මහාපුණ්ණම සුත්‍රය 2
==== අනාත්ම වූ වර්ණ සටහන අරබයා විවිධාකාර පැනවීම්====
අපි උදාහරණයක් හැටියට, අපේ ජීවිතේ පැත්තෙන් මේ කාරණාව කතා කළොත්, පින්වතුනි අපි දන්නවා - ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණය කියන ධර්මයෝ ගැන. ඇහැට පතිත වෙන්නේ අනාත්ම වර්ණ සටහනක්. අනාත්ම වර්ණ සටහනක් ඇහැට පතිතවෙන තැනක චක්ඛු විඤ්ඤාණ සිත - (රූපය දැනගැනීම් වශයෙන් ඇතිවෙන හෝ ඒ ඇහැට පැමිණී වර්ණ සටහනේ අභිනිපාත මාත්‍රය දැනගැනීම වශයෙන් ඇතිවෙන හිත හෝ ඇස කෙරෙහි නැඹුරු වූ, ඇස කෙරෙහි යොමු වූ මනස කියලාත් ඒකට කියනවා.
මෙන්න මේ ධර්මයෝ අතර කෙලෙස් ඇත්තේ නැහැ. මේ තැනක නිවන් දකින්න පුළුවන් දර්ශනයක් හෝ, කෙලෙස් ඇති කිරීමක් හෝ සිද්ධ කරන්නේ නැහැ. අපේ ජීවිතය තුළ අපි මේ කාරණාව ටිකක් විමසලා බැලුවොත් පින්වතුනි අපි දන්නවා, අපිට ඇහැට පෙනෙනකොටම වර්ණ සටහනම 'අම්මා' කියලා අපි දැනගන්නේ නැහැ. අපි අම්මා කියලා දැනගන්නේ, ඒ පෙනෙන සිදුවීම අරබයා අපි හිතේ සංකල්පයක් විදිහට (මනෝ විඤ්ඤාණ මට්ටමේ) කල්පනාවක් විදිහට හිතින් උපදවා ගත්ත සංකල්පමය වශයෙන් ඇතිකර ගත්ත දෙයක් තමයි අපි 'අම්මා' කියලා විඳීමට යන මට්ටම.
නමුත් අපි දන්නවා 'අම්මා' කියලා අපි ඇසුරු කරන කෙලෙස් සහගත බව, අර ඇහැ රූප චක්ඛු විඤ්ඤාණ මට්ටමේ තිබුනේ නැහැ. ඇහැට වර්ණ (පාට) ටිකක් පේනවා. ඒ පාට ටික හිතින් දැනගන්නවා කියන තැනක, ඒ සටහන දැනගන්නවා කියන තැනකදී ''මේ ආදරණීය අම්මාය'' කියලා හෝ '' මම අම්මාට මෙච්චර කැමතියි'', ''අම්මා වයසට ගිහිල්ලා'' හෝ මේ විදිහට අම්මා ගැන පරිකල්පනයක් නැතිනම් අම්මා ගැන හිතනකමක් ඒ ටිකේ තිබුනේ නැහැ. ඒ නිසා අපි චක්ඛු විඤ්ඤාණ මට්ටමේදී කියනවා එතැන කෙලෙස් යෙදන්නේ නැහැ කියලා. ඒ ගැන අපි කියනවා විපාකයක් කියලා. එහෙමත් නැතිනම් ඒක කර්මත් නොවන, කෙලෙසුත් නොවන අවස්ථාවක් හැටියට තමයි ඒ අවස්ථාව අපි හඳුන්වන්නේ. ධර්මය තුළ විග්‍රහවෙලා තියෙන්නෙත් ඒ විදිහටයි.
නමුත් ඒක, පංච උපාදානස්කන්ධ යැයි සංග්‍රහයට යනවා. හේතුව තමයි, ඒ ධර්මතා ටිකම ආශ්‍රව සහිත, කෙලෙස් සහිත, උපාදාන සහිත පුද්ගලයෙකු විසින් අම්මා තාත්තා කියලා බාහිර ලෝකයට නැඹුරු වෙනවා. ඒ කියන්නේ ඇහෙන් දැකපු රූපය පැත්තට නැඹුරු වෙනවා. එතකොට දැකපු 'ඇහැ' ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. 'අම්මා' ගැන හිතන්න පුළුවන්කම ඉතුරු වෙනවා. සරලවම කිවහොත්, අන්න ඒ බාහිර ඉන්න, ජීවත්වෙන 'අම්මා' දකින්න පුළුවන්කම, ඒ වගේම ඒ 'අම්මා' ගැන දැකපු කෙනා මේ පැත්තේ (ආධ්‍යාත්මික පැත්තේ) ඉන්න බව, ඒ වගේම ඒ 'අම්මා' පිළිබඳව හිතන්න පුළුවන්කම කියන මේ කාරණා ටික අපිට ඇත්ත විදිහටම ලෝකේ තුල හම්බවෙනවා.
