මහා නිදාන සූත්‍රය 2



මහානිදාන සුත්‍රය 2

අපි මේ ධර්මයන් විස්තරාත්මකව තවදුරටත් කතා කරමු. ආනන්ද තෙරුන් වහන්සේගෙන් අහනවා. “ආනන්ද මේ ජරා මරණයට හේතුවක් තියෙනවද? එහෙම නැතිනම් ඉදප්පච්චය තාවයක් තියනවද?” කියලා අහනකොට ‘ඇතැයි’ කියලා කියන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කුමක් නිසාද මේ ජරා මරණය? - “ජාති පච්චයා ජරා මරණං” ජාතිය නිසා තමයි ජරා මරණය තියෙන්නේ. ඒ වගේම ‘‘අත්ථි ඉදප්පච්චයා ජාතී’ති” - ඉදප්පච්චය තාවයෙන් හටගන්න ජාතියක් තියෙනවද කියලා ඇහුවොත් ආනන්ද, තියනවා කියලා කියන්නට ඕනේ.

කුමක් ඇති කල්හි ද ජාතිය? - භවය ඇති කල්හියි.
ඒ වගේම භවයත් ඉදප්පච්චය තාවයකින් යුක්තයි, භවයත් ප්‍රත්‍ය සමුප්පන්න දෙයක්.

කුමක් ඇති කල්හි ද භවය? - උපාදානය ඇති කල්හි භවය හටගැනීම සිද්ධ වෙනවා.

ඒ වගේම උපාදානයත් ඉදප්පච්චයතායි. කුමක් ඇති කල්හි ද උපාදානය? - තණ්හාව තිබුනොත් උපාදානය ඇතිවෙනවා.

ඒ වගේම තණ්හාව ඉදප්පච්චයතායි - කුමක් ඇති කල්හි ද තණ්හාව? වේදනාව තිබුනොත් තණ්හාව ඇතිවෙනවා.

ඒ වගේම වේදනාව ඉදප්පච්චයතායි - කුමක් ඇති කල්හි ද වේදනාව? ස්පර්ශය තිබුනොත් වේදනාව ඇතිවෙනවා

ඒ වගේම ස්පර්ශය ඉදප්පච්චයතායි - කුමක් ඇති කල්හි ද ස්පර්ශය? නාමරූප තිබුණොත් තමයි ස්පර්ශය හටගන්නේ

ඒ වගේම නාම-රූප ඉදප්පච්චයතායි - කුමක් ඇති කල්හි ද නාම-රූප? විඤ්ඤාණය තිබුනොත් නාම-රූප හටගන්නවා.

මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයන්ගේ ඉදප්පච්චයතාවය පිළිබඳව දේශනා කරලා මේ එක එක කාරණාවක් පිළිබඳව දේශනා කරනවා. ‘‘ජාතිපච්චයා ජරාමරණ’න්ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං” - “ආනන්ද ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය වෙනවා කියලා කියනවා නම් මෙන්න මේ පරියායෙන් තමයි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය වෙනවා කියලා කියන්නට තියෙන්නේ. ආනන්ද යම් විදිහකින්, හැම අයුරකින්ම ‘ජාතිය’ කියන දේ වෙන්නේ නැතිනම් මේ ජරා මරණයක් කියන දේ සිද්ධ වෙන්නේ නැහැ".

**මොකක්ද මේ ‘ජාතිය’ කියලා කියන්නේ?

“දෙවානං වා දෙවත්තාය, ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තාය, යක්ඛානං වා යක්ඛත්තාය, භූතානං වා භූතත්තාය, මනුස්සානං වා මනුස්සත්තාය, චතුප්පදානං වා චතුප්පදත්තාය, පක්ඛීනං වා පක්ඛිත්තාය, සිරිංසපානං වා සිරිංසපත්තාය, තෙසං තෙසඤ්ච ආනන්ද සත්තානං තථත්තාය ජාති නාභවිස්ස”.

ජාතිය කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි, ජරා මරණය තේරුම් ගන්නට යනකොට. ජරා මරණය කියලා කියන්නේ අපිට, පුද්ගලයෙකුට ඇතිවෙන දුකක්, බුදුරජාණන් වහන්සේ ජරාව පිළිබඳව දේශනා කරන්නේ, “යං තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජිරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්‍රියානං පරිපාකො” කියලානේ. එතකොට අපිට මේ ජර දුක කියන දේ හම්බ වෙන්නේ, ඒ ඒ සත්ත්වයන්ගේ සත්ව නිකායන්ගේ දිරන බවක් ඒ වගේම වයසට යන බවක් තියෙනවා නම්, දත් ආදී දේවල් කැඩෙන බවක් තියෙනවා නම්, කෙස් ආදී දේවල් පැලෙන බවක් තියෙනවා නම්, හම ආදිය රැළි වැටෙන බවක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා 'ජරාව' කියලා.

