මහා පුණ්ණම සූත්‍රය 5



මහාපුණ්ණම සුත්‍රය 5


~~ ආශ්වාද, ආදීනව, නිස්සරණය~~

මේ භික්ෂුව විසින් ස්කන්ධයන්ගේ ආශ්වාද, ආදීනව, නිස්සරණය කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ‘‘යං ඛො භික්ඛු, රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපෙ අස්සාදො" - රූපය නිසා, රූපයක් ඇසුරු කරගෙන ඉන්න පුද්ගලයෙක්ට ඒ රූපය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒකට කියනවා රූපයේ ආශ්වාද ස්වභාවය විඳින කෙනෙක් කියලා. ඒක තමයි 'රූපයේ තියෙන ආශ්වාදය'. "යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං රූපෙ ආදීනවො" - හටගත්ත රූපය ඉතුරු නැතුව නැතිවෙලා යන ලක්ෂණයකින් යුක්තයි, ඒ නිසාම දුක්ඛ ලක්ෂණයකින් යුක්තයි, විපරිණාම ධර්මයකින් යුක්තයි, ඒ නිසා මේක තමයි 'රූපයේ ආදීනව'.

"යො රූපෙ ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං රූපෙ නිස්සරණං" - රූපයෙහි  ඡන්ද රාග ප්‍රහාණය පිණිස ඡන්ද රාග විනයක් තියෙනවා නම් ඒ ඡන්ද රාග විනය තමයි 'නිස්සරණය'. මේ ආශ්වාද, ආදීනව, නිස්සරණ යැයි කියලා දේශනා කරනවා. (මෙසේ අනික් ස්කන්ධ හතර කෙරෙහිද දතයුතුයි.) මේ ටික අපි ඉතාම පැහැදිලි කරගත යුතු කාරණාවක්, ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්න අවශ්‍ය මාතෘකාවක්. හේතුව තමයි ආශ්වාද, ආදීනව, නිස්සරණ කියන වචන ටික අද සමාජය තුල බොහොම ලොකුවට කතා වෙනවා. හැබැයි එතනදී කොතැකින්ද අපි ආශ්වාදය තේරුම් අරගෙන තියෙන්නේ, කොතැකින්ද ආදීනවය කියන දේ තේරුම්ගෙන තියෙන්නේ, කොතැකින්ද නිස්සරණය කියන දේ පනවන්නේ කියන එකෙහි යම් ගැටළුවක් තියෙනවා.

**ආශ්වාදය**

පින්වතුනි, රූපයේ ආශ්වාදය හැටියට දක්වන්නේ රූපය නිසා උපදින සැප, සතුටු සහගත ස්වභාවය. ඒ කියන්නේ ඔබ රූපයන් පිළිබඳව කැමති වෙනවා නම් ඒ කැමතිවෙන ලක්ෂණය. ඔබට ප්‍රියමනාප දෙයක් සිහිපත් කරගන්න පුළුවන් නම්, ඔබට හිත හිතා සතුටු වෙන්න පුළුවන් නම්, ඔබ අද සැපක් කියලා දෙයක් විඳිනවා නම් ඒ හැම දේකටම කියනවා රූපයෙහි තියෙන ආශ්වාදය කියලා. ආශ්වාදය අනුව දකින කෙනෙක්ට තමයි රූපයෙන් මිදෙන්න බැරිකම තියෙන්නේ. ඒ මොකද, ඒ කෙනා ආශ්වාදය අනුව ජීවත්වෙන නිසා.

**ආදීනවය**

ආශ්වාදය කියන එක වගේම රූපයෙහි ආදීනවයක් තියෙනවා. ආදීනවය කුමක්ද?
-- රූපය අනිත්‍යයි - (හේතු නිසා සකස්වෙන ධර්මයක් හේතු නැතිවෙන කොට නැතිවෙලා යන දෙයක්),
-- රූපය සඞ්ඛතයි,
-- රූපය දුක්ඛ ධර්මයක්.
-- අනාත්ම ධර්මයක්.

