මහාපුණ්ණම සුත්‍රය 1
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස!!!
ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම කෙනෙක්ම ඉතාම ශ්‍රද්ධාවෙන් අද දවසේදී උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම්වෙන මොහොත. පින්වතුනි, මේ කාල වකවානුව මුළු සමස්ථ ලෝකයම එක පැත්තකින් බොහෝම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණපාලා සිටින අවස්ථාවක්. ඒ වගේම ධර්මය තුළ හැසිරෙන කෙනෙකුට ඒ ධර්මය පිළිබඳව මනසිකාරය පවත්වන්නටත් ඉතාම වැදගත්වන කාල පරිච්ඡේදයක්. බුදුරජාණන් වහන්සේ අඞ්ගුත්තර නිකායේදී දේශනා කරනවා - ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමකට ආරණ්‍ය වාසය තුළින් ලැබෙන එක ආනිශංසයක් විදිහට, කැලේ ඉන්නකොට ජීවිතයට හානි වෙන්නට තියෙන ඉඩකඩ අවස්ථාවන් බොහෝම වැඩියි.
ඒ ජීවිතයට හානි වෙන්නට තියෙන ඉඩකඩ අවස්ථාවන් බොහොම වැඩියි කියන එක සම්මර්ශනය කරලා, මෙනෙහි කරලා අප්‍රමාදී වන්නට කටයුතු කරගන්නට පුළුවන් කියලා. ඉතින් එක පැත්තකින් ඒ ආනිශංසයම - ඒ කියන්නේ විපත සම්පතක් කරගන්න පුළුවන්කම තියෙනවා ප්‍රඥාවන්තයෙක් සඳහා. බුද්ධ ශාසනය තුළ අපි කතාබහ කරන්නේ කායික වශයෙන් ලෙඩ නොවී සිටීමකට වඩා මානසික වශයෙන් අපි රෝගාතුර නොවීමක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා දවසක් මාගන්දිය බමුණා ඇවිල්ලා ප්‍රශ්න කළ අවස්ථාවකදී, බුදුරජාණන් වහන්සේ හා සමග ඇතිවුන සාකච්ඡාව අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ
''ආරොග්‍යාපරමා ලාභා - නිබ්බානං පරමං සුඛං
අට්‌ඨඞ්‌ගිකො ච මග්‌ගානං, ඛෙමං අමතගාමින’’න්‌ති.''
(මාගන්දිය සූත්‍රය - ම. නි. පරිබ්බාජක වග්ගො).
“ආරෝග්‍ය බව පරම සම්පතයි. නිවන පරම සැපයයි. ආර්ය අෂ්ටාඬ්ගික මාර්ගය එහි ගමන් මඟයි” කියන මේ ගාථා රත්නය මාගන්දිය සූත්‍රය තුළදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ අවස්ථාවේදී මාගන්දිය බමුණුතුමා බොහෝම සතුටින් ඒක අනුමෝදන් වුනා. බොහෝම සතුටින් ඒ පිළිබඳව කතා කළා - "ඒකාන්තයෙන්ම සුභාෂිතයක්, නිවැරදිම වචනයක් තමයි ඔබවහන්සේ දේශනා කළේ" කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා ‘ඇයි බමුණ එහෙම කියන්නේ'? ‘ස්වාමිනි, ''ආරොග්‍යාපරමා ලාභා'' කියන එකත්, ''නිබ්බානං පරමං සුඛං'' කියන එකත් අපේ වේද පොත්වලත් දකින්න තියෙනවා’.
ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා, ‘බමුණ, ඔබ මොකක්ද හිතන්නේ ආරොග්‍ය සම්පත්තිය පිළිබඳව? ඔබ මොකක්ද හිතන්නේ නිවන පිළිබඳව?’ කියලා. එතකොට බමුණා තමන්ගේ අතපය හොඳට අතගාමින්, බුදුරජාණන් වහන්සේට කියනවා, ‘ස්වාමිනි, මේ තමයි ආරෝග්‍ය සම්පත්තිය, මේ ආරෝග්‍ය සම්පත්තියම තමයි නිවීමත්, එයමයි ශ්‍රේෂ්ඨ වන්නේත්, පරම ලාභය බවට පත්වෙන්නේ මේ ආරෝග්‍ය සම්පත්තිය, මේ ලෙඩක් දුකකට පත්නොවී ඉන්න එකයි’ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "බමුණ, යම්කිසි කෙනෙක් මේ ලෙඩවෙන කයෙහි මඳකුදු වූ ආරෝග්‍ය බවක් ප්‍රකට කරනවා නම් ඒක නුසුදුසු දෙයක්" කියලා.
