මහා පුණ්ණම සූත්‍රය 4


මහාපුණ්ණම සුත්‍රය 4


ස්වාමීනි, කොහොමද ස්කන්ධයන්ට 'ස්කන්ධ' යැයි කියලා පැනවීම තියෙන්නේ කියලා ඊළඟට අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "අතීතානාගතපච්චුප්පන්නා (අතීත, අනාගත,වර්තමාන), අජ්ඣත්තං වා (ආධ්‍යාත්මික), බහිද්ධා වා (බාහිර), ඔළාරිකා වා (රළු), සුඛුමා වා (සියුම්), හීනා වා (හීන), පණීතා වා (ප්‍රනීත) , යා දූරෙ (දුර), සන්තිකෙ (ළඟ) කියන මෙන්න මේ වගේ එකොලොස් ආකාරයකට බෙදලා පෙන්වනවා රූපය කියන එක. මෙන්න මේ එකොලොස් පොලක තියෙන රූපය ගැන අපි කතා කරන එකට කියනවා 'රූප ස්කන්ධය' කියලා. (විභජ්ජවාද රූප ඛාණ්ඩ දේශනාවලත් අපි මීට පෙර එකොලොස් පොලක පැතිරිලා තියෙන රූපය පිළිබඳව කතා කරලා තියෙනවා)

වේදනාව, සඤ්ඤාව, සංස්කාර, විඤ්ඤාණ පිළිබඳවත් මේ විදිහට දක්වනවා. කොටින්ම මෙන්න මේ විදිහට 'රූප ගොඩාක්' කියන අර්ථයෙන් තමයි මේ 'රූප ස්කන්ධ' යැයි පැනවීමට යන්නේ. වේදනා ගොඩාක් කියන අර්ථයෙන් තමයි මේ 'වේදනා ස්කන්ධ' යැයි කියන පැනවීමට යන්නේ. ඒ නිසා මේ 'ස්කන්ධ' කියලා අධිවචනයක් තියෙනවා නම්, 'ස්කන්ධ' යැයි කියලා යම් ප්‍රකාශයක් තියෙනවා නම් මේ ප්‍රකාශයෙන් කියන්නේ බහුල අර්ථයක්, බොහෝ කොට පවතින අර්ථයක්. මේ එකොලොස් ආකාර රූපයක් දක්වනවා මේ තමයි රූප ස්කන්ධය. 'රූප ස්කන්ධ' යැයි කියලා කියන්නේ රූපය එකොලොස් ආකාර තැනකින් කෙනෙකුට හම්බවෙන නිසා.

ඒක අතීතයේ නිරුද්ධ වුණු රූප වෙන්න පුළුවන්, වර්තමානයේ පවතින රූප වෙන්න පුළුවන්, අනාගතයට අපි හිතන දේවල් පිළබඳව වෙන්න පුළුවන්. ඒ අනාගතයට එන රූප - 'අනාගත රූප'. අතීතයේ හටගෙන නිරුද්ධ වුන රූප 'අතීත රූපයි' කියනවා. වර්තමානයේ පේන රූප - 'පච්චුප්පන්න රූප' කියනවා. ආධ්‍යාත්මික ආයතනයන් පිලිබඳ වූ රූප 'අජ්ඣත්තික' කියලා කියනවා. බාහිර ආයතන රූප 'බාහිර රූප' කියලා කියනවා.ඊට පස්සේ රළු, සියුම් රූප තියෙනවා, ඒ වගේම හීන ප්‍රනීත රූප තියෙනවා.

'දුර රූප' කියන්නේ අවබෝධයට දුෂ්කර රූප, 'සන්තිකෙ රූප' කියනවා අවබෝධයට පහසු රූප, එහෙම නැතිනම් දුර තියෙන රූප හා ළඟ තියෙන රූප ආදී වශයෙනුත් ඒ රූප ගැන කතා කරන්නට පුළුවන්. මෙන්න මේ විදිහට අපිට එකොලොස් ආකාර රූපය, වේදනාව, සඤ්ඤාව, සංස්කාරය, විඤ්ඤාණය ගැන මේ ආකාරයට කතා කරන්න පුළුවන්. බොහෝ වූ රූප සමුහයක් පිළිබඳව කතා කරන නිසා අපි, 'රූප ස්කන්ධ' යැයි කියනවා, රූප ස්කන්ධ යැයි අධිවචනය, 'ඛන්ධා' දී ප්‍රඥප්තිය යෙදෙනවා මෙතනදී. ( අනික් ස්කන්ධ හතර පිළිබඳවත් මෙසේ දතයුතුයි)