මේවා තමයි රූපයේ ලක්ෂණ, රූපයේ ස්වභාවය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය. මේ කාරණාව ටිකක් අපි තේරුම් ගන්නට ඕනේ, කතා කරන්නට අවශ්‍යවන කාරණාවක්. සමහර වෙලාවට අපිට සමාජය තුලින් අහන්න දකින්න ලැබෙනවා මේ කාරණා පිළිබඳව යම් යම් වැරදි මතවාදයන්ට පත්වීමකුත්. රූපය කියන එක 'අනිත්‍ය' යි කියලා කියනකොට 'අනිච්ච' කියන පාලි වචනය අරගෙන 'අනිච්ඡ' කියලා වෙනස් කරන්න උත්සාහවත් වෙනවා.

ඒ කියන්නේ ආශ්වාද වශයෙන් පුරවලා ඉවර කරන්නට බැරි නිසා 'රූපය ඉෂ්ඨ නොවන දෙයක්' හැටියට දක්වලා මේක 'අනිච්ඡ' යි කියන අර්ථයෙන් පෙළ දහම වෙනස් වෙන්න ඕනේ කියලා, 'අනිච්ච' (අනිත්‍ය) කරලා මේක අර්ථ විපර්යාසයකට ලක්කළා කියලා චෝදනාවක් පවා ඒ පිරිස් විසින් එල්ල කරනවා. ඒ නිසාම අපි මේ ගැන ටිකක් කතා කළ යුතුයි. ඉතාම වැදගත් තැන, ප්‍රයෝගිකව අවබෝධයකට යන්නට තියෙන තැන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය. 'අනිච්ච' කිව්වත් 'අනිත්‍ය' කිව්වත් මේ දෙකේම අර්ථය දෙකක් නෙමෙයි එකම අර්ථය. ඒ තමයි "උප්පාද වයත්ථෙන අනිච්චං" උදය වැය අර්ථයකින් තමයි අනිත්‍ය ගැන කතා කරන්නේ. හේතු නිසා හටගන්නවා, හේතු නැති වෙනකොට නැතිවෙලා යනවා කියන ලක්ෂණය තමයි එහි ඇති 'අනිත්‍ය' බව.

කැමැත්ත ඉෂ්ඨ නොකරනවා කියන එක "යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්ඛං" කියලා අපි කලිනුත් සඳහන් කළා. අපි යම් දෙයකට කැමති වෙනවා නම් , ඒ කැමතිවෙන දේ ඒ විදිහට නොපවතින බව තමයි දුක කියලා කියන්නේ. 'යම්‌පිච්‌ඡං' - යමක් කැමති නම්, 'න ලභති තම්පි දුක්ඛං' - ඒ දේ ලැබෙන්නේ නැත්නම් දුකයි. ඒ කැමති සේ නොපවතිනකම දුකයි. ඒක ලෝකයේ අමුතුවෙන්ම තේරුම් කරගන්න ඕනේ, අමුතුවෙන් අවබෝධ කරගන්න ඕනේ දෙයක් නෙමෙයි. නමුත් රූපයේ ආදීනව ගැන අපි තේරුම් ගන්නට ඕනේ දෙයක්, ඒක අවබෝධ කරන්නට ඕනේ දෙයක්. ආර්ය දර්ශනයකින් පෙන්නලා දෙන්නට ඕනේ දෙයක් රූපයේ ආදීනවය.

