මහා පුණ්ණම සූත්‍රය 6



මහාපුණ්ණම සුත්‍රය 6


පින්වතුනි, ඔබ මීට අවුරුදු 10, 15කට කලින් මැරුණ කෙනෙක් ගැන දන්නවා නම්, ‘ඒ කෙනා ගැන හොයලා බලන්න ඕනේ, ඒ කෙනා කොහොමද, ඒ කෙනා ලෙඩවෙලාද, වයසට ගිහිල්ලාද දන්නේ නැහැ කියලා හෝ මේ කාල වකවානුවේ කන්න බොන්න තියෙනවාද දන්නේ නැහැ’ කියලා ඔබට හොයන්න බලන්න හිතන්න හිතක් පහළ වෙයිද? ඔබට එහෙම හිතක් පහළ වෙන්නේ නැහැ. ඔබට හිතක් පහළ වෙන්නේ නැත්තේ ඇයි? ඔබ හොඳට දන්නවා ඒ කෙනා මැරුන බව.

පින්වතුනි, ඒ වගේ, ''රූපය හේතු නිසා හටගෙන, හේතු නැති වෙනකොට නැති වෙනවා'' කියලා යම්කිසි කෙනෙක් දන්නවා නම්, එයාගේ හිත රූපය ඇසුරු කරන්නේ නැහැ නේ. රූපය ඇසුරු කරන්නේ නැත්තම්, ඒ රූපය ගැන එයාට 'මේ රූපය මෙහෙම වෙනවා නම්, මෙහෙම පවතිනවා නම් හෝ ඒ රූපය දකින 'මම' මෙහෙම වෙනවා නම්, මෙහෙම පවතිනවා නම්' කියලා සංකල්පයක් නැහැ. ඒ සංකල්පයක් නැති නිසා එබඳු ප්‍රණිධි සංඛ්‍යාත ප්‍රාර්ථනා නැහැ. එතකොට ඒ කෙනාට නිමිති වශයෙන් ඇසුරු කරන්න තැනක් නැහැ. අපි අද නිමිති ගොඩාක් හිතනවා නේ.

උදා: දැන් ඔබ ඇස් දෙක පියා ගත්තොත් වටපිටාව ඇති බවට හිතන්න පුළුවන්.

ඒ ද ඔබ නිමිති වශයෙන් ගත්ත දේ නැවත අනුස්මරණය කිරීමක්. හැබැයි ඇහේ අනිත්‍ය සාක්ෂාත් කරපු කෙනාට නිමිති නැහැ. එකම දේ දෙපාරක් දකින්න බැරි බව ඔහු දන්නවා. අළුතෙන්ම හේතු නිසා හටගෙන නැතිවෙන බව දන්නවා. ඒ කෙනා ඉස්සර දැකපු ආදරනීය රූපය ආපහු දකින්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. 'ආදරනීයකමට' පැවැත්මක් නැතිවෙලා.

~~ ත්‍රිලක්ෂණය යනු ගැඹුරු දර්ශනයක් ~~

පින්වතුනි, මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ තුළ ඉතාම ගැඹුරු දර්ශනයක් තියෙනවා. ඒ ගැඹුරු දර්ශනය ඉතාම සරල තැනකින් අර්ථ දක්වලා වහලා දාන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ අපිට. ඒ කියන්නේ, මේ කාරණාව (ත්‍රිලක්ෂණය) ඔප්පු කරන්නට හදනකොට අපිට ඇහෙනවා සමහර උදාහරණ වශයෙන් දක්වන දේවල්: උදාහරණයක් ලෙස අල්ලපු ගෙදර මනුස්සයාගේ තාප්පය කඩාගෙන වැටිලා නැති වුනොත්, ඒ මනුස්සයත් එක්ක තරහයි නම් ඒ අනිත්‍ය වීම නිසා සැපද/දුකද? කියලා අහනවා. ඒ අනිත්‍ය වීම සැපයි නේ කියනකොට අර ''යදනිච්චං තං දුක්ඛං'' (යමක් අනිත්‍ය නම් එය දුකයි) කියපු එකට ගැළපෙන්නේ නැහැ නේ කියන තැනකින් අර්ථය ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.