ඒ වගේම තවත් එක සූත්‍රයකදී ඔය කාරණාව තවත් ලස්සනට විග්‍රහ කරනවා නකුලපිතු සූත්‍රයේදී නකුලපිතු තුමාට. නකුලපිතු ගෘහපති තුමා බොහෝම වයසට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් ඇවිල්ලා වන්දනා කරලා කියනවා, "ස්වාමිනි, මම හරි වයසයි. ඉස්සර තරම් ප්‍රිය මනාප භික්ෂූන් වහන්සේලා ළඟට එළඹෙන්නටත් මට දැන් බැහැ මගේ වයසත් එක්කම. ඒ නිසා මට කෙටි අනුශාසනාවක් කරන්නට" කියලා මේ ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා. මේ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ගෘහපතිතුමාට අවවාද කරනවා, ‘ගැහැවිය, ඔබ ලෙඩවෙන කයක් ඇතිව, ලෙඩ නොවෙන මනසක් සකස් කරගන්න. මේ විදිහට ඔබ හික්මෙන්න’ කියලා. - (නකුලපිතු සූත්‍රය - සං. නි. ඛන්ධ සංයුක්තයේ - නකුලපිතු වර්ගය)
මේ නකුලපිතු ගෘහපතිතුමා මේ කාරණාව අහලා බොහෝම සතුටට, තුෂ්ටි ප්‍රමෝදයට පත්වෙනවා. බොහෝම සතුටට පත්වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතැනින් පිටත්වෙලා යනවා. එතැනින් පිටත්වෙලා යනකොට, සැරියුත් තෙරුන් වහන්සේ දැකලා අහනවා, "ගෘහපතිය, නුඹට අද භාග්‍යවතුන් වහන්සේ වටිනා ධර්මයක් දේශනා කළාද? ඔබේ ඉරියව් හරි ප්‍රසන්නයි. බොහෝම සතුටින් ඉන්න බවක් පෙනෙනවා. මොකක්ද හේතුව?" කියලා. මේ වෙලාවේදී මේ නකුලපිතු ගෘහපති තුමා කියනවා, "ස්වාමිනි, මට භාග්‍යවතුන් වහන්සේ ලෙඩවෙන කයක් ඇතිව, මනස ලෙඩ කරගන්නට එපා කියලා දේශනා කළා."
අන්න ඒ වෙලාවේදී සැරියුත් තෙරුන් වහන්සේ අහනවා, "ගෘහපතියෙනි, ඔබ අහගත්තාද භාග්‍යවතුන් වහන්සේගෙන් ලෙඩවෙන කයක් ඇතිව, ලෙඩ නොවෙන මනසක් සකස් කරගන්නේ කොහොමද?" කියලා. එහෙමත් නැතිනම් ලෙඩවෙන කය සහ ලෙඩවෙන මනස කියන්නේ මොකක්ද කියලා අහගත්තාද? කියලා’ ඒ වෙලාවේදී තමයි ගෘහපති තුමාට හිතුනේ ‘අනේ මම ටිකක් මේක විස්තර විදිහට අහගත්තා නම් වඩා හොඳයි නේද’ කියලා. මෙහෙම හිතපු ගෘහපති තුමා සැරියුත් තෙරුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා මේ කාරණාව පැහැදිලි කරන්නට.
සැරියුත් තෙරුන් වහන්සේත් ඉතාමත් අපූරුවට දේශනා කළා - ලෙඩවෙන කයක් ඇතිව, ලෙඩ නොවෙන මනසක් සකස් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ලෙඩවෙන කය ඇතිව, ලෙඩවෙන මනසක් සකස්වෙලා තියෙන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරලා දුන්නා. පින්වතුනි, ඉතින් ඒ කාරණාවත් එක්ක අපි අරගෙන බලනකොට වැදගත්ම වෙන දේ තමයි මේ ලෙඩවෙන කය ඇතිව, ලෙඩ නොවෙන මනසක් සකස් කරගන්න එක. ඒ වගේම ආරෝග්‍ය සම්පත්ති ඇති කරගන්න එක.