ඒ ඇත්ත විදිහට හම්බවෙන තැනක තමයි කෙලෙස් යෙදෙන මට්ටම. ඒකට කියනවා කර්මය නැතිනම්, කර්ම රැස්කිරීම කියලා. අපි ඇලෙනවා නම් ඇලෙන්නේ, ගැටෙනවා නම් ගැටෙන්නේ, අන්න ඒ විදිහට උපදවා ගත්ත 'අම්මා' කියන අරමුණත් එක්ක. පංච උපාදානස්කන්ධ යැයි කියන විග්‍රහය තුළ මේ 'අම්මා'ව හදාගත්ත තැනත්, අර විපාක ස්කන්ධ ටිකත් කියන ඔක්කෝම අයිතියි. හේතුව තමයි, ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන්කම, උපාදානය ඇතිකර ගන්නට හිතවත් බව ඒ ධර්මතා ටික කෙරෙහි තිබුනා.
==== ස්කන්ධය හා උපාදානය - සීනි බෝතලේ උපමාව ====
අපි මීට පෙර කතා කරපු අවස්ථා ඔබ අහලා ඇති මේ කාරණාවන් පිළිබඳව. අපි නැවත මතක් කරගත්තොත්, බෝතලයක් තියෙනකොට අපි ළඟ සීනි තියෙනවා නම්, සීනි තියෙන අපිට බෝතලේ, 'සීනි බෝතලයක්' බවට පත්කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සීනි අපි ළඟ තියෙනවා නම් අපේ ඉදිරිපස තියෙන බෝතලේ, අපට 'සීනි බෝතලයක්' බවට පත්කර ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද, අපිට අවශ්‍ය, 'සීනි බෝතලයක්' හදාගන්නට අවශ්‍ය සුදුසුකම් ටික දැන් අපිට තියෙන නිසා. සීනි ටික තියෙන අපිට සීනි මේ වෙලාවේ බෝතලයේ නොතිබුනත්, බෝතලය 'සීනි බෝතලයක්' වීමට ඇති හැකියාව නිසා, අපි කියනවා 'සීනි බෝතලයක්' වීමට හිතකම තියෙනවා. මොකද, අපි ළඟ සීනි ටික සහ බෝතලය කියන දෙකම තියෙන නිසා කියලා.
පින්වතුනි, මේ ලෝකේ යම්කිසි කෙනෙකුට යම් පැනවීමකින් සීනි කියලා දෙයක් නැත්තම්, සීනි කියලා දෙයක් දන්නේත් නැත්තම්, අහලාත් නැත්තම්, දැකලාත් නැත්තම්, එයාට බෝතලය, 'සීනි බෝතලයක්' බවට පත්කර ගැනීමට හිතකමක් ඇත්තේ නැහැ. ඒ බෝතලය එයාට සීනි බෝතලයක් බවට පත්කර ගන්න බැහැ. මොකද, සීනි කියන ටික නැතිවෙලා ගියපු නිසා. පින්වතුනි, ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධයන් පිළිබඳවත් අපිට ඒ න්‍යායෙන්ම තමයි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ.
බොහෝම සරලවම, රළු මට්ටමෙන්ම අපි මේ කාරණාව පැහැදිලි කරගත්තොත්, සීනි ටික වගේ දකින්නකෝ කෙනා කෙනාගේ හිතේ පවතින ආශ්‍රව ටික. ආශ්‍රව කියලා කියන්නේ පුරුදු. අපි ඇතිකර ගත්ත, අපි රැස්කර ගත්ත දේවල් ටික. අපි රූපයක් දිහා බලලා මේ අම්මා, මේ තාත්තා, මේ දුවා, මේ පුතා, මේ වටිනා දේවල්, මේ නොවටිනා දේවල්, මේක තුළ වටිනා / නොවටිනාකම් සහිතව අපි මතු කරගෙන ඉන්න මේ රැස්කර ගැනීමට කියනවා ආශ්‍රව කියලා. (ඒකද - කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව වෙනම බෙදලා, අපිට ලොකුවට කතා කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී අපි ඒ විදිහට කතා කරන්නේ නැහැ.) පොදුවේ ඔබ කල්පනා කරගන්නකෝ අපි රැස්කරලා තියෙන, සංකල්පමය වශයෙන් හිතේ එකතු කරගෙන තියෙන ටික කියලා ආශ්‍රව කියලා කියන්නේ කියලා.
