මහාපුණ්ණම සුත්‍රය 3
පින්වතුනි, පංච උපාදානස්කන්ධය කෙරෙහි කැමැත්තෙන් බැඳෙන බවයි කියලා අපි කිව්වාට පස්සේ මේ අපේ ලෝකය නැතිනම් අපි ඉන්න තැන, අපි ඉන්න වටපිටාව මේ හැම දෙයක්ම මෙතැන අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා අපි කතා කළා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ධර්මයන්. අපේ ජීවිතේ පැත්තෙන් ගත්තොත්, ඇහැට රූපයක් පෙනිලා, ඒ රූපය පිළිබඳ විඳීමක් හැඳිනීමක්, සිතීමක්, දැනගැනීමක් ඇතිවෙන අවස්ථාවන් පිළිබඳව. එතකොට මේ ටික ඇති තැනක අපි ඡන්දරාගය නම් කැමැත්තෙන් ඇලෙනකම ඇතිකර ගන්නවා. කැමැත්තෙන් ඇලෙනකම ඇතිකර ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ හටගෙන නිරුද්ධවෙන බව දැක්කොත්.
===== පෘථග්ජනයාගේ හා ආර්යයන් වහන්සේ නමකගේ දැක්ම =====
එහෙනම් ඡන්දරාගය ඇතිවෙනවා කියන තැනම තියෙනවා, හටගෙනම නිරුද්ධවෙන බව දකින්නේ නැහැ කියන එක. අවිද්‍යාවේ කෘත්‍යයක් තියෙනවා, පංච උපාදානස්කන්ධය ඇති බවටම අල්ලා ගන්නවා. ඒ නිසා අපි තණ්හා කරන්නේ හැම වෙලාවකදීම සංකල්පමය වශයෙන් උපදවා ගත්ත පංච උපාදානස්කන්ධයකට. සංකල්පමය වශයෙන් උපදවා ගත්ත පංච උපාදානස්කන්ධයකට කියලා කියන්නේ අපි ඇත්තටම ආදරය කරන්නේ, කැමති වෙන්නේ අපි මානසිකව ගොඩනගා ගත්ත, එහෙමත් නැතිනම් අපි හිතින් විතර්ක සමඟ එකතු කරගත්ත මට්ටමක තියෙන දෙයකට නේ. 'අම්මාට ආදරේ කියලා', අපි ආදරය කරන්නේ - ඒ රූපය අම්මා කොට පෙන්නන, ඒ රූපය ලෝකේ තියෙනවා කියලා හිතෙන අතීතේ ඉඳලා පැවතුනා, අනාගතයටත් තියෙනවා කියලා හිතෙන මානසික මට්ටමක තමයි අපි ඒ රූපයට කැමති වෙන්නේ 'අම්මා'යි කියලා.
එතකොට අතීතේ තිබුන ටික ගෙනල්ලා දෙනකම රූපයට අයිතිකම තිබුනේ නැහැ. අපි අපේ, 'දරුවාව' දන්නවා කියනකම, අපිට මේ මොහොතේ බාහිර රූපයට පතිතවෙලා ඇහට එන පරාවර්තන ආලෝකය අපිට කිව්වේ නැහැ, ‘මේ ආදරය කරන්න පුළුවන්, ඔබ කැමතිවන ඔබේ දරුවාවයි මේ ගෙනෙන්නේ’ කියලා. ඒ වර්ණ සටහන ඒක දැනගෙන හිටියෙත් නැහැ. ඒවගේම ඇහැ ඒ පිළිබඳව දැනගෙන හිටියෙත් නැහැ. ඇස සහ රූපය සම්පූර්ණම ඒ පිළිබඳව නොදැනගෙන හිටපු තැනක අපි දැනගත්තා 'දරුවා' කියන එක.
එහෙනම් 'දරුවා' කියන එක දැනගත්තේ කොහෙන්ද? ඒ 'දරුවා' කියන එක දැනගත්තේ අපි මානසිකව ගොඩනඟා ගත්ත දෙයකින්. ඒකට අපි සංකල්පයයි කියලා කියනවා. සංකල්පය විදිහට ගොඩනගපු, ‘අපි මෙච්චර කාලයක් ඇසුරු කළා’ කියලා අපි හිතෙන් එකතු කරගත්ත දේත් එක්ක තමයි 'මෙච්චර වටින', 'මෙච්චර ආදරණීය මගේම 'දරුවා' කියලා ගෙනල්ලා දෙන, හිත පැත්තෙන් උපද්දපු ටික. ඒ වටිනාකම තිබුනේ රූපයේ නෙවෙයි. ඒ වටිනාකම තිබුනේ තමන්ගේ හිතේ. ඒක රූපයට අයිතියි නම් කවදාවත් වෙනස් වෙන්න පුළුවන්කම ඇත්තේ නැහැ. සමහර වෙලාවට, සමහර දෙමව්පියන්ට පුංචි කාලේ ආදරයෙන් දරුවන් හදාගත්තට, පස්සේ කාලයේදී දරුවන්ව දකින්න අකමැති අවස්ථා තියෙනවා නේ.