**කායික රෝගයට වඩා මානසික රෝගය භයානකයි
පින්වතුනි, අපිත් ආරෝග්‍ය සම්පත්තිය කියන එක කියූ සැණින්ම, ලෙඩ නොවීම කියූ සැණින්ම අපි කවුරුත් කල්පනා කරන්නේ එක දෙයයි. ඒ තමයි කායිකව ලෙඩ නොවී ඉන්නේ කොහොමද කියලා. ඒ වගේම කායිකව ආරෝග්‍ය සම්පත්තිය ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කවුරුත් කල්පනා කරනවා. නමුත් බුද්ධ ශ්‍රාවකයෙක් විදිහට, බෞද්ධයෙක් විදිහට, ධර්මය ඇසුරු කරන්න ලැබෙන සත්පුරුෂයෙක් විදිහට අපි තේරුම් ගතයුතු වෙනවා කායික ලෙඩවීමට වැඩිය මානසික ලෙඩවීම කියන කාරණය ඉතාම භයානක දෙයක් කියලා.
කායික ලෙඩවීම සීමා සහිත කාලයකට තමයි පැමිණෙන්නේ. නමුත් මානසික ලෙඩවීම කියන එක බොහෝ කාල සීමාවකට හේතුවන දෙයක්. කායික ලෙඩවීම කියන දේ මානසික ලෙඩවීම හා සසඳා බලනකොට ඉතාමත් සුළුතර දෙයක්. මානසික ලෙඩවීම තුළ කෙනෙකුට එන්න පුළුවන් දුක්ඛ දායක තත්වය ඉතාමත් ශෝචනීයයි, ඉතාමත් භයානකයි. අපි බොහෝ වෙලාවට මේ කයේ ලෙඩවීම පිළිබඳවම කල්පනා කළාට, ඇත්තටම හිතන්නට ඕනේ මානසික ලෙඩවීම පිළිබඳව නේ. කායිකව ලෙඩවීම ඉතාමත් සුළු කාල සීමාවක (අවු. 50, 60 කට) උපරිම ලැබේ. ලෙඩවීම කියන දේ උරුම කරගත්ත අපිට, ලෙඩවීම හිස දරාගෙන ඉන්න අපට, ලෙඩ නොවී ඉන්නවා කියන එක කවදාවත් කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.
එහෙනම් අපිට ලෙඩවීම කියන දේ අද නොවුනත්, හෙට හෝ, ඒ වගේම තව අවුරුදු දහයකින් පහළවකින් වුනත් ඕනෑම අවස්ථාවක අනිවාර්යයෙන්ම මුහුණු දෙන්නට වෙන තත්වයක්. ඒ කායික ලෙඩවීම කියන දේ මේ ජීවිතයට පමණක් සීමාවකට පත් නොවී අනාගතය දක්වාත් ඒ දේ ගමන් කරනවා නම් - ඒ කියන්නේ අනාගතයටත් මේ වගේ දුක්ඛ දායක තත්වයකට අපි මුහුණ දෙනවා නම් අනාගතයටත් මේ වගේ ලෙඩවෙන කයක් මම, මගේ කියලා උපාදාන වශයෙන් අපි ඇසුරු කරනවා නම් පින්වතුනි ඒක මීට වැඩිය භයානකයි නේ. අද අපිට සමහරවිට මේ ඉන්න තැන හොඳ වෙන්නට පුළුවන්. සසරක ස්වභාවය අනුව, අපිට නිවැරදිව කියන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැනේ අපේ ඊළඟ ගතිය පිළිබඳව.