එතකොට උපාදාන කියලා කියනවා,
* කාම උපාදාන
* දිට්ඨි උපාදාන
* සීලබ්බත උපාදාන
* අත්තවාද උපාදාන
මේ විදිහට අපිට උපාදානය පිළිබඳව ගන්න පුළුවන්. මේ වෙලාවේදී උපාදානය කියලා ගන්නකෝ අපි ''දැඩිව ඒක ග්‍රහණය කරගන්නවා'' කියන අර්ථය. එතකොට අපිට මේ විදිහට ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයන්ගෙන් ඇසුරු කළ හැකි ධර්මයක්, ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයට හසුවෙන්නට තියෙන දෙයක් හැටියට තමයි බෝතලය වගේ තියෙන අර ඇහැ, රූප, චක්ඛුවිඤ්ඤාණාදී විපාක ධර්මයෝ ගැන කතා කරන්නට වෙන්නේ. ඒ කියන්නේ ආර්ය භූමියට පත් නොවුන පෘථග්ජන අයගේ සිට අරිහත් මාර්ගය උපදවා නොගත් කෙනෙකුට) මේ ආශ්‍රව ධර්මතා ටික, සංයෝජන ධර්මතා ටික උපාදාන සහිත බව යම් යම් මට්ටම් වලින් පවතිනවා.
එතකොට ඒ ඒ පවතින මට්ටම් වලදී, ඒ කෙනාට ඒ ආශ්‍රව ධර්මතා ටික, උපාදාන ධර්මතා ටික අර රූපය, වේදනාව සංඥාව, සංස්කාරය ,විඤ්ඤාණය කෙරෙහි පතිත කරන්නට පුළුවන්කම තියෙනවා. පුළුවන්කම තියෙනවා විතරක් නෙවෙයි, අනිවාර්යයෙන්ම පතිත කරනවා. ඒ නිසා තමයි මේ ස්කන්ධ ටික "උපාදානස්කන්ධයි" කියන සංග්‍රහයට යන්නේ. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන නිසාම උපාදානය ඇතිකර ගන්න හිතවෙන දෙයක් නිසාම ඒකට කියනවා "උපාදානස්කන්ධ" යැයි කියලා. එතකොට ඔබට මේ කාරණාව තුළ පැහැදිලි ඇති - පෘථග්ජනයෙක් නම් එයා ළඟ සීනි තියෙනවා.
පෘථග්ජනභාවය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සීනි තියෙන බවට. මාර්ගඵල අතරින් අරිහත් මාර්ගය උපදවා ගත්තේ නැති ඕනම කෙනෙක් ළඟ සීනි තියෙනවා. ඒ කෙනාට මේ බෝතලය 'සීනි බෝතලයක්' බවට පත්කර ගන්නට පුළුවන්කම තමයි සීනි තිබීමෙන් කියන්නේ. (සීනි වගේ දකින්න ආශ්‍රව හා උපාදාන ටික, බෝතලේ වගේ දකින්න ස්කන්ධ ටික) හැබැයි සීනි නැත්තම්, ඒ කියන්නේ යම් කෙනෙකුට ආශ්‍රව සහ උපාදාන නැත්තම්, ඒ කෙනාට මේ ස්කන්ධ ටික පිළිබඳව නැතිනම් මේ ධර්මයන් පිළිබඳව කතා කරන්නට පුළුවන්කම ඇත්තේ නැහැ ''උපාදානස්කන්ධය'' යැයි කියන පරියායෙන්.
ඒ කියන්නේ ආශ්‍රව වලට හිතයි; ආශ්‍රවයන්ට අරමුණු කරන්න පුළුවන්; උපාදානයට හිතයි කියන පරියායෙන් මේ ධර්මයෝ ගැන කතා කරන්නට පුළුවන්කම ඇත්තේ නැහැ. හේතුව, ඔහු කෙරෙහි ඇත්තේ නැහැ ආශ්‍රව සහ උපාදානය කියන ගතිය. ඒ නිසා "ස්කන්ධ" යැයි කියලා හඳුන්වනවා නම්, "ස්කන්ධයන්" යැයි කියලා හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ ඤාණ දර්ශනය ඇතිකරන්නට, ඒ කියන්නේ ආශ්‍රව උපාදානය නැති කරන්නට නුවණක් උපදවන්නට හේතුවුන ඒ ලක්ෂණ ටිකට විතරයි කියන්නට පුළුවන්කම තියෙන්නේ "ස්කන්ධ" ධර්මයෝය කියලා.