මොකද, ඒ වගේ ලාමක තැනකින් නෙවෙයි මේ කාරණාව පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අර්ථ දැක්වීම සිද්ධ කළේ. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ ඉතාම ගැඹුරු තැනකින්. ගැඹුරු තැනක් කියලා කිව්වේ, මෙතනදී අපිට අනිත්‍ය ධර්මයට, දුක්ඛ ධර්මයට සාපේක්ෂව කිසිම දෙයක් කතා කරන්න ඉතුරු වෙලා නැහැ. ඒ කියන්නේ අනිත්‍ය හා දුක්ඛ ධර්මය හැම තැනකම පොදුයි. හේතු නිසා සකස්වෙන, හේතු නැතිවෙනකොට නැතිවෙන බව. ඒ නිසා ''අනිත්‍ය'' කියලා කතාකළේ තාප්ප කඩාගෙන වැටෙන එක හෝ ඉන්න මනුෂ්‍යයා මැරෙන එක නෙමෙයි. ඒවා අනිත්‍ය බවක් නෙවෙයි නේ. එතන තියෙන්නේ නිත්‍ය බව නේ - (හිටපු මනුෂ්‍යයා මැරිලා).

ඒක තමයි ලෝකයාට හම්බවෙන විපරිණාම ස්වභාවය. ලෝකයා හිතන්නේ ඉන්න කෙනා මැරෙන එක ගැන. හැබැයි ඒක නිත්‍ය සංඥාව තුළ ජරා මරණ දුක විඳින්න පුළුවන් තැනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය ධර්මතාවය පිළිබඳව. 'අනිත්‍යය' දේශනා කරනකොට ඒ අනිත්‍ය ධර්මය,
ඇහැ - රූප ආදී ස්කන්ධ ධර්මයෝ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ නම්, ඇහැ රූප නිරුද්ධවෙන තැනක 'තාප්ප තියෙන්න' පුළුවන්කමක් ඇත්තේ නැහැ නේ. තවද, අල්ලපු ගෙදර මිනිස්සු ඉන්න පුළුවන්කමක් නැහැ නේ.

මනසේ අරමුණු නිරුද්ධ වුන තැනක ඒ තාප්ප නැතිවන බව දැනගන්න පුළුවන්කමකුත් නැහැ නේ. එහෙනම් ලෝකයේ සතුට සහ දුක ඇතිකර ගන්න හේතුවක් ඇත්තේ නැහැ අනිත්‍යතාවය සාක්ෂාත් කළ කෙනෙකුට. අනිත්‍යය'' කියලා කතා කරන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ගැඹුරු කාරණාවක් ගැඹුරු සන්දර්භයක් තුළ ඉඳලා. සත්ත්ව - පුද්ගලයෝ මැරෙන කතන්දර නිවන් දකින්න හේතුවෙන අනිත්‍ය කාරණාව අතර ඇත්තේ නැහැ.

~~ සැප දුක් උපේක්ෂා වේදනාත්‍රයයාගේ දුක් සහගත බව~~

''හේතු නිසා සකස්වෙන බව සැප වේදනාවටත්, දුක් වේදනාවටත්, උපේක්ෂා වේදනාවටත් පොදුයි. ඒ නිසා ''සැප වේදනාවත් 'දුකයි', දුක් වේදනාවත් 'දුකයි', උපේක්ෂා වේදනාවත් 'දුකයි' ''. ඒ නිසා මේ ශාසනයේ කතාකරන ''දුක'' කියන තැන සැපටත් පොදුයි, දුකටත් පොදුයි, උපේක්ෂාවටත් පොදුයි. ඇයි ඒ? වේදනා ස්කන්ධයද අනිත්‍යයි, දුකයි, අනාත්ම නිසා.