පින්වතුනි, 'දරුවා' හෝ ආදරය ඒ රූපය තුළ තිබුනා නම් පස්සේ කලෙකදී රූපය දකින්න අකමැති වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ නේ. එහෙනම් අකැමතිකම හෝ කැමත්ත උපදනවා කියන තැන සිද්ධ වුනේ සංකල්පමය ක්‍රියාදාමයක්. ඒ කියන්නේ තමන් සංකල්පමය වශයෙන් තමයි ඒ දේ තුළ හැසිරුණේ. හිතෙන්ම තමයි ගොඩනඟා ගත්තේ, ‘කැමති වෙන්න පුළුවන් බව සහ අකැමති වෙන්න පුළුවන් බව'. ඒ නිසා තමයි "නෙ තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ - සඞ්කප්ප රාගො පුරිස්ස කාමො..." මේ ලෝකයේ තියෙන චිත්‍රමාත්‍රය කාමය නෙවෙයි. සංකල්පමය වශයෙන් ඇතිකර ගත්ත රාගයයි පුද්ගලයා ඇති කරගන්න 'කාමය'යි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
එතකොට "සඞ්කප්ප රාගො පුරිස්ස කාමො'' කියනකොට, මේ සංකල්පමය වශයෙන් ඇතිකර ගන්න රාගයයි, කෙනාගේ කාමයයි කියලා කියනකොට, ඒක බාහිර වස්තුවට අදාළ දෙයක් වුනේ නැහැ. එහෙනම් ඒක අදාළ වුනේ තම තමන්ගේ මානසිකව ගොඩනගා ගත්ත දේටයි. ඒ මානසිකව ගොඩනගා ගත්ත දේට තමයි අපි හැමදාම තණ්හා කරන්නේ. අපි හැමදාම උපාදානය වශයෙන් හැසිරෙන්නේ, මානසිකව ගොඩනගා ගත්ත දෙයක් සමගමයි. එහෙම නැතුව, මොහොතකට හටගෙන - මොහොතකට නිරුද්ධ වුන වර්ණ සටහන පිළිබඳව නෙවෙයි අපි ඇත්තටම කැමති වුනේ. ඒ වර්ණ සටහන අරභයා ඒ ගැන හිතන්න ගිහිල්ලා, ඒ ගැන අපේ හිතේ ඇති කරපු විතර්කය තුල ගොඩනගපු දෙයට තමයි අපි තණ්හා කළේ.
ඒ විතර්කමය බලයෙන් විතර්කය තුළ රඳවන්න අපි පවත්වපු කෙලේසයක් තිබුනා නම්, ඒ කෙලේසය තමයි අපි හඳුනාගත යුතු වන්නේ. ඒ කියන්නේ, නිරෝධය නොපෙන්වා ඒ දේ ඇති බවට පෙන්නපු අපේ මානසික මට්ටම කියන එක. බොරුවක් පෙන්වා - අපිට නිරුද්ධ වුන දේ ඇති බවට පෙන්වපු ඒ මානසික මට්ටම තිබුන නිසා තමයි අපි ඒකට කැමත්ත උපදවා ගත්තේ. ඒ නිසා කිව්වා, පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, ඒක එහි උපාදානයයි කියනකොට, අර 'අම්මා', 'තාත්තා' වශයෙන් අල්ලාගෙන තියෙන යම්කිසි කැමත්තක් තිබුනා නම් ඒ කැමත්ත (ඇලීම) කියන දේ මයි එතන තියෙන උපාදාන සහගත බව.