සමහරවිට අපි මම, මගේ කියලා අද දවසේදී පෝෂණය කරන මේ කය ඇසුරු කරගෙනම පණුවෙක් වෙලා උපදින්නට පුළුවන් කෙලේසයකුත් අපි ළඟ තියෙනකොට, ඒ මට්ටමේ ආශ්‍රව ධර්මතා ටිකකුත් අපි ඇසුරු කරනකොට, පින්වතුනි අපි මේ අවුරුදු 50ක්, 60 තිබිලාත් කොහොමත් විනාශවෙලා යන, නැතිවෙලා යන මේ කය ගැන හිතලා කායික නිරෝගි බව ගැන විතරක් හිතනවා නම්, මානසික නිරෝගි බව පිළිබඳව හිතන්නේ නැතුව ඒක පින්වතුනි ප්‍රඥාවන්තකමක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසායි බුදුසමය තුළ මානසික නිරෝගි බවට කතා කරන්නේ. ලෙඩවෙන කය ලෙඩ වුනොතින් මනස ලෙඩ නොවී පවත්වා ගැනීම සඳහා හික්මිය යුතුයි කියන එක නකුලපිතු තුමාට භාග්‍යවතුන් වහන්සේ උපදේශය හැටියට දුන්නේ.
ඉතින් මෙන්න මේ කාරණාව වඩාත් පැහැදිලි කරගන්නට, ඒ කියන්නේ ලෙඩවෙන කය ඇතිව ලෙඩ නොවෙන මනසක් සකස් කරගන්නේ කොහොමද කියන කාරණාවත් අපට වැඩිදුර පැහැදිලි කරගන්නට අදාළව අද දවසේදී අපි කල්පනා කළා මහාපුණ්ණම සූත්‍රය යම් පමණකට සාකච්ඡා කරන්නට. ටිකක් දීර්ඝ සූත්‍රයක්. නමුත් අපි අත්‍යවශ්‍ය කාරණාවන් සහිතව කතා කරන්නට උත්සාහයක් ගනිමු. මේ කාරණා ටිකත් එක්ක අපිට කායික වශයෙන් ලෙඩවීම සහ මානසික වශයෙන් ලෙඩවීමත්, කායික වශයෙන් ලෙඩ වුනත් මානසික වශයෙන් ලෙඩ නොවී ජීවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් ලබාගන්නට පුළුවන්කම තියෙනවා.
මේ පුණ්ණම සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදයෙහි වැඩ ඉන්න කාලේදී භික්ෂූන් වහන්සේලාට හඳ පායා ඇති රාත්‍රියක දේශනා කරපු සූත්‍රයක්. මනසින් ආවර්ජනය කරලා බැලුවත් ඉතාම සුවදායක පරිසරයක්. හඳ පායා ඇති රාත්‍රියක භික්ෂූන් වහන්සේලා 500 ගණනක් පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවේදී එක භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නට අවසර ඉල්ලනවා. භාග්‍යවතුන් වහන්සේ ආසනයේ ඉඳගෙනම ප්‍රශ්නය විමසන්නට කියලා භික්ෂුන් වහන්සේට අවසර දෙනවා. මේ හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා.
''ඉමෙ නු ඛො භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා, සෙය්‍යථීදං: රූපූපාදානක්ඛන්ධො, වෙදනූපාදානක්ඛන්ධො, සඤ්ඤූපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණූපාදානක්ඛන්ධො’ති. ඉමෙ ඛො භික්ඛු, පඤ්චුපාදානක්ඛන්ධා...'' - හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා, ‘ස්වාමිනි, මේ පංච උපාදානස්කන්ධය 'යි කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධයන්ද?’ කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ අනුමත කරලා, "ඔව්, මේ පංච උපාදානස්කන්ධයයි කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධයයි" කියලා ප්‍රශ්නයට පිළිතුර ලබාදෙනවා.