සැප වේදනාව
∆ අනිත්‍යයි
∆ දුකයි
∆ අනාත්මයි

දුක් වේදනාව
∆ අනිත්‍යයි
∆ දුකයි
∆ අනාත්මයි

උපේක්ෂා වේදනාව
∆ අනිත්‍යයි
∆ දුකයි
∆ අනාත්මයි

සැප වේදනාව 'දුකයි' කිව්වේ, සැප වේදනාව දුකක් වෙලා අපිට තියෙනවා කියන එක නෙවෙයි. සැප වේදනාව දුකයි කිව්වේ ''සඞ්ඛත'' නිසා - හේතු නිසා හටගන්න දෙයක්. හේතු නැති වෙනකොට නැතිවෙන දෙයක්. ඒ නිසා සැප වේදනාවේ දුක්ඛ ලක්ෂණය තියෙනවා. අපි තේරුම්ගන්න ඕනේ විඳීම ගැන නෙවෙයි, විඳීම හදන හේතු ටික පැත්ත. හේතුව පැත්ත තේරුම් ගත්තහම අපිට පෙනෙනවා, හේතු නිසායි ඵලය ඇතිවුනේ කියලා. හේතුව නැති වෙනකොට ඵලය නැතිවෙනවා කියලා අවබෝධයක් තියෙන කෙනෙක් ඒ ඵලය, 'සත්ව - පුද්ගල බවකින් ඇසුරුවෙනවා' කියන ඒ මෝඩකම කරන්නේ නැහැ.

පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මෙතනදී රූපයෙහි අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බවක් තියෙනවා නම් මේක තමයි 'රූපයේ ආදීනවය'. ආදීනවය අවබෝධ කරලා අපිට නිස්සරණයකට යන්න පුළුවන්කමක් තියෙනවා. යම්කිසි කෙනෙක් රූපයේ ආදීනවය දැක්කොත්, ඒ ආදීනවය දැක්ක කෙනා තමයි රූපයේ කලකිරෙන්නේ. කලකිරුනොත් තමයි එයා නො ඇලෙන්නේ. නො ඇලුනොත් තමයි එයා මිදෙන්නේ. එහෙනම් රූපයෙහි කලකිරීම පිණිස රූපයේ ආදීනවය බලන්න වෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්මය බලන්න වෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව බලනකොට ඒකේ නොඇලීම ඇතිවෙනවා. නො ඇලීම ඇතිවෙන කෙනා තමයි මිදෙන්නේ.

එහෙනම් 'ඡන්දරාග විනයක්ඛායී' කියනවා නම් ඡන්දරාගය දුරුකර ගැනීම 'නිස්සරණයයි' කියනවා නම් ඒ නිස්සරණයට ආදීනවය දැකීම අනිවාර්ය වෙනවා. මොකද, ආශ්වාදය කියන එක අද අපි විඳින මට්ටමින් තියෙනවා. නමුත් ධර්මය අවබෝධය කරන කෙනෙක් දකිනවා, ආශ්වාදය කියන එක බොරුවක් කියන්න.

~~ ඇයි ආශ්වාදය බොරුවක් කියලා දකින්නේ?~~

එයා දන්නවා හේතු නැති තැනක, හේතු ඇති විදිහට අපි කල්පනා කරන එක බොරුවක් නේ. ඒ කියන්නේ, අපි කොච්චර මුලාවකද ඉන්නේ කියලා තමන්ටම තේරෙනවා නම් අපි 'දරුවාට ඇත්තටම ආදරේ' කියලා හිතලා අපි ආදරය කරන්නේ තමන්ගේ හිත පැත්තෙන් උපද්දපු ස්කන්ධ ටිකකටයි කියලා පෙනෙනවා නම්, අපි ආදරය කරලා තියෙන්නේ 'දරුවාට' නෙවෙයි කියන යථාර්ථය අපිට පෙනෙනවා නම්, 'දරුවා' කියන එකම බොරුවක් කියන එකම අපිට පෙනෙනවා නම්, අපිට මේ ලෝකයේ තණ්හා නිශ්‍රිතව ඉන්න තැනක් ඇත්තේ නැහැ.