ඒක හරියට පින්වතුනි, අයිසිං ටිකට තණ්හාවෙන් අයිසිං ටිකත් එක්ක 'අයිසිං කේක්' එකක් කනවා වගේ දෙයක් තමයි මේ කතා කරන්නේ. අයිසිං ටික වගේ දකින්නකෝ, අපි විතර්ක මත උපදවා ගත්ත, එහෙමත් නැතිනම් අපි සංකල්පමය වශයෙන් උපදවා ගත්ත 'ආදරණීය අපේ අම්මා', 'ආදරණීය දරුවා' කියනකම. ඒවගේම හටගෙන නිරුද්ධ වුන, 'දරුවා' නොවුන - ඇහැ, රූප චක්ඛුවිඤ්ඤාණය වගේ ධර්මතා ටික දකින්නකෝ කේක් කෑල්ල වගේ. එතකොට අර අයිසිං ටිකෙන් වැහිලා තියෙන කේක් කෑල්ලම අපි අනුභව කරනවා වගේ තමයි, අපි කැමති වෙන්නේ අයිසිං ටිකකට තමයි. හැබැයි, අයිසිං ටික තැවරිලා තියෙන කේක් කෑල්ලට අපි ඉබේම තණ්හා කරලා තියෙනවා. ඒ වගේ හටගෙන නිරුද්ධ වුන ධර්මතා ටිකට ඉබේම අපි තණ්හා කරලා තියෙනවා.
අපි 'දරුවාට ආදරේ' කිව්වාට ඇත්තටම අපි ආදරේ කරලා තියෙන්නේ 'දරුවා' වුන මානසික සංකල්පයකට. ඒක සංකල්පයක් කියලා දැනගත්තොත් අපි ආදරය කරන්නේ නැහැ. නමුත් අපිට පෙන්වන්නේ අපි ආදරය කරලා තියෙන්නේ එළියේ (බාහිර) ඉන්න දරුවාට. එතකොට දරුවා එළියේ ඉන්නවා කියන තැනදී අපේ කැමත්ත අපි පතිත කරලා තියෙනවා ඇහැ, රූප, චක්ඛුවිඤ්ඤාණාදී ඒ සියලු ධර්මයන්ට. පින්වතුනි, මෙතන තියෙනවා අපිට හිතන්න ලොකු කරණාවක්. ඒ තමයි අපි ඡන්දරාගය උපදවා ගන්නවා නම්, ඡන්දරාගය ඇතිකර ගැනීමේදී මූලිකත්වය ගන්න තැන තව එකක්, පවතින යථාර්ථය තව එකක්, යථාර්ථය නොදන්නාකම නිසා මනසේ කැමැත්ත උපදවා ගන්නවා. ඒ කැමත්ත උපදවා ගැනීම තුළ අර යථාර්ථය නොපෙනී ගිහිල්ලා ඒ විපාක ස්කන්ධ ටිකටත් එක්ක තණ්හා උපාදාන පතිත කරලා තියෙනවා කියන එක අපිට මේ කාරණාව ඔස්සේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා.
ඒ නිසා තමයි නොයෙක් වර මේ පිළිබඳව කතාකරන කොට අපි ඇත්තටම 'දරුවාට ආදරේ' කිවුවාට, අපි ආදරය කරන්නේ දරුවාට නෙවෙයි. 'දරුවා' ගෙනල්ලා දෙන අපේ මනසටයි කියලා අපි කතා කරන්නේ. 'දරුවාව' හදලාදෙන සංකල්පයක් විදිහට - අපි 'දරුවා' කියලා දැනගන්නකමට 'දරුවා' කියලා විඳිනකමට, 'දරුවා' කියලා හිතන්න පුළුවන්කමට යි අපි ආදරය කරන්නේ. ඒ අපි මෙච්චර කාලයක් ඇසුරු කරපු සියලුම නිමිති බැරි වෙලාවත් මැකිලා ගියොත්, පින්වතුන් හිතනවාද අපිට තව මොහොතකින් ඒ රූපය දකිනකොට අපිට තණ්හාවක් උපදියි කියලා. අපිට තණ්හාවෙන් ඇසුරු කරපු සියලුම නිමිති මැකිලා ගිහිල්ලා නම්, ඒ නිමිති නැත්තම්? පින්වතුනි, අපිට 'දරුවා' කියලා රූපය මත පතිත කරන්න කෙලේසයක් හම්බවෙන්නේ නැහැ.