ඒ ආදීනවය සාමාන්‍ය ආදීනවයක් වෙන්න බැහැ. ඒ ආදීනවය, 'අපි කැමති විදිහට ලෝකේ පවතින්නේ නැති එක' නිසා අපිට ඇතිවෙන මානසික දුක්ඛ වේදනාව පැත්තෙන් අරගෙන ඒ දුක ගැන කතා කරලා බැහැ. එහෙනම් ඒ අනිත්‍ය ධර්මය ගැන අපි කතා කරන්නට ඕනේ පැත්තක් තියෙනවා. ඒ අනිත්‍ය ධර්මය ගැන අපි කතා කරන්නට ඕනේ 'උදය වැය අර්ථයකින්' කියන කොට ඒක ඉතාම ගැඹුරු මට්ටමකට යනවා. ඒක ඉතාම ගැඹුරු ධර්ම කාරණාවක් තමයි අපිට විග්‍රහ කරලා දෙන්නේ. ඒක සරල තැනකින් අපිට අර්ථ දක්වලා තියන්න පුළුවන්කමක් නැහැ. මොකද, අනිත්‍ය කියන එක අවබෝධය කිරීම තුළින් සාක්ෂාත් වෙන්නේ නිවන. අනිත්‍ය කියන දේ වරදවා ගත්තොත් වරදින්නෙත් නිවන.

ඒ නිසා යම්කිසි කෙනෙක් අනිත්‍ය කියන දේ අවබෝධ කරගන්නවා නම් ඒ කෙනාට අනිමිත්ත චෙතෝ විමුක්තිය ගෙනල්ලා දෙන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ එයාට නිමිති හම්බවෙන්න බැරිකමක් තියෙනවා. 'අනිමිත්තයි' කියලා කියන්නේ එයාට 'නිමිති කරන ධර්ම' හම්බ වෙන්නේ නැහැ. අනිත්‍ය කියන දේ සාක්ෂාත් කළොත් තමයි නිමිති හම්බ වෙන්නේ නැත්තේ. අපි කැමති සේ නොපවතින ලෝකය ගැන හිතුවා කියලා, ඒක ආදීනවය දැකීමක් වෙන්නේ නැහැ, අනිත්‍ය දැකීමක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙක් ඔය දේ වැරදියට හසුවීමට ඉඩකඩ තියෙන්නේ අපි කල්පනා කරනවනේ 'කැමති දේ නැතිවීම' කියන එක තමයි දුක කියලා.

~~යමක් අනිත්‍ය නම් එය දුකයි ~~

ඒ කියන්නේ "යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්ඛං" කියලා වගේම, බුදුරජාණන් වහන්සේ "යදනිච්චං තං දුක්ඛං" කියලත් දේශනා කරනවා. "යදනිච්චං තං දුක්ඛං" කියන එක සහ "යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්ඛං" කියන දෙක අතර වෙනස වටහා ගන්න බැරිකම නිසා ඇතැමෙක් මේ දෙක එකක් කියලා හිතනවා. "යදනිච්චං තං දුක්ඛං" - යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියන්නේ කැමති විදිහට නොපවතින දේ දුකයි කියන සරල තැනකින් නෙමෙයි. ඒ කියන්නේ පිළිකාවක් තියෙන කෙනෙකුට පිළිකාව හොඳ වුනොත්, පිළිකාව අනිත්‍ය වුනා නේ, ඒ නිසා පිළිකාව අනිත්‍ය වුන තැනින් දැන් සැපයි නේ, එහෙනම් අනිත්‍ය නිසා දුක නෙමෙයි සැපත් ඇවිල්ලා නේ කියන තැනකින් වගේ ඒක වහන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ යමක් අනිත්‍ය නම් එයම දුකයි කියන එක.

හේතුව, අනිත්‍ය කියලා කතා කරන්නේ මානසිකව ඇතිවෙන දුකක් ගැන හෝ මානසිකව ඇති කරන සතුටක් ගැන කතා කරන තැනක් නෙමෙයි. එතනදී දුක කියන්නේ - මානසිකව ඇතිවෙන දුක නෙමෙයි. එතන දුක කියන එක කතා කරන්නේ දුක්ඛ ධර්මයක් ගැන. මේ ශාසනයේ දුක අපි නුවණින් අවබෝධ කරන්න තියෙන දෙයක්, නුවණින් පිරිසිඳ දකින්න තියෙන දෙයක්. ඒ දුක, අපි සාමාන්‍යයෙන් විඳින කායික හෝ මානසික දුකක් නෙමෙයි. වේදනාවකින් නෙමෙයි ඒ දුක තේරුම් ගන්නට ඕනේ.

