මහා නිදාන සූත්‍රය 1

මහානිදාන සුත්‍රය 1


නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස

ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, අද වෙසක් පුර පසළොස්වක පොහොය දවස. බෞද්ධයන් වශයෙන් අපි කාටත් ඉතාම වැදගත් පොහොය දිනයක්. ටිකක් වෙනස්ව අපි කවුරුත් සිහිපත් කරන වෙසක් පොහොය දිනයක් හැටියට අද දිනය විශේෂයෙන් අපිට සලකන්නට පුළුවන්. මුළු ලෝකයටම ඇතිවෙලා තියෙන මේ වසංගත තත්වයත් සමග අද වෙසක් පොහොය දිනයටත් අපේ පින්වතුන්ට නිවෙස් වලටම වෙලා අවශ්‍ය කටයුතු කරගන්නට සිද්ධ වුණා. නුවණැත්තා විසින් විපත සම්පත්තියක් බවට පත්කර ගන්නවා’ කියලා කියනවානේ. අපටත් පුළුවන්කම තියෙනවා මේ විපත සම්පත්තියක් බවට පත්කර ගන්නට.

පහුගිය අවුරුදු ගණනාවක කාල පරිච්ඡේදය පුරාවටම අපි දැක්කා වෙසක් පොහොය දිනය වෙසක් උත්සවයක් විදිහට සමරනවා. උත්සවාකාරයෙන් සමරන එක වරදක්ම නෙවෙයි, නමුත් ඒ උත්සවයන් තුළ ක්‍රියාත්මක වුන දේවල් පිළිබඳව නම් යම්කිසි ප්‍රශ්නකාරී බවක් අපිට දකින්නට තිබුණා. වෙසක් උත්සවය කියලා වෙසක් පොහොය දිනය අපි සිහිපත් කරන්නේ බෝධිසත්වයන් වහන්සේගේ මවු කුසින් ලෝකයට බිහිවීම, බෝධිසත්වයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගැනීම, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම කියන මේ සම්බුදු තෙමගුලයි.

ඇත්තටම අපි හිතලා බැලුවොත් අපි ටිකක් උත්සවාකාරයෙන් සමරන්නේ මේ කාරණා තුනෙන් උත්පත්තියද, සම්මා සම්බුද්ධත්වය ද, නැත්නම් පරිනිර්වාණය ද?. පින්වතුනි, ඇත්තටම මේක පහුගිය කාලවල තිබුණා වගේ අපිට උත්සව කරලා සැමරිය යුතු දෙයක් නම් නෙවෙයි. එහෙම නැතිනම් නටලා, ගයලා, ප්‍රීතිවෙලා වටපිටාව බලන්නට පවුලේ ඇත්තන් එක්ක ඇවිදලා, දන්සැල්වල පෝලිමේ ඉඳලා ආහාර අරගෙන සමරන්නට ඕනේ දිනයක් නෙවෙයි ‘වෙසක් පොහොය දවස’ කියලා කියන්නේ. වෙසක් පොහොය දවස අපිට විශේෂ වෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත නිසාමයි.

ඒ නිසාමයි බෝධිසත්වයන් වහන්සේගේ මේ ලෝකයට බිහිවීම අපිට ශ්‍රේෂ්ඨ වන්නෙත්. පින්වතුනි, ඒ බුද්ධත්වය සිහිපත් කරනවා නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ඥානය පිළිබඳව මෙනෙහි කරනවා නම්, අපි ටිකක් කම්පාවට පත්වෙන්න ඕනේ දවසක්, අනිත් දවස්වලට වඩා අප්‍රමාදී වෙන්නට ඕන දවසක්. තව විදිහකින් කියනවා නම් මුළු අවුරුද්දකටම ඇතිවෙන්නට වීර්යය අපේ හිතේ පුරවා ගන්නට තියෙන දවසක්. ඇයි පින්වතුනි බුද්ධෝත්පාද කාලයක මනුස්සයෝ හැටියට අපි කවුරුත් ඉපදිලා සද්ධර්ම ශ්‍රවණය කරන්නට අවැසි වටපිටාවත් ලැබිලා තියෙන කොට මේ ඔක්කොම කාරණා තියෙන දවසක දී අපි මොන තරම් අප්‍රමාදී වෙන්නට ඕනද?