ඒ නිසා බුදුදහම තුළ කතා කරන්නේ අමතකවෙලා යන සිද්ධාන්තයක් නෙවෙයි, ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව නුවණින් සම්මර්ශනය කිරීමක්. එතකොට පෘථග්ජනයා තමන්ගේ සංකල්පයකට 'දරුවාමයි' කියලා රැවටෙන තැනක ආර්යයන් වහන්සේ නමක් දකිනවා - දරුවා කියන එක සංකල්පමය වශයෙන් උපද්දපු දේත්, ස්කන්ධ ධර්මයෝ හටගෙන නිරුද්ධවුන දේත් හැටියට. එතකොට එහෙම දකිනකොට මේ දෙක අතර සම්බන්ධයක් පෙනෙන්නේ නැහැ. අර 'දරුවා' කියලා දැනගන්න දේ පවත්වාගෙන යන්න බාහිර ලෝකේ මහාභූත රූපයක් පෙනෙන්නේ නැහැ. මහාභූත රූපය පැත්තට මනසේ සංකල්පය පතිත නොකර ඉන්නකොට, ඒ කෙනාට තණ්හාව පවත්වන්නට ක්ෂේත්‍රයක් (භූමියක්) නැහැ කියලා කියනවා. ඒ නිසා මේ ශාසනයේ කතා කරන්නේ තණ්හාව පවත්වන්නට භූමිය නැති කරන තැනක් පිළිබඳව.
එහෙනම් ඡන්දරාගය පිළිබඳව අපි කතා කරනකොට, අපි කැමති වුනේ අර සංකල්පමය වශයෙන් ඇතිකර ගත්ත දෙයට. සංකල්පමය වශයෙන් ඇතිකර ගත්ත දේ නිකම්ම ඇතිවුනේ නැහැ. අර වගේ හේතුඵල දහමක් ඇති තැනක හේතු නිසා හටගෙන, හේතු නැතිවෙනකොට නිරුද්ධ වුන ධර්මතා ටිකක් ඇති තැනක තමයි සංකල්පය ඉපදුනේ. එනම් 'සංකල්පයට කැමතියි' කියනකොට, නිකම්ම ඒ කැමත්ත පතිතවෙලා තියෙන්නේ කොහෙද? අර 'බාහිර තිබුනා' කියලා ඇතිකර ගත්ත පැත්තට තමයි ඒක පතිතවෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ ඔක්කොම පොදුවේ පංච උපාදානස්කන්ධයක් යැයි කියන සඞ්ග්‍රහයට යන්නේ. අන්න එතකොට පංච උපාදානස්කන්ධය කෙරෙහි තමයි මේ ඡන්දරාගය පවත්වන්නේ. පංච උපාදානස්කන්ධය කෙරෙහි තමයි කෙනා කැමැත්තෙන් ඇලෙන්නේ.
ගද්දුලබද්ධ වගේ සූත්‍රවලදී කියන්නේ - අර අශ්‍රැතවත් පෘථග්ජනයා හරියට කණුවක ගැට ගහපු බල්ලෙක් කණුව ඇසුරු කොටම ඇවිදිනවා, ඉඳගන්නවා, නිදාගන්නවා වගේ පංච උපාදානස්කන්ධය කෙරෙහිම ජීවත්වෙනවා, පංච උපාදානස්කන්ධය කෙරෙහිම වාසය කරනවායි කියලා පෙන්නන්නේ. පින්වතුනි, අන්න ඒ වගේ තමයි අපි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහිම තමයි මේ මඤ්ඤනාව තියෙන්නේ. අපි මුළු ලෝකයක් කියලා කතා කළාට, අපිට එතැන තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, සරලවම කිව්වොත්, අයිසිං ටිකක් (උපාදානය) සහ කේක් කෑල්ලක් (පංච උපාදානස්කන්ධය) කියන තැන තමයි අපි මුළු ලෝකේ මොන දේ ගැන කල්පනා කළත්, මොන දේ ගැන හිතුවත් තියෙන්නේ.
හැබැයි ඔය දෙක වෙන්කර ගත්තොත් අපිට අයිසිං කේක් කනවා කියලා දෙයක් හම්බවෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා මේ දෙක වෙන්කර ගන්න පැත්තට තමයි මේ දර්ශනය යොමුවෙලා තියෙන්නේ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ ඡන්ද රාග විනයනය සඳහායි ධර්ම දේශනා කරන්නේ කියලා කියන්නේ. මොකද, ඡන්දරාගය කියන දේ තමයි ස්කන්ධයන් උපාදානස්කන්ධයන් බවට පත්කරන්නට හේතු වෙන්නේ. මේ ඡන්දරාගය දුරු කළොත්, ඒ දුරු කරන තැනදී ස්කන්ධ ටික නැවත උපාදානස්කන්ධ බවට පත්කර ගන්න හේතුවක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි, පංච උපාදානස්කන්ධය කෙරෙහි පවත්වන යම් ඡන්දරාගයක් තියෙනවා නම්, ඒක තමයි එහි උපාදානය කියලා කිව්වේ.