ඊටපස්සේ මත්තෙහි ඒකට පිළිතුරු දුන්නහම, ඒක සතුටින් අනුමෝදන් වෙලා, ''ඉමෙ පන භන්තෙ පඤ්චුපාදානක්ඛන්ධා කිම්මූලකා'ති?'' - "ස්වාමීනි, මේ පංච උපාදානස්කන්ධය කුමක් මුල්කොට පවතිනවාද?" කියන මේ ප්‍රශ්නය අහනවා. ''ඉමෙ ඛො භික්ඛු පඤ්චුපාදානක්ඛන්ධා ඡන්දමූලකා’ති'' - "මහණ, මේ පංච උපාදානස්කන්ධය ඡන්දය මූලිකයි" කියලා භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබාදෙනවා. මේ කාරණාව අපි ටිකක් විග්‍රහ කරගත යුතු කාරණාවක් පංච උපාදානස්කන්ධ ධර්මය සහ ඡන්ද මූලිකව පංච උපාදානස්කන්ධය ගොඩනැඟීම කියන කාරණාව පිළිබඳව. පංච උපාදානස්කන්ධය කියනකොට,
• රූප උපාදානස්කන්ධය
• වේදනා උපාදානස්කන්ධය
• සඤ්ඤා උපාදානස්කන්ධය
• සංස්කාර උපාදානස්කන්ධය
• විඤ්ඤාණ උපාදානස්කන්ධය
කියලා ස්කන්ධ පහක් පිළිබඳව අපිත් දන්නවා, ප්‍රශ්නය විමසූ තෙරුන් වහන්සේත් දන්නවා. එතකොට මේකේ අට්ඨකතාව තුල විග්‍රහයක් වෙනකොට දැක්වෙනවා, මේ ප්‍රශ්නය විමසූ තෙරුන් වහන්සේ රහතන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේගේ ශිෂ්‍යයන්ට කර්මස්ථාන කොතෙක් දුන්නත් අර්හත්ත්වයට පත්වීමට හැකියාවක් තිබුණේ නැහැ. ආසයානුසය ඥාණය නැති නිසාත් ස්වාමින් වහන්සේ මේ තත්ත්වය ගැන වැටහීමක් නො තිබුනු නිසා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට ඒ පිරිස එක්ක ඇවිත්, ඒ භික්ෂූන් වහන්සේලාට දැනගැනීමට අවශ්‍යවන ධර්ම කාරණා විමසීමක් විදිහට තමයි මහරහතන් වහන්සේම ඒ ශිෂ්‍යයන්ටම පැහැදිලි කළයුතු ධර්ම කාරණාවන් මේ විදිහට විමසන්නේ කියලා අට්ඨකතා විග්‍රහය තුළ මේ ප්‍රශ්න විමසීම පිළිබඳව දක්වලා තියෙනවා. - (පපඤ්ච සූදනී - මජ්ඣිම නිකායේ අට්ඨකථා)
පඤ්ච උපාදානස්කන්ධ ධර්මයෝ (රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ) කියන මේ උපාදානස්කන්ධයෝ පිළිබඳව අපි දන්නවා, හඳුනනවා. පින්වතුනි, පඤ්ච උපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳව අපි බොහෝ වෙලාවට කතා කළත්, ඇයි මේවාට "උපාදානස්කන්ධ” කියලා කියන්නේ? ඡන්ද මූලිකවයි උපාදානස්කන්ධය පවතින්නේ කියලා ඇයි කියන්නේ? මේ කාරණාවන් පිළිබඳව කතා කරනකොට අපේ අවධානය ටිකක් අඩු බවක් තියෙනවා. ඒ නිසාම තමයි මේ කරුණු කාරණා අපි පැහැදිලි කරගත යුතු වන්නේ.
** පඤ්ච උපාදානස්කන්ධයේ හා පඤ්ච ස්කන්ධයේ වෙනස
පඤ්ච උපාදානස්කන්ධ ධර්මයෝ ඡන්ද මූලිකව ඇතිවෙනවා'යි කියනකොට, ඡන්දය කියලා කියන්නේ කැමැත්ත කියන එකට. කැමැත්ත මුල් කරගෙන පඤ්ච උපාදානස්කන්ධයන්ගේ පහළ වීම සිද්ධ වෙනවා. 'පඤ්ච උපාදානස්කන්ධ' යැයි කියන්නේ කෙතෙකින්ද, 'ස්කන්ධයෝ' යැයි කියන්නේ කෙතෙකින්ද කියන එක පිළිබඳව අපිට ටිකක් පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. ඛන්ධ සූත්‍රය (සං. නි. - අත්තදීප වර්ගය - ඛන්ධ සංයුත්තය) තුළදීත් ස්කන්ධ සහ උපාදානස්කන්ධ අතර වෙනස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.