ඊටපස්සේ මේ හාමුදුරුවෝ අහනවා, "ස්වාමීනි, කුමන හේතුවක් ඇති කල්හිද, කුමන ප්‍රත්‍යයක් ඇති කල්හිද 'රූප ස්කන්ධය' කියලා පනවන්නේ? කුමක් නිසාද, කුමන ප්‍රත්‍යයක් තිබුනොත්ද වේදනා ස්කන්ධය, සඤ්ඤා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය පනවන්නේ? එතකොට භාග්‍යවතුන් වහන්සේ එයට පිළිතුරු දෙනවා, "චත්තාරො ඛො, භික්ඛු, මහාභූතා හෙතු, චත්තාරො මහාභූතා පච්චයො රූපක්ඛන්ධස්ස පඤ්ඤාපනාය" - මහණ, සතර මහා ධාතු හේතුයි, සතර මහා ධාතු ප්‍රත්‍ය යැයි 'රූප ස්කන්ධය' පනවන්න. සතර මහා ධාතුව හා සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින රූප වලටයි 'රූප ස්කන්ධ' යැයි කියන්නේ. ඒ නිසා සතර මහා ධාතුව හේතුයි, සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙනයි රූපය තියෙන්නේ.

ඇහැට පේනවා කියලා අපි යමක් ගැන කතා කරනවා නම් ඒ සතර මහා ධාතුව ඇති තැනක පෙනෙන වර්ණ සටහනක්. නාසයට දැනෙන්නේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින ගන්ධය, දිවට දැනෙන්නේ සතර මහා ධාතුව ඇති තැනක රසය, ඒ වගේම කයට ඒ මහා භූත රූපයන්ගේ ලැබෙන ස්පර්ශය කියන බව. ඒ නිසා 'රූප ස්කන්ධය' යැයි කියලා පනවනවා නම් හේතුව සතර මහා ධාතුව හා උපාදය රූපයි කියලා කියනවා. ඒ වගේම "ඵස්සො හෙතු, ඵස්සො පච්චයො වෙදනාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු, ඵස්සො පච්චයො සඤ්ඤාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු, ඵස්සො පච්චයො සඞ්ඛාරක්ඛන්ධස්ස පඤ්ඤාපනාය.නාමරූපං ඛො, භික්ඛු, හෙතු, නාමරූපං පච්චයො විඤ්ඤාණක්ඛන්ධස්ස පඤ්ඤාපනායා’’ති. "

ස්පර්ශය හේතුයි, ස්පර්ශය ප්‍රත්‍යයයි වේදනා ස්කන්ධයේ පැනවීම සදහා. ස්පර්ශය ඇති තැනක තමයි වේදනා ස්කන්ධයේ පැනවීම සිද්ධ කරන්නේ. ස්පර්ශය ඇති තැනක තමයි සඤ්ඤා ස්කන්ධය පනවන්නේ. ස්පර්ශය ඇති තැනක තමයි සංස්කාර ස්කන්ධයේ පැනවීම සිද්ධ කරන්නේ. නාමරූප ඇති තැනක තමයි විඤ්ඤාණ ස්කන්ධයේ පැනවීම සිද්ධ කරන්නේ කියලා මෙන්න මේ විදිහට මේ කාරණාව බෙදා දක්වනවා. කුමන හේතුවක් නිසාද, කුමන ප්‍රත්‍යයක් නිසාද මේ ස්කන්ධයි කියලා පනවන්නේ කියලා කියනකොට, දැන් අපි කතා කළා මහාභූත රූපය හා උපාදය රූප නිසා තමයි මේ රූප ස්කන්ධයේ පැනවීමට යන්නේ කියලා. ස්පර්ශ හේතුවෙන් තමයි වේදනා, සඤ්ඤා, සංස්කාර කියන ධර්මයන්ගේ පැනවීමට යන්නේ. නාමරූප ප්‍රත්‍යයෙන් තමයි විඤ්ඤාණයේ පැනවීමට යන්නේ.