බුදුරජාණන් වහන්සේගේ පහළ වීම, බුද්ධ ශාසනයක් මේ ලෝකයේ පැවතීම තවත් අවුරුද්දකින් ඉක්මිලා ගිහිල්ලා. ඉතින් අපි මොන තරම් කම්පා වෙන්නට ඕනේ ද? මේ බුද්ධ ශාසනයේ තව එක වසරක් මේ ලෝකයෙන් ගෙවිලා ගියා. පින්වතුනි අපි අප්‍රමාදී වන්නට ඕනේ. මම හිතනවා මේ විපත අපට එක පැත්තකින් සම්පත්තියක්. හේතුව සියලු බෞද්ධයින්ට නිවීසැනසිල්ලේ ‘වෙසක් දවස’ කියන්නේ මොකක්ද කියන එක ගැන ආපහු ටිකක් හිතලා බලන්නට අවශ්‍ය කාලවකවානුවක් හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි වෙසක් දවස උත්සවයක් බවට පත්කරගෙන ඒ දවස කානිවල් එකක් බවට පත්කරගෙන කටයුතු කරනවා. ඒක එතරම්ම සුබදායක දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට අද දවසේ දී මෙනෙහි කරන්නට නම් ගොඩක් දේවල් තියෙනවා.

== බෝධි සත්වයන් වහන්සේගේ අසීමිත කැපකිරීම==

'මහා සිහනාද සූත්‍රය' අරගෙන බලනකොට පින්වතුනි නෙතට කඳුළක් උපදවන තරම්. මහබෝසතාණන් වහන්සේ එදා සම්මා සම්බුද්ධත්වය පිළිබඳව ඒ ගත්ත මහා වෙහෙස පිළිබඳව 'මහා සීහනාද සූත්‍රයේදී' ඒ කාරණා ටික පිළිබඳව කියවන පින්වතෙකුට මම හිතන්නේ නෙතට කඳුලක් නූපදිනවා නම් තමයි පුදුම. රජකම අතහැරලා දාලා රජ මැදුරෙන් පිටත් වෙලා ගියපු රාජ කුමාරයෙක් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම සත්‍යාවබෝධය වෙනුවෙන් කැප කරපු උත්තමයෙක් විසින් ඒ ගත්ත අපරිමිත වෙහෙස මනාව පැහැදිලි වෙලා තියනවා ‘මහා සිහනාද සූත්‍රයේ’ දී.

පිණ්ඩපාතයෙන් යැපුන හැටිත්, සමහර වෙලාවට රූක්ෂ චීවර දරමින් හිටපු හැටි, ඒ වගේම ගස් මුල්වල වාසය කරපු හැටි බොහෝකොට පැහැදිලි කරනවා ඒ සූත්‍රයේ දී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේට පැහැදිලි කරනවා, “සාරිපුත්ත, එදා මගේ ශරීරයෙහි දූවිලි තට්ටු ඇලිලා, ශරීරය පිරිමැදීම් ආදිය නැති නිසා ඒ දූවිලි නිසා ශරීරය පැලිලා හරියට වේලිලා ගියපු කනුවක පැළීම් පේනවා වගේ මේ කය පැලිලා ගියා. නමුත් මට මේක හොඳ කරගන්න මේ දූවිලි පිහදාලා පිරිසිඳු කරගන්නවා නම් හොඳයි, එහෙම නැතිනම් වෙන කෙනෙක් ඇවිල්ලා පිරිසිඳු කරනවා නම් හොඳයි කියලවත් අදහසක් පහළ වුණේ නැහැ.

එබඳු වූ තපසක්ම මගේ තිබුනා”. ඒ වගේම ආහාරපාන ගැනීමෙහි දුෂ්කරතාවය පිළිබඳව දේශනා කරනවා. සමහර වෙලාවට ගොම අනුභව කරමින් හිටපු හැටි, ඒ වගේම සමහර වෙලාවල් වලට තමන්ගේම මල-මුත්‍රා අනුභව කරමින් සත්‍ය ගවේෂණය කරපු හැටි, ඒ වගේම සමහර දවස් වලට දෙබර ඇටයක්, දෙබර ගෙඩියක් කාලා හිටපු හැටි, එක බත් ඇටයක් කාලා හිටපු අවස්ථා, එක මුං ඇටයක් කාලා හිටපු අවස්ථා පිළිබදව විස්තර වෙනවා. එදා සැරියුත් තෙරුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා “සාරිපුත්ත ඔබට හිතෙන්න පුළුවන් එදා තිබුණු බත් ඇට ලොකු ඇති, එදා තිබුණු මුං ඇට ටිකක් ලොකු ඇති කියලා. නැහැ සාරිපුත්ත, ඒකත් බොහොම පොඩි දෙයක්. මම මගේ පිට අතගාන්නට කියලා අතගෑවොත් කුසම හසුවෙනවා. ඒ වගේම බඩ අතගාන්නට කියලා අතගෑවොත් පිටම හසුවෙනවා, මේ දෙකම එකට ඇළුණු මට්ටමට තිබුණා” කියලා.