ඒ "ස්කන්ධ" ධර්මයන් තුළින් නැතිනම් ඒ "ස්කන්ධ" ධර්මයන් උපාදානයට හසුවෙනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද, ඒ හටගන්න සියලු "ස්කන්ධ", ආශ්‍රවයන් හා උපාදානයන් සමඟ නොයෙදෙන බව නිසාම ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට නොහැකි බව, එහෙමත් නැතිනම් උපාදානයට හිත බව කතා කරන්නට පුළුවන් බවක් නැති නිසාම ඒ සියලු චිත්ත චෛතසික ධර්මතා "ස්කන්ධ" යැයි කතා කරනවා මිසක උපාදානස්කන්ධ යැයි කතා කරන්නට යන්නේ නැහැ. ඒ නිසා පංච උපාදානස්කන්ධය කියලා අපි කතා කරන තැනක දැන් ඔබට පැහැදිලි ඇති, කුමක් නිසාද අපි පංච උපාදානස්කන්ධයක් හැටියට අපි කතා කරන්නේ කියලා.
පංච උපාදානස්කන්ධයක් කියලා අපි මේ කතා කරන්නේ ඡන්දය (කැමැත්ත) මුල්කරගෙන, කාම උපාදානය, ඒවගේම කාමාශ්‍රවය ආදිය මුල් කරගෙන තමයි අපි පංච උපාදානස්කන්ධ පිළිබඳව අද කතා කරන්නේ. ඒ පංච උපාදානස්කන්ධය කියන දේ ඡන්ද මූලිකයි කියලා කිව්වේ, මේක තණ්හාව මුල්කොට උපදින නිසා. හේතුව තමයි හටගන්න සියලු ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණාදී සියලු ධර්මත් අපිරිසිදු බවට පත්කරලා තියෙන්නේ මෙන්න මේ ආශ්‍රව හා උපාදාන ආදී ගති ටික අපි ළඟ තියෙන නිසායි. ඒ නිසා පොදුවේ අපි ඇසුරු කරන සෑම අවස්ථාවකම ඒ ලක්ෂණය තියෙනවා.
ඒ අවස්ථාවේ මඩ නැතිවෙන්න පුළුවන්. මඩ නැති වුනාට මඩගඳ තියෙනවා. ඒ වගේ ඇහැ රූප චක්ඛු විඤ්ඤාණ ළඟ කෙලෙස් නැති වෙන්න පුළුවන්. හැබැයි කෙලෙස් ළඟ තියෙන කෙනෙකුට, කෙලෙස් ඇතිකර ගන්න පුළුවන්කම එතැන තියෙනවා. අන්න ඒ නිසා අපි ඇසුරු කරන්නෙම පංච උපාදානස්කන්ධ මට්ටමක්.
==== ඡන්දමූලිකව පවතින උපාදානස්කන්ධය ====
රහතන් වහන්සේට පුළුවන් පංච උපාදානස්කන්ධ මට්ටමින් මිදී ජීවත් වෙන්න. රහතන් වහන්සේ කියලා කියන්නෙම පංච උපාදානස්කන්ධයෙන් මිදුනු මට්ටමක්. පංච උපාදානස්කන්ධය හටගන්නවා නම් හටගන්නේම ඡන්ද මූලික බව නිසා, එහෙමත් නැතිනම්, තවත් විදිහකට කියනවා නම් තණ්හාව නිසායි. හේතුව තමයි, පංච උපාදානස්කන්ධය ගොඩනගන්නට හේතු වුනේ කෙනා කෙනා සතුව තියෙන ආශ්‍රව සහ උපාදානය කියන ගති ටික. ඒ නිසා ආශ්‍රව සහ උපාදානය කියන ගති ටික මුල් කරගෙන නැතිනම් සමුදය සත්‍යයට අදාළව මුල් කරගෙන මේ හටගන්නා ස්කන්ධ ධර්මයන්ට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. කුමක් මුල්කොටද පවතින්නේ පංච උපාදානස්කන්ධය? ඡන්දය මුල්කොටයි පවතින්නේ.