වේදනාව කියන්නේ 'විඳීම' කියන දේ. සංඥාව කියලා කියනවා 'හැඳිනීම' කියන දේ. සංස්කාරය කියලා කියනවා 'චේතනාව' නැතිනම් හිතීමට. විඤ්ඤාණය කියනවා 'විජානනයට'. මෙතන ස්පර්ශ ප්‍රත්‍යයෙන් ස්කන්ධ තුනක් පෙන්වනවා වේදනා, සඤ්ඤා, සංස්කාර කියන ටික. ස්පර්ශය කියන දේ කුමක්ද? ස්පර්ශය කියන්නේ යම්කිසි කාරණා ටිකක එකතුවක්. ඒක හරියට ලිප්ගල් තුනක් උඩ මුට්ටියක් තිබ්බහම ලිප්ගල් තුනේ එකතුව නිසා තමයි ලිප්ගල තුන උඩ තියෙන මුට්ටියේ පැවතීම සිද්ධ වෙන්නේ. ඒ වගේ ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ ආදී ධර්මයෝ ඇති තැනක තමයි ස්පර්ශය කියන දේ විද්‍යමාන වෙන්නේ. ඇහැත් රූපයත් තිබුනත් එතැනදී පමණක්ම මේ සුත්‍රයේ කතා කරන 'ස්පර්ශය' කියන තැන අපිට කතා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.

ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ. ආදී තුන්දෙනාගේම එකතුව යෙදුනොත් මේ කියන 'ස්පර්ශය' අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ සුත්‍රයේදී තුන් දෙනෙක්ගේ එකතුවක් අරගෙන තමයි ස්පර්ශය කියන දේ ගන්නේ, "චක්ඛුඤ්ච, පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, යං වෙදෙති තං සඤ්ජානාති" කියනවා වගේ ස්පර්ශය නිසා අරමුණක් විඳිනවා, හඳුනනවා, හිතනවා කියලා ක්‍රියාවලියක් තියෙනවා. අන්න ඒ තැනකදී ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන, ස්පර්ශය හේතු කරගෙන තමයි විඳීම කියන දේ හටගන්නෙත්, හැඳිනීම කියන දේ හටගෙන තියෙන්නෙත්, හිතීම කියන දේ හටගෙන තියෙන්නෙත්.

ඇහැ නැත්නම් රූපය නැත්නම් මේ වේදනා, සඤ්ඤා, සංස්කාරයන්ගේ හටගැනීමක් වෙන්නේ නැහැ. ඇහැ රූප තිබුනත් ඒ කෙරෙහි හිතේ නැඹුරුවක් නැත්නම්, හිතේ මනසිකාරයක් යෙදෙන්නේ නැත්නම් ඒද දැනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ එහෙනම් ඇහැ-රූප ඇති තැනක හිතේ නැඹුරුතාවයක් සමග තමයි මේ 'ස්පර්ශය' යැයි කියන පැනවීමට යන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ, සඤ්ඤාව හටගන්නේ, සංස්කාරය හටගන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා, සඤ්ඤා, සංස්කාරයන් හටගන්නවා කියලා කියනකොට ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන, ඒ ස්පර්ශය අනුව ගිහිල්ලා වේදනාව තනියම ජීවත් වෙනවා කියන එක නෙමෙයි එතැනදී පැහැදිලි කරගන්නට ඕනේ, සඤ්ඤාව තනියම තියෙනවා කියන එක නෙමෙයි එතනදී පැහැදිලි කරගන්නට ඕනේ. සංස්කාරය තනියම තියෙනවා කියන එක නෙමෙයි එතැනදී පැහැදිලි කරගන්නට ඕනේ.

පෙළ දහම තුල පැහැදිලි කෙරෙන අර්ථයක් තියෙනවා. ඒ අර්ථය අපි ඒ ඒ තැනට සාපේක්ෂව ගන්නට ඕනේ. උදාහරණයකට, 'චක්ඛු විඤ්ඤාණ සිතයි' කියලා අපි කිව්වොත්  ඇහෙන් රූපයක් දැනගන්න මට්ටමත් විජානන ලක්ෂණයක් නේ, ඒකත් විඤ්ඤාණයක්නේ. මෙතනදී මේක වේදනාවයි, මේක සඤ්ඤාවයි, මේක සංස්කාරයයි කියලා මේ නාමරූප ප්‍රත්‍යයෙන් චක්ඛු විඤ්ඤාණය හටගත්තේ කියලා ඒ චක්ඛු විඤ්ඤාණ සිත ඇතුලේ නාම ධර්මතා ටික වෙන වෙනම කතා කරන්නේ නැහැ. ඒ කතා නොකරන්නේ එතනදී හේතුවක් තියෙන නිසා.

