඳ විඳ නැවත නැවත ආරක්ෂා කරලා තියාගන්න එකට තමයි ජාති ජරාමරණ කියලා කියන්නේ.
ඉතින් අපිට දුක එපා නම්, දුක ඕනේ නැත්තම්, දුක් විඳින එකෙන් ඉවත්වෙන්න ඕන නම් එක දෙයයි කරන්න තියෙන්නේ. දුක ඉතුරු කරගන්න එපා, දුක පවත්වන්න එපා, දුක පිළිගන්න එපා, දුක විධ්වංශනය කරන්න, දුක නිරුද්ධ කරන්න. දුක ඇතිකරන තණ්හාවක් (දරු තණ්හාවක් වෙන්න පුළුවන්, රන් රිදී මුතු මැණික් මිළ මුදල් වලට තණ්හාවක්) තියෙයි නම්, ඒ තණ්හාව තියෙන්නේ රන් රිදී මිළ මුදල් තියෙන නිසායි. දුවා දරුවන්ට තණ්හාව තියෙන්නේ දුවා දරුවෝ ඉන්න නිසායි.
සසර නැවත යන්න තණ්හාව හැදෙන්නෙත්, ඒවගේම දුවා දරුවෝ නිසා, රන් රිදී මුතු මැණික් ඉඩ කඩම් නිසා එන දුකක් තියෙනවා නම් ඒ දුක විඳින්න වෙන්නෙත්, ඒවාට තණ්හා ඇතිවෙන්නෙත් ඔබ දුක තියාගෙන ඉන්න හින්දයි, තණ්හාව ඇතිවෙන අරමුණු තියාගෙන ඉන්න හින්දයි. එහෙම තියාගන්න පුළුවන් වුනේ, තියාගත්තේ දුක පිරිසිඳ දැක්කේ නැති නිසායි. පිරිසිඳ දකින්න උත්සාහවත් නොවූ නිසායි.
~~ දුක්ඛ නිරෝධය නිවනයි ~~
ඒ නිසා අද දවසේදී බොහෝම කල්‍යාණ මිත්‍ර භාවයෙන් ඔබට මට යමක් මතක් කරන්න පුළුවන්, ඒකාන්තයෙන්ම මේ උපායෙන් සියලු දුක් සහගත බවෙන් ඔබට එතෙර වෙන්න පුළුවන්. නිවන කියලා කියන්නේ දුක තියෙද්දී තමන් නිවන කියන එකට පත්වෙනවා නෙවෙයි, දුක පිරිසිඳ දැක්කහම දුක ඇති කරපු හේතුව නැතිවෙලා දුක නිරුද්ධවීමම නිවනයි. දුකේ නිරෝධය නිවනයි කියලා දකින්න.
ඔය විදිහටම ඔබ ආධ්‍යාත්මික පැත්තටත් නැඹුරුවෙලා දුක් විඳින තමන්ව ඉතුරු කරන්න එපා. මේ කය මම, මේ ඇහැ, කන, නාසය, දිව ශරීරය 'මම', 'මගේ' කියලා හිතට සිහිකරන්න පුළුවන්කමක් හිතට ඇවිල්ලා තියෙයි, විඤ්ඤාණයේ අත්දැකීමක් තියෙයි. 'මේ කය මම' කියලා හිතන්න පුළුවන්, සිහිකරන්න පුළුවන් මේ දැනුම ඇතිවුනේ කොහොමද කියලා හිතන්න.
යම් දවසක කණ්ණාඩියක් ඉදිරිපිටට හෝ වේවා, මේ ශරීරය බලාගෙන හෝ වේවා 'මේ මම' කියලා, 'මගේ' කියලා, 'මගේ ආත්මය' කියලා අපි හිත හැසිරෙව්වහම, අපි හිත හසුරුවපු ආකාරයත් + මේ රූපයත් දෙකම එකට එකතු කරලා 'මේ රූපය මම' කියලා දැනුමක් ඇතිකර ගන්නවා.
නැවත කණ්ණාඩිය ඉස්සරහට ගියත් ක්ෂණිකව ඒ රූපය දකිනකොටම අර දැනුම (මේ රූපය මම) සිහිපත් කරගන්නවා. පත්තරයක තිබුනත්, රූපයක් දකිනකොටම මේ දැනුම (මේ රූපය මම) සිහිපත් කරගන්නවා. වීඩියෝ පටියක රූපයක් දකිනකොටම අර දැනුම (මේ රූපය මම) සිහිපත් කරගන්නවා.
දැන් අපි දන්නේ නැත්තම් මේ හදාගත්ත දේ වමාරලා කනවා නැත්තම් සිහිපත් කරගන්නවා නේද 'භව පච්චයා ජාති' නේද, භව වෙලා තියෙන කාරණාවම නැගිටිනවා නේද කියලා දන්නේ නැති වුනහම කඩදාසියේ රූපයටත් 'මගේ රූපය' කියනවා. කණ්ණාඩියේ රූපයටත් 'මගේ රූපය' කියනවා. වීඩියෝ පටයේ රූපයටත් 'මගේ රූපය' කියනවා.