මේ ජරා මරණය ඇතිවෙන්නේ ‘ජාතිය’ ඇති තැනක. එතකොට ඒ ඒ සත්ත්වයන්ගේ සත්ව නිකායන්වල “චුති චවනතා භෙදො” චුතියක් තියෙනවා නම්, මරණයට පත්වීමක් තියෙනවා නම් මේ මරණයත් අර කියපු ජරාවත් කියන මේ දුක ඇතිවෙන්නේ ජාතිය තිබුනොත්. ජාතිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා “ තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො. අයං වුච්චති ජාති.” - ජාතිය කියනකොට ඒ ඒ සත්ත්වයන්ගේ සත්ව නිකායන්ගේ පහළවීමක් තියෙනවා නම් ඒ ඒ සත්ව නිකායන්ගේ හටගැනීමක් තියෙනවා නම් (මනාව හටගැනීමක්) ඒ වගේම බැස ගැනීමක් තියෙනවා නම්, පහළ වීමක් තියෙනවා නම්, ස්කන්ධයන්ගේ හටගැනීමක්, ආයතනයන්ගේ පහළවීම් ආදිය යි ‘ජාතිය’ කියලා දක්වන්නේ.

‘ජාතිය’ කියලා කතා කරන මේ කාරණාව පිළිබඳව අපි ටිකක් විමසීමට ලක් කළ යුතු ටිකක් නුවණින් කල්පනා කළ යුතු තැනක්. අපි හිතන්නේ ජාතිය කියූ සැණින්ම ජාතියයි කියලා කියන්නේ උත්පත්තියට කියලා. එහෙම නැතිනම් ප්‍රතිසන්ධියට කියලා. පින්වතුනි ජාතිය කියන මේ වචනය මෙතන ප්‍රතිතිසන්ධියට යෙදුනොත් පුංචි ගැටළුවක් තියෙනවා. ජාතිය කියන එක ප්‍රතිසන්ධි අවස්ථාවක් කියන තැනින් කතා කළොත් "නාම-රූප පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං" කියලා අපි කතා කරන තැනත් අපි කතා කරන්නේ මව් කුසකට ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය බැසගන්න අවස්ථාවක් පිළිබඳව. එහෙම නැත්නම් අපි ‘ප්‍රතිසන්ධි විඤ්ඤාණයයි’ කියලා කතා කරනවා එතනදී.

"නාම-රූප පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං" කියලා කතා කරන තැනත් අපි ඉපදෙන එක කතා කරලා. ඒ වගේම මෙතනත් අපි ‘ජාති’ කියන තැනත් ඉපදීම කතා කරලා එතකොට. එකම පටිච්චසමුප්පාදය තුළ අපි ජාතිය කියන එක දෙපැත්තකින් කතා කරලා තියෙනවා. එතකොට ජාතිය කියන එක ‘ඊළඟ ජීවිතයේ ඉපදෙන එකයි’ කියලා දැම්මොත් එහෙම ජරා මරණ දුක අපිට විඳින්න වෙන්නේ ඊළඟ ජීවිතයේ වෙනවා. (ඇයි ජාතිය නිසානේ ජරා මරණ දුක එන්නේ). ඒ නිසා ජාතිය කියන එක අපි ඊළඟ ජීවිතයේ ලැබෙන දෙයක් විදිහට කල්පනා කළොත් එහෙම අපිට ජරා මරණ දුක ලැබෙන්නේ ඊළඟ ජීවිතයේ. හැබැයි ඊළඟ ජීවිතයේදීත් මේ විදිහේම ආත්මභාවයක් වෙනකොට අපිට ඒකෙත් ජාතිය එන්නේ පස්සෙනේ. එතකොට අපිට ජරා මරණ දුක පෙන්වන්න, ජරා මරණ දුක පනවන්න තැනක් නැති වෙනවා.

ඒ නිසා ‘ජාති දුක’ කියන කාරණාව අපි දකින්නට ඕනේ ඊළඟ ජීවිතයේදී අපිට එන, එහෙම නැතිනම් මේ ජීවිතයේ මැරිලා ගිහිල්ලා තව තැනක උපදින දේ ජාතිය විදිහට හෝ තව තැනකට ප්‍රතිසන්ධි වශයෙන් යන තැන ජාතිය කියන තැනින් නෙවෙයි, මේ ජාතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා තමයි මේ ජාතිය විග්‍රහ කරනකොට 'දෙවානං වා දෙවත්තාය' දෙවියන්ට ඒ දෙවි බව පිණිස, 'ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තාය' - ගාන්ධර්වයන්ට ගාන්ධර්ව බව පිණිස, 'යක්ඛානං වා යක්ඛත්තාය', - යක්ෂයින්ට යක්ෂ බව පිණිස, 'භූතානං වා භූතත්තාය' - සත්වයින්ට සත්ව බව පිණිස, 'මනුස්සානං වා මනුස්සත්තාය' -මනුෂ්‍යයින්ට මනුෂ්‍යය බව පිණිස. එතකොට මේ ජාතිය විග්‍රහ කරන්නේ මේ විදිහට.