ඒ තමයි මේ නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය කියන තැනදී ඒ තැන අර්ථ දැක්විය යුතු ක්‍රමයක් තියෙනවා. චක්ඛු විඤ්ඤාණය නම්, චක්ඛු විඤ්ඤාණයට කොහොමද නාමරූප කියන දේ අර්ථ දැක්වෙන්නේ කියලා. එතකොට එතනදී ඇහැ- රූප කලින් හටගත්ත දෙයක්. ඒ වගේම වේදනා, සඤ්ඤා, සංස්කාරයන් එකටම ඉපදෙන බව, ඒ සියලුම ධර්මයන්ගේ දැනගැනීම (විඤ්ඤාණය) කියන දේ සමගම තමයි වේදනා, සඤ්ඤා, සංස්කාරයන්ගේ පහලවීම දක්වන්නේ. ඒකට ධර්මය තුල විග්‍රහවෙන වචනය තමයි 'සහජාතයි' කියන එක. ඒ චක්ඛු විඤ්ඤාණ සිතත් එක්ක පෙරපසු නැතුව චක්ඛු විඤ්ඤාණ සිතේ වේදනා, සඤ්ඤා, සංස්කාර එකට හටගන්නා (සහජාත) ධර්මතා ටිකක්.

ඒ එකට ඉපදුන ධර්ම ටික එතැනදී තියෙන නිසා නාමරූප ප්‍රත්‍යයෙන් තමයි විඤ්ඤාණය, නාමරූප කියන එක ප්‍රත්‍ය වුනේ කොහොමද නාමය 'සහජාත ප්‍රත්‍යයෙන්' ප්‍රත්‍ය වුනා, ඇහැ - රූපය 'පුරෙජාත ප්‍රත්‍යයෙන්' ප්‍රත්‍ය වුනා චක්ඛු විඤ්ඤාණයට. අන්න ඒ විදහට තමයි චක්ඛු විඤ්ඤාණ සිත කියන එකේ නමාරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා කියලා නම් ඒ බව කතා කරන්නේ. ඊටපස්සේ මේ සුත්‍රයේදී ස්පර්ශයේ පැනවීමට කුමක්ද හේතුව කියන එක නිශ්පරියයෙන් කතා කරන තැනක්. ඒ නිසා එතනදී සාමන්‍යය විදිහටයි ගන්නේ. අර වගේ හිතක් හිතක් ගානේ ගන්න ක්‍රමවේදයකට නෙමෙයි, මේ නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා කියන දේ කතා කරන්නේ.

ඒ නිසා එතැනදී 'විඳීම', 'හැඳිනීම' හා 'හිතීම' කියන ටික උපදින්නේ ස්පර්ශයක් ඇති තැනක. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි ඒ ටික හටගන්නේ. ස්පර්ශ වුනු රූපයත් ඒ රූපය අරබයා ඇතිවුන වේදනා, සඤ්ඤා, සංස්කාර කියන නාම ධර්මතා කියන මේ ටික නිසා තමයි විඤ්ඤාණය හටගන්නේ. ඒ නිසා නාමරූප ප්‍රත්‍ය කරගෙන විඤ්ඤාණය හටගන්නවා කියලා මෙතැනදී පැහැදිලි කරනවා. එතකොට මෙතනදී අපි කාරණා දෙකක් විමසුවේ. ඒ කියන්නේ නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය කියනකොට අපිට හිතන්නට ගොඩාක් කාරණා තියෙනවා. ඒ ගොඩාක් කාරණා හිතන්න තියෙන තැනක මෙතැනදී නිශ්පරියායෙන් කරන පැහැදිලි කිරීමක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ.