ඒ රූපය දකිනකොට 'මගේ රූපය' කියන හැඟීම නැගිටිලා නේද මේ තියෙන්නේ කියන කාරණාව අපිට අවබෝධ වුනොත් එහෙම රූපය මම නෙවෙයි, රූපය මහාභූතයි උපාදාය රූපයි, රූපය කඩදාසි කොළයක්, දත්ත ටිකක්, වීඩියෝ පටයක්. ඒක දකිනකොට මෙහෙම අදහසක් ඇතිවුනා නේද කියන නුවණක් ඇතිවුනොත් එබඳු නුවණ මත සම්පූර්ණ ලෝකයෙන්ම මිදෙනවා. ජරාමරණ සියලු දුකින් නිදහස් වෙන්න ඒ උපාය ඔබට උපායක්ම වෙනවා.
පින්වතුන්ට මට මේ අවස්ථාවේදී පැහැදිලි කරලා දෙන්න ඕනේකම තිබුනේ: දුක විඳින්න වුනේ අනන්ත සංසාරයේදී, දුක කියන එක නැති කරගන්න, නිරුද්ධ කරගන්න අපි දන්නේ නැති හින්දයි. දුක නිරුද්ධ කරන්න උපාය අහගන්න, ඒ උපාය කියලා දෙන්න කෙනෙක් නැති හින්දයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක නැති කරන්න පුළුවන් එකක්, දුක නිරුද්ධ කරන්න පුළුවන් එකක්. ඒක කරන්න පුළුවන් දුක පිරිසිඳ දැකලා, දුක ඇති කරන තණ්හාවත් නැති කරලා දුක කියන එක නිරුද්ධ කරන්න පුළුවන් කියන පණිවිඩය කියලා දෙන්නයි මේ ආවේ.
~~දුක අයින් කරගමු ~~
ඉතින් එහෙම තියෙද්දී, වෙන අමුතු නිවන් දකිනවා කියන එකක් හොයන්න එපා, හිතන්න එපා, දුක කියන එක පිළිගන්න එපා, දුක කියන එක තබාගන්න එපා. දුක කියන එක පිළිගත්තොත්, දුක කියන එක තබාගත්තොත්, දුක පිළිගත්ත නිසා, තබාගත්ත නිසා අපිට හැමදාම දුක් විඳින්න වෙයි. ඉතින් ඔබට දුක එපා නම්, දුක අකැමැති නම්, දුක අයින් කරගන්න ඕනේ නම් ඔබ දුක නිරුද්ධ කරන්න. දුක පිළිගන්න එපා. ඒකට තියෙන එකම ක්‍රමය දුක පිරිසිඳ දකින්න.
ඔබට යම්ම දුකක් එන දැනුමක් තියෙයි නම්, ඒ සිහිවෙන දැනුම, සිහි කරන්න පුළුවන්කම ඇතිවුනේ කොහොමද, ඒ ඇතිවෙච්ච තැනක තිබුනා නම් තිබුනේ, තියෙනවා නම් තියෙන්නේ මොනවාද කියන ටික පෙන්වන්න. ඇති වුනේ කොහොමද? ඒ ක්‍රමය තමයි පටිච්චසමුප්පාද සිද්ධිය. එහෙම ඇතිවෙච්ච තැනක තිබුනා නම් තිබුනේ, තියෙනවා නම් තියෙන්නේ මොනවගේ ධර්මතාවයක්ද කියන ටික පෙන්නන්න. අන්න ඒ ටික පෙන්නනකොට කිසිදු වෙහෙසක්, කිසිදු ගැටලුවක්, අපහසුවක් නැතුව දුක කියන එක දුරුවෙලා යයි.
එහෙනම් පින්වතුනි අද දවසේදී මම මේ පෙන්නපු දහම් කරුණු ටික හොඳට අහලා, හොඳට නුවණින් මෙනෙහි කරන්න. ජීවිතයෙන් දුක කියන එක නොරැඳී සම්පූර්ණයෙන් නිරුද්ධවෙලා යයි. ඒ විදිහට මෙනෙහි කිරීමට උපකාරී පිණිස චිත්ත සමථයක් - ආනාපානසතිය, බුදුගුණ, අසුභය, මරණාදි චිත්ත සමථයක් ඇතිවෙන කමටහනකුත් වඩන්න.
ඒ චිත්ත සමාධිය ඇතිකර ගැනීමට උපකාරී පිණිස කායික වාචසික සංවරයක් ඇතිකර ගන්න. සුදුසු පරිදි ශීලයක පිහිටන්න. ශීලයක පිහිටලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිකර ගැනීමට උත්සාහවත් වෙමින්, තමන්ට දුක් විඳින්න තියෙන අරමුණු එකින් එක එකින් එක සිහිපත් කරකර පිරිසිදු කරන්න. අන්න එතකොට දුක කියන එක නිරුද්ධවෙලා දුකේ නිරෝධය ඔබට මේ ජීවිතය තුළදීම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව හේතු උපනිශ්‍රය වේවා කියලා ආශිංසනය කරනවා!
හැමදෙනාටම තෙරුවන් සරණයි!
දේශනාව නිමි
0 Comments