ඒ දුක කියන දේ තේරුම් ගන්නට ඕනේ නුවණින්. ඒ නුවණින් තේරුම් ගන්නට ඕනේ තැන තමයි "යදනිච්චං තං දුක්ඛං" කිව්වේ. ඒ කියන්නේ 'යමක් අනිත්‍ය නම් ඒක දුකයි'. මේ දෙක අතර වෙනසක් තියෙනවා. 'අනිත්‍ය නිසා දුක ආවා නෙමෙයි'. "යදනිච්චං තං දුක්ඛං" - යමක් අනිත්‍ය නම් ඒකම දුකක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ විවරණය කරන්නේ. යමක් අනිත්‍ය මුල්කොට පවතිනවා නම් ඒ අනිත්‍ය යැයි කිව්වේ උදය වැය අර්ථයෙන් නේ. හටගෙන නැතිවෙනවා නම් ඒ හටගෙන නැතිවෙන බවම දුකයි. ඇයි? එතනදී කතා කරන්නේ දුක්ඛ වේදනාව ගැන නෙමෙයි.

~~ ස්කන්ධයන්ගේ දුක්ඛ ලක්ෂණ ~~

'ඔළුවේ කැක්කුම' තියෙනවා කියන දුක්ඛ වේදනාව නැතිවීම නිසා සැපයි කියන තැන කතා කරන්න පුළුවන්කමක් නැහැ මෙතන කතා කරනවා දුක්ඛ ලක්ෂණ ටිකක්. ඒ තමයි,

- - ස්කන්ධයන්ගේ පීළන අර්ථයේ දුක්ඛ ලක්ෂණය. - එතන පෙළීම් අර්ථයක් තියෙනවා. පෙළීම කියන්නේ කායික, මානසික පෙළීම නෙමෙයි. එහෙනම් එතන පෙළීම කියන්නේ මොකේද? හේතුන්ගේ පෙළීම.

- - එතන සඞ්ඛත ලක්ෂණයක් තියෙනවා - සඞ්ඛතයි කියලා කියන්නේ හේතු නිසා සකස් කරන බවක්.

- - විපරිණාම ලක්ෂණයක් තියෙනවා - හේතු නැතිවෙන කොට නැතිවෙලා යනවා. හේතුන්ගේ විපරිණාමය පේනවා. මෙන්න මේ හේතු සකස් වෙනවා, හේතු නැතිවෙන කොට නැතිවෙනවා. හේතුන්ට පවතින්න බැරි බව නිසා හේතු අතර පෙළීමක් තියෙනවා.

~~යමක් දුක නම් එය අනාත්මයි~~

එතකොට හේතු අතර පෙළීම නිසා ඒ දේ 'දුක්ඛ ධර්මයක්' කියලා කියනවා. අපි ඒ කතා කරන්නේ දුක්ඛ ලක්ෂණ ටිකක්. ඒ ටිකම නේ ‘අනිත්‍ය‘ යැයි කිව්වේ. ඒ නිසා තමයි "යං අනිච්චං තං දුක්ඛං" - යමක් අනිත්‍ය නම් ඒකම දුකයි කියලා කිව්වේ. වෙනම අනිත්‍ය, වෙනම දුක ආවා නෙමෙයි. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මයම දුක්ඛ ධර්මයක් කියලයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ යමක් හටගෙන නිරුද්ධ වීමම දුක්ඛ ධර්මයක්. ඒ අනිත්‍ය ධර්මයම දුක්ඛ ධර්මයක්ම වෙනකොට "යං දුක්ඛං තදනත්තා" - යමක් දුක නම් ඒක අනාත්මයි. අනාත්මයි කිව්වේ ආත්මයක් නැහැ නෙමෙයි. ආත්මභාව වශයෙන් පවත්වන්න තැනක් නැහැ කියන එකෙන්. ඒ කියන්නේ ආත්මභාව වශයෙන් සාරවත් විදිහට ඇසුරු කරන්න තැනක් නැහැ කියන එකෙන්.