ස්කන්ධ සහ උපාදානස්කන්ධ අතර තියෙන වෙනස දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ ධර්මය සහ උපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳව අතර ඇති වෙනස පැහැදිලි කරන්නට එකම කාරණා ටිකක් ඔස්සේ කරුණු පැහැදිලි කළත්, වචන දෙකකින් තමයි මේ දෙක අතර වෙනස පෙන්වන්නේ. ඒ තමයි ''සාසවා උපාදානීයා'' කියන වචන දෙක යෙදෙනවා පඤ්ච උපාදානස්කන්ධයට. ස්කන්ධයන්ට ''සාසවා උපාදානීයා'' කියන බව නොයෙදී ස්කන්ධයන් පිළිබඳව විග්‍රහ කරනවා. එතකොට අපි පැහැදිලි කරගත යුතු වෙනවා මොකක්ද මේ ''සාසවා උපාදානීයා'' කියලා කියන්නේ? කියන එක.
**''සාසවා උපාදානීයා" කියන්නේ මොකක්ද?
'සාසවා' කිව්වේ මොකක්ද? 'උපාදානීයා' කියලා කිව්වේ මොකක්ද? කියන එක තේරුම් ගතයුතු වෙනවා ස්කන්ධ සහ පඤ්ච උපාදානස්කන්ධ ධර්මයන් තේරුම් ගන්නකොට. පින්වතුනි, අපිට ඇසුරුවෙන හැම ධර්මයක්ම පඤ්ච උපාදානස්කන්ධයක්. තුන් භූමිය අනුව ගිය සියලු ධර්මයෝ කෙටියෙන් කිවුවොත් පඤ්ච උපාදානස්කන්ධයක්. හේතුව ඒ හැම ධර්මයක්ම 'සාසවයි', 'උපාදානීයයි'. ඒ "සාසවා උපාදානීය" වුන සෑම ධර්මයෝම පඤ්ච උපාදානස්කන්ධයක් ලෙසයි සංග්‍රහ කරන්නේ. එතනදී කර්මත්, විපාකත්, ක්‍රියාත් සියලුම චිත්ත චෛතිසික ධර්මතාවයන් පිළිබඳව දක්වන්නේ තුන් භූමිය අනුව ගියපු "සාසවා උපාදානීය" වූ ධර්මයන් ලෙස.
'සාසවා' කියන වචනය විග්‍රහ කරන්නට ගියහම ''ආසවානං ආරම්මණ භූතා සාසවා'' - ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන බව නිසා 'සාශ්‍රවයි' කියනවා. 'උපාදානීයා' කියලා කියනවා උපාදානයට හිත බව නිසා, උපාදානයට ආසන්න, කිට්ටු බව නිසා 'උපාදානීයා' කියලා කියනවා. ''සාසවා උපාදානීයා'' - ආශ්‍රවයන්ගෙන් අරමුණු කළහැකි සහ උපාදානයට හිත ධර්මයක් නිසා තමයි මේ වචන දෙක භාවිත වෙන්නේ. ආශ්‍රවයන්ගෙන් අරමුණු කළ හැක්කේ යම්කිසි ධර්මයක්ද, උපාදානය ඇතිකර ගැනීමට හිත යම් ධර්මයක්ද, ඒ සියලු ධර්මයෝ පඤ්ච උපාදානස්කන්ධ යැයි කියන ගණයට යනවා.
ඒ කියන්නේ එතන කෙලෙස් යෙදීමම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ පඤ්ච උපාදානස්කන්ධයක් කියන ගණයට යන්නට. කෙලෙස් නොයෙදී තිබුනත් ඒ දේ පඤ්ච උපාදානස්කන්ධයක්ය කියන සංඛ්‍යාව තුළම කතා කරනවා. හේතුව තමයි ඒක ආශ්‍රවයන්ට හා උපාදානයන්ට හිත වූ ධර්මයක් වන බැවින්. එතකොට අපි කාම භූමිය තුළ විපාක චිත්තයන්, විපාක ධර්මයන් කියලා කතා කරනවා නම් ඒ සියලුම ධර්මයෝ 'කෙලෙස් යෙදෙන්නේ නැහැ කියලා' අපි හිතන තැනක පවා උපාදානස්කන්ධය යි කියන සංග්‍රහය තුළට තමයි යන්නේ.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 02.05.2020 දින සිදුකල දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි,
0 Comments