මේ විදිහට විග්‍රහ කරලා, “තෙසං තෙසඤ්ච හි, ආනන්ද, සත්තානං තථත්තාය” ආනන්ද ඒ ඒ සත්වයන්ට ඒ ඒ බව පිණිස එහෙම නැතිනම් ඒ ඒ සත්වයන්ට තම තමන්ගේ ඒ ස්වභාවය, පැවැත්ම පිහිටවා ගන්න අවශ්‍යවන විදිහට තියෙනවා නම් අන්න ඒක තමයි 'ජාතිය' කිව්වේ. ඒ ජාතිය අපිට මරණයෙන් මත්තේ ලැබෙන දෙයක් නෙවෙයි, මේ කාම භවය තුළම එහෙම නැතිනම් අද ඉපදිලා කියලා කියන මේ ධර්මය පුද්ගලයෙක්ගේ විදිහට අපිට හමුවෙනවා නේ. ඒ කියන්නේ 'මම' විදිහට, 'මගේ' විදිහට අපි ඇසුරු කරගන්න ටික පුද්ගලභාවයේ ඉපදීම, පුද්ගලයෙකුගේ හටගැනීම කියන එක - අන්න ඒකට කියනවා ‘ජාතිය’ කියලා. ඒ පුද්ගලභාවයේ පැවැත්ම, පුද්ගලභාවයේ හටගැනීම කියන එකට 'ජාතිය' කියනවා.

ඒ පුද්ගලයෙකුගේ හටගැනීම සිද්ධ වුනොත්, පුද්ගලයකුගේ පහළ වීම සිද්ධ වුනොත් තමයි ඒ හටගත්ත, ඒ පහළ වුන පුද්ගලයාට ජරා මරණ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ජරා මරණ දුක එන්නේ 'මම ලෙඩ වෙනවා', 'මගේ අය ලෙඩ වෙනවා' අපිට ජරා මරණ දුක හම්බ වෙන්නේ පුද්ගල බවත් එක්ක. පුද්ගල බව නැත්නම් අපිට ජරා මරණ දුකේ පැනවීමක් නැහැ. ඒ ඇයි? 'මම' කියන පුද්ගලයා නැතිනම්, මමත්වය ලැබෙන්නේ නැතිනම්, ඒ වගේම ‘මගේ කියන හැඟීම’ අපිට ලැබෙන්නේ නැතිනම්, මේ ටික නැති වෙනකොට “මම ලෙඩ වුණා හෝ, මගේ අය ලෙඩ වුණා” කියලා ජරා මරණ දුකක් විදින්න වෙන්නේ නැහැ.

එහෙනම් ජරා මරණ දුක කියන එක අපිට දකින්නට තියෙන්නේ මරණින් මත්තේ නෙවෙයි; මේ ජීවිතයේ ලැබෙන දෙයක්. ඒ දුක ඇතිවෙන්නේ කෙලේසයක් නිසා. ඒ නිසා තමයි ඒ දුක නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ දුක ඇති වුනේ ‘ජාතිය’ නිසයි කියන අවබෝධය අපිට මේක ඇතුලේ තියෙන්නෙට අවශ්‍යයයි. එතකොට ඔබට පැහැදිලි ඇති අපි ප්‍රතිකර්ම හොයන්නේ එහෙම නැතිනම් මේ ජීවිතයේදී අපි උත්සාහවත් වෙන්නේ ජරා මරණ දුකට උත්තරයක් හොයන්නට. ජරා මරණ දුකට උත්තරයක් හොයන්නට උත්සාහවත් වෙනකොට තමයි අපට හමුවෙන්නේ ජරා මරණ දුකට හේතුවෙන දේ හැටියට ‘ජාතිය’.

ජරා මරණ දුක පුද්ගලභාවයත් එක්ක එන, 'පුද්ගලයකුට' පැමිණෙන දුකක් නම්; ඒ පුද්ගලභාවයේ ඉපදීම නිසා, 'පුද්ගලයෙකුගේ' හටගැනීම නිසා තමයි ජරා මරණ දුක ආවේ. ඒ පුද්ගල බව දුරු කළොත් කෙනෙක් (ඒ කියන්නේ ‘ජාතිය’ දුරු කලොත්) ජාතිය දුරු කරපු කෙනාට ජරා මරණ දුක එන්නේ නැහැ. එහෙනම් ‘ජරා මරණ දුක නැති කිරීම’ මේ ජීවිතයේදීම සිද්ධ කරන්නට පුළුවන් දෙයක්. ඒ නිසානේ අපි නිවනට ‘අජරාමර නිවන’ කියලා කියන්නේ. අපි හිතුවොත් එහෙම ජාතිය කියන එක අපිට ඊළඟ ජීවිතයේ දෙයක් නම්, එතකොට අද අපි නිවන් දකින එකෙන් වෙන්නේ ඊළඟ ජීවිතයේ ජාතිය නැතිවෙන එක, ඊළඟ ජීවිතයේ ජරා මරණ නැතිවෙන එක.