ඒ නිසා අනාත්මයි කියන්නේ 'ආත්මයක් නැහැ' කියන අර්ථය දෙන්න එපා. 'ආත්මයක් තියෙනවා' කිව්වත් වැරදි, 'ආත්මයක් නැහැ' කිව්වත් වැරදි, මොකද 'ආත්මයක් ගැන කතාවම' වැරදි නිසා. ‘ආත්මභාව වශයෙන් පවත්වන්න තැනක් නැහැ’ කියන එකයි කියන්නේ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒක ආත්මභාවයක් වෙන්න බැහැ. හැබැයි හේතු ඇති කල්හි හටගත්තා නේ. ඒ නිසා කෙනෙකුට ‘නැහැ’ කියන්න බැහැනේ. හැබයි හේතු ටික නැති වෙනකොට නැතිවෙලා ගියා. එහෙනම් එයාට ‘තියෙනවා’ කියලා කියන්නත් බැහැ. ඒ නිසා හේතුඵල දහමක් පිළිබඳයි මේ දැනුම ගෙනල්ලා දෙන්නේ.

ඒ නිසා තමයි රූපයේ ආදීනවයක් පෙනෙන්නේ. හටගත්ත රූපය ඉතුරු නැතිව නැතිවෙලා යනවා. ආපහු ඊළඟ දවසේ ඔබට ඇහැට ගැටෙනකොට විපරිණාමයක් පෙනෙනවා රූපය තුල. ඔබ දකින්න බලාපොරොතු වෙන්නේ 'කෙනෙක්ව' දකින්න. හැබැයි ඔබට පෙනෙන්නේ තව දෙයක්. එතකොට ඔබට ජීවිතේට දුක ගලාගෙන එන්න පුළුවන් පැත්තක් තියෙනවා. අන්න එතකොට රූපය කෙරෙන් එන දුක ඔබට විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වේදනාවේ විපරිණාමයක් තියෙනවා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ විපරිණාමයක්, වෙනස්වෙන බවක් ඔබට පෙනෙනවා. ඒ එතන තියෙන අනිත්‍ය ලක්ෂණය නිසා. එතන තියෙන දුක්ඛ ලක්ෂණය නිසා, එතන තියෙන අනාත්ම ලක්ෂණය නිසා.

~~ ආදීනවය අවබෝධ කරගත යුතුයි ~~

ඒ නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ ටික තමයි රූපයේ ‘ආදීනව’ කියලා කියන්නේ, ආදීනවය කියන එක පින්වතුනි, විඳින්න තියෙන දෙයක් නෙමෙයි. ආදීනවය කියන එක අපි අවබෝධ කරන්න තියෙන දෙයක්. ආශ්වාදය කියන එක අපි දැක්කා. ආශ්වාදය දැකපු අපි, ආදීනවයත් දැක්කා මේ වගේ ආදීනවයක් තියෙනවා රූපයේ. එතකොට අපි රූපය නිත්‍ය විදිහට කල්පනා කළොත්, රූපය සැප විදිහට කල්පනා කළොත්, රූපය ආත්ම විදිහට හිතුවොත් මොකද වෙන්නේ? රූපයේ සැබෑ ස්වභාවය තියෙන්නේ 'සඞ්ඛත' බවක නම්, හේතු නිසා සැකසෙන බවක නම්, ඒ හේතු නැතිවෙන කොට නැතිවෙන බවක නම්. එහෙනම් අපි ගත්ත වැරදි දෘෂ්ඨිය නිසා එන දුක විඳින්න වෙනවා අපිට. ජාති, ජරා, මරණ දුක උරුම කරලා දෙනවා.