බයවෙන්න එපා. ඒකෙන් කියන්නේ, 'අම්මා තාත්තා දරුවා' කියලා දැනගන්න බැරිවෙනවා කියන තැනක් නෙවෙයි. මොකද, දැනගැනීම තුළ නෙවෙයි මේ ප්‍රශ්නය තියෙන්නේ. දැනගන්න දේ බාහිර ලෝකය තුල ඇති බවට ගන්න වැරදි සහගත සංකල්පනාවේ, වැරදි සහගත දෘෂ්ටියෙයි මේ ප්‍රශ්නය තියෙන්නේ. ඒ නිසා ඒ වැරදි සහගත දෘෂ්ටිය තමයි අපිට දුරු කරගන්නට අවශ්‍ය වෙන්නේ. එහෙනම්, ඒ දෘෂ්ටිය දුරු කරගන්නට නම් මේ පංච උපාදානස්කන්ධයේ 'නිස්සරණය' කියන තැන අවබෝධ කරගන්නට ඕනේ. ඒ නිස්සරණය ලබන්නට නම් ඡන්දරාගය දුරුකරන්න ඕනේ. ඡන්දරාගය නිකම් නැතිවෙන්නේ නැහැ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී ධර්ම අවබෝධය තුළින් තමයි ඡන්දරාග ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන්නේ.

~~ ස්වාමීන් වහන්සේ නමකට මිථ්‍යා දෘෂ්ඨියක් උපදී ~~

මේ විදිහට භික්ෂුන් වහන්සේ තවදුරටත් ප්‍රශ්න විමසීම සිද්ධ කරනවා. ඒ ප්‍රශ්න විමසීම කරනකොට එක හාමුදුරු නමක් කල්පනා කරනවා, ඒකාන්තයෙන් රූපය අනාත්මයි ලු, වේදනාව අනාත්මයි ලු, සඤ්ඤාව අනාත්මයි ලු, සංඛාරය අනාත්මයි ලු, විඤ්ඤාණය අනාත්මයි ලු. මේ ධර්මයෝ අනාත්ම වුනාට, ''අනත්තකතානි කම්මානි කමත්තානං ඵුසිස්සන්තී’’ '' - මොන ආත්මයක්ද එහෙනම් කළ හොඳ නරක (කර්ම) පිළිබඳව විඳින්නේ? ඒ කියන්නේ කර්මයෝ විඳින්නේ මොන ආත්මයක පිහිටා සිටගෙනද කියලා හාමුදුරුවන්ට ප්‍රශ්නයක් ඇතිවුනා.

ස්කන්ධ ටිකම අනාත්මයි කියනවා. එහෙනම් අනාත්මයි කියනකොට, අනාත්මය විසින් කළ කර්ම විඳින්නේ කවුදැයි කියලා විතර්කයක් ඇතිවෙනවා හිතේ. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේගේ විතර්කය දැකලා දේශනා කරනවා, "මහණෙනි, මේ ශාසනයේ ඇතැම් මෝඝ පුරුෂයෙකුට ධර්මය පිළිබඳව නොදන්නාකම නිසා මේ ශාස්තෘ ශාසනය තුළ අතිධාවනය කරනවා. ඒ කියන්නේ, පර්යාය වශයෙන් බෙදාගන්නට ඕනේ, එහෙමත් නැතිනම් ප්‍රත්‍ය ධර්මතා අනුව තවදුරටත් විග්‍රහවෙන කාරණා ඇති තැනක මේ පුංචි වචන මාත්‍රයක් අරගෙන, ඒ වචන මාත්‍රය තුළ කරන පරිවිතර්කය ශාස්තෘ ශාසනය ඉක්මවා යන්න හිතනකමක් කියලා ඇතැම් මෝඝ පුරුෂයෝ මෙහෙමත් හිතනවා" කියලා දේශනා කරලා

භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා, "රූපං නිච්චං වා අනිච්චං"? - මහණෙනි, රූපය නිත්‍යද අනිත්‍යද කියලා අහනවා,
භික්ෂූන් වහන්සේලා 'අනිත්‍යයි' කියලා පිළිතුරු දෙනවා.‍ මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන් පිළිබඳව නැවත භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරලා, භික්ෂුන් වහන්සේලා ඒකට පිළිතුරු ලබාදෙනවා, ''එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො...'' - මේ විදිහට දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන්හි කලකිරෙනවා. කලකිරෙනකොට නො ඇලෙනවා, නො ඇලුනොත් මිදෙනවා. මිදුනු විට 'මිදුනා' කියලා නුවණක් ඇතිවෙනවා,