ඒ නිසා මෙතන නාමරූප ප්‍රත්‍යය අර පටිච්චසමුප්පාදය තුල කතා කරන නාමරූප පරියායවත්, එහෙම නැතිනම් චක්ඛු විඤ්ඤාණ සිතේ යෙදෙන නාමරූප පරියායවත් නෙමෙයි මෙතැනදී ස්කන්ධයන්ගේ පැනවීම සදහා ප්‍රත්‍ය වෙන්නේ කුමක්ද කියලා, හුදු ස්කන්ධ මාත්‍රිකව අරගෙන විතරයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ වේදනාව විතරක් වෙන් කරලා අරගෙන කතා කරනවා කුමක් ඇති කල්හිද වේදනාව කියලා? ස්පර්ශය ඇති කල්හි වේදනාව. සඤ්ඤාව විතරක් වෙන් කරලා අරගෙන කතා කරනවා කුමක් ඇති කල්හිද සඤ්ඤාව? ස්පර්ශය ඇති කල්හි. සංස්කාරය විතරක් වෙන් කරලා අරගෙන කතා කරනවා කුමක් ඇති කල්හිද සංස්කාරය? ස්පර්ශ ඇති කල්හි. එහෙනම් දැනගන්නේ නාමරූප කියන දෙකම නිසා.

මෙන්න මේ විදිහට මේ ප්‍රත්‍යවීම පිළිබඳව කතා කරනවා. ඊටපස්සේ අහනවා. ‘‘කථං පන භන්තෙ, සක්කායදිට්ඨි හොතීති"? ස්වාමීනි, සක්කාය දිට්ඨිය ඇතිවෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය ඇතිවෙන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අශ්‍රැතවත් පෘථග්ජන කෙනා,

** "රූපං අත්තතො සමනුපස්සති" - (රූපය ආත්මවත් කොට හිතනවා. මේ පෙනන රූපයම ආත්මයක් කොට හිතනවා)

** "රූපවන්තං වා අත්තානං සමනුපස්සති" (ආත්මය රූපවත් වූ එකක් කියලා දකිනවා)

** "අත්තනි වා රූපං සමනුපස්සති" - (ආත්මය කෙරෙහි රූපය පිහිටලා තියෙනවා කියලා හිතනවා)

** "රූපස්මිං වා අත්තානං සමනුපස්සති " - (රූපය කෙරෙහි ආත්මය පිහිටලා තියෙනවා කියලා හිතනවා)

මේ කොයි ආකාරයකින් හෝ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන පහටම යෙදෙනකොට ඉහත කී හතර ආකාරයම විසි ආකාර සක්කාය දිට්ඨිය කියලා කියනවා. උදාහරණයකට වේදනාව අනුව ගත්තොත්, 'වේදනාව ආත්මවත් කොට ගන්නවා', 'වේදනාවත් වූ ආත්මයක් තියෙනවා' කියලා, (ඒ කියන්නේ වේදනාව හා ආත්මය කියන මේ දෙකම දෙකක් නෙමෙයි මේ දෙකම එකක් වුවක්මයි පවතින්නේ කියලා හිතනවා), 'ආත්මය කෙරෙහි වේදනාව' පිහිටලා තියෙනවා, 'වේදනාව කෙරෙහි තමයි ආත්මය' පිහිටලා තියෙන්නේ කියලා සියුම් වශයෙන් ඇතිවෙන දෘෂ්ඨි සහගත ස්වභාවයක්.

ඒක අපිට ප්‍රකට වෙන්නේ පුද්ගල බවකින්, ඒ කියන්නේ විඳින්නේ 'මම', එහෙම නැතිනම් විඳින බවට තමයි 'මම' කියන්නේ, එහෙම නැතිනම් විඳීම කෙරෙහි තමයි 'මම' ජීවත් වෙන්නේ, එහෙම නැතිනම් 'මම' කියන එක ඇතුලේ තමයි විඳීම කියන ලකුණ තියෙන්නේ කියලා, මේ ආකාර වලින් කොයි විදිහකට හෝ අපේ ජීවිතය පැත්තෙන් එලියට මේක ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා, ස්කන්ධ පහ පිළිබඳව සතර ආකාරයකින් යෙදෙනකොට විසි ආකාර සක්කාය දිට්ඨිය කියලා කියනවා.
එතකොට සක්කාය දිට්ඨිය නොවන්නේ කොහොමද කියලා අහනකොට මේ විදිහට උපාදාන වශයෙන් වැරදි විදිහට දකින්නේ නැත්නම්, ආත්ම දෘෂ්ඨිය නැති කරගන්නවා නම් සක්කාය දිට්ඨිය නැති කරගන්නට පුළුවන්කම තියෙනවා.

මතු සම්බන්ධයි

පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 02.05.2020 දින සිදුකල දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි,

Post a Comment

0 Comments