**නිස්සරණය**

එහෙනම් අපිට සිද්ධ වෙනවා රූපයේ නිස්සරණයක් දකින්න. රූපයේ නිස්සරණය කියලා කිව්වේ රූපය කෙරහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, ඒ ඡන්දරාගය දුරුකිරීම රූපයේ නිස්සරණයයි. ඡන්දරාගය දුරුකිරීම කොතැකින්ද? පින්වතුනි, 'ඡන්දය' කියලා කියන්නේ කැමැත්තට, 'රාගය' කියලා කියන්නේ ඇලීමට. 'ඡන්දරාගය' කියලා කියනවා කැමැත්තෙන් ඇලෙනවා කියන එකට. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඡන්දරාගය දුරු කරගැනීම සදහා. ඒ ඡන්දරාගය දුරු කරගන්නට අවැසි ධර්මය අපිට දේශනා කරනකොට ඒක 'නිස්සරණයනේ'. 'නිස්සරණය' කියලා කියන්නේ නිරෝධයට තව නමක්. එහෙනම් අපිට නිස්සරණය කියන එක අපිට තේරෙන්න ඕනේ නිරෝධය කියන එක බව.

ඒ නිරෝධය අපිට නිකන්ම ගේන දෙයක් නෙමෙයි. ඡන්දරාගය කියන එක දුරු කරගැනීම කරගන්න පුළුවන්කමක් නැහැ පින්වතුනි, ඒ ඡන්දරාගය පතිත කරන දේවල් ටික ලෝකේ තියෙනවා නම්. ඒ කියන්නේ අපිට ඒ ඡන්දරාගය ඇසුරු කරන්න පුළුවන් දේවල් ටික ලෝකේ පවතිනවා නම්, ඒ පවතින දේ මත ඡන්දරාගයෙන් ඇසුරු නොකාර ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි උදාහරණයකට ගත්තොත් අනාථපිණ්ඩිකොවාද සුත්‍රයේදී, අනේපිඩු සිටුතුමාට දේශනා කරනවානේ "ග්‍රැහවිය, ඔබේ සිතට - රූපය ඇසුරු නොවේවා, ඇස ඇසුරු නොවේවා, චක්ඛු විඤ්ඤාණය ඇසුරු නොවේවා" කියලා. (අනික් ආයතන ගැනත් මෙසේ පෙන්වනවා)

~~ කොහොමද විඤ්ඤාණය නොපිහිටන්නේ ~~

-- විඤ්ඤාණයට ඇස ඇසුරු නොවන්නේ කොහොමද,
--විඤ්ඤාණයට රූපය ඇසුරු නොවන්නේ කොහොමද,
--විඤ්ඤාණයට චක්ඛු විඤ්ඤාණය ඇසුරු නොවන්නේ කොහොමද?

පින්වතුනි, ඇස ඇසුරු වෙනවා, රූපය ඇසුරු වෙනවා, විඤ්ඤාණය ඇසුරු වෙනවා කියලා කියන්නේ මනෝ විඤ්ඤාණයෙන් එහෙම නැතිනම් මනසින් බාහිර රූපය ඇති බවට ගන්නාකම, ඇස ඇති බවට ගන්නාකම, ඒ බාහිර රූපය ගැන දැනගන්නකම ඇති බවට ගන්නකම. ඒ ධර්මයෝ හටගෙන නිරුද්ධ වුන තැනක තමයි අපිට මේ 'හිතීම' (මනෝ විඤ්ඤාණය) කියන දේ පවතින්නේ. හැබැයි ඒ මනෝ විඤ්ඤාණය අර නිරුද්ධ වුන ධර්මයන් ඇති බවට නැවත නැවත ඇසුරු කරනවා නම් පින්වතුනි, අන්න අපිට දුක ගෙනත් දෙන්න පුළුවන් තැනක ඡන්ද රාගය ඇතිවෙන ලක්ෂණයක අපේ හිත පවතිනවා.