''ඛීණා ජාති, වුසිතං බ්‍රාහ්මචරියං'' ජාතිය ඉවරයි. බ්‍රාහ්මචර්යාව පුරලා ඉවරයි කියලා, ''කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති'' මත්තේ කළයුත්තක් නැහැ කියලා ඒ ධීරයන් වහන්සේ දැනගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ මහාපුණ්ණම සූත්‍ර දේශනාව භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලා ධර්මය තේරුම් ගන්නවා. ''ඉමස්මිං ඛො පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු". හැට නමක් පමණ අර තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ දේශනාව අහලා ආශ්‍රවයන්ගෙන් හිත මුදවා ගන්නවා.

~~ සුත්‍රය පිළිබඳව සාරාංශයක් ~~

ඉතින් තරමක් දිග සූත්‍රයක්. යම් පමණකට කෙටියෙන් ඇතැම් කරණු විග්‍රහ නොකොට, පැහැදිලි කරන්නට යෙදුණේ. නමුත් මේ සූත්‍රය ඔස්සේ සම්පිණ්ඩනයක් විදිහට අපිට ගන්නට අවශ්‍ය කාරණා තියෙනවා. ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ භේදය කොතෙකින්ද වෙන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි කතා කළා. අපේ ජීවිතය තුළ ස්කන්ධය සහ පංච උපාදානස්කන්ධයන්ගේ යෙදීම කියන තැනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම යෙදෙන්නේ කොහොමද කියන තැන පිළිබඳවත් අපි ප්‍රධාන ලෙස මේ සූත්‍ර දේශනාව ඔස්සේ සාකච්ඡා කළා.

ඒ කාරණා ටිකත් එක්ක බලනකොට අපි මුලින්ම මේ කාරණාවට ප්‍රවේශයක් ගත්ත පැත්තටම නැවත යොමු වුනොත්, නකුලපිතු සූත්‍රයේදී නකුල පිතු තුමාගෙන් ලෙඩවෙන කය සහ ලෙඩවෙන මනස පිළිබඳව අහනකොට සක්කායදිට්ඨිය පිළිබඳව අපි කතා කළානේ. ඒ කියන්නේ රූපය ආත්මවත්කොට හිතනකම පිළිබඳව අපි කතාකළා. මේ 'ලෙඩවෙන කය මම වෙලා' නම් 'මම ලෙඩවෙනවා නම්' ඒ කියන්නේ 'ලෙඩවීම මම නම්', 'ලෙඩ වීම මගේ නම්', පින්වතුනි අපිට කයත් ලෙඩවෙලා, හිතත් ලෙඩවෙලා. ඇයි? අපිට ලෙඩවීම කියන එක ආත්ම දෘෂ්ටියකින් ඇසුරුවෙලා. වේදනාව කියන එක ආත්ම දෘෂ්ටියකින් ඇසුරුවෙලා.

එහෙම ඇසුරු වෙනකොට අනේ 'මේ ඉන්න මම ලෙඩ වුනානේ' කියලා අපිට ලෙඩවීම අරබයා පුද්ගලබවෙන් දුක් විඳින්න වෙනවා. පුද්ගලබවෙන් දුක් විඳින්න වෙනකොට අන්න ඒ කෙනාට කියනවා, 'කයත් ලෙඩ කරගෙන, හිතත් ලෙඩ කරගෙන' කියලා. හැබැයි යම් කෙනෙකු විසින් මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කළොත්, තේරුම් ගත්තොත්, නිරෝධය කියන තැනට හිත තැබුවහොත්, ඒ කෙනාට ලෙඩවන කයක් ඇතිව, ලෙඩවන මනසක් සකස් වෙන්නේ නැහැ.