==== ඡන්දරාගයාගේ වේමත්තතාවය =====
''සියා පන භන්තෙ පඤ්චසු උපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවෙමත්තතා'ති?'' - ස්වාමිනි, පඤ්ච උපාදානස්කන්ධය කෙරෙහි පවතින, ඡන්දරාගයාගේ වේමත්තතාවයන් (වෙනස් වෙනස් ආකාරයෙන් පෙනෙන්න) තියෙනවා ද? ''සියා භික්ඛූ'ති භගවා අවොච'' භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා - මහණ, තියෙනවා.
මොනවාද?
''ඉධ, භික්ඛු, එකච්චස්ස එවං හොති - එවං රූපො සියං අනාගතමද්ධානං....'' සමහර කෙනෙකුට හිතෙනවා අනාගතයේ මම මෙහෙම වෙනවා නම් හොඳයි කියලා. සමහර කෙනෙකුට හිතෙනවා - අනාගතයේ මම මෙබඳු වේදනා ඇත්තෙක්, සංඥා ඇත්තෙක්, මෙබඳු හිතීම් ඇත්තෙක්, මෙබඳු දැනගැනීම් ඇත්තෙක් වෙනවා නම් හොඳයි කියලා කල්පනා කරනවා. මේ විදිහට කෙනා කෙනාගේ ඡන්ද රාගයාගේ වේමත්තතාවයක් තියෙනවා. ඒ කියන්නේ, ඔබ ජීවත්වෙන්නේ ඒ අනාගතයේ මත. අනාගතයේ මත කියලා කියන්නේ, ඔබට ඉදිරිය පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට ප්‍රණිධි තියෙනවා. ප්‍රණිධිය කියන එක අපි සරල ලෙස අර්ථ ගන්වන්නට ගියොත් අපිට, ඒ අර්ථය නිවැරදිම වෙන්නේ නැතිවුනත් - අපි කිව්වොත් ප්‍රාර්ථනා කියලා. එතකොට ඒ ප්‍රාර්ථනාත් තියෙනවා අපිට.
ඒ කියන්නේ අපි අමුතුවෙන් වැඳගෙන ප්‍රාර්ථනා කරනවා කියන එක නෙවෙයි මෙතැනදී මේ කතා කරන්නේ. මෙතැනදී කියන්නේ, 'මම ඉස්සරහට කරන දේවල්' පිළිබඳව මම කල්පනා කරනවා. අපිට කැමත්තක් තියෙනවා - අනේ, මම ලෙඩ නොවෙනවා නම් හොඳයි කියලා. අපිට කැමත්තක් තියෙනවා - අනේ, මගේ අය ලෙඩ නොවෙනවා නම් හොඳයි කියලා. ඒ නිසා අපිට තියෙනවා - මේ විදිහට, මම මෙබඳු ස්වභාව ඇත්තෙක් වෙනවා නම් හොඳයි. ඒවගේම මෙබඳු වේදනා ඇත්තෙක්, මෙබඳු වේදනාවත් උරුමකොට ඇත්තෙක්, ලෙඩ නොවීම උරුමකොට ඇත්තෙක් වෙනවා නම් හොදයි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා.
ඒවගේම, හොඳ දේවල්ම හම්බවෙන කෙනෙක් වෙනවා නම් අපිට ඒක වඩා හොඳයි. ඒ වගේම හොඳ දේවල්ම හිතන්න ලැබෙනවා නම් අපිට ඒක හොඳයි. හොඳ දේවල්ම දැනගන්න ලැබෙනවා නම් ඒක අපිට හොඳයි. අපිට ඒ නිසා ඡන්ද රාගයේ වේමත්තතාවයක් තියෙනවා. ඒ තමයි අපි අනාගතය ගැන හිතමින් කල්පනා කරනවා. අපි අනාගතය පිළිබඳව අපේ අදහස් සංකල්ප පවත්වනවා. ඒ නිසා අපි කැමත්ත අපේක්ෂා කරනවා. කැමැත්ත නොලැබී යනකොට දුක කියන දේ උරුමවෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට ''යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං'' යමක් කැමති සේ පවතින්නේ නැතිනම් ඒක දුකයි කියලා කියනවා.
මොකද, ලෙඩවෙන සත්ත්වයෝ ලෙඩ නොවීමට කැමති වෙනවා. ලෙඩවීම කියන දුක ඔවුන්ට උරුම වෙනකොට ඔවුන්ට පුද්ගලබව නිසා එන දුක විඳින්නට සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකයාගේ කැමැත්තේ වෙනස් බවකුත් තියෙනවා. කෙනා කෙනා කැමතිවෙන මට්ටම්වල එක එක වෙනස් බවක් (වේමත්තතාවයක්) තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 02.05.2020 දින සිදුකල දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි,
0 Comments