මේ විදියට මේ සූත්‍ර දේශනාව තුළ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය හොයාගෙන යන ගමනේදී (මේ ජීවිතයේ දී) ඒ විඳපු මහා අනන්ත, අපරිමිත දුක් රැස පිළිබඳව විග්‍රහකොට දක්වනවා. පින්වතුනි ඒ මහා බෝධිසත්වයන් වහන්සේට අපිව සසර දුකින් නිදහස් කරන්නට, අපිව සසර දුකින් එතෙර කරවන්නට තිබුන අවශ්‍යතාවයකින් සියයට එකක්වත් තිබුනා නම් පින්වතුනි, අපි මීට වඩා ධර්ම මාර්ගයට පිවිසිලා, අපි මීට වැඩිය ධර්මය තුළ හැසිරෙනවා. නිකන් අපිට වචන ටිකක් වෙන්නට පුළුවන්, ටිකක් හිතන්නකෝ පින්වතුනි, ආහාරය අතහැරලා දාලා, පැත්තක තියෙන ගොම අනුභව කරමින්, ඒ වගේම මිනී ඇටකටු උඩ නිදාගෙන සත්‍යය සොයනවා කියන එක ලේසි දෙයක් ද කියලා. ඒක එච්චර ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.

එතරම්ම දුෂ්කර ක්‍රියාවක් කළේ අප හැමදෙනාටම සත්‍යය අවබෝධ කරන්නට අවැසි ධර්මය පිළිබඳව පැහැදිලි කරගන්නට. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ එලෙස අවබෝධ කරගත්ත ඒ උතුම් ධර්මය අපි අප්‍රමාදීව හැසිරෙන්නට අවශ්‍ය තැනක් හැටියට සලකන්නට ඕනේ. ඒ නිසා මේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ දී ඒ මහා බෝධිසත්වයන් වහන්සේ එදා දුක සේ අවබෝධ කරගත්ත ඒ අන්තයන් දුරු කරලා (අත්තකිලමථානු යෝගයත්, කාමසුඛල්ලිකානු යෝගයත්) අතහැරලා අවබෝධ කරගත්ත ඒ උතුම් ධර්මය පිළිබඳව අපි ටිකක් අවධානය යොමු කරන්නට ඕනේ.

නිදානවග්ග සංයුත්තයේ දී දැක්වෙනවා ‘ගොතම සූත්‍රය’ කියලා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රය තුළදී භාග්‍යවතුන් වහන්සේ එදා මනසිකාරය කරපු හැටි පිළිබඳව විග්‍රහ වෙනවා. බෝධිසත්වයන් වහන්සේ එදා කල්පනා කරනවා “මේ සත්වයා ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා මේ විදිහට පැවැත්මක් තියෙන සත්වයාට හිතෙන්නේ නැත්තේ ඇයි මම මේ සසර දුකින් එතෙර වෙන්නේ කොහොමද, මේ දුක් රැසේ කෙළවර කිරීම කරන්නේ කොහොමද” කියලා. බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා කොහොමද ඇත්තටම මේ දුක් රැස කෙළවරක් කරන්නේ කියලා. කෙළවරක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරන බෝධිසත්වයන් වහන්සේට එදා පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව නුවණක් ඇතිවෙනවා ‘දුක හටගන්නේ කොහොමද’ කියන එක පිළිබඳව.