ඡන්දය මුල්කොට පවතින නිසා මේ සියලු ධර්මයන්ට පංච උපාදානස්කන්ධ යැයි සංග්‍රහයට යනවා. ඒ පංච උපාදානස්කන්ධය ඡන්දය මුල්කොට පවතින ලක්ෂණය නිසා තමයි පින්වතුනි, අපිට අද අපේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ ලෝකය කියලා කිව්වේ, අම්මා, තාත්තා, දූ දරුවෝ, ගෙවල් දොරවල්, යාන වාහන පිළිබඳව, ඔබ අවට තියෙන ලෝකය, රැකියාව කරන වටපිටාව, මේ මහා ලෝකයක අපි ජීවත් වෙනවා කියන එක අපිට හිතන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හිතන්න පුළුවන් වටපිටාව කියලා කියන්නේ පින්වතුනි, ආශ්‍රව සහිත ලක්ෂණ ටිකක් නේ. ඒ ටිකනේ අපි උපාදානය සහිත ලක්ෂණ ටිකක් කියලා කියන්නේ.
අන්න ඒ ආශ්‍රව සහිත, උපාදාන සහිත බව අපි පවත්වලා තියෙන්නේ කොහෙද? අපි පවත්වලා තියෙන්නේ ඇහැ, රූප, චක්ඛුවිඤ්ඤාණ හටගෙන නිරුද්ධ වුන තැනක අපි ලෝකය ඇති බවට අරගෙන තියෙනවා. මනසින් උපද්දවපු මනස සහ ධම්මාරම්මණ නිරුද්ධ වුන තැනක අපි ඒ දේ ඇති බවට නැවත නැවත ඇසුරු කරලා තියෙනවා. ඒ නිසා ඊයේ දැකපු කෙනාම හෙට ඔබට නැවත දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්නට අපිට පරිකල්පිත ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකය ආශ්‍රව සහිත බවක්මයි. ඒ ආශ්‍රව සහිත බව අපි පවත්වන්නේ ආශ්‍රව නැති ධර්මතා ටිකක් මත වෙන්න පුළුවන්. හැබැයි ආශ්‍රව සහිත, මේ කෙලෙස් සහගත බව නිසා අර ඔක්කොම වහලා දාලා තියෙනවා.
ඒක හරියට කේක් කෑල්ල පෙනෙන්නේ නැතිවෙන්න අයිසිං ටිකක් ගාලා අයිසිං කේක් එකක් හදාගත්තා වගේ දෙයක්. මේ ආශ්‍රව හා උපාදානයන් පතිත කරලා, අර කේක් කෑල්ල වැහෙන්න ගෑවා වගේ අර කෙලෙස් නැති විපාක සන්තතිය පවා වැහෙන්න දාලා තියෙන නිසා පොදුවේ සියල්ලටම කියනවා පංච උපාදානස්කන්ධයක් කියලා. ඒ පංච උපාදානස්කන්ධය කියන එක පවතින්නේ ඡන්ද මූලිකව. ඒ ඡන්දය කියන එක සමුදය සත්‍යයට සාපේක්ෂව කතා කරන දෙයක්, මේ පංච උපාදානස්කන්ධය ඇති කරන්න හේතු වුනා අවිද්‍යාව සංස්කාර. එතකොට ඇතිවුන පැත්තදීත් පිරිසිදු බවක් ඇත්තේ නැහැ. ඒ වගේම මේ ටික හටගත්තට පස්සේත් මේ ටික ඇසුරු කරන්නෙත් ආපහු කෙලෙස් උපාදාන ටිකක්. ඒ නිසාම පසුපසෙනුත් පිරිසිදු නැහැ.
මුලින් සහ අගින් කියන දෙපසින්ම අපිරිසිදු වුන මේ දේ පොදුවේ "පංච උපාදානස්කන්ධය" යැයි කියන සංග්‍රහයට ගිහිල්ලා තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය යැයි කතා කරන මේ ලක්ෂණය ඡන්ද මූලිකව පවතින දෙයක්. ඡන්දය කියලා කිව්වා කැමැත්තට. කැමැත්ත, තණ්හාව, මුල්කරගෙන පවතින දෙයක් තමයි පංච උපාදානස්කන්ධය. ඒ හේතුව නිසායි විපාක ස්කන්ධ ටික පවා "පංච උපාදානස්කන්ධයි" කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ මේ කියන ගැඹුරු කාරණාවක් තමයි මේ ප්‍රශ්නය තුළ භික්ෂුන් වහන්සේ විමසුවෙත්, භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නෙත්.