හේතුව - ලෙඩවෙන රූපය ලෙඩවෙයි. නමුත්, ලෙඩවන රූපය අනුව, 'මම ලෙඩවුන බවට පත්වෙන්නේ නැහැ'. ලෝකයාට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ''මානසික ප්‍රශ්නය''. අපි විඳින්නේ නිකම් ඔළුවේ කැක්කුමක් නෙවෙයි පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුමක් එහෙම නැතිනම් මෙච්චර ලෙඩක්! සාමාන්‍ය ස්වභාවය තමයි එක මොහොතක දැනෙන වේදනාව ඊළඟ තත්පරයේදී දැනෙන්නේ නැහැ, ඊගාව තත්පරයේදී දැනෙන්නේ අළුතින්ම හටගන්නා ටිකක්. හැබැයි 'මට මේ අසනීප තත්වය දිගටම තියෙන එකක්' පිළිබඳව නේ අපි විඳින්නේ.

පින්වතුනි, මේ කය මම වෙලා නම්, කය මගේ වෙලා නම්, ලෙඩවීම තමයි 'මම' කරගෙන, 'මගේ' කරගෙන ඉන්නේ. එහෙනම් අපි කය අනුව මානසික ලෙඩවීම අනිවාර්යයෙන් උරුම කරගෙන තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. මෙහෙම ලෙඩවෙන කය 'මම' කරගෙන, ලෙඩවෙන කය 'මගේ' කරගෙන, ලෙඩවීම අනුව මනස ලෙඩ කරගෙන ජීවත්වෙන අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, මනස ලෙඩ කරගන්න එපා කියලා. මනස ලෙඩ කරගන්නේ නැතුව ඉන්න නම් අපිට සිද්ධවෙනවා 'ලෙඩවෙන කය මම. මගේ වශයෙන් නොබලා ඉන්න'.

කැලෑවක තියෙන ගස්කොළන් ගත්තහම කොච්චර ලෙඩ හැදිලා නැතිවෙලා යනවාද, හැබැයි අපිට දුකක් එන්නේ නෑ නේ, 'මම ලෙඩ වුනාය' කියලා. පින්වතුනි, අපිට එහෙම දුකක් එන්න නැති තැනකදී, මේ කය ලෙඩවුනාම එහෙනම් දුකක් ඇතිවෙන්නේ කය 'මම' කියලා ගත්ත කෙලේසය නිසා නේ. හැබැයි කෙලේශයට කය ඇසුරු වෙන්නේ නැත්තම්, මහාභූත රූපය ඇසුරු වෙන්නේ නැත්තම්, මේ ''රූපස්කන්ධය'' මම කියලා හිතන්නේ නැත්තම්, අපිට එහෙනම් ලෙඩවීම කියන දුක විඳීම සඳහා පුද්ගලභාවයකින් ඇසුරු කරන්නට දෙයක් හම්බවෙන්නේ නැතිව යනවා.

ඒ නිසා අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, මෙන්න මේ වගේ තැනකට අවශ්‍ය වැදගත් ධර්ම කාරණාවක්. ඒ ලෙඩවෙන කය ඇතුව ලෙඩ නොවෙන මනසක් සකස් කරගන්න ක්‍රමයක් පිළිබඳව. ලෙඩ නොවන මනසක් සකස් කරගැනීමේදී වැදගත්ම දේ තමයි අපිට මේ ස්කන්ධ ධර්මයන් කෙරෙහි පවත්වන උපාදානය දුරුවෙන විදිහට, උපාදානය නැතිවෙන විදිහට මනසිකාරය පැවැත්වීම. ඒ මනසිකාරය පවත්වන පැත්ත ගැන අපිට බලන්න ගියොත් අපට සතර සතිපට්ඨානය ඉඳලාම නැවත කතා කරන්න වෙනවා ප්‍රතිපදාව පූරණය කිරීම පැත්ත ගැන කොයි විදිහේ දර්ශනයකින් යුක්තවද අපි ප්‍රතිපදාව පුරාගෙන ඉදිරියට යන්නේ කියන කාරණාව ගැන.

දේශනාව නිමි

පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 02.05.2020 දින සිදුකල දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි,



Post a Comment

0 Comments