== මහානිදාන සුත්‍රය ඇසුරෙන් පටිච්චසමුප්පාදය==

ඒ නිසාම අද අපි කල්පනා කළා විශේෂයෙන්ම බෝධිසත්වයන් වහන්සේ මනසිකාරය කළ ඒ උතුම් දහම් පර්යාය නිසාම අපිත් පටිච්චසමුප්පාද ධර්මය කතා කරන්නට සුදුසු දවසක් අද දවස හැටියට. අපි අද අපේ සාකච්ඡාව සඳහා තෝරා ගත්තා ‘මහානිදාන සූත්‍රය'. මහානිදාන සූත්‍රය - දීඝ නිකායේ - දෙවැනි භාගයෙහි දැක්වෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව ඉතාම වැදගත්, ඉතාම සුවිශේෂවත් සූත්‍ර දේශනාවක්. හේතුව පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගන්නට අපට වෙන තැනක දක්නට නොපෙනනා තරම් ඉතාම වැදගත් විදිහට වැදගත් කාරණා රාශියක් මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා.

මේ සූත්‍රය ස්වභාවයෙන්ම ගැඹුරුයි. ස්වභාවයෙන්ම ටිකක් නුවණින් මෙනෙහි කරන්නට අවශ්‍යයි. ඒ නිසා අපි ඔබට සිහිපත් කරනවා ඉතාම කල්පනාවෙන් මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න, ඉතාම ඕනෑකමෙන් අහගෙන ඉන්න. ටිකක් නොතේරුනත් නැවත අහන්නට පුළුවන්කම ඔබට තියෙන නිසා ඔබ ටිකක් කලබලයට පත්නොවී නැතිනම් අතහැර දමන්නේ නැතුව ‘කොහොම හරි තේරුම් ගන්නවා!’ කියන වීර්ය, අදහස ඇතිව මේ කාරණා ටික තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න කියලා මුලින්ම හැමදෙනාටම සිහිපත් කරනවා.

මේ 'මහා නිදාන සූත්‍රය' භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කුරු රට කම්මාසධම්ම කියන කුරු ජනපදයෙහිදී දේශනා කරන දේශනාවක්. මේ කම්මාසධම්ම කියන මේ කුරු ජනපදයෙහි තියෙන මේ නියම් ගමේ වැසියන්ට භාග්‍යවතුන් වහන්සේ ස්වභාවයෙන්ම ගැඹුරු, ස්වභාවයෙන්ම ධර්මයේ ඇතුලට බැසගන්න දේශනාවන් දේශනා කළා. හේතුව ඒ ප්‍රදේශය තුළ සිටි මිනිසුන් ස්වභාවයෙන්ම ප්‍රඥා සම්පන්නයි කියලා අට්ඨ කථාව තුළ පැහැදිලි වෙනවා. ඉතින් මේ මහානිදාන සූත්‍රයත්, සතිපට්ඨාන සූත්‍රය වගේම දේශනා වුනේ ඒ කුරු රටේදී. කුරු රට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී ආනන්ද හාමුදුරුවෝ හා සමඟ ඇති වුණ සාකච්ඡාවකුයි මේ සූත්‍රයේ තියෙන්නේ. කුරු ජනපදයේදී තමයි මේ දේශනාවට වස්තු විෂය එහෙම නැතිනම් මේ කාරණා ටික සැපයෙන්නේ.

දවසක් ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා කියනවා “අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං, භන‍්තෙ! යාවගම‍්භීරො චායං, භන‍්තෙ, පටිච‍්චසමුප‍්පාදො ගම‍්භීරාවභාසො ච, අථ ච පන මෙ උත‍්තානකුත‍්තානකො විය ඛායතී’’ති. “ස්වාමීනි ආශ්චර්යයි, අද්භූතයි, පුදුමයි මේ ගම්භීර වූ පටිච්චසමුප්පාදය ස්ව පෙනුමෙනුත් ගැඹුරු, ස්වභාවයෙන්ම ගැඹුරු මේ පටිච්චසමුප්පාද ධර්මය මට බොහොම සරල වූවක් කොට, නොගැඹුරු වූවක් කොට තේරෙනවා” කියලා භාග්‍යවතුන් වහන්සේට කියනවා.