දැන් අපිට ඡන්ද රාගය ඇතිකර ගන්න පුළුවන්නේ. ඒ ඇයි? ඡන්ද රාගය ඇති කරගන්න ක්ෂේත්‍රය තියෙනවා, භූමිය තියෙනවා.ඒ නිසා අපිට ඡන්ද රාගය ඇති නොවී තියෙන්නේ නැහැ. ඒ නිසා ඡන්ද රාගය දුරු කරන්නට අවශ්‍ය නම්, ඡන්ද රාගය පවතින ක්ෂේත්‍රය නැති කරන්නට ඕනේ, ඡන්ද රාගය පවතින භූමිය නැති කරන්නට ඕනේ. ඒ හේතුව නිසා තමයි "චක්ඛුං භික්ඛවෙ පහාතබ්බා" - මහණෙනි, ඇස ප්‍රහාණය කරන්න, රූප ප්‍රහාණ කරන්න ආදී ලෙස මේ ටික දුරු කරන්න කියන්නේ. 'දුරු කරන්න' කියන එකෙන් අදහස් කරන්නේ මේ ඇහැ උදුරලා ගලවලා දාන්නවත්, රූප ගලවලා අයින් කරලා දාන්න කියන එකවත් නෙමෙයි. මේ ධර්මයෝ දුරු කරන්න කියලා දේශනා කරන්නේ මේ ධර්මයෝ ඇති බවට හිත ඇසුරු වෙන්න දෙන්න එපා කියලා.

ඇහේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන්න, ඇහේ ඇත්ත ඇති හැටියට දකින්න. එතකොට ඇහේ ඇත්ත ඇති හැටියට දකිනකොට අපිට පෙනෙයි හේතු නිසා හටගත්ත ධර්මයෝ හේතු නැති වෙනකොට නැතිවෙලා යන බව කියන අනිත්‍ය සාක්ෂාත් කරයි ඔබ. අනිත්‍ය සාක්ෂාත් කරනකොට ඔබට 'ඇහැක්' හම්බ වෙන්නේ නැහැ, ඔබට 'රූපයක්' වෙන්නේ නැහැ, ඔබට විඳින්න 'කෙනෙක්' හම්බ වෙන්නේ නැහැ. ඒකට කියනවා භූමිය නැතිවෙනවා කියලා, ක්ෂේත්‍රය නැතිවෙනවා කියලා. එවිට ඡන්ද රාගය අනුප්පාදයට යනවා. ඒකට කියනවා 'නොහටගන්නවා' කියලා. ඇයි ඡන්ද රාගය හටගන්න හා පවත්වන්න බිමක් නැහැ. බිමක් නැති තැනක ඡන්ද රාගය පවතින්නේ නැහැ. ඒ නිසා මේ ශාසනය තියෙන්නේ අන්න ඒ බිම නැති කරන තැනට, ක්ෂේත්‍රය නැති කරන තැනට.

ලෝකෙම තියෙනකොට, 'තියෙන ලෝකේ' ගැන නොඇලී ඉන්න බවක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඇලෙන්න ලෝකයක් නැති නිසා, ඇලෙන්න තියෙන හේතු ටික (ලෝකය) නැති කරලා. ඒ නිසා ඇලීම අනුප්පාදයට ගිහිල්ලා. ඒ ඇලීම අනුප්පාදයට යන තැනක් ගැනයි මේ ශාසනයේ කතා කරන්නේ. ඒ නිසා නිස්සරණය තේරුම් ගැනීමේදී අපිට වැදගත්ම නිර්ණායක ටික තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන්නේ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැනදී විඤ්ඤාණ ඨිතියක් ඉතුරු වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ හිතට පිහිටා සිටින්න තැනක් හම්බ වෙන්න බැහැ. ඇහැ හටගෙන නිරුද්ධ වෙනවා නම්, රූපය හටගෙන නිරුද්ධ වෙනවා නම්, චක්ඛු විඤ්ඤාණය හටගෙන නිරුද්ධ වන බව දැක්කා නම් පින්වතුනි, අපිට පිහිටා සිටින්න තැනක් ඇත්තේ නැහැ. මොකද, අපි ඒ ටික නිරුද්ධ වුණ බව දකින නිසා.

මතු සම්බන්ධයි

පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 02.05.2020 දින සිදුකල දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි
දේශනාව Youtube ඔස්සේ ශ්‍රවනය කිරීමට

Post a Comment

0 Comments