==== පංච උපාදානස්කන්ධය හා උපාදානය එකක්ද? දෙකක්ද?====
''තංයෙව නු ඛො භන්තෙ, උපාදානං තෙ පඤ්චුපුදානක්ඛන්ධා උදාහු අඤ්ඤත්‍ර පඤ්ච උපාදානක්ඛන්ධෙහි උපාදාන’’න්ති?'' මේ භික්ෂුන් වහන්සේ නැවත අහනවා, ‘ස්වාමිනි, ඒ පංච උපාදානස්කන්ධයම උපාදානද?’ එහෙම නැතිනම් ''අඤ්ඤත්‍ර උපාදානෙහි උපාදානං'' - පංච උපාදාස්කන්ධය හැර උපාදානය කියන එක වෙනම තියෙනවාද? කියලා ප්‍රශ්නයක් අහනවා. ''න ඛො භික්ඛු, තංයෙව උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධ"? 'මහණෙනි, පංච උපාදානස්කන්ධයෝම උපාදානය නෙවෙයි.’ පංච උපාදානස්කන්ධයම උපාදානයි කියලා කිව්වොත්, අපි කෙලෙස් නැහැ කියපු විපාක ඇතුළෙත් කෙලෙස් සහිතයි කියලා කියන තැනින් අපි වැරදි දෙයක් ප්‍රකාශ කරනවා. ඒ නිසා එතැනදී ඒක පංච උපාදානස්කන්ධයම උපාදාන යැයි කියන එක යෙදෙන්නේ නැහැ.
''නාපි අඤ්ඤත්‍ර පඤ්චුපාදානක්ඛන්ධෙහි උපාදානා'' පංච උපාදානස්කන්ධය කියන දේ අතහැරලා වෙනම දෙයකින් උපාදානය පනවන්නෙත් නැහැ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අතහැරලා, උපාදානය කියන ගතියක් වෙනමම පනවන්නේ, තනියම හටගන්නවා කියලා පනවන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය උපාදානයත් නෙවෙයි. ඒ වගේම පංච උපාදානස්කන්ධය උපාදානයෙන් අතහැරිලාත් නෙවෙයි. අපි කතා කළා සීනි බෝතලය කියන එක ගැන. සීනි තියෙන කෙනාට මේ බෝතලය සීනි බෝතලයක් කියන බවට හිතකම තියෙනවා. එයාට සීනි බෝතලයක් නිර්මාණය කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි උපාදානය තියෙන නිසා මේ ස්කන්ධ ටික "උපාදානස්කන්ධයි" කියන සංඛ්‍යාවට ගිහිල්ලා තිබෙන නමුත් පංච උපාදානස්කන්ධය, උපාදානයයි කියන්නේ නැහැ.
සීනි ටික නැත්තම් බෝතලය, 'සීනි බෝතලයක්' වෙන්න පුළුවන්කමකුත් නෑනේ. ඒ වගේ උපාදානය කියන එක වෙනම තියෙන දෙයක් නම්, උපාදානය කියන එක මේ ධර්මයට කිසිම අයිතියක් නැත්තම්, මේ ටික මත පතිත වෙනකම නැත්තම්, එහෙනම් මේක "පංච උපාදානස්කන්ධ" යැයි කියලා කියන එකත් නොයැදිය යුතු දෙයක්. අන්න ඒ හේතුව නිසා උපාදානය කියන එක වෙනමම පනවන්නේ නැහැ. ''යො ඛො භික්ඛු පඤ්චුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගො තං තත්ථො උපාදානා'' ‘මහණ, යම්කිසි කෙනෙකුට පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, කැමැත්තෙන් ඇලෙනකමක් තියෙනවා නම්, ''තං තත්ථ උපාදානං'' මේ තමයි එහි උපාදානය.
ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි කැමැත්තෙන් ඇලෙන බවක් තියෙනවා නම්, ඒ කැමත්තෙන් ඇලෙන බව තමයි උපාදානය’ කියලා බුදුරජාණන් වහන්සේ එතැනදී පැහැදිලි කරනවා. එතකොට පංච උපාදානස්කන්ධය කෙරෙහි පවත්නා කැමැත්තෙන් බැඳෙන ස්වභාවය "උපාදානයි" කියලා කියනවා.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 02.05.2020 දින සිදුකල දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි,
0 Comments