හැබැයි මේ ශාසනය ඊළග ජීවිතය කරා යන දෙයක් නෙවෙයි නේ. දැන් දැන්ම දුක නැති කරන්න පුළුවන් ශාසනයක් නේ. එහෙනම් දැන් දැන්ම අජරාමර බව, දැන් දැන්ම ජරා මරණ දුක නැති කරන බව අපිට කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. දැන් අදම ජරා මරණ දුක නැති කරනවා නම් ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ජාතිය නැති කළොත්. ජාතිය නැති කරන්න තියෙන්නේ අදමයි. ඒ කියන්නේ ඊළඟ ජීවිතය වෙනකන් ඒකට බලන් ඉන්න අවශ්‍ය නැහැ. මේ නැති කරන ජාතිය කියලා කියන්නේ අර 'සත්ව පුද්ගල බවේ ජාතිය', 'සත්ව, පුද්ගලයකුගේ පැනවීම පනවන තැන' තමයි අපි නැති කරන්නට ඕනේ.

ඒකනේ කිව්වේ “තෙසං තෙසඤ්ච හි, ආනන්ද, සත්තානං තදත්තාය” - “ආනන්ද ඒ ඒ සත්ත්වයන්ගේ එසේ වීම පිණිස, 'මනුස්සයෙක්ය' කියලා හිතන අපිට, මේ අනාත්ම සතර මහා ධාතු කය 'මගේ වෙලා' මනුස්සයෙක්ගේ වෙච්ච තමන්ගේ ආත්මභාවය පේන තැනකට පත්වෙලා තියෙනවනේ. ඒ නිසානේ රූපය වෙනස් වෙනකොට අපිට, 'මම ලෙඩ වෙන දුක', 'මම වයසට යන දුක' විඳින්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒක, ජාතිය නිසා තමයි ජරා මරණ දුක කියන දේ ආවේ. යම් තැනක ජාතිය තිබුනොත් ඒ තැන ජරා මරණ දුක තියෙනවා. ඒ නිසා “ඉමස්මිං සති ඉදං හොති” - ජාතිය ඇති කල්හි ජරා මරණ දුක තියනවා.

කෙනෙකුට හිතෙන්නට පුළුවන් නේ ‘ජාති මාත්‍රයෙම ජරා මරණ දුක නැහැ කියලා, මේ මොහොතේ ජරා මරණ දුක දැනෙන්නේ නැති හින්දා. හැබැයි ජාතිය තිබුණා නම් ඒ කෙනාට “ඉමස්සුප්පාදා ඉදං උපපජ්ජති” - ඊට පස්සේ උපදිනවාම තමයි ජරා මරණ දුක. එහෙනම් ඒ දුකෙන් ගැලවීමක් ඇත්තේ නැහැ. අපට ‘ජාතිය නිසා ජරා මරණ දුක වෙනවා’ කියලා කියනවා නම් මෙන්න මේ පරියාය නිසා ජාතිය නිසා ජරා මරණ දුක කියන්න පුළුවන්. එතකොට යම්කිසි විදිහකින් “සබ්බසො ජාතියා අසති ජාතිනිරොධා අපි නු ඛො ජරාමරණං පඤ්ඤායෙථා’’ති?” භාග්‍යවතුන් වහන්සේ අහනවා “ආනන්ද, සියලු ආකාරයෙන් ජාතිය නැතිනම්, ජාතිය නිරුද්ධ කළොත් එහෙම ජරා මරණයක් පෙනෙයි ද"?

එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා “‘‘නො හෙතං, භන්තෙ’’ “ස්වාමීනි පේන්නේ නැහැ”. යම්කිසි විදිහකින් ජාතිය කෙනෙක් නැති කළොත්, සත්ව පුද්ගලබවේ හටගන්නා බව කෙනෙක් දුරු කළොත්, ලෝකේ ජරා මරණ දුක විඳිනවා කියලා අපට විඳින්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ජරාමරණස්ස, යදිදං ජාති’’. “එහෙනම් ආනන්ද මේකමයි හේතුව, මේකමයි කාරණාව - මොකටද, ජරා මරණය සඳහා ජාතිය කියන එකමයි හේතුව. ජාතිය නැතුව ජරා මරණ දුකේ පැනවීමක් ඇත්තේ නැහැ.

Post a Comment

0 Comments