"මා හෙවං, ආනන‍්ද, අවච, මා හෙවං, ආනන‍්ද, අවච", “ආනන්ද එහෙම කියන්නට එපා!, ආනන්ද එහෙම කියන්නට එපා! මේ පටිච්චසමුප්පාද ධර්මය ස්වභාවයෙනුත් ගැඹුරුයි, ආනන්ද මේ ධර්මය “අනනුබොධා අප්පටිවෙධා” “අවබෝධ නොකළ නිසාත් ඒ වගේම ප්‍රතිවේධ නොකළ නිසාත් මේ සියලුම සත්වයා මේ සංසාරයේ ගමන් කරනවා. හරියට මීයන් විසින් අවුල් කරපු රෙදි වියන්නන්ගේ නූල් බෝලයක් වගේ. ඒ වගේම අපි ගත්තොත් අපිට තේරෙන විදිහට ලේන් කූඩුවක් වගේ කූඩුවක තියන තණ කෙඳිති මොන තරම් අවුල් වෙලා තියෙනවද. අන්න ඒ වගේ එදා තිබුණු බබුස් තණ කියන තණත් ඒ විදිහටම අවුල්ව යන තණ ප්‍රභේදයක්. ඉතින් මෙන්න මේ වගේ ‘සත්වයා අවුල්වෙලා එහෙම නැතිනම් සම්පූර්ණවම කැළඹිල්ලට පත්වෙලා මේ දුගති සංඛ්‍යාත වුන නිරයෙත් උත්පත්තිය පිණිස එළැඹෙනවා’ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

ඊටපස්සේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව බුදුපියාණන් වහන්සේ විග්‍රහ කොට දක්වනවා. "අත‍්ථි ඉදප‍්පච‍්චයා ජරාමරණ’න‍්ති ඉති පුට‍්ඨෙන සතා ආනන‍්ද, අත‍්ථීතිස‍්ස වචනීයං" - “ආනන්ද ඉදප්පච්චය තාවයෙන් යුක්ත ජරා-මරණයක් තියෙනවද කියලා ඇහුවොත්; ආනන්ද තියෙනවයි කියලා කියන්නට ඕනේ”. ‘ඉදප්පච්චය තාවය’ කියලා කියන්නේ ‘ප්‍රත්‍ය නිසා හටගන්න බවයි’ කියන එක. ‘ඉදප්පච්චය තාවය’ පිළිබඳව පැහැදිලි කෙරෙන බොහෝ සූත්‍ර දේශනාවන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ පින්වතුනුත් බොහෝ අහලා ඇති මේ න්‍යායන් පිළිබඳව.

“ඉමස්මිං සති ඉදං හොති” - මෙය ඇති කල්හි මෙය වෙනවා.
“ඉමස්‌සුප්‌පාදා ඉදං උප්‌පජ්‌ජති” - මෙය ඉපදීමෙන් මෙය උපදිනවා.
“ඉමස්‌මිං අසති ඉදං න හොති” - මේ දේ නැත්නම් මේ දේ ඇත්තේ නැහැ.
“ඉමස්‌ස නිරොධා ඉදං නිරුජ්‌ඣති’’ - මේ දේ නිරුද්ධ වීමෙන් මේ දේ නිරුද්ධ වෙනවා.

එතකොට මෙන්න මේ ‘ඉදප්පච්චය තාවය’ පිළිබඳව අපිට ජාති, ජරා, මරණ ආදී මේ ධර්මයන්ට සංසන්දනය කරලා බලන්නට ඕනේ. "අත‍්ථි ඉදප‍්පච‍්චයා ජරාමරණ’න‍්ති ඉති පුට‍්ඨෙන සතා ආනන‍්ද, අත‍්ථීතිස‍්ස වචනීයං" කියලා කියන්නේ ආනන්ද මේ ජරා මරණයේ ‘ඉදප්පච්චය තාවයක්’ තියනවද කියලා කවුරු හරි ඇහුවොත්; ආනන්ද එසේ තියනවා යැයි කියලා කියන්නට ඕනේ. කොහොමද, “ඉමස්මිං සති ඉදං හොති” - මෙය ඇති කල්හි මෙය වෙයි. එතකොට ජරා මරණයට ප්‍රත්‍යයක් කියන්නට ඕනේ. ‘ජාතිය’ තිබුනොත් ජරා මරණය තියෙනවා. ‘ජාතිය’ - ඉපදුනොත් ජරා මරණය නූපදී තියෙන්නේ නැහැ, ජරා මරණය උපදිනවාමයි. ඒවගේම ජාතිය නැති වුනොත් ජරා මරණය නැතිවෙනවා. එහෙනම් ජාති නිරෝධයෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මේ අංගයක් පාසාම අපිට ඉදප්පච්චය තාවය කතා කරන්නට පුළුවන්.

මතු සම්බන්ධයි

පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 07.05.2020 වෙසක් පොහොය දින බෞද්ධයා නාලිකාව ඔස්සේ මහානිදාන සුත්‍රය ඇසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.


Post a Comment

0 Comments